සත්ව අවිහිංසාවට මුවා වී ආණ්ඩුව යෝජිත සත්ව සුභසාධන පනත ගේන්නේ සිංහල බෞද්ධ මහා සංස්කෘතියට පහර ගහන්න...

සත්ව සුභසාධනය සැලසීම සහ සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීම අරමුණු කරගෙන වත්මන් ආණ්ඩුව විසින් පසුගිය මාසයේ (ජූලි 20) ගෙන එන ලද සත්ව සුභසාධන පනත් කෙටුම්පත බැලූ බැල්මට කරුණාව සහ මානව දයාවෙන් පිරුණු එකක් ලෙස පෙන්වනු ලැබුවත්, එහි යටි අරමුණ සිංහල බෞද්ධ සංස්කෘතියේ “අභිමානය” වූ “පෙරහැර මංගල්‍යයන්” සඳහා අලි ඇතුන් භාවිත කිරීම සහ පන්සල්වල හස්තීන් හදාවඩා ගැනීමේ ඓතිහාසික අයිතිය මුලිනුපුටා දැමීම බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහ මහතා සඳහන් කරයි.

Aug 5, 2026 - 15:07
 21
සත්ව අවිහිංසාවට මුවා වී ආණ්ඩුව   යෝජිත සත්ව සුභසාධන පනත ගේන්නේ   සිංහල බෞද්ධ මහා සංස්කෘතියට පහර ගහන්න...


සත්ව අවිහිංසාවට මුවා වී ආණ්ඩුව 

යෝජිත සත්ව සුභසාධන පනත ගේන්නේ 

සිංහල බෞද්ධ මහා සංස්කෘතියට

පහර ගහන්න...


වන අලිඇතුන්, වල් ඌරන්, මොනරුන් දඬු ලේන්නුන්, රිළවුන්

මරාගෙන කන්න 

උපදෙස් දෙන ආණ්ඩුවේ මහා සත්ත්ව කරුණාව පෙරහැරේ

අලියතුන්ට විතරද..?

සත්ව සුභසාධනය සැලසීම සහ සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීම අරමුණු කරගෙන වත්මන් ආණ්ඩුව විසින් පසුගිය මාසයේ (ජූලි 20) ගෙන එන ලද සත්ව සුභසාධන පනත් කෙටුම්පත බැලූ බැල්මට කරුණාව සහ මානව දයාවෙන් පිරුණු එකක් ලෙස පෙන්වනු ලැබුවත්, එහි යටි අරමුණ සිංහල බෞද්ධ සංස්කෘතියේ “අභිමානය” වූ “පෙරහැර මංගල්‍යයන්” සඳහා අලි ඇතුන් භාවිත කිරීම සහ පන්සල්වල හස්තීන් හදාවඩා ගැනීමේ ඓතිහාසික අයිතිය මුලිනුපුටා දැමීම බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහ මහතා සඳහන් කරයි.


අගෝස්තු 05 වනදා බත්තරමුල්ලේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය කාලය පුරා වත්මන් රජය අනුගමනය කළ දේශපාලන භාවිතාව දෙස බලන විට මෙය අහම්බයක් නොවන බවත්, පැහැදිලිවම සංවිධානාත්මකව බෞද්ධ සංස්කෘතියට පහර දීමේ ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් බවත්ය. මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේදී ජයමංගල ගාථා භාවිතය නතර කිරීම, බුද්ධ ශාසන අමාත්‍යාංශය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට විෂයයක් ලෙස පමණක් සීමා කිරීම, ත්‍රිකුණාමලය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ බුදුපිළිම වහන්සේ නඩු භාණ්ඩයක් ලෙස අත්අඩංගුවට ගෙන භික්ෂූන් වහන්සේලාට පහරදී සිරගත කිරීම වැනි සිදුවීම් මාලාවක් හරහා ආණ්ඩුවේ බෞද්ධ විරෝධී පිළිවෙත මනාව පැහැදිලි වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.


තවද, 'දිට්වා' කුණාටුවෙන් අවතැන් වූවන්ට ඉඩම් ලබා දීමට නොහැකි වී ඇත්තේ විහාර හා දේවාලගම් පනත යටතේ පැවැතෙන ඉඩම් නිසා බවට බුද්ධ ශාසන අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයද උපුටා දක්වමින් ජයසිංහ මහතා සඳහන් කළේ, රජය සතුව භාවිතයට නොගත් මුඩු ඉඩම් සහ වතු විශාල ප්‍රමාණයක් තිබියදී විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට උත්සාහ කරන්නේ බෞද්ධ සිද්ධස්ථානවලට ලැබෙන සොච්චම් ආදායම පවා නැති කරමින් ඒවායේ පැවැත්ම අසීරු කිරීමට බවයි. එමෙන්ම විදේශීය එම්.සී.සී. (MCC) ආර්ථික තීරුවට අවශ්‍ය ඉඩම් නිදහස් කරගැනීමේ යටි අරමුණක්ද මෙහි පිටුපස පවතින බවටද ඔහු චෝදනා කළේය.


නව සත්ව සුභසාධන පනතේ 4 වන වගන්තිය මගින් සතුන්ට කුරිරු ලෙස සැලකීම අර්ථකථනය කර ඇති ආකාරය දැඩි ලෙස විවේචනය කළ සුපුන් අනුරුද්ධ ජයසිංහ මහතා, එහි සඳහන් අධික ලෙස ඇවිදවීම, අධික ලෙස වැඩ කරවීම, දම්වැල් දැමීම, සහ ස්වභාවික හැකියාව ඉක්මවා යන ලෙස පුහුණු කිරීම තහනම් කිරීම වැනි කොන්දේසි නිසා ප්‍රායෝගිකව පෙරහැරක් පැවැත්වීමට හෝ පන්සලක අලියෙකු තබා ගැනීමට නොහැකි වන බව ප්‍රකාශ කළේය. මෙම 'අධික ලෙස' හෝ 'අනවශ්‍ය' යන වචන ප්‍රමාණාත්මකව මැනීමට ක්‍රමයක් නැති නිසා බලධාරීන්ට හිතුමනාපයට නීතිය නමා අලි ඇතුන් හිමියන්ට සහ පන්සල්වලට එරෙහිව නඩු පැවරීමේ “නීතිමය සිදුරු” මෙයින් නිර්මාණය වන බවද හෙතෙම පැහැදිලි කළේය.


ගොවීන්ගේ වගා පාළු කරන වනඅලීන්, රිලවුන්, දඬුලේනන් හෝ වල්ඌරන් මරා දැමීමට හෝ ඕනෑම දෙයක් කිරීමට ගොවියාට අයිතිය ඇති බවට කෘෂිකර්ම ඇමතිවරයා කියද්දී සහ සත්ව ප්‍රෝටීන් සඳහා සතුන් මරා ආහාරයට ගැනීමට අනුබල දෙන ප්‍රකාශ ආණ්ඩුවේ ඇතැම් බලධාරීන් කරමින් සිටිද්දී, පෙරහැරේ යන අලියා ගැන පමණක් අසාමාන්‍ය ලෙස මෙලෙස අනුකම්පාවක් පෙන්වීම සම්පූර්ණ කුහකත්වයක් බව ආචාර්ය සුපුන් ජයසිංහ මහතා අවධාරණය කළේය. බටහිර ඩොලර් මත යැපෙන, බෞද්ධ විරෝධී එන්.ජී.ඕ. සහ නිරාගමික කල්ලි සතුටු කිරීම සඳහා මහ පෝය ආසන්නයේ ගෙනෙන මෙම විනාශකාරී පනත වහා හකුලා ගන්නා ලෙසත්, සිංහල බෞද්ධ උරුමයට සහ බුද්ධ ශාසනයට අත තැබීමට ඉඩ නොදෙන ලෙසත් සමස්ත බෞද්ධ ජනතාවගෙන් ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහ මහතා ඉල්ලා සිටියේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ආචාර්ය 

සුපුන් අනුරුද්ධ ජයසිංහ මහතා කළ 

සම්පූර්ණ දේශනය මෙසේය.

ආයුබෝවන්, ඒ වගේම සුභ උදෑසනක් ඔබ සියලු දෙනාටම!

මම ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහ, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික. ඔබ දන්නවා පසුගිය ජූලි 20 වෙනිදා වර්තමාන මාලිමා රජය විසින් සත්ව සුභසාධනය සැලසීම සහ සත්වයන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීම අරමුණු කරගෙන යැයි පවසමින් එක්තරා සත්ව සුභසාධන පනතක් ගෙන ආවා. ඒ පනත බැලූ බැල්මට ඉතාම සුන්දර, ලස්සන, කරුණාව පිරිච්ච, ඒ වගේම මානව දයාව ඉතිරිච්ච පනතක් වගේ පෙනුනට, ඉතාම ගැඹුරින් සහ සමීපව විශ්ලේෂණය කරනකොට අපිට පෙනෙන්න තියෙනවා, මෙහි ප්‍රධාන අරමුණ අපේ ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතියේ එන පෙරහැර මංගල්‍යයන් සඳහා අලි ඇතුන් භාවිත කිරීම සහ පන්සල්වල හස්තීන් හදාවඩා ගැනීමේ ඉලක්ක කරගෙන, එය කඩාකප්පල් කිරීම අරමුණු කරගෙන බව.

අපි මේ චෝදනාව කරන්නේ නිකන් නෙමෙයි. අපි මේ චෝදනාව කරන්නේ හොඳින් හොයා බලලා, මේ ආණ්ඩුවේ පසුගිය වසර දෙකක දේශපාලන භාවිතාව ගැන ඉතාම සමීප, ගැඹුරු විමර්ශනයක් කරලයි. එහෙම විමසනකොට අපිට යම් රටාවක් පෙනෙන්න තියෙනවා. ඔබට මතක ඇති, වර්තමාන මාලිමා රජය බලයට ආපු ගමන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දෙනකොට අතීතයේ සෑම ආණ්ඩුවක්ම සිදු කරපු ඒ ජයමංගල ගාථා සජ්ඣායනය පවා "වියදම් යනවා" යැයි කියමින් නවත්වනවා. ඊට පස්සේ බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරනවා. "දැන් මේ රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශයක් නැහැ, තියෙන්නේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයක් විතරයි" කියලා ඒ විෂයභාර අමාත්‍යවරයා ඇවිත් එළියේ ඉතාම නිර්ලජ්ජිතව ප්‍රකාශ කරනවා.

ඊට පස්සේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට ත්‍රිකුණාමලය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ බුදුපිළිම වහන්සේ නමක් නඩු භාණ්ඩයක් හැටියට අත්අඩංගුවට ගන්නවා. පොලිසිය යොදවලා එතන හිටපු භික්ෂූන් වහන්සේලාට ඉතාම ම්ලේච්ඡ ලෙස මුතුකුඩයක් පවා කඩමින් පහර දීලා උන්වහන්සේලාව සිරගත කරනවා. දැන් ඊයේ අපි දකිනවා බුද්ධ ශාසන අමාත්‍යවරයා වන සුනිල් සෙනෙවි කියනවා "දිට්වා" කුණාටුවෙන් ගෙවල් සහ ඉඩම් අහිමි වෙච්ච අයට ඉඩම් දෙන්න බැහැ කියලා. "මේ රටේ ඉඩම් නැහැ, මොකද ඒ බහුතරයක් ඉඩම් විහාර හා දේවාලගම් පනතට අයිති ඉඩම්" කියලා එතුමා කියනවා. විහාර හා දේවාලවලට අක්කර දහ දහස් ගණන් ඉඩම් අයිතියි. ඒවා නිදහස් කරගන්න පුළුවන් නම් විතරක් දිට්වා කුණාටුවෙන් ගෙවල් සහ ඉඩම් අහිමි වෙච්ච අයට ඉඩම් දෙන්න පුළුවන් ලු.

එතකොට මේ එන්නේ මොකටද කියලා අපිට පැහැදිලිව පෙනෙනවා. මේ එන්නේ පැහැදිලිවම මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන්නයි. ඇත්තටම මෙහි ඉඩම් නැති ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් රජයේ වතු, කිසිම ප්‍රයෝජනවත් භාවිතයක් නැතුව ඕන තරම් තියෙනවා. රජයේ මුඩු ඉඩම්, උතුරු නැගෙනහිර ඉඩම් ඕන තරම් තියෙනවා. ඒ ඉඩම් වලින් මගින් අවශ්‍ය නම් කුණාටුව නිසා යම්කිසි විදිහකට ඉඩම් සහ ගෙවල් අහිමි වෙච්ච අයට ඉඩම් ලබා දෙන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව මේ විහාර හා දේවාලගම් පනත සංශෝධනය කරන්න බල කරනවා.

අනිත් එක, මෙතන ඔබ මතක තබා ගත යුතු කරුණක් තමයි ඒ විහාර හා දේවාලගම් පනත යටතේ එන ඉඩම් බහුතරයක් හිස් ඉඩම් නෙමෙයි. ඒවයේ දැනටමත් මිනිස්සු ජීවත් වෙනවා. ඒ මිනිස්සු යම් මුදලක් ඒ විහාර සහ දේවාල වලට ගෙවනවා. සමහර ඒවයේ ඉන්නේ බෞද්ධ ජනතාව නෙමෙයි, අන්‍යාගමික ජනතාව. ඒ නිසා මේ හදන්නේ ඒ ඉඩම් වලින් ලැබෙන සොච්චම් ආදායම හරි විහාර හා දේවාල වලට නැති කරලා, බෞද්ධ සිද්ධස්ථාන පවත්වාගෙන යාම අසීරු කටයුත්තක් කරලා, මේ මහා සංස්කෘතිය බිඳ දැමීමේ ජාවාරමක නිරත වෙන්නයි.

ඊට පස්සේ අපි දැක්කා වර්තමාන ජනාධිපතිවරයා "අනුරාධපුරයෙන් එහාටයි මේ රටේ බෞද්ධයෝ ඉන්නේ, සිල් ගන්න එන්නේ ඇයි, ඒ එන්නේ වෛරය වපුරන්නද" කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. මේ සියලු හැසිරීම් ඉතාම සමීපව අධ්‍යයනය කරලයි අපි නිගමනයකට එන්නේ මේක බෞද්ධ විරෝධී ආණ්ඩුවක්, බෞද්ධ විරෝධී රජයක් කියලා.

ඒ විතරක් නෙමෙයි, වර්තමාන ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන පුද්ගලයන්ගේ පෞද්ගලික ආකල්ප සහ ප්‍රකාශ දෙස බැලුවාමත් ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ආණ්ඩුවේ පළමු පුටුවේ ඉන්නේ පිරිත් නූලක් බැඳගෙන විනාඩි පහක් ඉන්න බැරි කෙනෙක්. දෙවෙනි පුටුවේ ඉන්නේ මේක "අනාගමික රාජ්‍යයක්" කරන්න ඕනේ කියලා යෝජනා කරන කෙනෙක්. ඒ වගේම මෙහි ඉන්නවා "පිළිම වන්දනාව ගෝත්‍රිකයි, ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නෙමෙයි" කියලා කියපු සභානායකවරයෙක්. "බුදුන් වහන්සේ කොස් ගහකට පිට දුන්නා නම් අපිට කොස් ගෙඩියක්වත් කන්න හම්බෙන්නේ නැහැ" කියලා කියපු ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක්. මෙකී නොකී විවිධාකාරයෙන් තමන්ගේ හිත ඇතුලේ පැසවන බුදු දහමට එරෙහි වෛරය එළියට දාන ප්‍රකාශ කරන බහුතර පිරිසකින් සමන්විත වෙච්ච ආණ්ඩුවක් තමයි මේ ආණ්ඩුව.

අන්න ඒ පසුබිම මත ඉඳගෙන තමයි අපි බලන්න ඕනේ මේ ඊනියා සත්ව සුභසාධන පනත මොකක්ද කියලා. ඒ නිසා ඉතාම කෙටියෙන් මම ඔබට විග්‍රහ කරන්නම්, මේ පනතෙන් කොහොමද ඉතාම සූක්ෂම ලෙස මම අර පෙර කිව්ව බෞද්ධ විරෝධී අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගන්නේ කියලා.

මේ පනත කියවා බලනකොට, පෙරහැරවලට අලි ඇතුන් භාවිත කිරීමට සහ පන්සල්වල අලි ඇතුන් හදාවඩා ගැනීමට එරෙහිව ප්‍රබලම බලපෑම එල්ල කරන ප්‍රධානම වගන්තිය වෙන්නේ 4 වන වගන්තියයි. මොකද ඒ වගන්තිය තමයි "සතුන්ට කෲර ලෙස සැලකීම" කියන දේ නිර්වචනය කරන්නේ. ඒ වගන්තියට අනුව:

* සත්වයෙකු ලවා අධික ලෙස වැඩ කරවීම,
* අධික ලෙස ඇවිදවීම,
* අධික බර පැටවීම,
* අනවශ්‍ය වේදනාවක් ඇතිවෙන ආකාරයට ප්‍රවාහනය කිරීම,
* කෙටි හෝ බර දම්වැල් වලින් බැඳ තැබීම,

ආදිය කෲර සැලකීම් හැටියට හඳුන්වනවා.

එතකොට දැන් මේ පනත ගෙන ආවාම මොකක්ද වෙන්නේ? පැහැදිලිවම මින් පසු කවදාවත් ප්‍රායෝගිකව මේ මහ පොළොව මත බෞද්ධ පෙරහැරක් පවත්වන්න හෝ පන්සලක කිසිදු ලෙසකින් අලියෙක් හෝ ඇතෙක් හදාවඩා ගන්න බැරි තත්ත්වයක් ප්‍රායෝගිකව උද්ගත වෙනවා. මොකද මේ අලි ඇතුන් පෙරහැරට අරන් එන්නේ ප්ලේන් එකේ නෙමෙයි, උන් එන්නේ පාගමනින්. බොහෝ වෙලාවට ඈත එපිට පිටිසරබද පළාත්වල ඉඳලා දූර කතර ගෙවාගෙන දවස් ගණන් පයින් එන්නේ. අනිත් එක මේ අලි ඇතුන් කියන්නේ බල්ලෝ, පූසෝ වගේ අතින් පයින් පාලනය කරන්න පුළුවන් සත්තු නෙමෙයි. ඒ නිසා ඝනකම් යකඩ දම්වැල් දාලා උන්ව පාලනය කරන්න වෙනවා. නමුත් ඔබට වැටහෙනවා ඇති, දැන් මේ පනත නිසා පැහැදිලිවම ඒ සියලු අතීත සම්ප්‍රදායන්ට නීතිමය වශයෙන් වැට බැඳෙනවා. ඒ සියලු ප්‍රායෝගික අවශ්‍යතාවන්ට මේ පනත නීතිමය බාධාවක් බවට පත් වෙනවා.

එනිසා මාස හයෙන් හයට මධ්‍යම කඳුකරය ගංවතුරට යටවෙන එක ගැන අහන්න දෙයක් නෑ. ඒ ගැන අහන්න දෙයක් නෑ. සොබාදහම උහුලන්නේ නෑ මේ සම්බුද්ධ ශාසනයට කරන අපරාධ වලට. වස් වදිනවා මේ මේ ආණ්ඩුවට. මේ රජය මේ කරන කෙනෙහිලිකම් නවත්තන්න මැදිහත් වෙන්න කියලා මං සිංහල බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ කරන අදමිටුකම් සම්බන්ධයෙන් නිහඬව නොසිට කරුණාකරල අවදිවන්න එක්රොක් වන්නට කියලා මම ඉල්ලා සිටිනවා.

ඒ වගේම ඔබ දන්නවා, පෙරහැරක අලියෙකු ගෙනියන්න උන්ට විශේෂ පුහුණුවක් ලබා දිය යුතුයි. විශේෂ පුහුණුවක් ලබා නොදී පෙරහැරක ගෙනියන්න බැහැ. නමුත් මේ පනතේ ඉතාම පැහැදිලිව කියනවා "සත්වයාගේ ස්වභාවික හැකියාව ඉක්මවා යන ලෙස පුහුණු කිරීම තහනම්" කියලා. එතකොට කොහොමද උන්ව පෙරහැරේ ගෙනියන්නේ? පුහුණු කරන්නේ නැතුව අලි ඇතුන් ගෙනියන්නේ කොහොමද?

ඒ වගේම ඔබ දන්නවා මේ ලංකාවේ දැනට ඉන්නේ හීලා අලි ඇතුන් 97 දෙනයි. දැනටමත් නීතිමය වශයෙන් බාධක තියෙනවා කැලේ ඉන්න අලි ඇතුන් අල්ලාගෙන හීලා කරන්න. ඒ නිසා ඒ ප්‍රමාණය 97 දෙනාට සීමා වෙලා තියෙනවා. ඒක තවත් අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට වයස්ගත අලි ඇතුන් පාවිච්චි කරන්න වෙනවා මේ පෙරහැර මංගල්‍යයන්ට. ඒ වයස්ගත අලි ඇතුන් ප්‍රවාහනය කරන්න සිද්ධ වෙනවා, මොකද උන්ට දුර කතර ගෙවාගෙන ඇවිදගෙන එන්න බැරි නිසා. නමුත් මේ පනතට අනුව "සත්වයාට දරාගත හැකි ප්‍රමාණයේ ගමන් කාලයකට වඩා යාම තහනම්" කියලා පැහැදිලිව කියනවා.

එතකොට ඔබට පෙනෙනවා, ඉතාම සූක්ෂම ලෙස මේ පනත ගෙනැල්ලා තියෙන්නේ පෙරහැරේ යන අලි ඇතුන් ඉලක්ක කරගෙන බව. වඩාත්ම භයානක කරුණ තමයි, මේ සියලු නිර්වචන ඉතාම අවිනිශ්චිත ආකාරයෙන් අර්ථකථනය කර තිබීමයි. උදාහරණයක් වශයෙන්; අධික ලෙස වැඩ කරවීම, අධික ලෙස ඇවිදවීම, අනවශ්‍ය වේදනාව, අනවශ්‍ය පීඩාව, ස්වභාවික හැකියාව ඉක්මවා යන ලෙස පුහුණු කිරීම, සත්වයාට දරාගත හැකි ප්‍රමාණයේ ගමන් කාලය... මේ දේවල් කොහොමද ප්‍රමාණාත්මකව ගණනය කරන්නේ? මේවා කොහොමද මනින්නේ? මෙවැනි දියාරු පනත් හැදුවාම වෙන්නේ බලධාරීන්ට අවස්ථාව ලැබෙනවා තමන් හිතන හිතන විදිහට පනත අර්ථකථනය කරන්න. එහෙම කරලා ඉතාම සාධාරණ ලෙස, අවිහිංසාවාදී ලෙස සතුන්ට සලකන පුද්ගලයන්ට සහ ආයතන වලට පවා නඩු පවරන්න මේ හරහා ඉඩකඩ සැලසෙනවා.

තවද, මේ පනතින් තහනම් කරන ප්‍රධාන දෙයක් තමයි සතුන් දිගු කාලයක් සිටුවා තැබීම. අපි දන්නවා අලි ඇතුන් ජීවිතයේ වැඩිපුරම කාලයක්, දවසේ වැඩි කාලයක් කරන්නේ හිටගෙන ඉන්න එක. දැන් මේ පනතට අනුව අපිට සිද්ධ වෙනවා අලි ඇතුන්ට හිටගෙන ඉන්න බැරි හින්දා බංකුවක් ගෙනැල්ලා වාඩි කරවලා තියන්න.

ඊළඟට, සාමාන්‍යයෙන් අලියෙක් හෝ ඇතෙක් තමන්ගේ වයස සහ බර ප්‍රමාණය අනුව දවසකට කිලෝ 150ක් - 300ක් විතර ආහාර අනුභව කරනවා. ඒ වගේම දවසට කිලෝමීටර් 50ක් විතර කෑම සහ වතුර හොයාගෙන ඇවිදිනවා. වියළි කාලයට කිලෝමීටර් 100 - 150 දක්වා ඇවිදිනවා. එහෙම ඇවිදලා තමයි උන් ගන්නා අධික ආහාර ප්‍රමාණය සහ කැලරි ප්‍රමාණය දහනය කරන්නේ. එතකොට දැන් මේ පනතට අනුව අලි ඇතුන් අධික ලෙස ඇවිදවන්න බැහැ. එතකොට අනාගතයේ අලි ඇතුන් අධිස්ථූලතාවයට (මද සරු බවට/ලෙඩ රෝග වලට) ලක්වෙන තත්ත්වයක් උද්ගත වෙනවා.

දැන් අනිත් දේ බලන්න; මේ පනත ගේන වෙලාව බලන්න. මේ රටේ ආර්ථිකය ඔබේ මගේ ඇස් පනාපිට කඩා වැටෙන මොහොතක, හිරගෙවල් පිරි ඉතිරී ගිහින් හිරගෙවල් ඇතුලේ රැඳවියන් බලධාරීන් එක්ක මරාගන්න මොහොතක, දෙවුන්දර පෙරහැරේ නටන්න ඕනේ කවුද, එන්න ඕනේ කවුද කියලා පාතාල නායකයන් නියෝග දෙන තරමට ජාතික ආරක්ෂාව පිරිහුණු මොහොතක, අනිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලට ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා විරුද්ධ වෙන වකවානුවක තමයි මේ ඇසළ පෙරහැර පෙනි පෙනී, ඇසළ පෙරහැර කටේ තියාගෙන මේ පනත ගේන්නේ.

තව පැත්තකින්, එම්.සී.සී. (MCC) ගිවිසුම එක්ක බැඳිච්ච ක්‍රියාකාරකමක් මෙතන තියෙනවා. විශේෂයෙන්ම ඕන කරන ආර්ථික තීරුව වැටෙන ප්‍රදේශයේ ඉඩකඩම් බහුතරයක් තියෙන්නේ මේ විහාර හා දේවාලගම් පනත යටතේ. ඒවා සිද්ධස්ථාන වලට අයිතිව තියෙන තාක් ඒ ආර්ථික තීරුව හදාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. එතකොට එම්.සී.සී. ගිවිසුම දැන් මොවුන් ක්‍රියාත්මක කරන්නේ පුංචි පුංචි ව්‍යාපෘති හැටියටයි. ඒකට විහාර හා දේවාලගම් පනත ගැටලුවක් වෙලා තියෙනවා.

කවුරුහරි හිතනවා නම් මේ වර්තමාන මාලිමා ආණ්ඩුවේ තියෙන සත්ව කරුණාව හරි අවිහිංසාවාදය හින්දා මේක ගේනවා කියලා, එහෙම එකක් නැහැ. මොකද ඔබ මතක තියාගන්න, "තමන්ගේ වගාවට හානි කරන සත්තුන්ට ඕන දෙයක් කරන්න ගොවියාට අයිතිය තියෙනවා" කියන කෘෂිකර්ම ඇමති කෙනෙක් ඉන්න ආණ්ඩුවක් මේක. වගා පාළු කරන සත්තු කවුද? වනඅලියා, රිලවා, දඬුලේනා, මොනරා, වල්ඌරා. එතකොට මේ ඕනෑම සතෙක් තමන්ගේ වත්තට පැනලා වගා පාළු කළොත් ගොවියාට කැමති දෙයක් කරගන්න පුළුවන් ලු. ඒ කියන්නේ වෙඩි තියලා මරන්න කියන එක නෙවෙයිද? කෝ එතකොට සත්ව අවිහිංසාව? කෝ සත්ව සුභසාධනය?

එතකොට කැලේ ඉන්න අලියා වගාවට ආවොත් වෙඩි තිබ්බට, හකපටස් දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පෙරහැරේ යන අලියා ගැන තමයි මෙතන දුක. පෙනෙනවාද මේක කොතැනටද සම්බන්ධ වෙන්නේ කියලා? ඒ වගේම මේ රජයේ ඉන්න මහාචාර්යවරයෙක් කියන මන්ත්‍රීවරයෙක් මෑතකදී කියනවා "බ්‍රොයිලර් කුකුළන් ගෙන්නන එක අඩු කළොත් ඒක මේ රටේ මොනරුන්ගේ, දඬුලේනුන්ගේ සහ රිලවුන්ගේ ගහනයට විසඳුමක් වේවි" කියලා. මොකක්ද ඒ කියන්නේ? "මිනිස්සුන්ට පුළුවන් නම් බ්‍රොයිලර් කුකුළු මස් කන එක නවත්තලා මොනරු, වල්ඌරෝ, දඬුලේන්නු, රිලව් මරාගෙන කන්න" කියන එක නෙවෙයිද? මෙගොල්ලන්ගෙන්ද ඔබ තමුන්නාන්සේලා සත්ව අවිහිංසාව සහ සත්ව සුභසාධනය බලාපොරොත්තු වෙන්නේ?

මේගොල්ලන්ට සතුන් සම්බන්ධයෙන් එහෙම විශේෂ කැක්කුමක් නැහැ. එහෙනම් ඇයි මේක ගේන්නේ? මේක ගේන්නේ පැහැදිලිවම මොවුන්ගේ තියෙන බෞද්ධ විරෝධය නිසයි. මේ ආණ්ඩුව පිටුපස්සේ ඉන්නේ, මේ ආණ්ඩුව බලයට ගෙනාවේ, ඇතුලතින් සහ පිටතින් මෙහෙයවන්නේ බෞද්ධ විරෝධී කල්ලිය, නිරාගමික කල්ලිය සහ එන්.ජී.ඕ. (NGO) කල්ලියයි. ඒ බටහිරින් ලැබෙන ඩොලර් වලින් පෝෂණය වෙච්ච බෞද්ධ විරෝධී කල්ලිය සතුටු කරන්න තමයි මේ ඇසළ පෙරහැර පෙනෙන තෙක්මානයේ මේ පනත ගේන්නේ.

මේ එන්.ජී.ඕ. කල්ලිවලට ඩොලර් පොම්ප කරන බටහිර රටවල සංස්කෘතික අංගවලට අලින්ව භාවිත කරන්නේ නැහැ. ඒ නිසා උන්ට අලියෙක්ගෙන් වැඩක් ගන්නවා දැක්කාම අමුතු කැක්කුමක් එනවා. නමුත් උන්ට මතක නැහැ ඒගොල්ලන්ගේ රටවල අශ්වයන් ගැන. බකිංහැම් මාළිගාව ඉස්සරහා ගිම්හාන ඉර අව්වේ සහ ශීත සෘතුවේ හිම ගොඩවල් උඩ, යකඩ ලාඩම් කුර වලට ගහලා, කිලෝ 100-150 බර සොල්දාදුවෙක් කරේ තියාගෙන පැයෙන් පැය නිසොල්මන්ව ඉන්න අශ්වයන්ව උන්ට පෙනෙන්නේ නැහැ. එතන සත්ව සුභසාධනයක් නෑ.

අවසාන වශයෙන් මම ඉතාම කරුණාවෙන් ඉල්ලනවා; සත්තු ගැන හොයා බලන්න, ඒක හොඳයි. අපි කොහොමත් සත්තු ගැන හිතන ජාතියක්. බුදු දහමෙන් පෝෂණය වුණු සංස්කෘතිය තුළ අපි හැමෝම දිහා බලන්නේ අවිහිංසාවාදීව. හැබැයි බොරු සංදර්ශන දාන්න එපා. සත්ව සුභසාධනයට මුවා වෙලා මේ රටේ මහා සංස්කෘතියට, බුද්ධ ශාසනයට ගහන්න එපා. සංස්කෘතික අංග කඩාකප්පල් කරන පනත් ගේන්න එපා.

කැලේ අලි රංචු පිටින් මැරෙනවා, ඒ ගැන හොයන්න රජයක් නැහැ. වනඅලියා වගාවට ආවොත් ඕනෑම තීන්දුවක් ගන්න ගොවියාට පුළුවන් කියනවා. කැලේ අලියාට නැති කැක්කුමක් පෙරහැරේ යන අලියා ගැන මුන් පෙන්වන්නේ කිඹුල් කඳුළු හෙලමින්. මේ පනත පෙරහැරට අලි ඇතුන් භාවිත කිරීමත්, පන්සල්වල අලි ඇතුන් හදාවඩා ගැනීමත් වැළැක්වීමටම හදපු එකක්.

මේ රටේ මහා ජාතියට, මහා සංස්කෘතියට, ඓතිහාසික උරුමයට කෙනෙහිලිකම් කරන්න එපා. බුද්ධ ශාසනයට අත තියන්න එපා, පෙරහැරට, පන්සලට අත තියන්න එපා! එහෙම අත තිබ්බොත් මේ රටේ නැවත දේශපාලනය කරන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0