මේ ගණුදෙනු ගැන මගේ වගකීමක් නෑ..

නිසි ප්‍රමිතියකින් තොර ප්‍රශ්නගත “හියුමන් ඉමියුනොග්ලොබියුලින්” ඖෂධය හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මත මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සපයා තිබුණත්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන අංශය භාර අතිරේක ළේකම්වරයා හැටියට ඊට තමන්ගේ කිසිදු දායකත්වයක් වගකීමක් හෝ වගවීමක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) යූ. එල්. එම්. එන්. නවාමි මහතා පවසයි.

Jan 28, 2026 - 18:03
Jan 28, 2026 - 18:04
 50
මේ ගණුදෙනු ගැන මගේ වගකීමක් නෑ..

කෙහෙලියගේ (ඉමියුනොග්ලොබියුලින්) නඩුවේ 

අලුත්ම තත්ත්වය හැමදාම කියවන්න

මේ ගණුදෙනු ගැන

මගේ වගකීමක් නෑ...


රැස්වීම්වලට ගියා තමයි, නමුත් නිල බලයක් නෑ...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) යූ. එල්. එම්. එන්. නවාමි

නිසි ප්‍රමිතියකින් තොර ප්‍රශ්නගත “හියුමන් ඉමියුනොග්ලොබියුලින්” ඖෂධය හදිසි  ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මත මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සපයා තිබුණත්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන අංශය භාර අතිරේක ළේකම්වරයා හැටියට ඊට තමන්ගේ කිසිදු දායකත්වයක් වගකීමක් හෝ වගවීමක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) යූ. එල්. එම්. එන්. නවාමි මහතා පවසයි.


ප්‍රමිතියෙන් තොර “හියුමන් ඉමයුනොග්ලෝබීන්” එන්නත් කුප්පි “ 6195”ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම තුළින් රජයට රුපියල් කෝටි 14ට අධික මුදලක් (144,293,357.32) වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා 13 ක් යටතේ, සිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනෙමින් තිබිණි. 


ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී සත්‍ය ප්‍රකාශ කරන බවට දිවුරා ප්‍රතිඥා දෙමින් එහිදී සාක්‍ෂිකරු පවසා සිටියේ තමා  2015 වසරේ සිට 2024/11/03 වැනිදා එකී තනතුරෙන් ඉවත් කරන තුරුම තමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසම්පාදන තනතුරේ රාජකාරි කළ බවයි.


40/HCOTB 2/1/2025 අංක යටතේ පවරා ඇති එම නඩුවේ පැමිණිල්ලේ 13 වන සාක්ෂිකරු ලෙසින් නම් කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) ලෙස රාජකාරී කටයුතු කළ යුනූස් ලෙබ්බේ මොහොම්මදු නවාමි මහතාගෙන්, පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවන අතිරේක සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ පසුගිය 26, 27 දිනවල සාක්ෂි දෙමින් නඩුවේ 213 වන සාක්ෂිකරු ලෙස එම අදහස් ප්‍රකාශ කළේය. 


සාක්ෂිකරුගෙන්, මෙම නඩුවේ පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරෙන්ද්‍ර බානගල ඇතුළු අනෙකුත් නීතිඥයින් හරස් ප්‍රශ්න විමසද්දී දැඩි උණුසුම් මුහුණුවරක් ගත් අතර සංකීර්ණ ප්‍රධාන කරුණු ගණනාවක්ම එහිදී ඉස්මතු විය.


ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීමේදී භාවිත කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය විසින් කොවිඩ් සමයේ හඳුන්වා දුන් “හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ” (Emergency Procurement Guidelines) බව සාක්ෂිකරු විසින් පිළිගනු ලැබීය. සාක්ෂි විමසීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ මෙම ගනුදෙනුව සිදු වූ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය, සහ එය පිටුපස සිටි උසස් නිලධාරීන්ගේ මැදිහත් වීම මෙන්ම සක්‍රීය දායකත්වය සම්බන්ධවයි.


එහෙත් 2022 ජූලි මස 22වෙනිදා එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය මගින් එතෙක් රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන කීපයක් සෞඛ්‍ය අමාත්‍යංශයට යටතට පැවරීමෙන් පසුව අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2022 ජූලි 28 වැනිදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් එතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ තමා සතුව තිබූ සියලු බලතල ඉවත් කළ බව පවසා සිටියේය.


අනතුරුව අටවන විත්තිකර ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගින් “හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය” සඳහා අනුමැතිය ලබාගෙන, දහවන විත්තිකාර සමන් කුසුම්සිරි රත්නායක මහතා “ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය” භාර අතිරේක ලේකම්වරයා ලෙස පත්කිරීමට පියවර ගත් බව නවාමි මහතා පවසනු ලැබීය.


 27 වන දින සාක්ෂි දුන්) යූ.එල්.එම්.එන්. නවාමි ගෙන් පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර භාණගල කළ හරස් ප්‍රශ්න විමසීමේදී ප්‍රධාන උණුසුම් කරුණු කිහිපයක් ඉස්මතු විය:


ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීමේදී භාවිත කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය විසින් කොවිඩ් සමයේ හඳුන්වා දුන් හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ (Emergency Procurement Guidelines) බව සාක්ෂිකරු විසින් පිළිගනු ලැබීය. 


මෙම වංචාව පිළිබඳව මුලින්ම CIDයට පැමිණිලි කළේද එවකට අමාත්‍යවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා බවත්, මෙම එන්නත් භාවිතය නිසා කිසිදු මරණයක් වාර්තා නොවී සංකූලතා 5ක් පමණක් වාර්තා වූ බවත් මෙහිදී සාක්ෂි මගින් තහවුරු විය.


2026 ජනවාරි 26 වනදා කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුන නඩු විභාගයේ වාර්තාව මෙසේය.


 
40ක HC OTB 2/1/2025 යටතේ පවරා ඇති එම නඩුවේ පැමිණිල්ලේ 13 වන සාක්ෂිකරු ලෙස නම්කර තිබූ පෙර දින දෙකක් පුරා පැමිණිල්ල මෙහෙයවන අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිබාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසම්පාදන ලෙස රාජකාරී කළ යුනූස් ලෙබ්බේ මොහොම්මදු නමමි මහතාගෙන් එම නඩුවේ පළමු වන විත්තිකාර ප්‍රශ්නගත එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයූ සමාගමේ හිමිකරු වන හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.


 ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී සත්‍ය ප්‍රකාශ කරන බවට දිවුරා ප්‍රතිඥා දෙමින් එහිදී සාක්‍ෂිකරු පවසා සිටියේ තමා  2015 වසරේ සිට 2024/11/03 වැනිදා එකී තනතුරෙන් ඉවත් කරන තුරුම තමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසම්පාදන තනතුරේ රාජකාරි කළ බවයි.


විත්තියේ නීතිඥ හරේන්ද්‍ර  භාණගල මහතා ; 
ඔබතුමා පෙර දින දෙකේදී අධිකරණය හමුවේදී සාක්ෂි දෙමින් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ ගැසට් පත්‍ර ඇතුළු ලේඛන සම්බන්ධයෙන් සාක්ෂි දුන්නා. ඔබතුමා කීවා අවුරුදු නමයක් විතර එම තනතුරේ හිටියා කියලා. එම වසර නමයෙන් දෙවසරක පමණ කාලයක් හැර සෙසු වසර හතම ඔබතුමා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඖෂධ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් වගකීම දැරුවේ.


 සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී.


විත්තියේ නීතිඥ ;  එකී ඖෂධ මිලදී ගැනීමට අමතරව ඔබ බාරයේ සිදුකළ වෙනත් කාර්යයන් මොනවාද? එම තනතුරට අදාළව.


සාක්ෂිකරු ; සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම, රෝහල්වල ආහාර සැපයීමට අදාළ කටයුතු හා ආරක්ෂක අංශවලට අදාළ කටයුතුත් මා යටතේ සිදුවුණා.


විත්තියේ නීතිඥ ; මෙම කාලය තුළදී ඖෂධ ප්‍රසම්පාදනයට අදාළව ඔබගෙන් CID ය ප්‍රශ්න කර තිබෙනවාද? ඊට අදාළ නඩුකරයකදී ඔබ සාක්ෂි ලබාදීලා තිබෙනවාද?


සාක්ෂිකරු ; නෑ.... ඊට අදාළ ප්‍රශ්නවලදී මම අල්ලස් කොමිෂන් සභාවට අවස්ථා දෙක තුනකදී ප්‍රකාශ ලබා දී තිබෙනවා. නමුත් මේ තමා ඊට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි දුන් ප්‍රථම අවස්ථාව.  CID ය මගෙන් ප්‍රශ්න කළ පළමු අවස්ථාව මේ නඩුකරයට අදාළවයි. මෙම නඩුවට අදාළ විමර්ශනයේදී CID නිලධාරීන් මගේ කාර්යාලයට කීප විටක්ම ඇවිත් ප්‍රකාශ සටහන් කළා. ගොනු පරීක්ෂා කළා.


විත්තියේ නීතිඥ ; ඔබගෙන් ප්‍රකාශ සටහන් කරන්න අවශ්‍ය හේතුව මොකක්ද කියලා CID නිලධාරීන් කීවාද ? යම් යම් සොයා බැලීමක් කළාද ප්‍රශ්න ගත එන්නත් ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව ?


සාක්ෂිකරු ; නැහැ මම ඒ ගැන සොයා බැලීමක් කලේ නැහැ.


විත්තියේ නීතිඥ ;  ඔබ සමග සේවය කළ සමීපතම ජේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගෙන තිබියදීත් ඔබ ඒ ගැන සොයා බැලීමක් කළේ නැහැ කියලද කියන්නේ?


සාක්ෂිකරු ; ඔව් මම එවැනි තොරතුරු දැනගත්තේ සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය මගින්. පසුව කාර්යාල තුළදී එවැනි කතාබහක් ඇති වුණා. ඒ අවස්ථාවලදී දැනගත්තා.


විත්තියේ නීතිඥ ; ඖෂධ ප්‍රසම්පාදනය ගැන චෝදනාවක් එල්ල වුණාම ඒක මුළු සෞඛ්‍ය අමාත්‍යංශයටම බලපාන ප්‍රශ්නයක් නේ. මම ඔබට යෝජනා කරනවා එම ඔබ සතුව තිබූ රාජකාරී වගකීමකින් තොරව ඉටු කළ බවට.


සාක්ෂිකරු ; මම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.


විත්තියේ නීතිඥ ; හැම දෙයක්ම මාධ්‍යයෙන් දැනගත්තා කියන ඔබට මතකද එකී එන්නත රජයේ රෝහල්වලදී ලබා දුන් කීපදෙනෙකුට අත් කැසීම්, අධික ලෙස දහඩිය දැමීම් ගැන වාර්තා වූ බව?


සාක්ෂිකරු ; ඔව්


විත්තියේ නීතිඥ ; ඔබට අමාත්‍යාංශය තුළ බොහෝ සබඳතා තිබුණානේ එම සබඳතා වලදී ඔබට  දැනගන්නට ලැබුණේ නැතිද එවැනි සංකූලතා ගැන පරීක්ෂණ ආරම්භ කළ බවට


සාක්ෂිකරු ; පස් දෙනෙකුට ඇතිවුණු එවැනි සංකූලතා ගැන පරීක්ෂණ කටයුතු පසුව දැනගත්තා.


විත්තියේ නීතිඥ ; එම එන්නත් භාවිතයෙන් කිසිවෙකු හෝ මියගිය බවක් ඔබ දැන ගත්තාද ?


සාක්ෂිකරු ; කිසිවකු එම එන්නත් භාවිතයෙන් මියගොස් තිබුනේ නැහැ. සංකූලතා පහක් ගැන විතරයි වාර්තා වුණේ. මට මතක හැටියට එම එන්නත් භාවිතයෙන් කිසිවෙකු මිය ගිය බව වාර්තා වුණේ නැහැ.


විත්තියේ නීතිඥ ; ඔබව මේ නඩුවට සාක්ෂි දෙන්න කැඳවන්නේ ඇයි කියලා ඔබ දැනුවත් කරලා තිබුණාද?


සාක්ෂිකරු ; නඩු අංකය හා උසාවිය සඳහන් කරලා උසාවි යන්න සාක්ෂි දෙන්න කියලා විතරයි මට දැනුම් දීී තිබුණේ. අනික මේක ප්‍රසිද්ධ නඩුවක්නේ ඒ නිසා කවුරුත් දන්නවා මේ ගැන. මට පෙර මෙම නඩුවට දවස් කීපයක්ම සාක්ෂි දුන් මුදල් අමාත්‍යංශයේ නිලධාරිනිය හමුවෙලා මම ඇහැව්වා මොනවා ගැනද මට සාක්ෂි දෙන්න කැඳවන්නේ කියලා.


විත්තියේ නීතිඥ ; පැමිණිල්ලේ සාක්ෂි ලෙස පැ 46 සිට 57 දක්වා ලේඛන ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඔබගෙන් කරුණු විමසුවා. හදිසි ප්‍රසම්පාදන යටතේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ  66 ක් මිලදී ගැනීම ගැන ඔබගෙන් ඇසුවා. පැමිණිල්ල ඔබට ඉදිරිපත් කළ පැ. 52 ලේඛනයේ තිබෙන්නේ අදාළ හදිසි ඖෂධ මිලදී ගැනීමකදී බලපාන ලන්සු ඉදිරිපත් කරන අයට ඉදිරිපත් කරන කොන්දේසි නේද ?


එම කොන්දේසි ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත අධිකරණය හමුවේ පවසයි. එකී කොන්දේසි හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඇතුළත් බව සාක්ෂිකරු පවසයි.


සාක්ෂිකරු ; මේ මාර්ගෝපදේශ හැදුවේ මගේ මග පෙන්වීම යටතේ . මේවා තමයි ලංසුු ඉදිරිපත් කිරීමේදී ලබාදෙන කොන්දේසි.


විත්තියේ නීතිඥ ; ඖෂධ මිලදී ගැනීමේදී තාක්ෂණික කමිටු පත්කළ බව ඔබ කීවා.


සාක්‍ෂිකරු ; ඔව් තාක්ෂණික කමිටු හයක් පත්කර තිබෙනවා. එම කමිටුවලට ඖෂධ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරු ඇතුළු විශේෂඥයින් පත්කර තිබුණා. මට මතක හැටියට මෙම එන්නත් ඇතුළු ඖෂධවල නියැදි ලබා ගත්තේ 18 දෙනෙකුගෙන් සමන්විත එම තාක්ෂණික කමිටු තමා.


විත්තියේ නීතිඥ ; එකී ඖෂධ 66ට  අදාල ලේඛන ඔබ ළඟ තිබෙනවාද? ඒවා මොනාද කියලා සනාථ කරන්න පැමිණිල්ලක්වත් අදාල ලේඛණය ඉදිරිපත් කරලා නෑනේ. එකී තාක්ෂණික කමිටුවල අයගේ නම් ඔබ දන්නවාද?


සාක්ෂිකරු; එම තොරතුරු අමාත්‍යංශයෙන් ගෙන්වාගන්න පුළුවන්. එකී ඖෂධ 66 ට අදාළ ප්‍රසම්පාදන කටයුතු කළේ මමයි.


විත්තියේ නීතිඥ ; ඔබ කීවා පෙර කී හදිසි ප්‍රසම්පාදන කටයුතු සිදුකළ රැස්වීම්වලට ඔබ ගියත් ඒවාට සක්‍රීයව දායක වුණේ නෑ වරක් දෙවරක් විතරයි රැස්වීම්වලට ගියේ කියලා. ඔබ වරක් දෙවරක් විතරක් නෙවෙයි අවස්ථා කිහිපයකදීම එම රැස්වීම්වලට ගොස් ඇති බව අදාළ රැස්වීම් වාර්තා හා පැමිණීමේ නාම ලේඛන අනුව පෙනෙනවා.


(මෙම අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ රැස්වීමකට අදාළව එම සාක්ෂිකරු සහභාගි වූ බව සනාථ කිරීම සඳහා ලේඛනයක් ඉදිරිපත් කර ඒ පිළිබඳ සාක්ෂිකරුගෙන් විමසීමට උත්සාහ කරයි.)


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ලේඛණය ස්කෑන් කරන ලද ලේඛනයක මුද්‍රිත පිටපතක් මෙය චූදිත පාර්ශ්වයට ගියේ කොහොමද කියා සැක සහිතයි. මේක රාජ්‍ය දෙපාර්තමේන්තුවක් සතු ලේඛනයක්. මේක ඉදිරිපත් කර සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට ඉඩ දෙනවාට මම විරුද්ධයි. මේකේ මූලාශ්‍රය සැක සහිතයි. මේක සහතික පිටපතක් බවට තහවුරු කර තිබීමත් ගැටළුවක්. තහවුරු කිරීමේ කොන්දේසියට යටත්ව මේක ලකුණු කිරීමට විත්තියට අවසර දෙන්න.


විත්තියේ නීතිඥ ; සාක්ෂිකරු කීවානේ එයා එදා රැස්වීමට සහභාගි වූ බවට ලේඛනයක් තියෙනවා නම් ගිය බව පිළිගන්නවා කියලා.


සභාපති විනිසුරු ; මුල් පිටපත තිබෙන්නේ අමාත්‍යාංශයේ විත්තියේ නීතිඥතුමා නියෝග කරනවා නම් මම ඒ ගැන ගෙන්වලා සනාථ කරන්නම්. විත්තිකරු කීවානේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඔහු සහභාගි වුණේ නෑ කියලා. ඒ ඖෂධ 66 මිලදී ගන්න ඔහු සහභාගි වුණා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;  ඒ ගානට බය තිබුනම හොඳටම ඇති.


විත්තියේ නීතිඥ ; හදිසි ප්‍රසම්පාදනයක් කියන්නේ සුවිශේෂී අවස්ථාවක් කියලා ඔබතුමා පිළිගන්නවාද ?


සාක්ෂිකරු ; මේ සටහනේ මගේ නම තියෙන නිසා මම ඒකට ගියා කියලා මට පිළිගන්න වෙනවා. මගේ නම තිබුණට එම ඖෂධ මිලදී ගැනීමේ තාක්ෂණික කටයුතුවලට මම සහභාගි වුණේ නෑ.


විත්තියේ නීතිඥ ; එහෙම  එම රැස්වීම් වලට සහභාගි වුණාම ඔබලාගෙන් ඒ පිළිබඳ මතය අහනවා යෝජනා ඉදිරිපත් කරන්න කියනවා.


සාක්ෂිකරු ; නමුත් නම තිබුනට මම සක්‍රීයව දායක වුණේ නෑ එම ක්‍රියාවට. ඖෂධ ප්‍රසම්පාදන කටයුතුවල වගකීම මගෙන් ඉවත් කරලා වෙනත් අයකුට පැවරුවාම මගේ සක්‍රීය දායකත්වයක් නෑ.


හයවන විත්තිකාර ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත  වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන  හා එකොළොස්වන විත්තිකරු තුසිත සුදර්ශන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න  ද එහිදී එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න නැගූ අතර වැඩිදුර විභාගය (28) වැනිදාට කල් තැබිණි.

කමලනාත්

 

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0