තොග පාලක තම වගකීම් පැහැර හැරීම් ගැන ප්‍රශ්නයක්...
ශ්‍රී ලාංකීය පොදු මහජනතාවගේ ජීවත්වීමේ අයිතිය සෘජුවම අවදානමකට ලක් කරමින් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි අර්බුදයකට ඇද දැමූ ‘බාල ඖෂධ සහ ව්‍යාජ “හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්” මිලදී ගැනීමේ මහා පරිමාණ දූෂණ වංචාවට අදාළ නඩු විභාගය, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙරට රාජ්‍ය පරිපාලනයේ සහ සම්බන්ධීකරණයේ පවතින බිහිසුණු ඛේදවාචකය මැනවින් නිරාවරණය විය.
2026 ජුනි මස 16 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය.
තොග පාලක තම වගකීම්
පැහැර හැරීම් ගැන ප්‍රශ්නයක්...
නිලධාරීන්ගේ වගකීම් විරහිතභාවයේ
නිරුවත හෙළි කළ තවත් සාක්ෂි විභාගයක්...
අධිකරණ වාර්තාකරු
ශ්‍රී ලාංකීය පොදු මහජනතාවගේ ජීවත්වීමේ අයිතිය සෘජුවම අවදානමකට ලක් කරමින් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි අර්බුදයකට ඇද දැමූ ‘බාල ඖෂධ සහ ව්‍යාජ “හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්” මිලදී ගැනීමේ මහා පරිමාණ දූෂණ වංචාවට අදාළ නඩු විභාගය, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙරට රාජ්‍ය පරිපාලනයේ සහ සම්බන්ධීකරණයේ පවතින බිහිසුණු ඛේදවාචකය මැනවින් නිරාවරණය විය.
හයවන දිනටත් සාක්ෂි විභාගය සඳහා ඉදිරිපත් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් ඒකකයේ (MSD) ප්‍රධාන තොග පාලන නිලධාරි එච්. එම්. ඩී. එන්. බණ්ඩාර මහතා සහ විත්තියේ නීතිඥවරුන් අතර ඇති වූ උණුසුම් තර්ක විතර්ක සහ හරස් ප්‍රශ්න කිරීම් හමුවේ පැහැදිලි වූයේ, රටේ ජනතාව ඖෂධ නොමැතිව මිය යද්දී වගකිවයුතු බලධාරීන් ලිපිගොනු සහ පරිගණක පද්ධති පිටුපස සැඟවී සිට ඇති බවයි.
මෙම නඩු විභාගයේදී මතු වූ ප්‍රධානතම ගැටුම්කාරී තත්ත්වය වන්නේ, ජාතික මට්ටමින් පවතින ඖෂධ හිඟය කළමනාකරණය කිරීමේ සෘජු වගකීම පැවරී ඇති ප්‍රධාන නිලධාරියා, තමන් සතු වගකීම්වලින් මුළුමනින්ම මිදීමට හෝ ඒවා වෙනත් පාර්ශ්ව වෙත බැර කිරීමට උත්සාහ කිරීමයි. විත්තියේ නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා විසින් මතු කරන ලද තීරණාත්මක කරුණු හමුවේ, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඖෂධ තොග පාලනය සම්බන්ධයෙන් පැවති දැඩි අකාර්යක්ෂමතාවය සහ “සාපරාධී නොසලකා හැරීම” මනාව ඔප්පු විය.
විශේෂයෙන්ම, 2023 ජනවාරි මාසය වන විට මසකටත් අඩු කාලයකට සෑහෙන ‘ජාතික තොගයක්’ පමණක් ඉතිරිව තිබියදී සහ මැයි මාසය වන විට එය ක්‍රමානුකූලව ක්ෂය වී යද්දී, එම හිස්තැන පිරවීමට කිසිදු පියවරක් නොගැනීම පිළිබඳව නැඟුණු ප්‍රශ්න හමුවේ සාක්ෂිකරු අසරණ විය. සියයට සියයක් තිබිය යුතු ඖෂධ තොග ඒකක 9 දක්වා, එනම් මුළු රටේම එක් පළාතකට එක බැගින් වන තරමට පහත වැටෙන තෙක් නිලධාරීන් බලා සිටියේ කුමන පදනමකින්ද යන්න සමස්ත සමාජයේම දැඩි පිළිකුලට ලක්විය යුතු කරුණකි.
තවද, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) සහ වෛද්‍ය සැපයීම් ඒකකය (MSD) අතර පැවති සම්බන්ධීකරණයේ බිඳවැටීම මෙහිදී තවදුරටත් තහවුරු විය. 2018 වසරේදී සහ 2022 වසරේදී ඒකක දසදහස් ගණනින් ඇණවුම් කරන ලද “ක්‍රිස්ටල් සල්ෆේට්” සහ “රිටක්සිමැබ්” වැනි අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වසර ගණනාවක් ගතවන තුරුත් රටට ලැබී නොතිබීම සහ එසේ නොලැබීමට හේතු සෙවීම වෙනුවට ඒවා “ලැබීමට නියමිත තොග” (Dues) ලෙස සලකා නිහඬව සිටීම රාජ්‍ය නිලධාරීන්ගේ පරම අදූරදර්ශීභාවය පෙන්වන්නකි.
රුපියල් බිලියන ගණනක මහජන මුදල් වැය කරමින් පවත්වාගෙන යනු ලබන ස්වයංක්‍රීය පරිගණක පද්ධති පවතිද්දී, ඇතැම් ඇණවුම් පද්ධතියට ඇතුළත් කර ඇත්දැයි බැලිය යුතු බව පැවසීමෙන් හැඟී යන්නේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉරණම තීරණය වී ඇත්තේ කෙතරම් ලිහිල් සහ වගකීම් විරහිත යාන්ත්‍රණයක් මතද යන්නයි.
මෙම සාක්ෂි විභාගයේ වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වූයේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඉහළම පරිපාලන නිලධාරීන් සහභාගී වූ තීරණාත්මක ‘රැස්වීම් සටහන්’ සාක්ෂිකරු වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය. තමන්ගේම නම සඳහන්, තමන්ද සහභාගී වූ බවට සාක්ෂි ඇති නිල ලේඛන තමන් පළමු වතාවට දකින බව පැවසීමට තරම් සාක්ෂිකරු දැක්වූ අඥාන ප්‍රතිචාරය හමුවේ අධිකරණය පවා විමතියට පත් විය. අවසානයේ නීතිඥවරයාගේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ "සහභාගී වෙන්න ඇති" යනුවෙන් පවසමින් තමන්ගේම මතකය සහ වෘත්තීයවේදීත්වය පාවා දීමට සාක්ෂිකරුට සිදු විය.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය (ICL) යටතේ හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබියදී, පවතින හිඟය මඟහරවා ගැනීමට නිසි කලට ක්‍රියා නොකර, අවසානයේදී ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ව්‍යාජ එන්නත් මෙරටට ගෙන්වා ගැනීමට අනුබල දීම හෝ ඊට මඟ පෑදීම පිටුපස ඇති නිලධාරී-දේශපාලන කුමන්ත්‍රණය මෙම නඩු විභාගයෙන් ක්‍රමයෙන් අනාවරණය වෙමින් පවතී. නිල නාමයට ඉදිරියෙන් ‘ප්‍රධාන තොග පාලන නිලධාරී’ (HOSCO) ලෙස විශාල තනතුරු නාමයන් දරා සිටියද, අවසාන විග්‍රහයේදී රටේ පොදු ජනතාවගේ ජීවිත සෙල්ලමකට ලක් කිරීමට අනුබල දුන් මෙවැනි පරිපාලන ව්‍යුහයන්ගේ අර්බුදය, නීතිය ඉදිරියේ මෙලෙස නිරුවත් වීම රටේ අනාගතයට යහපත් පූර්වාදර්ශයකි.
මහාධිකරණ නඩු විභාගයේ වාර්තාව
නිසි ප්‍රමිතියෙන් තොර “හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් සහ රිටොක්සිමැබ්” ප්‍රතිදේහ එන්නත් ඖෂධ කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13 ක් යටතේ එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුකරය මේ දිනවල ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනෙයි.
කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී පසුගිය 16 වනදා බාල බෙහෙත් මිලදී ගැනීම පිළිබඳ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ, හයවන දිනටත් සාක්ෂි ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරි එච්. එම්. ඩී. එන්. බණ්ඩාර මහතා සාඛ්ෂි දීමට කැඳවනු ලැබීය.
විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු දසවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රියන්ත නාවානගේ මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.
නීතිඥ : ඖෂධ හිඟය ගැන පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් පැවැත්වුණාද?
සාක්ෂිකරු: ඔව්, Stakeholders meeting එකක් පැවැත්වුණා.
නීතිඥ: ඔබගේ නමට ඉදිරියෙන් HOSCO යන අකුරු යොදා තිබෙනවා. එයින් ඇඟවෙන්නේ කුමක්ද?
සාක්ෂිකරු: තොග පාලන අංශ ප්‍රධානියා (Head of Stock Control Officer) යන්නයි.
නීතිඥ: 2022 සැප්තැම්බර් 5 වැනිදා මෙම රැස්වීම පැවැත්වුණේ කොතැනද?
සාක්ෂිකරු: සෞඛ්‍ය අමාත්‍යාංශයේදී.
නීතිඥ: අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් රත්නායක, ნියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. ටී. සුදර්ශන ඇතුළු පිරිසක් සහභාගි වූ මෙම රැස්වීමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලත් සහභාගි වුණාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: ඖෂධ සංස්ථා සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර, සහකාර ඖෂධ සංස්ථා සාමාන්‍යාධිකාරී දිනුක දසනායක, අධ්‍යක්ෂිකා සොලමන්ස් සහ සහකාර අධ්‍යක්ෂිකා වන්නිආරච්චි යන අයත් එහි සිටියාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: එහිදී මොනවාද කතා කළේ?
සාක්ෂිකරු: ඖෂධ වර්ග හතක් ගැන කතා කළා.
නීතිඥ: ICL යටතේ ඖෂධ ආනයනය ගැන මුදල් අමාත්‍යාංශය විසින් දන්වා ඇති බව සටහන් කර තිබෙනවාද?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: එම රැස්වීම අනුව ඖෂධ ලබා ගැනීම ආරම්භ කළාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: සාකච්ඡා කළ කරුණු අතර දෙවන අංකය යටතේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ශ්‍රී ලංකා උපයෝජනය සම්බන්ධව පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශය ඉල්ලා සිටියාද?
සාක්ෂිකරු: එසේය ස්වාමීනි. එහිදී මාස තුනක ප්‍රමාණයට අවශ්‍ය ඖෂධ සඳහා ඇණවුම් ලබා දෙන ලෙසත්, ලැබෙන්න තිබෙන ඇණවුම් නොසලකා මාස තුනකට අවශ්‍ය ඖෂධ ඇණවුම් කරන්නත් උපදෙස් දුන්නා.
නීතිඥ: එම ක්‍රියාවලිය සැප්තැම්බර් 30ට පෙර කරන්න කීවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: කාටද ඒ වගකීම පැවරුණේ?
සාක්ෂිකරු: වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයාට.
නීතිඥ: මේ රැස්වීමේදී වෛද්‍ය සැපයීම් අංශයේ තවත් අය සහභාගි වී තිබෙනවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි, සහකාර අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක්.
නීතිඥ: විනිමය අනුපාත ඉහළ යාම සහ හිඟ මිල පිළිබඳව සැපයුම්කරුවන් විසින් සාකච්ඡාවක් ඉල්ලා තිබුණා. SPC සහ වෛද්‍ය සැපයුම් ඒකකයේ නිලධාරීන් රැස්වීමක් කැඳවා මිල පිළිබඳ සාකච්ඡා කර යන මෙන් දැන්වූවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: සැප්තැම්බර් 22 හෝ ආසන්න දිනයක් වන විටත් මේ ඖෂධ 182 ලැබී නැහැ.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
විනිසුරු: (පැමිණිලි පාර්ශ්වයේ 293 වන ලේඛනය පෙන්වමින්) ඕඩර් කරලා ඖෂධ ලැබෙන අවස්ථා තියෙන්න පුළුවන්ද පද්ධතියට ඇතුළු නොවී?
සාක්ෂිකරු: එහෙම අවස්ථා මාසිකව තියෙන්න පුළුවන් ස්වාමීනි.
නීතිඥ: 'ජාතික තොගය' යැයි හඳුන්වන තොගය 2023 ජනවාරි 31 වන විට මසකට අඩු ප්‍රමාණයක් තිබුණේ. 2023 මැයි මාසය වන විට ගතවූ මාස පහක කාලය තුළ ක්‍රමානුකූලව අඩුවෙමින් ගියා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: අඩුවුණ ප්‍රමාණය යළි පුරවන්නේ නැද්ද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.
නීතිඥ: 2023 අප්‍රේල් 30 සිට මැයි 30 දක්වා ගතවූ මාසය තුළ රට තුළ තිබිලා තියෙන්නේ ඒකක නවයයි. පළාත් මට්ටමින් ගත්තොත් එක පළාතකට එකයි තිබිලා තියෙන්නේ. ඔබ කියන ඔය ක්‍රමය තුළ යථාවත් කිරීමකින් තොරව ක්ෂය වෙන්න දෙන්න පුළුවන්ද?
සාක්ෂිකරු: අපි කියලා තියෙනවා ලබාදෙන්න කියලා.
නීතිඥ: කෙසේ වෙතත් සියයකට තිබුණ තොගය නමයක් දක්වා බැස්සා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: මාසික අවශ්‍යතාවය 1917යි. මින් ක්‍රිස්ටල් සල්ෆේට්වල අවශ්‍යතාවය කොපමණද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: එම ඖෂධයට අදාළව අවස්ථා හයකදී සපයා ගැනීමට ඇණවුම් ලබා දී තිබෙනවා.
සාක්ෂිකරු: 2022 සැප්තැම්බර් 23 වන විටත් ලැබීමට නියමිත එකක් ලෙසයි පවතින්නේ.
නීතිඥ: 2018 SPC විසින් අවස්ථා දෙකකදී 1700ක් හා 1600ක් තොග ඇණවුම් කර තිබෙනවා. ඒකක 20,000ක් ඇණවුම් කර තිබුණත් 2000ක් පමණයි ලැබීමට නියමිතයි. ඒකක 22,000ක් ලබා ගැනීමට දුන් ඇණවුමකට ඒවා ලැබිලත් නැහැ.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: අනු අංක 14 යටතේ ඇති ඖෂධය MSD ඇණවුම් 702,200යි. 2023 දී ඇණවුම් කළත් 2025 වනතුරු ලැබිලා නැහැ.
සාක්ෂිකරු: ඇණවුම් කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන්.
නීතිඥ: ලැබීමට නියමිත තොගයක් සේ සලකනවා. 2022 සැප්තැම්බර් 26 වන විට 166,000ක මාසික අවශ්‍යතාවයක් ජාතික මට්ටමෙන්වත් සපුරාගෙන නැහැ.
සාක්ෂිකරු: මාසික අවශ්‍යතාවයවත් සපුරාගෙන නැහැ.
නීතිඥ: මෙවැනි තත්ත්වයක් ඕනෑම ඖෂධයක් සම්බන්ධයෙන් ඇතිවිය හැකියි. ඒකක 570,000කට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර තිබුණා.
සාක්ෂිකරු: ඒ වන විට සක්‍රීය තත්ත්වයේ තිබුණා. ඒ දිනයට අදාළව ගොනුවේ බලන්න ඕන.
නීතිඥ: කොහේද ඔය ගොනුව තියෙන්නේ? ගෙනත් තියෙනවද?
සාක්ෂිකරු: රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ.
නීතිඥ: ගොනු නැති දේවල් කියන්න එපා. තොග නොලැබීම නිසා පවතින තොග අඩුවෙන් යාම ඕනෑම ඖෂධයකට වෙන්න පුළුවන් නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: (හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් පිළිබඳව සාක්ෂිකරුගේ අවධානය යොමු කරවයි) 24,468ක් හා 28,000ක් ලබා ගැනීමට ඇණවුම ඉදිරිපත් කර තිබෙනවා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: ඒවා ලැබී නැහැ.
සාක්ෂිකරු: පරිගණක පද්ධතියට ඇතුළු කළාද බැලිය යුතුයි.
නීතිඥ: 2022/09/22 ඔබ සාකච්ඡාවට සහභාගි වුණේ ප්‍රධාන තොග පාලක ලෙසයි. ඖෂධවල ඵලදායී කළමනාකරණය ඔබේ වගකීමයි.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: එහිදී ඔබගෙන් තොග ගැන විමසුවාද?
සාක්ෂිකරු: නැහැ, අධ්‍යක්ෂකගෙන් විමසුවා.
නීතිඥ: කවුද අධ්‍යක්ෂකට දුන්නේ?
සාක්ෂිකරු: අමාත්‍යවරයා.
නීතිඥ: චන්දන විජේසිංහ මහතාත් ඔබත් එහි වාඩි වී සිටියා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: ඉන්පසු තමයි ඔබ අර ලිපිය හදලා ඉදිරිපත් කළේ.
සාක්ෂිකරු: අපි ඇණවුම් ලැයිස්තු හැදුවා.
නීතිඥ: පැමිණිලි පාර්ශ්වයේ 260 පිටුවේ සඳහන් වන්නේ එක් ලැබීමක් මසකට වඩා අඩු තොග ගැනයි. ඒ වාර්තාව ගැන සෑහීමකට පත්වුණාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: මේ හා සමාන රැස්වීම් මීට පෙරත් පවත්වා තියෙනවද?
සාක්ෂිකරු: ඔව් පවත්වා තියෙනවා ස්වාමීනි.
නීතිඥ: 298 වන පිටුවේ සඳහන් කර ඇති 'Drug manual' එකේ අධීක්ෂණය කළ යුතු කාරණා දක්වා තිබෙනවාද?
සාක්ෂිකරු: සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින එකේ නැහැ.
නීතිඥ: වෛද්‍ය සැපයුම් අංශයට ඒ අනුව තොග පවත්වා ගැනීම ගැන අවබෝධයක් තිබුණා යැයි කිවහොත් පිළිගන්නවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: (10 V 53 ලේඛනයට සාක්ෂිකරුගේ අවධානය යොමු කරවයි) මෙම ලේඛනයේ ඔබේ නම තිබේද?
සාක්ෂිකරු: මම මේ ලේඛනය දැක්කේ පළමු වතාවට.
නීතිඥ: මේ ලේඛනයේ ඔබේ නම තිබෙනවා.
සාක්ෂිකරු: තියෙනවා ස්වාමීනි.
නීතිඥ: ඔබ එයට සහභාගි වුණාද?
සාක්ෂිකරු: මතක නැහැ ස්වාමීනි.
නීතිඥ: සහභාගි වූ බවට ඔබේ නම තිබේ නම් නොදන්න බව කියන්නේ ඇයි?
සාක්ෂිකරු: සහභාගි වෙන්න ඇති.
නීතිඥ: ඔබ හඳුනාගත් 299 පිටුවට ඇතුළත් කර ඇති 229 දරන ප්‍රමුඛතා ලැයිස්තු අතර ඇති ඖෂධ 310 පිටුවලත් ඇතුළත් දැයි බලන්න.
සාක්ෂිකරු: ඇතුළත් ස්වාමීනි.
නීතිඥ: (83 ගොනුව පෙන්වයි) එහි 500ml ඒකක 1250ක් ලබා ගැනීමට එම ගැනුම් ඇණවුම පිරිනැමීමේ ලිපිය "0" ලෙස ලකුණු කර තිබෙනවා. එහි රිටක්සිමැබ් (Rituximab) ඖෂධයට අදාළ ගොනු අංක 83හි ඇති ඇණවුම් විස්තර දක්වා තිබෙනවා නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: 143 ගොනුවේ 229 III ලෙස ලකුණු කර ඇති ලැයිස්තුවේ අංක 99 යටතේ සඳහන් කර තිබෙනවා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: එම ඖෂධයට අයත් ඇණවුම් අංකයත් "0".
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: රිටක්සිමැබ්, 256 පිටුවේ ඇණවුම් ලැයිස්තුවට ඇතුළත් වෙනවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නඩු විභාගය 17 වනදා ට කල් තැබිණි.
තවදුරටත් එම සාක්ෂිකරුගෙන්ම සාක්ෂි විමසීමට නියමිත විය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

