මේ සතියේ පොලිටිකල් ගොසිප් (ඔක්තෝබර් 18 - 25)

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. ඒකට එක හේතුවක් තමයි ආර්ථික අභියෝග ගොඩක් ජයගන්න නායකයා හැටියට ඔහුට වගකීම් දරන්න වෙලා තියෙන එක. විශේෂයෙන් 2026 අයවැය සකස් කිරීම සහ ඒකට ඉදිරියේ තියෙන අභියෝග ජයගන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. ඒ නිසා ජනාධිපතිටයි, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ටයි, මහ බැංකුවේ අධිපතිටයි වැඩ ගොඩක් තිබුණා.

Oct 25, 2025 - 20:27
 63
මේ සතියේ පොලිටිකල් ගොසිප් (ඔක්තෝබර් 18 - 25)

මේ සතියේ පොලිටිකල් ගොසිප්


(ඔක්තෝබර් 18 - 25)



වවන්න හා පරිසරය රකින්න
ජනාධිපති සම්මාන දීලා...

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. ඒකට එක හේතුවක් තමයි ආර්ථික අභියෝග ගොඩක් ජයගන්න නායකයා හැටියට ඔහුට වගකීම් දරන්න වෙලා තියෙන එක. විශේෂයෙන් 2026 අයවැය සකස් කිරීම සහ ඒකට ඉදිරියේ තියෙන අභියෝග ජයගන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. ඒ නිසා ජනාධිපතිටයි, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ටයි, මහ බැංකුවේ අධිපතිටයි වැඩ ගොඩක් තිබුණා.

ඔහු එක පැත්තකින් රාජ්‍ය නායකයා, අනිත් පැත්තෙන් මාලිමාවේ එහෙමත් නැත්නම් ජාතික ජන බලවේගයේ නායකයා. ඒ නිසා සාමාජිකයෙක් හැටියටත් ඔහුට කරන්න තියෙන දේවල් ගොඩයි.

ජනාධිපතිට විශේෂ නිල රාජකාරිවලට පසුගිය සතියේ කොළඹින් එළියට යන්න වුණේ නැති තරම්. ඒත් ලේකම් කාර්යාලයේ වැඩකටයුතු හැරුණම, ඔහු උත්සව කීපයකට සහභාගී වුණා. එහෙම උත්සව දෙකක් එකම දවසේ එකම තැනක, ශාලාවන් දෙකක, වෙලාවන් දෙකක තිබුණු නිසා, ජනාධිපති අනුර කුමාර දිසානායකට පසුගිය බ්‍රහස්පතින්දා ඒ දෙකටම ලේසියෙන්ම සහභාගී වෙන්න පුළුවන් වුණා. 

ඒ අනුව 23 වැනිදා හවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ප්‍රධාන ශාලාවට ඔහු ආවේ පළමුවෙන්ම 2025 වසර වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය සංවිධානය කරලා තිබුණු ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වෙන්න. "දැකුම්කළු දිවයිනක් - සොම්නසින් පිරි ජනතාවක්" කියන තේමාව යටතේ ‘‘ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” එක්ක අත්වැල් බැඳගෙන මේ පරිසර සම්මාන උළෙලේ වැඩසටහන් පෙළගැස්වලා තිබුණා. පරිසර හිතකාමී කර්මාන්ත, රාජ්‍ය ආයතන, පෞද්ගලික සේවාවන්, පාසල්, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, සමාජ මාධ්‍ය, ජනමාධ්‍ය වගේ ක්ෂේත්‍ර නමයකට බෙදලා, රන් සම්මාන 17ක්, රිදී 29ක්, ලෝකඩ 38ක් ඇතුළුව මුළු සම්මාන 132ක් සූදානම් කරලා තිබීමයි මේකේ විශේෂත්වය.

ජනපති අනුරගේ අතින් සම්මාන පිරිනැමීම ආරම්භ වුණා. ඔහු මෙහිදී රන් සම්මාන ප්‍රදානය කළා, සම්මානලාභීන් එක්ක සමූහ ඡායාරූපයකටත් පෙනී සිටියා.

මෙහිදී දේශනයක් කළේ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි. සුනිල් හඳුන්නෙත්ති වගේම අමාත්‍යාංශ නිලධාරීනුත් අදහස් දැක්වුවා.

ජනාධිපති ඉක්මනින් එතනින් නික්මුණේ බණ්ඩාරනායක පරිශ්‍රයේම ‘‘ලෝටස් ශාලාවේ” තිබුණු ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උළෙලට සහභාගී වෙන්න. ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් වසර දෙකකට වරක් සංවිධානය කරන මේක 2023-2025 වසර දෙකට සූදානම් කරලා තිබුණා. වන වගාව සහ අපනයන කෘෂිකර්ම භෝග, මල් වගාව ඇතුළු වැවිලි නොවන වගාව, ධීවර සහ ජලජ සම්පත් වගේ කාණ්ඩ තුනකට බෙදලා තිබුණේ මේකේ විශේෂත්වය.

විෂය භාර අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත විශේෂ කතාවක් කළා. ජනාධිපති සහභාගී වුණ මේ උත්සවයට සමන්ත විද්‍යාරත්න, නාමල් කරුණාරත්න, අරවින්ද සෙනරත් වගේ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුත් ආවා.

ඒ අතර ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් එක්ක විශේෂ හමුවකටත් ජනාධිපති ජනාධිපති කාර්යාලයේදී සහභාගී වුණා. මේවා හැරුණම, ජනාධිපති අනුර කුමාර දිසානායකට මුළු සතිය පුරාම ගොඩගැහිලා තිබුණේ ආර්ථික සහ මූල්‍ය කටයුතු ගොඩක්.

විපක්ෂයේ සන්ධානයට

එජාපයෙන් ඉනිමගක්...

මේ අතර එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම අවධානය යොමු කරලා තිබුණේ ඉදිරියේදී නිර්මාණය කරන්න සාකච්ඡා කරන විපක්ෂයේ ඒකාබද්ධ සංවිධානය ගැන. දැන් ඒකට ප්‍රධාන විපක්ෂය වුණ සමගි ජන බලවේගයේත් අකමැත්තක් නෑ. පාර්ශ්ව දෙක එකතු වෙලා ඉදිරි අවබෝධතා වැඩසටහනක් සකස් කරන්න සමගි ජන බලවේගය කමිටුවක් පත්කරලා ක්‍රමවේදයකුත් සකස් කරලා ඉවරයි. කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් මුජිබර් රහුමාන්, එරාන් වික්‍රමරත්න, මරික්කාර් ඒ කමිටුවට පත්කරලා තියෙනවා, ඔවුන්ගේ වාර්තාව මේ සතිය ආරම්භයේ පක්ෂ නායකත්වයට ලබාදී තිබුණා. ඒක සලකා බැලූ පක්ෂය තව තවත් යෝජනා ඇතුළත් කළ බවයි ආරංචිය.

ඒ දෙපාර්ශ්වය අතර සාකච්ඡාවලට දැන් බාධාවක් නෑ. ඊළඟට තිබුණේ විපක්ෂයේ අනිත් පක්ෂ එක්ක සාකච්ඡා. සතියේ සෑම දවසකම කොහේ හරි තැනක, හිටපු හෝ සිටින මන්ත්‍රී කෙනෙකුගේ නිවසේ මේ සාකච්ඡා පැවැත්තා. එජාප නායකයාගේ අවශ්‍යතාවය තමයි මේ හැමෝම එක වටමේසයකට එකතු කරන්න. එජාප ප්‍රකාශකයෙක් කිව්වා ඒ වටමේස සාකච්ඡාව තව වැඩි ඈතක නොවෙන බව. ඒ ගැන තීරණාත්මක සාකච්ඡාවක් මේ සතියේ 24 වැනි සිකුරාදා රෑ තලවතුගොඩ මොනැක් හෝටලයේ පැවැත්වෙනවා කියලාත් එජාප ප්‍රකාශකයෙක් කිව්වා. විපක්ෂයේ පුළුල් එකමුතුවේ මාධ්‍ය මෙහෙයුම් සඳහා කමිටුවක් සහ කාර්යාලයක් නම් කරලා, ඒකේ ප්‍රධානත්වය හරින් ප්‍රනාන්දුට භාරදීමට එජාප නායකයා පසුගිය සතියේ කටයුතු කළා.

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුව ආරම්භ වුණේ න්‍යාය පත්‍රයට අනුව විශේෂ මාතෘකා කීපයක් ගැන සාකච්ඡා කරන්න වුණත්, වෙනත් කරුණු ගොඩක් නිසා මේ සතියේ පාර්ලිමේන්තුව උණුසුම් සංවාදාත්මක තත්ත්වයකට පත්වුණා. ඒ අතරින් වැඩියෙන්ම කැපී පෙනුණේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීම.

පාර්ලිමේන්තුව රත්කළ

වැලිගම ඝාතන වාදය...

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවට බහුතරය විපක්ෂයට හිමිවුණ නිසා අර්බුද ගොඩක් මැද්දේ අන්තිමේ සභාපති තේරුණේ සමගි ජන බලවේගයෙන්. ඒත් ඔහුට ආරම්භයෙ සිටම අර්බුද ගොඩකට මුහුණ දෙන්න වුණා.

එක පැත්තකින් සභාපති ලසන්ත වික්‍රමසේකර පාතල ලෝකයේ ගැටුම්වලට මැදිවෙලා හිටිය කෙනෙක්. ඔහුට අපරාධ චෝදනා පමණක් නෙවෙයි, මත්ද්‍රව්‍ය චෝදනාත් තිබුණු බව කියනවා. ඒත් ඔහු ප්‍රදේශයේ ජනප්‍රිය සමාජ සේවකයෙක් වුණ නිසා ජනතාව ගොඩක් ආදරය කළා. විශාල ඡන්ද ප්‍රමාණයකින් ඔහු ජයගත්තේ ඒ නිසා.

කොහොම වුණත් ඔහුට පාතල කල්ලිවලින් මරණීය තර්ජන තිබුණු නිසා එක් වතාවක පොලිස්පතිට ලිඛිතව ලියුමක් යවා ආරක්ෂාව ඉල්ලලාත් තිබුණා. ඒත් ඉහළ ආරක්ෂක අංශවලින් සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබුණේ නෑ කියලා කියනවා.

පසුගිය 22 වැනි බදාදා පාර්ලිමේන්තුව රැස්වෙලා තිබුණු අවස්ථාවේ වැලිගම සභාපති මහජන දිනය පවත්වමින් මහජනතාවගේ ප්‍රශ්න විමසමින් හිටියා. ඝාතකයා මහජනතාව අතරින් ඇවිත් වෙඩි තියලා අවහිරයකින් තොරව පැනගියා.

ඒ මොහොතේ ඒ පුවත ලැබුණු සැණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මාතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී චතුර ගලප්පත්ති ඒ සිද්ධිය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින්, රටේ මහජන ආරක්ෂාව ගැන ප්‍රශ්න කරන්න පටන්ගත්තා.

ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස ප්‍රතිචාර දක්වමින් පොලිසිය ඒ ගැන විමර්ශන කරයි කියලා සාකච්ඡාව වෙනතකට යොමු කරන්න උත්සාහ කළා.

ඒත් මොහොතකට පස්සේ සභාපති මියගිය පුවත පාර්ලිමේන්තුව උණුසුම් කළා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව දෙකඩ කරමින් රටේ මහජන ආරක්ෂාව සහතිකයි කියන ආණ්ඩුවට විරුද්ධව තර්ක කරන්න පටන්ගත්තා.

විවාදයේදී චාමර සම්පත්ගේ කතාව කැපී පෙනුණා. ඔහු පෙන්නුවේ මේ මරණයට පත්වුණු සභාපති පාතල සාමාජිකයෙක් කියලා, අපරාධකාරයෙක් කියලා, ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය ව්‍යාපාර ඝාතනය සාධාරණීකරණය කරනවා කියලා.

මේ හැම කතාවකටම පස්සේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අපූරු උත්තරයක් දුන්නා.

"මේ සිද්ධියෙන් රටේ මහජන ආරක්ෂාවට කිසිම තර්ජනයක් වෙලා නෑ. රටේ සංවිධානාත්මක අපරාධකරුවෝ ඉන්නවා. ඔවුන්ට ආයුධ තියෙනවා. ඔවුන් අතර ගැටුම් තියෙනවා. අපරාධකරුවන් අතර ගැටුම් සිද්ධවෙනවා.

අද සිද්ධිය ගැන කියන්න කැමතියි, වැලිගම සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් වැලිගම ලසා, මහජන නියෝජිතයෙක් උනත්, මෙයා පාතල අපරාධකරුවෙක්. මොහුට නඩු 6ක් තියෙනවා. මාතර මහාධිකරණයේ දෙකක්, කුරුණෑගල මහාධිකරණයේ දෙකක්, ගාල්ල අධිකරණයේ එකක්. සිර දඬුවම් ලබලා තියෙනවා. අත්හිටවූ සිරදඬුවම් මත ඉඳලා තියෙනවා. පාතල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි.

මේ වෙලාවේ ඉන්දුනීසියාවෙන් ගෙනාපු අපරාධකරුවන්ගේ ප්‍රකාශවලින් මොහුට අවි ආයුධ තියෙන බව අනාවරණය වෙලා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයපු නඩුවක් තියෙනවා. පාතල අපරාධකරුවන් අතර ආරවුල් තිබුණා. මේක ඔවුන් අතර ගැටුමක්, ආයුධ සහිත ආරවුල් මිනිස් ඝාතන බවට පරිවර්තනය වෙනවා. මේකත් ඒ වගේමයි."

ආනන්ද විජේපාලගේ ප්‍රකාශය විපක්ෂයට බලපෑවේ ආන්දෝලනාත්මකව. ඔහු ඒක කිව්වේ හවස. අන්තිම කතාව සමගි ජන බලවේගයෙන් සුජිත් සංජය කළාටත් පසුව. ඉතින් උත්තර දෙන්න අවස්ථාව ලැබුණේ නෑ. අමාත්‍යවරයාගේ කාලය විනාඩි පහයි, ඒත් ඉන් ඔහු බරපතළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා.

ආනන්ද විජේපාලට

උත්තර දෙන්න පෝලිමේ...

පාර්ලිමේන්තුව අවසන් වෙද්දී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඇවිස්සිලා හිටියේ ආනන්දගේ ප්‍රකාශයට හරියට උත්තර දෙන්න නොහැකි වුණ නිසා. පහුවදාට මන්ත්‍රීවරු ගොඩක් බලාගෙන හිටියා.

පහුවදා විවාදයේදී විපක්ෂ මන්ත්‍රීවරු ගයන්ත කරුණාතිලකගෙන් වේලාව ඉල්ලලා තිබුණා. ඒත් සමගි ජන බලවේගයේ නායකයාගේ උපදෙස් අනුව ප්‍රධාන කතාව මුජිබර් රහුමාන්ට පැවරුණා.

"මේ ඔක්කොම කරන්න විපක්ෂයට ලැබෙන්නේ පැය තුනකට අඩු කාලයක්. විපක්ෂයේ ඉන්නේ සමගි ජන බලවේගය විතරක් නෙවෙයි, අනිත් පක්ෂවලටත් වේලාව වෙන්කරන්න ඕනේ. අපේ වේලාව අපේ කථිකයින්ට අනුව වෙන්කරනවා," ගයන්ත උදයේ කණ්ඩායම් රැස්වීමේදී කිව්වා.

චාමර සම්පත්ටත් විනාඩි හතරක් ඉල්ලුවත්, ගයන්ත ඔහුට වැඩියෙන්ම වේලාව දුන්නා ඔහුගේ කථිකත්වය නිසා. දිලිත් ජයවීර, හර්ෂණ රාජකරුණා, මරික්කාර් වගේ අයත් වේලාව ඉල්ලුවා. ගයන්ත හැමදේම කලමනාකරණය කළා.

විවාදයේදී මුජිබර් රහුමාන්ගේ කතාව කැපී පෙනුණා. ඔහු ආනන්දගේ කතාවට දැඩි විරෝධය පළකරලා කිව්වා මෙහෙම කතාකරන අමාත්‍යවරයෙක් ඉන්න පාර්ලිමේන්තුවක ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලජ්ජායි කියලා. ජනපති මෙහෙම ලස්සන රටක් හදන්නේ කොහොමද කියලා ප්‍රශ්න කළා. ඡන්දෙන් පත්වුණු මහජන නියෝජිතයෙක් වෙඩිකෑවාම ඔහුව අපරාධකාරයෙක් කියලා මරණය සාධාරණීකරණය කරන්නේ ඇයි කියලා ඔහු අවධාරණය කළේ ආණ්ඩුව බෙදුම්වාදීව, වර්ගවාදීව, ජාතිවාදීව, ගෝත්‍රවාදීව කටයුතු කරනවා කියලා ඔප්පු කර කර. ඊළඟට කැපීපෙනුනේ චාමර සම්පත්ගෙ කතාව.

මහජන ආරක්ෂක ඇමතිට

චාමර දැම්ම නමක්...

"ඒ මනුස්සයා ඡන්දෙන් පත්වුණේ. පාතල සාමාජිකයෙක්ද අපරාධකාරයෙක්ද කියලා අපි දන්නේ නෑ. මහජන සේවය කරන වෙලාවේ සාහසිකයෝ ඇවිත් වෙඩිතියලා මැරුවම, මේගොල්ලෝ අපරාධකාරයෙකුගේ පැත්තෙන් කතාකරනවා. වෙඩිකෑ මනුස්සයා අපරාධකාරයෙක් කියලා හංවඩු ගහලා ඝාතනය සාධාරණීකරණය කරනවා. ඒ මනුස්සයට කතාකළේ 'වැලිගම ලසා' කියලා. එයාව පාතලට දැම්මා මෙයා.

එහෙමනම් අපරාධ කරපු අය මෙතනත් ඉන්නවා... ඔයත් ත්‍රස්තවාදියෙක්. ඔබතුමාගේ පොලිසියෙ රස්සාව නැතිකළේ ත්‍රස්තවාදී සංවිධානයක සන්නද්ධ අංශයක ත්‍රස්තවාදියෙක් හැටියට අහුවෙලා. ඔබතුමාගේ ජීවිත කතාව අපි දන්නවා. එහෙමනම් ඔබතුමාටත් කියන්න වෙන්නේ ආනන්ද විජේපාල නොහොත්... කියලා අර කෙටියෙන් දැම්ම නම. 

අපි කියන්න ඕනේද? මං ඒ නම කියන්නේ නෑ, පහුගිය කාලේ සෝෂල් මීඩියාවල ඒ නම ඇතිවෙන්න ගියා. අද පොලිසියට උපදෙස් දෙන්නේ එදා ත්‍රස්තවාදියෙක් හැටියට නම්කරලා පොලිසියෙන් නෙරපපු කෙනෙක්. ඔබතුමා ගැන ගල්ගමුව, අඹම්පොළ, කුරුණෑගල පැත්තේ මිනිස්සු ඔක්කොම දන්නවා. අඹම්පොළ පොලිසියට ගැහුව එක ගැන කියන්න. තඹුත්තේගම පොලිසියට ගැහුව එක ගැන කියන්න. කැකිරාව පොලිසියට ගැහුව එක ගැන කියන්න. ඔබතුමා කිව්වා දිව්ලම්පිටියේ අමරෙලා ගැන. දිව්ලම්පිටියේ අමරෙලා ගැනත් දන්නවා. ඒගොල්ලෝ හිටියේ 2005දී ඔයගොල්ලයි අපියි එකතුවෙලා හදපු ආණ්ඩුවේ..."

අන්තිමේ චාමර තව අපූරු කතාවක් කිව්වා: 

"ඔයගොල්ලෝ හදන්නේ අපිවත් ආරක්ෂාව අයින්කරලා අර විදිහට මරලා දාන්න... පුළුවන්නම් අපිව මරලා දාන්න, හැබැයි හොල්මන් වෙලා ඇවිත් හරි අපි තමුන්නාන්සෙලාගෙන් පලිගන්නවා..."

මේකට ආණ්ඩු පක්ෂයෙන් විවිධ ප්‍රතිචාර නැගුණා. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර කිව්වා "ඔබතුමා නම් හොල්මන් වෙලා එන්න එපා, මූණ දැක්කහම ඇති, මූණ දැක්කම දැන්වුණත් බය හිතෙනවා" කියලා.

විවාදය එහෙම උණුසුම්ව ඇදුණා, විවාදයෙන් පස්සේ චාමරට පාර්ලිමේන්තු ආලින්දයේ ඇවිදින්නත් බැරි තරම් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රතිචාර ලැබුණා.

‘‘ඒක නෙවෙයි අර මොකක්ද නමක් කිව්වේ...” 

“මොකක්ද නම...”
“ඇයි එයාලා කිව්වේ ආනන්ද විජේපාල හෙවත්... කියලා නොකියපු කෑල්ල. දැන්වත් ඒක කියනවකො...” විපක්ෂ මිතුරෝ චාමරගේ කට අවුස්සන්න ආවා.

"උඹලා හිතුවද මං ඕවට අහුවෙයි කියලා... කියන්න ඕනෙනම් මං ඒක පාර්ලිමේන්තුව ඇතුළෙත් කියලා දානවා. මං එහෙම අහුමුළුවල කතාකියලා උඹලට ආතල් දෙන එකෙක් නෙවෙයි, මතක තියාගනිල්ලා...”

“නෑ... පොඩ්ඩක් ඒ නම අහුවුණා නම් හරි...”

“මං කිව්වනේ ඇතිවෙන්න සෝෂල් මීඩියාවල ගියා කියලා... අමතරව ඕනෙනම් අර කවුදෝ කෑගහලා කියනවත් මට ඇහුණා. ඇයි උඹලට කන් ඇහෙන්නේ නැද්ද...” කියලා චාමර ගියා.

නාමල්ට කොරියාවේදී

මහින්ද මතක්කරලා...

නාමල් රාජපක්ෂ පසුගිය සඳුදා කොරියාව බලා ගියා. ඒ උතුරු කොරියාව නෙවෙයි, දකුණු කොරියාව. මහින්ද රාජපක්ෂ ජනපති සමයේ දකුණු කොරියාව එක්ක දැඩි සම්බන්ධතා තිබුණා. ලංකාවේ තරුණයෝ සිහින දකින කොරියානු රැකියා කෝටාව ලැබුණේ 1994දී එතුමා කම්කරු අමාත්‍යව සමයේ. මහින්ද මහතා කොරියානු රජය එක්ක පමණක් නෙවෙයි, කොරියානු විහාර එක්කත් සමීප සබඳතා පවත්වා තිබුණා.

නාමල් සඳුදා දකුණු කොරියාවට ආවේ මහින්දගේ සමීප මිත්‍රයෙක් වුණ යොංග් ඩැම් ලිම් ස්වාමීන් වහන්සේගේ ආරාධනාවට. උන්වහන්සේ චීන-කොරියානු බෞද්ධ සංගමයේ සභාපති. ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන බලගතු ස්වාමීන් වහන්සේ නමක්, කොරියානු රජයත් උන්වහන්සේට ගෞරවය දක්වනවා. නාමල් විහාරයට ආවම කොරියාවේ නියෝජ්‍ය කථානායකත් ආවා. කොරියානු නියෝජිතයෝ සුබාෂිංසන දුන්නා, නායක ස්වාමීන් වහන්සේ නාමල්ට සුබාෂිංසන දෙමින් කිව්වා 

"මට පේනවා ඔබ තමයි අපේ කලාපයෙන් බිහිවෙන බෞද්ධ තරුණ නායකයා. ඒ ගමනට මම ආශිර්වාද කරනවා" කියලා. නාමල් ඒක ගෞරවයෙන් බාරගෙන අපේ සම්ප්‍රදායට අනුව ස්වාමීන් වහන්සේට වැඳලා සිටියා.

නාමල් ආවා කියලා ආරංචි වුණාම එහේ හිටපු ලාංකිකයෝ කිහිපදෙනෙක් ඔහුට කෝල් කළා. බොහෝමයක් කතාකළේ පැමිණීම ගැන දැනුම් නොදුන්නේ ඇයි කියලා, නොකඩවා ඉදිරිපත් කරමින්.

"අනේ තරහ වෙන්න එපා... මේක සැලසුම්කළ ගමනක් නෙවෙයි. නායක ස්වාමීන් වහන්සේගේ ආරාධනාවට හදිසියේම ආවා. මම ආයෙත් දවසක එන්නම් මෙහේ ඉන්න අපේ අයව මුණගැහෙන්න. පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව මේ දවස්වල ඒක සම්බන්ධීකරණය කරනවා."

විමලුයි උදයයි
එලියෙ ඉදන් කරන වැඩ...

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය කරන මන්ත්‍රීවරුන්ට අමතරව, පාර්ලිමේන්තුවෙන් එළියේ විපක්ෂයේ කාර්යභාරය කරන කීපදෙනෙකුත් මේ දවස්වල හොඳින් කැපී පෙනෙනවා. ඒ අය අතර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල පෙරමුණේ ඉන්නවා.

පසුගිය දවස්වල මේ දෙන්නම රටට වැදගත් හෙළිදරව්කිරීම් ගොඩක් කළා, ආණ්ඩුවේ වැරදි, අඩුපාඩු ගැන. ඒත් දින දෙකකට වතාවක් වගේ එන උණුසුම් මාතෘකා නිසා ඒ හෙළිදරව්කිරීම් යටවෙලා ගියා.

පසුගිය දවසක උදය ගම්මන්පිල මාධ්‍යවේදීන් එක්ක සාකච්ඡා කරමින් හිටියා මෙන්න මේ විදියට වැදගත් මාතෘකාවන් යටපත් වෙන එක ගැන...

"අපි ලිපිගොනු සියගානක් කියවලා, නඩු වාර්තා ගොඩක් අධ්‍යයනය කරලා, දේශන අහලා, නීති පොත් පෙරලලා දේවල් හොයාගන්නවා. ගෙනල්ලා මාධ්‍ය එකතුකරගෙන හෙළිදරව්කිරීම් කරනවා. ඒත් කොහේදෝ ඉඳලා එන “සෙව්වන්දි කෙනෙක්” පාත්වෙච්ච ගමන් අපේ හෙළිදරව්කිරීම් ඔක්කොම යටයි. ආයෙත් උඩට එන්න බැරිවෙන්නම යට යනවා.’’

“ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න අයට පුළුවන් මේ යටවෙලා යන දේවල් නැවත මතුකරන්න...” 

“ඔව්... මතුකළ යුතු මාතෘකා ගොඩක් තියෙනවා. මං එකක් පැහැදිලි කරන්නම්...”

“දැන් පහුගිය දවස්වල කථානායක බරපතළ වැරැද්දක් කළා. එතුමා අසීලාචාරව පාර්ලිමේන්තුවට බොරුවක් කියලා නොමග යැව්වා.

“ඒ මොකක්ද?” 

“විපක්ෂයෙන් ඉදිරිපත්කළ අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය. ඒක න්‍යාය පත්‍රයට දාලා විවාදයට දින දෙන්න නීතිමය බාධාවක් තිබුණේ නෑ. ඒත් එතුමා බොරුවක් කියලා ඒක කුණුකූඩයට දැම්මා.”

“මොකක්ද ඒ බොරුව? එතුමා කිව්වා ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මේක බාරගන්න බෑ කියලා. නීතිපතිගෙන් සහ ලේකම් කමිටුවෙන් විමසලා බැලුවා, දෙගොල්ලෝම ලිඛිතව කියලා තියෙනවා නියෝජ්‍ය ඇමතිකෙනෙකුට එරෙහිව විෂ්වාසභංගයක් ගේන්න බෑ කියලා. ඒක නිසා නිෂ්ප්‍රභ කරනවා කියලා.”

“ඒත් ගයන්ත ඒක විමසලා බැලුවා, ලිපි සභාගත කරන්න කියලා. ඒ වාර්තා දෙක කියවලා බලද්දී පේනවා කථානායක බොරු කිව්වා. දෙගොල්ලන්ගේ උපදෙස් අනුව බාරගන්න බැරිකමක් නෑ. එහෙම තියෙද්දී කථානායක වෙන දෙයක් කියලා පාර්ලිමේන්තුවට බොරු කිව්වා. ඒකම ඇති කථානායකට එරෙහි විශ්වාසභංගයක් ගෙනල්ලා ඉවත්කරන්න.”

“කථානායක ඉවත්කරන්න ඉතින් විශ්වාසභංගය දිනන්න එපාය.” 

“ඒක වෙනම කතාවක්. ඒත් විවාදයක් ඇතිකරන්න පුළුවන් විපක්ෂයට. මේ වගේ පොයින්ට් එකක් ගෙනල්ල කථානායකට විරුද්ධව ක්‍රියාකරන්න ලේසියි.”

“දැන් සාමාන්‍යයෙන් ජනපති, අගවිනිසුරු, නීතිපති, ලේකම් කමිටුව හරි පාර්ලිමේන්තුවට පණිවිඩයක් ලේඛනයක් එවනවනම් කථානායක හරහා ලිඛිතවයි එවන්නේ. කථානායක ඒක කියවලා දැනුම්දෙනවා.  හැබැයි ලේඛනයක නැති දෙයක් කියවලා පාර්ලිමේන්තුව මුලාකරන්න බෑ. ඒත් මේ කථානායක මේ සිද්ධියේදී ඒක කරලා තියෙනවා.”

“ඒක බරපතළ වැරැද්දක්. විපක්ෂය තාර්කිකව කටයුතු කරනවනම් මේ තර්කයම ඇති. ඒත් විපක්ෂයේ අය ජනප්‍රිය මාතෘකාවලට එල්ලිලා යනවා මිස මේ වගේ ගැඹුරු දේශපාලන කරුණු සාකච්ඡාවට ලක් කරන්නේ නෑ.”

“ඔව් ඉතින්... ගැලරිය පිනවන කතාවලටනේ වැඩි අවධානය..”

“ඔව්, හිටපු ගමන් සෙව්වන්දිලා හිමාලයෙන් පාත්වෙනවා, තුවක්කුකාරයෙක් ඝාතනයක් කරලා යනවා, කුඩු නැවක් අල්ලගන්නවා. දෙගොල්ලෝ පාර්ලිමේන්තුවේ වාදකරනවා. අපේ හෙළිදරව්කිරීම් යටවෙලා යනවා. මේක තමයි පහුගිය කාලේ උනේ. අඩුම තරමින් මාධ්‍යවලට වුණත් මේවා නැවත මතුකරලා ජාතියට ඉදිරිපත්කරන්න යුතුකමක් තියෙනවා...” කියලා ඔහු මාධ්‍යවලටත් පුංචි තරවටුවක් කරලයි කතාව ඉවර කළේ.

කොළඹ ලියන්නා

https://web.facebook.com/reel/879840424609882

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0