යොවුන් සිහින ලෝකේ කැන්ඩි ලමිස්සී ඇයයි
“යොවුන් සිහින ලෝකයේ ‘මරී’ බොරැල්ල කනතෙන් අවසන් ගමන් යයි: මියයන මොහොතෙත් ගායක අයිතීන් වෙනුවෙන් හඬනැඟූ අසදෘශ කලාකාරිනියගේ සමුගැනීමේ සංවේදී ඇතුළාන්තය”
යොවුන් සිහින ලෝකේ
කැන්ඩි ලමිස්සී ඇයයි...
“යොවුන් සිහින ලෝකයේ ‘මරී’
බොරැල්ල කනතෙන් අවසන් ගමන් යයි.
මියයන මොහොතෙත් ගායක අයිතීන් වෙනුවෙන් හඬනැඟූ
අසදෘශ කලාකාරිනියගේ සමුගැනීමේ
සංවේදී ඇතුළාන්තය”
සිංහල සුභාවිත සහ පොප් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කරමින්, ‘හාර්මනි’ ගායන ශෛලියෙන් දශක පහකට අධික කාලයක් රසික හදවත් අමන්දානන්දයට පත්කළ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ (මරී) දේහය පිළිබඳ අවසන් කටයුතු ඉකුත් 13 වැනිදා සන්ධ්‍යාවේ බොරැල්ල පොදු කනත්තේදී කතෝලික ආගමික වතාවත්වලට අනුකූලව සිදු කෙරුණි.
ඇයගේ අභාවයත් සමඟ මෙරට කණ්ඩායම් සංගීතයේ ස්වර්ණමය යුගයක එක් විශිෂ්ට පරිච්ඡේදයක් සදහටම වැසී ගියද, ඇයගේ නික්ම යාම හුදෙක් ශෝකාකූල ආගමික වතාවත්වලට පමණක් සීමා නොවීය. එය මෙරට ගායක ගායිකාවන් වසර ගණනාවක් තිස්සේ මුහුණ දෙන බරපතළ වෘත්තීය අර්බුදයක් පිළිබඳව රටේ ඉහළම දේශපාලන නායකත්වයේ සහ සංස්කෘතික බලධාරීන්ගේ අවධානය යොමු කළ තීරණාත්මක සංවාද මණ්ඩපයක් බවට ද පත් විය.
ජනපති අනුර, රනිල් සහ සජිත් මරීට ගෞරව දක්වයි
මහජන ගෞරවය පිණිස මරියසෙල්ගේ දේහය තැන්පත් කර තිබුණේ බොරැල්ල කනත්ත අසලම පිහිටි පෞද්ගලික මල් ශාලාවකය. ඇයගේ දේහය අඩංගු මිනීපෙට්ටිය වසා තිබුණද, 13 වැනිදා උදෑසනම සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා සමඟ අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් වසා තිබූ පෙට්ටිය විවෘත කෙරුණි. දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා, එහි වූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තබමින්, දැඩි සංවේදීතාවයකින් යුතුව මරියසෙල්ගේ එකම පුත්‍රයා වෙත සිය බලවත් ශෝකය පළ කර සිටියේය.
මරියසෙල්ට සිටියේ මේ එකම පුතා පමණක් වන අතර ඔහු දිගු කලක සිට පදිංචිව සිටියේ එංගලන්තයේය. පුතා බැලීම සඳහා ඇය නිතර නිතර එංගලන්තය බලා පියාසර කළද, ඇය සිය ස්ථිර පදිංචිය ලෙස තෝරාගෙන තිබුණේ පැලවත්තේ පිහිටි ඇයගේ නිවසයි. මළගෙදර කටයුතුවලදී ඇයට ලේ නෑයන් කවුරුත් නොසිටි තරම් වූ අතර, ඇයගේ ළඟම ඥාතීන් බවට පත්ව සිටියේ වසර ගණනාවක් පුරා ක්ෂේත්‍රයේ ඇය සමඟ උරහිස් ගාටෙමින් වැඩ කළ ගායක ගායිකා සංගමයේ ඇතුළු කලා ක්ෂේත්‍රයේ සමීප හිතවතුන්ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අමතරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියහ. රනිල් වික්‍රමසිංහ මහතා මෙරට බටහිර සහ කණ්ඩායම් සංගීතයේ දන්නා කියන රසිකයෙකු ලෙස පැමිණි අතර, සජිත් ප්‍රේමදාස මහතා මරියසෙල් සමඟ දීර්ඝ කාලයක සිට පැවති සමීප පෞද්ගලික මිත්‍රත්වය නිසාම එහි පැමිණ සිටීම කැපී පෙනුණි.
අන්තිම දිනවල වින්ද බරපතළ රෝග පීඩාව
"මරි අක්කා සෑහෙන කාලෙක ඉඳලා දැඩි ලෙස අසනීප වෙලා හිටියේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ (KDU Hospital) ඇයගේ ශල්‍යකර්මයක් කළා. නමුත් අවාසනාවකට ඒ සැත්කම් තුවාලය වේලෙන්නේ නැතුව ඇය මාස ගණනාවක් තිස්සේ දරුණු ලෙස වේදනා වින්දා. අන්තිමේදී ඇය මියගියේ කළුබෝවිල රෝහලේදී," යනුවෙන් මරියසෙල්ගේ අවසන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සංවේදී හෙළිදරව්ව සිදු කළේ ගායක ගායිකා සංගමයේ (OSCA) වත්මන් සභාපති, ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ මහතාය.
කැපී පෙනුණු රාජ්‍ය මැදිහත් වීම
මරියසෙල් දැඩි ලෙස රෝගාතුරව සිටින බව රොහාන් පෙරේරා මහතා විසින් සංස්කෘතික ඇමති සුනිල් සෙනෙවි මහතාගේ අවධානයට යොමු කර තිබුණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ඇමති සුනිල් සෙනෙවි, ඇයගේ අවසාන දිනවල වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් වියදම් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් කඩිනමින් අනුමත කරවාගෙන ලබා දීමට කටයුතු කර තිබුණි.
මෙම රාජ්‍ය මූල්‍ය ආධාරය පිළිබඳව මළගෙදරදී යම් කතාබහක් ඇතිව තිබුණේ, "ඕක කොතැනකවත් කියන්න යන්න එපා, ඒක පුතාගේ ආත්මගෞරවයට හොඳ නැහැ" යනුවෙන් කවුරුන් හෝ ජගත් වික්‍රමසිංහ මහතාට පවසා තිබූ බැවිනි. එහෙත් ඊට සෘජු පිළිතුරක් දෙමින් ජගත් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, "ගෞරවය දිය යුතු නිසි කෙනාට ඒ ගෞරවය නොදී බෑ. මේක කාගෙන්වත් හිඟා කාපු හෝ පිනට දීපු දෙයක් නෙවෙයි. මේ රටේ සංගීත ක්ෂේත්‍රයට සහ සංස්කෘතියට ජීවිත කාලයම කැප කරපු හැම කලාකරුවෙකුටම රජයෙන් හිමි විය යුතු නීත්‍යානුකූල අයිතියක්. ඒ නිසා මේක ප්‍රසිද්ධියේ කිව්වට කිසිම වරදක් නෑ" යනුවෙනි. කලාකරුවන් වෙනුවෙන් නිසි වේලාවට ක්‍රියාත්මක වූ සංස්කෘතික ඇමති සුනිල් සෙනෙවි මහතාගේ එම යහපත් මැදිහත් වීම එහි සිටි කාගේත් ඇගයීමට ලක් විය.
ක්ලැරා - මරි’ සදාකාලික යුගයක නිමාව
මරියසෙල් යන නාමය ඇසෙන සැණින් සිංහල කණ්ඩායම් සංගීතයේ රසිකයන්ට අමතක කළ නොහැකි අනෙක් නාමය වන්නේ ‘ක්ලැරන්ස් විජේවර්ධන’ ය. ක්ෂේත්‍රයේ සැවොම ක්ලැරන්ස්ට ආදරයට ඇමතුවේ ‘ක්ලැරා’ යනුවෙනි. මරියසෙල් ‘මරී’ වූවාය. ලාංකීය පොප් සංගීතයේ සහ දේශපාලනික නොවන විනෝදාස්වාද සංගීතයේ "ක්ලැරා - මරි" සුසංයෝගය යනු මෙරට කිසිදාක යළි බිහි නොවන අසමසම ස්වර්ණමය යුගයකි. කණ්ඩායම් සංගීතයේ පුනරුදයේ නියමුවා වූ ක්ලැරා සැමටම වඩා කලින් මෙලොව හැර ගියද, ඔහු කැපූ පාර දිගේ ඉදිරියටම ගිය මරී, ක්ෂේත්‍රයට දැවැන්ත සේවාවක් ඉටු කරමින් ගායක ගායිකා සංගමයේ සක්‍රීය සහ උද්යෝගිමත් නායිකාවක් ලෙස කටයුතු කළාය.
මියැදෙන මොහොතෙත් ‘2003 පනතට’ එරෙහි අන්තිම සටන
අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා මළගෙදරදී හෙළි කළ පරිදි, මරියසෙල් සිය අවසන් කාලයේදී ඇසුරු කරන විට ඇය කතා කළේ තමන් වෙලාගෙන තිබූ මාරාන්තික රෝගය ගැන නොවේ. ඇය ලතැවුණේ සහ සටන් කළේ මෙරට වත්මන් ගායක ගායිකාවන්ගේ "වෘත්තීය භාවය" සහ ඔවුන් මුහුණ දෙන අසාධාරණය ගැනය.
ගීතයක් නිර්මාණය කිරීමේදී ගීත රචකයා, සංගීතඥයා මෙන්ම එම ගීතය තමන්ගේ මූල්‍යමය ශ්‍රමය, කැපවීම සහ කටහඬ උපයෝගී කරගෙන ජනප්‍රිය කර තැනකට ගෙන එන්නේ ගායකයාය. ඒ වෙනුවෙන් ගායකයා විශාල දුකක් විඳියි. එහෙත් වත්මන් බුද්ධිමය දේපළ පනතට අනුව ගායකයාට තමන් ගායනා කරන ගීතයේ අයිතියෙන් බිංදුවක්වත් හිමි නොවේ. මරියසෙල් සිය අවසන් දිනවලදී ද ඇමති සුනිල් සෙනෙවිගෙන් ඉල්ලා සිටියේ, "අනේ ඇමතිතුමා, කොහොම හරි කරලා ගායකයාටත් තමන් කියන සින්දුවේ අයිතියෙන් සාධාරණ කොටසක් ලැබෙන විදිහට නීති හදලා දෙන්න" යනුවෙනි.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ජගත් වික්‍රමසිංහ සහ ඇමති සුනිල් සෙනෙවි පෙන්වා දුන්නේ, 2003 වසරේදී මෙරටට හඳුන්වා දුන් "හොර බුද්ධිමය දේපළ පනතක්" මඟින් ගීතයේ නීත්‍යානුකූල අයිතිය ගායකයාගෙන් සම්පූර්ණයෙන්ම උදුරාගෙන ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගීතයේ සමස්ත ලාභය සහ හිමිකාරිත්වය ‘සින්දු මුදලාලිලා’ කිහිපදෙනෙකුගේ මඩිස්සලයට පමණක් සීමා වී ඇත. අද වන විට නවක ගායක ගායිකාවන් තමන්ගේම කියා අලුත් නිර්මාණ බිහි කර ඒවා ජනප්‍රිය කිරීමට උත්සාහ නොකරන්නේ, කොපමණ වෙහෙසුණත් නීත්‍යානුකූලව තමන්ට එහි අයිතියක් නොලැබෙන නිසා බව ඔවුහු පෙන්වා දුන්හ. මරියසෙල්ගේ මළගෙදර, ඇය ජීවිත කාලය පුරාම සටන් කළ කලාකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන ප්‍රබල වේදිකාවක් බවට පත් වූයේ ඒ අයුරිනි.
තමන්ගේම ගීත රිද්මයෙන් නික්ම ගිය ‘කැන්ඩි ළමිස්සී
කතෝලික ආගමික සිරිත් විරිත්වලට අනුව අවසන් කටයුතු සිදුවෙද්දී, ඇය මෙලොව හැර ගියේ ඇය විසින්ම මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කළ අමරණීය ගීතවල සුන්දර රිද්මය ද දෙසවන් රඳවාගෙනය.
ජගත් වික්‍රමසිංහ, කීර්ති පැස්කුවෙල්, රොහාන් පෙරේරා, දීපිකා ප්‍රියදර්ශනී, චරිතා ප්‍රියදර්ශනී, නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව, නිරංජලා සරෝජනී, වත්සලා සහ දිනු ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණ මෙන්ම නවක ගායක ගායිකාවන් රැසක් එකතු වී, මරියසෙල් ගැයූ ‘කැන්ඩි ළමිස්සි’, ‘යොවුන් සිහින ලෝකේ’ ඇතුළු ජනප්‍රිය ගීත සමූහය ඉතාමත් ලස්සනට, රිද්මයානුකූලව ගායනා කරමින් ඇයට ගෞරව දැක්වූහ. මුළු රටක්ම හඬවමින්, තමන් ආදරය කළ ක්ෂේත්‍රයේ සහෘදයන්ගේ ගීත ස්වර මධ්‍යයේ ‘මරී’ නම් ඒ අසහාය කලාකාරිනිය බොරැල්ල කනත්තේ මතක සෙවණැලි අතර සදහටම සැඟව ගියාය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

