යෞවන සම්මාන මෙවර හොඳම නාට්‍යය “විෂම සම”

44 වන යෞවන සම්මාන නාට්‍ය උළෙලේ මෙවර 2025 හොඳම නාට්‍යය ලෙස සුරේෂ් මදුශාන් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද “විෂම සම” නාට්‍යය වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගනිමින් වසරේ හොදම යොවුන් නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර විය.

Dec 31, 2025 - 14:48
Dec 31, 2025 - 15:11
 50
යෞවන සම්මාන  මෙවර හොඳම නාට්‍යය “විෂම සම”
පමුදි අපොන්සු සම්මාන හයක් දිනා ගනිමින්...

යෞවන සම්මාන 

මෙවර හොඳම නාට්‍යය

“විෂම සම”

හොඳම නළුවා - මුදිත දිසානායක 

හොඳම නිළිය - සඳුනි නවාංජනා.

44 වන යෞවන සම්මාන නාට්‍ය උළෙලේ මෙවර 2025 හොඳම නාට්‍යය ලෙස සුරේෂ් මදුශාන් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද “විෂම සම” නාට්‍යය වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගනිමින්  වසරේ හොදම යොවුන් නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර විය. 


එහෙත් උළෙලේ “හොඳම නළුවා” ලෙස සම්මාන ලැබූ මුදිත දිසානායකත් “හොඳම නිළිය” ලෙස සම්මානයට පාත්‍ර වූ සඳුනි නවාංජනාත් හොඳම නිෂ්පාදනය දෙවන ස්ථානය දිනූ හසින්ත කුලතුංග අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද “ආරාරෝ” නාට්‍යය තුළින් තෝරාගෙන තිබීම විශේෂත්වයකි. එම නාට්‍යය වෙනුවෙන් හොදම සංගීත නිර්මාණයටද දිගු නාට්‍ය අංශයේ සම්මානය හිමිවිය. පූර්ණජිත් අනුරාධ එම සම්මානලාභියා විය. මෙවර උළෙලේ දිගු නාට්‍ය අංශයේ හොඳම නිෂ්පාදනය තෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ සවිඳු කාවින්ද අධ්‍යක්ෂණය කළ “දවසක් එනකල්” නාට්‍යයයි.

හොඳම නළුවා, හොඳම නිළිය, පමුදි හා සොහාන් පෙරේරා...

2025 වසරේ නාට්‍ය තරගාවලියට වැඩිම නාට්‍ය සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණේ කෙටි නාට්‍ය තරගාවලියට වීම තවත් විශේෂත්වයකි. ඉතා තියුණු තරඟයකින් පසුව පමුදි අපොන්සු අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කරන ලද "ද ගෙස්ට්" (The guest) කෙටි නාට්‍යය සම්මාන 10 ක් දිනා ගනිමින් මෙවර උළෙලේ “හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනය” ලෙස සම්මානයට පාත්‍රවිය. 


කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළියට හිමි සම්මානය ද දිනාගත් පමුදි අපොන්සු, ඊට අමතරව හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රචනය, හොඳම රංග වින්‍යාසය හා හොඳම ඇඳුම් නිර්මාණය ආදී සම්මාන 6ක් දිනා ගන්නටද සමත් වූවාය. 


ඒ හැරුණු විට එම නාට්‍යයට හොඳම නළුවා, හොඳම සහාය නිළිය, හොඳම වේදිකා පරිපාලනය හා සංගීතය වෙනුවෙන් කුසලතා සහතිකයක්ද හිමිවිය. 


පමුදිගේ “ද ගෙස්ට්” හොඳම කෙටි නාට්‍ය නිර්මාණය ලෙස සමාන ලබන විට විරාජ් රත්නායකගේ “චාකෝල් කොල්ලා” නාට්‍යයත් පී. කේ. වී. ආර්. එම්. මදුරංගගේ “ජර්නි විත් ද රෙඩ් බැලූන්" (Journey with the red balloon) නාට්‍යත් පිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථාන හිමිකර ගත්තේය.


44 වෙනි ජාතික යෞවන සම්මාන නාට්‍ය උළෙලේ ජය සංකේත හා ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (30 වනදා) ආරාධිත අමුත්තන්, මැති ඇමතිවරුන්, ප්‍රවීණ කලාකරුවන් හා නාට්‍යවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ "කමත" රංග භූමිය තුළ මහත් අභිමානවත්ව පවත්වනු ලැබීය. පසුගිය 11 වනදා  සිට 18 වනදා තෙක්ම තරුණ නාට්‍යවේදීන්ගේ නිර්මාණ කරට කර තරග වැදුණු තරගකාරී අංශයේ නාට්‍ය ප්‍රදර්ශනය සිදුවූ අතර එහිදී දක්ෂතා හා කුශලතා පෙන්නුම් කළ නාට්‍යකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ රාශියක් මෙම උත්සවයේදී සම්මානයට පාත්‍ර විය. 


සම්මාන ප්‍රදානය සිංහල දෙමළ මාධ්‍ය වලින්ද සිදු කෙරුනු අතර දෙමළ මාධ්‍යයේ හොඳම දිගු නාට්‍ය නිෂ්පාදනය ලේස එස්. එම්. නෙරන්ජන්ගේ "ඉරු දරුවම්" නාට්‍යය සම්මානයට පාත්‍ර වූ අතර හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනය වූයේ ඩබ්. එම්. ටී. එස්. කේ. ජයසිංහ අධ්‍යක්ෂණය කළ "විජී ඉන් වීදි" කෙටි නාට්‍යයයි.


මෙවර නාට්‍ය උළෙල ආරම්භ වන අවස්ථාවේදී හිටපු ජනාධිපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියද විශේෂ ආරාධිත අමුත්තියක ලෙස ඊට සහභාගී වීම විශේෂත්වයකි. 

උත්සවයේ සම්මාන ප්‍රදානය සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, තරුණ කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් කුමාර හේන්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රවීණ රංගනවේදී ජගත් මනුවරණ, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මනුල චමල් පෙරේරා ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ.


 ශ්‍යාමලී රත්නායක

පින්තූර - සංජීව සමරරත්න

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0