සපත්තු මසන්නාගේ පාපොච්චාරණය...

ජීවිතයේ පළමු වතාවට පොලිසියකට ගොඩ වූ මම එහි පැමිණිලි මේසය ඉදිරියේ බොහෝ වේලාවක් සිටගෙන බලා සිටියෙමි... පැමිණිලි මේසයේ රාජකාරියේ යෙදී සිටි රාලහාමි තැන කඩියකු මෙන් කඩිසරය. ඔහු මේසය මත ඇති පොත් පෙරලමින් බලයි. ඒ පොතේ ඇති දේ කියවමින් තවත් පොතක ලියයි. ඒ පොත තබා තවත් පොතක් ගනියි. එහි පිටු පෙරලා බලයි. යමක් කියවන අයුරු පෙනෙයි. එය වසා තවත් පොතක් ගනියි. එහෙත් ඔහු මේසය ඉදිරියේ මෙතෙක් වේලා සිටගෙන සිටි මා නොදුටුවා මෙන් රඟපායි...

Oct 23, 2025 - 12:28
 59
සපත්තු මසන්නාගේ පාපොච්චාරණය...

වෙබ් කෙටිකතාව - 2

සපත්තු මසන්නාගේ

පාපොච්චාරණය...

ශ්‍යාමලී රත්නායක ලියයි

ජීවිතයේ පළමු වතාවට පොලිසියකට ගොඩ වූ මම එහි පැමිණිලි මේසය ඉදිරියේ බොහෝ වේලාවක් සිටගෙන බලා සිටියෙමි...
පැමිණිලි මේසයේ රාජකාරියේ යෙදී සිටි රාලහාමි තැන කඩියකු මෙන් කඩිසරය. ඔහු මේසය මත ඇති පොත් පෙරලමින් බලයි. ඒ පොතේ ඇති දේ කියවමින් තවත් පොතක ලියයි. ඒ පොත තබා තවත් පොතක් ගනියි. එහි පිටු පෙරලා බලයි. යමක් කියවන අයුරු පෙනෙයි. එය වසා තවත් පොතක් ගනියි. එහෙත් ඔහු මේසය ඉදිරියේ මෙතෙක් වේලා සිටගෙන සිටි මා නොදුටුවා මෙන් රඟපායි...

අප සිටි ශාලාවේ වහළයේ සිට එක එල්ලේ පහළට එල්ලුණ බටය කෙළවර වූ ලොකු විදුලි පංකාව නොනවත්වාම බමයි. විදුලි පංකාවට මඳක් ඉදිරියෙන් වූ, වහළයේ සිට එල්ලුණ සිහින් දම්වැල් දෙකක් කෙළවර බෝඩ් ලෑල්ලක් රැඳවී තිබේ. පොලිෂ් කර ඔප දමන ලද එම බෝඩ් ලෑල්ල මත “චෝදනාගාරය” යනුවෙන් පැහැදිලි අකුරින් ලියා ඇත. චෝදනාගාරය නම් ලෑල්ලද විදුලි පංකාවේ සුළඟින් ඒ මේ අත පැද්දෙයි.

චෝදනාගාරය තරමක් ලොකු ශාලාවක් බව බැලු බැල්මට පෙනෙයි. එහි ඉදිරියෙන්ම ඇත්තේ මා මෙතෙක් උපේක්ෂාවෙන් යුතුව බලා සිටි පැමිණිලි මේසයයි. ඊට පිටුපසින් පේලි දෙකට බෙදා එකක් පසුපස එකක් පිළිවෙළට තබා ඇති මේස 6 ක පොලිස් කාන්තාවක් සහ රාලහාමිලා කිහිප දෙනෙක් ගජරාමෙට වැඩය...

මේස පිටුපස කෙළවරේ බිත්තියටත් එහා චූදිතයන් රඳවා තිබෙන සිර මැදිරි දෙකක් ඇති බව පෙනෙයි. වරදකරුවන්ගෙන් පිරී ඇති ඒ සිර මැදිරිවල දොර අද්දර යකඩ කූරු අල්ලාගෙන පිටත දෙස බලා සිටින චූදිතයන් අතර මම මදන්ගේ මුහුණ සෙව්වෙමි. මදන් එහි නැති බවක් බැලු බැල්මට පෙනෙයි. මදන් ඇත්තේ ඊටත් වඩා දරුණු අය රඳවා සිටින තැනකද... මම කල්පනා කළෙමි.

කරස් බරස් කරස් බරස් හඬ නංවමින් නොනවත්වාම බමන විදුලි පංකාවෙන් නැගෙන සුළඟ පැමිණිලි මේසයේ රාජකාරි කළ රාලහාමිට මහත් හිරිහැරයක් බව පෙනෙයි. එක් අතකින් ඒ සුළං ප්‍රවාහය මේසය මත ඇති පොත් පත්වල පිටු ඒ මේ අත පෙරළා දමයි. ලිපි ගොනු අරින විට ඒවායේ ඇති ලිපි ඒ මේ අත පාකර හරියි.

ඒ සියල්ලටම වඩා කරදරය රාලහාමි බොහොම සීරුවට පරිස්සමට පීරා සකස් කර ඇති කොණ්ඩය අවුල් කර දැමීමය. රාලහාමි පැත්තෙන් කෙස් රොද ගෙනවිත් පෑදී ඇති තට්ටය වැසී යනසේ හිස හරහා අතුරා අනිත් පස කණ්පෙත්ත යටට හිර කර හිස පුරා කෙස් සහිත පෙනුම වර්ධනය කරගෙන ඇත්තේ වැර වීරියෙනි. පංකාවේ අකීකරු සුළඟ ඒ කෙස්රොද පාකර හැර තට්ටය නිරාවරණය කරයි.
බැරිම තැන ඔහු වේගයෙන් ලාච්චුව හැර එහි තිබූ පොලිස් තොප්පිය ගෙන දෝතින්ම හිස මත පැළඳ ගත්තේ... හරි දැන් බලමුකෝ කියන්නාක් මෙනි.

ඒ ඇසිල්ලෙන් ඔහුගේ අතක තිබූ කාබන් කොලයක් ගිලිහී සුළං ප්‍රවාහයට අසුව පාවී පාවී පැමිණ මගේ දෙපා මුල පතිත විය. රාලහාමි එය අල්ලා ගැනීමට තැත් කළත් නොහැකි විය. මම ඉදිරියට නැමී කාබන් කොලය අහුලාගෙන ඔහුගේ මේසය මත තබන්නට උත්සාහ ගතිමි.

හ්ම්... යැයි කියමින් ඔහු එය මා අතින් ගත්තේ කෘතවේදිත්වයක් කිසිත් නැති වියළි බැල්මක් මා දෙස හෙලමිනි.
අනතුරුව පුටුවේ වාඩිවූ ඔහු පැමිණිලි පොත අතට ගෙන දිගහැර අලුත් පිටුවක දිනය හා අංකයක් සටහන් කරගන්නා ගමන් උපැස් යුවළත් දෑස් දෙබැමත් අතරින් මා දෙස බැල්මක් හෙළීය.

“මොකක්ද තමුන්ගේ පැමිණිල්ල..?” හේ යළි පොත දෙස බලනා ගමන් විමසීය.

“මම ආවේ පැමිණිල්ලක් කරන්න නම් නොවෙයි රාලහාමි..”

මම එසේ කියන විට ඔහු හිස නගා නලල මඳක් රැලිකර මා දෙස බැලුවේ... එහෙනම් මෙතන හිටගෙන හිටියේ බම්බුවටද... අහන්නාක් මෙනි. ඔහු බාගෙට පැළඳ සිටි උපැස් යුවල යාන්තමට රැඳී තිබුණේ නාසය මැද්දෑවේය. උපැස් යුවලත් දෙබැමත් අතර වූ ලොකු හිදැස අතරින් මම ඔහුගේ බොර පැහැති දෑසෙහි වූ රෞද්‍ර බව පැහැදිලිව දුටුවෙමි.

“එහෙනම් මොකක්ද කාරණාව...”

ඕ. අයි. සී. මහත්තයාව මුණගැහෙන්න. මම මඳක් පැකිලෙමින් කියා ගත්තෙමි.

ඔහොම වාඩිවෙන්න... ඔහු තරමක් මෘදු හඬින් කියා මට ඉදිරියේ වූ පුටුව පෙන්නුවේ සංඥාවකිනි. මෙතෙක් වේලා කිසිවකුත් නැතිව හුදෙකලාව පැවැති පුටුව මත වාඩිවන වරම පවා මට ලැබුණේ ඕ. අයි. සී. මහත්තයාව හමුවීමට අවශ්‍ය බව කීමෙන් අනතුරුව ය.
ලොකු මහත්තයාව මුණගැහෙන්න එන අයගේ විස්තර ලියාගෙන එතුමට දන්වන්න කියලයි අපට කියල තියෙන්නේ. කියන්න බලන්න විස්තර... කියමින් ඔහු වෙනත් කුඩා පොතක් රැගෙන කාබන් කොලයක් එහි මුල් කොළය යටට දමා එහි ලියන්නට සැරසෙන අතර මා දෙස බැලීය.

“මොකක්ද නම...?”

“අනුත්තරා කුමාරි උඩුරාවන...”

නම කියූ සැණින් හිස ඔසවා විමසුම් බැල්මෙන් මා දෙස බලා... මිස් එහෙනම් නුවර... මගෙත් ගම නුවර තමයි. අපිත් බණ්ඩාරලා.” කියමින් ආඩම්බරයෙන් හිස සොලවා සිනහසෙන්නට පටන් ගත්තේය. රෞද්‍ර පෙනුමැති ඔහුගේ මුහුණට සිනහවක් මෝදු වූයේ මගේ නම තුළින් ගම හා වාසගමද හෙළි වූවාට පසුවය.

“මෙහෙ මොකද කරන්නේ...”

“තරුණ සේවා නිලධාරිනියක් විදියට මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ වැඩ කරනවා.” 

“එතකොට ලොකු මහත්තයා හමුවන්න තියන උවමනාව...” ඔහු මා දෙන උත්තර ඔහු ළඟ වූ කුඩා පොතෙහි කෙටියෙන් සටහන් කර ගනියි. අවසන් ප්‍රශ්නට උත්තරය ප්‍රමාද බැවින් ඔහු යළි මා දෙස බැලීය..

“අද උදේ අපේ ඔෆීස් එකේ ගේට්ටුව ළඟ සිද්ධවුණා සිද්ධියක් ගැන ඕ. අයි. සී. මහත්තයට පැහැදිලි කිරීමක් කරන්න.”

“ආ... ඔය කියන්නේ අපේ සමදරා මිසීගේ මහත්තයට පිහියෙන් ඇනපු අර සපත්තු මහන දෙමළා ගැනද... ඌ මහ දරුණු අපරාධකාරයෙක්. මොනවද නෝනා ඌ ගැන දන්නේ... මංකොල්ලකෑම් හොරකම් ගණනාවක් ගැන අපි ඌ ගැන පරීක්‍ෂණ කරනවා. දන්න දෙයක් තියනවා නම් මට කියන්න. ඕ. අයි. සී. මහත්තයාම ඕන නැහැ.”

පොලිස් නිලධාරියා එසේ කියාගෙන යද්දී මගේ පාදාන්තයේ සිට ඉහළට කුමක් දෝ විදුලියක් ඇඳීගෙන යන්නාක් මෙන් මට දැනිණි. දෙයියනේ... එයාලට වැරදිලා. ඒ මිනිහා එහෙම මිනිහෙක් නොවෙයි. අහිංසකයෙක්. ඔය ඔක්කොම කරදර ඒ අහිංසකයාට වුණේ මම හින්දයි... මගේ මුවින් ඒ සියල්ල එළියට පැන්නේ නැත.

“මම මදන් ගැන හුඟ කාලයක ඉඳන් දන්නවා. අපේ ඔෆීස් එක ඉස්සරහා සපත්තු ලෑල්ලක් තියාගෙන සපත්තු මහනවා. අපි අවුරුදු 10 ක ටත් වැඩි කාලයක් තිස්සේ එයාව දන්නවා. හඳුනනවා.”

“හොර තක්කඩියෙක්ව අඳුනනවා...? ඔය වගේ හොඳ වැදගත් පවුලක නෝන කෙනෙක්... මට නම් තේරෙන්නේ නැහැ ඒ කතාව. මම දන්නේ මෙච්චරයි. අපිත් එක්ක එකට පොලිසියේ වැඩ කරන පොලිස් කාන්තාවකගේ මහත්තයාට මේ තක්කඩියා අද උදේ තමුන්ලයි කාර්යාලය ඉස්සරහා පාරෙදි දෙනෝ දාහක් දෙනා බලන් ඉද්දි පිහියෙන් ඇනලා මරණීය තුවාල සිදු කරලා තියනවා. මේක බරපතල අපරාධයක්. මිනී මැරීමට තැත් කිරීමක්. ඇහින් දුටු සාක්ෂිත් තියනවා ඕන තරම්.”

“ඒ වුණාට ඒක වැරදීමක්. මට ඒ ගැන ලොකු කතාවක් තියනවා ඕ. අයි. සී. මහත්තයාට කියන්න. කරුණා කරල මට වෙලාවක් අරන් දෙන්න...” මම තරමක් බැගෑපත් ස්වරූපයෙන් කියන දේ තරමක් උස් හඬින් ඇසුණ නිසාදෝ පොලිසියේ සෙසු මේසවල සිටි අයද හැරී අප දෙබස දෙස බලන්නට වූහ.

“අර මහරගම කේස් එකේ ‘‘ඇකියුස් ගැන’’ ලොකු කතාවක් තියනවා කියල කියන්නේ. මිනිහ අහිංසකයෙක්ලු...” රාලහාමි හැරී අනෙක් අයට කරුණු පැහැදිලි කරන්නට මෙන් පවසා මා දෙස උපැස් යුවල අතරින් නොරිස්සුම් බැල්මක් හෙළමින් ඉදිරියට හැරුණේය.

“හරි... මහත්තයා ඉන්නේ කොන්ෆරන්ස් එකක. තව ටිකකින් මෙතන ඔෆීස් එකට එනවා. ආවම මම මේක දීල කතා කරන්නම්. එතකන් අර බංකුවට වෙලා වැඩිවෙලා ඉන්නවා...” කියමින් රාලහාමි ඊට නුදුරින් බිත්තිය අයිනට වන්නට තිබූ බංකුවක් මට පෙන්නුවේය.

මම පුටුවෙන් නැගිට බංකුව වෙත ගොස් වාඩි වූයෙමි. රාලහාමි ඒ ටිකට එතන එහා මේසයක සිටි පොලිස් කාන්තාවක් ළඟට ගොස් මා දෙස බලමින් මොන මොනවාදෝ කියයි. ඇයද මා දෙස බලයි. ටික වෙලාවක් එසේ බලා සිටි ඕ මේසය මත වූ සෙලියුලර් දුරකථනයක් ගෙන අංකයක් කරකවා කාටදෝ ඇමතුමක් ගත්තාය. ඕ ඉන් කතා කළේ මා ගැන බව මට වැටහී ගියේ ඇය මා දෙස බලමින්ම කතා කළ නිසාය. සියුම් බියකින් මා ගත සිත වෙලී යනු මට දැනෙයි. ඇඟ හිරිගඩු පිපී රෝමකූප කෙළින්ව යන බව මට පෙනෙයි.
අනෙකුත් මේසවල සිටි රාලහාමිලාද සෙසු වැඩ නවතා පෙර කී රාලහාමි ළඟට පැමිණ යම් යම් කරුණු විමසන්නට වූහ. සියල්ලෝම මා දෙස බලන්නට වූ බැවින් ඒ නෙතු රැහැන්වල පැටලීම මට මහත් අපහසුවක් විය. ඒ නිසා මම බිම බලාගතිමි.
මට මගේ සැමියාගේ කුළුපගම මිතුරෙකු වන නිලාර් එන් කාසිම් වරෙක පොලිස් නිලධාරියෙක් ගැන ලියූ ගීතයක පද කිහිපයක් මතක් විය. ඒ ගීතය එදා ප්‍රසිද්ධියේ විකාශනය වීම තහනම් වූයේ ඇයි දැයි මට පසක් වන්නේ දැන්ය.

‘‘කරකවයි... උකුසු ඇස් කරකවයි 
කාකි පැහැ ඡායාව උකුසු ඇස් කරකවයි...
ඒ ඇසට ගොදුරු වූ යම් විටෙක
ගැලවෙන්න පුළුවන්ද.. වැරදි කර නැතිවද...”

අනේ... අර අහිංසක මදන් මං හින්දා දාගත්ත ලෙඩක්. ඌ ඇයි ඇත්තට එහෙම දෙයක් කළේ කණට ඇහෙන්නවත් හයියෙන් වචනයක් කතා නොකරන මිනිහා එකපාරටම කොහෙමද එහෙම දරුණු වැඩක් කළේ අර විජිත කියන තක්කඩියා කරදරයක් වුණේ මට. ඇයි මදන් ඉදිරිපත්වෙලා ඌට පිහියෙන් ඇන්නේ. එය මට හිතාගත නොහැකි ප්‍රශ්නයක් විය.

අප කාර්යාලයේ සේවය කරන මා ඇතුළු කාන්තාවන් ගණනාවකටම ‘මදන්’ වඩා අත්‍යවශය පුද්ගලයකු වුණේ අප භාවිත කරන සෙරෙප්පු නිතර නිතර අලුත්වැඩියා කළ යුතු නිසා ය. දවසේ පැය 8 තුළ කාර්යාලයේ ඒ මේ අත විවිධ තැන්වලට ඇවිද යන විටදී අබලන් වන මගේත් අප කාර්යාලයේ නිලධාරිනියන් ගණනාවකගේත් සපත්තු සෙරෙප්පු දුන් සැණින් අඩු මුදලකට අලුත්වැඩියා කර දෙන්නේ මදන් ය . මේ නිසා මදන් මගේත් අප කාර්යාලයේ බොහෝ දෙනකුගේත් හිතවතකු වී සිටින්නේ මීට අවුරුදු 10 ක 12 ක කාලයක සිට ය.

මදන් දෙමළ තරුණයෙකි. මීට බොහෝ කලකට පෙර ගිනිගත්හේන පැත්තේ වත්තකින් දෙමළ තරුණියක් හා හාදව පැන ආ මදන් සිය පෙම්වතිය සමඟ නතර වූයේ මහරගම නගර සභාවේ කසල ශෝධකයකු ලෙස රැකියාව කළ ඥාතියකු ළඟ ය. ඒ ඥාතියාගේ ඇවෑමෙන් නගර සභාවේ අනියම් කම්කරුවන් ලෙස වැඩ කළ මදන් හා ඔහුගේ බිරිඳ නතරව සිටියේ ද එවන් සේවකයන් තාවකාලිකව නතර වන රේල් පාර අද්දර අනවසර නිවාස වල ය.

පාර අතුගෑම හා කුණු කසල ඇදීම එතරම් ප්‍රිය නොකළ මදන් පොදු වෙළෙඳපළ අසල වියපත් සපත්තු මහන්නා අසල ඔහුගේ අත්උදව්කරුවකු මෙන් නතරව සපත්තු මැසීමේ කලාව ප්‍රගුණ කළේය. අනතුරුව වැඩි කල් නොගොස් ස්වාධීනව ඒ දෑතේ කර්මාන්තය සිය ජීවන වෘත්තිය කරගත් මදන් අප කාර්යාලය ඉදිරිපිට පදික වේදිකාවේ රැකියාව කරන්නට පටන් ගෙන දැන් අවුරුදු 10 කටත් වැඩිය...

මදන් මට ඉතාම හිතවත්ය. ගෙදර දොරේ මෙන්ම කාර්යාලයේ විවිධ උත්සව වලදී ඉතිරි වන කෑම බීම මම ගෙනිහින් දෙන්නේ මදන්ට ය. මදන් ඒවා සිය බිරිඳ අත ගෙදර යවයි. ඒවා ඔවුන්ගේ කුඩා දරු දෙදෙනාට රසමසවුළු බව දන්නා මම කුමන අන්දමේ කෑමක් බීමක් ලැබුණත් මදන්ගේ කොටස ගෙනිහින් දීම අමතක කළේම නැත.

මදන් මට වඩාත් හිතවත් වූයේ මා ඔහු සමඟ දෙමළ භාෂාවෙන් කතා කළ නිසාය. අපේ තාත්තා නුවර වත්තේගම වතු අධිකාරිවරයකුව සිටි බැවින් දෙමළ වතු කම්කරුවන් අප නිවසේ ද හිඟ නොවූහ. අපි ඔවුන් සමග කතාබහ කළේ දෙමළෙනි. ඒ පුරුද්දට මට දෙමළ ජාතිකයන් කවුරු හමු වුවත් දෙමළෙන් කතා කිරීම පුරුද්දක් කරගත්තෙමි.

මදන් සිය මුව විවර කර බුලත් කහටයෙන් අවපැහැ ගැන්වුණ දසන් පෙන්වා සිනා සෙන්නේද මා සමග පමණක් බව මම දනිමි. මදන්ට ඉහින් කණින් යන තරමට වැඩ තිබුණත් මගේ සෙරෙප්පු දෙකක් දුන් සැණින් එය සාදා දීමට පසුබට නොවෙයි.
අතැම් විට ඔහු මාගේ සපත්තු කකුලෙන් ගලවන්නට හරින්නේද නැත...

“ඔහොම ඉන්න නෝනා... කකුල මෙතනින් තියන්න... මම සපත්තුව හෙලවෙන්නේ නැතිවෙන්න පටි තද කරල අලවන්නම්...”

“පිස්සුද මදන්... මට කිතියි... ඕක ගලවල අරන් හදන්න...” 

“නෑ නෝනා. නෝනගේ කකුලේ කුණු තැවරෙයි කියලයි මම කිව්වේ. නෝනා මේක උඩ හිටගන්න...” ඔහු කාඩ්බෝඩ් කැබැල්ලක් මගේ කකුළ යටින් තබයි... මදන් මට ඒ තරමටම හිතවත්ය...

ඔහු නූල් ඉදිකටුවල අමුණා සෙරෙප්පු මසන අන්දම බලා සිටින්නට ආස සිතෙයි. හම් පටි කෑලි කෑලී කපා පිළිවෙළකට තබා සෙරෙප්පුවලට තබා මසන මදන් ඊට උඩින් ගම් ගා තවත් හම් අලවයි. අලුත් සෙරෙප්පු දෙකක් වුව රැගෙන මදන්ට කියා අලුතෙන් මැහුම් යොදාගත් විට පාවිච්චි කළ හැකි කාලය වැඩිය. එය මා පමණක් නොව, එය අපේ කාර්යාලයේ බොහෝ දෙනෙක් දන්නා කරුණකි.

ඔහු ළඟ පිහියක් ඇත. එය පිහියක් නොව පිහි තල කෑල්ලකි. තීරු තීරු හම් පටි කපන්නේත් සපත්තු වල අඩි අලවා වැඩි හරිය කපා ඉවත් කරන්නේත් නූල් කපන්නේත් ඒ පිහි තලයෙනි. නිතර නිතර ඇමරිගලක අතුල්ලමින් මැද පිහි තලය මුවහත් කරන මදන් ඒ පිහි තලය දැලි පිහියක් මෙන් කැපෙන්නට තබාගැනීම පුරුද්දකි...

මාගේ සිතිවිලි ලොව කලතමින් පැරණි ටයිප් රයිටරයක හඬ ඇසෙයි. පොලිසියේ චෝදනා ගාරයේ සිටි පොලිස් කාන්තාව දැන් ඇයගේ මේසය මත තිබූ පරණ තාලයේ ටයිප් රයිටරයකින් කුමක්දෝ ලියුමක් ටයිප් කරමින් සිටියි. කරස් බරස් කරස් බරස් හඬින් ඇසුණු විදුලි පංකාවේ හඬට අලගු තබන්නට මෙන් දැන් තවත් හඬක් එකතු වී තිබේ. ඒ හඬ චට පට චට පට චට චට ටස් ටස් කටස් ලෙස වාතලයට මුසු වෙයි. පොලිස් නිලධාරිනියගේ ඇඟිලි මටත් වඩා බොහෝ සේ කඩිසර බව මට පෙනෙයි. මමත් මුල් වරට කාර්යාලයේ සේවයට පැමිණ ටයිප් කළේ මේ වර්ගයේ පැරණි යතුරුලියනයක බව මට මතකය...

චට පට චට පට හඬ හඬින් මගේ මතකය ආයෙත් සැරයක් ඈතට ඈතට ඇදී යන්නට පටන් ගත්තේය.
දිනක් මගේ සෙලියුලර් දුරකථනයට නාඳුනන අයකුගෙන් ඇමතුමක් පැමිණියේ අහම්බෙනි. 
ඇමතුම පිරිමියකුගෙනි. හේ කාගේදෝ නමක් ඇසීය... මම ඉතා කාරුණිකව ඒ මට නොවන බවත් ඇමතුම වැරදි අංකයකට පැමිණ ඇති බවත් කියා සංවාදය අවසන් කළෙමි...

ඊට දිනකට පමණ පසු ඒ ඇමතුම යළිත් වතාවක් දුරකථනයට පැමිණියේය. එවරද වෙන කෙනෙකුගේ නමක් ඇසීය. මම ඉතා කාරුණිකව වැරදි අංකයක් බව කීවෙමි. දුරකථනයේ එහා කෙළවරේ වූ කෙනා වඩාත් ආචාරශීලීව කතා කළේය. මේ අංකය තමන්ගේ මිතුරෙක් තමන්ට දී ඇති බව කී ඔහු මේ අංකය මට ලැබී ඇත්තේ කොහෙන් දැයි විමසීය...

“මේ අංකය මම ගත්තේ මොබිටෙල් එකෙන්මයි. වෙන කාගෙන්වත් ගනිපු නම්බරයක් නොවෙයි.” මම කීවෙමි. 

“අනේ සමාවෙන්න මිස්. මේක මගේ ළඟම මිතුරියක් මට දුන්නේ. අපි මේකෙන් කතා කරලත් තියනවා. හැබැයි ළඟකදි කතා කරන්න බැරිවුණා... මට දැන් එයත් එක්ක කතා කරන්න ඕන. ඒකයි මෙච්චර හොයන්නේ මම ඊයේත් කතා කළේ ඒකයි.”

“අනේ... සොරි... මට උදව්වක් කරන්න විදියක් නෑ...”

“එතකොට මිස් කවුද... කොහේද වැඩ කරන්නේ...”

“මම අනුත්තරා... වැඩ කරන්නේ යූත් එකේ...”

“හරි මිස්... තෑන්ක් යූ මිස්. මගේ යාළුවා හමු වුණේ නැතුවට මට දැන් යූත් එකේ අලුත් යාලුවෙක් හමුවුණානේ. අපිට හරියට උවමනා වෙනවා යූත් එකේ අයව... උවමනාවක් උණොත් කතා කරන්ම්කෝ... මම විජිත...”
එසේ කියමින් ඔහු රිසීවරය තබද්දී මතු අනාගතයේදී ඔහු මට මහා වාතයක් වේය කියා මට නිකමට වත් හිතුනේම නැත. සිතුනේම නැත. වැරදිලා එන දුරකථන ඇමතුම් වාතයක් වන තරමට වර්ධනය වූ සබඳතා එතෙක් කල් මගේ ජීවිතයේ මට නොවීය..
කාලය ගෙවී ගියේය... දිනක් කාර්යාලයේ මගේ අංශ ප්‍රධානියා මට දුරකථනයෙන් ඇමතුමක් ඇති බව කීවේය.

“අනුත්තරා මිස්ට ගේට් එකෙන් කෝල් එකක්...” මම ඇමතුම බාරගත්තෙමි. 

“මිස්ව හම්බවෙන්න කවුද මහත්තයෙක් ඇවිත්..”

“නම මොකක්ද...”

“විජිත කියල මහත්තයෙක්...”

“ම්.ම්.ම්... විජිත... ආ... හරි අපේ කැන්ටිමට එන පාර කියන්නකෝ මම එතනට යන්නම්...” අපේ ආයතනයේ අමුත්තන් හමුවන්නට ලබාදී තිබෙන උපරිම නිදහස පාවිච්චි කරමින් මම විජිතව ඇතුළට ගෙන්වා ගත්තේ මෙබඳු හමුවීම්වල පළමුවැන්න එය නොවූ නිසාය. දිනකට එවන් පුද්ගලයන් දෙතුන් දෙනෙකුවත් මා හමුවන්නට පැමිණ ආයතනයෙන් යම් යම් උදව් ලබාගෙන යෑම මට දැන් සාමාන්‍ය දෙයක් වී තිබෙන නිසා විජිත ගැන මම සැක නොකළෙමි.

මම කැන්ටිමට යන විටත් විජිත එහි පැමිණ සිටියේය. ඔහු ප්‍රියමනාප පෙනුමැති උස කඩවසම්, තුරුණු විය ඉක්මවා යන වයසක වූ අයකු බව පැහැදිලි විය... දුරකථනයෙන් දෙතුන් වරක් කතා කළත් මේ විජිත මම දුටුවේ පළමු වතාවටය.
ඔහු එක් වරම අත දිගු කර... 

“මම විජිත... අපි හමුවෙලා නෑනේ...” යැයි කීවේය. 
මම ද ඔහුට අතට අත දී කතා කළේ මෙවැනි හමුවීම් මට අමුත්තක් නොවන නිසාය.

“මම මිස්ව හමුවන්න ආවේ ලොකු උවමනාවකට. අපේ අයියගේ දරුවෙක් ඉන්නවා මෙහේ රූපලාවන්‍ය පාඨමාලාවකට ඉල්ලුම් කරලා. එයා කියනවා පාඨමාලාවට ලොකු තරගයක් තියනවා, නම දාගන්න හරි අමාරුයි කියලා. මම එක පාරටම කිව්වා මගේ යාළුවෙක් ඉන්නවා... කියලා බලන්නම් කියා. පොඩි උදව්වක් ගන්න බලන්නයි මම ආවේ...”

“ම්... බලමු ඕක කරන මිස් එක්ක කතාකරලා.... බැරිවෙන එකක් නෑ...” මම කීවෙමි.
ඒ සිදුවීමත් සමඟ ඇතිවූ දැනහැඳුනුම්කමට හුග කලක් ගතව ගියේය. ඔහු නිතර නිතර දුරකථනයට කතා කළේය. සමහර දිනවල රාත්‍රියේ පාළු කපන්නට මෙන් කතා කරන අවස්ථාවලදී මම මගහැරියත් අන් සෑම විටකදීම විජිත මට අනෙක් මිතුරන් මෙන් කුළුපග මිතුරකු විය...

එහෙත් ඔහුගේ කතාබහ යම් යම් සීමාවන් ඉක්මවා යන බව මට හැඟෙන්නට වූයේ මීට මාස දෙක තුනක සිටය. ඔහු එන්නේ වැරදි පොටකට බව හැඟුණු මම විස්තරය මගේ සැමියාට කීවෙමි. සැමියා කීවේ එබඳු පුද්ගලයන් එකපාර තරහ කර නොගෙන උපක්‍රමශීලීව මගහරින ලෙසටය... පළමුව ඔහු මාව හමුවන්නට කාර්යාලයට ඒම නවත්වා ගන්නැයි සැමියා කීවේය...  මම ඔහුට එය ඉතා කාරුණිකව දැනුම් දුන්නේ මම විවාහකව දරුවන් ද සිටින අම්මා කෙනකු බව වටහා දෙමිනි.

ඔහු එය ගණනකට නොගෙන දිගටම කතාකරන්නට වූ තැන මම දුරකථන අංකය මාරුකර ඉන් ගැලවෙන්නට උත්සාහ කළෙමි. එහෙත් ඔහු මා හමුවන්නට කාර්යාලයට එන්නට වීම නතර කළේ නැත.

බැරිම තැන මම කාර්යාලයේ ගේට්ටුවටද දැනුම් දුන්නෙමි... ඒ පුද්ගලයා කිසිම විටෙක ඇතුළට නො එවන්නට වග බලාගන්නැයි මම ගේට්ටුවේ ආරක්‍ෂක අංශයට පැවසීමි...

ප්‍රශ්නය ඔය අයුරින් යටපත් වී දින කිහිපයක් ගතව යද්දී මා සිතුවේ එම ප්‍රශ්නය එතනින් ඉවරවේය කියාය...
අද උදේ කාර්යාලයේ වැඩ රාජකාරි අධික විය. තරප්පු නගිමින් බසිමින් එහාට මෙහාට වැඩ රාජකාරි නිසා ඇවිදගිය මගේ සෙරෙප්පු පටියක් ගැලවී ගියේය...

“මේ ඇවිදිල්ල දැන් සපත්තුවලට ඔරොත්තු දෙන්නේ නැහැ. අලුතෙන් අරගෙන දවස් කීයද දැම්මේ. දැන් මෙන්න පටියක් ගැලවිලා ගියා...” මා මිතුරිය ප්‍රියංකාට එසේ කී මම සෙරෙප්පුව ගලවා දැමුවෙමි. 

“ඕක අර මදන්ට දීල අලවන් එන්නකෝ. ඌ අපිට වගේ නෙවෙයිනේ. ඔයා දැක්ක ගමන් කරල දෙනවනේ.”
“ඔව්... ඌ මගේ හොර මිනිහනේ මාව දැකපු ගමන් කරල දෙන්න...” මම කීවෙමි.

“කතාව තියෙද්දි පලයන්. ඕක අලවන් වරෙන් උත්සවයට කලින්...”
මම සෙරෙප්පුව අතට ගෙන මදන් ළඟට ගියේ එය ඉක්මණින් අලවා ගන්නටය. කීවාසේ මදන් සෙසු වැඩ පසෙක තබා මගේ සෙරෙප්පුව අතට ගත්තේය.

“නෝනා... මේක අලුත් වුණාට පටිය දිරලා. අලුත් පටියක් දමමු...”

“වෙලා යයි ද මදන්...?”

“විනාඩි දෙකෙන් මහලා දෙන්නම්...”

එසේ කී මදන් හම් කෑල්ලක් ගෙන ඉන් සීරුවට පටියක් කපන්නට විය. පිහිය නොකැපුණ බැවින් ඔහු ඇමරි ගල අතට ගෙන පරිස්සමින් පිහිය මුවහත් කරන්නට විය... මම ඒ දෙස බලා සිටියෙමි...

“හිතුවද මාව මග හරින්න.... අද අහුවුණා හොරා අතටම....”

මගේ කණ ළඟින්ම ඇසුණු ගැඹුරු කඩහඬින් තිගැස්සී ගිය මම හැරී පසුපස බැලුවෙමි. විජිත ගල් කණුවක් මෙන් මා ඉදිරියේ හිටගෙන සිටියි. ඔහු වැරින් මගේ අත අල්ලා ගත්තේය.

“විජිත... කරුණාකරල මගේ අත අතඅරින්න. මේක මහ පාර. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න...” 

“අනේ කරුණා කරල අනුත්තරා මාව තේරුම් ගන්න. මාව මගහරින්න එපා. කෑගහන්න එපා. මම කියන දේ ටිකක් අහන්න..”

“මට උවමනා නැහැ තමුසෙගේ කතා අහන්න. කරුණා කරල මගේ අත අතඅරිනවා... නැත්නම් මම කෑගහනවා...”
මම අත අතහරවා ගන්නට දුබල උත්සාහයක් ගත්තත් ඔහු ඔහුගේ ග්‍රහණය තව තවත් වැඩි කළේය. ඔහුගේ අනිත් අතින් මාව තරයේ අල්ලා ඔහුගේ පපුවට හිරකර ගනිද්දී මම ඔහුගෙන් ගැලවෙන්නට පොර බදන්නට වීමි.

සියල්ල සිදුවන්නට විනාඩියකට දෙකකට වඩා කල්ගතව ගියේ නැත. මදන් අත වූ පිහි තලය සමග ඔහු නැගී සිටියේය. පිහි තලය වූ මදන්ගේ අත විජිතගේ උදරය හරහා දෙතුන් පාරක් එහා මෙහො යනු මම දුටුවේය. එක පොදියට මදනුත් විජිතත් පේම්මන්ට් එකේ පොරබදන්නට වූහ. සෙනග වටවූහ. පාරේ උන් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ මදන්ව අත්අඩංගුවට ගත්තේය. විජිත ලේ බේරෙන තුවාල සහිතව වහාම වාහනයකින් රෝහල වෙත රැගෙන යනු පෙනිණි.

කිසිවෙක් විජිතත් මාත් අතර සිදුවූ කලබැගෑනිය දුටුවේ නැත. සියල්ලෝම දුටුවේ පාරේ සපත්තු මහන මදන් පාරේ ගිය මහත්තයකුට පිහියෙන් ඇනගෙන ඇනගෙන ගිය සිදුවීමක් පමණි...

ටොක් ටොක් ටොක් ටොක් ටොක් ටොක් යනුවෙන් ඈත සිට ඇසුණු කාගේදෝ අඩි සද්දය ලං ලංව ඇසී මා ළඟ නතර වූයේය.

“ආ... මෙයාද මේ අර මිනීමරු දෙමළව බේරගන්න ආවයි කියන ලෝයර්... හරි. බලමුකෝ බේරගන්න විදිය...”

මම හිස නගා ඒ කටහඬ නික්මුණ මුහුණ දෙස බැලුවෙමි. ඩෙනිම් කලිසමක් හා ටීෂර්ටයක් ඇදගත් තරමක් රූමත් උස මහත කාන්තාවක් මා ඉදිරියේ සිටගෙන සිටියි...

“මොකක්ද තමුසෙට තියන රුදාව ඌ වෙනුවෙන් උත්තර බඳින්න. මම මේ ඉස්පිරිතාලෙ ඉඳල තමුසෙ බලන්නමයි ආවේ. තමුසෙ දන්නවද ඌ මගේ මහත්තයගේ බඩේ හතර පලක් පිහියෙන් කපලා. මැහුම් 38 ක් ගහලා... ඌව බේරගන්න හිතනවද...”

“මේ... සමදරා මිස්... මෙතන ගෝරනාඩු කරන්න ඕන නැහැ. ඒ මිස් ඇවිත් තියෙන්නේ සිද්ධිය ගැන ඕ. අයි. සී. මහත්තයාට හෝඩුවාවක් කියන්න මිස ඇකියුස් බේරගන්න නොවෙයි. සමදරා මිස් කලබල නොවී ඉන්න..”
මගේ ඉහින් කණින් දාඩිය ගලන්නට විය. විජිතගේ බිරිඳ යැයි කී කාන්තාව මා ඉදිරියේ කළ තරවටුවෙන් මාව මුදවා ගත්තේ පැමිණිලි මේසයේ සිටි වියපත් රාලහාමිය. 

“අන්න මිස් ඕ. අයි. සී. මහත්තයා ආවා. ගිහින් මුණගැහෙන්න.”
මට නැගී සිටින්නට ශක්තියක් නැත. තවමත් විජිතගේ බිරිඳ අපායේ යමපල්ලෙකු මෙන් මා දෙස බලා සිටිනවා මට දැනෙයි. මම මහත් ආයාසයෙන් නැගී සිටියෙමි. අමාරුවෙන් දෙපා තබමින් මම ‘ස්ථානාධිපති’ යනුවෙන් නම් කර තිබූ කාමරය වෙත යන්නට උත්සාහ කළෙමි... 

“ඕ. අයි. සී. ට කියල මොනව කරන්නද...? අරූව බේරගන්නද.? බලමුකෝ කියල කරන හැටි. මම ඊටත් උඩට කේස් එක ගෙනිහිල්ලයි තියෙන්නේ... ඕවා මෙයාට කියල වැඩක්වෙන්නේ නැහැ...”
මට පිටුපසින් ගොරෝසු අමිහිරි කටහඬකින් ඇසුණු ගෝරනාඩුවක් ලෙස එවදන් ඇසෙන අතරේ මම මහත් වෑයමින් කාමරයට ඇතුළු වීමි...

මගේ හිස කරකැවෙන්නාක් මෙන්ය. කණ් ඇතුළේ කුමක්දෝ හෝ හෝ ගානා ශබ්දයක් රැව් පිළිරැව් දෙයි. දෑස් අදුරු වෙමින් යන සෙයක් දැනෙයි...

“ඇයි මිස් මොකක්ද ප්‍රශ්නය.. එන්න... මේ පුටුවෙන් වාඩිවෙන්න...”

කරුණික හඩකින් එසේ කී ඉහළ නිලධාරියා මා මහත් අපහසුවෙන් පසුවන බව දැක මේසය වටෙන් පැමිණ මට පුටුවක වාඩිවෙන්නට උදව් කළේය...

“මිස්ට මොකක් හරි අපහසුවක්...”

“ඔව්... කරුණාකරල මට වතුර ටිකක් දෙන්න බොන්න...” මම අපහසුවෙන් ඒ ටික කියා ගත්තෙමි... මා අප්‍රාණිකව පුටුවේ ඇන්ද මත හේත්තු වූවා යාන්තමින් මතකය...

නිමි.

What's Your Reaction?

Like Like 3
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0