“තමාට පෙර රට” තේමාව කරගෙන බිහිවූ කුරුදුවත්තේ “කූඹි කැලේ ඉස්කෝලේ”
ගරු ඩඩ්ලි සේනානායක අගමැතිතුමා විසින් සිය අධ්‍යාපන අමාත්‍ය ඊරියගොල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සපථ කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස 1967 පෙබරවාරි 10 වන දින කොළඹ, බොරැල්ලේ කුරුඳුවත්තේ “කූඹි කැලේ” යන නමින් හඳුන්වන ලද ඉඩමෙහි “තමාට පෙර රට” යන තේමා පාඨයෙන් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය, ජාතියේ පියා යන විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිදුන් සිහිවනුවස් එතුමාගේ නමින් ස්ථාපිත කරන අවස්ථාවේ එම විදුහල ඉතාමත් කෙටි කලක් තුල ශ්‍රී ලාංකිීය අධ්‍යාපන අඹරේ මෙලෙස බැබලෙනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇත.
“තමාට පෙර රට”
තේමාව කරගෙන බිහිවූ
කුරුදුවත්තේ “කූඹි කැලේ ඉස්කෝලේ”
2026 ට පුරා වසර 20 ක් මාසිකව අඛණ්ඩව යටත් විජිත සමයේ බිහිවූ මිෂනාරී අධ්‍යාපන ආයතන මෙන්ම පශ්චාත් යටත් විජිත යුගයේ ලතින්, ඉංග්‍රීසි, සංස්කෘත හා පාලි තේමා පාඨයන් යටතේ බිහිවූ පාසල් වෙනුවට සිංහල තේමා පාඨයක් යටතේ පාසලක් බිහි කිරීමේ උදාර සිතුවිල්ල ගරු ඩඩ්ලි සේනානායක අගමැතිතුමා විසින් සිය අධ්‍යාපන අමාත්‍ය ඊරියගොල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සපථ කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස 1967 පෙබරවාරි 10 වන දින කොළඹ, බොරැල්ලේ කුරුඳුවත්තේ “කූඹි කැලේ” යන නමින් හඳුන්වන ලද ඉඩමෙහි “තමාට පෙර රට” යන තේමා පාඨයෙන් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය, ජාතියේ පියා යන විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිදුන් සිහිවනුවස් එතුමාගේ නමින් ස්ථාපිත කරන අවස්ථාවේ එම විදුහල ඉතාමත් කෙටි කලක් තුල ශ්‍රී ලාංකිීය අධ්‍යාපන අඹරේ මෙලෙස බැබලෙනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇත. එවකට කොළඹ රාජකාරීය විදුහලේ ලෝහ වැඩ උගන්වන උප ගුරුවරයා වශයෙන් සේවය කළ ආර්.අයි.ටී. අලස් ගුරු පියාණන් තෝරාගෙන මෙම විදුහලේ ආරම්භක විදුහල්පති තනතුර එතුමාට භාරදීමම මෙම විදුහලට ලෝහමය ආරම්භයක් ලබාදුන් අතර, එතුමා තුල පැවති ආකර්ශනීය සිත් වසඟකල කථා විලාශය, භාෂා පරිශීලනයේ නිපුනතාවය හා තමා වෙත පැවරුණු කාර්යය භක්ත්‍යාදරයෙන් සාර්ථකත්වය කරා ගෙන යාමට එතුමා තුල තිබු අප්‍රතිහත ධෛර්ය මෙම විදුහලේ සාර්ථකත්වයට මුලිකම හේතුව බව ප්‍රසිද්ධ රහසකි.
1967 වසරේදී පළමු ශ්‍රේණිය පංති කාමර 5 කින් පටන් ගෙන එම සිසු දරුවන් හැදී වැඩී දෙවන ශ්‍රේණියට සමත්වන අවස්ථාවේ විදුලහට දෙවන ශ්‍රේණියක් වශයෙන් වසරෙන් වසර පාසැලට අලුතෙන් ශ්‍රේණියක් බැගින් එකතු කරමින් එදා 1967 දී විදුහලට බඳවා ගත් සිසුන් 1979 වසරේදී අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන මට්ටමට මෙම විදුහල දියුණු වූයේ විදුහල්පතිතුමාගේත් ගුරුමෑණිවරු හා පියවරුන්ගේත් විදුහලට එකතු වූ දරුවන්ගේ සහ සිය දෙමාපියන්ගේ නොපසුබස්නා උත්සාහයත් කැපවීමත් මතින් යැයි කිවහොත් නිවැරදිය. අලස් ගුරු පියාණන් වරක් පවසා සිටි පරිදි 1967 දී ආරම්භිත ඩී.ඇස්.සේනානායක විදුහලටම අනන්‍ය වූ සුවිශේෂී උප සංස්කෘතියක් මෙතෙක් ලංකාවේ බිහිවූ කිසිඳු පාසලක දැකිය නොහැකි යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. මෙම පාසලේ ගුරුවරුන් නැත. සිටින්නේ ගුරු මෑණිවරු හා ගුරු පියවරුන්ය. පාසලේ ඉගෙනුම ලබන දරුවන් නොවීය. සිටින්නේ පුතාලාය. අලස් ගුරු පියාණන්ම පවසන පරිදි රත්තරං පුතාලාය. එම රත්තරන් පුතාලා එකිනෙක හඳුන්වා ගන්නේ අයියා මල්ලි වශයෙනි. පසු අවස්ථාවක අලස් ගුරු පියාණන්ම පවසන පරිදි 1979 න් පසු පාසලට රත්තරං පුතාලා පමණක් නොව “රත්තරං දූවරුද” එක් විය. ඒ පාසලේ ආදී ශිෂ්‍යයන්ගේ කාලාත්‍රයන් වශයෙනි. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්,
බර්ගර් ජාතික රත්තරං පුතාලා මෙන්ම බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආගමික රත්තරං පුතාලාද උස් පහත් බේදයකින් තොරව නන් දෙසින් පැමිණි සහෝදර ඩී.ඇස්. දරුවන් එවට හිඳ එකාවන්ව දුකේදීත් සැපේදීත් සාමූහිකව කටයුතු කිරීම එකී උපසංස්කෘතියේ තරම විදහා පායි. ගුරු මෑණිවරු, ගුරු පියවරු, රත්තරං පුතාලා හා අයියා මල්ලි සංකල්පය ඩී.ඇස්. මාතාව කෙටි කලක් තුල ලබාගත් ජයග්‍රහණයන්ගේ හැරවුම් ලක්ෂයැයි කිවහොත් නිවැරදිය. 1979 න් පසු බිහි වූ ඩී.ඇස්.සේනානායක විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය විසින් පාසලේ අභිවෘද්ධිය උදෙසා ශක්තිමත් පියාපතක් වූවා මෙන්ම 1988 වසරේදී පාසල් මාතාවට එක් වූ ඩී. ඇස්.සේනානායක විදුහලේ ආදී ගුරු සංගමය පාසලේ ඉදිරි ගමන උදෙසා පාසලට දායාද වූ සවිබල අනෙක් පියාපත ලෙස හැදින්වීමට නිර්ලෝභී වන්නෙමු. පාසලේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මෑණිවරු පියවරු, රත්තරං පුතාලා හා ඔවුන්ගේ දෙමාපියන්, පාසල් සංවර්ධන සමිතිය, ආදී ශිෂ්‍ය සංගමය හා ආදී ගුරු සංගමය පෙරටු කර ගත් පාසලේ අනෙකුත් සමිති සංවිධාන පාසලේ ප්‍රගමනය වර්ණවත් කරන අතර එකී සංගම්වල අන්‍යෝන්‍ය සුහදතාවය, කැප කිරීම හා මාර්ගෝපදේශය ලංකාවේ අනෙකුත් ප්‍රධාන පාසල්වලට නොදෙවනි වන අතර, ඩී.ඇස්.මාතාව වටා එක්වූ එම සංගම් පෙර කී පාසල්වල එකී සංගම්වලට වඩා ඉහළ තලයකින්, කටයුතු කරනවායැයි මෙහිලා සටහන් කළ යුතුම කරුණකි. 2004 වසරේ පැවති ඩී. ඇස්.සේනානායක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සංවත්සර සභාවට විශේෂ ආරාධිතයා ලෙස එක්වූ විදුහලේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී අලස් ගුරුපියාණන් සිය කථාවේදී අවධාරණය කළ කරුණක් වූයේ පාසලේ විශ්‍රාමික ගුරු මෑණිවරුන් හා පියවරුන් සිය විශ්‍රාම වැටුපෙන් තම තමන්ගේ වෛද්‍ය විය හියදම් දරාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති හෙයින් “පුතාලා මින් ඉදිරියට අපගේ විශ්‍රාමික ගුරු මෑණිවරුන් හා පියවරුන් තම තමන්ගේ දෙමාපියන් රැක බලා ගන්නාක් මෙන් රැක බලා ගත යුතු” බවයි.
එකී අවවාදාත්මක මග පෙන්වීම සිය හදවත්හි තරයේ සනිටුහන් කරගත් ආදී ශිෂ්‍ය සංගමයේ 88 වසර කණ්ඩායමේි රත්තරං පුතාලා එවකට ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති හා උප සභාපති හුසේන් සාදික් හා නීතිඥ විනීන්ද්‍ර වීරමන් යන අයියලාගේ ආශිර්වාදය පෙරදැරිව 2006 වසරේ පෙබරවාරී 18 වන දින සිය මංගල වෛද්‍ය සායනය ආරම්භ කරමින් විශ්‍රාමික ගුරු මෑණිවරුන් හා පියවරුන් යහපත් සෞඛ්‍ය උදෙසා රුධිර පරීක්‍ෂාව, අක්ෂි පරීක්‍ෂාව සහිත වෛද්‍ය සායනයක් පවත්වා ඔවුනට අවශ්‍ය බෙහෙත් වර්ග නොමිලේ ලබාදීමට කටයුතු කළ අතර එවක් පටන් පුරා වසර 20 ක් අඛණ්ඩව සෑම මාසයකම අවසන්
සෙනසුරාදා එම වෛද්‍ය සායනය සඳහා කැප වී මාසිකව එම සත්කාර්යය, ලෙන්ගතුව හා කැපවීමෙන් ඉටුකිරීම ලංකාවේ වෙනත් කිසිඳු පාසලක් විසින් ඉටු නොකරන කාර්යක් වශයෙන් හා එහෙයින්ම ඩී.ඇස්.මාතාව දිවයිනේ අනෙකුත් පාසල් අභිභවා පෙර ගමන්කරුවකු බවට පත්ව ඇති ලෙසින් විස්තර කිරීම කාලෝචිතය. කරුණු එසේ වුවද, 1979 දී ඩී.ඇස්. මාතාවගේ ප්‍රථම ආදී ශිෂ්‍ය කණ්ඩායම බිහි වී 2025 වසර වන විට පුරා වසර 47 ක ආදී ශිෂ්‍ය කණ්ඩායම් අතරින් 88 වසර කණ්ඩායම සුවිශේෂී වන්නේ, අනෙකුත් කටයුතු අතර, මෙකී ආදී ගුරු වෛද්‍ය සායනය සෑම මසකම අඛණ්ඩව පවත්වමින් (කොරෝනා රෝග වසංගත කාලයේදී රට අකර්මණ්‍යව පැවතියත් ගුරු මෑණිවරුන්ට හා පියවරුන්ට සිය බෙහෙත් ගෙයින් ගෙට ගොස් ලබා දෙමින්) පාසලටත් පොදුවේ මුලු ලංකාවාසී ශිෂ්‍ය පරපුරටත්, ලෝක වාසීන්ටත් අපූරු අත් දැකීමක් එක් කරමිනි. මෙම වෛද්‍ය සායනයේ මූල්‍ය දායකත්වය 88 වසර කණ්ඩායම විසින්ම නොයෙකුත් ව්‍යාපෘති මාර්ගයෙන් එකතුකර ගත් මුදල් හා 88 වසර කණ්ඩායමේ සාමාජිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් සිදු වන අතර (2008 වසරේ මාස කිහිපයක බරපැන ආදී ශිෂ්‍ය සංගමය විසින් දරන ලදී.) වර්තමානයේ ලොව නොයෙකුත් රටවල පදිංචි 88 වසර කණ්ඩායමේ රත්තරං පුතාලා විසින් ලබාදෙන මූල්‍යමය හා ඖෂධ පරිත්‍යාග හා 88 වසර කණ්ඩායමේ සාමාජිකයන් විසින්ම සිය උපන් දිනය යෙදෙන මාසයේ වෛද්‍ය සායනය සඳහා වූ වියදම තනියම හෝ කිහිප දෙනෙක්ගේ එකතුවෙන් පියවා ගැනීමට ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වීම කැපී පෙනෙන අතර 88 වසර කණ්ඩායමේ සාමාජිකයන් පමණක් නොව වෛද්‍ය සායනයට සහභාගිවන විශ්‍රාමික ගුරු මෑණිවරුන් හා පියවරුන් විසින්ද මෙම සත්කාරය වෙනුවෙන් ඖෂධ හා මුදල් ස්වෙච්ඡාවෙන් පරිත්‍යාග කිරීම අගය කළ යුතුය. 88 වසර කණ්ඩායමේ රත්තරං පුතුන් අතරින් දැනට 20 දෙනෙකු පමණ අඛණ්ඩව සෑම මාසයකම අවසන් සෙනසුරාදා මෙම සායනය සඳහා කැපවී සිටින අතර කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව එකිනෙකා සාකච්ඡා කර එදිනට පැමිණ තම තමන්ට වෙන් වී ඇති කාර්යයන් මැනවින් ඉටුකරමින් භක්ත්‍යාදරයෙන් කටයුතු කිරීම ප්‍රසංශනීයයි. මෙම පිංකමට එක් වී ඇති 20 දෙනා අතරින් දෙතුන් දෙනෙක් පමණක් විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා තිබීමත්, වැඩි පිරිසක් වානිජ විෂය ධාරාවෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන ලද පිරිසක් වීමත් පාසල් සමයේදී එකිනෙකා ගජ මිතුරන් නොවීමත්, සියලු වෙනස්කම් පසෙකලා මේ උත්තුංග කාර්යය සඵල කරගැනීමට එකම දම්වැලක පුරුක් ලෙස එක්ව එක්සිත්ව ස්වෙච්ඡාවෙන් කටයුතු කිරීමත් එහෙයින්ම “වෛද්‍ය සායන පවුල” යන අන්වර්ථ නාමයෙන් ඔවුන් හැඳින්වීමත් මෙම සායනය තුල දිස්වෙන සුවිශේෂී ලක්‍ෂණයක් යයි කිවහොත් නිවැරදිය.
88 වසර කණ්ඩායමේ නියෝජිත මංජුල මුතුගම රත්තරං පුතාගේ කාලයේදී පටන්ගත් මෙම සායනය සම්පත් අබේසේකර, සමිසුදීන් යන රත්තරං පුතාලාගේ කාලයේදීද මාසිකව පවත්වාගෙන ආමුත් එළැඹි දුෂ්කරතා හමුවේ ආදී ශිෂ්‍ය මව් සංගමය නීතිඥ විනීන්ද්‍ර වීරමන් රත්තරං පුතාගේ සභාපතිත්වය යටතේ ලබාදුන් අනුග්‍රහය හේතුවෙන් දුෂ්කර අවදිය තරණය කර අනුර අම්පාවිල රත්තරං පුතාගේ කාලයේ දී නැවතත් නිසි මගට සායනය මෙහෙය වූයේ ස්වභාවධර්මයෙන් ලද ආශිර්වාදය හේතුවෙනි. මෙම සායනයේ අභිවෘද්ධිය උදෙසා විදෙස් රටවල පදිංචි 88 වසර කණ්ඩායමේ රත්තරං පුතාලා සායනයට සම්බන්ධ කරමින් සායනය නව ජවයකින් ඉදිරියට ගෙන ආවේ යසන්ත අබේකෝන් රත්තරං පුතා වසර කණ්ඩායම මෙහෙයවන අවධියේදීය. ශාන්තවීර රත්තරං පුතා 88 වසර කණ්ඩායම මෙහෙයවන අවදියේදී වෛද්‍ය සායනයේ මාසික පවත්වාගෙන ආ අතර පසාඩ් වීරසේකර රත්තරං පුතා (පසුකලෙක මව් සංගමයේ සභාපති වශයෙන් විශාල මෙහෙවරක් ඉටු කරන ලදී.) මෙම සායනය ආරම්භයේ සිටම තම දායකත්වය ලබාදෙමින් සායනය තුලින් වඩා හොඳ සේවයක් ලබාදීමට කටයුතු කල අතර, අනතුරුව පත්වූ ප්‍රියන්ත බුද්ධදාස රත්තරං පුතා, සමන් සුදුරික්කු රත්තරං පුතා හා වර්තමානයේ දමින්ද පණ්ඩිතසේකර රත්තරං පුතාද වෛද්‍ය සායන පවුලේ සාමාජිකයන් වීමත් අඛණ්ඩව සායනයට තම ශ්‍රමය, ධනය හා කාලය කැප කිරීමත් අගය කල යුතුය. අනුර අම්පාවිල රත්තරං පුතා ඔසුහලෙන් ඔසුහලට ගොස් මාසයකට අවශ්‍ය බෙහෙත් ගස්කර ගෙන සායනය අවසානයේත් ඉතිරි තොග ගණන් ගැනීම හා බෙහෙත් ආරක්‍ෂිතව පිළිවෙලට ඇසුරුම් කර පවත්වාගෙන යාම අගය කල යුතුවන අතර, එය ඔහු උපතින් ලද වාසනා ගුණයක් බව 88 වසර කණ්ඩායම එකහෙලා පිළිගන්නා කරුණකි. ආදී ගුරු මෑණියන් හා පියවරුන්ට බෙහෙත් නිකුත් කරමින් ඒ සඳහා සුදුසුකම් ලත් 88 වසර කණ්ඩායමේ සනත් ගජනායක රත්තරං පුතා අතින් සිදුවන්නේද අමිල මෙහෙවරකි. කවදත් පාසලේ බර කරමතට ගෙන කටයුතු කරන මධුර වික්‍රමරත්න රත්තරං පුතාගේ වසර කිහිපයක් මව් සංගමයේ සභාපති ධූරය හොඹවල ලදී.) කාර්ය භාර්ය එක් අංශයකට සීමා නොවේ. සංවිධානය අරමුදල් රැස් කිරීමට මුලිකත්වයෙන් කටයුතු කිරීම. ඇතුළු සායනයේ යහපැවැත්ම සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද? එය නොපිරිහෙලා ඉටුකිරීම මධුර වික්‍රමරත්න රත්තරං පුතාගේ සුවිශේෂිත්වයයි. අප පාසලේ නැටුම් ආචාර්ය නන්දන බාලසුරිය ගුරුපියාණන් වෙත මාසිකව ලබාදෙන බෙහෙත් ඔහු හලාවත පදිංචි නිවසටම ගෙන ගොස් භාර දෙන්නේද මධුර පුතාගේ මූලිකත්වයෙනි.
අරමුදල් රැස්කිරීමේදී රංජිත් දහනායක රත්තරං පුතාද, අමතක නොවන පෞරුෂයක් වන අතර, සායනය ආරම්භයේදී එක්ව සිටි නීල් හෙට්ටිආරච්චි රත්තරං පුතා, තුෂාර බණ්ඩාරනායක රත්තරං පුතා, යුදීෂ් රත්නවීර රත්තරං පුතා, සංජීව ඩයස් රත්තරං පුතා
ඇතුලු 88 වසර කණ්ඩායමේ සාමාජිකයන් මෙන්ම විශේෂඥ වෛද්‍ය වසන්ත විජේනායක රත්තරං පුතා, මහාචාර්ය අරෝෂ දිසානායක රත්තරං පුතා, වෛද්‍ය ජනේන්ද්‍ර දිසාසේකර රත්තරං පුතා, වෛද්‍ය ගෞතමදාස රත්තරං පුතා, වෛද්‍ය තුෂාර ගුණතිලක රත්තරං පුතා හා වෛද්‍ය සංජීව ගුණසිංහ රත්තරං පුතා, මෙන්ම වෛද්‍ය උදාර හා වෛද්‍ය තිලංක ප්‍රනාන්දු යන රත්තරං පුතාලාද නොවන්නට මෙම සායනය වසර 20 ක් පුරාවට අඛණ්ඩව කරගෙන යාමට නොහැකිවනු ඇත. සායනය ආරම්භක දිනයේදී අක්‍ෂි පරික්‍ෂාව සහ නොමිලේ කණ්ඩාඩි ලබාදීම දුමින්ද මුණසිංහ රත්තරං පුතාගේ දායකත්වයෙන් සිදුවිය. මෙම සියලු රත්තරං පුතාලා එක්ව තබා ගනිමින් සායනයේ අවශ්‍යතාවයන් මත ගුරු මෑනිවරුන් හා පියවරුන්ගේ සෞඛ්‍ය වාර්තා තබා ගැනීමට ෆයිල් කවරය නිර්මාණය කිරීම, සායනයට අවශ්‍ය හෙද නිලධාරින් දෙදෙනෙකු ලබාගැනීම සහ 88 වසර කණ්ඩායමේ සියලු දෙනා රන් හුයකින් බැඳ එක්ව තබා ගැනීමට 88 වසර කණ්ඩායම වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටුකරන වෛද්‍ය සායන පවුලේ සාමාජික දිනේෂ් හේවාවිතාරණ රත්තරං පුතාගේ කාර්ය භාරය අති විශිෂ්ඨ අයුරින් ඉටුකරන වගට 88 වසර කණ්ඩායමට සාක්‍ෂි සපයනු ඇත. සායනයට මෑතකදී එක්වූ අමිල ජයසේකර රත්තරං පුතා, රුවන් රත්තරන් පුතා, සජිත සුමනසේකර රත්තරං පුතා විසින් ද සායනය පවත්වාගෙන යාමට ඉටුකරන කර්තව්‍යය මෙහිලා සිහිකට යුතුය. “2026 ට පුරා වසර 20 ක් මාසිකව අඛණ්ඩව” යන තේමා පාඨය යටතේ තවත් එක් කරුණක් මෙහිලා සඳහන් කළ යුතු වන්නේ 88 වසර කණ්ඩායමේ රත්තරං පුතාලාට වයස අවුරුදු 56 ක් සපිරෙන විට ඉන් වසර 20 ක් පුරාවට තම ආදි ගුරු මෑණිවරුන් හා පියවරුන් වෙනුවෙන් මාසිකව සිදුකරන කැප කිරීම මහත් ඵල මහානිශංස ලැබෙන සත්කාර්ය බවයි. 88 වසර කණ්ඩායමේ මෙම එකමුතු කමත්, කැපවීමත්, ශක්තියත්, සම්බන්ධයෙන් අතිශයෝක්තියෙන් සහ අගති රහිතව සායනයට සහභාගී වන එක් “ගුරුතුමියක්” පවසා සිටින පරිදි ආදී ශිෂ්‍ය සංගමයේ පුරා වසර 47 ක කාලය තුළ 88 වසර කණ්ඩායම වැනි තවත් කණ්ඩායමක් ඩී.ඇස්.මාතාවට බිහිකරලීමට නොහැකිවීම ගුරු භවතුන් වශයෙන් තමන් දෙවරක් සිතා බලන බවයි. තවත් විටෙක වෙනත් “ගුරුතුමියක්” පවසා සිටියේ මෙම වෛද්‍ය සායනයේ පුරෝගාමී වෛද්‍ය පුතණුවන් පානදුර සුමංගල විද්‍යාලයෙන් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඩී.ඇස්.මාතාවට එකතු වී අද වෛද්‍යවරයෙකු රටට දැයට සේවය කරමින් මෙවැනි පුණ්‍ය කර්ම ඉටුකිරීමට දායක වීම ඩී.ඇස්. මාතාවගේ පිනට සිදුවූවක් මිස එම පුතණුවන්ගේ පිනකට සිදු නොවූ බවත් ඔහු යම් ලෙසකින් පානදුර සුමංගල විද්‍යාලයේම සිප් සතර හැදෑරුවේ වුවත් වෛද්‍යවරයෙකුව මෙවන් සේවයක් ඉටුකිරීමට ඔහුට අවස්ථාව උදාවනු ඇති බවත්ය.
මෙම සායනයේ පුරෝගාමී වෛද්‍ය පුතණුවන්ගෙන් සමාජයට සිදුවන අකලංක සේවය අයගනුවස් 2024 දෙසැම්බර් 28 දිනැතිව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් විශේෂ සමරු මුල්දින කවරයක් හා මුද්දරයක් නිකුත් කරන අවස්ථාවේ ඊට සහභාගි වූ මුද්දර කාර්යාංශයේ අධ්‍යෂක ලංකා ද සිල්වා මැතිතුමා එම උත්සවය අමතමින් පවසා සිටියේ තමා මාතර රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු බවත් මෙවැනි සත්කාර්යයක් දිවයිනේ කිසිදු පාසලක සිදුනොවන බවත් තමා විසින් සිය රාහුල විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය මගින් මෙවැනි උදාර ක්‍රියාවක් මාසිකව සිදු කිරීමට තමන් මූලිකව කටයුතු කරන බව වුවත් මේ දක්වා එම කාර්යය සිදු වූ බවක් දැන ගන්නට නොමැති වීමෙන් පෙනී යන්නේ මේ ආරයේ කටයුත්තක් අඛණ්ඩව මාසිකව සිදුකිරීමට කැපවෙන පිරිසක් වර්තමානයේ සොයා ගැනීම අසීරු කටයුත්තක් බවත්, ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවත්ය. මාසිකව පැවැත්වෙන මෙම සායනයේදී ආදී ගුරු මෑණිවරුන් හා පියවරුන් මුණ ගැසී සතුටු සාමීචියේ යෙදීමට අවස්ථාවක් උදාවීම ආදි ගුරු මණ්ඩලයට මාසිකව ලැබෙන විත්ත අභ්‍යාසයක් වන අතර එදින සායනයට සහභාගි වන 88 වසර කණ්ඩායමේ රත්තරං පුතාලාට තේ පැන් සංග්‍රහයක් පවත්වා තම ගුරු සගයන්ද ඊට එකතු කර ගෙන එකම පවුලක සාමාජිකයින් සිංහල අලුත් අවුරුද්දට මහ ගෙදරට රැස්වන දුවා දරුවන් මෙන් කටයුතු කිරීම දකින ඕනෑම කෙනෙකුගේ සිත ඇද බැඳ තැබීමට සමත් වනු නොඅනුමානයි. මෙම කරුණු සලකා බැලීමේදී පැහැදිලි වන්නේ ඉතා කෙටි කලක් තුල අධ්‍යාපන අඹර වර්ණවත් කල ඩී.ඇස්.සේනානායක විදුහල එම විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ 88 වසර කණ්ඩායම සුවිශේෂී වූ කර්තව්‍යයක් පුරා වසර 20 ක් සෑම මසකම අවසාන සෙනසුරාදා දිනය තම විදුහල් මාතාවගේ ආදී ගුරු මාපියන් වෙනුවෙන් කැපකර විදුහලේ ආරම්භක විදුහල්පති ආර්. අයි. ටී. අලස් ගුරු පියාණන්ගේ ඉල්ලීම එතුමා අදහස් කළ ආකාරයටත් වඩා උත්කෘෂ්ට අයුරින් ඉටු කරමින් දැයේ දූ දරුවන්ටත් ලංකා මාතාවටත් කදිම ආදර්ශයක් ලබාදීම ඩී.ඇස්. මාතාවගේ උප සංස්කෘතිය මගින් දායාද කළ අග්‍රගන්‍ය වූ දමිල සේවයක් බවයි. අපගේ මෙම කැපකිරීම ආදර්ශයට ගෙන අනෙකුත් පාසල් ද සිය ගුරු දෙමාපියන් වෙනුවෙන් හැකි අයුරින් කෘතගුණ සැලකීමට සිත් යොමු වේවා! යනු අපගේ එකම පැතුමයි.
2026.02.18
ඩී. ඇස්. සේනානායක විදුහලේ
ආදී ශිෂ්‍ය සංගමයේ 88 වසර කණ්ඩායම වෙනුවන් තැබූ සටහනකි.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
1
Funny
0
Angry
0
Sad
0
Wow
1

