මෙහෙම අය ගේන බෙහෙත් විදින... හපොයි! අපේ රෝගීන්...

එය තවත් එක් උණුසුම් ප්‍රශ්න කිරීම් වලින් හා උත්තර දීම් වලින් පිරුණු රසවත් සාක්ෂි විභාගයක් විය. දිනය පසුගිය ජූලි 28 වනදාය. ස්ථානය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයයි. එදින එහි විභාග වෙමින් පැවැතියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් දොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද බාල ඖෂධ නඩුකරයේ තවත් එක් සාක්ෂි විභාගයකි.

Jul 30, 2026 - 01:25
 63
මෙහෙම අය ගේන බෙහෙත් විදින...  හපොයි! අපේ රෝගීන්...

2026 ජූලි මස 28 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය.

මෙහෙම අය ගේන බෙහෙත් විදින...

හපොයි! අපේ රෝගීන්...

බාල ඖෂධ නඩුවේදී සෞඛ්‍ය සහකාර අධ්‍යක්ෂිකාව 

විත්තියේ නීතිඥයන්ගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වෙයි!

මාස 3ට සති 11යි ලු...

ඔන්න රාජ්‍ය සේවය...

ඖෂධ උෂ්ණත්ව සටහන් සහ

සාම්පල පරීක්ෂාවේ 

බරපතළ පරස්පරතා එළියට

අධිකරණ වාර්තාකරු.

එය තවත් එක් උණුසුම් ප්‍රශ්න කිරීම් වලින් හා උත්තර දීම් වලින් පිරුණු රසවත් සාක්ෂි විභාගයක් විය. දිනය පසුගිය ජූලි 28 වනදාය. ස්ථානය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයයි. එදින එහි විභාග වෙමින් පැවැතියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් දොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද බාල ඖෂධ නඩුකරයේ තවත් එක් සාක්ෂි විභාගයකි.


සාක්ෂි ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) සහකාර අධ්‍යක්ෂ චාන්දනී මල්ලවාරච්චි මහත්මිය පැමිණ සිටියාය.


නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සුපුරුදු පරිදි සාක්ෂි විභාගය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විසින් මෙහෙයවූ අතර එයට විත්තියේ පලපුරුදු අති දක්ෂ නීතිඥයින්වන නීතිඥ හරේන්ද්‍ර බානගල, නීතිඥ අසේල සෙරසිංහ සහ නීතිඥ නයන්ත විජේසුන්දර යන අයගේ හරස් ප්‍රශ්න ඇසීම නිසා සාක්ෂි විභාගය වඩාත් උණුසුම් බලා සිටින්නවුන්ගේ උද්යෝගය වඩවන නඩු විභාගයක් විය.


පැමිණිල්ලේ මෙහෙයවීම සහ ඖෂධවල පරස්පරතා

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පැවැති මෙම විභාගයේදී, ව්‍යාජ ලෙස සැකසූ 'හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්' සහ 'රිටක්සිමැබ්' නමැති ඖෂධ පිළිබඳ තාක්ෂණික කරුණු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් සාක්ෂිකාරියගෙන් විමසා සිටියාය.


එහිදී, අදාළ ඖෂධ ගබඩා කළ යුතු උෂ්ණත්ව සටහන්වල ඇති බරපතළ ගැටලු සහ නිෂ්පාදිත දිනයට පෙර (2023/04/01) විශ්ලේෂණ වාර්තා (COA) ලබාදී තිබීම (2022/04/02) වැනි අසංගත කරුණු රැසක් අනාවරණය විය. ද්‍රවමය ඖෂධයක් වන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් අංශක 2-8ත් අතර උෂ්ණත්වයක තැබිය යුතු වුවද, ඊට පටහැනිව උෂ්ණත්ව මට්ටම් දෙකක් සටහන්ව තිබියදීත්, අදාළ තොගය ප්‍රතික්ෂේප නොකර භාරගැනීමට නිර්දේශ ලබාදීම පිළිබඳවද මෙහිදී කරුණු මතුවිය.


විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ අසරණ වූ සාක්ෂිකාරිය

පැමිණිල්ලේ මෙහෙයවීමෙන් අනතුරුව පළමු සහ දෙවන චූදිතයන් වෙනුවෙන් පෙනී සිටි විත්තියේ ප්‍රබල නීතිඥවරුන් වන හරේන්ද්‍ර භාණගල සහ අසේල සේරසිංහ යන මහත්වරුන්ගේ තියුණු හරස් ප්‍රශ්න නැගීම ආරම්භ වීමත් සමඟ සාක්ෂිකාරිය දැඩි ලෙස අසරණ වන ආකාරයක් දක්නට ලැබිණි.


විශේෂයෙන්ම, රාජකාරිමය වශයෙන් තමන් සතු වගකීම් සහ පටිපාටීන් පිළිබඳව සාක්ෂිකාර සහකාර අධ්‍යක්ෂවරිය දක්වන ලද අලස සහ වගකීම් විරහිත ස්ථාවරය විත්තියේ නීතිඥවරුන් විසින් විනිසුරු මඬුල්ල හමුවේ මනාව තහවුරු කරනු ලැබූහ. නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතා ප්‍රශ්න කරමින් කියා සිටියේ, අදාළ WR පත්‍රිකාවල නිරවද්‍යතාව පරීක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා නැඟී තිබියදී සහ සේවය අත්හිටුවා තිබියදී, කිසිදු පදනමකින් තොරව නැවත සේවයේ පිහිටුවා ඇත්තේ කෙසේද යන්නයි. එමෙන්ම, ඖෂධවල පිරිවිතර හෝ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ කිසිදු ප්‍රායෝගික පළපුරුද්දක් නොමැතිව ඇය ප්‍රකාශ ලබාදී ඇති බවත්, ඇතැම් තාක්ෂණික කරුණු මගහරිමින් අධිකරණය නොමග යැවීමට තැත් කරන බවත් නීතිඥවරයා යෝජනා කළේය.


සති 12 ක කාලය මාසවලට හැදූ ගණන් නිගමන


දෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතාගේ හරස් ප්‍රශ්න කිරීම හමුවේ සාක්ෂිකාරිය වඩාත් විපිලිසර විය. රේගුවේ සති 12 ක කාලයක් තබා ගැනීම වලංගු බවට සඳහන් ලේඛනයක් (පැ 135) පිළිබඳ ප්‍රශ්න කිරීමේදී, පෙබරවාරි 11 වනදා සිට සති 12 ක කාලය ගණනය කරන ලෙස අධිකරණය හමුවේ ඇයට දින දර්ශනයක් ලබා දීමට සිදුවිය.


විනිසුරුවරයාගේ ද මැදිහත්වීම මත සති 12 ගණනය කළ සාක්ෂිකාරිය, එම දිනය මැයි 06 වනදා බව පිළිගත්තාය. නමුත්, මාසයකට සති හතර බැගින් ගණන් හදා මාස තුනක් යනු සති 11 ක් ලෙස තමන් සැලකූ බව පවසමින් ඇය අද්භූත තර්කයක් ඉදිරිපත් කළාය. එහිදී නීතිඥ අසේල සේරසිංහ මහතා සෘජුවම යෝජනා කර සිටියේ සාක්ෂිකාරිය සත්‍යය දැන දැනම අධිකරණය නොමග යැවීමට උත්සාහ කරන බවයි.


එපමණක් නොව, අදාළ ඖෂධ තොගය නිසි පරිදි භාරගැනීමට අනුමැතිය ලබාදී ඇත්තේ ද සාක්ෂිකාරිය විසින්ම බවත්, MSD එකට ලැබෙන ලේඛන පිළිබඳව හෝ තමන් භාරයේ තිබූ ඖෂධ හැර අනෙකුත් ඖෂධ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව පැවසීමෙන් ඇය කෙතරම් වගකීම් විරහිත රාජ්‍ය නිලධාරිනියකද යන්න නීතිඥවරයා විසින් පෙන්වා දෙන ලදී.


ප්‍රශ්න හමුවේ පැහැදිලි පිළිතුරක් ලබාදීමට නොහැකිව සාක්ෂිකාරිය නිරුත්තර වූ අතර, වැඩිදුර නඩු විභාගය නැවත ජූලි 30 වන දිනට කල් තබන ලදී.


නඩු වාර්තාව

ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දීම, රුපියල් කෝටි 14 කට අධික මුදලක් රජයට වංචා කිරීම කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර විනිසුරුතුමන්ලා ඉදිරියේ ඊයේත් (28) යළි විභාගයට ගැනිණි.

එහිදී සාක්ෂිදීම සඳහා කැඳවනු ලැබ තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂ චාන්දනී මල්ලවාරච්චිය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් රිටක්සිමැබ් කුප්පි සහිත පෙට්ටියක් හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලැබිණි.

සුදු පැහැ පෙට්ටියක බහා සෙලෝ ටේප්වලින් ආවරණය කර තිබූ එහි bottes 2 යනුවෙන් සඳහන් කර තිබිණි.

නීතිඥ නයන්න විජේසුන්දර ; ස්වාමීනි, මෙම නඩු භාණ්ඩයේ මුද්‍රා නැති බව සඳහන් කරන්න 

සභාපති විනිසුරු.; තියෙන දේවල් සඳහන් කළාම හරි.

ඒ තුළ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 5mg (100ml 5%) (vral) යනුවෙන් සඳහන් පෙට්ටියක් සහ රිටක්සිමැබ් එන්නත 5g ද තිබිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; 2023/05/11 දින අධිකරණයේදී හඳුනා ගත් පැ 338 A , 400 34 U යන ලේඛන සහ COA සහතිකය සමඟ පරීක්ෂා කළ සාම්පලයට මේ සාම්පලය සමානද?

සාක්ෂිකාරිය  ; ඔව් ස්වාමීනි ඊට සමාන සාම්පලයක්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ සාම්පලය පරීක්ෂා කිරීමේදී සැපයුම් කොන්දේසි වලට අනුකූලද කියල බැලුවද?

සාක්ෂිකාරිය ;අංක තුන යටතේ ඇති නම, නිෂ්පාදිත දිනය, කාණ්ඩ අංකය, කල්ඉකුත් වන දිනය , නිෂ්පාදකගේ නම හා ලිපිනය යන කරුණු බැලුවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි කාණ්ඩ අංකය කුමක්ද?

සාක්ෂිකාරිය  ; A 060202350 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නිෂ්පාදිත දිනය හා කල්ඉකුත් වීමේ දිනය කුමක්ද?

සාක්ෂිකාරිය  ; නිෂ්පාදිත දිනය 2023 අප්‍රෙල් 10  ,  කල්ඉකුත් වීමේ දිනය 2025 අප්‍රේල් 25 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නිෂ්පාදකගේ නම සහ ලිපිනය කුමක්ද?

සාක්ෂිකාරිය  ; ලයිව් හෙල්ත් බයෝ ෆාමා පුද්ගලික සමාගම. product of india කියලත් තියෙනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය; ඉන්වොයිස් පතේ නිෂ්පාදකගේ නම සඳහන් වෙන්නේ කොහොමද?

සාක්ෂිකාරිය ; live health  bio fama පුද්ගලික සමාගම, ගුජරාටි ඉන්දියා කියලයි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ; ලිපිනය පරීක්ෂා කළේ කොහොමද?

සාක්ෂිකාරිය  ; පෙට්ටියෙන් හා ඉන්වොයිසියෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ අධිකරණයට සඳහන් කළ කරුණු තහවුරු කර ගත්තාද?

සාක්ෂිකාරිය  ;එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; අයිතමය පරීක්ෂා කරන්නේ කොහොමද?

සාක්ෂිකාරිය  ; discription එකෙන් හා පියවි ඇසෙන් බැලීමෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පිරිවිතරය කුප්පියේ ලේබලයේ ඇති බවත් ඔබේ පිරිවිතර හා සසඳන බවත් කීවා.

සාක්ෂිකාරිය ; ඔව් පිරි විතරයක අඩංගු ඖෂධ  500g - 50ml වයල් එකක් 2-8 අතර උෂ්ණත්වයක තබන ලෙස සඳහන් කර තිබුණා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 334 ගැනුම් ඇනවුම් පිරිවිතර එක්ක සෑහීමකට පත්වුණාද?

සාක්ෂිකාරිය  ; එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ උෂ්ණත්වය COA සහතිකයේ ඇති කරුණු සලකා බලනවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ සෑහීමකට පත් වූ පසු තොග පාලන නිලධාරී තබන සීල් එක ගැන ඔබට ඇති වගකීම කුමක්ද?

සාක්ෂිකාරිය   ; ඔහු පරීක්ෂා කිරීම අවසන් කළ පසු කොටු සීල් එක තබා අත්සන් කරනවා..

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 340, 341, 135, 334, 404 WR සහතිකය ගැනුම් ඇනවුම හා COR සහතිකය ඔබට ලැබුණේ කොහොමද?

සාක්ෂිකාරිය  ; තොග පාලන නිලධාරී වෙතින්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; WR කොහොමද ලැබුණේ

සාක්ෂිකාරිය  ; වෛද්‍ය සැපයුම් අංශයේ සැපයුම් ඝණකාධිකාරීගෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒවා ගැන ගැටළුවක් තිබුනොත් ඒවා අධීක්ෂණය කරන නිලධාරීගෙන් නැවත ලැබෙනවද? 

සාක්ෂිකාරිය ; නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ලේඛණ කවුද බලන්නේ? 

සාක්ෂිකාරිය  ; අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ඝණකාධිකාරී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ හඳුනා ගත් ලේඛන වැරදි බවට ඔබෙන් විමසුවාද?

සාක්ෂිකාරිය  ; නැත ස්වාමීනි, 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 347 A ලේඛනය බලන්න එය මත ඔබ හඳුනාගත් අධ්‍යක්ෂකගේ මුද්‍රාව තිබේද?

සාක්ෂිකාරිය  ; ඔව් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය නිර්දේශ කළ බලධාරියා කවුද?

සාක්ෂිකාරිය ; ගබඩාව භාර තොග පාලන නිලධාරී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එවකට ඔබ ඔහු සමග රාජකාරි කර තිබෙනවාද?

සාක්ෂිකාරිය  ; ඔව් ඖෂධ භාර ගැනීම් සම්බන්ධව කටයුතු කර තිබෙනවා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කොටු මුද්‍රාව මත අනුමත කර ඇත්තේ කවුද?

සාක්ෂිකාරිය  ; දේව ශාන්තිනී මහත්මිය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මෙහි අයිතමය කුමක්ද?

සාක්ෂිකාරිය ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ ඖෂධ වේදියෙක් ලෙස මෙම හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්  ඖෂධය 2-8 අතර උෂ්ණත්වයක් යටතේ තබාගත හැකිය කියන්නේ ඇයි?

සාක්ෂිකාරිය  ; මෙය අංශක 2-8 අතර උෂ්ණත්වයක තැබිය යුත්තේ එය දියරමය අයිතමයක් නිසයි. එය කාමර උෂ්ණත්වයේ තැබිය නොහැකියි.

නියෝජ්‍ය සොලිසිටර්  ජනරාල්වරිය ; 347 A ලේඛනයේ Storage condit යනුවෙන් යමක් සඳහන්ද? එහි වැරදි ලෙස ද නිවැරදි ලෙසද අනුමැතිය දී ඇත්තේ?

සාක්ෂිකාරිය  ; එය වැරදියි ගැටළු සහගතයි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එවැනි අවස්ථාවක ඔබ කුමක්ද කරන්නේ?

සාක්ෂිකාරිය  ; quarry sheet එකක් මගින් අධ්‍යක්ෂ දැනුවත් කරනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එවැන්නක් සිදුව තිබේද?

සාක්ෂිකාරිය ; ඔව් එවිට තොග පාලන නිලධාරියා විසින් පෝරමය පුරවා මා වෙත එවනවා. මා අධ්‍යක්ෂක වෙත යැවිය යුතුයි. 

විනිසුරු ; කාමර උෂ්ණත්වයේ තැබිය යුතුයි කියලා තිබෙනවද?

සාක්ෂිකාරිය  ; නැහැ ස්වාමීනි. කාමර උෂ්ණත්වය හා 2-8 ලෙස සඳහන්. මෙය නිවැරදි උෂ්ණත්වය නොවේ. IV නිෂ්පාදනවලට නිවැරදි උෂ්ණත්වය සඳහන් විය යුතුයි. මෙතන උෂ්ණත්ව දෙකක් සඳහන්

විනිසුරු ; නිෂ්පාදක විසින් නිවැරදිව අදාළ අයිතමය භාරදෙන විදිය නිවැරදිව සඳහන් කළ යුතු බව මොන ලේඛනයේද සඳහන්ව ඇත්තේ?

සාක්ෂිකාරිය  ; ඉන්වොයිස් පත්‍රයේ

විනිසුරු ; භාර දෙන අයිතමය එම අයිතමයේ ෆෝම් එක අනුව එහි උෂ්ණත්වය නිවැරදිව සඳහන් කළ යුතුයි නේද?

සාක්ෂිකාරිය  ; එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ ඊයේ වලංගු කාලය ගණනය කර පෙන්නුවා. එය කොහෙද සඳහන් වෙන්නේ?

සාක්ෂිකරු ; NV  ලෙස සඳහන් වන තැන   

(95 ගොනුවේ ඇති පැ 30 ලේඛනය පෙන්වයි)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය කුමක්ද

සාක්ෂිකාරිය  ; COA ( Certificate of analysis )

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි 30 - 6 කොටසේ සඳහන් නිෂ්පාදිත දිනය කුමක්ද? 

සාක්ෂිකාරිය  ; 2023 /04/ 01 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි Analysing statment කවදාද?

සාක්ෂිකාරිය  ; 2022 / 04 /02 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහෙම පුළුවන්ද?

සාක්ෂිකාරිය  ; ඇනලයිසීස් කරන්න බැහැ නිෂ්පාදනයක් නොකර 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; storeage condition 2-8 below 2 months කියන්නේ කුමක්ද? 25 පහත යම් මාස දෙකක් තබාගත හැකිද 

සාක්ෂිකාරිය  ; බැහැ. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ස්නායුවලට ප්‍රක්ෂේපණය කරන ඖෂධය එවැනි උෂ්ණත්වයක තබා ගත හැකිද? 

සාක්ෂිකාරිය  ; බැහැ. ස්නායුවලට විඳින බෙහෙත් එහෙම තියාගන්න බැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 30 හි උෂ්ණත්ව කොන්දේසියත් සැපයුම් කරුගේ උෂ්ණත්ව කොන්දේසියත් සමානද? 

සාක්ෂිකාරිය  ; පරස්පරයි ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහෙමනම් ගැටලුවකින් තොරව බාරගෙන තියෙන්නේ ඇයි?

සාක්ෂිකාරිය  ; මෙම COA සහතිකය හා Invoice එක අනුව 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒක වැරදි නම් අනුමත නොකරන්න වගකීමක් තිබෙනවා. 

සාක්ෂිකාරිය  ; ඔව් රිජෙක්ෂන් පත්‍රිකාවකින් දැනුම් දිය යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 351 ඉන්වොයිස් පත්‍රය බලන්න.
එහි ඔබ කී පරස්පරය තිබේද?

සාක්ෂිකාරිය  ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ අනුව පැ 437 ලේඛනයේ ප්‍රතික්ෂේප කිරීම් මුද්‍රාව හඳුනා ගන්න. එය අත්සන් කර ඇත්තේ සුජිත් නමැති නිලධාරියා. ඔහු මෙහි ඉන්නවද බලන්න

සාක්ෂිකාරිය  ; ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; කොටු මුද්‍රාව හා නිර්දේශය ලැබී තිබෙනවාද? එය අත්සන් කලේ කවුද?

සාක්ෂිකාරිය  ; ශාන්තිනී මහත්මිය

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ කී පරස්පරතාව තිබියදී අයිතමය භාර ගැනීමට නිර්දේශ තිබෙනවද?

සාක්ෂිකාරිය  ; ඔව්, සුජිත් මහතා නිර්දේශ කර තිබෙනවා. ශාන්තිනී මහත්මිය අනුමැතිය දී තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; WR පරීක්ෂා කළ යුතු ආකාරය පසුව උපදෙස් ලැබුණද?

සාක්ෂිකාරිය  ; ඔව් ස්වාමීනී. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; කාගෙන්ද?

සාක්ෂිකාරිය  ; අධ්‍යක්ෂවරයාගෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කවදද?

සාක්ෂිකාරිය  ; 2023/12/15

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2V 40 හා 2V 41 හඳුනා ගත හැකිද බලන්න ?

සාක්ෂිකාරිය  ; එය සහකාර අධ්‍යක්ෂවරුන්ට අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ලැබුණු නියෝග.

සාක්ෂිකාරියගෙන් විත්තියේ හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කෙරිණි. පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර භාණගල.

නීතිඥ ; ඔබේ සේවය අත්හිටෙව්වේ කවදාද?

සාක්ෂිකාරිය ; 2024 සැප්තැම්බර් 26 හෝ 27 අභ්‍යන්තර විමර්ශනයෙන් පසු යළි සේවයේ පිහිටෙව්වා. 

නීතිඥ ; ඔබට එරෙහිව පැවැති පරීක්ෂණය අවසන්ද?

සාක්ෂිකාරිය ; නැත ස්වාමීනී.

නීතිඥ ; එසේ නම් යළිත් සේවයේ පිහිටෙව්වේ කෙසේද?

සාක්ෂිකාරිය ; මම අභියාචනා ඉදිරිපත් කළා. ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවටත් ගියා. ඉන්පසු සේවයේ පිහිටෙව්වා. 

නීතිඥ ; ඔබ අවසන් වරට අභියාචනයක් ඉදිරිපත් කළේ කවදාද?

සාක්ෂිකාරිය ; පසුගිය මාර්තු වල.

නීතිඥ ; ඒ වනවිට විමර්ශන ඇරඹී තිබුණාද?

සාක්ෂිකාරිය ; ඔව් 2026 මාර්තු මාසයේ.

නීතිඥ ; අවුරුදු දෙකකට ආසන්න කාලයක් විමර්ශනවලින් තොරව සේවය අත්හිටුවා තිබුණද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී. හේතුවක් නැතිවම. 

නීතිඥ ; ඔබට නැගුණු චෝදනාව කුමක්ද?

සාක්ෂිකාරිය ;  WR පත්‍රය නිවැරදිව සකස් නොකිරීම. එහි නිර්වද්‍යතාව පරීක්‍ෂා කළේ නැහැ කියා චෝදනා තිබෙනවා.

නීතිඥ ; මේ සිද්ධියෙන් පසුවයි එම ක්‍රමවේදය ඇති කළේ?

සාක්ෂිකාරිය ; WR පත්‍ර අධ්‍යක්ෂතුමාගෙන් පහළට ඇවිත් තිබුණේ නැහැ.

නීතිඥ ; ඔබ දැනගෙන සිටියද MSD එකට ඒවා ලැබෙන බව..?

සාක්ෂිකාරිය ; දන්නේ නැහැ ස්වාමීනි.

නීතිඥ ; NMRA හි WR වෛද්‍ය සැපයීම්, අංශයට ලැබෙන බව ඔබ දන්නවද?

සාක්ෂිකාරිය ; වෛද්‍ය සැපයීම් අංශයට ලැබෙනවද කියා මම දන්නේ නැහැ.

නීතිඥ ; මම යෝජනා කරනවා ඔබ විවිධ මත දරමින් පිළිතුරු දෙනවා කියා.?

සාක්ෂිකාරිය ; මම එය ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥ ; ඔබ ලක්වුන චෝදනාව WR පත්‍රයේ නිරුවද්‍යතාව  බලා නැති එක..?

සාක්ෂිකාරිය ; ඔව්.

නීතිඥ ; ලේඛන මගින් NMRA යවලා තහවුරු කරගත යුතු බවට උපදෙස් ලබා දී තිබුනේ
පැ 403 මුද්‍රා තැබුවේ ඔබ ඉදිරියේද?

සාක්ෂිකාරිය ; නැහැ.

නීතිඥ ; එය තිබුණේ කොතැනද?

සාක්ෂිකාරිය ; දන්නේ නැහැ ස්වාමීනී.

නීතිඥ ; ඔය ඖෂධ කුප්පිය අධිකරණයට ගෙනාවේ කොහෙන්දැයි දන්නවද?

සාක්ෂිකාරිය ; ඔව් අයිතමය මම භාරගන්න අවස්ථාවේ දැක්කා,

නීතිඥ ; ඔබ භාර ගත් ඒවායින් එකක්මද මේ නඩු භාණ්ඩය කියා කිව හැකිද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි.

නීතිඥ ; ඔබගෙන් මූලික සාක්‍ෂි ලබාගත් අවස්ථාවේ 347 A සහ 347 A 2 යන ලේඛන ඔබේ අවධානයට යොමු කළාද?

සාක්ෂිකාරිය ; ඔව්. 

නීතිඥ ; එහි සටහන් කර ඇති උෂ්ණත්වය ගැන අවධානය යොමු කළාද? 

සාක්ෂිකාරිය ; ඔව්.

නීතිඥ ; එහි ස්ටෝරේජ් මට්ටම් දෙකක් තිබූ බවත් , ඒ අතර ඇල ඉරක් තිබූ බවත් දැක්කද?

සාක්ෂිකාරිය ; ඔව්. 

නීතිඥ ;  එයට අදාළ ඖෂධය වන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඝන තත්වයේ තිබෙන්න පුළුවන්?

සාක්ෂිකාරිය ; පුළුවන් ස්වාමීනි.

නීතිඥ ; ද්‍රව තත්ත්වයෙන් තියෙන්න පුළුවන්ද?

සාක්ෂිකාරිය ; පුළුවන් ස්වාමීනි.

නීතිඥ ; බාර දෙන තත්ත්වයට අදාළව ඖෂධ භාර ගන්න නිලධාරි කටයුතු කළ යුතුයි.

සාක්ෂිකරු ; ලික්විඩ් හෝ freeze ටයිප් කියලා තියෙන්නේ.

නීතිඥ ; පිරිවිතරයේ සඳහන් පරිදි ද්‍රව මාධ්‍ය හෝ freeze ටයිප්  කියන තැන or කියා තිබෙනවා..?

සාක්ෂිකාරිය ; එහි ඇල ඉරක් තිබෙන්නේ.

නීතිඥ ; ඇල ඉරක් or කියන එක නෙවෙයිද හැඟවෙන්නේ?

සාක්ෂිකාරිය ; ඖෂධයක එසේ තිබිය නොහැකියි.

නීතිඥ ; මම අහන්නේ ඇල ඉරකින් කියන්නේ or කියන එක නෙවෙයිද?

සාක්ෂිකාරිය ; මෙහි උෂ්ණත්ව දෙකක් සඳහන්. 

නීතිඥ ; ඔබ අහන ප්‍රශ්න මගහරින සාක්ෂිකාරියක් කියා මා යෝජනා කරනවා..?

සාක්ෂිකාරිය ; ප්‍රතික්ෂේප කරනවා

නීතිඥ ; ඒ වගේම ඔබ අධිකරණය නොමග යවනවා කියා මා යෝජනා කරනවා.?

සාක්ෂිකාරිය ; ප්‍රතික්ෂේප කරනවා. 

නීතිඥ ; පැ 30 ලේඛනයේ ඇනලයිස් කළ දින ඖෂධයක් නිපදවද්දී කාණ්ඩයෙන් කාණ්ඩයට ඇනලයිස් කරනවද?

සාක්ෂිකාරිය ; ඔව් කරනවා. සාමාන්‍ය ක්‍රමවේදය ඒකයි. 

නීතිඥ ; ඔබ ඒ ගැන කියන්නේ අධ්‍යාපනික සුදුසුකම් වලින්ද?

සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී.

නීතිඥ ; ඔබට ඖෂධ නිෂ්පාදනයේ පළපුරුද්දක් තිබේද?

සාක්ෂිකාරිය ; නැහැ. 

නීතිඥ ; එවැනි තැනක වැඩ කර තිබේද?

සාක්ෂිකාරිය ; නැත ස්වාමීනී.

නීතිඥ ; ඔබ පැ 30 ගැන දුන් සාක්ෂිය කිසිදු දැනුමකින් තොරව ලබා ලබාදුන් එකක්..?

සාක්ෂිකාරිය ; නැත ස්වාමීනී.

 නීතිඥ ; 2021 සිට ඔබ ඖෂධ භාරගෙන තිබෙනවා. මේ එයින් එකක්..?

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී.

නීතිඥ ; රිටක්සිමැබ් සම්බන්ධයෙන් ගැටලුවක් ආවා කියා දන්නවද?

සාක්ෂිකාරිය ; නැත ස්වාමීනී.

නීතිඥ ; මේ ඖෂධය සම්බන්ධව විමර්ශනය වුණා කියා දන්නවද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී.

නීතිඥ ; එය ඉවත් කළා කියා දන්නවද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි.

නීතිඥ ; NMRA එකෙන් MSD එක දැනුවත් කළේ නැද්ද මේ ගැන.?

සාක්ෂිකාරිය ; නැහැ.

නීතිඥ ; තත්ත්ව පාලන අංශයේ රැකියාව කළේ කොයි කාලෙද?

සාක්ෂිකාරිය ; 2017 පමණ.

නීතිඥ ; මේ රිටක්සිමැබ් ඉවත් කිරීම රාජකාරි මට්ටමින් දන්නේ නැද්ද?

සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී. 

දෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටින අසේල සේරසිංහ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය. 

නීතිඥ ; ඔබ අධ්‍යක්ෂවරු කීදෙනෙක් යටතේ සේවය කර තිබේද?

සාක්ෂිකාරිය ; කමල් ජයසිංහ, පනාපිටිය, කපිල වික්‍රමනායක, චන්දන විජේසිංහ හා සුදර්ශන යන වෛද්‍යවරුන් යටතේ MSD එකේ සේවය කළා.

නීතිඥ ; ඔවුන් වැඩිම කාලයක් සේවය කරන්නේ අවුරුදු පහයි නේද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී.

නීතිඥ ; ඔබ අවුරුදු කීයක් සේවය කළාද?

සාක්ෂිකාරිය ; අවුරුදු දහයකට වැඩි කාලයක්. 

නීතිඥ ; 2022 වසරේ ඔබ අතිරේක අධ්‍යක්ෂ 2 (ADP 2) 

සාක්ෂිකාරිය ; ඔව්. 

නීතිඥ ; ඖෂධ කීයක් ඔබ භාරයේ තිබුනාද?

සාක්ෂිකාරිය ; 7,8,9,10, 21 ගබඩා සහ පිළිකා නොවන නාමික ඖෂධ මා භාරයේ තිබුණා. 

නීතිඥ ; නම් වශයෙන් ගත්තම කීයක්ද?

සාක්ෂිකාරිය ; මතක නැහැ 500 ක් විතර ඇති ස්වාමීනී. 

නීතිඥ ; ADP 1 ළඟ ඖෂධ කීයක් විතර තිබුණද?

 සාක්ෂිකාරිය ; 1 සිට 6 දක්වා ගබඩා ඇය භාරයේ තිබුණා. 

නීතිඥ. ; ඖෂධ වර්ග කීයක්ද?

සාක්ෂිකාරිය ; දළ වශයෙන් 500 ක් පමන 

නීතිඥ ; 2022 වර්ෂයේ වෛද්‍ය කපිල වික්‍රමනායක MSD අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත්ව විදේශගත වුණා.?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

නීතිඥ ; රිටක්සිමැබ් ගැන ඇහුවා. ඒ ගැන ඇණවුම් ලැබෙන්නේ ගැනුම් ඇණවුමක් 2022 දි. 

සාක්ෂිකාරිය ; මම කරන ගබඩා නෙවෙයි. ADP 1 ගේ ගබඩාවල.

නීතිඥ ; ඔබ NMRA රැස්වීම්වලට යනවා නේද? ඔබට අදාලම නැද්ද ඖෂධ බෙදා හැරීම?

සාක්ෂිකාරිය ; මට කියන්න පුළුවන් මම ගබඩාවලට යැවූ ඒවා පමණයි. 

නීතිඥ ;ඔබ කියන්න හදන්නේ ඔබ දන්නෙ ඔබට අදාළ ඖෂධ ගැන විතරයි කියලද?

සාක්ෂිකාරිය ; අධ්‍යයනය කරලා කියන්න ඕන.

නීතිඥ ; රිටක්සිමැබ් ගැන ප්‍රශ්න ඇතිවුණාම ඔබෙන් කට උත්තරයක් ගත්තා.?

සාක්ෂිකාරිය ; ඔව්.

නීතිඥ ; එතනදි ඇත්තද බොරුද කිව්වේ?

සාක්ෂිකාරිය ; ඇත්ත ස්වාමීනී.

නීතිඥ ; මම යෝජනා කරනවා cid  එකෙන් කට උත්තර හතරක් ගත්තාය කියලා.? 

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි.

නීතිඥ ; ප්‍රියන්ත කස්තුරිසිංහ සාක්ෂි අංක 163 කියලා මම යෝජනා කරනවා.?

සාක්ෂිකාරිය ; මම ඒ ගැන දැනුවත් නැහැ.

නීතිඥ ; ඔබ දුටු WR ලේඛනයේ ශීර්ෂය අනුව ලියාපදිංචිය, මුදාහැරීම්, ඖෂධ ගබඩාවේ වර්ගය යටතේ ඖෂධ තොගයක් ඇණවුම් කොට රේගුවේ සති 12 දක්වා තබා ගැනීම වලංගු බවට.?

සාක්ෂිකාරිය ; ඔව්.

නීතිඥ ; ඒ අනුව මේ ඖෂධ තොගය නිෂ්කාශනය සඳහා පැ 135  ලබා දෙන්නේ.?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි. 

නීතිඥ ; ඖෂධයක ජීව කාලය තිබේ නම් භාවිතයේ ප්‍රශ්නයක් නැහැ. 2023 /02/ 11 සිට සති දොළහක් ගණන් කරන්න අවබෝධයක් තියෙනවා නේද? මෙන්න ශ්‍රී ලංකා මුද්‍රණ දෙපාර්තමේන්තුව නිකුත් කළ 2023 කැලැන්ඩරය පරීක්ෂා කර බලන්න. 

(කැලැන්ඩරයක පිටපතක් සාක්ෂිකාරියට දෙයි)  

සාක්ෂිකාරිය ; මෙය ඡායාස්ථ පිටපතක්..

නීතිඥ ; පෙබරවාරි 11 සිට සති 12 ක් වෙන්නේ කවදටද ගණන් කරලා බලලා කියන්න.

(විනිසුරු මැදිහත්ව තවත් පිටපතක් ලබා දී ලියමින් ගණන් කරන්නැයි උපදෙස් දෙයි)

සාක්ෂිකාරිය ; පෙබරවාරි 11 සිට සති 12 ක් වෙන්නේ මැයි 06 වැනිදාට 

නීතිඥ ; 2V 51 දින දර්ශනය බලල නේද කියන්නේ?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි 

නීතිඥ ; රජය ප්‍රශ්න කරද්දී මාස තුනක් ගැන ප්‍රශ්න කළාද?

සාක්ෂිකාරිය ; ඔව් 

නීතිඥ ; පැ 135 ලේඛනයේ මාස තුනක් කියන්නේ සති 11 ක් කියලා පිළිගත්තා නේද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

 නීතිඥ ; එහෙනම් මාස තුනක් කිව්වේ ඇයි?

සාක්ෂිකාරිය ; මම ගණන් කළේ සති හතරක් මාසයයි කියලා.

නීතිඥ ; මම යෝජනා කරනවා සාක්ෂිකාරිය මැයි හය බව දැන දැන අධිකරණය නොමග යවනවා කියලා. 

සාක්ෂිකාරිය ; ප්‍රතික්ෂේප කරනවා

නීතිඥ ; මම යෝජනා කරනවා පැ 135 WR එකේ සති 12 කාලසීමාව තුළ භාණ්ඩ නිෂ්කාශනය කලාට පසු ඖෂධයක ජීව කාලය අනුව භාර ගත්තම ප්‍රශ්නයක් නැහැ කියා.

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී 

නීතිඥ ; ඒ අනුව ඔබේ සාක්ෂිය අනුව එම භාර ගැනීම නිවැරදියි. මෙම භාර ගැනීම මසකට සති හතරයි කියා ගනන් කර කළ එකක්. එහි අයිතමයට අදාළ මූල්‍ය කටයුතුවලට  සැපයුම් හා ගබඩාවලට යනවා. අධ්‍යක්ෂ ජනරාල්ට යනවා. භාණ්ඩ තොගය භාර ගැනීම ගැන තීරණය ගත්තේ ඔබ අනුමත කළේ ඔබ..?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි. 

නඩුව යළි ජූලි 30 දින  විභාගයට ගැනීමට නියමිතය

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0