මේ ඖෂධ ගෙන්නුවේ රටතුළ හිගයක් නොමැතිවද?

රුපියල් කෝටි 14කට අධික රජයේ මුදල් වැය කරමින් නිසි ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ මෙරටට ගෙන්වූ බව කියන සිද්ධිය වන සමයේ, මෙරට තුළ කිසිදු 'හදිසි ප්‍රසම්පාදන' (Emergency Procurement) අවශ්‍යතාවක් පැන නැගී නොතිබූ බවට රජයේ වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධාන තොග පාලක හේරත් මුදියන්සේලාගේ ධනේශ් බණ්ඩාර මහතා ඊයේ (08) අනාවරණය කළේය.

Jun 9, 2026 - 15:21
 35
මේ ඖෂධ ගෙන්නුවේ රටතුළ හිගයක් නොමැතිවද?

2026 ජුනි මස 08 වැනිදා 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය

මේ ඖෂධ ගෙන්නුවේ

රටතුළ හිගයක් නොමැතිවද?


රස පරීක්ෂකගේ දත්තවලින් ප්‍රධාන තොග පාලකගෙන් 

සාක්ෂි විමසීමට විත්තියෙන් දැඩි විරෝධයක්...


එම විරෝධය ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි...

රුපියල් කෝටි 14කට අධික රජයේ මුදල් වැය කරමින් නිසි ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ මෙරටට ගෙන්වූ බව කියන සිද්ධිය වන සමයේ, මෙරට තුළ කිසිදු 'හදිසි ප්‍රසම්පාදන' (Emergency Procurement) අවශ්‍යතාවක් පැන නැගී නොතිබූ බවට රජයේ වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධාන තොග පාලක හේරත් මුදියන්සේලාගේ ධනේශ් බණ්ඩාර මහතා ඊයේ (08) අනාවරණය කළේය.

එමෙන්ම, රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු කමිටුවක් මගින් සකස් කරන ලද සංයුක්ත තැටියක (CD) අඩංගු දත්ත ප්‍රොජෙක්ටරයක් ආධාරයෙන් ප්‍රදර්ශනය කරමින් සාක්ෂි මෙහෙයවීමට විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් තෙවරක්ම මතු කළ දැඩි නෛතික විරෝධතාව ද කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය මෙහිදී ප්‍රතික්ෂේප කරනු ලැබීය.


නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීම සඳහා වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධාන තොග පාලක හේරත් මුදියන්සේලාගේ ධනේශ් බණ්ඩාර මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තෙවන දිනටත් පෙනී සිටි අවස්ථාවේදී මෙම තීරණාත්මක කරුණු හෙළි විය.


‘සාක්ෂිකරු මේ දත්ත මීට පෙර දැක නැහැ’ - විත්තියේ තර්කය


පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විසින් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ඇතුළත් ‘සීඩී’ පටයේ දත්ත තිරය මත ප්‍රදර්ශනය කරමින් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් ඊට තෙවරක්ම විරෝධය පළ කළහ.


විත්තියේ නීතිඥ රහුල් ජයතිලක මහතා අධිකරණය හමුවේ තර්ක කරමින් කියා සිටියේ, අදාළ දත්ත රස පරීක්ෂකවරයා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සකස් කරන ලද්දක් බැවින් සහ සාක්ෂිකරු මීට පෙර එම දත්ත දැක නොමැති බැවින්, ඒ පිළිබඳව මෙම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිරීම නීත්‍යානුකූල නොවන බවයි. විත්තියේ නීතිඥ රහුල් ජයතිලක එහිදී ප්‍රකාශයක් කරමින් මෙසේ කීවේය.


“මෙම පැ 297-2 A1 ලෙස ලකුණු කර ඇති තිරයේ පෙන්වන දත්තයන් රජයේ රස පරීක්ෂකවරයා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සකස් කර ඇති වාර්තාවක්. එය සී ඩී පටයක ගබඩා කරල තියෙන්නේ. මෙම සාක්ෂිකරුගෙන් එම වාර්තාවේ දත්ත ගැන විමසන්න බැහැ. ඔහු හෝ කිසිවෙක් මීට පෙර මේ දත්ත දැකලා නෑ. සංයුක්ත තැටියක ඇති දත්ත ප්‍රදර්ශනය කර ඒ ගැන ප්‍රශ්න අහන විට ඔහු මොනවද කියන්නේ..? මේවා මෙහෙම අහන්නේ කොහොමද? මේ සාක්ෂිකරුගෙන් එම සංයුක්ත තැටියේ ඇති දත්ත පිළිබඳව විමසීම පිළිබඳ මම විරුද්ධයි.” 


‘සාක්ෂි ආඥා පනත අනුව අවසර දෙන්න’ - පැමිණිල්ලේ පිළිතුර

විත්තියේ තර්කයට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය, මෙම සාක්ෂි විභාගය සම්පූර්ණයෙන්ම තාක්ෂණික අවශ්‍යතා මත පදනම් වන්නක් බව පෙන්වා දුන්නාය. සාක්ෂිකරු වෛද්‍ය සැපයීම් අංශයේ තොග පාලකවරයා වශයෙන් 2022 සැප්තැම්බර් මාසයේ තොග පිළිබඳ තොරතුරු ලබාදීමට සමත් බව ප්‍රකාශ කර ඇති හෙයින්, සාක්ෂි ආඥා පනතේ 120 වගන්තිය ප්‍රකාරව මෙම පර්යේෂණ සාක්ෂි ඔස්සේ ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.


තොග පාලකට සාක්ෂි දිය හැකියි - විනිසුරු මඩුල්ලේ තීන්දුව

කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේ, අදාළ දත්ත 'ප්‍රොන්ටෝ' (Pronto) පරිගණක පද්ධතිය mගින් ලබාගෙන ඇති බව රස පරීක්ෂකවරයා දන්වා ඇති බවයි. සාක්ෂිකරු වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලන නිලධාරියෙකු බැවින්, එම අංශයේ දත්තවල රහස්‍යභාවය සහ තොග පාලන දත්ත පරීක්ෂා කර සාක්ෂි දීමේ පූර්ණ නෛතික හැකියාව ඔහුට පවතින බව පවසමින් විනිසුරු මඩුල්ල විත්තියේ විරෝධතාව ප්‍රතික්ෂේප කළේය.


අධිකරණයේ අවසරය මත ආරම්භ වූ සාක්ෂි විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සහ සාක්ෂිකරු අතර ඇති වූ දීර්ඝ ප්‍රශ්නෝත්තර සන්නිවේදනයෙන් ඖෂධ තොග පද්ධතියට ඇතුළත් වීම සම්බන්ධයෙන් තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය විය.


ඒ අනුව මෙම සාක්ෂි ලබාදීමේදී එම ප්‍රදර්ශිත දත්ත ලෙස බලා ගැනීමෙන් එම සාක්ෂිකරුට සී ඩී තැටියත් එහි ඇති දත්ත තොග පාලන අංශයේ පැවැති දත්ත පරීක්‍ෂා කර සාක්ෂි දීමේ හැකියාව තියනවා. දත්ත ලබා ගත්තේ වෛද්‍ය සැපයුම්, අංශයෙන් බව රස පරීක්ෂක කියනවා. ඒ අනුව ඒ සම්බන්ධව සාක්ෂි දීමේ හැකියාව සාක්ෂිකරුට තියනවා... 


නිසි ප්‍රමිතියෙන් තොර "හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් සහ රිටොක්සිමැබ්" ප්‍රතිදේහ එන්නත් ඖෂධ කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13 ක් යටතේ එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුකරය මේ දිනවල ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනෙයි.


එහිදී ඊයේ (08) ගරුතර අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදීමට වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධාන තොග පාලක හේරත් මුදියන්සේලාගේ ධනේශ් බණ්ඩාර මහතා තෙවැනි දිනයටත් සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබූ අතර පැමිණිල්ල මෙහෙය වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සාක්ෂි විභාගය සිදු කළාය.


ඒ අනුව සාක්ෂි විභාගය ඇරම්ඹ විය...

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 00.603.605 අංකයට අදාළ ඖෂධය කුමක්ද?

සාක්ෂිකරු ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය 2022 සැප්තැම්බර් 24 දිනට කොපමණ තිබුණද?

සාක්ෂිකරු ; 1480ක්... 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මාසික අවශ්‍යතාව කොපමණද? 

සාක්ෂිකරු ; 7500ක්...

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 00 603 205 දරන ඖෂධය සැප්තැම්බර් 24 දිනට කොපමණ තිබෙනවාද? 

සාක්ෂිකරු ; 5749 යි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් අංශයේ 1480යි

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 1480, 5749 යි අවශ්‍යතාව 7500 යි.

සාක්ෂිකරු ; අඩුයි ස්වාමීනී. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 බලන්න. අංක 89 යටතේ ඇති අයිතමය කුමක්ද.? 

සාක්ෂිකරු ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය  ; මෙම ලේඛනයේ 2022 ඔක්තෝම්බර් 20 දිනට අදාළව පෙන්වන අගය කුමක්ද?

සාක්ෂිකරු ; ඒකක 10 688 ක් ස්වාමීනී. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022 සැප්තැම්බර් 24 , 5745 ක් වූ අගය ඔක්තෝම්බර් 20 වන විට 10688ක් බවට පත් වෙනවා. 

සාක්ෂිකරු ; මෙහෙම අගය වැඩි වන්නේ තොගයක් ලැබුණමයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 00 603 205 අයිතමයට ඔක්තෝම්බර් 20 වෙද්දී 10688 ක් වෙනවා. ඔබතුමා අධිකරණයට පැහැදිලි කරන්න මේ තොග එකතුවීම ගැන.

සාක්ෂිකරු ; දෛනිකව වෛද්‍ය සැපයුම් ඒකකයෙන් තොග මුදා හරිනවා. ඒ මුදා හරින ඒවා රෝහල්වල භාවිතා වෙනවා. එවිට තොග අඩු වෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එක දිනයකින් වැඩි වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.

සාක්ෂිකරු ; අලුත් තොග පද්ධතියට ඇතුල් කළාම වැඩිවෙනවා. දත්ත පද්ධතියේ බලද්දි සංඛ්‍යාත්මක අගයක් තමයි පෙන්වන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය පැහැදිලි කරන්න. තොග නිකුතුව සලකා බලන්න වෙනවද.? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;  යම් තොගයක් කල්ඉකුත් වී හෝ ප්‍රමිතියෙන් තොරව ඇත්නම් මේ ලේඛනයේ අගයට මොකද වෙන්නේ? 

සාක්ෂිකරු ; පද්ධතිය තුළ තියෙන අගයත් නොවෙනස්ව පවතින්නේ කල්ඉකුත් වූ හෝ බාල ඖෂධ තෝරා රඳවා ගනු ලැබූ අවස්ථාවලයි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තිරයේ දිස්වන දත්ත තුළ ටැබ් හතරක් ඔබට පේනවද? එහි 81 අගය පෙනෙනවද? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. එහි ඒකක 5749ක් පෙන්වනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි සැප්තැම්බර් 24 (2022) ට කීයක් පෙන්වනවද?

සාක්ෂිකරු ; 5142 ක් පරිගණක පද්ධතිය තුළ පෙන්වනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තොගයක් ආවම ඒ ගැන දැනගන්නේ කොහොමද?

සාක්ෂිකරු ; ඊළඟ දිනයේදී විශාල ප්‍රමාණයකින් වැඩිවී තිබෙනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ තොග ලැබෙන්නේ කොහෙන්ද?

සාක්ෂිකරු ; රාජ්‍ය ඖෂධ සංස්ථාවට දීපු ඇණවුම් මත  ලැබෙනවා . 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සැපයුම් ලේඛණයට අවධානය යොමු කොට මෙය හඳුනා ගන්න. 2022 ඔක්තෝම්බර් 19, 89 තීරයේ ඖෂධ තොගය කීයක්ද? 

සාක්ෂිකරු ; 2358 යි.

නියෝජ්‍ය සොලිසිටර්  ජනරාල්වරිය ;  එය ඔක්තෝබර් 20 වැනිදා 10688ක්. එය පැහැදිලි කරන්න. 

සාක්ෂිකරු ; පෙන්ඩින් තිබූ තොගයක් ලැබී තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 2022/11/23 දිනය බලන්න. එහි අගය කීයද?

සාක්ෂිකරු ; 5527ක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/11/25 බලන්න. එහි සඳහන් වන්නේ කීයක්ද?

සාක්ෂිකරු ; 17768 ක්.

මෙහි පද්ධතියට දත්ත එකතු වීම නිසයි.  ඒ අලුත් තොගයක්. 

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; තොග ලැබෙන්නේ කොහෙන්ද?

සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම් ඒකකයට SPC එකෙන්. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023 ජනවාරි 26 දිනට අවධානය යොමු කරන්න. 

සාක්ෂිකරු ; එහි 11277ක් සඳහන්. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ජනවාරි 27 දිනට අවධානය යොමු කරන්න.

සාක්ෂිකරු ; එහි 23103 ක් සඳහන්. 

 නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එය මාසික අවශ්‍යතා අනුව මාස කීයකට  ප්‍රමාණවත්ද? 

සාක්ෂිකරු ; මාස තුනකට

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023 මාර්තු මාසයට අවධානය යොමු කළොත් මාර්තු 2 දින තොගය කීයද?

සාක්ෂිකරු ; 23351 ක් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මාර්තු පළමු වැනිදා තොගය කොපමණද?

සාක්ෂිකරු ; 15793 ක් ස්වාමීනී. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 7 දිනට සාපේක්ෂව 2 දින තොගය වැඩිවීම සිදුවූයේ කෙසේ විය හැකිද?

සාක්ෂිකරු ; එය ඕඩරයක් විය හැකියි. 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; 2023/05/26 දිනට අවධානය යොමු කරන්න. එදිනට තොගය කීයද?

සාක්ෂිකරු ; 12868ක් ස්වාමීනී. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; (පැ 293 ලේඛනයට අවධානය යොමු කරවයි)
මෙහි සඳහන් ඖෂධය කුමක්ද? 

සාක්ෂිකරු ; රිටක්සිමැබ් 500 mg. එහි අංකය 01 205 702 .

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 173 ලේඛනය අනුව ඕඩර් ලිස්ට් එක දාපු දිනය කවද ද? 

සාක්ෂිකරු 2022/09/26 වනදා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 182 වෂයෙන් තිරයේ දකින දත්ත 2022/06/26 ට කොපමණද?

සාක්ෂිකරු ; 0 යි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග නැත. පැ 297 I A III දෙස බලන්න. එහි සඳහන් අයිතමයේ සැප්තැම්බර් 26 ට කොපමණ තිබෙනවාද?

සාක්ෂිකරු ; 210 ක් ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය ප්‍රමාණවත්ද ? 

සාක්ෂිකරු ; නැත ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 294 ට අවධානය යොමු කර 01 205 702 කොතැනද තියෙන්නේ කියන්න.

සාක්ෂිකරු ; අංක 159 යටතේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/10/14 වෙද්දි එහි කොපමණ තිබුණද? 

සාක්ෂිකරු ; 98 යි ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 10/15 වන විට 702 ක් තිබුණා. මේ තත්ත්වය පැහැදිලි කළ හැකිද?

සාක්ෂිකරු ; පෙන්ඩින් ඕඩර්ස් ලැබිලා. මාස හතරාමාරකට පසු එය ලැබිලා තියෙනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2022 දෙසැම්බර් 15 දිනට අවධානය යොමු කරන්න. 

සාක්ෂිකරු ; ඒකක 1458 ක් තිබිලා තියෙනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; දෙසැම්බර් 16 වන විට 6508 ක් ලැබිලා. 

සාක්ෂිකරු ; 16 දා පෙන්ඩින් ඕඩරයක් ලැබිලා තිබෙනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023 මැයි 11 දින 01 205 702 ඖෂධයටත් පෙන්ඩින් ඕඩරයක් ලැබිලද? 

සාක්ෂිකරු ; ඔව් පෙන්ඩින් ඕඩරයක් ලැබිලා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 බලන්න. 

සාක්ෂිකරු ; 2024/09/24 වන විට පැ 294 2A3 දක්වා 119843 වෙලා. ඊට පසුවදා 23000ක් වෙලා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/10/06 බලන්න

සාක්ෂිකරු ; එදින වන විට 213672 ක්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කලින් පැවති ලක්ෂය තවත් ලක්ෂයක් දක්වා වැඩිවෙලා.

සාක්ෂිකරු ; ඔව් එතනත් පෙන්ඩින් ඕඩරයක් ලැබිලා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 293 හි 38 අයිතමයට අවධානය යොමු කරන්න.

සාක්ෂිකරු ; 00 602 202 එය හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 2.5 - 3 g ප්‍රමාණය එන්නත්. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි මාසික අවශ්‍යතාවය කොපමණද.?

සාක්ෂිකරු ; 1853 ක් ස්වාමීනී .

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/09/24 හා 26 වන විට තොග කොපමණ තිබුනද?

සාක්ෂිකරු ; 24 වැනිදාත් තොග සම්පූර්ණයෙන්ම ඉවරයි. 26 දාත් ඉවර වී තිබිලා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ජාතික තලයේ කොපමණ තිබිලද?

සාක්ෂිකරු ; 2814 ක්. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය කොපමණ කලකට ප්‍රමාණවත්ද? 

සාක්ෂිකරු ; මාස එකහමාරකට පමණ ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නොවැම්බර් 10 වන විට කොපමණ තිබිලද? 

සාක්ෂිකරු ; 23873 ක් ස්වාමීනී. එයත් පෙන්ඩින් ඕඩරයක් විය යුතුයි. එහි මාස 11 කට පමණ ප්‍රමාණවත් තොගයක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙය හදිසි ප්‍රසම්පාදනයක් කළ යුතු තත්ත්වයක් ද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 293 හි 68 අයිතමය බලන්න

සාක්ෂිකරු ; එහි මාසික අවශ්‍යතාව 583 ක් 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; 2022 සැප්තැම්බර් 24 හි 26 බලන්න

සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග 0 යි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ජාතික තලයේ කොපමණ පෙන්වනවද? 

සාක්ෂිකරු ; ඒකක 343යි. 26 වැනිදා වෙද්දි 312 ක් අඩුයි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022 ඔක්තෝම්බර් 15 බලන්න.

සාක්ෂිකරු ; ඒකක 5176 ක් තිබෙනවා. මාස 9 කට ඇති ස්වාමීනී. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 293 ලේඛනයේ 84 අයිතමය කුමක්ද? 

සාක්ෂිකරු ; 01 201 703 
පැ 297 III A I දත්ත අනුව සැප්තැම්බර් 24/26 ඒකක 200 බැගින් තිබුණා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එදිනට ජාතික තලයේ කොපමණ තිබුනද?

සාක්ෂිකරු ; 509 යි ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මසකට ප්‍රමාණවත්ද?

සාක්ෂිකරු ; ඔව්. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සැප්තැම්බර් 26 වන විටත් ජාතික තලයේ 509 ක් තිබිලා තියෙනවා. එය මසකට ප්‍රමාණවත්ද?

සාක්ෂිකරු ; ප්‍රමාණවත් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 ලේඛනය අනුව 2022/10/10 කොපමණ තිබුණාද?

සාක්ෂිකරු ; 3610 ක් ඒකක තිබුණා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පෙර තිබුණේ 500 පමණයි. මේ ප්‍රමාණය මාස කීයකට ප්‍රමාණවත්ද? 

සාක්ෂිකරු ; මාස හතකට පමණ ස්වාමීනී. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 00 302 801 බලන්න.

සාක්ෂිකරු ; මාසික අවශ්‍යතාවය 80 3333 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් ඒකකයේ කොපමණ තිබුණද?

සාක්ෂිකරු ; 509000 ක් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම දත්ත අනුව සැප්තැම්බර් 24 දිනට කොපමණ තිබෙනවාද? 

සාක්ෂිකරු ; මිලියන 2.1 ක් ස්වාමීනී එය මාස දෙකහමාරකට පමණ ප්‍රමාණවත්. 


මෙම සාක්ෂිකරුගෙන් තවදුරටත් සාක්ෂි ලබා ගැනීම සඳහා නඩුව අද (09) දින යළි කැඳවීමට නියමිතය.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0