පැමිණිල්ලේ සාක්ෂි පැමිණිල්ලට වල කපයිද..?

ව්‍යාජ ඖෂධ ලබා දී රුපියල් කෝටි 14කට ආසන්න මහජන මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පසුගියදා යළි විභාගයට ගැනිණි. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) හිටපු ප්‍රධාන ගණකාධිකාරී සහ ඖෂධ සංස්ථාවේ වැඩබලන සාමාන්‍යාධිකාරී සවින්ද කුරේ මහතාගෙන් විත්ති පාර්ශවයේ නීතිඥවරුන් සිදුකළ හරස් ප්‍රශ්න කිරීම් හමුවේ, රජයේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ පැවති බරපතළ පරිපාලන සහ මූල්‍ය දුර්වලතා රැසක් අනාවරණය විය.

Jul 19, 2026 - 15:55
 39
පැමිණිල්ලේ සාක්ෂි  පැමිණිල්ලට   වල කපයිද..?


පැමිණිල්ලේ සාක්ෂි

පැමිණිල්ලටම 

වල කපයිද..?

විත්ති පාර්ශ්වයේ නීතිඥයින් හමුවේ 

පැමිණිල්ලේ සාක්ෂිකරු අසරණ වුණාද


සැක සහිත ලේඛනවලටත් වගකීමක් නැතිව 

අත්සන් තැබූ හැටි මහාධිකරණයේදී හෙළි වෙයි...

අධිකරණ වාර්තාකරු

ව්‍යාජ ඖෂධ ලබා දී රුපියල් කෝටි 14කට ආසන්න මහජන මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පසුගියදා යළි විභාගයට ගැනිණි. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) හිටපු ප්‍රධාන ගණකාධිකාරී සහ ඖෂධ සංස්ථාවේ වැඩබලන සාමාන්‍යාධිකාරී සවින්ද කුරේ මහතාගෙන් විත්ති පාර්ශවයේ නීතිඥවරුන් සිදුකළ හරස් ප්‍රශ්න කිරීම් හමුවේ, රජයේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ පැවති බරපතළ පරිපාලන සහ මූල්‍ය දුර්වලතා රැසක් අනාවරණය විය.


එමෙන්ම විත්ති පාර්ශ්වයේ අඩුපාඩු දුර්වලතා සහ වැරදි වංචාවන් ඉස්මතු කරවීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් පහුගිය කාලයේ දිගින් දිගටම ඉදිරිපත් කරන ලද සාක්‍ෂිකරුවන්ගෙන් උසාවියේ හරස් ප්‍රශ්න හමුවේ හෙළිදරව් වූ ඇතැම් කරුණුවලින් මාධ්‍යවලට සියුම් ලෙස නිරීක්‍ෂණය වූයේ මෙම නිලධාරීන්ගේ සාක්ෂි වලින් පැමිණිලි පාර්ශවයට කෙසේ වෙතත් විත්ති පාර්ශ්වයන්ට වාසිදායක පසුබිමක් නිර්මාණය වන්නේද සැකයයි.  


නම වෙනස් වුවත් ගෙවීම් කඩිනම් කළ හැටි

මිලියන ගණනින් මහජන මුදල් ගෙවීමේදී වගකිවයුතු නිලධාරීන් ලේඛනවල නිරවද්‍යතාව පිළිබඳව කොතරම් දුරට නොසැලකිලිමත් වී ඇත්ද යන්න හරස් ප්‍රශ්න කිරීම්වලදී පැහැදිලි විය. සැපයුම්කරු විසින් ඉදිරිපත් කරන ලද ලේඛනවල "අයිසොලෙස් බයෝ ෆාමා ඒ ජී LTD" (Isolez Bio Pharma AG LTD) සහ සමහර තැනක "අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා ඒ ජී LTD" (Isolez Bio Tech Pharma AG LTD) ලෙස ආයතන නාමයන් පැහැදිලිවම වෙනස්ව සඳහන්ව තිබුණද, ඒ පිළිබඳව මූල්‍ය නිලධාරීන්ගේ නිසි අවධානයක් යොමුවී නැත.


එමෙන්ම, වගකිවයුතු මූල්‍ය නිලධාරියෙකු ලෙස සමාගමක නම අගට යොදන ‘LTD’ (Limited) යන්නෙහි නිවැරදි නීතිමය අර්ථය පිළිබඳව සාක්ෂිකාර ගණකාධිකාරීවරයා දැක්වූයේ ලිහිල් ප්‍රතිපත්තියකි. සමහර අවස්ථාවල එයින් "සමාගම" යන තේරුම දෙන බව පවසමින් ඔහු තම වගකීමෙන් සුහැල්ලු වීමට උත්සාහ කළේය. සැපයුම්කාර සමාගමේ අනන්‍යතාවය පිළිබඳ මෙවැනි බරපතළ පරස්පරතා සහ ගැටලු පවතිද්දී පවා, අදාළ ‘රිටක්සිමැබ්’ (Rituximab) ඖෂධ ඉන්වොයිසි සඳහා කඩිනමින් මුදල් නිදහස් කිරීමට මූල්‍ය අංශ කටයුතු කර ඇති ආකාරය නඩු විභාගයේදී තහවුරු විය.


කිසිදු වගකීමක් නැතිව අත්සන් තැබීම

විත්ති පාර්ශවයේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ අදාළ ලේඛනවල පැහැදිලි දෝෂ සහ අඩුපාඩු තිබියදීත්, ගණකාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් කිසිදු වගකීමකින් තොරව ඊට අත්සන් තබා ඇති බවයි. 347 A ලේඛනයේ පැහැදිලි දෝෂ තිබියදී එය නොසලකා අත්සන් තැබූ බවට නීතිඥවරුන් නැගූ චෝදනාවට සාක්ෂිකරු පිළිතුරු දුන්නේ "මම ඒකෙ දොසක් දකින්නේ නැහැ" යනුවෙනි.


මූල්‍ය රෙගුලාසිවලට අනුව ගෙවීම් සහතික කිරීමේ නිලධාරියා (Certifying Officer) ලෙස කටයුතු කරමින්, සියලු මූලික ලේඛන පරීක්ෂා කර බලා තමන් ගත් තීරණ "හරි" බව සාක්ෂිකරු අදටත් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. එහෙත් නීතිඥවරුන් අධිකරණය හමුවේ තර්ක කළේ, නිලධාරීන් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් පසුව අදාළ වංචනික ගෙවීම් අත්හිටුවීමට සහ මුදල් ගෙවීම් ප්‍රමාද වීමට බලපෑ බවයි. වගකීමෙන් බැහැරව ලේඛන සහතික කිරීම පිළිබඳ චෝදනා සාක්ෂිකරු විසින් ප්‍රතික්ෂේප කළද, ලේඛනවල අඩංගු දෝෂ මගහැරී යාම තුළින්ම නිලධාරීන්ගේ කාර්යභාරයේ පැවති දුර්වලතාවය මනාව පැහැදිලි වේ.


පද්ධතිමය සහ ප්‍රසම්පාදන අසාර්ථකත්වය

නිරාන් ධනංජය නැමැති නිලධාරියා වෛද්‍ය සැපයුම් අංශයට පැමිණ මාස හයක් වැනි කෙටි කාලයකදී මෙවැනි මහා පරිමාණ ගෙවීම් සිදුවී ඇති අතර, ප්‍රධාන ගණකාධිකාරීවරයා වසර තුනක සේවා කාලයක් සපුරා තිබුණද අංශ අතර පැවති සම්බන්ධීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතී ඇත. වෛද්‍ය සැපයුම් අංශය සහ ගිණුම් අංශය වෙන් වෙන්ව ක්‍රියාත්මක වූ බව පවසමින් නිලධාරීන් තම වගකීම් බෙදා හැරීමට උත්සාහ කර තිබේ.


එසේම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් 12 දෙනෙකු සිටියද, සාක්ෂිකරු දැන සිට ඇත්තේ එහි සභාපතිවරයා වූ සෞඛ්‍ය ලේකම්වරයා ගැන පමණි. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සහ අමාත්‍ය මණ්ඩල තීරණවල මූලික ලේඛන (පිටු 1 සිට 63 දක්වා) තමන් සන්තකයේ සොයා ගැනීමට නොමැති බව සාක්ෂිකරු පිළිගත්තේය. තමන්ට තීරණයක් ගත නොහැකි අවස්ථාවලදී ගැටලුව නිරාකරණය කරනු වෙනුවට, සටහනක් දමා (Forward) එය සෞඛ්‍ය ලේකම්වරයා වෙත යොමු කර ඇඟ බේරාගැනීමේ පිළිවෙතක් නිලධාරීන් අනුගමනය කර ඇති බව පැහැදිලිය.


රාජ්‍ය මූල්‍ය රෙගුලාසි සහ ක්‍රමවේදයන් මුළුමනින්ම උල්ලංඝනය කරමින්, සැක සහිත ලිපි ශීර්ෂ සහ අසම්පූර්ණ වව්චර් පත් මත පදනම්ව, ව්‍යාජ ඖෂධ සඳහා කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් නිදහස් කිරීමට මඟ පෑදුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් දැක්වූ මෙම අත්තනෝමතික සහ දුර්වල පරිපාලන පිළිවෙත බව මෙම මහාධිකරණ සාක්ෂි විභාගයෙන් මනාව සනාථ වේ.


2026 ජූලි මස 16 වනදා නඩු වාර්තාව මෙසේය.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ව්‍යාජ ඖෂධ ලබා දී රුපියල් කෝටි 14කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව පසුගිය 16 විභාගයට ගැනිණි.


එහිදී තෙවන දිනටත් සාක්ෂි සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු ප්‍රධාන ඝණකාධිකාරී සහ ඖෂධ සංස්ථාවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී සවින්ද කුරේ කැඳවා තිබිණි.

දෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

නීතිඥ ; පැ 344 A ලේඛනය ගන්න. එය ඉදිරිපත් කළේ සැපයුම්කරුද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී’

නීතිඥ ; එහි ඉන්ඩෙන්ට් යන තැනට ඔහු සඳහන් කර ඇත්තේ කුමක්ද?

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝ ෆාමා ඒ ජී LTD

නීතිඥ ; එහි සැපයුම්  කරුගේ සීල් එකේ තියෙන්නේ කුමක්ද ?

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝ ෆාමා ඒජී LTD 

නීතිඥ ; ඒ කියන්නේ අයිසොලෙස් බයෝ ෆාමා. ඒජී ලිමිටඩ් 

සාක්ෂිකරු ; LTD කියලා තමයි තියෙන්නේ 

නීතිඥ ; ඝණකාධිකාරී කෙනෙක් LTD කියන්නේ කුමක්ද කියා දන්නේ නැද්ද?

සාක්ෂිකරු ; සමහර අවස්ථාවල LTD කියන එක සමාගම කියන තේරුම තියෙනවා

නීතිඥ ; සියලු ගෙවීම් ඔබේ අධීක්ෂණයට ලක්වුණා. ඒ බව ඔබ අධිකරණයේ සාක්ෂි දෙමින් කිව්වා. ඔබ කිව්වා GRN ලේඛනත් වව්චර්වලට අදාලව සලකා බැලුවාය කියා. වැඩිදුරටත් ඔබ පැ 392 ලේඛනය සලකුණු කළා. පැ 392 කියන ලිපිය එඩ්රස් කරලා තියෙන්නේ කාටද?

සාක්ෂිකරු ; එකවුන්ටන්ට් පේමන්ට් බ්‍රාන්ච්. 

නීතිඥ ; මේක සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අප වෙත ලැබුණේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් යුතුවයි. ඉන්පසු මම බලා සටහන් යොදා ඉදිරි කටයුතු සඳහා යොමු කළා.

නීතිඥ ; පැ 392 ඔබට ලැබුණේ කවදද?

සාක්ෂිකරු ; 2023 ජුනි 14 

නීතිඥ ; 06/14 ලැබුණ පැ 392 හි ඉල්ලීමක් තිබෙනවා. එය ඔවුන් විසින් සපයා ඇති භාණ්ඩවලට ගෙවීම් කිරීම සඳහාද?

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; මේ ලේඛනය එව්වේ සැපයුම්කරු විසින්.

සාක්ෂිකරු ; ඔව්  ස්වාමීනී. 

නීතිඥ ; මේ ලේඛණයට අදාළ ඖෂධය කුමක්ද?

සාක්ෂිකරු ; රිටක්සිමැබ්. 

නීතිඥ ; එම ලේඛනයේ ඉන්වොයිස් හතරක් පෙන්වලා තිබෙනවා. ඒවාද ඔබ කලින් ප්‍රශ්න කරද්දි හඳුනා ගත්තේ?

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; ඒ ලිපියේ මාතෘකාවට කලින් කියා ඇත්තේ කුමක්ද?

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝ ෆාමා AG LTD. 

නීතිඥ ; ඒ ලියුමේ පහළින් අත්සන් කරලා තියෙනවා. සීල් එකකුත් තියෙනවා. එහි සැපයුම්කාර ආයතනය කුමක්ද?

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝ ෆාමා AG LTD.

නීතිඥ ; එම මුද්‍රාවට යටින් මුද්‍රණය කර තිබෙන්නේ කුමක්ද?

සාක්ෂිකරු ; අධ්‍යක්ෂ, ආර් බී රෝලන්ඩ් , අයිසොලෙස් බයෝ ෆාමා AG LTD ලෙස සඳහන් වෙනවා. 

නීතිඥ ; පැ 392 හි අයිසොලෙස් බයෝ ෆාමා AG LTD විසින් MAD එකෙන් ඉල්ලීමක් කර තියෙනවා. රිටක්සිමැබ් ඉන්වොයිස් හතරක් යටතේ සපයා තිබෙන බවත් ඒ සඳහා ඉක්මනින් මුදල් ගෙවන ලෙසත් එහි ඉල්ලීමක් කර තිබෙනවා. 

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; ඒ ලියුමේ මාතෘකාවට කලින් කියා ඇත්තේ කුමක්ද?

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝ ෆාමා ඒ. ජී. ලිමීටඩ් කියලයි 

නීතිඥ ; පැ 392 ඉල්ලීම ඉහළට ගිහින් යම් ගෙවීමක් සිදුවෙලා තියෙනවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.

නීතිඥ ; ඊට අදාළ ලේඛණය තමයි 2023/06/03 සැකසූ පැ 293 කවුද ඒක සැකසුවේ?

සාක්ෂිකරු ; ගිණුම් අංශයෙන් සැකසුවේ. මම එය අත්සන් කර තිබෙනවා.

නීතිඥ ; පැ 394 ගන්න. එහි ලිපි ශීර්ෂයේ නම කුමක්ද?

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝ ෆාමා AG LTD 

නීතිඥ ; මේ ලේඛනය ලැබෙන්නේ කවදාද?

සාක්ෂිකරු ; 2023 ජුනි 27 

නීතිඥ ; ඒ ලියුමෙන් උත්සහ කරන්නෙත් ගෙවීම් කඩිනම් කර ගැනීම

සාක්ෂිකරු ;  රිටක්සිමැබ් injection එක වෙනුවෙන්

නීතිඥ ; ඉන්වොයිස් හරහා ගෙන්නුවා කියල මාතෘකාව යටින් නමක් තියෙනවා

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා  AG LTD 

නීතිඥ ; එහි පහළ කෙළවරෙත් අත්සන් හා එහිද නම නිවැරදිව ලියා තිබෙනවා.

සාක්ෂිකරු ; RB රෝලන්ඩ්, අධ්‍යක්ෂ, අයිසොලෙස් බයෝ ෆාමා LTD කියලා තියෙනවා. 

නීතිඥ ; ඔබ සහතික කිරීමේ නිලධාරියා. ඒ වගකීමෙන්ද මේ ලේඛන පරීක්ෂා කළේ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඉන්පසු ගෙවීම් කටයුත්තක් කලා. ඊට සමානද පැ 393 ලේඛනය. එහි අනුමත කරන නිලධාරී කවුද කියා නැහැ

සාක්ෂිකරු ; සහතිකය බැලිය යුතුයි

නීතිඥ ; පළමු ගෙවීම කළේ පැ 393 ආකාරයට

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නීතිඥ ; ඔබට ගෙවීම් නිලධාරී ලෙස ගැටලු මතු වෙනවා නම් ගෙවීම් නවත්වන්නට වගකීමක් තියෙනවා

සාක්ෂිකරු ; එවිට උපදෙස් ලබාගත හැකියි.

නීතිඥ ; මේ ලේඛන අතර ඔබ පැ 395 කියා ලේඛනයක් සලකුණු කළා. ඒ කුමක්ද?

සාක්ෂිකරු ; මුදල් ගෙවීම කඩිනම් කිරීමට ගිණුම් අංශයේ හදා මා වෙත එවූ එකක්. එය සටහන් දමා අධ්‍යක්ෂතුමා වෙත යැව්වා. මේ ඒ ලේඛනයයි. 

නීතිඥ ; ඔබේ අනු දැනුම මත සැකසුණු එකක්

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී 

නීතිඥ ; 2023/06/28 දින ලේඛනය ලැබී තිබෙනවා. පැ 389 ලේඛනය හදපු දවසමද මේකත් කලේ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී...

නීතිඥ ; අයිසොලේස් හා අනෙක් තුනටත් සෞඛ්‍ය ලේකම්ගෙන් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් අනුමැතිය ඉල්ලුවද?

සාක්ෂිකරු ; මේ හතරට පමණක් ඉල්ලුවා.

නීතිඥ ; මේ සම්බන්ධව පෞද්ගලික දුරකථනයෙනුත් කතා කළාද?

සාක්ෂිකරු ; සමහර විට කතා කරන්න සිදු වෙන්න ඇති. මගේ දුරකථනය රාජකාරී දුරකථනයක්

නීතිඥ ; ඔබ පිළිගන්නවද ඔබේ 0714 ඇරඹෙන දුරකතන අංකය මගින් පළමු චූදිතගේ දුරකථනයට 2022/09/01 සිට දුරකථන ඇමතුම් 149 ක් ලබාගෙන තිබුණු බව? එසේ වී ඇත්නම් පිළිගන්නවද?

සාක්ෂිකරු ; තහවුරු කරගන්න අවශ්‍යයි

නීතිඥ ; ඔබ පළමු චූදිතට දුරකථන ඇමතුම් 157 ක් අරන් තිබුණු බවට මම යෝජනා කරනවා. 

සාක්ෂිකරු ; අදාළ තොරතුරු පරීක්ෂා කර බැලිය යුතුයි

නීතිඥ ; සැපයුම් කරුවෙක්ට sms යවලා විධිමත් සන්නිවේදනයට sms අයිති නැහැනේ?

තුන්වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉසුරු ජයවර්ධන සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

නීතිඥ ; 347 ඒ ලේඛනයේ දෝෂ තිබුණත් එය නොසලකා අත්සන් කළා කියා

සාක්ෂිකරු ; මම ඒකෙ දොසක් දකින්නේ නැහැ

නීතිඥ ; මම යෝජනා කරනවා කිසි වගකීමක් නැතිව වැඩ කළ නිසා 397 ගෙවීම කල් ගියා කියා.

සාක්ෂිකරු ; මම ඒක ප්‍රතික්ෂේප කරනවා

නීතිඥ ; වගකීමෙන් තොරව කටයුතු කිරීම නිසා 397 යටතේ ගෙවීමට සිදු වුණේ නැහැ කියා මම යෝජනා කරනවා.

සාක්ෂිකරු ; ප්‍රතික්ෂේප කරනවා

හතරවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අශෝක සේරසිංහ හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

නීතිඥ ; සී අයිඩී යට කට උත්තර ගනිද්දී ඔබ කීවා කුමන ඖෂධ වලටද  මේ ප්‍රශ්න ඇතිවුණේ කියා. මොනවද ඒ? 

සාක්ෂිකරු ; රිටක්සිමැබ් සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 

නීතිඥ ; මෙහිදී ඔබ කිව්වා ඔබේ තරාතිරම. එහිදී ඔබට බලතල පැවරෙන්නේ. මුදල් රෙගුලාසි අනුව එහි ප්‍රධාන ගිණුම් නිලධාරියා කවුද?

සාක්ෂිකරු ; අමාත්‍යාංශ ලේකම්

නීතිඥ ; ගෙවීම් නිලධාරී වෙන්නේ කවුද?

සාක්ෂිකරු ; සහතික කිරීමේ නිලධාරී වෙන්නේ මම. ගෙවීමක් කරද්දි මමත් කටයුතු කරනවා. නමුත් මම පමණක් නෙවෙයි වගකීමෙන් බැඳෙන්නෙ.

නීතිඥ ; සහතික කරන නිලධාරි කවුද?

සාක්ෂිකරු ; මම

නීතිඥ ; යම් ගෙවීමක් කරන්නට පෙර කළ යුතු සහතික කිරීමයි. සහතික කරන්න කලින් එන ඉන්වොයිස් එක බාහිර පාර්ශ්වයෙන් එන එකක්. 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; GRN වව්චරය ඔබේ නිලධාරීන්ගේ ඒවා. ඒවායින් පසු චෙක්පත නිකුත් කරන්නේ. පද්ධති ගතව කටයුතු කරද්දී ප්‍රොන්ටෝ  පද්ධතිය සමග කටයුතුුතු කළේද? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඔබ ගැනුම් ඇනවුම බලද්දී එය පද්ධති ගත වෙලා තිබුණා. 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ගැනුම් මැනවුම පද්ධති ගත කළේ කොතනින්ද?

සාක්ෂිකරු ; සැපයුම් ශාඛාව මගින්

නීතිඥ ; ඔබ GRN ගැන කිව්වා. ඔබේ ආයතනයේ නිලධාරීන් විසින් කරන තහවුරුවක් වව්චරයද ඔබේ නිලධාරීන්ගේ එකක්. ඔබ මූලික ලේඛන සියල්ල පරීක්ෂා කර බලා සෑහීමකට පත්ව තමයි අත්සන් කලේ. ගෙවීමට ඔබ කළ සහතිකය නිවැරදි කියා 

  සාක්ෂිකරු ; ඔව් තවම අරන් නැහැ

නීතිඥ ; ගෙවීම් සහතික කරන නිලධාරියා ලෙස අදත් සහතික කළා කියන්නේ එම ක්‍රියාකාරීත්වය හරි කියලද?

සාක්ෂිකරු ; ඔව් මම කියන්නේ මම හරි කියලා

 නීතිඥ ; මේක වෙද්දි නිරාන් ධනංජය ඇවිත් කොපමණ කල්ද? 

සාක්ෂිකරු ; මාස හයයි

නීතිඥ ; ඔබ පැමිණ කොතරම් කල්ද?

සාක්ෂිකරු ; අවුරුදු තුනක් පමණ

නීතිඥ ; ඔහු කුමන අංශයේද සේවය කළේ?

සාක්ෂිකරු ; වෛද්‍ය සැපයීම්

නීතිඥ ; මේ ගෙවීම් කරන අවස්ථාව වන විට ඔබ දෙදෙනා අතර රාජකාරිමය සම්බන්ධයක් තිබුණද?

සාක්ෂිකරු ; අප සේවය කළ අංශ දෙක වෙනමම පවතින අංශ දෙකක්.

නීතිඥ ; වව්චර් සහතික කරන්න ඔබට සෘජුවම එනවද?

සාක්ෂිකරු ; වෙනත් අංශයකින් එන්නේ

නීතිඥ ; මේ ගෙවීම් ගැන ඔබ සෑහීමකට පත්වුණා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; LTD ගැන දිනය ප්‍රශ්න කළාද?

සාක්ෂිකරු ; LTD නැතිව තමයි කලේ. අප ගෙවීම් කළේ භාණ්ඩ සැපයූ ආයතනයට

නීතිඥ ; නමුත් ඉන්පසු ප්‍රශ්න ඇතිවුණානේ?

සාක්ෂිකරු ; මතකයට එන්නේ නැහැ

නීතිඥ ; ඒ කියන්නේ යථා පරිදි සිද්ධ වුණා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

(දස වන චූදිත වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිරීම අරඹයි)

නීතිඥ ; ඔබ දැන් සේවය කරන්නේ මොන අංශයේද?

සාක්ෂිකරු ; වත්කම් කළමනාකරණ හා භාණ්ඩ සමීක්ෂණ අංශයේ

නීතිඥ ; ඝනකාධිකාරීවරයෙක් ලේඛන මතයි කටයුතු කරන්නේ 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඔබෙන් සාක්ෂි විමසා සිටින පැ 313 වශයෙන් ලකුණු කළ ලේඛනය ගැන

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; මේ ගොනුව ලැබුණේ කොහෙන්ද

සාක්ෂිකරු ; මා වෙත ඉදිරිපත් වුනේ රැස්වීමකදී

නීතිඥ ; ඔබත් සහභාගි වුණාද

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී 

නීතිඥ ; එය තිබුණේ කවදද?

සාක්ෂිකරු ; මේ සටහන අනුව 2022/10/31 

නීතිඥ ; මේ 1 සිට 63 දක්වා ලේඛනවලට අවධානය යොමුු කළාද?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; 1 සිට 35 දක්වා තිබෙන්නේ MSD ඖෂධ සපයා ගැනීම පිළිබඳ කටයුතු. 36 සිට 59 දක්වා තිබෙන්නේ ප්‍රසම්පාදන කමිටුවේ නියමයන්. 60සිට 63 දක්වා ඇත්තේ ප්‍රසම්පාදනයට මුල් වුණ අමාත්‍ය මණ්ඩල තීරණ.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඔබ මේ ලේඛන පිළිබඳව සෑහීමකට පත්වුණාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ප්‍රසම්පාදනයට ලබා දුන් අවස්ථාවේදී මේ ලේඛන ඉදිරිපත් වුනාම ඒවා පරීක්ෂා කර බැලුවාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි 

නීතිඥ ; පිටු අංක 36 සිටියේ 59 දක්වා ඇති ප්‍රසම්පාදන තීරණ අරන් තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව විසින්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය දන්නවද?

සාක්ෂිකරු ; මම ඒ ගැන වැඩි විස්තර දන්නේ නැහැ

නීතිඥ ; එය කොවිඩ් සමයෙත් තිබුණා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; එම කමිටුවේ සභාපති කවුද?

සාක්ෂිකරු ; සෞඛ්‍ය ලේකම් 

නීතිඥ ; එහි අනෙක් සාමාජිකයන් දන්නවද?

සාක්ෂිකරු ; නැහැ. ලේකම්තුමා පමණයි දන්නේ

නීතිඥ ; ප්‍රසම්පාදනයන් දක්වා ගිය කමිටුවේ සාමාජිකයන් දොළහක් ඉන්නවා. 

සාක්ෂිකරු ; ඔව් 

නීතිඥ ; පැ 313 පිටු අංක 1 - 63 දක්වා සොයාගන්න නැහැ කියලයි ඔබ කියන්නේ?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; MSD  සැපයුම් අංශයේ සතිශ් කියන නිලධාරියා තමයි එය කළේ

සාක්ෂිකරු ; මම ඔහු හඳුනන්නේ නැහැ. මෙය සකස් කළේ ගිණුම් අංශයෙන්. 

නීතිඥ ; ප්‍රධාන වශයෙන් ගැණුම් ඇනවුම් නිකුත් කිරීම. 

සාක්ෂිකරු ; මේ සම්බන්ධව මට තීරණයක් ගත නොහැකි නිසා එය   ප්‍රධාන ගණන් දීමේ නිලධාරී වෙත යැව්වා. 

නීතිඥ ; ඒ නිසා ෆෝවර්ඩ් කියා සටහනක් දැම්මා. 

සාක්ෂිකරු ; ඒ අනුව ලේකම්වරයා වෙත ගියා

නීතිඥ ; පැ 313 න් ඉල්ලා තිබුනේ කුමක්ද?

සාක්ෂිකරු ; ඖෂධ 188 ම සම්බන්ධ ඉල්ලීම්

නීතිඥ ; එක සැපයුම්  කරුවෙකු, ඉලක්ක කර තිබුණද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි

නීතිඥ ; මෙම වැය ශීර්ෂය සම්බන්ධ කවර අයටද? (පැ 391 පෙන්වයි)

සාක්ෂිකරු ; MSD එකට

නීතිඥ ; වාර්ෂික විසර්ජන පනතේ, අනුමත කරන වැය ශීර්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙනවා. 

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; විසර්ජන පනතේ ප්‍රාග්ධන වියදම් ප්‍රසම්පාදන වියදම් ආදිය තිබෙනවා.

සාක්ෂිකරු ; පුනරාවර්තන නැහැ 

නීතිඥ ; මෙය වැය කර ඇත්තේ කුමකටද?

සාක්ෂිකරු ; සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනු නියෝජනය ලෙස SPC ඉන්නේ. එහි ප්‍රධානියා සෞඛ්‍ය අමාත්‍යවරයා

නීතිඥ ; මාසිකව අත් මුදල් දෙන්නේ SPC එකට. චෙක් පත් නිකුත් නොකර භාණ්ඩාගාර මුදල්වලින් අඩු කරනවා. 

සාක්ෂිකරු ; ඔව් 

නීතිඥ ; පැ 391 ලෙස ලකුණු කර ඇති සටහන් 6 ඔබ විසින්  ලකුණු කළාද? 

සාක්ෂිකරු ; ප්‍රධාන ලිපිකරු

නීතිඥ ; ඔහු තබන ලද සටහන පැ 390 වශයෙන් ලකුණු කරන ලද එකක්. එය සෞඛ්‍ය ලේකම්ට යවන්න කියා ප්‍රධාන ලිපිකරුට යොමුකර තිබෙනවා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; එසේ ගෙවීමට අවසර ඉල්ලා තිබුණේ පැ 313 අමුණා තිබූ ඖෂධය

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී 

නීතිඥ ; අධ්‍යක්ෂ MSD වෙත ඉදිරිපත් කිරීමේදී, නිර්දේශ කිරීම ඔබගේ සටහන අනුව ධ්‍යක්ෂතුමා මගින් සිදුකර තිබෙනවා.

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; 2023/01/20 දින අධිකරණ අනුමැතිය දීලා තිබෙනවා

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; වව්චරයේ වටිනාකම සහිතව වව්චර් පවත්වාගෙන යන්න පුළුවන්. මෙහි තොරතුරු අනුව එය වෛද්‍ය ජී විජේසූරිය විසින් අත්සන් කළ එකක් 

සාක්ෂිකරු ; එය නසීර් විසින් සකස් කළ එකක්

නීතිඥ ; ගැනුම් ඇනවුම දමා සකස් කළ එකක් නේද ඒක?

සාක්ෂිකරු ; ඔව් ; නමුත් මෙතන වව්චර් අංක නැති නිසා වව්චරයේ අවසන් අංකය තෙක් බලා ගත යුතුයි. 

නඩුව 17වනදා ත් විභාගයට ගැනුණි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0