නිසි අනුමැතියකින් තොරව රාජ්‍ය මුදල් හා SPC අරමුදල් වැය කර ඇති බවට සාක්ෂිවලින් හෙළි වෙයි...

මෙම විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය දැක්වූ දක්ෂ හා තියුණු සාක්ෂි මෙහෙයවීම කැපී පෙනුණි. ඉකුත් සතියේ ඇයගේ පෞද්ගලික ආසන්නතම ඥාති වියෝවක් හේතුවෙන් අධිකරණ වාරයන් පවා කල් තැබීමට සිදු වන තරමටම, මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීම උදෙසා ඇයගේ භූමිකාව සහ පෙනී සිටීම නීතිපති දෙපාර්තමේන්තුවට අතිශය තීරණාත්මක සාධක වී තිබෙන බව පැහැදිළි විය. නඩුකරය එදින යළි විමසනු ලැබුවේ සතියකට පසුවයි.

Jul 29, 2026 - 13:50
Jul 29, 2026 - 13:51
 46
නිසි අනුමැතියකින් තොරව රාජ්‍ය මුදල් හා SPC අරමුදල්   වැය කර ඇති බවට සාක්ෂිවලින් හෙළි වෙයි...

2026 ජූලි මස 27 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය.


නිසි අනුමැතියකින් තොරව

රාජ්‍ය මුදල් හා SPC අරමුදල් 

වැය කර ඇති බවට

සාක්ෂිවලින් හෙළි වෙයි...

අධිකරණ වාර්තාකරු


ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දීම සහ රුපියල් කෝටි 14 කට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී පසුගිය 27 වනදා යළි විභාගයට ගැනිණි. ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි.


මෙම විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය දැක්වූ දක්ෂ හා තියුණු සාක්ෂි මෙහෙයවීම කැපී පෙනුණි. ඉකුත් සතියේ ඇයගේ පෞද්ගලික ආසන්නතම ඥාති වියෝවක් හේතුවෙන් අධිකරණ වාරයන් පවා කල් තැබීමට සිදු වන තරමටම, මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීම උදෙසා ඇයගේ භූමිකාව සහ පෙනී සිටීම නීතිපති දෙපාර්තමේන්තුවට අතිශය තීරණාත්මක සාධක වී තිබෙන බව පැහැදිළි විය. නඩුකරය එදින යළි විමසනු ලැබුවේ සතියකට පසුවයි.


පැමිණිල්ලේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ, චූදිතයන් විසින් සිදු කරන ලද ක්‍රියාමාර්ග හේතුවෙන් රජයට කෝටි 14 කට අධික මූල්‍යමය පාඩුවක්, වරදක් සහ බරපතල අක්‍රමිකතාවක් සිදුව ඇති බව අධිකරණය හමුවේ තහවුරු කිරීමයි. එදින පස්වන දිනටත් සාක්ෂි ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) වැඩබලන සාමාන්‍යාධිකාරී සවින්ද කුරේ මහතාගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් හරස් ප්‍රශ්න විමසන ලදී.


නීතිමය හා මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීම්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය නැගූ ප්‍රශ්න හමුවේ සාක්ෂිකරු ලබා දුන් පිළිතුරුවලින්, රාජ්‍ය මුදල් හා අමාත්‍යාංශ පරිපාලන පටිපාටීන් බරපතල ලෙස උල්ලංඝනය වී ඇති බවට තොරතුරු රැසක් අනාවරණය විය.


මුදල් රෙගුලාසි 66/4 (අ) ප්‍රකාරව පුනරාවර්තන වියදම් හෝ ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කිරීමේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ හෝ නියෝජ්‍ය ලේකම්වරයාගේ පූර්ව අනුමැතිය අනිවාර්ය බව සාක්ෂිකරු පිළිගත්තේය. එසේම, නිසි අධිකාරී බලයක් ලැබෙන තෙක් එවැනි වියදම් කිරීමට කිසිදු නිලධාරියෙකුට හැකියාවක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.


එසේ තිබියදී, හයවන චූදිතගේ අනුමැතිය ලබා ගැනීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) අරමුදල්වලින් වියදම් කර ඇති බවත්, ඒ සඳහා කිසිදු නීත්‍යානුකූල අවසරයක් නොතිබූ බවත් සාක්ෂිකරු හමුවේ තහවුරු විය. එමෙන්ම, 391 වැය විෂය භාවිතා කිරීම සඳහාද තමන් වෙත නීත්‍යානුකූල ලේඛනයක් නොතිබූ බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.


කැබිනට් අනුමැති සහ අමතර ඇණවුම්වල අක්‍රමිකතා

නඩු විභාගයේදී ඉදිරිපත් වූ 'පැ 3/4' ලේඛනය පිළිබඳව අවධානය යොමු කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පෙන්වා දුන්නේ, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණේ පුද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීම් සිදු කිරීමට පමණක් බවයි. එහෙත්, ඇණවුම්වලට අදාළ ගෙවීම් සඳහා අවසර ගැනීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බවද, අවසර ඉල්ලූ 391 වැය විෂයට අදාළව අනුමැතිය හිමි නොවූ බවද සාක්ෂිකරු පිළිගත්තේය.

"1204 වැය විෂය උපයෝගී කරගැනීමට අවසර දුන්නේ කවුරුන්ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේ එය 'සෞඛ්‍ය ලේකම්ගේ' නියෝගයක් බවයි. තවද, ඊට අදාළව කටයුතු කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත්, 'එම නියෝගය මතම කටයුතු කළ යුතු බවත්' ඔහු අධිකරණය හමුවේ අවධාරණය කළේය. මෙම ප්‍රකාශයත් සමඟ, භාණ්ඩාගාර අනුමැතිය අත්‍යවශ්‍ය යැයි සාක්ෂිකරු විසින්ම කලින් ඉදිරිපත් කළ මූලික තර්කය සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ වේ. නීතිවිරෝධී නියෝගයන්හි වගකීමෙන් මිදීමට සහ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට සාක්ෂිකරු දැරූ දුර්වල උත්සාහය මෙහිදී මැනවින් නිරාවරණය වේ."


කෙසේ වෙතත්, සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය මත 1204 වැය විෂය භාවිතා කළ බවත්, පරිපාලනමය වශයෙන් එම නියෝග මත කටයුතු කිරීමට සිදුවූ බවත් සාක්ෂිකරු කියා සිටියේය.


තොග නොසලකා හැරීම නිසා රජයට සිදු වූ පාඩුව

මෙම නඩු විභාගයේදී වඩාත්ම උණුසුම් කරුණක් බවට පත් වූයේ, රජයේ ඖෂධ ඇණවුම් නිකුත් කිරීමේදී පවතින තොග සහ ලැබීමට නියමිත තොග නොසලකා හරින ලෙස ලැබී තිබූ උපදෙස්ය.


'පැ 305' ලේඛනය පිළිබඳව සාක්ෂි දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ, කැබිනට් අනුමැතියට යටත්ව තෝරාගත් ඖෂධ 181 ක් සඳහා ඇණවුම් නිකුත් කරන ලෙස අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් ලැබී තිබූ බවයි. එහිදී, වෛද්‍ය සැපයුම් ඒකකය සතුව ඇති පවතින තොග මෙන්ම ඉදිරියට ලැබීමට නියමිත තොගද නොසලකා හැර ඇණවුම් නිකුත් කිරීමට උපදෙස් දී තිබූ බව හෙළි විය.


සාමාන්‍ය පරිපාලන ක්‍රියාවලියට අනුව ඇණවුමක් නිකුත් කිරීමේදී අතැති තොග සහ ලැබීමට ඇති තොග සලකා බැලීම අත්‍යවශ්‍ය වන බවත්, මාස කිහිපයකට ප්‍රමාණවත් තොග පවතිද්දී නැවත ඇණවුම් කිරීමෙන් ඖෂධ තොග ගොඩගැසී රජයට විශාල මූල්‍යමය පාඩුවක් සිදු වන බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ පිළිගත්තේය. මීට පෙර අදාළ 'V' කාණ්ඩය යටතේ SPC ආයතනය මෙලෙස ඖෂධ නිකුත් කර නොතිබූ අතර, මෙලෙස අයිතම 181 ක් එකවර තෝරා ගැනීම විශේෂිත සිදුවීමක් බවද සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.


තමා 2024.09.27 දින වැඩ තහනමකට ලක් වූ බවත්, පසුව 2026 වසරේදී යළි රාජ්‍ය සේවයට අනුයුක්ත කළ බවත් පැවසූ සාක්ෂිකරු, අදාළ කාල සීමාවේදී තොග පාලන අංශයේ සේවය කළ ප්‍රියන්ත කස්තුරිආරච්චි නමැති නිලධාරියා මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු ඇති බවද සඳහන් කළේය.


වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නඩුව නැවත 28 වනදා කැඳවීමට නියමිත විය.


නඩු වාර්තාව.


ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දීම, රුපියල් කෝටි 14 කට අධික මුදලක් රජයට වංචා කිරීම කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර විනිසුරුතුමන්ලා ඉදිරායේ ඊයේත් (27) යළි විභාගයට ගැනිණි. 


එහිදී පස්වන දිනටත් සාක්ෂි දීම සඳහා කැඳවනු ලැබ තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු ප්‍රධාන ඝණකාධිකාරී සහ ඖෂධ සංස්ථාවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී සවින්ද කුරේ මහතාය. 


නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම සාක්ෂිකරුගෙන් තවදුරටත් පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසුවාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පුනරාවර්තන වියදම් සඳහා ගණන් තැබීමේ බලධාරියා විසින් කාගේ අනුමැතිය ලබා ගත යුතුද?

සාක්ෂිකරු ; භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය අවශ්‍යයි. මුදල් රෙගුලාසි 66/4  අ හි ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියා කියා තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අධිකාරී බලය ලැබෙනකල් එවැනි වියදම් කළ හැකිද?

සාක්ෂිකරු ; නොහැකියි ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ බලය තිබෙන්නේ කාටද?

සාක්ෂිකරු ; භාණ්ඩාගාර ලේකම් හෝ නියෝජ්‍ය ලේකම්ට

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය; හයවන චූදිත ගෙන් අනුමැතිය ලබා ගනිද්දී spc ආයතනයේ මුදල්වලින් වියදම් කර තිබුණා. ඊට අවසර තිබුණාද?

සාක්ෂිකරු ; නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;ඔබ 391 වැය විෂය භාවිතා කරද්දී ඔබට අවසර ඇති ලේඛනයක් තිබුණාද?

සාක්ෂිකරු; නැහැ ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 66/4 අ මුදල් රෙගුලාසිය කෙරෙහි අවධානය යොමු කළා. එහි සඳහන් කාරණ ගැන කටයුතු කිරීමට පෙර ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරී විසින් භාණ්ඩාගාර ලේකම් හෝ නියෝජ්‍ය ලේකම්ගෙන් අවසර ලබා ගත යුතුද ?

සාක්ෂිකරු; ඔව් වැය විෂය වැඩසටහන් හා ව්‍යාපෘති යන කරුණු දෙකක් තිබෙනවා. ව්‍යාපෘතියක වැඩ ගැනයි 4/අ හි කියැවෙන්නේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 3/4 ගැන අවධානය යොමු කලාම 1-64 දක්වා පිටුවල අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබුනේ පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම් සිදුකිරීමට.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කැබිනට් මණ්ඩලය විසින් ICL මුදල් ගණනය කර ඉතිරිය පුද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීමට පැ 314 න් ගන්න කියලා ඔබ කිව්වද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 313 යටතේ ගැනුම් ඇණවුම් වලට ගෙවීමට අවසර ගැනීම කියන කාරණාවට අදාළව මේ සාකච්ඡාවේදී යම් කරුණක් ඉදිරිපත් වුණාද?

සාක්ෂිකරු ; නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ අවසර ඉල්ලු පැ 391 ට අදාළව අවසර ලැබුණේ නැහැ කියා ඔබ කිව්වද? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ වැඩසටහන සම්බන්ධයෙන් 1204 වැය විෂය පාවිච්චි කළේ කාගේ අවසර ඇතිවද?

සාක්ෂිකරු ; සෞඛ්‍ය ලේකම්ගේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ අවසර මත කටයුතු කිරීමට නීතිමය බාධාවක් තිබෙනවාද?

සාක්ෂිකරු ; ඒ මත කටයුතු කළ යුතුයි ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සැප්තැම්බර් 26 කැබිනට් පත්‍රිකාව ගැන අමාත්‍ය මණ්ඩලය දුන් තීරණය අනුව ඔක්තෝම්බර් 31 අනුමැතිය දුන්නා යැයි කීවාද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 339 ලේඛනයේ ඇනවුම් ලැයිස්තුවට අවධානය යොමුු කරන්න. 10 චූදිතට පැ 339 පෙන්නුවා 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ඔබෙන් ඇහුවා මේ ප්‍රසම්පාදනයට අදාළ SR අංක හැර අනික් ඒවා ගැන. 

සාක්ෂිකරු ; ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගමගේ මෙහෙයවීම මත සාක්ෂි දුන් ඇය මෙසේද කීවාය

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ඔබේ සේවා කාලය තුළ වෛද්‍ය සැපයීම ඒකකයේ කී වතාවක් සේවය කළාද?

සාක්ෂිකරු ; අවස්ථා දෙකකදී ස්වාමීනී. 2011 වසරේ මුලින්ම එහි සේවය කළා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ වන විට ඔබ සුදුසුකම් සපුරා සිටියාද? 

සාක්ෂිකරු; ඔව් ස්වාමීනී, මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඖෂධවේදි උපාධිය සම්පූර්ණ කර සිටියා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2011 වසරේ සේවය කළේ මොන අංශයද?

සාක්ෂිකරු ; සහකාර අධ්‍යක්‍ෂ අංශයට.  විගණන විමසුම් සඳහා පිළිතුරු සකසා සහකාර අධ්‍යක්ෂකට ඉදිරිපත් කිරීම මගේ රාජකාරිය වුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි කොපමණ කල් සේවය කළාද?

සාක්ෂිකරු ; 2017 වර්ෂය දක්වා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; දෙවැනි වර එහි මොන අංශයටද ආවේ?

සාක්ෂිකරු ; තත්ත්ව පාලන අංශයට වැඩ බලන සහකාර අධ්‍යක්ෂ ලෙස

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි රාජකාරිය කුමක්ද?

සාක්ෂිකරු ; වට්ටෝරු සමාලෝචන කමිටුවේ ස්වාමීනි

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; තවත් රාජකාරී කළාද? ඒ මොනවද.?

සාක්ෂිකරු ; ප්‍රමිතියෙන් අඩු ඖෂධ withhold  කරන්න වාර්තා සකස් කළා.  

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කවුද ඒ ගැන චක්‍රලේඛ නිකුත් කළේ

සාක්ෂිකරු ; අධ්‍යක්ෂ ජනරාල්වරයා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් අංශයේ අය ඒ ගැන දැනුවත් වෙන්නේ කොහොමද?

සාක්ෂිකරු ; රජයේ රෝහල්වලින් ප්‍රමිතියෙන් අඩු ඖෂධ ගැන පැමිණිලි එනවා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ කියන චක්‍රලේඛය නිකුත් කළේ ඒ නිසා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; රසායනාගාරයේ නිකුත් කරන quality log  එකට අදාල පරීක්‍ෂණ සිදුවෙනවද ?

සාක්‍ෂිකරු ; ඔව් ස්වාමීනි, වෛද්‍ය සැපයීම අංශයෙන් අදාල ලේඛනය නිකුත් කරනවා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; චක්‍රලේඛ ආයතන වෙත යවන්නේ කෙසේද?

සාක්ෂිකරු ; තැපෑලෙන් යවනවා ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පද්ධතිය හරහා යවන්න බැරිද?

සාක්‍ෂිකරු ; සැකසෙමින් පැවතුනා. එය නිරන්තර යාවත්කාලීන කරමින්  උත්සාහා කලා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඉන්පසු ඔබ කොතැනද සේවය කළේ?

සාක්ෂිකරු ; ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ, ඉන්පසු යලිත් වෛද්‍ය සැපයීම් අංශයේ. ඖෂධ සහකාර අධ්‍යක්‍ෂ ලෙස වැඩ භාර ගත්තා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2020 අග භාගය වෙද්දි සහකාර අධ්‍යක්ෂවරු කීදෙනෙක් සිටියද?

සාක්ෂිකරු ; මමත් තව එක් අයකුත්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කොපමණකල් රාජකාරි කළාද?

සාක්ෂිකරු ; 2023 වසර දක්වා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ හා අනෙක් සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී මහත්මිය අතර වැඩ බෙදී තිබුණේ කොහොමද

සාක්ෂිකරු ; ගබඩා අප දෙදෙනාට පවරා තිබුණා. මට 8,910,21 හා නාමික ඖෂධ යන ගබඩා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සහකාර අධ්‍යක්ෂ වශයෙන් ඔබට යම් රාජකාරියක් තිබුණද? 

සාක්ෂිකරු ; ඔව් ඖෂධවේදීන් හරහා ඖෂධ ඇනවුම් සකස් කිරීම, ඇනවුම් නිකුත් කිරීම ඒ වගේම ඒවා භාර ගැනීමේ වැඩ කටයුතු තිබුණා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තොග පාලන නිලධාරීන් ගැන ඔබට ඇති වගකීම කුමක්ද?

සාක්ෂිකරු ;  තොග පාලන නිලධාරීන් ලැයිස්තු හැදුවම ඒවායේ පුරෝකතන නිවැරදිද කියලා බැලිය යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇනවුම් කරද්දි ඒවා බලනවද? 

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇනවුම් හැදීමේ වගකීම කාගෙද?

සාක්ෂිකරු ; ශාන්තිනී මහත්මියගේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබේ නිර්දේශ නිවැරදිද කියලා බලා පාවිච්චි කළ මූලාශ්‍ර කුමක්ද?

සාක්ෂිකරු ; පරිගණක පද්ධතිය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඊළඟට යන්නේ කොතැනටද

සාක්ෂිකරු ; තොග පාලන අංශයට

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ නිවැරදිව වෙලාවට අනුගත වෙලා යවනවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇනවුම් හදන්⁣නෙ කවර කාලයකද?

සාක්ෂිකරු ; සාමාන්‍යයෙන් වසර මුල

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වාර්ෂික ඇනවූමකින් කොපමණ ඇණවූම් කරනවද?

සාක්ෂිකරු ; මුළු වර්ෂයටම. අපට තියෙන ප්‍රමාණ මදි නම් අතිරේක ඇනවුමක් දැමිය හැකියි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පවතින තොග මදි නම් කුමක්ද කරන්නේ?

සාක්ෂිකරු ; අතිරේක ඇනවුමක් දමනවා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇණවුමක් කරද්දි කාල සටහනක් ක්‍රියාත්මක වෙනවද?

සාක්ෂිකරු ; ඔව් ඒක අවශ්‍යයි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම කාලය තොගය ලබා ගැනීමේදී වැදගත් වෙනවද?

සාක්ෂිකරු ; ඖෂධයක තොගය ශුන්‍ය වීම වැනි කාරණා සඳහා එය වැදගත්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 270 ලේඛනය ගැන ඔබට යම් රාජකාරියක් තිබුණද?.

සාක්‍ෂිකරු ; ඔව් එයට අනුව ප්‍රධාන තොග නිලධාරි හා ඖෂධ වේදීන් එක්ව මාසයකට අඩු ඖෂධ ලැයිස්තුවක් හැදුවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ ඇයි?

සාක්ෂිකරු ; පැ 270 හි සඳහන් වෙනවා මාස 2 ක ප්‍රමාදයක් පවතින බව

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ වෙනුවෙන් ලැයිස්තුවක් හැදුවේ ඇයි?

සාක්ෂිකරු ; ස්වාමීනී, පෙන්ඩින් ඕඩරයේ බලන්න එපා කියනව නම් අපට ජාතික තලයේ තොග බලන්නත් බැහැ. මාසයකුත් දවසක් තියෙන ඖෂධ ලැයිස්තුවට ගන්නත් බැහැ. මෙහි සඳහන් වන්නේ spc ඇණවුම්වල මාස දෙකක ප්‍රමාදයක්. එවිට ජාතික තලයේ ඖෂධ හිඟ  වෙන්න පුළුවන්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ නිසා ඔබලා පැ 270 ප්‍රකාරව ලැයිස්තුවක් හැදුවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි ප්‍රධාන තොග නිලධාරී සහ  ඖෂධවේදීන් එක්ව හැදුවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහිදී යම් ප්‍රශ්නයක් වුණාද?

සාක්ෂිකරු ; ඖෂධය ලැයිස්තු සැකසීම පිළිබඳව නිවැරදිද බැලීමට පද්ධතිය හරහා බැලුවා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබේ නිර්දේශවලට එකඟ නොවුන අවස්ථා තිබුනද?

සාක්ෂිකරු ; ඔව් එවිට මම යළි පරීක්ෂා කළා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 210 පරිදි ඔබ නිකුත් කළ ඒවා ගත්තා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කවුද ගත්තේ?

සාක්ෂිකරු ; චන්දන විජේසිංහ මහතා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; (පැ 303 ලේඛනය පෙන්වයි)
මේ ඔබ නිර්දේශ කල ලැයිස්තුවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එයට අනුමැතිය ලැබුණාද? චන්දන විජේසිංහ මහතා අත්සන් කළාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 270 ඔස්සේ සකස් කරන ලද පැ 260 ලේඛනය ඔබ දැක තිබේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ලිපිය අත්සන් කර ඇත්තේ කවුද?

සාක්ෂිකරු ; අතිරේක ලේකම් වෛද්‍ය හේරත්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙම ලැයිස්තුව හරහා එව්වාද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ඖෂධය කුමක්ද?

සාක්ෂිකරු ; රිටක්සිමැබ් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි නිර්දේශය අවශ්‍ය වුණාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ ගැන පැ 260හි සඳහන්ද?

සාක්ෂිකරු ; ඔව් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබලා නිකුත් කළ මේ ලැයිස්තුවට අනුමැතිය ලැබුණාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ පිරිවිතරයට ඔබ ඉන්වොයිස් එක බැලුවද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 173 ලේඛනයේ තිබෙන අත්සන කාගෙද?

සාක්ෂිකරු ; ප්‍රියන්ත කස්තුරිආරච්චි මහතාගේ 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔහු කොපමණ කලක් සිටියාද?

සාක්ෂිකරු ; 2020 සිට 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තොග පාලන අංශයේ ඔබේ සේවය අවශ්‍ය වන්නේ කවදද?

සාක්ෂිකරු ; 2024/09/27 දා මම වැඩ තහනමකට ලක්වුණා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇයි ඒ කවුද එය කළේ?

සාක්ෂිකරු ; සෞඛ්‍ය ලේකම් විසින්. WR ලේඛන නිර්වද්‍යතාව පරීක්ෂා කළේ නැහැ කියලා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; නැවත ඔබ රාජ්‍ය සේවයට අනුයුක්ත කළේ කවදද?

සාක්ෂිකරු  ; 2026 දි 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ කාලයේ ප්‍රියන්ත කස්තුරි ආරච්චි සේවයේ සිටියාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ ඉවත්වනතුරු සිටියාද?

සාක්ෂිකරු ; නැහැ. ඔහු විදේශගත වුණා කියා ආරංචියි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; දැනට ඔහු ඉන්නේ විදේශගතවද?

සාක්ෂිකරු ; එහෙම ආරංචියි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 305 ලේඛනය හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; ඔව් එය හේරත් වෛද්‍ය තුමා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබට එම ලේඛනය ලැබුනාද?

සාක්ෂිකරු ; සහකාර අධ්‍යක්ෂ වශයෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි උපදෙසක් තිබේද?

සාක්ෂිකරු ; ඔව් එහි ඔහු සඳහන් කර තිබෙනවා කැබිනට් අනුමැතියට යටත්ව ඖෂධ 184 ක් තෝරා ඇති බව.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ ඖෂධ 181 මගින් කුමක් කරන්නද කියා තිබෙන්නේ?

සාක්ෂිකරු ; V කැටගරියට යටත්ව තිබූ ලැයිස්තු MSD Vහෝ EOI අංක යටතේ පැමිණෙන තොග සඳහා ඇනවුම් නිකුත් කරන ලෙසයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මීට පෙර  V කැටගරිය යටතේ නිකුත් කළාද?

සාක්ෂිකරු ; එක අවස්ථාවක නිකුත් කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; spc එක ඊට පෙර V කැටගරි එක යටතේ ඖෂධ නිකුත් කළේ නැද්ද?

සාක්ෂිකරු ; නැහැ 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයීම අංශයේ තොග පාලන ඒකකයට මේ සම්බන්ධ ලියුම ලැබුනාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ අවස්ථාවේ අයිතම 181 ක් තෝරා ගත්තේ ඇයි?

සාක්ෂිකරු ; ඔව් එය විශේෂ අවස්ථාවක්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 305 හඳුනා ගත හැකිද?

සාක්ෂිකරු ; පුළුවන් එය මට ලැබී තිබෙනවා. සහකාර අධ්‍යක්ෂ (ඖෂධ) වෙත නිකුත් කළ එකක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අදාල තොග පාලන නිලධාරීන්ට වෛද්‍ය සැපයුම් අංශයේ. අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි ඖෂධ නිකුත් කරන්න කියලා තියෙනවා. 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අත ඇති තොගයත්, ලැබීමට නියමිත තොගයත් නොසලකා හරින්න කියා තිබෙනවා.

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අත ඇති තොග හා ලැබීමට නියමිත තොග වැදගත් ද?

සාක්ෂිකරු ; ඔව්, එම තොග අනුවයි අපි ඇනවුම් නිකුත් කරන්නේ. ඒවා මාස කිහිපයකට ප්‍රමාණවත්  නම් අප ඇනවුම් කළ යුතු නැහැ. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එසේ ඇනවුමක් කළොත් පාඩු ද? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ කොහොමද?

සාක්ෂිකරු ; එයින් ඖෂධ තොගය ගොඩ ගැහෙන හෙයින් රජයට පාඩු වෙනවා. 

නඩුව යළි අද දිනයේ (28) කැඳවීමට නියමිත අතර සාක්ෂිකාරියගෙන් තවදුරටත් සාක්ෂි ලබා ගැනීමට නියමිතය.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0