අසේලගෙන් ලක්මිණිට පුංචි තරවටුවක්
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුවේ සාක්ෂි විභාගයේ හරස් ප්‍රශ්න ඇසීමේ වාරය එළැඹි විට විත්තියේ නීතිඥයින් සාක්ෂි පනත අනුව නිසි පරිදි සාක්‍ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න අසමින් සිටියදී, සාක්‍ෂිකරුවන්ට බලපෑම් කරමින් බියවද්දමින් සාක්ෂිකරුගේ උත්තර මෙහෙයවීමට මැදිහත් නොවී බලපෑම් නොකර සිටින්නැයි, එම නඩුවේ දෙවැනි විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අසේල සේරසිංහ මහතා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියගෙන් ඉල්ලා සිටියේය. එම මොහොතේ විත්ති පාර්ශ්වය හා පැමිණිලි පාර්ශවය අතර ඇති හබය උණුසුම් මුහුරුවරක් ගනු ලැබීය...
2026 ජුනි මස 12 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය
අසේලගෙන් ලක්මිණිට
පුංචි තරවටුවක්..!
බලපෑම් කරන්න එපා... අයින් වෙන්න.
-අශෝක සේරසිංහ.
තර්ජනය කරන්න එපා... අයින් වෙන්න.
-ලක්මිණි ගිරිහාගම.
අධිකරණ වාර්තාකරු
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුවේ සාක්ෂි විභාගයේ හරස් ප්‍රශ්න ඇසීමේ වාරය එළැඹි විට විත්තියේ නීතිඥයින් සාක්ෂි පනත අනුව නිසි පරිදි සාක්‍ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න අසමින් සිටියදී, සාක්‍ෂිකරුවන්ට බලපෑම් කරමින් බියවද්දමින් සාක්ෂිකරුගේ උත්තර මෙහෙයවීමට මැදිහත් නොවී බලපෑම් නොකර සිටින්නැයි, එම නඩුවේ දෙවැනි විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අසේල සේරසිංහ මහතා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියගෙන් ඉල්ලා සිටියේය. එම මොහොතේ විත්ති පාර්ශ්වය හා පැමිණිලි පාර්ශවය අතර ඇති හබය උණුසුම් මුහුරුවරක් ගනු ලැබීය...
රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රධානතම නිල මාර්ගෝපදේශ සංග්‍රහය වන ඖෂධ කළමනාකරණ අත්පොත (Drug Manual) සහ ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් අදාළ නිලධාරීන් කටයුතු කර ඇති බව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගයේ සාක්ෂි ලබාදෙමින් විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ මහත් අසීරුවෙන් පිළිගන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක එම්. එච්. ඩී. එන්. බණ්ඩාර මහතාට සිදුවිය.
පසුගිය ජුනි 12 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) ප්‍රධාන තොග පාලක සාක්ෂිකරුගෙන් විත්තියේ නීතිඥවරුන් වන අසේල සේරසිංහ සහ ප්‍රියන්ත නාවාන යන මහත්වරුන් ඉතා දැඩි ලෙස හරස් ප්‍රශ්න විමසූහ. එහිදී ඖෂධ කළමනාකරණ අත්පොතේ නියෝග, අත්තනෝමතික ඇණවුම් වෙනස් කිරීම්, දූෂිත ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සහ නඩු විභාගය මඟහැරීමට උත්සාහ කළ ආරක්ෂිත උපක්‍රම රැසක් සාක්ෂිකරු විසින් ආයාසයෙන් පිළිගනු ලැබූවේ පැමිණ්ල්ල මෙහෙයවන නීතිපති දෙපාර්තයේන්තුවේ අතිරේඛ සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියගේ දැඩි බාධාකිරීම්ද රැසක් මධ්‍යයේය..
‘ඩ්‍රග් මැනුවල්’ නියෝග සහ වගකීම් පැහැර හැරීම
දසවන චූදිත වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරමින් මුලින්ම අවධානය යොමු කළේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ කළමනාකරණය සඳහා භාවිත වන නිල ‘ඩ්‍රග් මැනුවල්’ (Drug Manual) මාර්ගෝපදේශ පිළිබඳවයි.
“ඖෂධ තොග ශූන්‍ය වීමේ තහනම: ඖෂධ කළමනාකරණ අත්පොතේ 10 වැනි ඡේදයට අනුව, රජයේ රෝහල් පද්ධතිය තුළ අඛණ්ඩව ඖෂධ තොග ‘ශූන්‍ය’ (Zero Stock) තත්ත්වයට පත්වීම වැළැක්වීම වෛද්‍ය සැපයුම් අංශයේ මෙන්ම ප්‍රධාන තොග පාලකවරයාගේද මූලික වගකීමකි.
“මාස 3ක ස්වාරක්ෂක තොග (Buffer Stock):” අත්පොතේ දෙවන වගන්තියට අනුව, ඕනෑම අත්‍යවශ්‍ය ඖෂධයක් සඳහා මාස 3ක ස්වාරක්ෂක තොගයක් (Buffer Stock) MSD පරිශ්‍රය තුළ නිරන්තරයෙන් පවත්වාගෙන යාම අනිවාර්ය වේ. හිඟයකින් තොරව ඖෂධ සැපයීම සඳහා මෙම ‘බෆර් ස්ටොක්’ ක්‍රමවේදය අත්‍යවශ්‍ය බව එහි පැහැදිලිව සඳහන්ව ඇත.
“රෝහල් මට්ටමින් තොග පාලනය:” දිවයිනේ සියලුම රජයේ රෝහල්වල ඒ ඒ ඖෂධවල මාසික අවශ්‍යතාවයට සාපේක්ෂව, මාසයක සිට දෙකක් දක්වා වන අතිරේක තොග රෝහල් තුළම රඳවා තබාගත යුතුය. උදාහරණයක් ලෙස මාසික අවශ්‍යතාවය ඒකක 100ක් නම්, රෝහල් සතුව ඒකක 100 සිට 200 දක්වා තොග පැවතිය යුතුය.
සාක්ෂිකරු මෙහිදී පිළිගත්තේ මෙම ක්‍රියාවලිය ආවර්තිතව සහ අඛණ්ඩව සිදුවිය යුත්තක් වුවද, ප්‍රශ්නගත කාලසීමාව තුළ මෙම ක්‍රමවේද නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවයි. එමෙන්ම, මෙම වැදගත් ‘ඩ්‍රග් මැනුවල්’ අත්පොතේ සිංහල අනුවාදයක් පවා වෛද්‍ය සැපයුම් අංශය සතුව නොමැති බවද මෙහිදී අනාවරණය විය.
යාවත්කාලීන නොවන ‘ප්‍රොන්ටෝ’ පද්ධතිය සහ දත්ත සැඟවීම
ඖෂධ තොග පාලනය සහ පවතින මිල ගණන් නිරීක්ෂණය කිරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය භාවිත කරන ‘ප්‍රොන්ටෝ’ (Pronto) පරිගණක පද්ධතිය පිළිබඳවද මෙහිදී බරපතළ කරුණු මතු විය.
“සාක්ෂිකරුගේ ප්‍රකාශය:” "ප්‍රොන්ටෝ පද්ධතිය යාවත්කාලීන (Update) නැහැ. සාමාන්‍ය රැස්වීමකදී ඒ පද්ධතියට ඇතුළු වෙලා ක්ෂණිකව තොරතුරු බලන්න බැහැ. දත්ත ලබාගන්න වෙන්නේ SPC (රාජ්‍ය ඖෂධ සංස්ථාව) හරහායි. හැබැයි MSD එක ඇතුළේදී ආයතනික ලැප්ටොප් පරිගණකයකින් පෙර මිල ගණන් බලාගන්න පුළුවන්.”
යාවත්කාලීන නොවන පරිගණක පද්ධති හේතුවෙන් ඖෂධ ඇණවුම්වල විනිවිදභාවය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තිබූ බවත්, නිලධාරීන්ට රීසිංග් සහ ඇණවුම් කිරීම් තමන්ට රිසි සේ වෙනස් කිරීමට මෙයින් අවස්ථාව සැලසී තිබූ බවත් විත්තියේ නීතිඥවරු පෙන්වා දුන්හ.
සැලසුම් සහගතව ‘ඩිළිවරි ප්ලෑන්’ වෙනස් කිරීම්
මීළඟට විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා විසින් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසමින්, ලේඛනගත සාක්ෂි ඔස්සේ ඇණවුම් වෙනස් කර ඇති ආකාරය පෙන්වා දෙන ලදී.
පැ 306 ලේඛනයේ සඳහන් ‘පෙන්ඩින් ඕඩර්’ (Pending Order) එකට අනුව ඖෂධ ඒකක 75,000ක් සඳහා ඉල්ලුම් කර තිබූ අතර, එහි "Request delivery plan please" (කරුණාකර භාරදීමේ සැලසුම එවන්න) යනුවෙන් සඳහන්ව තිබුණි. ඒ අනුව 2023 ජනවාරි 23දාට ඒකක 40,000කුත්, ජූනි 23දාට ඒකක 35,000කුත් ලබාදීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, 2v 36 B පරිගණක සටහන් ලේඛනය සාක්ෂිකරුට පෙන්වමින් නීතිඥවරයා කළ ප්‍රශ්න කිරීම් හමුවේ, අදාළ ඖෂධ තොග ලැබී ඇත්තේ එම මුල් ‘ඩිළිවරි ප්ලෑන්’ එකට අනුකූලව නොවන බව සාක්ෂිකරු පිළිගත්තේය. බාල ඖෂධ තොග නිසි සැලසුමකින් තොරව, වංචනික අයුරින් වෛද්‍ය සැපයුම් අංශය වෙත ගෙනැවිත් ඇති බව මෙයින් පැහැදිලි වන බව විත්තිය තර්ක කළේය.
ලේබල් පරීක්ෂාව මඟහැරීම සහ අතුරුදන් වූ 2v 24 පෝරම
2023 මැයි 23 වැනිදා තැබූ මිනිට් සටහනට (පැ 300) අදාළ ඉන්වොයිස් පත්‍රය (92 ගොනුවේ 2v 34 හි 191 ලේඛනය) පරීක්ෂාවට ලක් කෙරුණි. එම ලේඛනයේ පිටුපස ඇති නිල මුද්‍රාවට අනුව, අදාළ ඖෂධ තොගය භාරගත හැක්කේ ‘සාම්පල් පරීක්ෂාව’ (Sample Test) සහ ‘ලේබල් පරීක්ෂාව’ (Label Test) සිදු කිරීමෙන් පසුව පමණි.
නමුත් තොග පාලන නිලධාරියා විසින් සාම්පල් හෝ ලේබල් පරීක්ෂාවකදී කිසිදු ගැටලුවක් මතු වූ බවට 71 ගොනුවේ අඩංගු විය යුතු “2v 24 පෝරමය” පුරවා නොමැති බව නීතිඥ සේරසිංහ මහතා පෙන්වා දුන්නේය. සාක්ෂිකරු ඒ පිළිබඳව කියා සිටියේ, එවැනි 2v 24 පෝරමයක් ලිපිගොනුවේ දැනට අතුරුදන්ව හෝ දක්නට නොමැති බවයි. ලේඛනවල සහ සාම්පල්වල වරදක් නොමැති බව ලිපිගොනුවේ පෙනෙන්නට තිබුණද, නිසි පරීක්ෂණ නොකරම භාණ්ඩ තොග MSD ගබඩාවට භාරගෙන ඇති බව මෙයින් අනාවරණය විය.
දෙවන විත්තිකරු විදේශගතව සිටියදී ආ ඇණවුම්
හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන අධ්‍යක්ෂ) ජී. විජේසූරිය මහතා විසින් සිදුකළ E01 ප්‍රසම්පාදනයට අදාළ, ඔහුගේ අත්සන සහ මුද්‍රාව සහිත ගොනු අංක 64 හි පිටු 1 සිට 9 දක්වා වූ ලේඛන මෙහිදී අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එම ලැයිස්තුවේ ඖෂධ වර්ග 45ක් තිබූ අතර, ඉන් 44 සහ 45 යන අයිතම දෙක පමණක් මෙම නඩුවට අදාළ වේ. සෙසු අයිතම 1 සිට 43 දක්වා ඇත්තේ MSD එකට ලැබුණු වෙනත් ඖෂධයි. එහි ඇති 15 වන තීරුවේ GR (Good Receipt) සටහන්, වව්චර් වටිනාකම් සහ ප්‍රමාද ගාස්තු දක්වා තිබුණි.
මෙහි ඇති අංක 1, අංක 9 සහ 12 යන අයිතමයන්හි GRN දින (2022/11/12 ඇතුළු දින) සාක්ෂිකරු ලවා කියවීමට නීතිඥවරයා කටයුතු කළේය. එහිදී තහවුරු වූයේ, අදාළ ඖෂධ තොග ලංකාවට ලැබී MSD එක භාරගන්නා අවස්ථාවේදී මෙම නඩුවේ දෙවන විත්තිකරු වන වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා මෙරට නොසිටි බවත්, ඔහු විදේශගතව සිටි බවත්ය.
සෞඛ්‍ය ලේකම්ගේ අලුත් නියෝගය:
WOR සහතිකයේ ඔරිජිනල් එක අනිවාර්ය කෙරේ
මෙරට ඖෂධ ගෙන්වීමේදී ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකය හෙවත් WOR (Waiver of Registration) ක්‍රමවේදය අනිසි ලෙස භාවිත කර ඇති ආකාරය සාක්ෂි විමසීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. 2V 39 ලේඛනයට අනුව, අයිතම 45න් 17ක්ම ගෙන්වා ඇත්තේ WOR සහතික යටතේය.
2023 සැප්තැම්බර් සහ ඔක්තෝබර් වන විට මෙරට ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බරපතළ වංචා සහ ගැටලු මතු වීමත් සමඟ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නව පරිපාලන නියෝග සහ චක්‍රලේඛ හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි.
“නව ක්‍රමවේදය (2V 40 ලේඛනය):” සෞඛ්‍ය ලේකම්වරයාගේ නව නියෝගය අනුව 2023 නොවැම්බර් 03 දිනෙන් පසු, WOR සහතිකයේ සත්‍යාපිත ‘පිටපතක්’ (Copy) වෙනුවට එහි “මුල් පිටපතම (Original)” භාණ්ඩ තොගය සමඟ ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන ලදී. මෙරට සෞඛ්‍ය ඉතිහාසයේ මීට පෙර කිසිදු දිනක WOR සහතිකයේ මුල් පිටපත් භාණ්ඩ සමඟ ඉල්ලා නොතිබූ බවද සාක්ෂිකරු පිළිගත්තේය.
මෙම අලුත් චක්‍රලේඛය නිකුත් වීමත් සමඟ, 2023 වසරේ අගභාගයේ සහ 2024 වසරේ මුල් භාගයේදී WOR සහතික යටතේ එන ඖෂධ තොග භාර ගැනීමට වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් දැඩි බියක් සහ අවිනිශ්චිතතාවයක් දැක්වූ කාලසීමාවක් තිබූ බවද සාක්ෂිකරු විසින් අනාවරණය කරන ලදී. එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් "විශේෂ අවසරයක් නැතිව වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබිය යුතු ඇණවුම් අවලංගු (Cancel) කරන්න එපා" යනුවෙන්ද නියෝගයක් ලැබී තිබූ බව මෙහිදී හෙළි විය.
අධිකරණයේ උණුසුම් තත්ත්වයක්
මෙම සාක්ෂි විභාගය පුරාවටම විත්තියේ නීතිඥවරුන් සාක්ෂිකරු කොටු කරගනිමින් හරස් ප්‍රශ්න අසද්දී, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඊට දැඩි ලෙස විරෝධය පළ කළාය.
විශේෂයෙන්ම ඖෂධ ප්‍රමාදය පිළිබඳ ප්‍රශ්න කිරීම්වලදී සහ ඩ්‍රග් මැනුවල් හි ‘මාස තුනක ස්ථාවර තොග’ පවත්වාගෙන යාම පිළිබඳ ප්‍රශ්න කිරීම්වලදී ඇය නැඟී සිටිමින්, විත්තියේ නීතිඥවරුන් සාක්ෂිකරුට තර්ජනය කරමින් ප්‍රශ්න අසන බවට චෝදනා කළාය. නීතිඥ අසේල සේරසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වමින්, "සාක්ෂිකරුට බලහත්කාරකම් කරන්නේ නැතිව නිදහසේ සාක්ෂි දෙන්න ඉඩ දෙන්න" යැයි ප්‍රකාශ කළේය.
සාක්ෂිකරු ඉතා අසීරුවෙන් සහ වටපිට බලමින් ප්‍රශ්නවලට පිළිතුරු දුන් අතර, වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා යටතේ ක්‍රියාත්මක වූයේ එකම එක ඇණවුම් ලැයිස්තුවක් (Order List) පමණක් බවද ඔහු පැවසීය. නඩුවට අදාළ ‘රිටක්සිමැබ්’ (Rituximab) ඖෂධය 2022 නොවැම්බර් මාසයේදී නිකුත් කර ඇති අතර, තොග භාරගැනීමේදී මාසික අගය 750ක් වෙද්දී ගොනුවේ ඒකක 870ක් ලෙස සටහන්ව තිබීම පිළිබඳවද කරුණු විමසීමට ලක් විය.
කාලවේලාව අවසන් වීම හේතුවෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් වැඩිදුර සාක්ෂි විභාගය සහ හරස් ප්‍රශ්න ඇසීම ඊළඟ සඳුදා (ජුනි 15) දින දක්වා කල් තබන ලදී.
නඩු විභාගය මෙසේය
නිසි ප්‍රමිතියෙන් තොර “හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් සහ රිටොක්සිමැබ්” ප්‍රතිදේහ එන්නත් ඖෂධ කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13 ක් යටතේ එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුකරය මේ දිනවල ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනෙයි.
බාල බෙහෙත් ගෙන්වීම පිළිබඳ නඩු විභාගය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පසුගිය 12 වනදා විභාගයට ගත් අවස්ථාවේ පෙර දින (11) විත්තියේ හරස් ප්‍රශ්න නගමින් සිටි, නීතිඥ අසේල සේරසිංහ තවදුරටත් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක එම්. එච්. ඩී. එන්. බණ්ඩාර මහතා මෙසේ සාක්ෂි ලබාදීම දැකගත හැකිවිය.
නීතිඥ ; පැ 306 හි සඳහන් පෙන්ඩින් ඕඩරය පෙර මා පෙන්වූ ලියවිල්ලේ තියෙන ඕඩරයම නේද?
සාක්ෂිකරු ; එකම ඇනවුම ස්වාමීනි.
නීතිඥ ; ඒකක 75 000 ඉදිරියේ Request delivery plan please යනුවෙන් සඳහන්..?
සාක්ෂිකරු ; ඔව් ජනවාරි 23දා 40 000 කුත් ජූනි මස 23 වැනිදා 35 000 කුත් ලබා දෙන පරිදි ඉල්ලා තිබෙනවා
නීතිඥ ; එසේ ලබාගන්න බලාපොරොත්තු වෙන බව නේද කියන්නේ?
සාක්ෂිකරු ; ඔව්.
නීතිඥ ; 2 v 36 B ලේඛනයට අවධානය යොමු කරන්න. එයට අනුව පැ 300 ඩිළිවරි ප්ලෑන් එක අනුව නෙවෙයි ඩිළිවරි ලැබිලා තියෙන්නේ.
සාක්ෂිකරු ; මේ පරිගණක සටහන අනුව එහෙම නෙවෙයි ලැබිලා තියෙන්නේ...
නීතිඥ ; අනුකූලව නෙවෙයි ලැබිලා තියෙන්නේ..?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; 2023 මැයි 23 මිනිට් සටහන බලන්න. අපි ඉන්වොයිස් පත්‍රය පරීක්ෂා කළා. පැ 300 මිනිට් එකට අදාලව 92 ගොනුවේ 2v 34 හි 191 ලෙස රවුම්කර ඇති ඉන්වොයිස් පත්‍රයක් එහි තියෙන්නේ. එම ලේඛනයේ පිටුපස පිටුව බලන්න. එම මුද්‍රාව අනුව සාම්පල් පරීක්ෂාව හා ලේබල් පරීක්ෂාව මතින් භර ගත හැකි බව කියා තියෙනවා. මේ භාණ්ඩ තොගය භාර ගැනීම ගැන තොග පාලන නිලධාරී විසින් සාම්පල් පරීක්ෂාවේදි හා ලේබල් පරීක්ෂාවේදී ප්‍රශ්නගත වුනා කියලා 71 ගොනුවේ 2v 24 පෝරමය පුරවලා නැහැ.
සාක්ෂිකරු ; 2v 24 හිඟ පෝරමයක් ලිපිගොනුවේ නැහැ
(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විරුද්ධ වෙති)
සාක්ෂිකරු ; ලේඛන හා සාම්පල් වල වරදක් නොමැති හා ලිපි ගොනුවේ ප්‍රශ්නයක් නැහැ.
නීතිඥ ; එම මිනිට් ශීට් එක අනුව තොග පාලක විසින් සහකාර අධ්‍යක්‍ෂ ගේ අවධානය යොමු කර ඇත්තේ ප්‍රමාදය ගැන නේද මහත්මයා.
(නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විරෝධය පළ කරයි)
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ප්‍රමාදය ගැන පමණයි නේද..?, කියලා ඇසුව එකම විරෝධීයි
නීතිඥ ; බලහත්කාරකම් කරන්නේ නැතිව නිදහසේ සාක්ෂි දෙන්න ඉඩ දෙන්න.
සාක්ෂිකරු ; ස්වාමීනි, මේ ප්‍රමාදය ගැන නොවෙයි
නීතිඥ ; භාරදීම් කාලය ගැන පමණද?
සාක්‍ෂිකරු ; තොග භාර ගැනීම ගැන තවත් විස්තර අහලා තියෙනවා
නීතිඥ ; ඖෂධයක ආයු කාලය ගැන නේද අහල තියෙන්නෙ?
සාක්ෂිකරු ; මේ ඩිලිවරි දිනය ගැන අහලා තියෙන්නේ
නීතිඥ ; තොගය ලැබෙන්න ප්‍රමාද බවට පැ 299 ලේඛනය අනුව සැපයුම්කරුට සෞඛ්‍ය අමාත්‍යංශය ලියුමක් යැව්වා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; මේ පැ 299 ලේඛනයට අදාළ තොග පාලකත් අනුගමනය කරනවා. 7 වන ඡේදයේ තිබෙන බෝල , නැත්නම් point වශයෙන් 1 සිට 11 දක්වනවා. මේ ලේඛනයේ 7 වන ඡේදයේ 11 වන point එක ඊළඟ පිටුව දක්වාත් යනවා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; මේ සම්පූර්ණ කොටසම බලාපොරොත්තු වෙලා ලැබුණේ MSD කටයුතු කරන ආකාරය ගැන නේද?
සාක්ෂිකරු ; ප්‍රමාදය මග අරවන්න ක්‍රියාමාර්ග ගත්තා. 2V 37 සටහන් සෞඛ්‍ය ලේකම් මගින් නිකුත් කර තිබෙනවා.
නීතිඥ ; 2 V 37 සඳහන් පැනල් එකට ඖෂධ ප්‍රමාද වී ලැබෙන ඖෂධ තොග ලබාගත හැකි වෙනවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ; පැ 309 ට අදාළව පැ 310 හි 12ඡේදයේ සඳහන් කළාද?
සාක්‍ෂිකරු ; ඇතුළත් කර ඇත.
නීතිඥ ; පැ 299 ඇණවුම් ලැයිස්තුවේ ඖෂධ 180න් දෙකක් පමණයි මේ නඩුවට අදාල වන්නේ
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; ඔබ දන්නවා ඇති මේ ඖෂධ ගැන විශේෂකර පරීක්ෂණ පවත්වද්දී ඔක්කොම ඖෂධ ගැන වන ලේඛන විමර්ශන නිලධාරීන්ට භාරදෙන්න කියලාා තිබුණා.
සාක්ෂිකරු ; විවිධ අවස්ථාවල එසේ සිදු වුණා.
නීතිඥ ; වැඩ බලන අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා ඔබ දන්නවද?
සාක්ෂිකරු ; දන්නවා ස්වාමීනී.
නීතිඥ; ඔබ හා සේවය කර ඇත්ද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නීතිඥ ; ඔහුගේ නිල මුද්‍රාව සහ අත්සන හඳුනාගත හැකිද?
සාක්ෂිකරු ; පුළුවන් ඔහු දැන් විශ්‍රාම ගිහින්.
නීතිඥ ; ඔහු හා වැඩ කර තිබෙනවා..?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; විජේසූරිය මහතා විසින් කළ E01 ප්‍රසම්පාදනයට අදාළව තිබුණු ලේඛනයක් පෙන්නුවොත් හඳුනාගත හැකිද?
සාක්ෂිකරු ; ඔව් පුළුවන් ස්වාමීනී...
නීතිඥ ; ගොනු අංක 64 හි අංක 1 සිට 9 දක්වා පරීක්ෂා කර බලන්න.
සාක්ෂිකරු ; හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අත්සන හා මුද්‍රාව හැම පිටුවකම තියෙනවා
නීතිඥ ; 9 පිටුවේ ලැයිස්තු සකස් කළ බවටත්
සාක්ෂිකරු ; සඳහන් කර තිබෙනවා ස්වාමීනී...
( එම ලේඛන සහතික කරන ලද අයගෙන් ඔප්පු කිරීමේ භාරයට යටත්ව සලකුණු තබන ලදී)
නීතිඥ ; පිටු අංක 1 සිට 9 දක්වා ඖෂධ වර්ග 45 ක් ලැයිස්තු ගතකර තිබෙනවා නේද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; 44 හා 45 පමණයි නඩුවට අදාළ වන්නේ
සාක්ෂිකරු ; එසේය ස්වාමීනී.
නීතිඥ ; 1 සිට 43 දක්වා තිබෙන්නේ MSD එකට ලැබුණු ඖෂධ බව ඔබට පෙනෙනවද?
සාක්ෂිකරු ; GRN දිනයකුත් එක්ක දාලා තියෙනවා.
නීතිඥ ; පැ 293 හි සඳහන් MSD එකට ලැබුණු ඖෂධ. එම තොග පිළිබඳ ලේඛනත් 2V 34 හි සඳහන් බව මම කියනවා.
සාක්ෂිකරු ; එසේ සැලකිය හැකියි.
නීතිඥ ; 15 කොළමේ භාණ්ඩ භාර ගනිද්දී GR කියන්නේ ලැබීමක් සඳහන් වීමක්ද?
සාක්ෂිකරු ; එසේය ස්වාමීනී.
නීතිඥ ; වව්චරයේ හා එහි වටිනාකමත් ප්‍රමාද ගාස්තුත් සඳහන් කර තිබෙනවා
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; අවසාන කොළමේ NMRA ලියාපදිංචි එකක්ද, WOR සහිතව ආපු එකක්ද කියලා සඳහන් වෙනවා. 2V 39 ලේඛනයේ 44, 45 ඇතත් 3, 4, 5, 10,13,14,15,18,20,21,23,25,27,29,30,31,33,35 යනාදී ලෙස WOR මත ගෙන්වූ ඒවා බව සඳහන් කර නැත. මේ 45 ක් බැලුවම දෙකයි නඩු කටයුත්ත උනේ. තව 17 ක් සඳහන් කර තිබෙනවා WOR කියලා.
සාක්ෂිකරු ; මෙම ලේඛන අනුව ඔව් ස්වාමීනි.
නීතිඥ ; අංක 1 බලන්න. GRN දිනය පරීක්ෂා කරන්න
සාක්ෂිකරු ; 12 - 6 දි
නීතිඥ ; දෙවන විත්තිකරු විදේශගතව සිටියදී තොගයක් ඒ..?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; 9 අයිතමය බලන්න.
සාක්ෂිකරු ; 2022/11/12 ලැබිලා.
නීතිඥ ; 2 විත්තිකරු විදේශගතව සිටියදී ආ එකක් නේද?
සාක්ෂිකරු ; ඔව්.
නීතිඥ ; දොලොස්වන අයිතමය ලැබුණේ කවදද?
සාක්ෂිකරු ; නොවැම්බර් 12 .
නීතිඥ ; ඒ කියන්නේ දෙවන විත්තිකරු විදේශගතව සිටියදී..?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නීතිඥ ; මේවා 2023 නොවැම්බරයේ සිට ලැබුණු තොග..?
සාක්ෂිකරු ; ඔව් මේ සටහන අනුව නම් එහෙමයි.
නීතිඥ ; MSD එක අයිතම කීයක් කරනවද?
සාක්ෂිකරු ; ඖෂධ 1540 ක්, සර්ජිකල් අයිතම 8000 ක් පමණ...
නීතිඥ ; මේ ස්ථානය තොරතුරු රාශියක් ලැබෙන තැනක්..?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; 2023 සැප්තැම්බර් වන තුරු තිබුණ ප්‍රසම්පාදන ක්‍රමවේදය තමයි ඔබ සඳහන් කලේ. 2024 ඒ වන විටත් මෙහෙමද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නීතිඥ ; 2023 ඔක්තෝම්බර් වෙනකොට ගැටලු මතු වෙන්න ගත්තා..?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නීතිඥ ; සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් චක්‍රලේඛ නිකුත් කළා..?
සාක්ෂිකරු ; ඔව්.
නීතිඥ ; අලුත් නියෝග හඳුන්වා දෙන්න චක්‍රලේඛ නිකුත් කරනවා. චක්‍රලේඛ නිකුත් කළ විට ඒ අනුව වැඩ කරනවා. සෞඛ්‍ය ලේකම්ගේ චක්‍රලේඛය අනුව භාණ්ඩ භාරදීමේ කටයුතු කරන්න කියලා තිබුණා නේද? බලන්න මේ අත්සන හඳුනගන්න පුළුවන්ද කියලා.
(ඔප්පු කිරීමේ භාරයට යටත්ව එම ලේඛනය ද සටහන් කරේ)
නීතිඥ ; මෙම ලේඛනයේ මුල් පිටපත නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ගේ ගොනුවේ තිබිය හැකියි. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා නේද.? 2V 40 ලේඛනය අනුව WOR සහතිකයේ මුල් පිටපත භාණ්ඩ සමඟ අවශ්‍ය යි කියා..?
සාක්ෂිකරු ; එහෙම උපදෙස් ලබා දී තිබුණා.
නීතිඥ ; මීට පෙර එහෙම එකක් තිබුණේ නැද්ද?
සාක්ෂිකරු ; තිබුණෙ නැහැ.
නීතිඥ ; මීට පෙර ගත්තේ WOR සහතිකයේ පිටපතක්..?
සාක්ෂිකරු ; අලුත් චක්‍රලේඛයේ සඳහන් වුණේ WOR සහතිකයේ ඔරිජිනල් එක ගේන්න කියලා.
නීතිඥ ; මීට පෙර මෙහෙම එකක් වෙලා තිබුණෙ නැහැ නේද..?
සාක්ෂිකරු ; නැහැ.
නීතිඥ ; WOR පිටපත් තමයි ගේන්න කියලා තිබුණේ..?
සාක්ෂිකරු ; අලුත් චක්‍රලේඛයේ අලුත් නියෝගය WOR ඔරිජිනල් ගේන්න කියන එකයි.
නීතිඥ ; 2023 /11/03 ට පසුව අලුත් ක්‍රමවේදය ක්‍රියාත්මක වුණාද? ඒ අනුව කටයුතු කළාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; 2V 41 ලේඛණයට අනුව MSD අධ්‍යක්ෂ මගින් ඊට අනුරූපව තොග පාලන නිලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත්කළාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
(දෙවන විත්තිකරු, වෛද්‍ය කපිල වික්‍රමනායකගේ අත්සන සහිත චක්‍රලේඛය සාක්ෂිකරුට පෙන්වයි. එය 2V 42 ලෙස සලකුණු කෙරේ.)
නීතිඥ ; එහි දෙවන ඡේදය ඉවත් කර තිබෙනවා.
සාක්ෂිකරු ; 11/15 ආයෙ වෙන එකක් දීලා තියෙනවා.
නීතිඥ ; ඒක ක්‍රියාත්මක කරන ආකාරය සහ පෝරමය හඳුන්වා දී තිබෙනවාද?
සාක්ෂිකරු ; පරීක්ෂා කළ යුතුයි කියා තිබෙනවා.
නීතිඥ ; පිරික්සුම් ලැයිස්තු දී තිබේද..?
සාක්ෂිකරු ; ඔව්.
නීතිඥ ; 2023 නොවැම්බර් මාසයේ අවසානයේදී MSD එකට අධ්‍යක්ෂ කෙනෙක් ආවා. කවුද ඒ?
සාක්ෂිකරු ; වෛද්‍ය දේදුණු ඩයස්.
නීතිඥ ; නොවැම්බර් 15 චක්‍රලේඛයට අමතරව තව චක්‍රලේඛයක් නොවැම්බර් 23 නිකුත් කළාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; මේ ඖෂධ දෙකට අමතරව තව මසකට වැඩි සෞඛ්‍ය ඇනවුම් කර තිබුණා..?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; ඖෂධ 15 ක් ම නිකුත් වුණේ කපිල වික්‍රමනායක මහතා යටතේද?
සාක්ෂිකරු ; එකම එක ඕඩර් ලිස්ට් එකක් පමණයි ඔහුට අදාල.
නීතිඥ ; 2023 අග , 2024 මුල WOR යටතේ එන ඖෂධ භාර ගැනීමට නිලධාරීන් බිය වූ අවිනිශ්චිත කාලයක් තිබුණද?
සාක්ෂිකරු; එහෙම එකක් තිබුණා.
නීතිඥ ; වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබිය යුතු ඇනවුම් විශේෂ අවසරයක් නැතිව කැන්සල් කරන්න එපා කියා නියෝගයක් ආවද?
සාක්ෂිකරු ; ලැබිලා තිබුණ ස්වාමීනී
නීතිඥ ; රිටක්සිමැබ් කියා ඖෂධයක් මේ ලැයිස්තුවේ තිබෙනවා. 2022 නොවැම්බරයේ නිකුත් වුණාද එය?
සාක්ෂිකරු ; නිකුත් වෙන්න ඇති.
නීතිඥ ; එහෙම ක්‍රියා පිළිවෙතක්ද මේ ඖෂධ භාර ගැනීමේදීත් සිදුවුණේ? මහත්මයා කස්තුරිරත්නගේ ගොනුව පරීක්ෂා කර බැලුවද?
සාක්ෂිකරු ; SCO තොග පාලන නිලධාරී විසින් පරීක්ෂා කළා.
නීතිඥ ; ඖෂධ භාර ගැනීමට තොග පාලන නිලධාරී සහ සහකාර අධ්‍යක්ෂ සම්බන්ධ වුණා..?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; 85 ගොනුවේ බලන්න 870 ක් ලෙස සඳහන් වෙනවා. මාසික අගය 750ක්..?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
(දස වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රියන්ත නාවාන සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි)
නීතිඥ ; මෙරට සෞඛ්‍ය සේවයේ ජනතාවට ප්‍රධාන තැනක් දෙනවා..?
සාක්ෂිකරු ; රජයේ රෝහල්වලට ඖෂධ බෙදා දීමට අපි ප්‍රමුඛස්ථානය දෙනවා.
නීතිඥ; සේවාව පවත්වාගෙන යාමට කලට වෙලාවට ඖෂධ ආනයනය කළ යුතුයි..?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; එය ඉතා වැදගත් කටයුත්තක් කියා පෙර වර්ෂවලට අදාළව ඇගයීමක් කර අවශ්‍ය ඖෂධ ගෙන්විය යුතුයි..?
සාක්ෂිකරු ; ඔව්.
නීතිඥ ; බෙදා හැරීම කියන කාරණාවත් ඉතා වැදගත්..?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නීතිඥ ; බෙදා හරින විට පවතින ඖෂධ අඩුවෙනවා නේද?
සාක්ෂිකරු ; ලැබෙන නිසා අඩු වැඩි වෙමින් පවතිනවා.
නීතිඥ ; ප්‍රධාන තොග පාලක වශයෙන් එම කටයුත්තේදී ඔබට ලොකු වගකීමක් පැවරෙනවා..?
සාක්ෂිකරු ; ඒ වගකීම සියලු දෙනාට පැවරෙනවා.
නීතිඥ ; තොග ශූන්‍ය නොවන තත්ත්වයක් තබා ගැනීම වගකීමක් නේද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; මේ තොග කළමනාකරණය කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ දෙපාර්තමේන්තුව පැත්තෙන් අරන් තියෙනවද?
සාක්ෂිකරු ; තොග කළමනාකරණය සඳහා ප්‍රධාන වන මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කර තිබෙනවා.
නීතිඥ ; ඖෂධ කළමනාකරණය ගැන අත්පොතක් තිබෙනවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; ඡේද අංක 10 අඛන්ඩව ඖෂධ තොග ශූන්‍ය වීම වළක්වන්නට නිරන්තර කටයුතු කළ යුතු බව සඳහන්..?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; ගැනුම් ඇණවුම් නිසි පරිදි නිකුත් කිරීම, වගේම ඖෂධ නිසි පරිදි නිකුත් කිරීමත් ඔබේ අංශයේ වගකීමක්..?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නීතිඥ UN වර්ගීකරණය අනුව ඖෂධ වර්ගීකරණය සිදු කරන්නට පුහුණුවක් ලබා දෙනවාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; ඖෂධ ගැනීමේ කේන්ද්‍රස්ථානය වෛද්‍ය සැපයීම් අංශයයි..?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නීතිඥ ; තොග ශූන්‍ය නොවන ප්‍රසම්පාදනයක් තිබිය යුතුයි නේද?
සාක්ෂිකරු ; යම් අවස්ථාවක් සමඟ උදාහරණ ලෙස කොලිටි ෆේල් වීම වැනි අවස්ථාවක තොග ශූන්‍ය විය හැකියි. එහෙම අවස්ථා තිබෙනවා.
නීතිඥ ; මාස තුනක ස්වාරක්ෂක තොග පවත්වාගෙන යාම ගැන “ඩ්‍රග් මැනුවල්” එකේ කතා කරලා තියෙනවද?
(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විරෝධය පළළ කරයි. සාක්ෂිකරුට තර්ජනය කරනවා)
නීතිඥ ; මෙතන බණ්ඩාර මහත්තයා ඔබට මාස තුනක ස්ථාවර තත්ත්වයක් තිබිය යුතුයි කියන්න එපා කියලා කවුරු හරි කිව්වද ?
සාක්ෂිකරු ; නැහැ.
නීතිඥ ; ස්වාරක්ෂක තොගයක් ඖෂධ තොගය පවත්වාගෙන යා යුතුයි නේද?
සාක්ෂිකරු ; රිප්ලේස් වෙවී ඉදිරියට යන ක්‍රමවේදයක් ගැන මෙහි කතා කර තිබෙනවා. මෙය ආවර්තිතව සිදුකළ යුතු ක්‍රියාවලියක්.
නීතිඥ ; ඖෂධ තොගය රෝගීන්ට ලබා ගැනීම සඳහා බෙදාහැරීමට තියන්න ඕන නේද? මාසික අවශ්‍යතාවය කියන අගය ඒ ඒ ඖෂධයන්ට වෙන වෙනම දක්වනවා නේද? ඒ අනුවද ස්වාරක්ෂක තොගය නියම වෙන්නේ?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; MSD එකේ මධ්‍යගතව ඇති ඖෂධ සැපයීම දිවයිනේ සියලු රෝහල්වල තබාගත යුතු බව දක්වා තිබෙනවද?
සාක්ෂිකරු ; මාසයක සිට දෙක දක්වා තොගයක් තිබිය යුතුයි.
නීතිඥ ; ඒ තොගය ගණනය කරන්නේ මාසික අනන්‍යතාවයට සාපේක්ෂවද?
සාක්ෂිකරු ; ප්‍රශ්නය තේරුනේ නැහැ ස්වාමීනි.
නීතිඥ ; ඖෂධවේදියෙක් නේද? සාපේක්ෂ කියන එක තේරෙන්නේ නැද්ද? මෙහෙම අහන්නම්, මාසික අවශ්‍යතාවය සීයක් නම් රෝහල් තුළ සීය සිට 2 ගුණයක් දක්වා පවත්වාගෙන යා යුතුයිි නේද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; drag manual එකේ සිංහල අනුවාදයක් තියෙනවද?
සාක්ෂිකරු ; නැත ස්වාමීනී.
නීතිඥ ; අංක දෙක කියවන්න. " This is essential to maintain butter stock " උදාහරණ ලෙස MSD Stock 3 months ලෙස සඳහන් නේද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නීතිඥ ; මේ drag මැනුවල් එකේ අවශ්‍යතාවය හිඟයකින් තොරව ඖෂධ තබා ගැනීම නේද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; වෛද්‍ය සැපයුම් ඒකකය ඒ වෙනුවෙන් නිරන්තර කටයුතු කළ යුතුයි.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; කොපමණ කාලයක් යම් තොගයක් ලැබෙන්න තියෙනවද කියලා බලන්න පුළුවන්ද?
සාක්ෂිකරු ; ප්‍රොන්ටෝ පද්ධතිය අප්ඩේට් නැහැ. spc හරහා දත්ත ලබා ගත හැකියි.
නීතිඥ ; ඔබ කියන පරිදි ප්‍රොන්ටෝ අප්ඩේට් නැහැ. පෙර අවස්ථාවලදී ගත් මිල බලාගන්න පුලුවන්ද?
සාක්ෂිකරු ; පරිගණක මගින් බලාගන්න පුලුවන්.
නීතිඥ ; රැස්වීමකදී ප්‍රොන්ටෝ පද්ධතියට ඇතුළු වී ඒ ගැන තොරතුරු බලා ගන්න වුණත් පුලුවන්ද ?
සාක්ෂිකරු ; බැහැ ස්වාමීනි.
නීතිඥ ; MSD එකේදි පුලුවන්ද?
සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනී. ආයතනයේ ඇති ලැප්ටොප් පරිගණකය මගින් පුළුවන්.
නීතිඥ ; ඔබට නැද්ද ලැප්ටොප් එකක්
සාක්ෂිකරු ; තිබෙනවා ස්වාමීනී
මේ අවස්ථාවේ නඩු විභාගය ඊළඟ සඳුදා (15) ට කල් තැබූ අතර එහිදී 9 වන චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක අධිකරණය වෙත දන්වා සිටියේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවේ දී නීතිඥ වෘත්තියේ නියැලෙන්නේ නැති බැවින්, මෙම නඩුව සඳහා වෙනත් නීතිඥවරයෙකු. නම් කරන බවය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

