පොලිටිකල් ගොසිප්

පොලිටිකල් ගොසිප්

Sep 30, 2025 - 14:37
 40
පොලිටිකල් ගොසිප්

මෛත්‍රී එදා 
මහින්දව පිළිගත් හැටි...

දැන් මහින්ද මහත්තයා කියන්නේ රජයේ ඉස්පිරිතාලෙක ඕ.පී.ඩී එකේ දොස්තර වගේ. කොයි වෙලාවෙත් මිනිස්සු එනවා. කතාබහ කරනවා. වඳිනවා. සෙත් පතනවා. පින්තූර ගහනවා. ආපහුයනවා...
හැබැයි ඕකට මහින්ද මහත්තයත් කැමතියි. ඒ මොකද මිනිස්සු අතරින්ම මතුඋනු නායකයෙක්නේ...
ඔන්න ඉතින් පහුගිය ඉරිදා හැන්දෑවේ ඩලස් අලහපේරුමත් තව මන්ත්‍රීවරු හත් අට දෙනෙකුත් එක්ක මහින්ද බලන්න කාල්ටන් එකට ආවා.
නිදහස ජනතා සභාව නියෝජනය කරමින් ගුණපාල රත්නසේකර, තිලක් රාජපක්ෂ, උදයන කිරිඳිගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, උපුල් ගලප්පත්ති, ලලිත් එල්ලාවල  කියන්නේ වැඩි කලබලයක් නැති නම සවුත්තු කරගත්තෙත් නැති පොහොට්ටුවේ හිටපු හොඳම මන්ත්‍රීවරු සෙට් එකක්...
ඔන්න ඉතින් මහින්ද මහත්තයා මේ සෙට් එකත් එක්ක පරණ සිද්ධි මතක් කර කර කතාව...
''සර්ට මතකද යුද්දෙ දිනන්න ඔන්න මෙන්න තියෙද්දි සර් පිටරට ගිහින් ලංකාවට ආවා...'' එහෙම ඇහුවේ ඩලස්.
''2009 ජූලි 17දා. මම ලෙබනන් ගිහින්නේ ආවේ...  ඔයාමනේ මාව පිළිගන්න උත්සවයක් ලෑස්ති කළේ එයාර්පෝට් එකේ.'' 
''එතන මරු වැඩක් වුනානේ සර්. ඔන්න දැන් කැබිනට් එකම එතෙන්ට ගෙනාවා. ඒගොල්ලා එක පැත්තක. අනික් පැත්තකින් මීඩියා. අපි සැලසුම් කරේ ඔක්කොම ඉදිරියට යන්නැතුව ඒ අතරින් මෛත්‍රි ඇමතිතුමා අස්සරහට ගිහින් සර්ව පිළිගන්න...''
''අන්තිම මොහොතේ මෙන්න මෙයා එනවා අත් කොට ෂර්ට් එකක් ඇදන්...''
''ඕක හරියන්නේ නෑ. වෙන ෂර්ට් එකක් ඕන.'' මම කිව්වා... ඒ වෙලාවේ විකල්ප නෑ. ලසන්ත අලගියවන්නයි මෛත්‍රි ඇමතිතුමයි ෂර්ට් දෙක මාරු කරගත්තා...''
''ආ ඒකද එදා මෛත්‍රී ලොක්කා තෙමිච්ච රේන්කොට් එකක් ඇඳගෙන වගේ හිටියේ...'' මහින්දටත් හිනාව...
''ඒ විතරක් නෙවෙයි සර් ලසන්තත් හිටියේ හිර වෙලා හැට්ටයක් ඇඳගෙන වගේ....''
මන්ත්‍රීවරු බඩ අල්ලගෙන හිනහව...
''සර් එදා කැබිනට් එකේ ඔක්කොලම හග් කරලා. පිළිගත්තා. මට විතරයි එහෙම පින්තූරයක්වත් නැත්තේ... ''දළස් කිව්වේ දුකෙන්...
''ඒ ඩළස්ගෙ හැටිනේ. උත්සව සංවිධානය කරනවා පිටිපස්සට වෙලා ටී ෂර්ට් කෑල්ලක් ඇඳගෙන...''
''ඔව්... සර් මට ඉස්සරහට එන්න බෑ...''
''ඒ උනාට එදා මම එදා කාර් එකට නැගලා ඔයාවයි හෙව්වේ මා එක්ක කොළඹ එන්න...''
''සර්ගේ ඒ ගුණය වෙන කා ළඟවත් නෑ සර්...''
 ''ඒ විතරක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ ජනාධිපති ඡන්දෙ වෙලාවෙත් මම ඡන්දෙ දුන්නේ ඔයාට. සමහරු පිළිගන්නේ නැතිවෙයි. මම ප්‍රසිද්ධියේත් කිව්වා. සමහරු ඒක විහිලුවට ගත්තේ. හැබැයි මම රනිල්ටත් පුද්ගලිකව කිව්වා මම මෙතෙන්දි ඩලස්ටයි ඡන්දෙ දුන්නේ නෑ කියලා...''

''ඩොලර් 
බිලියන ගණන් වටින 
මාතර ඇඹුල්තියල්...''

මේ දවස්වල කාල්ටන් නිවසට එන අමුත්තන් අතර මහ කොමසාරිස්වරු තානාපතිවරු එහෙමත් හිඟයක් නෑ. 
බදාදා උදේ ඉන්දීය මහාකොමසාරිස් ''සන්තෝෂ් ජා'' ආවේ මැතිනියත් තව නිලධාරින් දෙතුන් දෙනෙකුත් එක්ක...
ඉන්දීය දූත පිරිස පිළිගන්න සාගර කාරියවසම්, ලක්ෂ්මන් යාපා ඇතුළු කීපදෙනෙකුත් ඇවිත්... 
මුලින්ම ඉතින් ප්‍රධානියෝ දෙන්න අතර සාකච්ඡාව. හමුවීම උණුසුම්. කතා බහත් එහෙමම තමයි..
මේ අමුත්තන් වෙනුවෙන් කාල්ටන් නිවසේ දිවා භෝජන සංග්‍රහයකුත් සූදානම් වෙලා...
''අපි අද ඔබතුමාලට සංග්‍රහ කරන්න සූදානම් කළේ දකුණු පළාතේ ජනප්‍රියම සිංහල කෑම...''' මහින්ද මහතා එහෙම කියනකොට කෑම බෙදුවේ ශිරන්ති මැතිනිය. ඔවුන් වෙනුවෙන්ම හදපු මාළු ඇඹුල් තියල් බෙදුවේ ඈ...
''මේවා මොනවද... හරිම රසවත්...''
"ඕක බොහොම වටිනා කෑමක්... නම ''ඇඹුල්තියල්.'' දකුණට ම ආවේනික ඩොලර් බිලියන ගානක් වටිනා කෑමක්...'' සාගර කාරියවසම් එහෙම කියනකොට සන්තෝෂ් ජාගේ ඇස් උඩ ගියා.....
''රියර්ලි...'' එයා එහෙම ඇහුවා.
''ඒක පුංචි කතාවක්. අපි අධිවේගී මාර්ගය හදද්දි විපක්ෂය චෝදනා කළා.. අපරාදේ ඩොලර් බිලියන ගණන් වියදම් කරලා මේගොල්ලෝ මේ පාර හදන්නේ ඇඹුල් තියල් කොළඹට ගේන්න කියලා... '' සාගර ගැටේ ලිහුවෙ එහෙම. හැබැයි එහෙම කියපු එක්කෙනා අද ලංකාවේ ජනාධිපතිතුමා..
කෑම හිතට අල්ලපු සන්තෝෂ් ජා හා ඔහුගේ බිරිඳ දකුණේ විශේෂ කෑම ගැන සතුට පළ කළා...
''මම බිහාරයේ කෙනෙක්. ලංකාවේ කෑමයි බිහාරයේ කෑමයි සමානයි. මම එහෙදි කන්නෙත් මේ මී කිරීමයි...'' සන්තෝෂ මැතිනිය කෑවෙ උඳුවැල්...
''උඳු වැවෙන්න ඉන්දියාවේ. හැබැයි උඳුවැල් කියන්නේ ලංකාවෙ අපි හදාගත්ත අපිට ආවේනික කෑමක්... ''
ඔය වගේ ගොඩක් කතා කළේ කෑම බීම ගැන උනාට ඒ අතරේ හුවමාරු වෙච්ච දේශපාලන අදහස් එහෙමත් හරි ප්‍රබලයි කියලයි ආරංචි මාර්ග නම් සඳහන් කළේ....

තිස්ස කුට්ටි 
අතුරුදහන්...
පහුගිය සති අන්තේ තිස්ස කුට්ටි අනුරාධපුරයේ කරපු කතාවක් ගැන ඔන්න එනවා නෙළුම් මාවතේ කාර්යාලයට පැමිණිල්ලක්...
"නාමල් මගේ හොඳම යාළුවා. මම කියන ඕනම දෙයක් එතුමා කරනවා. එතුමා ඊළඟ ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනාධිපති වෙනවා. ඊට පස්සේ දෙවැනි වැදගත්ම තනතුර ලැබෙන්නේ මට. එතකොට මට තමයි ආණ්ඩුව කරගෙන යන්න වෙන්නේ.."
මේ ගැන මුලින්ම පොහොට්ටුවේ නෙළුම් මාවත කාර්යාලයට පැමිණිලි කරේ ප්‍රවීණ දේශපාලඥයෙක්...
"මේ යකා කියන කතා නිසා අපිට ඉන්නත් නෑ. අනිත් එක නාමල් අපේ ජාතික සංවිධායකතුමාට හොඳත් නෑ... කටට එන දේවල් ඔහේ කියවනවා. පාලනයක් වුවමනයි..." පැමිණිකරුවො යෝජනා කළා
පොහොට්ටුවේ ලොක්කෝ මේ ගැන ටිකක් කතා කරන්න තිස්සකුට්ටිව හෙව්වත් ඔහු නම් නෙළුම් මාවත පළාතේ ඇවිල්ල නෑ. ඒ විතරක් නෙවෙයි. දුරකථනයත් විසන්ධි කරගෙන කියලයි ආරංචිය ආවෙ...

''සෙනග ගෙන්න ගන්න 
රෝහිතගේ උප්පරවැට්ටිය...''

පහුගිය සතියේ කළුතර පැත්තේ පොහොට්ටු දේශපාලනය කරන ආධාරකරුවන්ට විශේෂ උපන්දින ආරාධනා පත්‍රයක් තැපෑලෙන් ඇවිත්...
ආරාධනා පත්‍රයේ උඩ එක කෙළවරකක මහින්ද. අනිත් කෙළවරේ නාමල්. මැද රෝහිත අබේගුණවර්ධන...
ඇතුළෙ කියල තිබුණේ තමන්ගේ උපන් දිනයට සුබ පතන්න මහින්ද මහත්තයයි නාමල් මහත්තයයි එන අවස්ථාවට ඔබත් ඇවිල්ල මගේ නිවසෙන් කෑම ටිකක් කාලා යන්න කියලා...
මේක ගැනත් ඉතින් පැමිණි නම් ආවා. පැමිණිල්ල කාල්ටන් නිවසටම ගියත් මහින්ද කියන්නේ කවුරුත් දන්න විදිහට වරදට සමාව දෙන නායකයා...
යන්න නම් එපා සර්... මේක සෙනඟ ගෙන්න ගන්න එයා කරපු උප්පරවැට්ටියක්. මීට කලින් දිස්ත්‍රික්කයේ ආධාරකරුවන් හතරවතාවක් කැඳෙව්වා. ආවෙ හත් අට දෙනයි...
අනිත් එක්ක මෙයා පොහොට්ටුව දාල ගියා. දැන් මන්ත්‍රීවෙලා ඉන්නේ වෙන පක්ෂෙකින්. එහෙමනම් ඒ පක්ෂයේ ලොක්කන්ගේ පින්තූරයි දාන්න ඕන...
ඔව් සර් මේ හදන්නේ සර් එනවයි කියලා පෙන්නලා සෙනග ගෙන්නන්න. සර් නං යන්නම එපා...
මහින්ද ඒ කිසිවිතත් උත්තර දෙන්න ගියේ නෑ. වරදට සමාව දෙන නායකයො එහෙමයි...
මට නං කොහොමටත් යන්න වෙන්නේ නෑ. මොකද මම ඔය දවස් වල ලංකාවේ නෑ... නාමල් එහෙම කියල කියලා ප්‍රශ්නෙන් ගැලවුණා...
ඔය කතාබස් තර්ක විතර්ක මොනවා උණත් මහින්ද කියන්නේ ටිකක් වෙනස් විදියකට හිතන නායකයෙක් නිසා පසුගිය ඉරිදා රෝහිතගේ කළුතර ගෙදරට ගොඩවෙලා එන්නත් එතුමා අමතක කරලා තිබුනේ නෑ....

කලම්බු රිපෝටර්

What's Your Reaction?

Like Like 3
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0