නීතිපති කථානායකවරයා අත්හරී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට, වත්මන් කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙරට දේශපාලන හා නෛතික ක්ෂේත්‍රය දැවැන්ත කැළඹීමකට ලක්ව ඇත. වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙලෙස අභියාචනාධිකරණය හමුවේ දැඩි අසීරුතාවයට පත්වූයේ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් ගොනු කරන ලද නඩුවකට අදාළවය.

Mar 28, 2026 - 23:38
 49
නීතිපති කථානායකවරයා අත්හරී...

නීතිපති කථානායකවරයා අත්හරී...


ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 


පෙර නොවූ විරූ නෛතික අර්බුදයක්!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට, වත්මන් කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙරට දේශපාලන හා නෛතික ක්ෂේත්‍රය දැවැන්ත කැළඹීමකට ලක්ව ඇත. වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙලෙස අභියාචනාධිකරණය හමුවේ දැඩි අසීරුතාවයට පත්වූයේ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් ගොනු කරන ලද නඩුවකට අදාළවය.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට කථානායකවරයා ගත් තීරණය, ස්වාභාවික යුක්ති මූලධර්මවලට පටහැනි සහ පෞද්ගලික ද්වේශය මත පදනම් වූවක් බවට චෝදනා කරමින් මෙම පෙත්සම ගොනු කර තිබුණි. තමාට නොමැති බලයක් ආරෝපණය කර ගනිමින් කථානායකවරයා අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇති බව පෙත්සම්කරුගේ පාර්ශවයෙන් කරුණු දක්වා ඇත.

මීට පෙර අවස්ථා දෙකකදී කථානායකවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද, ඊයේ (මාර්තු 27) නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ අභිගේල් ජයකොඩි මෙනෙවිය ප්‍රකාශ කළේ මින් ඉදිරියට දෙවන වගඋත්තරකාර කථානායකවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි. 

නීති විශාරදයන් පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් නීතිපතිවරයා මෙවැනි තීරණයක් ගනු ලබන්නේ:

* නීතිපතිවරයා ලබා දෙන උපදෙස් අදාළ පාර්ශවය විසින් පිළිනොගන්නේ නම්,
* හෝ අදාළ නඩුව පවත්වාගෙන යාම නෛතිකව රජයට අවාසි සහගත වන්නේ නම් පමණක් බවයි.

වාර්තා වන අන්දමට, නීතිපතිවරයා විසින් යෝජනා කරන ලද "සමථයකට" කථානායකවරයා එකඟ නොවීම මෙම ඉවත් වීමට ප්‍රධාන හේතුව වී ඇත.

මෙම නඩුවේ විශේෂත්වය වන්නේ කථානායකවරයා සමඟ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින සභානායක බිමල් රත්නායක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා වෙනුවෙන්ද නීතිපතිවරයා පෙනී නොසිටීමයි. ඒ අනුව කථානායකවරයාට සිදුවූයේ පෞද්ගලික නීතිඥ සහය ලබා ගැනීමටය. කථානායකවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කනගේෂ්වරන් මහතා පෙනී සිටියේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරියේ මෙම නඩුව කැඳවන ලදී. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිසත් විජයගුණවර්ධන මහතාද,  හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාද, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාද ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් රැසක් පෙනී සිටියහ.

අධිකරණය නියම කළේ මෙම පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඇත්නම් 2026 අප්‍රේල් 20 වන දිනට පෙර ගොනු කරන ලෙසයි. ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා 2026 මැයි 26 දක්වා කාලය ලබා දී ඇත.

මෙම සිදුවීම බලයේ සිටින කථානායකවරයෙකු නෛතිකව මෙන්ම දේශපාලනිකවද රජය තුළ හුදකලා වූ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 1