විමර්ශන නිලධාරියා ඇත්ත කිව්වාද

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් සිදුකළ විමර්ශනවලදී කිසිදු නිලධාරියකු ව්‍යාජ අත්සන් යොදා කූට ලේඛන සකස් කළ බවට අනාවරණය නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විමර්ශන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

Oct 13, 2026 - 15:39
 71
විමර්ශන නිලධාරියා   ඇත්ත කිව්වාද

2026 ඔක්තොම්බර් 07 වැනිදා ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුව

විමර්ශන නිලධාරියා 

ඇත්ත කිව්වාද

කූට ලේඛන හෝ ව්‍යාජ අත්සන් 

ගැන අනාවරණයක් නැහැ...


බාල ඖෂධ නඩුවේ විමර්ශන නිලධාරියා 

උසාවියේදී කළ හෙළිදරව්ව

කල් ඉකුත් වූ සැපයුම් කාලසීමා,සහතික පරීක්ෂා කිරීම

සහ ඖෂධ භාරගැනීමේ වගකීම්

පිළිබඳ විත්තියෙන් ප්‍රශ්න රැසක්...

(අධිකරණ වාර්තාකරු)


ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් සිදුකළ විමර්ශනවලදී කිසිදු නිලධාරියකු ව්‍යාජ අත්සන් යොදා කූට ලේඛන සකස් කළ බවට අනාවරණය නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විමර්ශන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව විභාග වන ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ මිලදී ගැනීමේ නඩුවේ සාක්ෂි විභාගය අතරතුර මෙම කරුණු අනාවරණය විය. එහිදී විත්තියේ නීතිඥවරුන් සාක්ෂිකරුගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න විමසමින් ඖෂධ භාරගැනීමේ ක්‍රියාවලිය, ඊට අදාළ ලේඛන, සැපයුම් කොන්දේසි සහ විමර්ශනවලදී සොයාගත් සාක්ෂි පිළිබඳව කරුණු මතු කළහ.


මෙම නඩුවේදී විශේෂයෙන් අවධානයට ලක්වූයේ ඖෂධ සැපයීමේදී ඇතිවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ චෝදනා සහ ඒවා තහවුරු කිරීම සඳහා විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇති කරුණු අතර සම්බන්ධතාවයයි. සාක්ෂි විමසීමේදී ඇතැම් ලේඛන සොයාගෙන තිබුණද, ඒවා ව්‍යාජ ලේඛන බවට තහවුරු වන කරුණු අනාවරණය වී නොමැති බව සාක්ෂිකරු පැවසීම කැපී පෙනුණි.


කූට ලේඛන ගැන වසර දෙකක

විමර්ශනයෙන් හෙළි වූයේ කුමක්ද?

නඩුවේ හයවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් විමසා සිටියේ, වසර දෙකකට ආසන්න කාලයක් සිදුකළ විමර්ශනවලදී විත්තිකරුවන් අතරින් කිසිවකු හෝ කූට ලේඛන භාවිත කළ බවට අනාවරණය වී තිබේද යන්නයි.


එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ විමර්ශන කටයුතු ලේඛනවලට පමණක් සීමා නොවූ බවත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව ද සොයා බැලූ බවත්ය.


එහෙත්, ව්‍යාජ අත්සන් යොදා කූට ලේඛන සකස් කළ බවට කිසියම් නිලධාරියකු සම්බන්ධයෙන් අනාවරණයක් සිදුවී තිබේදැයි නීතිඥවරයා නැවතත් ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු පැවසුවේ එවැනි කරුණක් අනාවරණය නොවූ බවයි. අදාළ නිලධාරීන් අත්සන් තබා තිබූ ලේඛන විමර්ශන සඳහා භාරයට ගත් බවත්, එම ලේඛන ව්‍යාජ ලේඛන නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


මෙම සාක්ෂියෙන් පැහැදිලි වන්නේ විමර්ශනයේදී කූට ලේඛන සකස් කිරීමක් හෝ ව්‍යාජ අත්සන් යෙදීමක් පිළිබඳ තහවුරු වූ අනාවරණයක් සාක්ෂිකරු ඉදිරිපත් නොකළ බවයි. කෙසේ වෙතත්, එම කරුණ පමණක් මත නඩුවේ අනෙකුත් චෝදනා පිළිබඳ අවසන් නිගමනයකට එළඹිය නොහැකි අතර, ඒවා සම්බන්ධයෙන් ඉදිරිපත් වන අනෙකුත් සාක්ෂි ද අධිකරණය විසින් සලකා බලනු ඇත.


ඖෂධ භාරගන්නා විට සැපයුම් කාලසීමාව ඉකුත් වී තිබුණාද?

නඩුවේ පස්වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී රිටොක්සිමැබ් ඖෂධය භාරගැනීමට අදාළ සහතිකවල වලංගුභාවය සහ ඖෂධ භාරගත් අවස්ථාවේ පැවති තොග තත්ත්වය පිළිබඳව කරුණු මතු කළේය.


ඒ අනුව, ඖෂධ භාරගැනීමේදී භාවිත කළ WOR සහතිකය 2023 පෙබරවාරි 11 වැනිදා නිකුත් කර තිබූ බවත්, එය මාස තුනක කාලයක් සඳහා වලංගු වූ බවත් සාක්ෂිකරු සඳහන් කළේය. එහෙත් ඖෂධ භාරගැනීමේ දිනය වන විට එම සහතිකය වලංගු නොවූ බවට කරුණු අනාවරණය වී තිබුණේදැයි විත්තියෙන් ප්‍රශ්න කළ විට, එවැනි කරුණක් අනාවරණය නොවූ බව සාක්ෂිකරු මුලින් පැවසීය.


අනතුරුව නීතිඥවරයා ඖෂධ භාරගන්නා විට ඒවා භාරදිය යුතු දිනය ඉකුත් වී තිබුණේදැයි විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු එය පිළිගත්තේය.


මෙහිදී මතු වූ ප්‍රධාන ගැටලුව වූයේ සැපයුම් කාලසීමාව ඉකුත් වී තිබූ ඖෂධ තොගයක් භාරගැනීමට හේතු වූ පරිපාලන තීරණ මොනවාද සහ ඒ සඳහා අදාළ නිලධාරීන් කුමන ලේඛන මත ක්‍රියා කළේද යන්නයි.


සාක්ෂිකරු පෙන්වා දුන්නේ, අදාළ ඖෂධ තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉහළ නිලධාරියකු විසින් උපදෙස් ලබාදී තිබූ බවට විමර්ශනයේදී අනාවරණය වූ බවයි. ඒ සඳහා ඔහුගේ අත්අකුරින් ලියූ ලිපියක් ද සොයාගෙන තිබූ බව සාක්ෂිකරු පැවසීය.


මාස හයකට හෝ නවයකට ප්‍රමාණවත්

තොගයක් පවත්වාගැනීමේ උපදෙස්

රිටොක්සිමැබ් ඖෂධ තොගය භාරගත් අවස්ථාවේ වෛද්‍ය සැපයුම් අංශයේ තොග ප්‍රමාණය පිළිබඳවද නීතිඥවරයා ප්‍රශ්න කළේය.


සාක්ෂිකරු පැවසුවේ හත්වැනි විත්තිකරු විසින් අදාළ ඖෂධයේ මාස හයේ සිට නවය දක්වා කාලයකට ප්‍රමාණවත් තොගයක් පවත්වාගෙන යන ලෙස උපදෙස් ලබාදී තිබූ බවයි. ඒ වන විට වෛද්‍ය සැපයුම් අංශයේ මාස හයකට අඩු තොගයක් පැවති බවට තමන්ට නිශ්චිතව පැවසිය හැකි බවද ඔහු සඳහන් කළේය.


නීතිඥවරයා සමස්ත ඖෂධ තොගය මාස හතකට වඩා ප්‍රමාණවත් වූ බවට යෝජනා කළද සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කළේය.


මෙහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතාද මැදිහත් වෙමින් හත්වැනි විත්තිකරු තොග පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවට කරුණු අනාවරණය වූයේ කෙසේදැයි විමසීය.


සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා:  ඔබ  කිව්වා නේද හත්වන චූදිත තොග තබා ගැනීමට උපදෙස් දුන් බවට?


සාක්ෂිකරු: එසේය ස්වාමීනී 


සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: හත්වන චූදිත උපදෙස් බව කොහොමද අනාවරණය වුණේ? 


සාක්ෂිකරු ස්වාමීනි ඔහුගේ අත් අකුරෙන්ම ලියූ ලිපියක් සොයාගත්තා 


විනිසුරු සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා :මොකක්ද ඒ ලේඛනය?


සාක්ෂිකරු : පැ 401 ලේඛනය. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තොග පාලක නිලධාරී ,සහකාර අධ්‍යක්ෂක සහ අධ්‍යක්ෂකට දැනුම් දී ඇති බවත් ඔහුගේ අත්අකුරෙන්ම ලියූ බවත් අනාවරණය කරගත්තා.


විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා : ඒ ලිපිය කියවලා බැලුවද?


සාක්ෂිකරු : එසේය ස්වාමීනී 


නීතිඥවරයා: ඔබ කියන්නේ ඊට පූර්ව අවසරය තිබූ බවද 


සාක්ෂිකරු : ඔව් ස්වාමීනි, ඔහු දන්වා තිබෙනවා, සෞඛ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ලේකම් ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති එහි ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමකදී ගත් තීරණයක් අනුව මාස 6-9ක තොග පවත්වාගෙන යා යුතු බවට
 

නීතිඥවරයා : එහි තියෙන්නේ essential cancer drugs කියලා. එම තීරණය ගෙන තියෙන්නේ අත්‍යවශ්‍ය පිළිකානාශක ඖෂධ සම්බන්ධයෙන්. 


සාක්ෂිකරු: ස්වාමීනි විමර්ශනයේදී අනාවරණය කරගත්තා මෙම රිටොප්සි මැබ් ඖෂධය අත්‍යවශ්‍ය පිළිකානාශක ඖෂධයක් බවට. 


නීතිඥවරයා: මේ ලිපියේ තියෙනවද දිනය ඉකුත් වූ භාණ්ඩ භාරගන්නා ලෙස? 


සාක්ෂිකරු. මේ ලිපිය අනුව භාණ්ඩ බාරගෙන තිබුණා. එය ඉහළ නිලධාරීන්ට යොමු වී තිබුණා. ඒ කිසිම අවස්ථාවක එවැනි ගැටලුවක් ඇති බවක් අනාවරණය වුණේ නෑ. 


හත්වන චූදිත විසින් නිකුත් කරන ලද මෙම ලිපිය අනුව අදාළ ඖෂධ තොග භාර ගැනීම සිදුකර තිබූ අතර ඉහළ නිලධාරින් විසින් ඒ ගැන සටහනක් කර නොතිබූ බවද සාක්ෂිකරු කියා සිටියේය .රිටොප්සි මැබ් ඖෂධය භාර ගැනීමේදී තොග පාලක නිලධාරීවරයා ගේ නිර්දේශය සහකාර අධ්‍යක්ෂ විසින් අනුමත කර භාරගෙන තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.


ඖෂධ භාරගැනීම තනි නිලධාරියකුගේ තීරණයක්ද?

විත්තියේ නීතිඥවරයා තවත් වැදගත් කරුණක් මතු කළේ ඖෂධ භාරගැනීමේදී වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන්ගේ වගකීම් හා බලතල පිළිබඳවය.


ඖෂධ භාරගැනීමේ තීරණය තනි පුද්ගලයකුට පමණක් අයත් නොවන බව නීතිඥවරයා පෙන්වා දුන් අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ තොග පාලක නිලධාරියාට සහ සහකාර අධ්‍යක්ෂවරයාට ඖෂධ භාරගැනීම සම්බන්ධයෙන් වගකීම් පැවති බවයි. යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ විට ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගත යුතු බවද ඔහු පැවසීය.


නීතිඥවරයා පෙන්වා දුන්නේ සැපයුම් කාලසීමාව ඉකුත් වී තිබූ තත්ත්වයක් තිබියදී අදාළ ඖෂධ භාරගැනීම ගැටලුකාරී නොවන්නේද යන්නයි.


ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ලිපිය අනුව ඖෂධ භාරගැනීම සිදුකර තිබූ බවත්, ඒ සඳහා මුදල් ගෙවීම් ද සිදුකර තිබූ බවත්ය. එම ක්‍රියාවලිය අතරතුර එය වැරදි බවට කිසිදු සටහනක් යොදා නොතිබූ බවද ඔහු පැවසීය.


තොග පාලක නිලධාරියාට තනිවම භාණ්ඩ භාරගැනීමට අවසරයක් තිබිය යුතු බවට විත්තියෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඖෂධ භාරගැනීම සඳහා වෙනම අවසරයක් අවශ්‍ය බවට කරුණක් විමර්ශනයේදී අනාවරණය නොවූ බවයි.


මෙම සංවාදයෙන් මතු වූයේ ඖෂධ භාරගැනීමේ ක්‍රියාවලියේ වගකීම් බෙදී තිබූ ආකාරය, ඉහළ නිලධාරීන්ගේ උපදෙස්වල බලපෑම සහ භාණ්ඩ භාරගැනීමේදී අදාළ නිලධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පිළිබඳව තවදුරටත් විමසා බැලීමේ අවශ්‍යතාවයි.


WOR සහ COA සහතික පරීක්ෂා කිරීමේ වගකීම කාටද?

නඩුවේ තුන්වැනි විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ ඖෂධවල තත්ත්වය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් වැදගත් වන සහතික පරීක්ෂා කිරීමේ වගකීම පිළිබඳවය.


හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය භාරගැනීමේදී WOR ලේඛනය නිවැරදිද යන්න පරීක්ෂා කර නොතිබූ බව සාක්ෂිකරු පිළිගත්තේය. එමෙන්ම COA සහතිකය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් තමන් විමර්ශනයක් සිදුකර තිබූ බවද ඔහු පැවසීය.


ඖෂධ භාරගැනීමේදී COA සහතිකය පරීක්ෂා කළ යුතු ලේඛනයක් ලෙස සැලකිය යුතු බව සාක්ෂිකරු සඳහන් කළද, එම කාර්යය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක නිලධාරීන්, සහකාර අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන තොග පාලකවරයාට පුහුණුවක් ලබාදී තිබූ බවට කරුණු අනාවරණය නොවූ බවද ඔහු පිළිගත්තේය.


එහිදී විත්තියේ නීතිඥවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඖෂධවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති බව පෙන්වා දුන්නේය. එම අධිකාරිය විසින් අදාළ නිලධාරීන්ට පුහුණුවක් ලබාදී තිබුණේද යන්න පිළිබඳව සාක්ෂිකරු විමර්ශනයක් සිදුකර නොතිබූ බවද මෙහිදී හෙළි විය.


මෙම සාක්ෂි මඟින් මතු වූ වැදගත් කරුණ වන්නේ අදාළ සහතික පරීක්ෂා කළ යුතු බවට සාක්ෂිකරු ප්‍රකාශ කළද, ඒ සඳහා නිලධාරීන්ට ලබාදී තිබූ පුහුණුව, නිශ්චිත කාර්යභාරය සහ අධීක්ෂණ ක්‍රමවේදය පිළිබඳ සියලු කරුණු විමර්ශනය කර තිබුණේද යන්නයි.


කෙසේ වෙතත්, පුහුණුව පිළිබඳ කරුණු විමර්ශනය කර නොතිබීම පමණක් මත අදාළ නිලධාරීන්ගේ වගකීම් ඉවත් වන බවක් හෝ ඔවුන් වරදකරුවන් බවක් ස්වයංක්‍රීයව තීරණය කළ නොහැකිය. එය අදාළ රාජකාරි ලැයිස්තු, සැපයුම් කොන්දේසි සහ අනෙකුත් සාක්ෂි සමඟ සලකා බැලිය හැකිය.


රාජකාරි ලැයිස්තුව තිබුණත්

පරීක්ෂණ ලැයිස්තුවක් හමු වී නැහැ

පස්වැනි විත්තිකරුගේ රාජකාරි ලැයිස්තුව සම්බන්ධයෙන්ද නීතිඥවරයා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය.


එම රාජකාරි ලැයිස්තුවේ අවශ්‍ය ලේඛන සම්බන්ධ සඳහනක් තිබූ බවත්, ඒ යටතේ WOR සහතිකය ඇතුළත් වන බවත් සාක්ෂිකරු පැවසීය. එහෙත් එම විත්තිකරුට අදාළ රාජකාරි ඉටු කිරීමේදී භාවිත කළ පරීක්ෂණ ලැයිස්තුවක් හෙවත් checklist එකක් සොයාගෙන තිබුණේදැයි විමසූ විට, එවැනි ලේඛනයක් හමු නොවූ බව සාක්ෂිකරු පිළිතුරු දුන්නේය.


එම පිළිතුරෙන් අනාවරණය වූයේ රාජකාරි ලැයිස්තුවක් පැවතීම සහ ඖෂධ භාරගැනීමේදී ඒ ඒ ලේඛන පරීක්ෂා කළ බව සනාථ කරන වෙනම පරීක්ෂණ සටහන් පැවතීම එකිනෙකට වෙනස් කරුණු දෙකක් බවයි.


කෙසේ වෙතත්, පරීක්ෂණ ලැයිස්තුවක් හමු නොවීමෙන් පමණක් පරීක්ෂා කිරීමක් සිදු නොවූ බව අවසන් වශයෙන් තීරණය කළ නොහැකිය. එම ක්‍රියාවලිය සම්බන්ධ වෙනත් ලේඛන හෝ සාක්ෂි තිබේද යන්නද මෙහිදී වැදගත් වේ.


ප්‍රසම්පාදනයට පෙර ඖෂධ තොග පිළිබඳ

තොරතුරු ලබාගෙන තිබුණාද?

නඩුවේදී මතු වූ තවත් වැදගත් කරුණක් වූයේ අදාළ ඖෂධ මිලදී ගැනීමට පෙර වෛද්‍ය සැපයුම් අංශයේ තොග තත්ත්වය පිළිබඳ නිසි තොරතුරු ලබාගෙන තිබුණේද යන්නයි.


නීතිඥවරයා ඒ පිළිබඳව විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු පැවසුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පෙර ඇණවුම් ලැයිස්තු ඉදිරිපත් කර නොතිබූ බව විමර්ශනයේදී අනාවරණය වූ බවයි.


මෙම කරුණ වැදගත් වන්නේ ඖෂධ මිලදී ගැනීමේ අවශ්‍යතාව, පවතින තොග ප්‍රමාණය සහ අනාගත භාවිතයට අවශ්‍ය ප්‍රමාණය අතර සම්බන්ධතාවය ප්‍රසම්පාදන තීරණවලට බලපාන බැවිනි. එහෙත් ඇණවුම් ලැයිස්තු ඉදිරිපත් කර නොතිබීමෙන් පමණක් මිලදී ගැනීම අනවශ්‍ය වූ බව හෝ එම තීරණය නීතිවිරෝධී වූ බව තීරණය කළ නොහැකිය. 

ඖෂධ දෙක වෙනුවෙන් ගෙවූ මුදල් පිළිබඳ හෙළිදරව්ව

නඩුවේ මූල්‍යමය පැත්ත සම්බන්ධයෙන්ද හරස් ප්‍රශ්න අතරතුර කරුණු ඉදිරිපත් විය.


සාක්ෂිකරු සඳහන් කළේ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය වෙනුවෙන් රුපියල් මිලියන 36කට වැඩි මුදලක්ද, රිටොක්සිමැබ් ඖෂධය වෙනුවෙන් රුපියල් මිලියන 107කට වැඩි මුදලක්ද ගෙවා තිබූ බව විමර්ශනයේදී අනාවරණය වූ බවයි.


කෙසේ වෙතත්, සම්පූර්ණ තොගයටම මුදල් ගෙවීමක් සිදු කළේ නම් වැඩි වටිනාකමක් ගෙවීමට සිදුවන්නේ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් බවද සාක්ෂිකරු පැවසීය.


මෙම ප්‍රකාශය තුළින් ඖෂධ දෙක වෙනුවෙන් සිදුකර ඇති ගෙවීම්වල ප්‍රමාණය පමණක් නොව, සම්පූර්ණ තොගයට අදාළ ගෙවීම් හා ඒවායේ වටිනාකම පිළිබඳවද වෙන වෙනම සලකා බැලීමේ අවශ්‍යතාව මතු විය.


ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ

ප්‍රසම්පාදනය සහ EOI ක්‍රමය

තුන්වැනි විත්තිකාරිය වෙනුවෙන් කළ හරස් ප්‍රශ්නවලදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳවද විමසා බැලුණි.


සාක්ෂිකරු පැවසුවේ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රසම්පාදන කටයුතු සිදුකළ බව විමර්ශනයේදී අනාවරණය වූ බවයි. එම ක්‍රමය යටතේ EOI ප්‍රසම්පාදන ක්‍රමය ක්‍රියාත්මක වූ බවත්, ඖෂධ සඳහා එම ක්‍රමය භාවිත නොකළ බවටද කරුණු අනාවරණය වූ බවත් ඔහු සඳහන් කළේය.


එමෙන්ම අදාළ ප්‍රසම්පාදනය ආරම්භ කර ඇගයීම් කමිටුවක් හරහා නිර්දේශ ලබාගෙන වෛද්‍ය සැපයුම් අංශය වෙත ගැනුම් ඇණවුම් නිකුත් කර තිබූ බවද සාක්ෂිකරු පැවසීය.


නීතිඥවරයා ගැනුම් ඇණවුමේ සැපයුම් කොන්දේසි පිළිබඳව විමසූ විට, එම කොන්දේසි අනුව ඖෂධ භාරදීම සිදුකළ යුතුව තිබූ බව සාක්ෂිකරු පිළිගත්තේය.


මෙම සාක්ෂිවලින් පැහැදිලි වන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ඇගයීම් නිර්දේශ සහ ඖෂධ භාරදීමේ කොන්දේසි එකිනෙකට සම්බන්ධ කර විමසා බැලිය යුතු බවයි. එම ක්‍රියාවලියේ කුමන අදියරකදී කුමන තීරණයක් ගත්තේද යන්න නඩුවේ වගකීම් සම්බන්ධයෙන් වැදගත් වනු ඇත.


දුරකථන වාර්තා හා සම්බන්ධතා

පිළිබඳ විමර්ශනයේ සීමාවන්

හයවැනි විත්තිකරු සහ පළමුවැනි විත්තිකරු අතර දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ හුවමාරු වී තිබුණේද යන්න පිළිබඳවද නීතිඥවරයා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය.


නීතිඥවරයා : එක සහ හය වන චූදිත අතර පුද්ගලික සම්බන්ධතාවයක් තිබුණ බවට වසර දෙකහමාරක් ඔබ කළ විමර්ශනවලදී අනාවරණය වුණාද?


සාක්ෂිකරු : ලිපි පිළිබඳ විමර්ශනයේදී අනාවරණය වුණා. ඒ අනුව යම්කිසි හැඳින්වීමක් ඇති බවක් අනාවරණය වුණා. ඒවා රාජකාරී ලිපිද කියා විමර්ශනයක් සිදු කළා. රුධිර ප්ලාස්මා ලබා ගැනීම සඳහා ලේකම්ගේ නිර්දේශය ලබාදී තිබුණා. ඒ සඳහා ඉල්ලීම් කළ යුතුව තිබුණේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට."


නීතිඥවරයා: ඔබ විත්තිය විසින්ම මතු කරන ප්‍රශ්න සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරු දෙන්නේ නැති සාක්ෂිකරුවෙක්.


සාක්ෂිකරු:. එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි 


නීතිඥවරයා: මේ ලිපි හැර වෙනත් හැඳුනුම්කමක් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වුණාද?


සාක්ෂිකරු :එවන්නක් විමර්ශනයේදී අනාවරණය වුණේ නෑ.


නීතිඥවරයා :අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් ගැන අනාවරණය වුණාද?


සාක්ෂිකරු :එසේය ස්වාමීනි 


"මේ නඩුවට විෂය වන ප්‍රසම්පාදනය සඳහා ලන්සුකරුවන් කී දෙනෙක් ඉදිරිපත්ව තිබුණාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ලේඛන බැලීමකින් තොරව පිළිතුරු ලබාදිය නොහැකි බව සාක්ෂිකරු කියා සිටියේය .


අයිසොලේස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් ආයතනයෙන් ඉදිරිපත් කර තිබූ ලංසු බහුතරයකට අනුමැතිය ලබාදී තිබූ අතර සමහර ඒවාට නිර්දේශයන් නිකුත් නොවී තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය. 


දුරකථන සමාගම්වලින් වාර්තා ලබාගැනීම සඳහා තාක්ෂණික ආධාර ඒකකය හරහා ඉල්ලීම් කර තිබූ බව සාක්ෂිකරු පැවසීය. එහෙත් අදාළ විත්තිකරුවන් දෙදෙනා අතර දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ හුවමාරු වී තිබූ බවට අනාවරණයක් සිදුවී නොමැති බවද ඔහු සඳහන් කළේය.


ඊමේල් හුවමාරු පිළිබඳව විමර්ශනයක් සිදුකළේදැයි විමසූ විට, එවැනි විමර්ශනයක් සිදු නොකළ බව සාක්ෂිකරු පිළිතුරු දුන්නේය.


විත්තිකරුවන් අතර පුද්ගලික සම්බන්ධතාවයක් තිබුණේද යන්න පිළිබඳවද ප්‍රශ්න කෙරුණු අතර, ලිපි ලේඛන අනුව යම් හැඳුනුම්කමක් පැවති බවට කරුණු අනාවරණය වූ බව සාක්ෂිකරු පැවසීය. එහෙත් එම ලිපිවලින් ඔබ්බට වෙනත් සම්බන්ධතාවයක් පැවති බවට අනාවරණයක් නොවූ බවද ඔහු කියා සිටියේය.


මෙහිදී අවධානයට ලක්වන්නේ විමර්ශන නිලධාරියා විසින් ලබාගත් දුරකථන වාර්තා, සිදු නොකළ බව පිළිගත් ඊමේල් විමර්ශනය සහ ලිපි ලේඛන මත පදනම් වූ සම්බන්ධතා පිළිබඳ සොයා බැලීම් යන කරුණු එකිනෙකට වෙනස් සාක්ෂි කාණ්ඩ වන බවයි. ඒවායෙන් කුමන නිගමනයක් ලබාගත හැකිද යන්න අධිකරණය විසින් සමස්ත සාක්ෂි සමඟ සලකා බලනු ඇත.


වසර දෙකකට ආසන්න විමර්ශනයේදී නොවිසඳුණු ප්‍රශ්න

මෙම සාක්ෂි විභාගයේදී ප්‍රධාන විමර්ශන නිලධාරියාගෙන් විත්තියේ නීතිඥවරුන් විමසූ ප්‍රශ්න කිහිපයකින්ම නඩුවේ තීරණාත්මක පැති ඉස්මතු විය. ඒ අතර කූට ලේඛන පිළිබඳ අනාවරණයක් නොමැති වීම, සැපයුම් කාලසීමාව ඉකුත් වූ ඖෂධ භාරගැනීම, සහතික පරීක්ෂා කිරීමේ වගකීම්, නිලධාරීන්ට ලබාදී තිබූ පුහුණුව සහ ප්‍රසම්පාදනයට පෙර තොග තත්ත්වය පිළිබඳ තොරතුරු සකස් කර තිබුණේද යන්න ප්‍රධාන විය.


එමෙන්ම, ඇතැම් කරුණු පිළිබඳව විමර්ශනය සිදු නොකළ බව හෝ අදාළ ලේඛන සොයාගැනීමට නොහැකි වූ බව සාක්ෂිකරු පිළිගත් අවස්ථාද තිබිණි. එවැනි පිළිතුරු විමර්ශනයේ සීමාවන් පිළිබඳව ප්‍රශ්න මතු කළද, ඒවා පමණක් පදනම් කරගෙන නඩුවේ සියලු චෝදනා අසත්‍ය බවට හෝ විත්තිකරුවන් නිවැරදිකරුවන් බවට නිගමනය කළ නොහැකිය.


නඩුවේදී විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව අධිචෝදනා 13ක් ගොනු කර ඇති බව පැමිණිල්ලේ කරුණු අනුව සඳහන් වේ. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් වෙනුවට වෙනත් ද්‍රව්‍ය අඩංගු කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් ලක්ෂ 1,444ක මුදලක් සම්බන්ධයෙන් වංක පරිහරණය, කුමන්ත්‍රණය සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා ඒ අතර වේ.


කෙසේ වෙතත්, අධිචෝදනා ගොනු කර තිබීම යනු එම චෝදනා අධිකරණය හමුවේ තහවුරු වී ඇති බවක් නොවේ. ඒවාට අදාළ සාක්ෂි, ලේඛන සහ විත්තියේ ප්‍රතිතර්ක සලකා බැලීමෙන් පසුව අධිකරණය අවසන් තීරණයකට එළඹිය හැක.


මෙම නඩුවේ සාක්ෂි විභාගයෙන් මතු වූ වැදගත්ම කරුණ වන්නේ ඖෂධ සැපයුමක ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය පමණක් නොව, එම ඖෂධ මිලදී ගැනීමේ සිට භාරගැනීම සහ මුදල් ගෙවීම දක්වා වූ ක්‍රියාවලියේ එක් එක් අදියරේ වගකීම කාට පැවරුණේද යන්නයි. එම වගකීම් තහවුරු කිරීමට භාවිත කළ ලේඛන, නිලධාරීන්ගේ රාජකාරි සහ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අතර සම්බන්ධතාවය මෙම නඩුවේ ඉදිරි සාක්ෂි විභාගයේදීද තීරණාත්මක වනු ඇත.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0