වසර 9කට පසු ජාතික තරුණ සේවා සභාවට නව නිලධාරීන් 194 ක්
වසර නවයකට පසු ජාතික තරුණ සේවා සභාවේ කාර්ය මණ්ඩලයට නව නිලධාරීන් 194 දෙනෙකු බඳවා ගැනීම පසුගිය 28 දා සිදු කෙරුණු අතර, ඔවුන් සඳහා එම පත්වීම් ලිපි ප්රදානය කිරීම තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් එදින එම අමාත්යාංශයේදී සිදු කෙරිණි.
වසර 9කට පසු
ජාතික තරුණ සේවා සභාවට
නව නිලධාරීන් 194 ක්
“පත්වීම් ලිපියක් පමණක් නොව,
මෙය වගකීමක්”
සභාපති/අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න කියයි.
වසර නවයකට පසු ජාතික තරුණ සේවා සභාවේ කාර්ය මණ්ඩලයට නව නිලධාරීන් 194 දෙනෙකු බඳවා ගැනීම පසුගිය 28 දා සිදු කෙරුණු අතර, ඔවුන් සඳහා එම පත්වීම් ලිපි ප්රදානය කිරීම තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් එදින එම අමාත්යාංශයේදී සිදු කෙරිණි.
නව නිලධාරීන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් 53,000කට ආසන්න සංඛ්යාවක් ලැබී තිබූ අතර, සම්මුඛ පරීක්ෂණ වට හතරකින් අනතුරුව සුදුසුකම් ලත් අයදුම්කරුවන් 194 දෙනෙකු මෙම පත්වීම් සදහා තෝරාගෙන තිබේ. මීට සමගාමීව ජාතික තරුණ සේවා සභාවේ අභ්යන්තර උසස්වීම් 35ක්ද ලබා දෙන ලදී.
මෙහිදී අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේ නව නිලධාරීන්ගේ අතට අද ලැබුණේ හුදු පත්වීම් ලිපියක් පමණක් නොව, ඊට සමගාමීව වගකීමක් සහ වගවීමක්ද භාර වන බවයි.
“අද දැනෙන හැඟීම පවුලකට අලුත් සාමාජිකයින් එක්වුණා වගේ. ඒ නිසා මේක පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයක් පමණක් නොවෙයි. අලුත් ගමනක් ආරම්භ කළ දවසක් ලෙසයි මා දකින්නේ” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
ජාතික තරුණ සේවා සභාව සාමාන්ය රාජ්ය ආයතනයක් ලෙස පමණක් නොව, තරුණයා සමඟ සෘජුව කටයුතු කරන ආයතනයක් ලෙස ක්රියා කළ යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ආයතනයක වැඩසටහනක් හෝ ව්යාපෘතියක් අවසන් කිරීම පමණක් එහි සේවයේ අවසාන ප්රතිඵලය නොවන බවත්, එම වැඩසටහන හරහා තරුණයෙකුගේ ජීවිතයට කුමක් එක් වූයේද යන්න වඩාත් වැදගත් බවත් ඔහු අවධාරණය කළේය.
රැකියාවක් අපේක්ෂා කරන තරුණයා, තම දක්ෂතාව පෙන්වීමට අවස්ථාවක් සොයන තරුණයා, ව්යාපාරයක් ආරම්භ කිරීමට අවශ්ය දැනුම සොයන තරුණයා මෙන්ම නායකත්ව හැකියාව තිබුණද අවස්ථාවක් නොලැබුණු තරුණයා හඳුනාගෙන ඔවුන්ට අවශ්ය අවස්ථා ලබාදීම ජාතික තරුණ සේවා සභාවේ වගකීම බවද ඔහු පැවසීය.
“මේක තවත් පැය අටක රැකියාවක් නෙමෙයි. මෙය තනතුරක් විතරක් නෙමෙයි. මේ සමඟ බැඳෙන වගකීමක් තියෙනවා. ඒත් එක්ක කළ හැකි සේවයක් තියෙනවා” යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වෙනස් වන තරුණ පරපුර සමඟ කටයුතු කිරීමේදී ජාතික තරුණ සේවා සභාවද වෙනස් විය යුතු බව පෙන්වා දුන් සභාපතිවරයා, තාක්ෂණය, ඩිජිටල් වේදිකා, රැකියා ලෝකය මෙන්ම තරුණයන්ගේ සිහින සහ අභියෝගද වේගයෙන් වෙනස් වන බැවින් නව අදහස් හා නව ක්රමවේද සඳහා ආයතනය තුළ වැඩි ඉඩක් ලබාදිය යුතු බව අවධාරණය කළේය.
තරුණයා ආයතනය වෙත පැමිණෙන තෙක් බලා නොසිට ගම, නගරය, විශ්වවිද්යාල, රැකියා අපේක්ෂිත තරුණයන් සහ අවස්ථා අහිමිව සිටින තරුණයන් වෙත ආයතනය ගමන් කළ යුතු බවද ඒ මහතා පැවසීය.
“ජාතික තරුණ සේවා සභාව ශක්තිමත් වෙන්නේ ගොඩනැගිලිවලින් නෙවෙයි. තරුණයන්ගේ විශ්වාසයෙන්. ඒ විශ්වාසය ගොඩනගන්න පුළුවන් වෙන්නේ අපේ නිලධාරීන්ගේ හැසිරීමෙන්, කැපවීමෙන් සහ සේවයේ ගුණාත්මකභාවයෙන්” යනුවෙන් නීතිඥ සුපුන් විජේරත්න මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්රීඩා නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා, තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, අතිරේක ලේකම් (තරුණ කටයුතු) සුමිත් ශාන්ත මහතා ඇතුළු අමාත්යාංශයේ සහ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
නව පත්වීම් ප්රාථමික සේවා ගණය, කළමනාකරණ සහකාර සේවා ගණයන්, සහකාර තරුණ සේවා නිලධාරී, කනිෂ්ඨ කළමනාකරණ සේවා, කළමනාකරණ සේවා සහ ජ්යෙෂ්ඨ කළමනාකරණ සේවා ඇතුළු ක්ෂේත්ර ගණනාවක් සඳහා තනතුරු ලබා දී ඇත.
ශ්යාමලී රත්නායක,
ජාතික තරුණ සේවා සභාව
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
1

