පාස්කු ප්‍රහාර නඩුවේ ඓතිහාසික තීන්දුව

2019 වසරේ පාස්කු ඉරිදා දින දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා 23,270 ක් යටතේ පවරා තිබූ නඩුවේ අවසන් තීන්දුව ඊයේ (සැප්තැම්බර් 22) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. විත්තිකරුවන් 25 දෙනෙකු අතරරින් 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා දෙමින් තීණ්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

Sep 23, 2026 - 15:37
 42
පාස්කු ප්‍රහාර නඩුවේ ඓතිහාසික තීන්දුව

පාස්කු ප්‍රහාර නඩුවේ

ඓතිහාසික තීන්දුව: 

විත්තිකරුවන් 15 දෙනෙකුට 


වසර 200 සිට 260 දක්වා 


බරපතල වැඩ සහිත සිරදඬුවම්!


2019 වසරේ පාස්කු ඉරිදා දින දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා 23,270 ක් යටතේ පවරා තිබූ නඩුවේ අවසන් තීන්දුව ඊයේ (සැප්තැම්බර් 22) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. විත්තිකරුවන් 25 දෙනෙකු අතරරින් 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා දෙමින් තීණ්දුව ප්‍රකාශයට පත් කරන ලදී. 


2019 අප්‍රේල් 21 වන දින කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක කිතුනු දේවස්ථාන 3 ක් සහ සංචාරක හෝටල් 3 ක් ඇතුළු ස්ථාන ඉලක්ක කරමින් සිදුවූ මෙම ප්‍රහාරයෙන් සංචාරකයින් 40 දෙනෙකු, කුඩා දරුවන් 35 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 274 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 500 කට අධික පිරිසක් තුවාල ලැබූහ.


වසර 5 ක පමණ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.


නඩු තීන්දුව ප්‍රකාශ කරමින්

විනිසුරු මඬුල්ල දැක්වූ අදහස්:

නඩු තීන්දුව කියවා දීම ආරම්භ කරමින් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ, මෙම පිරිස කණ්ඩායම් වශයෙන් ක්‍රියා කරමින් විවිධ ස්ථානවල පුහුණු වැඩමුළු පවත්වා ඇති බවයි. 2018 වසරේ නුවරඑළියේ පැවැති වැඩමුළුවකදී සහරාන් හෂීම් පළකළ අදහස් පිළිබඳවද විනිසුරුවරයා නඩුවේදී අවධානය යොමු කළේය:


“සහජීවනය කියලා දෙයක් නැහැ. ආගම් අතර සහජීවනයක් නැහැ. මේ රටම මුස්ලිම් රටක් බවට පත් කරගන්න කටයුතු කළ යුතුයි” බවට අදාළ දේශනාවලදී ප්‍රකාශ කර තිබෙනවා.


තවද, පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ වීඩියෝ පටයක් පිළිබඳවද අධිකරණයේ අවධානය යොමු වූ අතර, එහි සහරාන් ඇතුළු 8 දෙනෙකු සිටින අයුරු හඳුනාගෙන තිබේ. විනිසුරුවරයා සඳහන් කළේ අදාළ වීඩියෝ පටයේ මෙසේ සඳහන් වූ බවයි:


“අපි කුරුස යුද්ධයක් කරන්න ඕනේ... නවසීලන්තයේ පල්ලියේ ප්‍රහාරයට ලංකාවේ දෙයක් කරන්න ඕනේ... ලංකාවේ මුස්ලිම් ජනතාවට සිදුවුණු සිදුවීම්වලට පලිගන්නවා... අපි බෝම්බ පටවාගෙන එනවා... හෙට අපි මේක කරනවා... අපි එන්නේ සිනාසෙමීන්..” 


නඩුවේ වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන්ගෙන් නිදහසට කරුණු විමසූ අවස්ථාවේදී ඔවුන් දැක්වූ අදහස් මෙසේ සටහන් විය.

1 වන චූදිත (නවුෆර් මවුලවි):
“ඉස්ලාම් ආගමේ නියමයන් අනුව බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකිරීම උචිත නොවෙන ක්‍රියාවක්. ඒ නිසා අධිකරණයෙන් මා කිසිවක් ඉල්ලන්නේ නැහැ. අධිකරණයට සුදුසු දඬුවමක් ලබාදෙන්න.”


3 වන චූදිත:
“මගේ මවුපියන් වයසයි. මගේ බාල සහෝදරයා මානසික මට්ටමින් පහළ පුද්ගලයෙක්. ඔහුව බලාගන්න ඉන්නේ මම විතරයි. ආදායම් මාර්ගයක් මොකුත් නැහැ. මේ සිදුවීමේදී මගේ බිරිඳ, මගේ සහෝදරයා ඇතුළු අපේ පවුලේ බොහෝදෙනෙකු අත්අඩංගුවට ගත්තා. මමත් වින්දිතයෙක් බවට පත්වුණා. මාවත් වින්දිතයෙක් ලෙස සලකන්න. අධිකරණය මාව වැරදිකාරයෙක් කරලා තියෙනවා. මම වැරදිකාරයෙක් නෙමෙයි.”


4 වන චූදිත:
“මම සතුටින් ඉන්නවා. අපේ පුද්ගලයින් නවදෙනෙක් නිදහස් කළා. ඒ ගැන මට සතුටුයි. මාව බන්ධනාගාරයේ තියාගන්න ඒකේ වියදම දරන්නේ රජය. මම බන්ධනාගාරයේ හිටියොත් ඒකේ ප්‍රයෝජනය ලැබෙන්නේ මටයි. මාව නිදහස් කළොත් ඒකේ ප්‍රයෝජනය ලැබෙන්නේ රටටයි, මගේ පවුලේ අයටයි. මම වැරදි නැහැ කියලා මම දන්නවා. ඒ සම්බන්ධයෙන් සලකා බලලා තීන්දුවක් දෙන්න.”


5 වන චූදිත:
“මීට කලින් නිදහස් කළ 14 වන චූදිතයා මගේ පියා. මමයි මගේ සහෝදරයයි අවුරුදු හතහමාරක් හිරේ. මගේ තාත්තා පාස්කු ප්‍රහාරයට කලින් ඉඳලම හිරේ ඉන්න කෙනෙක්. කෙසේ වෙතත් පසුව ඔහු දැන් නිදහස් වෙලා තියෙනවා. මගේ වැඩිමහල් ලොකු මල්ලි අවුරුදු තුනහමාරක් හිරේ හිටියා, ඔහුත් දැන් නිදහස්. මගේ නංගි අවුරුදු දෙකහමාරක් හිරේ හිටියා, එයාවත් නිදහස් කළා. මගේ සහෝදරයාගේ බිරිඳ අවුරුදු හතරහමාරක් හිරේ හිටියා, දැන් එයත් නිදහස්. මගේ අම්මත් මාස තුනක් හිරේ හිටියා, එයත් දැන් නිදහස්. මගේ බාල මල්ලි නවවන ශ්‍රේණියේ, නංගි හත්වන ශ්‍රේණියේ... 2019 මේ සිදුවීම වෙනකොට දින පහක් ඒගොල්ලෝ හිටියේ කූඩුවේ. බලනකොට අපේ පවුලේ ගොඩක් අය පාස්කු ප්‍රහාරයෙන් හිරගත කරලා. අද දිනයේ මාව වැරදිකාරයා කරලා තියෙනවා, අනිත් අය නිදහස් කොට නිදහස් කරලා තියෙනවා. කෙසේ වෙතත් අපේ පවුලත් පීඩාවට පත්වුණු පවුලක්.”


6 වන චූදිත:
“මම හරි සතුටින් ඉන්නේ. මගේ අතින් වරදක් වෙලත් නැහැ, මේ දේවල්වලට අපි ගෑවිලත් නැහැ. හැබැයි යම් සිදුවීමකට අපි පැටලිලා තියෙනවා. මේකට අදාළ පිරිසක් ඉන්නවා නම් දඬුවම් ලැබිය යුතුයි.”


7 වන චූදිත:
“මම දන්නවා මම නිවැරදිකරු බව. අභියාචනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. 21 වෙනිදා වුණු දේවල් වැරදියි. මගේ කිසිම සම්බන්ධයක් නැහැ. අර්ධ සාක්ෂි තමයි තියෙන්නේ. මට අධිකරණය ගැන විශ්වාසයක් තිබ්බා. ඒ නිසා මම විවෘත විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධියක් හැදෑරුවා, ඒකේ ටොප් මාර්ක්ස් ගත්තා. මේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මාව දැන් වැරදිකාරයා කරලා ඉවරයි. දැන් පැමිණිල්ල කියයි බෝම්බෙන් මිනිස්සු මෙච්චරක් මැරුණා, මෙච්චරක් තුවාල වුණා, ඒ නිසා දඬුවම් ලිහිල් කරන්න එපා කියලා. මම කියන්නේ මම නිවැරදියි, ඒ සියලු කරුණු සලකලා බලලා ලිහිල් දඬුවමක් දෙන්න කියලා මම ඉල්ලනවා.”


11 වන චූදිත:
“මාව අත්අඩංගුවට අරගෙන දැනට අවුරුදු හතහමාරක් වෙනවා. අම්මාට 65 යි, තාත්තාට 75 යි. මම උපදිලා දින 40 කින් මවුපියන්ගෙන් වෙන් වෙලා තියෙනවා. ඊටපස්සේ අවුරුදු 11 කට පස්සේ තමයි යළිත් මවුපියන් ගාවට එන්නේ. දරුවෙක්ට මවුපියන්ව වෙන් කරන වේදනාව මම කාටත් වඩා හොඳින් දන්නවා. මම කිසිසේත්ම මේකට සම්බන්ධ නැහැ. මම මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශයක් දුන්නේ මාව රජයේ සාක්ෂිකරුවෙක් බවට පත් කරනවා කියලා හිතපු නිසා. යම් අවස්ථාවක රජය වෙනුවෙන් මම යම් දෙයක් කරලා තියෙනවා. අවසාන වශයෙන් පුතෙක් වශයෙන් දෙමවුපියන්ට සලකන්න වුණේ නැහැ. මගේ වයසක අම්මාටයි තාත්තාටයි මාව බලාගන්න සිද්ධ වෙලා. ඒ නිසා අතිදීර්ඝ සිරදඬුවමක් දෙන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා.”


නීතිඥයන්ගේ හා නියෝජ්‍ය

සොලිසිටර් ජෙනරාල්වරියගේ ප්‍රකාශ:

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනිල් සිල්වා මහතා:
විත්තිකරුවන්ගේ වයස් මට්ටම්, රෝගී තත්ත්වයන් සහ පවුල්වල ඇති ගැටලු පිළිබඳව කරුණු දක්වමින්, අඩු හා ලිහිල් දඬුවම් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය:
“මෙය සැලසුම්සහගත ප්‍රහාර මාලාවක්... එක් පුද්ගල කණ්ඩායමකට පුළුවන්ද අනිත් අයගේ සතුට උදුරාගන්න? සහරාන් ඒ දේශන කරද්දී තිබුණේ තීන්ත 56 ක්, කඩුවක්. මේකද ආගම කියන්නේ? අනිත් අයට වෙනත් ආගමක් අදහන්න බැරිද? අපි හෙට ප්‍රහාර මාලාවක් සිදුකරනවා, අපි සතුටින් යන්න ඕනේ... ඒ ප්‍රකාශය පිටුපස තිබුණේ ISIS ධජය. කාටද ඒ දිවුරුම දුන්නේ? ඒ දිවුරුම දුන්නේ එවකට ISIS නායක අල් බග්දාදිට. 


ඉන්ශාෆ් මොනවාද කියන්නේ? සිනමන් ග්‍රෑන්ඩ් ගිය බෝම්බකරු අන්‍යාගමිකයන් මරන්න ඕනේ කියලා... හැමෝම කළේ එකම දෙයයි. ඔවුන්ට අවශ්‍ය දේ වෙන්නේ නැතිනම් මරණය. සුළු කණ්ඩායමක් වුණත් ඔවුන්ට හැකියාව තිබුණා ස්ථාන 8 ක බෝම්බ පුපුරුවන්න. සාමකාමීව පල්ලියේ ඉඳගෙන යාච්ඤා කළේ පාස්කු ඉරිදා ජේසුස් වහන්සේගේ උත්ථානය වෙනුවෙන්. ඒ අයට ඉතාමත් සතුටු දවසක්. හෝටල්වල ආහාර ගනිමින් හිටපු අය... 


මේ අය කිසිම කෙනෙක්ට වරදක් කරලා නැහැ. දැන් ඒ මිනිස්සු ජීවත් වුණාට මැරුණු පුද්ගලයින් වගේ... රෝද පුටුවල... කල්පනාවක් නැහැ... අංගසම්පූර්ණව ඉපදුණු මේ අයට මොකද වුණේ?... පළමු විත්තිකරු ඔහු තමයි ෂූරා කවුන්සිලයට අනුව දෙවන පෙළ නායකත්වය ගන්න හිටියේ. ඔවුන් කිසි කෙනෙක්ට කනගාටුවක් නැහැ. ඔවුන් ඔවුන්ගේ මතවාදයේ තාමත් ඉන්නවා. එමනිසා මෙම වැරදිවලට උපරිම දඬුවම් ලබාදෙන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”


දඬුවම් නියම කිරීම:

චෝදනා 23,270 යටතේ වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට අධිකරණය නියම කළ දඬුවම් පහත පරිදිය:

1. නවුෆර් මවුලවි (1 වන විත්තිකරු): වසර 220 ක බරපතල වැඩ සහිත සිරදඬුවම්.

2. මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ (2 වන විත්තිකරු): වසර 240 ක සිරදඬුවම්.

3. හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන් (3 වන විත්තිකරු): වසර 240 ක සිරදඬුවම්.

4. මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා (4 වන විත්තිකරු): වසර 240 ක සිරදඬුවම්.

5. මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක් (5 වන විත්තිකරු): වසර 240 ක සිරදඬුවම්.

6. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (6 වන විත්තිකරු): වසර 200 ක සිරදඬුවම්.

7. මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (7 වන විත්තිකරු): වසර 200 ක සිරදඬුවම්.

8. අබ්දුල්ලා මනාෆ් මොහොමඩ් ෆිරුදවුස් (8 වන විත්තිකරු): වසර 260 ක සිරදඬුවම්.

9. මොහොමඩ් රාමීස් මොහොමඩ් සාජිත් (9 වන විත්තිකරු): වසර 220 ක සිරදඬුවම්.

10. අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆින් (10 වන විත්තිකරු): වසර 220 ක සිරදඬුවම්.

11. හුසේන් ලුල් රිස්වි කාලිද් සමීර් (11 වන විත්තිකරු): වසර 200 ක සිරදඬුවම්.

12. මොහොමඩ් හනීෆා සේනූල් ආබ්දීන් (15 වන විත්තිකරු): වසර 200 ක සිරදඬුවම්.

13. මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් භාරිස් (16 වන විත්තිකරු): වසර 220 ක සිරදඬුවම්.

14. රාසික් රාසා හුසේන් (18 වන විත්තිකරු): වසර 220 ක සිරදඬුවම්.

15. කච්චි මොහොමඩ් මොහොමඩ් ජෙම්සිත් (19 වන විත්තිකරු): වසර 200 ක සිරදඬුවම්.


සෙසු සැකකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරිණි. එමෙන්ම, වරදකරුවන් වූ විත්තිකරුවන්ගේ නිශ්චල හා චංචල දේපළ රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කළේය.


පාස්කු ප්‍රහාරකයින්ට අදාළ සිරදඬුවම් නියම කිරීමෙන් පසු උසාවිය විසර ගිය අතර එම අවස්ථාවේ මාධ්‍ය වලට කරුණු දක්වමින් සිටි කතෝලික සභාවේ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු ප්‍රියතුමා තම අදහස් මෙම නඩු තීන්නුව පිළිබඳ දක්වනු ලැබුවේ මෙසේය...


“විනිසුරු මඬුල්ල විසින් තීන්දුව ලබාදුන්නා. ඒ තීන්දුවත් එක්ක අපි සෑහීමකට පත්වෙනවා. අපගේ වින්දිතයින් අවුරුදු ගාණක් තිස්සේ මේ නඩුව වෙනුවෙන් කතා කළා, මේ නඩුවේ තීන්දුව බලාපොරොත්තුවෙන් හිටියා. ඒ අයගේ මියගිය දරුවෝ, ඒ අයගේ මියගිය දෙමව්පියෝ වෙනුවෙන් ඒ අය සුසුම් හෙළමින් මේ නඩුවේ තීන්දුව බලාපොරොත්තුවෙන් හිටියා. ඉතින් ඒ අයට සෑහීමකට පත්වෙන්නට තරමේ තීන්දුවක් ලබාදුන්නා. ඒක ගැන අපි සෑහීමකට පත්වෙනවා.   කිසිම ආගමකින් මනුෂ්‍යයින්ව මරන්නට කියන්නේ නැහැ. නමුත් මේ ආගමික දේවල් විකෘති කරලා, ආගමික උන්මත්තකයන්, ආගමික අන්තවාදීන් ලෙස පෙනී සිටිමින් ඔවුන් එම දරන්නාවූ මතය තුළ ජනතාවට මේ වගේ මහා විශාල අපරාධයක් කෙරුවා. 

මින් ඉදිරියටවත් එවැනි උන්මත්තක ආගමික අදහස් දරමින්, අන්තවාදී ආගමික අදහස් දරමින් ජනතාවට අවැඩක් කරන්නට ඉන්න අයට මේක හොඳ පාඩමක්. මේ ප්‍රහාරයට අනුබල දුන්නු, ආධාර කරපු අයගේ මේ කතාව අපි අද අපි දැක්කා ඔවුන් සැලසුම් සහගතව මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් කරපු ආකාරය. ඉතින් ඒ තුළ අපි දැකපු විශේෂ දෙයක් තමයි ආරක්ෂක නිලධාරීන්ට, බුද්ධි අංශ ප්‍රධානීන්ට හොඳටම අවස්ථාව තිබුණා මේ ප්‍රහාරය වළක්වා ගන්නට.  ඒ අය දැනුවත්ව මේ ප්‍රහාරයට අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දුන්නා. ඒ අය මේ ප්‍රහාරය සිදුවෙනවායි කියලා දැන දැනත් ඒ අය ඇස් කන් වසාගෙන හිටියා. මේ ප්‍රහාරය සිද්ධ වෙන්නට ඉඩ හැරියා. බුද්ධි අංශ නිලධාරීන්ට හොඳටම අවස්ථාව තිබුණා මේක වළක්වා ගන්නට. නමුත් යම්කිසි හස්තයකින් ඔවුන්ව මෙහෙයෙව්වා මේක මේ විදිහට සිද්ධ වෙන්නට ඉඩහැරලා, ඒ තුළින් යම්කිසි ආකාරයක බලය ලබාගැනීමේ ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රහාරය සැලසුම් සහගතව සිදුවෙන්නට ඉඩහැරියා.   

මේ අය එක්තරා කොටසක් විතරයි. මේ කුමන්ත්‍රණය තුළින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සහ ඒ ඔස්සේ බලය ලබාගැනීමේ ක්‍රමවේදයකට මේක අමුණපු, මෙම කොටස් දෙකම එකතු කරපු කණ්ඩායමක් ඉන්නවා. අපි කියන්නේ දැන් ඒ කණ්ඩායම හොයන්නට ඕනේ. මේ වනවිට සුරේෂ් සලේ මහත්මයාව අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් සැකකරුවෙකු ලෙස තියාගෙන ඉන්නවා. ඉතින් මේ වනවිට ඔහුව රෝහල් ගත කරලා තියෙන්නේ. ඉතින් ඒකත් කියන්න ඕනේ, රෝහල් ගත කරලා මෙච්චර කාලයක් තිස්සේ ඔහුව තබාගන්නට තරම් ආසනීප නැහැ මං හිතන්නේ.  

 ජනාධිපති කොමිෂන් සභාවෙන් කරපු නිර්දේශ අනුව මෛත්‍රීපාල සිරිසේන, නිලන්ත ජයවර්ධන මහත්වරුන්ට සුදුසු ක්‍රමවේදයන් ඔස්සේ නඩු පවරලා ඒ අයට එම දඬුවම් ලබාදෙන්නට, පසුගිය දවස්වල අපි දැක්කා ගෝඨාභය ජනාධිපතිතුමන්ට විදේශ ගමන් තහනමක් පනවනු ලැබුවා. ඒ කියන්නේ එතුමාත් මේ සම්බන්ධව යම්කිසි සැක සහිත පුද්ගලයෙක් කියන දේ. ඉතින් ඒ සැකය දුරු කරන්නට හෝ ඔහුට විරුද්ධවත් නඩු පවරලා ඒ ඔස්සේ දඬුවම් දෙන්නට කියන එක. අන්න එතකොට තමයි මේ පාස්කු ප්‍රහාරයේ සියලු වැඩකටයුතු අවසන් වෙන්නේ."   


ඔහුගේ මෙම ප්‍රකාශයට අනුව බලන විට නඩු තීන්දුව සම්බන්ධයෙන් කතෝලික සභාව හා මේ රටේ කතෝලික ජනතාව යම් තරමකට සෑහීමකට පත් වුවත් ඔවුන් සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වන්නේ දේශපාලනිකව බලාපොරොත්තු වෙන තවත් යම් ජනප්‍රිය තීන්දුවක් ලැබුණහොත් බව පැහැදිලි විය.  ජූඩ් ප්‍රනාන්දු පියතුමා නම් කීපයක් හුවා දක්වමින් අවසානයේ පෙන්වා දුන්නේ සුරේෂ් සලේ වැනි අය සහ ගෝඨාභය රාජපක්ෂ වැනි අයට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක වී ගරු අධිකරණයේදී ඔවුන්ට තිබෙන චෝදනාවලින් ගැලවීමට හෝ ඔවුන් වරදකරුවන් කිරීමට යමු නීති කෘත්‍යයක අවශ්‍යතාවය මේ රටේ කතෝලික ප්‍රජාව බලාපොරොත්තු වෙමින් සිටින බව ද පෙන්වා දුන්නේය. පාස්කුමින්දිතයන් වෙනුවෙන් සම්පූර්ණ සාධාරණයක් ඉටු වන්නේ එවන් අවස්ථාවක බව ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි විය.


මෙම තීන්දුවත් සමඟ වරදකරුවන් වූ 15 දෙනා දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබා ඇති අතර, ඉදිරි පියවර සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0