මේ නීති ගේන්නේ දරුවෝ හදන්න නෙවෙයි...මකන්න.
සංස්කෘතියක් සභ්‍යත්වයක් සදාචාරයක් කිසිත් නැති ඇතැම් යුරෝපීය රටවල නීති රීති හා අනපනත් අපි වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් පාඩමකට හෝ ආදර්ශයකට ගත යුතු නැති බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධර්ම නාහිමියෝ පහුගිය ඉරිදා (05) පවසනු ලැබූහ.
දරුවන්ගේ වරදකට දඬුවම් කරන අම්මල තාත්තලා ගුරුවරු හිරේ යවනවා නම් එදායින් පස්සේ මේ රට කම්මුතුයි...
මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමි.
ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරත්න හිමියෝ උන්වහන්සේ බැහැදකින්නට මහනුවර මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේ අනුනායක හිමියෝ මෙසේ තම අදහස පළ කර සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු හා වගකිවයුතු මැති ඇමතිවරු වයස අවුරුදු 16න් පසුව මේ රටේ දරුවන්ට නිදහසේ ඕනෑම තීන්දුවක් තීරණයක් ගත හැකි ආකාරයට මේ රටේ නීති සකස් කළ යුතු යැයි කරන ලද අදහසකට ප්‍රතිචාර දක්වමිනි.
දරුවන් ස්වභාවයෙන්ම නොදැනුවත්කම හා අඩු අත්දැකීම් නිසා වැරදිවලට පෙළඹෙන බව පෙන්වා දුන් උන්වහන්සේ එවන් දරුවන් එම වරදින් මුදවාගෙන සුමගට යොමු කිරීමට අයිතිය හා හැකියාව ඇත්තේ එම දෙමව්පියන්ට වැඩිහිටියන්ට හා ගුරුවරුන්ට බව දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පෙන්වා දුන්හ. අනාධිමත් කාලයක සිට අපේ දරු සම්පත වෙත එවන් මාර්ගෝපදේශනයක් සැලසූ "වැඩිහිටි පරම්පරාව" නීතිරීති අනපනත් මගින් දුර්මුඛ කරන්නට මේ රජය නීතිමය ප්‍රතිපාදන සැලසුවහොත් රටේ අනාගත පරම්පරාව බරපතල ව්‍යසනයකට මුහුණ පානා බව කී උන්වහන්සේ ජනාධිපතිතුමන් නම් "ගමේ හැදුනු, ගමේ සංස්කෘතිය හා සාරධර්ම ගුණසුවද දන්නා" කෙනකු බැවින් රජයේ යම් යම් කුමන්ත්‍රණකාරී බලවේග වලට එවන් අකටයුත්තක් කරන්නට ඉඩ නොතබනු ඇතැයි විශ්වාසය පළ කළහ.
"මෙච්චර කාලයක් මේ රටේ දරුවෝ රටට ජාතියට සංස්කෘතියට ආගමට දහමට ලැදිව ඉගෙන ගත්තා. හැබැයි මේ විදියට නීතිරීති අණපතක් සම්මත වෙන්න ගත්තොත්, දණ්ඩ නීති සංග්‍රහයට පවා නීති ඇතුළත් කළහොත් දරුවෙකුට වැරැද්දක් පෙන්නල දෙන්න අපි කාටවත් පුළුවන් වෙන එකක් නෑ. ළමයි වැරදි කරනවා. ඒ තමයි ළමාකම. ළමයින්ට වැරදි නොකර හරි මාර්ගයේ යන්න පෙන්නලා දෙන එක තමයි ගුරුවරුන්ගේ, වැඩිහිටියන්ගේ, ආගම ධර්මයේ යුතුකම හා වගකීම. හැබැයි මේ කියන විදියට ගියොත් අපට ඒ ටික රටේ දරු පරපුර වෙනුවෙන් කරගන්න බැරිවෙනවා.
මේ පනත මේ විදිහට සම්මත වුණොත් ඒක තමයි මේ රටේ විනාශය. සභ්‍යත්වය සංස්කෘතිය ගැන, අම්මා අප්පා ගැන තැකීමක් නොකරන ඇතැම් යුරෝපීය රටවල නීති නීති අණපනත් ඉහ මුදුනින් පිළිගන්න පිරිසක් මේ ආණ්ඩුවල ඉන්නවා. ඒගොල්ලෝ ඒ අදහස් නීති රීති හැටියට අපේ රටට අඳුන්වලා දෙන්න පරපතළ කුමන්ත්‍රණයක ඉන්නවා. ඒවා අපේ රටට අවශ්‍යද කියන ගැටළුව අපි සාකච්ඡා කරන්න ඕන. බැරිවෙලාවත් ඕව අපේ රටේ නීති බවට පත්වුණොත් ළමයෙකුට උගන්වන්න හම්බවෙන්නේ නැහැ. ළමයා මොන තරාතිරමේ වැඩ කෙරුවත් කරබාගෙන ඉන්න විශේෂයෙන්ම ගුරුවරුන්ට සිදුවෙනවා.
දැන් දැන් මේ නීති රීති ගැන ආරංචි වෙලාදෝ සමහර පළාත්වල ළමයි ගුරුවරුන්ට උසුළු විසුලු කරන්න පටන් අරන් තියෙනවා. මින් පස්සෙ අපිට බලපෑම් කරන්න එන්න එපා කියලා. ළමයි මත්පැන් බීලා ආවත් මදන මෝදකේ සාක්කුවේ දාන් ඇවිල්ලා ඉස්කෝලේ කෑවත් ගුරුවරුන්ට මුකුත් කරන්න බැරි වෙනවා.
වැරදි වැඩ කරන ළමයින්ට තරුවටු කරන්න, දඬුවම් කරන්න ගිහිල්ලා කවුද ලක්ෂ ගණන් දඩ ගෙවන්න, හිරේ විලංගුවේ වැටෙන්න කැමති ගුරුවරුන්. මමත් අවුරුදු ගානක් ගුරු වෘත්තිය කළා. අපෙන් ඉගෙන ගත්ත දරුවන් අදටත් අපිව දුටු දුටු තැනදී වැඳ වැටෙනවා. අපිට අසාමාන්‍ය ලෙස ගෞරව කරනවා. අපිත් වරදට තරවටු කරලා තමයි ඒ ළමයින්ට ඉගැන්නුවේ. ඒවායින් ඒ ළමයින්ට වරදක් වෙලා නෑ. එයින් බහුතරයක් අද ඉන්නේ ඉහළ තැන්වල. අපි ඉගෙන ගත්තෙත් ඒ විදියට තමයි. අපෙත් ගුරුවරු අපිට තරවටු කළා යහමගට ගන්න. එහෙම නැතුව දරුවන් යහමග යවන්න බෑ. "
එසේ කරුණු කාරණා පෙන්වා දෙමින් දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමියෝ පෙන්වා දුන්නේ පාසල් සමාජය තුළ විනය පවත්වා ගැනීමට අවශ්‍ය ‘‘ප්‍රායෝගික දණ්ඩනයන් වැළැක්වීමට’ ගන්නා මේ කූඨ උත්සාහය පසුපස ඉන්නා පිරිස්, එයින් අපේක්ෂා කරන්නේ කුමක්දැයි තමන් වහන්සේට නොවැටහෙන බවය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

