නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන දේශපාලන මෙවලම් බවට පත්වෙලා...

කුරුණෑගල මහාධිකරණයේ විනිසුරු ටිකිරි ජයතිලක මහතා විසින් පසුගිය 14 වැනිදා නිකුත් කළ තීන්දුවකින්, රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාට ඇප ලබාදීමත් සමඟ, ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන පද්ධතියේ ප්‍රධානතම ආයතනයක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ක්‍රියාකලාපයන් පිළිබඳ සමාජයේ බරපතළ විවේචනයන් එල්ල වී තිබේ.

Oct 15, 2025 - 11:34
 16
නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන  දේශපාලන මෙවලම් බවට පත්වෙලා...

‘‘හිටපු නාවික හමුදාපතිට ලැබුණු ඇප සහ

CID ක්‍රියාකලාපය පිළිබඳ අධිකරණ විග්‍රහය’’ 

නීතියේ ආධිපත්‍යයට බලපෑම්?


කුරුණෑගල මහාධිකරණයේ විනිසුරු ටිකිරි ජයතිලක මහතා විසින් පසුගිය 14 වැනිදා නිකුත් කළ තීන්දුවකින්, රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාට ඇප ලබාදීමත් සමඟ, ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන පද්ධතියේ ප්‍රධානතම ආයතනයක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ක්‍රියාකලාපයන් පිළිබඳ සමාජයේ බරපතළ විවේචනයන් එල්ල වී තිබේ. මෙම තීන්දුව තනි පුද්ගලයෙකුගේ නිදහස සම්බන්ධ කාරණයකට ඔබ්බෙන් ගොස්, දේශපාලන බලපෑම් යටතේ විමර්ශන ආයතන ක්‍රියාත්මක වීමේ ගැටලු සහ එහි ප්‍රතිඵල ලෙස නීතියේ සමානාත්මතාවය බිඳ වැටෙමින් පැවතීම පිළිබඳ සමාජයේ ගැඹුරු සංවාදයක් ඇති කර ඇත.

විනිසුරුවරයා තම තීන්දුවේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 116 වගන්තිය උපයෝගී කරගනිමින්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම සඳහා අවශ්‍ය සාක්ෂිවල අඩුපාඩුකම් පෙන්වා දී තිබේ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත විය යුතු මෙම විමර්ශන ඒකකය, මූලික නීතිමය සීමාවන් පවා ඉක්මවා කටයුතු කිරීම කණගාටුදායක බව ඔහුගේ අදහස්වලින් පැහැදිලි වේ. මෙය තනි අත්වැරදීමක් ලෙස නොසලකා, ආයතනය තුළ පවතින පුරුදු සහ සංස්කෘතියේ ගැටලුවක් ලෙස බැලීම වැදගත් බව කුරුණෑගල විනිසුරු තම තීන්දුව තුළින් සමාජයේ ඇස් ඇරවා තිබේ .

මෙම සිදුවීම තුළින්, දේශපාලන නායකයින්, සිවිල් ක්‍රියාකාරීන් සහ විශ්‍රාමික හමුදාපතිවරුන් විසින් පසුගිය මාසවල නැගූ චෝදනාවන් – එනම් CID ආයතනය දේශපාලනිකව පක්ෂග්‍රාහී බව – තවදුරටත් තහවුරු වේ. ආණ්ඩුව විසින් CID  ප්‍රධානියෙකුට තම සිතැගි පරිදි කටයුතු කරන්නට ලබාදී ඇති නිදහස, වගකීම් රහිතව  ක්‍රියාකිරීමට ඉඩ සලසන බවට පොදු අදහසක් පවතින අතර, මෙම තීන්දුව එම මතය තවත් ශක්තිමත් කරයි.

එකම ආකාරයේ තවත් උදාහරණයක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විමර්ශනය දැක්විය හැකිය. එම විමර්ශනය දේශපාලන පළිගැනීම්වලට යොදාගත් බවට එකල බහුලව කතාබහ විය. එක් පැත්තකින් ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට එරෙහි විමර්ශන කඩිනම් වෙද්දී, අනෙක් පැත්තෙන් වත්මන් ආණ්ඩුකාරීන්ට සහ නිලධාරීන්ට එරෙහි පැමිණිලි සිය ගණනක් නොසලකා හැරීම, CID ක්‍රියාකලාපයේ අපක්ෂපාතීත්වය පිළිබඳ ගැටලු තහවුරු කරයි.

මෙම තීන්දුවෙන් CID ආයතනය කෙරෙහි මහජන විශ්වාසය තවදුරටත් අඩු වී ඇති අතර, එහි ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ඉක්මන් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පැහැදිලිය. එසේ නොවුණහොත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන දේශපාලන මෙවලම් බවට පත්වීමෙන්, මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය බරපතළ අනතුරකට මුහුණ දෙනු ඇති බව සමාජයේ කතාබහට ලක්ව පවතී.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0