බන්ධනාගාර අර්බුදය පිටුපස කුමන්ත්‍රණ නෑ…

මීගමුවෙන් ඇරඹී රටේ සෙසු බන්ධනාගාර දක්වා පැතිර යමින් හිරකරුවන්ගේ හා බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත බරපතල තර්ජනයකට ලක් කර තිබෙන වත්මන් අර්බුදය පසුපස විපක්ෂයේ දේශපාලන බළල් අත් ඇති බව ඔප්පු කිරීමට රජය උත්සාහ කළත්, සැබෑවටම ඒ අර්බුද පසුපස ඇත්තේ රජයේ නොහැකියාව, එකට හතර ගුණයකින් වැඩිවූ බන්ධනාගාර තදබදය හා මුළු රැඳවියන් ප්‍රමාණයෙන් සියයට 61.1කට බලපාන රස පරීක්ෂක වාර්තා හිඟය බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.

Aug 10, 2026 - 10:53
Aug 10, 2026 - 10:54
 28
බන්ධනාගාර අර්බුදය පිටුපස කුමන්ත්‍රණ නෑ…


බන්ධනාගාර අර්බුදය පිටුපස

කුමන්ත්‍රණ නෑ… 

ඇත්තේ ආණ්ඩුවේ නොහැකියාව, 

ඇතුළේ තදබදය සහ

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයයි…


ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක 
ජයන්ත සමරවීරගේ හෙළිදරව්ව...

මීගමුවෙන් ඇරඹී රටේ සෙසු බන්ධනාගාර දක්වා පැතිර යමින් හිරකරුවන්ගේ හා බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත බරපතල තර්ජනයකට ලක් කර තිබෙන වත්මන් අර්බුදය පසුපස විපක්ෂයේ දේශපාලන බළල් අත් ඇති බව ඔප්පු කිරීමට රජය උත්සාහ කළත්, සැබෑවටම ඒ අර්බුද පසුපස ඇත්තේ රජයේ නොහැකියාව, එකට හතර ගුණයකින් වැඩිවූ බන්ධනාගාර තදබදය හා මුළු රැඳවියන් ප්‍රමාණයෙන් සියයට 61.1කට බලපාන රස පරීක්ෂක වාර්තා හිඟය බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.


ජයන්ත සමරවීර මහතා මේ අදහස් ප්‍රකාශ කළේ අද (09) උදේ  බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත් සමරවීර මහතා පෙන්වා දුන්නේ මීගමුව බන්ධනාගාරයෙන් ඇරඹි මෙම අර්බුදය මහර, නව මැගසින්, කුරුවිට හරහා පල්ලන්සේන දක්වා පැතිර ගොස් ඇති මෙම අර්බුදය හේතුවෙන් මේ වන විටත් පුරවැසියන් සහ නිලධාරීන් ඇතුළුව 35 දෙනෙකුගේ ජීවිත අහිමි වී, 149 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර කෝටි ප්‍රකෝටි ගණනක දේපළ විනාශ වී බවයි.


රටේ පවතින මූලික බන්ධනාගාර 33 තුළ රැඳවිය හැක්කේ 10,500 ත් 11,000 ත් අතර සංඛ්‍යාවක් වුවද, මේ වන විට 43,000 කට ආසන්න ප්‍රමාණයක් රඳවා සිටින බවත්, එය තදබදය එකට හතර ගුණයකින් වැඩිවීමක් බවත් ඒ මහතා සඳහන් කළේය. මීගමුව, මහර, කුරුවිට, පල්ලන්සේන සහ නව මැගසින් යන බන්ධනාගාරවල ධාරිතාව මෙන් හතර ගුණයකින් රැඳවියන් ගොඩගසා ගැනීම නිසා මූලික අයිතිවාසිකම් සහ නිදහස පවා අහිමි වී ඇති අතර, මේවා බන්ධනාගාර නොව "පීඩකාගාර" බවට පත්ව ඇතැයි ද හෙතෙම පැවසීය.


ප්‍රශ්නයට රජය යෝජනා කරන විසඳුම්වල පවතින ගැටලු සහ සැකය:
ආණ්ඩුව අර්බුදයේ සැබෑ මුල සොයනු වෙනුවට ආරක්ෂාව තර කිරීම හා කුමන්ත්‍රණ න්‍යායයන් මතු කරමින් අතීසාරයට අමුඩ ගැසීමේ පිළිවෙතක් අනුගමනය කරන බවට සමරවීර මහතා චෝදනා කළේය. බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමලත් හමුදා නිලධාරීන් 1,600 ක් බඳවා ගැනීමට රජය සැරසීම පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා, එය බන්ධනාගාර සේවයේ සාමාන්‍ය බඳවා ගැනීමේ පටිපාටියෙන් පිටත සිදු කිරීමට යාම තුළ බරපතල සැකයක් මතුවන බවයි.


විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදවා බන්ධනාගාර ඇතුළත පීඩනය තවත් වැඩි කරමින් තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් සහ අත්අඩංගුවට ගන්නා දේශපාලනඥයන් අඩපණ කිරීමට හෝ ඝාතනය කිරීමට මාන බලන්නේදැයි යන්න පිළිබඳව සමාජය තුළ බියක් සහ සැකයක් ගොඩනැගෙමින් පවතින බවද, අතීතයේ ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ කුට්ටමනී ඇතුළු පිරිසට සිදුවූ දේ උදාහරණයට ගනිමින් ඒ මහතා අවධාරණය කළේය.


අර්බුදයට ජාතික නිදහස් පෙරමුණ යෝජනා කරන ප්‍රායෝගික විසඳුම්:
බන්ධනාගාර අර්බුදයට හමුදාව යෙදවීම වෙනුවට පහත සඳහන් ප්‍රායෝගික විසඳුම් කෙරෙහි වහා අවධානය යොමු කළ යුතු බව ජයන්ත් සමරවීර මහතා පෙන්වා දුන්නේය:


රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සක්‍රීය කිරීම:
රැඳවියන්ගෙන් 61.1% ක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නන් වන අතර, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා මාස 8-10 කාලයක් නඩු ප්‍රමාද වී තිබේ. එබැවින් වහාම අවශ්‍ය රසායනඥයන් බඳවාගෙන, නූතන තාක්ෂණය ලබාදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බලගැන්විය යුතුය.


විකල්ප රසායනාගාර භාවිතය:
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නඩු වාර්තා ගොඩගැසීම වැළැක්වීමට, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UNODC) පිළිගත් අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ (NDDCB) රසායනාගාරය සහ විශ්වවිද්‍යාල රසායනාගාර, රජයේ රස පරීක්ෂකවරයාගේ සුපරීක්ෂණය යටතේ ප්‍රයෝජනයට ගත යුතුය.


සුළු වැරදි සඳහා ශ්‍රමයෙන් දඩ ගෙවීම: 
රුපියල් 10,000 ට අඩු දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිරගතව සිටින දහස් ගණනක් වූ පිරිස පළාත් පාලන ආයතන 324 වෙත හෝ රෝහල් වෙත යොමු කර, මුදලින් ගෙවීමට නොහැකි දඩය ශ්‍රමයෙන් ගෙවා දැමීමේ ක්‍රමවේදයක් (මාර්ග කම්කරුවන් ලෙස හෝ සේවය ලබාගෙන) සකස් කර නිදහස් කළ යුතුය.


විකල්ප දඬුවම් ක්‍රම භාවිතය:
 සුළු වැරදි සඳහා ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව වෙත රැඳවියන් යොමු කිරීම සහ අත්හිටවූ සිරදඬුවම් ලබාදීම වැනි විකල්ප ක්‍රමවේද නීතිමය වශයෙන් භාවිත කළ යුතුය.


බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නිසි ලෙස බඳවා ගැනීම් කිරීම:
 නිලධාරීන් හිඟය පියවීම සඳහා තාවකාලික උපක්‍රම යොදන්නේ නැතිව, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියමිත බඳවා ගැනීමේ පටිපාටිය යටතේ නිලධාරීන් බඳවාගෙන පුහුණුව ලබාදිය යුතුය.


ආණ්ඩුවේ වැඩබැරිකම සහ සහකම්පනයක් නැතිකම නිසා බන්ධනාගාර තුළ ඇතිව තිබෙන මෙම මාරාන්තික තදබදය සහ පීඩනය වහාම අඩු කර, සිරකරුවන්ද මනුෂ්‍යයන් ලෙස සලකා කටයුතු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.


මෙම අවස්ථාවේ ජයන්ත සමරවීර කරන ලද 
සම්පූර්ණ කතාව මෙසේය


ආයුබෝවන් මාධ්‍යවේදී සහෝදරවරුනි, අද මෙම මාධ්‍ය හමුව සඳහා මමත් සමග සහභාගි වෙනවා ජාතික නිදහස් පෙරමුණේ මොරටුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික සුරේෂ් ඉන්දික සහෝදරයාත්, ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික සංජය කරවිට සහෝදරයාත් මේ මාධ්‍ය හමුව සඳහා මමත් සමග එක්වෙනවා.

අද අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ මගින් මේ රටේ ජනතාව දැනුවත් කරන්න, විශේෂයෙන් අපි කවුරුත් දන්නවා අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට බන්ධනාගාරවල අර්බුද රැල්ලක් මතු වෙමින් තිබෙනවා.

මීගමුවෙන් ඇරඹී, මීගමුව බන්ධනාගාරයෙන් ඇරඹී මේ බන්ධනාගාර අර්බුදය මහර, නව මැගසින්, කුරුවිට බන්ධානාගාර හරහා පල්ලන්සේන බන්ධනාගාරයෙන් දැන් නතර වෙලා තිබෙනවා.

මේ වන විට මේ අර්බුදය විසින් නිලධාරී 10 දෙනෙක්ගේ, රැඳවියන් 25 දෙනෙක් සමග 35 දෙනෙක්ගේ ජීවිත බිලි අරන් තියෙනවා මේ රටේ පුරවැසියන්ගේ. ඒ වගේම නිලධාරීන් 31 දෙනෙක්, රැඳවියන් 118 දෙනෙක් සමග 149 දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

ඒ වගේම කෝටි ප්‍රකෝටි ගණනක දේපල විනාශයෙන් විනාශයට පත් කරලා තිබෙනවා. පුරවැසියෝ 35ක් මැරිලා අවසන් දැන්. 148ක් රෝහල්ගත කරලා අවසන් දැන්. කෝටි ගණනක දේපල නැති නාස්ති වෙලා, විනාශ වෙලා අවසන් දැන්.

මේකට ප්‍රධාන හේතුව මොකක්ද? මේකට ප්‍රධාන හේතුව අන් කිසිවක් නෙමෙයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාලනය කරන මූලික බන්ධනාගාර 33ක් රටේ තිබෙනවා. මේ 33 රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 10,500ත් 11,000ත් අතර කියලා තමයි බන්ධනාගාර තොරතුරුවල තිබෙන්නේ. 10,500යි, 11,000යි. දැන් කීදෙනෙක් ඉන්නවද? දැන් මේ බන්ධනාගාර 33 ඉන්නවා 43,000ක්. එක්කෙනෙක් ඉන්න ඕන තැන හතර දෙනෙක් ඉන්නවා.

දැන් බලන්න මීගමුව බන්ධනාගාරයේ, බන්ධනාගාර ඒ සිදුවීම වෙනකොට, රඳවන්න පුළුවන් 800යි. රැඳවියෝ ඉන්නවා 2418ක්. මහර බන්ධනාගාරයේ රඳවන්න පුළුවන් 1200යි. රඳවලා තියෙනවා 4078ක්. පල්ලන්සේන බන්ධනාගාරයේ රඳවන්න පුළුවන් 1000යි, රඳවලා තියෙනවා 2000ක්. කුරුවිට බන්ධනාගාරයේ රඳවන්න පුළුවන් 600යි, රඳවලා තියෙනවා 2000ක්. මැගසින් බන්ධනාගාරයේ රඳවන්න පුළුවන් 1000යි, රඳවලා තියෙනවා 3500යි.

එතකොට මේ තත්වය කොච්චර බිහිසුණුද කියලා ඔබ කල්පනා කරලා බලන්න. කොච්චර බිහිසුණු තත්වයක්ද? මේ තත්වය අද බන්ධනාගාර ඒවා බන්ධනාගාර නෙවෙයි, ඒවා පීඩකාගාර. ඒවා පීඩකාගාර. ඒවයේ සිරකරුවන්ට ඒ වගේම සැකකරුවන්ට මූලික අයිතියවත් නැහැ. හුස්ම ගන්න පුළුවන්කමක් නැහැ. වැසිකිලියට, කැසිකිලියට යන්න පුළුවන්කමක් නැහැ, ඒකට නිදහසක් නැහැ. නිදාගන්න නිදහසක් නැහැ.

ඒ තත්වය මොනතරම් පීඩාකාරී තත්වයක්ද? කල්පනා කරලා බලන්න තමුන්නාන්සේලා. මේවා වහා ගිනි ඇවිලෙන සුලු තත්වයක්, වහා පුපුරන තත්වයක්.

බන්ධනාගාරයේ බෝඩ් එකේ ගහලා තියෙනවා, "සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියලා. හැබැයි ඇතුලෙ, මේ මිනිස්සු සත්තු වගේ. සත්තුන්ට තියෙන සැලකිල්ල නැහැ. එකට හතරයි. 1200ක් ඉන්න ඕන තැන 4000 ගණන් ඉන්නේ.

එතකොට මේ තත්වය තමයි මේකෙ මූලික තත්වය. පිපිරෙනවා, පීඩාකාරී. දැන් මේ තත්වයට උත්තර හොයන්නේ නැතුව, ගොන් මරිමෝඩ, තකතීරු ආණ්ඩුව, මුග්ධ ආණ්ඩුව අතීසාරයට අමුඩ ගහන්න හදනවා.

මේ ආණ්ඩුව ඔප්පු කරලා ඉවරයි නේ. දිට්වා එකෙන්ම මේ ආණ්ඩුවට වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවරයි. ඩෙංගු වලින් වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවරයි. ගොවියන්ගේ වී ටික, වී ප්‍රශ්නෙදි වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවරයි. දැන් බන්ධනාගාර ප්‍රශ්නෙදිත් වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවරයි.

දැන් වැඩ බැරි මේ ගොන්, මරිමෝඩ, ගොබ්බ ආණ්ඩුව දැන් මේකට අතීසාරයට අමුඩ ගහන්න හදනවා. දැන් මොකක්ද ඊයේ කරන්නේ? මේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කරනවා. දැන් අධිකරණ ඇමති අර පේජ් බෝයි හර්ෂණ නානායක්කාර බබා කියනවා, බන්ධනාගාර තර කෙරුවා, මොනවායින්ද, ආරක්ෂාව තර කරලාලු.

1200ක් ඉන්න තැනට 4800ක් දාලා, ඒකට ඒ මදිවට, ඒක වටේට හමුදාව දානවා, STF එක දානවා, වැඩක් තියෙනවද? උත්තරේ ඒකද?

ඒ විතරක් නෙමෙයි, මේ පේජ් බෝයිලා කියනවා, ආණ්ඩුවේ මැති ඇමතිවරු, මහජන ආරක්ෂක ඇමති, ආනන්ද විජේපාල, ඒ තව වැඩ බැරි ටාසන් කෙනෙක්, ඒ වගේම හර්ෂණ නානායක්කාර බබා කියනවා, මේවා පිටිපස්සේ, බන්ධනාගාර අර්බුදයේ පිටුපසු කුමන්ත්‍රණයක් තිබිය හැක.

දැන් කුමන්ත්‍රණ න්‍යායකුත් මේකට පටබඳිනවා. මහත්තයෝ, කුමන්ත්‍රණ නෙමෙයි මේක පිටිපස්සේ තියෙන්නේ. තමුන්නාන්සේලාගේ වැඩ බැරිකම. තමුන්නාන්සේලාගේ ගොබ්බකම. තමුන්නාන්සේලාගේ මරිමෝඩකම. තමුන්නාන්සේලාගේ සහකම්පනයක් නැතිකම. මේවා ඇතුලේ ඉන්නේ මනුස්සයෝ කියලා නොහිතන එක. මනුස්සයෝ කියලා නොහිතන එක. මේවා ඇතුලේ මනුස්සයෝ කියලා හිතුවා නම්, මේවට උත්තර තියෙනවා, මොනවාද උත්තර?

දැන් මේ 42,000න්, 42,000න් සියයට 61.1ක්, විගණන කාර්යාංශය කියනවා, 61.2% මත්ද්‍රව්‍ය වැරදි වලට රක්ෂිත බන්ධනාගාර ගත වෙච්ච අය තමයි, 61.2% ඉන්නේ.

මේ 61.2, ඇතැම් වෙලාවට, මේක අඩු කරන්න පුළුවන් විශාල ප්‍රමාණයකින්, රස පරීක්ෂක, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තියෙනවා, දැන් ඔබ දැක්කා, නව මැගසින් බන්ධනාගාරයේ, ඒ කැලඹිල්ල වෙලාවේ, සිරකරුවන් අතේ තිබ්බ පුවරු, ඒවායේ මොනවාද තිබ්බේ? "නඩු වාර්තා ඉක්මන් කරන්න." ඉතා මානුෂීය ඉල්ලීමක්. ඇයි? අල්ලන් යනවා පොලීසිය, 54 වගන්තිය ගහලා දානවා ඇතුලට. මාස 8යි, 10යි රස පරීක්ෂක වාර්තා එන්නේ නැහැ. 15,000ක් රස පරීක්ෂක වාර්තා තියෙනවා තොගයක්.

එතකොට මේකට උත්තරයක් නැද්ද? දෙන්න බැරිද උත්තරයක් කඩිනමින්, සල්ලි යනවාද? මොකක්ද කරන්න ඕනේ? රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු ටික, රසායනඥයින් ටික වහාම බඳවා ගන්න ඕනේ. ඒක ලෝකයේ නව තාක්ෂණයක් තියෙනවා ඉක්මනින් මේක හොයන්න පුළුවන්. මේ මත්ද්‍රව්‍ය ඉක්මනින්, මේවායේ තියෙන අනුපාන අයින් කරලා, මේවා තනුක කරලා තියෙන දේවල් අයින් කරලා, මේවායේ තියෙනවා ලක්ස් පවුඩර්, ඩිස්ප්‍රින් පවුඩර්, පැනඩෝල් පවුඩර් තියෙනවා වීදියේ තියෙන මත්ද්‍රව්‍ය වල, ඒවා අයින් කරලා ඇත්ත මත්ද්‍රව්‍ය ගාන හොයා බලන්න නව තාක්ෂණ ලෝකයේ තියෙනවා, ඒවා ගේන්න ඕනේ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බලගන්වන්න ඕනේ.

ඒක, දෙක තමයි, ඒක කරනතුරු, අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ තියෙනවා, අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තියෙනවා NDCDB එකේ තියෙනවා, රසායනාගාරයක්. ඒක ලෝකයේ පිළිගත්තු රසායනාගාරයක්. UNODC එක, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය අපරාධ වැලැක්වීමේ කාර්යාංශයේ පිළිගත් රසායනාගාරයක් තියෙනවා අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ. අන්න ඒක, රජයේ රස පරීක්ෂකගේ සුපරීක්ෂණය යටතේ ඒකෙන් මේ වාර්තා ටික දුන්නා නම්, මේ ප්‍රමාණය අඩු වෙනවා.

ඊළඟට අපේ විශ්වවිද්‍යාලවල තියෙනවා, රසායනාගාර. රස පරීක්ෂකගේ, රජයේ රස පරීක්ෂකගේ සුපරීක්ෂණය යටතේ, ඒ විශ්වවිද්‍යාලවල තියෙන රසායනාගාර ටික පාවිච්චි කරලා, රස පරීක්ෂක වාර්තා ටික දෙන්න පුළුවන්. මාසයක් යනකොට, මේ ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. එපමණක් නෙමෙයි,

මේ හිරගෙවල් ඇතුලේ ඉන්නවා පීඩාවට පත් වෙලා, රුපියල් 10,000ට වඩා අඩු, දඩ මුදල් ගෙවා ගන්න බැරි දහස් ගණනක්. ඒ අයට රුපියල් 10,000 ගෙවා ගන්න බැහැ. ඒ අයව දාන්නකෝ පලාත් පාලන ආයතන වලට මුදලින් දඩේ ගෙවන්න බැරි නම් ශ්‍රමයෙන් දඩේ ගෙවන්න කියන්න. ඒකට ඕනේ නිර්මාණාත්මකව හිතන විදිය. හිතන විදිය අවශ්‍යයි. ශ්‍රමයෙන් දඩේ ගෙවන්න. මුදලින් ගෙවන්න බැරි නම් රුපියල් 10,000 නම් දවස් 10යක් පලාත් පාලන ආයතනයේ වැඩ කළාම මාර්ග කම්කරුවෙක් විදියට වැඩ කළාම ඒක ගෙවා දාත හැකි. එතකොට නිදහස ලබත හැකි.

ඊළඟට, අත්හිටවූ සිරදඬුවම් දෙන්න පුළුවන්. පොඩි වැඩ. ඊළඟට, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක් තියෙනවා. මේ දෙපාර්තමේන්තුවට මේ අය දාන්න පුළුවන්.

ඉතින් මේ වගේ උත්තර තීයෙද්දි අද මේ ආණ්ඩුව තමන්ගේ වැඩබැරිකම නිසා මිනිස්සු මරාගන්නා තත්වයට පත් කරලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා, මේ කුමන්ත්‍රණ කියලා කුමන්ත්‍රණ න්‍යාය දාලා මේක යටපත් කරන්න එපා. මේක කුරුවිටින් නතර වුනාට හෙට වෙනකොට තව තැනකට පැතිරෙන්න පුළුවන්. සමහරවිට වහාම මේ තදබදය අඩු කරලා මේ සිරකරුවෝ මනුෂ්‍යයෝ කියලා ඒ අයට මේ පීඩාවෙන් ඒ අය ගලවලා ඒ අයගේ අහිංසක මිනිස්සු මේ පීඩාවේ ගොදුරු බවට පත් වෙච්ච අහිංසක මිනිස්සු මේකෙන් ගලවන්න කියන ඉල්ලීම තමුන්නාන්සේලා හරහා අපි මේ වැඩබැරි ආණ්ඩුවෙන් කරනවා මේ රටේ ජනතාවටත් මේක මේ අපරාධයේ වගඋත්තරකරුවන් පිළිබඳ අපි කියා සිටිනවා.

මාධ්‍යවේදීන් ප්‍රශ්නය අසයි.
මාධ්‍යවේදියා: 
විශ්‍රාමික හමුදා නිලධාරීන් 1600ක් බන්ධනාගාර නියාමකයන් ලෙස බඳවා ගැනීමට අවධානය යොමු වෙනවා කියල සමාජ මාධ්‍යවල තියෙනවා, ඒ ගැන මොකක්ද කියන්නේ?

ජයන්ත් සමරවීර මහතාගේ පිළිතුර: 
එතකොට දැන්, මේ බඳවා ගැනීම්වල බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක හිඟයක් තියෙනවා, ඒක ඇත්ත. ඒ සේවා - සේවා හිඟය පියවන්න ඕනා. දෙපාර්තමේන්තුවේ තියෙන්නේ. ඒකට කඩානමින් නාලධාරීන් පුහුණු කරන්න බැරි නිසා විශ්‍රාමික හමුදා නිලධාරීන් බඳවා ගත්තාට කමක් නැහැ. ඒක කමක් නැහැ. හැබැයි මේකට පෙර කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. මොකක්ද ඒ? දැන් මම පෙරදිත් කිව්වා, මේ සියයට 62.1ක්, විගණන කාර්යාංශය කියනවා, සියයට 62.1ක් මත්ද්‍රව්‍ය වැරදි. එතකොට මේ මත්ද්‍රව්‍ය වැරදි පාලනය කරන්න ඕන, මත්ද්‍රව්‍ය වැරදි උපදින්න දෙන්න ඕන නැහැ. ඒක කරන්න ඕනේ. ඒක ආණ්ඩුව කරමින් ඉන්නවා කිසියම් ප්‍රමාණයකට, ඒකට අපේ ගෞරවයක් තියෙනවා. හැබැයි කළ යුතු දේ නෙවෙයි කරන්නේ.

එතකොට, මේ මද්‍රව්‍ය වැරදිවලට රක්ෂිත බන්ධනාගාර ගත වෙලා ඉන්නේ මාස 10ය, 12, අවුරුද්ද ඉන්නේ රස පරීක්ෂක වාර්තා නැතුව. ඉතින් පළමුව කරන්න ඕනේ බඳවා ගැනීම වගේම, කොහෙට බඳවා ගන්න එකද, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය රසායනඥයන් සංඛ්‍යාව බඳවා ගැනීම. අවශ්‍ය සෙසූ කාර්ය මණ්ඩලය බඳවා ගැනීම. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බලවත් කිරීම. ඒකට නව තාක්ෂණය ලෝකයේ තියෙන ගැනීම. එතෙක්, අන්තරායකාරී ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තියෙන ලැබ් එක, රසායනාගාරය මේකට ප්‍රයෝජනයට ගැනීම. විශ්වවිද්‍යාලවල තියෙන රසායනාගාර ටික ප්‍රයෝජනට ගැනීම.

එතකොට මේක- නොවෙයි උත්තරය. හමුදාව වැඩි කරපු පමනින් මේකට උත්තරේ හම්බවෙන්නේ නැහැ. මේ කැරැල්ල එනවා. ඊළඟට ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක් තියෙනවා. මේ සුලු වැරදි කරන අයව දෙන්න ඒකට, භාර දෙන්න ඒකට, අධිකරණයෙන්. ඊළඟට අත්හිටවූ සිරදඬුවම් දෙන්න පුළුවන්. එහෙම උත්තරයක් තියෙනවා. ඊළඟට, අර රුපියල් 10,000 දඩ ගෙවා ගන්න බැරි කොච්චර ඉන්නවාද මේක ඇතුලේ? ආණ්ඩුව නඩත්තු කර කර යනවා කන්න බොන්න දී දී. මොනවා හරි දෙනවානේ කන්න.

එතකොට ඒ ප්‍රමාණය, පළාත් පාලන ආයතන 324ක් රටේ තියෙනවා, 10ය, 10ය දෙන්න. රෝහල්වලට දෙන්න කම්කරුවෝ හැටියට. මුදලින් දඩ ගෙවා ගන්න බැරි මිනිස්සුන්ට කියන්න ඕනේ ශ්‍රමයෙන් දඩ ගෙවන්න. මෙහෙම අලුත්, අලුතින් නිර්මාණාත්මකව හිතන්න ඕනේ. මේ පේජ් බෝයිලාට බැහැ. වැඩ බැරි ටාසන්ලාට එහෙම හිතෙන්නේවත් නැහැ. ඇයි, සහකම්පනයක් නැහැ. සහකම්පනයක් නැහැ. බලන්නේම කොහොමද මර්දනය අවිශක්තිමත් කරන්නේ කොහොමද කියලා. ඔය විශ්‍රාමික හමුදා නිලධාරීන් කියලා තමන්ගේ ජුන්ටෝ ටිකක් ගන්න පුළුවන්. තව මර්දනය කරන්න. ඇයි? තමන්ගේ තමන්ගේ හෙංචයියෝ ටිකක් ගන්න පුළුවන් විශ්‍රාමික හමුදා නිලධාරීන් කියලා. තමන්ගේ හෙංචයියෝ ටිකක්.

එහෙම අරගෙන, මේක බලවත් කරලා, මේ දේශපාලන දඩයම් වලට ඕන නම් ඒක ඉතාම ඉස්තරම් අවියක්. දැන් දේශපාලඥයෝ හිරේ දානවා, හිරේ දානවා, හොරකම් කරපු අයව. අපේ කිසි ආරෝවක් නැහැ, හොරකම් කරපු අයව දාන්න. අලුත් අධිකරණ හදලා හරි දාන්න, හිරගෙවල් හදලා හරි දාන්න, ඒකට අපේ ආරෝවක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට සලකන්න ඕනේ හිරකරුවෝ විදියට. 

ඉතින් ඒ නිසා, මේ හමුදා නිලධාරීන් ගන්න යන්නේ නම් එච්චර හොඳ සෙල්ලමකට නෙවෙයි. ඒ නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඕන පිරිස් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තියෙන බඳවා ගැනීමේ පටිපාටිය ඇතුලේ අරගෙන ඒ පුරප්පාඩු සංඛ්‍යාව පිරවීමට අපි එකඟයි. ඒ වගේම, ඒක කරන ඊට සමාන්තරව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බලගැන්වීම අත්‍යවශ්‍යයි. ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවත්, මේ හිරකඳවුරු වල තියෙන තදබදය මකාලීමට ඒ- ඒ සහාය ලබා ගැනීමත් අත්‍යවශ්‍යයි.

ඊළඟට, අර නිර්මාණාත්මක යෝජනා, අත්හිටවූ සිරදඬුවම්, මුදලින් දඩ ගෙවන්න බැරි නම් ශ්‍රමයෙන් දඩ ගෙවීම් වගේ දේවලුත් මේකට කරන්න පුළුවන් උත්තර ඕන තරම් තිබියදී මේ ගොබ්බ, ගොන්, මරිමෝඩ, තකතීරු ආණ්ඩුව, මේ හර්ෂණ, පේජ් බෝයිලා, බබාලා, මේක අර්බුදයක් කොට තියාගෙන, ෆේස්බුක් එකෙන් මෙව්වා දිහා බල බලා ඉන්නවා. ඕක තමයි ආණ්ඩුවේ විදිය.

මාධ්‍යවේදියා: 
ආණ්ඩුව මේ බන්ධනාගාර අර්බුදය පිටිපස්සෙන් දාලා විරුද්ධවාදීන් ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තියෙනවා කියලා... ඒ ගැන මොකක්ද කියන්නේ?

ජයන්ත සමරවීර මහතාගේ පිළිතුර: 
ඔව් වෙන්න පුළුවන්. දැන් අපේ, අපකීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. අපි දන්නවා, කුට්ටමනීලාට ජේ. ආර්. ගේ කාලේ මැරුවේ ඔය විදියට.

දැන් මේ බන්ධනාගාර ගත කරනවා දේශපාලඥයෝ. ඉස්සරහට කරන්න නියමිතයි. කරන්න නියමිතයි. දැන් බන්ධනාගාර ගත කරගන්නත් කොහොමහරි හොයනවානේ, කට වැරදුනොත්, බලන්න කොහොමහරි. මේ රටේ, මේ ගොබ්බ ආණ්ඩුවේ අදූරදර්ශී, ජනතාද්‍රෝහී, රාජ්‍යද්‍රෝහී පිළිවෙතට එරෙහි වෙන, මේ වැඩපිළිවෙලට එරෙහි වෙන, දේශපාලඥයෝ දඩයම් කිරීම දැන් ආරම්භ කරලානේ තියෙන්නේ. ආරම්භ කරලා තියෙන්නේ. රාජ්‍ය නිලධාරීන්ට දැන් ලොකු භීෂණයක් පතුරෝලා තියෙන්නේ.

එතකොට, මේ දඩයම් කරලා, ඇතුලට දාලා, දැම්මට පස්සේ ආණ්ඩුවේ බාරේනේ මේ දේශපාලඥයෝ තියා කවුරු ගියත් ඉන්නේ. හිරේනේ. සීමාකාරීයි ඒගොල්ලන්ගේ හැසිරීම. එතකොට මොකද වෙන්නේ?

එතකොට අර විදියට කමන්ට ඕන අය බදවාගත්තොත් මරු. විශ්‍රාමික තමන්ගේ හෙංචයියෝ ටික අරගත්තට පස්සේ ඇතුලේ මරලා දාන්න පුළුවන් කිසි ශබ්දයක් නැතුව. මොකක්ද හේතුව කියන්නේ? බන්ධනාගාරයේ කැලඹිල්ලක්, ඒකෙන් දෙදෙනෙක්, දැන් 35ක් දැනට මැරිලානේ, ඒ 35 අතරට දේශපාලඥයෙකුත් දාන්න පුළුවන්. තමන්ගේ විරුද්ධවාදියෙකුත් දාන්න පුළුවන්, නඩුත් ඒගොල්ලන්ගේ, බඩුත් ඒගොල්ලන්ගේ, ඔක්කොම ඒගොල්ලන්ගේ. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කිව්වා වගේ. ඇඩ්‍රස් නැති වෙන්න මරලා දාන්න පුළුවන්. ඇඩ්‍රස් නැති වෙන්න ඝාතනය කරන්න පුළුවන්. මේක තමයි මේ ලෑස්ති වෙන සෙල්ලම වෙන්න පුළුවන්.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0