අපොයි දෙයියනේ..! ලේක්හවුස්.

ලේක්හවුස් ආයතනය (සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම) දැඩි මූල්‍ය අර්බුදයකට හා නීතිමය ගැටලුවලට මුහුණ දී සිටින බව වාර්තා වේ. වත්මන් සභාපති ගාමිණී වරුෂමාන ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකලාපය මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සේවකයින් සහ තොරතුරු මූලාශ්‍ර පෙන්වා දෙයි. ඔවුන් මෙම තත්ත්වය හඳුන්වන්නේ "ලේක්හවුසිය බිමටම සමතලා කිරීමේ ව්‍යාපෘතියක්" හැටියටය. ‍

Oct 17, 2025 - 11:48
 74
අපොයි දෙයියනේ..! ලේක්හවුස්.

විවරණ

ලේක්හවුස් ආයතනය බිඳ වැටීම අභියස...

සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය නිදි... 

ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්දැයි සැකයක්...


තිලකසිරි බණ්ඩාර.

ලේක්හවුස් ආයතනය (සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම) දැඩි මූල්‍ය අර්බුදයකට හා නීතිමය ගැටලුවලට මුහුණ දී සිටින බව වාර්තා වේ. වත්මන් සභාපති ගාමිණී වරුෂමාන ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකලාපය මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සේවකයින් සහ තොරතුරු මූලාශ්‍ර පෙන්වා දෙයි. ඔවුන් මෙම තත්ත්වය හඳුන්වන්නේ "ලේක්හවුසිය බිමටම සමතලා කිරීමේ ව්‍යාපෘතියක්" හැටියටය. ‍

දවසින් දවස ලේක් හවුසිය වෙත පැමිණෙන අභියෝග හා අර්බුද විසඳන්නට හා ජයගන්නට වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අසමත් වීම නිසා නුදුරු දිනකම ලේක්හවුස් ආයතනය වැසී යාමේ අවදානමක් උද්ගතව ඇතැයි වාර්තා වෙයි.  මේ වන විට ලේක් හවුසිය අභිමුව ඇති බරපතල අභියෝග මෙසේය.  

නීතිමය ගැටලු සහ විශාල වන්දි මුදල්
ලේක්හවුස් ආයතනයට එරෙහිව පවරා ඇති ප්‍රධාන නඩු කිහිපයක් සහ ඒවාට ගෙවීමට සිදුව ඇති හෝ අපේක්ෂිත වන්දි මුදල් හේතුවෙන් ලේක් හවුස් ආයතනය දිනෙන් දින බරපතල මූල්‍ය අර්බුදයක සිරවී ඇති බව කියන්නේ එහි සේවය කරන මූල්‍ය අංශයේ සේවක සේවිකාවන් ය. එවන් අභියෝග කිහිපයක් මෙසේය.

1. විජයදාස රාජපක්ෂ මහතාගේ අපහාස නඩුව:

2007 වසරේ සිළුමිණ පුවත්පතේ පළ වූ ද්වේශ සහගත ලිපියක් හේතුවෙන් විජයදාස රාජපක්ෂ මහතා (එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී) විසින් පවරන ලද නඩුව.
 2025 ඔක්තෝබර් 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලේක්හවුස් සමාගමේ අභියාචනය නිෂ්ප්‍රභ කරමින්, ඔහුට රුපියල් ‘‘මිලියන 500ක වන්දියක්’’ ගෙවීමට නියෝග කරන ලදී.
මුල් නඩු තීන්දුව දුන් දින සිට සියයට 12ක වාර්ෂික පොලිය සහ නඩු ගාස්තු සමඟ සමස්ත ඇස්තමේන්තුගත මුදල රුපියල් ‘‘මිලියන 1200ක්’’ පමණ වන බව වාර්තා වේ.
 මෙම නඩුව වෙනුවෙන් නීතිඥවරුන් සඳහා රුපියල් ලක්ෂ ‘‘275ක්’’ ගෙවා ඇති බව ද සඳහන් වේ.


2. සුමුදු චතුරාණි ජයවර්ධන මහත්මියගේ නඩු:

මූලික මානව අයිතිවාසිකම් නඩු දෙකක් සහ දිස්ත්‍රික් උසාවි නඩුවක් (සේවා අත්හිටුවීම සම්බන්ධයෙන්)  ඇය ආයතනය වෙත පවරා ඇති අතර ඒවායින් අපේක්ෂිත වන්දිය රුපියල් ‘‘මිලියන 11ක්’’ පමණ වේතැයි ගණන් බලා ඇත.

3. චන්දන බණ්ඩාර මහතාගේ නඩුව:

මූලික මානව අයිතිවාසිකම් නඩුවක් (ද්වේශ සහගත මාරුකිරීම සම්බන්ධයෙන්) චන්දන මහතා පවරා ඇති අතර එමගින් අපේක්ෂිත වන්දිය රුපියල් ‘‘මිලියන 5ක්’’ පමණ වේ.

4. තවත් කම්කරු උසාවි නඩු ගණනාවක් ද ආයතනයට එරෙහිව පවරා ඇත.

මේ නඩු විභාගවලට ගෙවිය යුතු වන්දි මුදල් සහ ඒවාට ගෙවිය යුතු නීතිඥ ගාස්තු වෙනුවෙන් අධික පිරිවැයක් දරන්නට ආයතනයට සිදුව තිබෙන නිසා ඉදිරියේදී මුහුණ දෙන මූල්‍ය අර්බුදය ඉතාමත් දැඩි මුහුණුවරක් ගනු ඇතැයි වාර්තා වෙමින් පවතී. ආයතනය මෙවන් බරපතල අර්බුදයකට මුහුණ පා සිටියදී සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකලාපය කවරේ දැයි විමසා බැලිය යුතුව ඇත.

‘‘පාලනාධිකාරියට එල්ල වන චෝදනා’’

සේවකයින් චෝදනා කරන්නේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඔවුන්ගේ ‘‘හිතවතුන් සතුටු කිරීමට’’ ක්‍රියා කිරීම, සහ උද්දච්ච හා ‘‘හිතමිතුරන්ට පමණක් සැලකීමේ’’ ක්‍රමවේදය නිසා ආයතනය නීතිමය ගැටලුවල ගොදුරක් බවට පත්ව ඇති බවයි.
සභාපතිවරයා සමීප හිතවතෙකුගේ ඉල්ලීම මත සිළුමිණ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරාණි ජයවර්ධන මහත්මියට ද්වේශ සහගත ලෙස සලකා ඇති බවත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන බණ්ඩාර මහතා ද ද්වේශ සහගත ලෙස මාරු කර ඇති බවත් සේවකයෝ පවසති.
‘‘නීතිමය ගැටලු නිසිලෙස කළමනාකරණය නොකිරීම’’ 
විජයදාස රාජපක්ෂ නඩුවේ රුපියල් ලක්ෂ 275ක් අය කළ නීතිඥවරයාම (ෆයිසර් මුස්තපා) සුමුදු චතුරාණි මහත්මියගේ නඩුවට ද අධික මුදලක් ගෙවා කැඳවීම "කවුරු සතුටු කිරීමේ අරමුණකින්දැයි" සිදුවන්නක්දැයි සේවකයෝ ප්‍රශ්න කරති. සේවක නඩු සමථකරණයට ලක් නොකර පවත්වාගෙන යෑමෙන් ආයතනය තව තවත් අගාධයට යවමින් සිටින බවට ද චෝදනා එල්ල වේ. මේ අතර කැපී පෙනෙන තවත් නාස්තියක් වන්නේ සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සුඛ විහරණය මත ආයතනයේ මුදල් නිරපරාදේ වියදම් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබීමයි

‘‘සභාපතිවරයාගේ පුද්ගලික සුඛ විහරණය සඳහා මහජන මුදල් අවභාවිතය’’

වත්මන් සභාපතිවරයා දැඩි ලෙස ගිලන්ව සිටින අතර, මසකට දින දෙක තුනක්වත් සේවයට නොපැමිණෙන බව වාර්තා වේ.
සභාපතිවරයා වෙනුවෙන් ඉතා විශාල ‘‘නඩත්තු මුදලක් සහ වෛද්‍ය බිල්පත්’’ ලේක්හවුස් ආයතනය විසින් ගෙවන බවට සේවකයෝ චෝදනා කරති. ඔහු තම ‘‘පුද්ගලික ප්‍රතිකාර’’ සඳහා ලක්ෂ ගණනින් මුදල් ආයතනයෙන් ගන්නා අතර, ආයතනයේ සේවකයන්ට දිරි දීමනා හෝ කිසිදු පහසුකමක් නොදීම දැඩි විවේචනයට ලක්ව ඇත. සභාපතිවරයා නොමැති විට මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ද විදේශගත වී ඇති බැවින් ආයතනය අරාජික වී ඇති බව සඳහන් වේ.

‘‘වත්මන් රජයේ වගකීම සහ නිහඬතාවය’’

සේවකයින් ප්‍රශ්න කරන්නේ වත්මන් පුනරුද ආණ්ඩුව විසින් පත් කරන ලද වත්මන් පාලනාධිකාරිය මෙලෙස ආයතනයේ මුදල් තම අභිමතය පරිදි පරිහරණය කරද්දී, ආණ්ඩුව සහ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා නිහඬව සිටින්නේ ඇයිද යන්නයි. මෙම විනාශකාරී ක්‍රියාදාමය පිටුපස ආණ්ඩුව සිටින්නේදැයි ඔවුන් සැක පහළ කරයි.

ආයතනය වෙත අරමුදල් ලබාදෙන පුවත්පත්වල අලෙවිය මේ වනවිට ඉතා පහත මට්ටමට ඇද වැටී ඇති බවද සේවකයෝ පවසති. අද රටේ පවතින පුවත්පත් තරගයට ඔරොත්තු දෙන අන්දමේ සාරගර්භ ලිපි පුවත් හා විශේෂාංග ඇතුළත් චිත්තාකර්ශනීය නිර්මාණශීලී පුවත්පත් පාඨක ජනී ජනයාට ලබා දෙනවා වෙනුවට පෙර පරිදිම ආයතනයේ පුවත්පත් ''ආණ්ඩුවේ හොරණෑවන්'' බවට පත්වී තිබෙන බව සේවකයින් පවසන්නේ මහත් කණගාටුවෙනි. 

නිර්මාණශීලී පුවත්පත් පළ කිරීමට අවශ්‍ය නිර්මාණශීලී පුවත්පත් කලාවේදීන් ආයතනය වෙත කිට්ටු කරගන්නවා වෙනුවට මේ ආණ්ඩුව අද තම රූකඩ පාලකයින් ලවා ''පක්ෂයේ කාඩරවරුන්'' පුවත්පත්වල තනතුරුවලට යොදාගෙන ඇතැයි සේවකයෝ පවසති.  මේ නිසා ආයතනයේ පුවත්පත් අද වන විට තරගකාරී ලෝකයේ නිර්මාණශීලී ගුණයෙන් බැහැරව ගොස් පක්ෂයේ ''ප්‍රචාරක පුවරු හා පෝස්ටර්'' බවට පත්වෙමින් ඇතැයි සේවකයින් මැසිවිලි නගති.

වත්මන් සභාපති ගාමිණී වරුෂමාන, සිසිර යාපා, චාමර නානායක්කාරවසම් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයත්, ජ්‍යෙෂ්ඨ මානව සම්පත් කළමනාකරු ලක්මාල් රත්නායකත් එකතු වී මේ කරමින් සිටින්නේ දැවැන්ත ආයතනයක් නැත්තටම නැති කිරීමකි. සභාපතිවරයා මාස ගණනාවක් සේවයට වාර්තා කර නැති අතර, ඔහු නඩත්තු කිරීමට ආයතනය දරන වියදමත්, දිනෙන් දින එකතු වෙන නඩු ප්‍රමාණයත් පිළිබඳ ආණ්ඩුවට වගේ වගක් නැති වීමෙන් පැහැදිලි වන්නේ මේ විනාශකාරී කුමන්ත්‍රණය පිටුපස ජනමාධ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිටින බවයි.  මෙම අහංකාරකම සහ උද්දච්චකම හේතුවෙන් දකුණු ආසියාවේ විශාලතම පුවත්පත් කාර්යාලය වන ලේක්හවුස් ආයතනය වැසී යෑමේ තර්ජනයට මුහුණ පා ඇති බවත්, ලේක්හවුස් ආයතනය වැනි දැවැන්ත පුවත්පත් ආයතනයක් බිමට සමතලා කිරීමේ පාපයෙන් වත්මන් ආණ්ඩුවටත්, ආණ්ඩුව විසින් පත් කළ පාලානාධිකාරියටත් ගැලවෙනු නොහැකි බවත් සේවකයෝ අවධාරණය කරති.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0