අතිරේඛ අධ්‍යක්ෂවරයාගේ මරණය රහස් වැළලීමට කළ ඝාතනයක්

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන දෙකයි දශම පහක මුදලක් ඕස්ට්‍රේලියාවේ ගිණුමකට බැර කරමින්, රටට රුපියල් කෝටි 80 කට අධික මුදලක් අහිමි කිරීමේ කූඨ ගනුදෙනුව පසුපස සිටින්නේ “හැකරුන්” යයි කියන්නට රජය කොතරම් උත්සාහ කළත්, වත්මන් මුදල් ඇමතිවරයාට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙන්ම මහ බැංකුවේ අධිපතිවරයාට මේ කූඨ ගණුදෙනුවේ වගකීමෙන් මිදෙන්නට බැරි බව විමල් වීරවංශ මහතා පවසයි.

May 2, 2026 - 17:44
 84
අතිරේඛ අධ්‍යක්ෂවරයාගේ මරණය   රහස් වැළලීමට කළ ඝාතනයක්


අතිරේඛ අධ්‍යක්ෂවරයාගේ මරණය 

රහස් වැළලීමට කළ ඝාතනයක්...

රජය 10 වතාවක් ණය ආපසු ගෙවලා, 


ඉන් 7 වතාවක්ම ගෙවල තියෙන්නේ නන්දලාල්...

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන දෙකයි දශම පහක මුදලක් ඕස්ට්‍රේලියාවේ ගිණුමකට බැර කරමින්, රටට රුපියල් කෝටි 80 කට අධික මුදලක් අහිමි කිරීමේ කූඨ ගනුදෙනුව පසුපස සිටින්නේ “හැකරුන්” යයි කියන්නට රජය කොතරම් උත්සාහ කළත්, වත්මන් මුදල් ඇමතිවරයාට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙන්ම මහ බැංකුවේ අධිපතිවරයාට මේ කූඨ ගණුදෙනුවේ වගකීමෙන් මිදෙන්නට බැරි බව විමල් වීරවංශ මහතා පවසයි.


එමෙන්ම මෙම ගනුදෙනුවේ කිසිදු වගකීමක් "මහා බැංකුව" හෝ මහ බැංකුවේ අධිපතිවරයා සතුව නැතැයි පෙන්වා දෙන්නට ඇතැම් පිරිස් කොතරම් උත්සාහ කළත් මෙම ණය ආපසු ගෙවීම් වාරික දහයකින් කර ඇති බවත්, එහි මුල්ම වාරික හත ගෙවා ඇත්තේ මෙම ගනුදෙනු මහ බැංකුව භාරයේ තිබෙන සමයේදී නන්දලාල් වීරසිංහගේ අනුදැනුම මත බවත් මේ වන විට හෙළිදරව් වී ඇතැයි විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.


ඩොලර් මිලියන 2.5ක මුදලක් ඕස්ට්‍රේලියානු ව්‍යාජ ගිණුමකට බැර කිරීමේ මහා පරිමාණ මූල්‍ය වංචාව සහ මුදල් අමාත්‍යාංශයේ ණය කළමනාකරණ කාර්යාලයේ සේවය කළ අතිරේක අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ අභිරහස් මරණය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (02) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දැඩි විවේචනයක් එල්ල කළේය.


මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 80කට අධික) මුදලක් ඕස්ට්‍රේලියානු ව්‍යාජ ගිණුමකට බැර කිරීමේ මහා පරිමාණ මූල්‍ය වංචාව හුදු තාක්ෂණික දෝෂයක් නොව, ඉහළ පෙළේ නිලධාරීන්ගේ අනුදැනුම මත සිදුවූ මහා පරිමාණ හොරකමක් බවත්, එහි වගකීම පහළ මට්ටමේ නිලධාරීන් මත පටවා, ඔවුන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සලස්වන “නරබිලි” දෙන පාලනයක් වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන බවත් වීරවංශ මහතා අවධාරණය කළේය.

මුදල් අමාත්‍යාංශයේ ණය කළමනාකරණ කාර්යාලයේ සේවය කළ අතිරේක අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ මරණය රජය පවසන පරිදි සියදිවි නසා ගැනීමක් නොව, මනුෂ්‍ය ඝාතනයක් බවට බරපතල සැකයක් පවතින බව ඔහු පැවසීය. තමන්ගේම අත් පා වල බලනහර කපාගෙන සියදිවි නසා ගැනීමට තරම් අමානුෂික ක්‍රමවේදයක් සාමාන්‍ය පුද්ගලයෙකු දිවිනසා ගැනීමකදී අනුගමනය නොකරන බවත්, මෙය මරණයට පත්වූ නිලධාරියා සතුව තිබූ “රහස් වැළලීමට” කරන ලද කුමන්ත්‍රණයක් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.


මුදල් අමාත්‍යාංශය හරහා “ඕස්ට්‍රේලියානු ව්‍යාජ ගිණුමකට” බැර කරන ලද ඩොලර් මිලියන 2.5ක මුදල පිළිබඳව අදහස් දක්වමින් වීරවංශ මහතා කියා සිටියේ, අතිරේක අධ්‍යක්ෂවරයෙකුට තනිවම මෙවැනි මහා පරිමාණ ගෙවීමක් සිදු කළ නොහැකි බවයි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියෙන් තොරව මෙවැනි ගනුදෙනුවක් කිසිසේත් කළ නොහැකි බවත්, එහෙත් ලේකම්වරයා කිසිදු වගකීමක් නොගෙන තවදුරටත් සිය ධුරයේ රැඳී සිටින බවත් ඔහු චෝදනා කළේය.


පසුගියදා පැවැති පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේදී රටට හෙළිදරව් වූ පරිදි ඩොලර් මිලියන 2.5ක මෙම මුදල වාරික 10 කදී ගෙවන ලද බව හෙළිදරව් වූ බව පෙන්වා දුන් වීරවංශ මහතා ඉතා වැදගත් කරුණක් මතු කළේය. 


මෙම ගෙවීම වාර 10 කින් සිදු කර ඇති අතර, ඉන් වාර 7ක්ම ගෙවා ඇත්තේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ පාලනය යටතේ “ණය කළමනාකරණය” මහ බැංකු වගකීමක්ව පැවති සමයේදී බව වීරවංශ මහතා අනාවරණය කළේය. ඉතිරි වාර 3 පමණක් මුදල් අමාත්‍යාංශය යටතේ ගෙවා ඇත.
 

මෙම වංචාව හෙළිදරව් වීමත් සමඟම මහ බැංකු අධිපතිවරයා තමන් ස්ථිර පදිංචිය හිමි ඕස්ට්‍රේලියාව බලා පිටව ගොස් ඇති බවත්, මංකොල්ලකන ලද මුදල් බැර වී ඇත්තේද ඕස්ට්‍රේලියානු ගිණුමකට වීම අහම්බයක් විය නොහැකි බවත් ඔහු පැවසීය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාද ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවෙකු බව පවසන වීරවංශ මහතා, මෙහි සියලු නූල් සූත්තර ඇදී යන්නේ ඕස්ට්‍රේලියාව දෙසට බව පෙන්වා දුන්නේය.


“දැන් බලන්න... පාර්ලිමෙන්තු මුදල් කාරක සභාවේදී අනාවරණය වෙනවා ඉතා වැදගත් කරුණක්. ඒ තමයි මේ ඩොලර්මි මිලියන් 2.5ක මුදල එකපාර ගෙවලා නැහැ. වාර 10ක් ගෙවලා. වාර දහයෙන් හතක් ගෙවලා තියෙන්නේ මහ බැංකුව යටතේ මේ ණය ගෙවීමේ කටයුත්ත තියෙන වෙලාවේ. වාර හතක් ගෙවලා තියෙන්නේ මහ බැංකුවේ අධිපති යටතේ ඒ විදේශ ණය කළමනාකරණය පිළිබඳ රාජ්‍ය වගකීම තිබෙන වෙලාවේ. 2024 මගේ මතකය අනුව නොවැම්බර් මාසේ විතර, දෙසැම්බර් මාසේන් විතර පස්සේ තමයි ඒ වගකීම අලුත් පණතකින්, රාජ්‍ය ණය කළමනාකරන පනතෙන් මුදල් අමාත්‍යංශය යටතේ වන ණය කළමනාකරණ කාර්යාලය කියන එකට පැවැරෙන්නේ.”


මහා භාණ්ඩාගාරයේ වංචාවට අමතරව, NDB බැංකුව හරහා රුපියල් බිලියන 13.2ක (ඩොලර් මිලියන 13.5ක් පමණ) මුදලක් කාලයක් තිස්සේ සූක්ෂම ලෙස රටෙන් පිටකර ඇති බව වීරවංශ මහතා හෙළි කළේය. වාර 2640කදී වරකට මිලියන 5 බැගින් “සෙෆ්ටස්” (Seftus) හෝ ක්‍රිප්ටෝ මුදල් හරහා මෙම මුදල් බැංකු පද්ධතියෙන් බැහැර වී ඇති බව ඔහු සඳහන් කළේය.


මහ බැංකුව සතු මූල්‍ය බුද්ධි ඒකකය (FIU) මෙවැනි ගනුදෙනු පිළිබඳව "රතු කොඩි" (Red Flags) එසවිය යුතු වුවත්, ඇමරිකාවේ සහ ලෝක බැංකුවේ තාක්ෂණික සහාය මත ක්‍රියාත්මක වන එම නවීන පද්ධතිය මෙම මහා පරිමාණ හොරකම හඳුනා නොගැනීම පුදුමයට කරුණක් බව ඔහු පැවසීය. මෙය මහ බැංකු අධිපතිවරයා සහ අදාළ නිලධාරීන්ගේ හිතාමතා කළ මග හැරීමක් බවට ඔහු චෝදනා කළේය.


වත්මන් පාලනය දූෂණය නතර කරන බව පවසමින් බලයට පැමිණියද, අද සිදු වන්නේ දෛනික ජීවිතයට බලපාන සහල්, බෙහෙත් සහ ණය වාරිකවලින් පවා හොරා කෑම බව වීරවංශ මහතා පැවසීය. අහිංසක රාජ්‍ය නිලධාරීන් බිල්ලට දෙන, නරබිලි දෙන මෙම "තක්කඩි" පාලනය වහාම නතර කළ යුතු බවත්, අතිරේක අධ්‍යක්ෂවරයාගේ මරණයට සෘජුවම වගකිව යුතු මුදල් අමාත්‍යවරයා (ජනාධිපති), මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති වහාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය. රාජ්‍ය නිලධාරීන්ගේ ලේ තැවරුණු දෑත් ඇති මෙම පාලකයින්ට තවදුරටත් ජනතාවගේ මුදල් පරිහරණය කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව පවසමින් වීරවංශ මහතා සිය දේශනය අවසන් කළේය.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0