පැමිණිල්ලේ සාක්ෂි විත්තියට වාසිදායකයිද..!
ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි කම්පනයකට ලක් කළ ආන්දෝලනාත්මක බාල ප්‍රතිදේහ එන්නත් ජාවාරම සම්බන්ධ නඩු විභාගයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) තාක්ෂණික අඩුපාඩු හා අදාළ නිෂ්පාදනාගාරයේ සැකකටයුතු ක්‍රියාකලාපය පිළිබඳව අතිශය තීරණාත්මක තොරතුරු රැසක් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අනාවරණය විය.
පැමිණිල්ලේ සාක්ෂි
විත්තියට වාසිදායකයිද..!
"අයිසොලෙස්" කම්හලේ එන්නත්
හැදූ බවට ලේඛනයක්වත් නෑ:
විදුලිය නැතිව දුරකථන එළියෙන් පරීක්ෂා කළ හැටි
NMRA ඖෂධ විශ්ලේෂකවරියක අධිකරණයට හෙළි කරයි!
ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි කම්පනයකට ලක් කළ ආන්දෝලනාත්මක බාල ප්‍රතිදේහ එන්නත් ජාවාරම සම්බන්ධ නඩු විභාගයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) තාක්ෂණික අඩුපාඩු හා අදාළ නිෂ්පාදනාගාරයේ සැකකටයුතු ක්‍රියාකලාපය පිළිබඳව අතිශය තීරණාත්මක තොරතුරු රැසක් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අනාවරණය විය.
ප්‍රමිතියෙන් තොර, ව්‍යාජ ලෙස සකස් කළ ‘හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්’ (Human Immunoglobulin) ඖෂධය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා රුපියල් කෝටි 14 කට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීම ඇතුළු අධිචෝදනා 14ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති මෙම නඩුව, ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පසුගිය 19 වනදාත් විභාගයට ගැනිණි.
NMRA හි හිටපු වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය මෙන්ම ඖෂධ විශ්ලේෂකවරියක වන දෝන දීපිකා බුලත්සිංහල මහත්මිය විත්තියේ නීතිඥවරුන්ගේ දීර්ඝ හා උණුසුම් හරස් ප්‍රශ්න කිරීම්වලට ලක් වූවාය.
දුරකථන එළියෙන් කළ අඳුරු
පරීක්ෂාව සහ අතුරුදන් වූ සාක්ෂි
නඩුවේ පළමු විත්තිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය. අදාළ ඖෂධය නිපදවූ බව කියන සීදුවේ පිහිටි ‘අයිසොලෙස් බයෝටෙක් ෆාමා’ (Isolez Biotech Pharma) ආයතනය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව එහිදී දැඩි අවධානයක් යොමු විය.
නීතිඥ හරේන්ද්‍ර බානගල: "අයිසොලෙස් බයෝ ෆාමා ආයතනය පරීක්ෂාවට කී වතාවක් ගියාද?"
සාක්ෂිකාරිය: "අවස්ථා තුනකදී ස්වාමීනී. ඒ අවස්ථා තුනේදිම වාර්තා සකස් කළා."
නීතිඥ: "පළමු අවස්ථාවේ 2023 ඔක්තෝබර් මාසයේ ගියා කිව්වොත් හරිද?"
සාක්ෂිකාරිය: "ඔව් ස්වාමීනී. මාළිගාකන්ද අධිකරණ නියෝග මත ගියේ. පළමු දිනට මම සහභාගි වුණේ නැහැ. දෙවන දිනයට සහභාගි වුණා."
නීතිඥ: "මොනවා ගැන වාර්තාවක් හදන්නද ඔබට උපදෙස් ලැබුණේ? කම්හලේ ශක්‍යතාව බලන්නද?"
සාක්ෂිකාරිය: "නැහැ ස්වාමීනී, හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය එම කම්හල තුළ හදලා තිබුණාද කියන එකට සාක්ෂි ඉදිරිපත් කරන්නයි උපදෙස් ලැබුණේ."
එම පරිශ්‍රයට ඇතුළු වූ අවස්ථාවේ පැවති තත්ත්වය විස්තර කරමින් සාක්ෂිකාරිය පැවසුවේ පරිශ්‍රය වසා දමා තිබූ බවත්, විදුලිය විසන්ධි කර තිබූ බවත්ය.
සාක්ෂිකාරිය: "අපි දොරවල් ඇරගෙන ඇතුළට ගියේ. විදුලිය නැති නිසා ජංගම දුරකථනවල ටෝච් එළිය දල්වාගෙනයි පරීක්ෂා කළේ. නිෂ්පාදනාගාරය තුළින් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නිපදවූ බවට කිසිදු සාක්ෂියක්, ලේඛනයක්, සාම්පලයක් හෝ අමුද්‍රව්‍යයක් හමුවුණේ නැහැ."
නීතිඥ: "සියලු තැන් බලන්න ප්‍රමාණවත් ආලෝකයක් තිබුණද? අඳුරු තැනක් ෆෝන් එළියෙන් විතරක් බලපු එක ප්‍රමාණවත්ද?"
සාක්ෂිකාරිය: "ඒ වෙනකොට අපි පූර්ණ පරීක්ෂාවකට වෙන දිනයක් දාගෙන හිටියා."
පසුව 2024 ජනවාරි 22 වන දින අධිකරණ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), පොලිස් නිල සුනඛ හා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) සහ NMRA කණ්ඩායමක් සමඟ පූර්ණ පරීක්ෂාවකට ගිය බව ඇය සඳහන් කළාය. එහිදී ප්‍රමාණවත් ආලෝකය සහිතව නිෂ්පාදනාගාරයේ අංශ 17ක් දැඩි පරීක්ෂාවට ලක් කළද නිෂ්පාදනයක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් නොලැබුණු බව ඇය අවධාරණය කළාය.
එහිදී තත්ත්ව ආරක්ෂණ රසායනාගාරයේ තිබී ලේබල් නොමැති සැකකටයුතු කුප්පි 5ක් හමුවීම සම්බන්ධයෙන් නීතිඥවරයා ප්‍රශ්න කළේය.
නීතිඥ: "ඒ කුප්පි 5 ඔබේ රසායනාගාරයට යැව්වද?"
සාක්ෂිකාරිය: "ඒවා තුළ ඇත්තේ මොනවාදැයි දන්නේ නැහැ. එහි ලෙඩ රෝග හදන ආසාදිත බැක්ටීරියා තිබෙන්න පුළුවන්. නොදන්නා ද්‍රව්‍ය අපේ විද්‍යාගාරයේ සාමාන්‍ය ක්‍රමයට පරීක්ෂා කරන්න බැහැ. එසේ කිරීම අනතුරුදායකයි. ඒ නිසා ඒවා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් භාරයට පත් කළා."
නීතිඥ: "යන්ත්‍ර සූත්‍ර තිබුණා නේද? ඒවා පරීක්ෂා කළේ නැද්ද?"
සාක්ෂිකාරිය: "අපි ගියේ නිෂ්පාදකයා ඖෂධ හදන ක්‍රමය හෝ යන්ත්‍ර බලන්න නෙවෙයි. මේ කම්හල ඇතුළේ ඖෂධය සැබවින්ම හැදුවාද කියලා බලන්නයි."
විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර සතු බරපතළ පරිපාලන සහ තාක්ෂණික ගැටලු රැසක්ද අනාවරණය විය.
ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරය සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයෙන් ලබාගත යුතු තත්ත්ව සහතිකය පවා නොමැති බව නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා මතු කළේය. ඊට පිළිතුරු දුන් සාක්ෂිකාරිය, 2019 දී ඒ සඳහා අයදුම් කළද කොවිඩ් වසංගත තත්ත්වය සහ පසුව ඇති වූ තාක්ෂණික නිලධාරීන්ගේ දැඩි හිඟය හේතුවෙන් ප්‍රතීතන ක්‍රියාවලිය සම්පූර්ණ කරගත නොහැකි වූ බව පිළිගත්තාය.
දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරමින්, ජෛව විද්‍යාත්මක නිෂ්පාදන (Biological products) පරීක්ෂා කිරීමට NMRA සතු හැකියාව ප්‍රශ්න කළේය. 2V 44 සහ 2V 53 යන ලේඛන පෙන්වමින් ඔහු කළ විමසීමේදී සාක්ෂිකාරිය ඉතා වැදගත් ප්‍රකාශයක් කළාය.
නීතිඥ අසේල සේරසිංහ: "හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටක්සිමැබ් පරීක්ෂා කරන්න NMRA රසායනාගාරයට පහසුකම් තියෙනවද?"
සාක්ෂිකාරිය: "නැහැ ස්වාමීනී. මේවා ජෛව විද්‍යාත්මක නිෂ්පාදන (Biological products). හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්වල තිබිය යුතු IgG සංඝටකය හෝ පිළිකා නාශක ඖෂධයක් වන රිටක්සිමැබ් (Rituximab) වල අඩංගු මොනොක්ලෝනල් ඇන්ටිබොඩි (Monoclonal antibody) පරීක්ෂා කිරීමට අවශ්‍ය උපකරණ හෝ පහසුකම් අපේ රසායනාගාරයේ නැහැ. අපට කරන්න පුළුවන් වුණේ ශුද්‍ර ජීවී (Microbiological) පරීක්ෂාව පමණයි."
එමෙන්ම ඖෂධ භාවිතයේදී රෝගීන්ට ඇතිවන අහිතකර ප්‍රතික්‍රියා (Adverse Drug Reactions) සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු මතු විය. එවැනි සංකූලතා ලියාපදිංචි කළ නිසි ඖෂධවලින්ද සිදුවිය හැකි බව පිළිගත් සාක්ෂිකාරිය, නිෂ්පාදන දෝෂ, නුසුදුසු උෂ්ණත්වවල ගබඩා කිරීම හෝ ප්‍රවාහනයේදී සිදුවන හානි නිසා එවැනි ගැටලු මතුවන බව පැවසුවාය.
මීට පෙර 'කො-ඇමොක්සික්ලාව්' එන්නතෙන් මරණ සිදුවූ බවත්, 'ප්‍රෙඩ්නිසිලෝන්' ඇස් බෙහෙත් බිංදු මඟින් රෝගීන්ගේ ඇස් අන්ධ වූ සිදුවීම් වාර්තා වූ බවත් ඇය සඳහන් කළාය. එවැනි අවස්ථාවකදී ක්ෂණිකව බෙහෙත් ඉවත් කර නොගන්නා බවත්, NMRA හි විශේෂඥ කමිටුවක් රැස්වී තීරණ ගන්නා බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් කියා සිටියාය.
තුන්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතාද සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසූ අතර, වැඩිදුර සාක්ෂි විභාගය 20 වන දිනටත් නියමිත විය.
19 වනදා සම්පූර්ණ නඩු වාර්තාව
ප්‍රමිතියෙන් තොර, ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී රුපියල් කෝටි 14 කට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී පසුගිය 19 වනදාත් විභාගයට ගැනිණි. ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පැවැති මෙම නඩු විභාගයේදී සාක්‍ෂි සඳහා එදිනට කැඳවා තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ඖෂධ විශ්ලේෂක වරියක වන දෝන දීපිකා බුලත්සිංහල විත්තියේ නීතීඥයින්ගේ හරස් ප්‍රශ්න වලට මුහුණ දෙමින් සාක්ෂි ලබා දුන්නාය.
එහිදී මෙම නඩුවේ පළමුවෙනි පළමුවෙනිකරු සුදත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ හරේන්ද්‍ර බානගල මහතා මුලින්ම සාක්ෂි විභාගය ඇරඹූ අතර එතුමන්ගේ සාක්ෂි විභාගය ඉතා දීර්ඝ උණුසුම් හා සංවාදශීලී මුහුණුවරක් ගත්තේය.. පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගලගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මෙසේ කීවාය.
නීතිඥ ; අයිසොලෙස් බයෝ ෆාමා ආයතනය පරීක්ෂාවට කී වතාවක් ගියාද
සාක්ෂිකාරිය ; අවස්ථා තුනකදී
නීතිඥ ; අවස්ථා කීයකදී වාර්තා සැකසුවාද?
සාක්ෂිකාරිය ; තුනේදීම ස්වාමීනී...
නීතිඥ ; ගියපු දින වකවානු මතකද?
සාක්ෂිකාරිය ; නැහැ...
නීතිඥ ; පළමු අවස්ථාවේ 2023 ඔක්තෝම්බරයේ ගියා කිව්වොත් හරිද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නීතිඥ ; (මාළිගා කන්ද මහේස්ත්‍රාත් නියෝග මත එහි ගොස් සැකසූ වාර්තාව පෙන්වයි) මෙම වාර්තාව ඔබ සැකසූ එකක්ද?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; එහි සඳහන් වෙනවා පළමු පරීක්ෂණ දිනය වශයෙන්..?
සාක්ෂිකාරිය ; එම දිනයට මම සහභාගි වුණේ නැහැ. මම සහභාගී වුනේ දෙවන දිනයේ.
නීතිඥ ; 10/25 දින සහභාගි වුණාට පසු තවත් දින දෙකක් සහභාගි වුණාද?
සාක්ෂිකාරිය ; දෙවැනි දිනයේ ගියාම පරීක්ෂා කරන්න ලැබුණේ නැහැ. විදුලි බලය නැති නිසා.
නීතිඥ ; මේ වාර්තාව සැකසූ දිනයේ විදුලිය තිබුණද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී...
නීතිඥ ; කවුද ඒ පරීක්ෂාවට ගියේ?
සාක්ෂිකාරිය ; ඖෂධ හා ආහාර පරීක්ෂකවරු දෙකයි. ඖෂධවේදි සහ මම.
නීතිඥ ; ප්‍රධාන විධායක නිලධාරි, ප්‍රධාන විධායක නිලධාරී යන දෙදෙනාගේ උපදෙස් මත ගියේ කියලා මේ වාර්තාවේ තියෙනවා.
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; දෙවන වතාවේ ගියේ කාගේ උපදෙස් මතද?
සාක්ෂිකාරිය ; මතක හැටියට ලියුමක් තිබුණා.
නීතිඥ ; මොනව ගැන වාර්තාව හදන්නද උපදෙස් ලැබුණේ?
සාක්ෂිකාරිය ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එම කම්හල තුළ හදලා තිබුනද කියල සාක්ෂි ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලැබුණා.
නීතිඥ ; ශක්‍යතාව තිබේද කියලා බලන්නද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනි, නිෂ්පාදනය කර ඇත්ද බලන්න
නීතිඥ ; එහි යන්න කලින් NMRA එක අයිසොලෙස් බයෝටෙක් ෆාමා නමින් රාජකාරි කර ඇත්දැයි බැලුවද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නීතිඥ ; ලැබුනද මොනවා හරි තොරතුරු?
සාක්ෂිකාරිය ; මම ඖෂධ නිෂ්පාදන අංශයෙන් ඇහුවා ඖෂධ නිපදවීමට අවසර ලබා දී තිබේද කියා.
නීතිඥ ; ඔක්තෝම්බර් 24 දින මීගමුව අධිකරණයෙන් ඖෂධ හා ආහාර පාලකවරුන්ට ආයතනයට ඇතුල් වෙන්න අවසර දී තිබෙනවා.
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නීතිඥ ; පරීක්ෂාවේදී මොනවද ලැබුණේ?
සාක්ෂිකාරිය ; වහල තිබුනේ. අපි ඇරගෙන ගිහින් විදුලිය නැති නිසා දුරකථන වල ටෝච් දල්වා ගෙන පරීක්ෂා කළා. නිෂ්පාදනාගාරය තුළින් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නිපදවූ බවට කිසිම සාක්ෂියක් ලැබුණේ නැහැ.
නීතිඥ ; මුළු ගොඩනැගිලි පරිශ්‍රයම බැලුවද? ගොඩනැගිලි කීපයක් තිබුණනේ. ඔබ කීයක් බැලුවද?
සාක්ෂිකාරිය ; එකයි
නීතිඥ ; ඔබ මේ පරිශ්‍රයට යන්නේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හැදුවද බලන්න..?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි නිෂ්පාදනාගාරය ලෙස නම්කළ ගොඩනැගිල්ල පරීක්ෂා කළා.
නීතිඥ ; අනෙක් ඒවා පරීක්ෂණය කළේ නැද්ද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී.
නීතිඥ ; 2023/10/25 දින පරීක්ෂණයට උදව් කරන්න ඔබ යනවා. එහි නිෂ්පාදනාගාරය කියල ගහලා තියෙන ගොඩනැගිල්ල බලලා ආපහු එනවා. ඔබලාගේ වාර්තාවේ නිරීක්ෂණ පහක් තියෙනවා
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි.
නීතිඥ ; ඔබේ වාර්තාවේ තියෙනවා නිරීක්ෂණ පහක්. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්වලට අදාල අමුද්‍රව්‍ය, නිෂ්පාදන හෝ ලියකියවිලි කිසිත් තිබුණෙ නැහැ කියා තිබෙනවා.
සාක්ෂිකාරිය ; අපි හැම තැනම බැලුවා කිසිම දෙයක් හම්බවුණේ නැහැ.
නීතිඥ ; සියලු තැන් පරීක්ෂා කරන්න අවශ්‍ය ආලෝකය තිබුණද?
සාක්ෂිකාරිය ; විදුලිය නැහැ. දුරකථනවල ටෝච් වලින් බැලුවේ.
නීතිඥ ; ඔබට වගකීමක් තිබෙනවා නේද ආලෝකය සපයාගෙන පරීක්ෂා කරන්න.
සාක්ෂිකාරිය ; ඒ වෙනකොට අපි වෙන දිනයක් දාගෙන හිටියේ
නීතිඥ ; ඔබ කියනවා පරීක්ෂණ මට්ටමින් යැයි සැලකිය හැකි ඖෂධවර්ග තුනකට අයත් එන්නත් තොගයක් හමුවූ බව. ඒවා කල් ඉකුත් වූ ඒවාද?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; ඒවායේ නියැදි ගත්තද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී. ආහාර හා ඖෂධ පරීක්ෂකවරු ගත්තා.
නීතිඥ ; ඒ නියැදි ඔබට ලැබුනද?
සාක්ෂිකාරිය ; ඒවා ඖෂධ පරීක්ෂකවරුන් සතුව තිබුණා. අපි කල් ඉකුත් වූ ඖෂධ ගැන පරීක්ෂා කරන්නේ නැහැ.
නීතිඥ ; මේ ඖෂධ තුන සාම්පල් ගත් පසු වෙන කිසිවක් කළේ නැහැ නේද?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; සෝදිසි වරෙන්තුවක පිටපතකුත් ඇලෙව්වා නේද?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; කවර හෝ අවස්ථාවක යළි පරීක්ෂාවට නියෝගයකුත් ලැබුණද?
සාක්ෂිකාරිය ; ඔව් දිනය මතක නැහැ...
නීතිඥ ; මේ අධිකරණ නියෝගය අනුව වාර්තාව සකසන්න ගිය දිනය මතකද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනි.
නීතිඥ ; 2024 ජනවාරි දහය වැනිදාද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි.
නීතිඥ ; වාර්තාව ඉදිරිපත් කළාද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි (වාර්තාව හඳුනා ගනී)
නීතිඥ ; වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අත්සන් කර තිබෙන්නේ ඔහු කවුද?
සාක්ෂිකාරිය ; NMRA සභාපති.
නීතිඥ ; 2024/01/22 ස්ථානීය පරීක්ෂාව කළ වාර්තාව හඳුනාගත හැකිද?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; එහි පළමු ඡේදයේ, ඔබ සමග එහි ගිය අය සඳහන් ඒ කවුද?
සාක්ෂිකාරිය ; SOCO පොලිස් නිලධාරීන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, අපේ NMRA ආහාර හා ඖෂධ පරීක්ෂකවරු ඇතුළු පිරිසක් ගියා.
නීතිඥ ; එහි තිබූ සියලු අංශ බැලුවද?
සාක්ෂිකාරිය ; ඔව් නිෂ්පාදනාගාරය හොඳින් බැලුවා. අනෙක් ගොඩනැගිලි බැලුවේ නැහැ.
නීතිඥ ; පළමු චූදිත සහභාගි වුණාද?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; එදා ආලෝකය තිබුනද?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; අංශ දාහතක් පරීක්ෂා කළ බව කියනවා?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; කලින් ඒවා තිබුනෙ නැද්ද?
සාක්ෂිකාරිය ; තියෙන්න ඇති. ඒ ගැන විශේෂයෙන් මතක නැහැ.
නීතිඥ ; ආයතනයේ දොරවල් සියල්ල වැහිලා තිබුනේ කියා තිබෙනවා..?
සාක්ෂිකාරිය ; ආලෝකය වැටෙන්නෙ තැන් තිබුණේ නැහැ. ගොඩනැගිල්ල හරිම අඳුරුයි.
නීතිඥ ; මම යෝජනා කරනවා ඔබ ගොඩනැගිල්ල ගැන අසත්‍ය ප්‍රකාශ කරනවා කියලා
සාක්ෂිකාරිය ; මම ප්‍රතික්ෂේප කරනවා.
නීතිඥ ; ඔබ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය කියලා 11 වන අයිතමයේ අංක දෙක කියලා විශේෂ සටහනක දාලා හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කුප්පියට සමාන කුප්පි පහක් ලේබල් නැතුව හමුවූ බව සඳහන් කර තිබෙනවා. කවුද ඒවා ගත්තේ?
සාක්ෂිකාරිය ; ආහාර හා ඖෂධ පරීක්ෂකවරු...
නීතිඥ ; ඔබේ අංශයට එය පරීක්ෂාවට එව්වද?
සාක්ෂිකාරිය ; ඒවා තුළ ඇත්තේ කුමක්ද දන්නේ නැහැ. ඒ නිසා එය අපේ රසායනාගාර තුළ පරීක්ෂා කරන්නේ නැහැ. එසේ කිරීම අහිතකරයි. ඒ බව අපි වාර්තා කළා
නීතිඥ ; අධිකරණයට ඒ කුප්පි ඉදිරිපත් කළාද?
සාක්ෂිකාරිය ; ඒවා ඇත්තේ ආහාර හා ඖෂධ පාලක වරුන් ළඟ.
නීතිඥ ; නමුත් ඒ සාම්පල පරීක්ෂා කළ යුතුයි නේද?
සාක්ෂිකාරිය ; ඔව් ඒත් එහි ලෙඩ රෝග හදන බැක්ටීරියා තියෙන්න පුළුවන්. එවැන්නක් විශේෂිත ක්‍රමයකටයි පරීක්ෂා කළ යුතු. මේ තුළ තිබෙන දේ කුමක්දැයි නොදැන පරීක්ෂා කළ නොහැකියි.
නීතිඥ ; ඒ සාම්පල පහෙන් එකක්වත් රජයේ රස පරීක්ෂකට යැව්වේ නැද්ද?
සාක්ෂිකාරිය ; ඒක දන්නෙ නැහැ
නීතිඥ ; ඔබේ වාර්තාව අනුව සක්‍රීය තත්ත්වයේ නොතිබූ සාම්පල අරන් ගියේ ?
සාක්ෂිකාරිය ; ඖෂධ හා ආහාර පරීක්ෂකවරු ගත්තා
නීතිඥ ; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වුවද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; එම නිෂ්පාදනාගාරයේ තිබූ යන්ත්‍ර සූත්‍ර බැලුවද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නීතිඥ ; ඒ යන්ත්‍ර සූත්‍ර ඔබට හඳුනාගන්නන පුළුවන්ද? (ඡායාරූප පෙන්වයි)
සාක්ෂිකාරිය ; යන්ත්‍ර කීපයක් තිබුණා. වීදුරු දොරෙන් තමයි බැලුවේ. මට හරියට මතක නැහැ එළියෙ ඉඳන් බැලුවද කියලා. පළමු චූදිත එළියේ රැඳී සිටියා.
නීතිඥ ; ඇයි ඔහු ඇතුලට කැඳවාගෙන නොගියේ
සාක්ෂිකාරිය ; ඇතුලට ගියා වගේ මතකයි. හරියට මතක නෑ. මේ යන්ත්‍ර පරීක්ෂා කරන්න අවශ්‍ය නැහැ. මේ නිෂ්පාදකයා ඖෂධ නිෂ්පාදනය කරන හැටි බලන්න නෙවෙයි ගියේ. ඖෂධ හැදුවද බලන්න.
නීතිඥ ; ඔබ ගියේ inspection වලට නේද?
සාක්ෂිකාරිය ; අපි ගියේ හදල තියෙනවද බලන්න.
විනිසුරු ; කොහොමද බැලුවේ?
සාක්ෂිකාරිය ; ලේඛන, සාම්පල්, අමුද්‍රව්‍ය, ලේබල් ආදිය තියේද බැලුවා. එවැනි කිසිවක් හමුවුණේ නැහැ.
නීතිඥ ; ඔබ විසින් 2024/01/22 දින ලබා දී ඇත්තේ සම්පූර්ණ වාර්තාවක් කියා මා යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ; මගේ දැනුමේ හැටියට ඒක කරුණු එක්ක ඉදිරිපත් කළ වාර්තාවක්.
නීතිඥ ; නැවත වැඩිදුරටත් යෝජනා කරනවා 1V 38 වාර්තා නිසි ඇගයීමක් කරන ලද වාර්තාවක් නොවෙයි කියලා.
සාක්ෂිකාරිය ; ප්‍රතික්ෂේප කරනවා. අවශ්‍ය කරුණු ඉදිරිපත් කළා
නීතිඥ ; ඔබට පළමුව ලැබුණු සාම්පල් ගිහින් ගත්තද ලැබුණු ඒවාද?
සාක්ෂිකාරිය ; ලැබුණු ඒවා
නීතිඥ ; ඊළඟ සාම්පල් 90 කොහෙන්ද?
සාක්ෂිකාරිය ; අපේ නිලධාරීන් ගිහින් ගත්තා
නීතිඥ ; ගිහින් ගත්තද ගෙනත් දුන්නද ඒවා ලේඛනවලින් බලා ගන්නන බැරිද?
සාක්ෂිකාරිය ; නිවැරදිව කිව නොහැකියි
නීතිඥ ; ගෙනාවද ගිහින් ගත්තද කියලා බලාගන්න ලේඛනයක් තියෙනවද?
සාක්ෂිකාරිය ; ඔව් තියනවා
නීතිඥ ; ගිහින් ගත්තු බව මේ ලේඛනවල තියෙනවද
සාක්ෂිකාරිය ; නැහැ මෙහි සඳහන් නැහැ
නීතිඥ ; ඒ කියන්නේ ගිහින් ගත්තා වෙන්න බැහැ.
සාක්ෂිකාරිය ; ඒක මට මේ වෙලාවේ පැහැදිලිව කියන්න බැහැ
නීතිඥ ; එකතු කළ/ ඉදිරිපත් කළ කියන මේ ලේඛනයේ තියෙනවා. එහි ඉදිරිපත් කළ කියන එක කපලා. මේ ලේඛනය දැක්කම පේනවා. ගිහින් අරගත් බව. මේකට පාදක කරගත්ත ලියවිල්ල කුමක්ද?
සාක්ෂිකාරිය ; මේකට අත්සන් කරලා තියෙන්නේ. ඒ කාලේ වැඩ බැලූ නිලධාරිනිය. ඇය පරීක්ෂා කර සඳහන් කරන්න ඇති.
නීතිඥ ; ඔබ කලින්, පරිශීලනය කළ ලේඛන කට්ටල තියේද බලන්න
සාක්ෂිකාරිය ; අපේ මේ සම්පූර්ණ වාර්තාව work sheet වල තියෙනවා.
නීතිඥ ; 408 - V ලේඛනය බලන්න. එහි සඳහන් වෙන්නෙත් එකතු කළ බව. ඔබ සතු ලේඛනවල එම සාම්පල එකතු කලාද නැද්ද කියලා කිව හැකිද?
සාක්ෂිකාරිය ; work sheet බලලා තමයි ස්වාමීනී...
නීතිඥ ; 401 -IX මෙහි ප්‍රභවය වන්නේ කුමක්ද?
සාක්ෂිකාරිය ; ඉදිරිපත් කළ සාම්පලයක්
නීතිඥ ; 405 - I , 408 - IX වගේ ලේඛන වල Does not conferm කියා තිබෙනවා.
සාක්ෂිකාරිය ; එහි ප්‍රතිඵල තහවුරු වී නැහැ...
නීතිඥ ; ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරයට තත්ත්ව පරීක්‍ෂණ සහතිකයක් තිබේද ?
සාක්ෂිකාරිය ; නැත ස්වාමීනි.
නීතිඥ ; එය දෙන්නේ කවුද?
සාක්ෂිකාරිය ; ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය.
නීතිඥ ; ඒක දෙන්න ඉල්ලීමක් කරන්න ඕන.
සාක්ෂිකාරිය ; ඔව් 2019 දි අපි ඉල්ලීමක් කළා. ඒක කොවිඩ් ඇතුළු තත්ත්වය නිසා යටපත් වුණා.
නීතිඥ ; යළි ඉල්ලුවේ නැහැ කාර්ය මණ්ඩල නැති නිසා.?
සාක්ෂිකාරිය ; ඔව් තාක්ෂණ මෙවලම් තිබුණත් තාක්ෂණ නිලධාරීන් නැහැ.
නීතිඥ ; මෙම පරීක්‍ෂණ කළේ ඔබද?
සාක්ෂිකාරිය ; මගේ අධීක්ෂණය යටතේ.
නීතිඥ ; ඔබ “ලැමිනා එයාර් ෆ්ලෝ” කියන පද්ධතිය තුළයි මේ පරීක්ෂණය කළේ?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; ඒ තුළ වුවත් තත්ත්වයන් පවත්වා ගත යුතුයි නේද?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; මම යෝජනා කරනවා මේ වාර්තා සැකසූ පරීක්ෂණාගාරයේ සුදුසුකම් නැති වාර්තාවක් කියා.
සාක්ෂිකාරිය ; ප්‍රතික්ෂේප කරනවා.
නීතිඥ ; ජීවානු හරිත සාම්පලයක් අසමත් වෙන්නේ බැක්ටීරියා නිසා පමණද?
සාක්ෂිකාරිය ; බැක්ටීරියා , දිලීර දෙකෙන්ම එහෙම වෙන්න පුළුවන්
නීතිඥ ; බැක්ටීරියා ඇනටොක්සින් නොතිබූ සාම්පලවල වෙනත් දෙයක් තිබුණද?
සාක්ෂිකාරිය ; නැහැ.
නීතිඥ ; වයිරස් තිබුනද?
සාක්ෂිකාරිය ; නැහැ. වයිරස් ඇතිවෙන්නේ ජීවී සෛලවල.
නීතිඥ ; ඔබ සියලු වාර්තාවල පසු පිටේ සඳහන් කරනවා speling mistake of the sample කියලා තියෙනවා
සාක්ෂිකාරිය ; අපේ වර්ක් ෂීට්වල සඳහන් කරුණු අනුව (405 (VIII) අනුව)
නීතිඥ ; 405 - IX අවසන් වාර්තාවේ පසු පිටේ තියෙනවා NMQL observer කියා ඔබ කරුණු සඳහන් කර තිබෙනවා. එය ඔබ දුන් වාර්තාවක්ද?
සාක්ෂිකාරිය ; ඔව් මම දුන් වාර්තාවක් ස්වාමීනී
නීතිඥ ; එහි වර්ක් ශීට්වල පිටපත් ඉදිරිපත් කර තිබේද?
සාක්ෂිකාරිය ; මෙතනට ඉදිරිපත් කර නැහැ.
නීතිඥ ; 2023/10/11 මේ වාර්තාව දෙන වෙලාවේ ඔබේ සභාපති කියන කාරණයක් තියෙනවා ඒ මොකක්ද
සාක්ෂිකාරිය ; අයිසොලෙස් බයෝ ෆාමා බලන්න ගියා. අධිකරණ නියෝග නැතිව බලන්න දුන්නේ නැහැ. කියා.
නීතිඥ ; ඔබ ආරක්ෂාව පතා ඉබි අතුරු දැමුවා. යළි ජනවාරි 22 පරීක්ෂාවට ගියා. ඒ වෙලාවේ යතුරු තිබුනේ ඔබ අතේ ආයතනය සතුව.
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නීතිඥ ; 2024/01/24 වනතුරු යතුරු තිබුනේ අදාළ නිලධාරීන් ළඟ. ඒවා තිබුණු තත්ත්වයේ තිබුණාද
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ; මේ නඩුවේ පළමු විත්තිකරු හෝ පැමිණිලි කළේ නැද්ද? ආපසු වැසුවේ ඒ නිලධාරීන්මද
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
නීතිඥ; යළි මුද්‍රා තැබුවාද?
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; මේ වෙනකොට යතුරු කොහෙද?
සාක්ෂිකාරිය ; දන්නේ නැහැ
නීතිඥ ; ඔබ කවදද අයින් වුනේ?
සාක්ෂිකාරිය; 2024 වසරේ 9 වැනි මාසයේ
නීතිඥ ; ඉන්පසු ඒ සම්බන්ධ කුමන හෝ රාජකාරියක් කළා?
සාක්ෂිකාරිය ; නැහැ
නීතිඥ ; සී අයි ඩීය ඔබෙන් මේ ලේඛන ගැන ප්‍රකාශ ගත්තා..?
සාක්ෂිකාරිය; ඔව් ස්වාමීනි.
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගැන ප්‍රකාශ ගනිද්දී කලින් හේතු පැහැදිලි කළාද?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; ඔබ ලබා දුන් ලේඛන තමයි මේ ලකුණු කර ඉදිරිපත් කර තිබෙන්නේ
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; ඔබේ ආයතනයට රෝහල්වලින් ලද සාම්පල ලියාපදිංචි කිරීම හා අදාල අංශවලින් බෙදාහැරීම ගැන කියද්දි රසායන අංශයට හා ශුද්‍ර ජීවී අංශයට දුන් බව කීවා. MRI එකට දුන් බවත් කීවා.
සාක්ෂිකාරිය ; ඔව් CEO ගේ නියෝග පරිදි දුන්නා ලේ බැංකුවටත් දුන්නා, ඔවුන් පරීක්ෂා කළ නොහැකි බව කීවා.
නීතිඥ ; රිටක්සිමැබ් ඖෂධය පිළිකා රෝහලටත් පරීක්ෂාව සඳහා යවා ඇති බව දන්නවද?
සාක්ෂිකාරිය; ඔව්
නීතිඥ ; එසේ යැව්වේ කාගේ තීරණයක් මතද?
සාක්ෂිකාරිය ; සභාපති යවන්න කීවා. CEO ගේ ලියුමක් සමග යැව්වා
නීතිඥ ; රිටක්සිමැබ් සාම්පල කීයක් තිබුණද?
සාක්ෂිකාරිය ; 40 යි
නීතිඥ ; එයින් අපේක්ෂා රෝහලට කීයක් යැව්වද?
සාක්ෂිකාරිය ; මතක නැහැ.
නීතිඥ ; වෙනත් තැන්වලටත් යැව්වද?
සාක්ෂිකාරිය ; නිවැරදි මතකයක් නැහැ
නීතිඥ ; compleet disrbusion registry එකක් තියනවා නේද? ඒකෙ නැද්ද?
සාක්ෂිකාරිය ; ඒකෙ තියෙන්නෙ ආයතනය ඇතුළෙ අංශවලට යන ඒවා.
නීතිඥ ; ඒවා ඔබ අධිකරණයට ඉදිරිපත් කළාද. ?
සාක්ෂිකාරිය ; නැහැ
නීතිඥ ; පිටට යවන්න අවසර අනුමැතියි අවශ්‍යයි නේද?
සාක්ෂිකාරිය ; ලේඛන පරීක්ෂා නොකර කිව නොහැකියි.
නීතිඥ ; මේ පරීක්ෂණ කටයුතුවලට යැවූ ඒවා හැර ඉතිරි ඒවා තිබේද?
සාක්ෂිකාරිය ; තිබිය යුතුයි.
නීතිඥ; ඒවා ගැන යම් ලේඛනයක් තිබේද?
සාක්ෂිකාරිය ; නැහැ.
නීතිඥ ; වෙනත් තැන්වලට බෙදාහැරියද කියා දන්නේ නැද්ද?
සාක්ෂිකාරිය ; මතක නැහැ.
තුන්වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉසුරු ජයවර්ධන ප්‍රශ්න අසයි
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගැන ඔබ සාක්ෂි දුන්නා. ඒවා පවුඩර් ලෙස ලබාගත හැකිද ?
සාක්ෂිකාරිය ; ඔව් පුළුවන්.
නීතිඥ ; දියරයක් ලෙසත් පුළුවන්ද.?
සාක්ෂිකාරිය ; ඔව් පුළුවන්.
නීතිඥ ; ඔබ පරීක්ෂා කළ සාම්පලවල ලේබල පරීක්ෂා කළාද?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; කුප්පියේ තියෙන ලේබලයත් බැලුවද?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; ගබඩා කිරීමේ තත්ත්ව ගැන සඳහන් කර තිබේද?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; ඔබට සාම්පල අනූවක් ලැබුණා කිව්වොත් නිවැරදිද
සාක්ෂිකාරිය ; සාම්පල 140 ක් ලැබුණා
(දෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ ප්‍රශ්න ඇසීම අරඹයි.
ඔහු විසින් පෙන්වා සාක්ෂිකාරිය විසින් හඳුනාගත් ලේඛනයක් පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම විරෝධය පළ කළ අවස්ථාවේ විනිසුරු මඩුල්ල කියා සිටියේ, එය ඔප්පු කිරීමේ භාරයට යටත්ව භාරගත හැකිි බවය.
ඒ අනුව එම ලේඛනය 2V 53 ලෙස ලකුණු කරන ලදී.
නීතිඥ; 2V 53 ලේඛනය ආයතනයේ අධ්‍යක්ෂකගේ. ඔහු කවුද?
සාක්ෂිකාරිය ; අජිත් ප්‍රියදර්ශන
නීතිඥ ; ඔබ ඔහු හා වැඩ කර තිබේද?
සාක්ෂිකාරිය ; මා පැමිණි දා සිට ඔහු විශ්‍රාම යනතුරු වැඩකට වැඩ කළා.
නීතිඥ ; මෙහි 6 ,8 ඖෂධ මොනවද?
සාක්ෂිකාරිය ; රිටක්සිමැබ් හා හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්. මෙම ඖෂධ දෙක පරීක්ෂාවට පහසුකම් නැහැ. මේවා බයොලොජිකල් ප්‍රඩක්ෂන්.
නීතිඥ ; ඊමේල් මාර්ගයෙන් ඖෂධ යොමු කළ බව කීවා.
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි.
නීතිඥ ; එහි රිටක්සිමැබ් ඇතුළත්?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; 2V 44 ඊමේල් පණිවිඩයේ අන්තර්ගත වන්නේ ඔබ ආයතනයට සාම්පල පරීක්ෂා හැකියාව නැති බව.?
සාක්ෂිකාරිය ; ශුද්‍ර ජීවී පරීක්ෂාව හැර අනෙක් පරීක්ෂා කරන්න බැහැ.
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හඳුනා ගන්න සංඝටකයක් තිබේද.?
සාක්ෂිකාරිය ; IGG තමයි ඒක තිබේද බලන්න පහසුකම් නැහැ.
නීතිඥ ; රිටක්සිමැබ් තිබේද බැලීමට ?
සාක්ෂිකාරිය ; “මොනොක්ලෝර් ඇන්ටි බොඩි” තිබේද බැලිය යුතුයි. එය බැලීමටත් පහසුකම් නැහැ.
නීතිඥ ; ඖෂධ වලින් රෝගීන්ට විවිධාකාර මත ;Advab drngreaction ඇතිවිය හැකියි.
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; එවිට ඖෂධ withdraw හෝ withhold සිදුවන්නේ NMRA යටතේ?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; බරපතල ගණයේ සිද්ධීන් ඇතිවිය හැකි බවත් ඔබ කීවා. එවැනි ඒවා මතකද?
සාක්ෂිකාරිය ; වාර්තා වුණා. ඒත් මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ.
නීතිඥ ; ඔබේ සේවා කාලයේ අවසන් භාගයේදී වුණාද?
සාක්ෂිකාරිය ; ඔව් , කො ඇමොක්සික්ලෝව් එන්නතෙන් මරණ සිදු වුනා. “පෙඩ්‍රිසිලෝන් අයිඩ්‍රොප්” මඟින් ඇස් අන්ධ උනා.
නීතිඥ ; එවැනි reaction NMRA ලියාපදිංචි වුණ ඒවා මගිනුත් වෙනවා.
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; ඔබ විද්‍යාව සමග කටයුතු කරන නිසා විවිධාකාර හේතු වලින් සිදුවිය හැකි බව දන්නවා.
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; ඒ කවර හේතු මතද.?
සාක්ෂිකාරිය ; නිෂ්පාදන ක්‍රියාවලියේ වැරදි, වැරදි උෂ්ණත්වය, අඩංගු දේ ආදී හේතු තිබිය හැකියි.
නීතිඥ ; ගබඩා කිරීමේදී ප්‍රවාහනයේදී හානි සිදුවිය හැකිද?
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; Adverb drug rection වාර්තා වුණ ගමන් ඖෂධ withhold හෝ withdraw කරන්නේ නැහැ?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී. ඒ සඳහා NMRA හි එෆ්රෙක්ට් කමිටුව රැස්ව තීරණ ගන්නවා.
නීතිඥ ; එක මරණයක් වුණත් රැස්වෙනවද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී.
අද (20) දින යළි නඩු විභාගය පැවැත්වේ.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

