විද්‍යාගාරයේ සාක්ෂිවල බරපතළ දුර්වලතා රැසක්.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් (හියුමන් ඉමියුනොග්ලොබියුලින්) සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දෙමින් රුපියල් කෝටි 14 කට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා 14 කට එරෙහිව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයේදී, සාක්ෂි පාර්ශ්වයේ සහ ජාතික ඖෂධ තත්ත්වාරක්ෂක විද්‍යාගාරයේ ක්‍රියාපටිපාටික දුර්වලතා රැසක් විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ නිරාවරණය වී තිබේ.
2026 අගෝස්තු මස 05 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය.
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුව
විද්‍යාගාරයේ සාක්ෂිවල
බරපතළ දුර්වලතා රැසක්..
අධිතරණ වාර්තාකරු
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් (හියුමන් ඉමියුනොග්ලොබියුලින්) සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දෙමින් රුපියල් කෝටි 14 කට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා 14 කට එරෙහිව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයේදී, සාක්ෂි පාර්ශ්වයේ සහ ජාතික ඖෂධ තත්ත්වාරක්ෂක විද්‍යාගාරයේ ක්‍රියාපටිපාටික දුර්වලතා රැසක් විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ නිරාවරණය වී තිබේ.
කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඬුල්ල හමුවේ විභාග වූ මෙම නඩුවේදී, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ජාතික ඖෂධ තත්ත්වාරක්ෂක විද්‍යාගාරයේ හිටපු වැඩ බලන අධ්‍යක්‍ෂිකා ද්‍රෝන දීපිකා බුලත්සිංහල මහත්මිය ලබා දුන් සාක්ෂි විත්තියේ නීතිඥ හරේන්ද්‍ර බානගල මහතාගේ දැඩි හරස් ප්‍රශ්න කිරීම්වලට ලක් විය.
එහිදී අනාවරණය වූ කරුණු අනුව, රසායනාගාරයේ පාලනය, ඖෂධ සාම්පල භාරගැනීම, පරිපාලනය සහ විද්‍යාත්මක පරීක්ෂණ පවත්වාගෙන යාමේ ක්‍රමවේදයන්හි පැහැදිලි හිඩැස් සහ නීතිමය දුර්වලතා රැසක් හඳුනාගත හැකිය.
සාම්පල භාරගැනීමේ සහ ලියාපදිංචි කිරීමේ දැඩි ප්‍රමාදය
නඩුවට අදාළව නිරීක්ෂණය වූ ප්‍රධානතම දුර්වලතාවයක් වන්නේ අතිශය සංවේදී ඖෂධ සාම්පල භාරගැනීමෙන් පසුව ඒවා ලියාපදිංචි කිරීම සහ විශ්ලේෂණය ආරම්භ කිරීම අතර පැවති දීර්ඝ කාල ප්‍රමාදයයි. 2023 අගෝස්තු 22 වන දින භාරගත් සාම්පල ලියාපදිංචි කර ඇත්තේ දින 9 කට පසුව, එනම් සැප්තැම්බර් 01 වන දිනයි. එතෙක් කිසිදු රාජකාරිමය පියවරක් ගෙන නොමැති අතර, එහි විශ්ලේෂණ කටයුතු ආරම්භ කර ඇත්තේ නොවැම්බර් 09 වන දින ය. එසේම, ඔක්තෝබර් 10 වන දින ලැබුණු සාම්පල 90 ක ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමට ඔක්තෝබර් 27 වන දින දක්වා දින 17 ක් ගතවී තිබේ. සේවක හිඟය ඊට හේතුව ලෙස දක්වනු ලැබුවද, නීතිමය ක්‍රියාමාර්ගයකට අදාළ නඩු භාණ්ඩයක් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රමාදයක් සිදු වීම සාක්ෂිවල සුරක්ෂිතභාවයට බලපෑම් එල්ල කරයි.
අධිකරණ නීතියට අනුව, නඩුවකට අදාළ සාක්ෂියක් (ඖෂධ සාම්පලයක්) අත්අඩංගුවට ගත් මොහොතේ සිට අධිකරණයට හෝ පරීක්ෂණාගාරයට ඉදිරිපත් කරන තෙක් පැවති ආකාරය සහ එය හුවමාරු වූයේ කා අතරද යන්න (Chain of Custody) නිසැකවම තහවුරු කළ යුතුය.
සාම්පල භාරදුන්නේ කවුරුන්ද, භාරගත්තේ කවර වේලාවකද යන්න සටහන් නොකිරීම, හඳුනාගැනීමේ අංක හෝ රහස් සලකුණු යොදා නොතිබීම සහ දින 9 සිට 17 දක්වා කාලයක් ලියාපදිංචි නොකර තැබීම නිසා, පරීක්ෂාවට ලක්වූ සාම්පල අදාළ චූදිතයන්ගෙන් ලබාගත් ඒවාමද නැතහොත් වෙනස් වූ (tampered) ඒවාද යන්න සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී තිබේද යනු ගැටලුවකි.
සාම්පලවල සුරක්ෂිතතාව සහ උෂ්ණත්ව පාලනය පිළිබඳ සාක්ෂි නොමැති වීම
සීතකරණ උෂ්ණත්වයේ (සෙන්ටිග්‍රේඩ් අංශක 2-8) තැන්පත් කළ යුතු ඖෂධ සාම්පල සම්බන්ධයෙන් විද්‍යාගාරය නිසි උෂ්ණත්ව දත්ත සටහන් (Data Loggers) පවත්වාගෙන ගොස් නැත. අයිස් පැක් සමඟ පැමිණි සාම්පල පිළිබඳව හෝ ඒවා ගෙන ආ තැනැත්තා, වේලාව, සහ තැන්පත් කළ ආකාරය ගැන කිසිදු ලිඛිත සටහනක් තබා නොතිබීම කැපී පෙනෙන අතපසුවීමකි. උෂ්ණත්වය නිසි ලෙස පාලනය වූ බවට හෝ වාතාශ්‍රය හරහා බැක්ටීරියා ආසාදනය නොවූ බවට විද්‍යාත්මක හෝ ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට සාක්ෂිකාරිය අසමත් වූවාය.
ඖෂධීය එන්නත් යනු උෂ්ණත්ව වෙනස්වීම් සහ පරිසර තත්ත්ව හමුවේ පහසුවෙන් වෙනස් වන හෝ නරක් වන ද්‍රව්‍යයන්ය. ඖෂධ ගබඩා කර තිබූ ශීතකරණවල උෂ්ණත්වය දිගින් දිගටම නිසි ලෙස පාලනය වූ බව තහවුරු කිරීමට දත්ත සටහන් (Data Loggers) නොමැත. අයිස් පැක් සමඟ ස්පර්ශ වීම හෝ කාමර උෂ්ණත්වයට නිරාවරණය වීම නිසා ඖෂධවල තත්ත්වය වෙනස් වීමටත්, බැක්ටීරියා වර්ධනය වීමටත් ඉඩ තිබේ. එම නිසා ඖෂධවල තිබූ බැක්ටීරියා හෝ වෙනස්කම් නිෂ්පාදනයේ වරදක් නොව, රසායනාගාරයේ ගබඩා කිරීමේ සහ ප්‍රවාහනයේ වරදක් නිසා සිදු වූවක් විය හැකිය.
සාම්පල භාරදුන් සහ භාරගත් තැනැත්තන් හඳුනාගැනීමේ කේත නොමැති වීම
රසායනාගාරයට ලැබුණු සාම්පල සඳහා නිසි හඳුනාගැනීමේ කේතයක් හෝ විශේෂ සලකුණක් යොදන්නේ නැති බව සාක්ෂිකාරිය පිළිගත්තාය. තවද, සාම්පල රසායනාගාරයට භාර දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව කිසිදු සටහනක් නොතැබීම නිසා නඩු භාණ්ඩ පවතින තත්ත්වයෙන්ම සුරක්ෂිතව පැවති බවට (Chain of Custody) තහවුරු කිරීමට තිබූ ඉඩකඩ ඇහිරී යයි.
ආයතනික සහ නියාමන තත්ත්ව සහතික නොමැති වීම
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඖෂධ පරීක්ෂා කිරීමේ බලලත් එකම රාජ්‍ය ආයතනය වන ජාතික ඖෂධ තත්ත්වාරක්ෂක විද්‍යාගාරයට, තම රසායනාගාරය නියාමනය කිරීමේ හෝ ප්‍රමිතිය තහවුරු කිරීමේ නිල සහතිකයක් (Accreditation) නොමැති බව සාක්ෂිකාරිය හෙළි කළාය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මඟින් පවා සුදුසුකම් නම් කර නොමැති පසුබිමක, මෙම විද්‍යාගාරයෙන් ලබාදෙන වාර්තාවල නීතිමය සහ විද්‍යාත්මක විශ්වසනීයත්වය පිළිබඳව ප්‍රශ්න මතුවේ.
සාක්ෂිකාරියගේ මතකය සහ තොරතුරු නොදැනුවත්කම
අතීතයේ කමිටුවලට සහභාගී වූ අවස්ථා, CID එකට ප්‍රකාශ ලබාදුන් ඇතැම් ඖෂධ පිළිබඳ විස්තර, මෙන්ම රට තුළ වෛද්‍ය
රසායනාගාර නියාමනය සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව තමාට දැනුමක් නැති බව සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය. එසේම ඇතැම් ඖෂධ ගෙන ආවේ කවුරුන්ද යන්න සහ නඩු කටයුතුවලදී සාක්ෂි දුන්නේද යන්න පිළිබඳව ඇය සතුව පැහැදිලි මතකයක් නොතිබීමද විත්තියට වාසිදායක තත්ත්වයකි.
මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී, අතිශය සංවේදී සහ බරපතළ රාජ්‍ය මුදල් වංචාවක් සම්බන්ධ නඩු විභාගයකදී, රාජ්‍ය පාර්ශ්වයේ ප්‍රධාන සාක්ෂි මෙහෙයවන ආයතනයක් ලෙස ජාතික ඖෂධ තත්ත්වාරක්ෂක විද්‍යාගාරය දැක්වූ අලස සහ ප්‍රමිතියෙන් තොර ක්‍රියාකලාපය විත්තිය විසින් මනාව ඉස්මතු කර ඇත.
අධිකරණය හමුවේ සාක්ෂි දෙන ප්‍රධාන සාක්ෂිකරුගේ සාක්ෂිය පැහැදිලි සහ ස්ථිර විය යුතුය. නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය වන හිටපු වැඩබලන අධ්‍යක්ෂිකාව, සාම්පල ලැබුණු ආකාරය, ඒවා ප්‍රවාහනය කළ ආකාරය, පරිපාලන තීරණ ගත් ආකාරය සහ අතීත සිදුවීම් පිළිබඳව "මතක නැත" හෝ "දැනුමක් නැත" යනුවෙන් ප්‍රකාශ කිරීම නිසා ඇගේ සාක්ෂියේ ස්ථාවර භාවය ගිලිහී යයි.
අත්‍යාවශ්‍ය විත්තිකරුවෙකුගේ නොවැලැක්විය හැකි හේතුවක් සහ අධිකරණ නිවාඩු දින යෙදීම හේතුවෙන් කල්ගිය මෙම නඩු විභාගය, නැවත අගෝස්තු 17 වනදා කැඳවීමට නියමිතය.
2026 අගෝස්තු මස 05 වැනිදා
සම්පූර්ණ නඩු වාර්තාව.
ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දීම සහ රුපියල් කෝටි 14 කට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී පසුගිය 05 වනදා යළි විභාගයට ගැනිණි. ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි.
එම දිකයේත් සාක්ෂි විභාගය සඳහා කැඳවා තිබුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ජාතික ඖෂධ තත්ත්වාරක්ෂක විද්‍යාගාරයේ හිටපු වැඩ බලන අධ්‍යක්‍ෂිකා ද්‍රෝන දීපිකා බුලත්සිංහල මහත්මියයි.
(පළමුව චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල විත්තයේ හරස් ප්‍රශ්න ආරම්භ කළේය. එහිදී නීතිඥවරයාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය මෙසේද කීවාය.)
විත්තියේ නීතිඥ: අධ්‍යක්ෂක ධුරයට පෙර සම්බන්ධ වුණේ නැද්ද?
සාක්ෂිකාරිය: සමහර වෙලාවට අධ්‍යක්ෂක නිර්දේශ මත මාගේ දැනුම අවශ්‍ය වූ වෙලාවට හෝ සාම්පල් ගැන තොරතුරු අවශ්‍ය වෙලාවට මම කමිටුවට ගිහින් තොරතුරු දුන්නා.
විත්තියේ නීතිඥ: එහෙම ගිහින් කමිටුවට තොරතුරු දුන් අවස්ථා මතකද?
සාක්ෂිකාරිය: මතක නෑ ස්වාමීනී.
විත්තියේ නීතිඥ: එක වතාවකට වඩා සහභාගී වුනාද කියා මතකද?
සාක්ෂිකාරිය : නැහැ.
විත්තියේ නීතිඥ: ඔබ මූලික සාක්ෂි දෙද්දී කිව්වා. ඇහැගිලැක්සින් උග්‍ර ආසාදිත තත්ත්වයක් කියලා.
සාක්ෂිකාරිය : ඔව් මම කිව්වා ඒ ගැන වෛද්‍යවරයෙකුගෙන් ඇසිය යුතුයි කියලා.
විත්තියේ නීතිඥ: එය උග්‍ර සංකූලතාවයක්ද සාමාන්‍ය එකක්ද?
සාක්ෂිකාරිය : දෙකෙන් එකක් විය හැකියි.
විත්තියේ නීතිඥ: මොකක්ද ඒ තත්ත්ව දෙක
සාක්ෂිකාරිය: සමහර අසාත්මිකතාවලින් රෝගීන් මිය යනවා. තවත් අවස්ථාවල අසාත්මිකතා ඇතිවී රෝගී වෙනවා.
විත්තියේ නීතිඥ: එහෙමනම් NMRA හි කමිටුව තීරණය ගන්නේ “ඇනෆිලැක්සින්” තත්ත්ව ගැන විය හැකියි.
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.
විත්තියේ නීතිඥ: ඔබ කිව්වා 2023 වසරේදී ඔබේ විද්‍යාගාරයට විශාල වශයෙන් පැමිණිලි ගලා ආවා කියලා. එම පැමිණිලි ආවේ විද්‍යාගාරයටද? NMRA එකටද?
සාක්ෂිකාරිය : දෙකටම ස්වාමීනි.
විත්තියේ නීතිඥ : ඒ ගැන පරීක්ෂණ කිරීම් නිරීක්ෂණය කළ අවස්ථා මතකද?
සාක්ෂිකාරිය : පවතින සම්පත් සමග එම පරීක්‍ෂණය කළා.
විත්තියේ නීතිඥ : ඔබ කිව්වා ඇස් වලට හානි කළ ඖෂධයක් ගැන. මෙහි තිබෙන්නේ NMRA ආයතනය තොරතුරු නිලධාරි ඉදිරිපත් කළ වාර්තාවක්. මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් එකක්. එහි ඉහල සිට පහළට දෙවන ඡේදයට අවධානය යොමු කරන්න. එහි සඳහන් වෙනවා ඉන්දියානු සමාගමක් ගැන. එම සමාගම ලංකාවේ ඖෂධ පද්ධතියට ඖෂධ ලබා දීම ගැන මෙම ලිපියේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් දී ඇති බවත් සදහන්.
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.
විත්තියේ නීතිඥ : NMRA තොරතුරු අනුව අසාත්මිකතා ගණන 19ක්. මරණ සිදුවී නැහැ. ඇනෆිලැක්සින් තත්ත්ව 2ක් තිබෙනවා.
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී
විත්තියේ නීතිඥ : ඇනෆිලැක්සින් තත්ත්වයෙන් රෝගී සිටිනවා නම් ඒ ගැන තොරතුරු වාර්තා වුණාම එම තොරතුරු වාර්තා වීම සාමාන්‍ය තත්ත්වයක්ද?
සාක්ෂිකාරිය ; වාර්තා වෙනවා නම් සාම්පල් සමඟ වාර්තා වෙන්නේ.
විත්තියේ නීතිඥ : මොන වගේ තැන්වලින්ද වාර්තා වියය හැක්කේ.
සාක්ෂිකාරිය: රෝහල් හෝ වෛද්‍ය සැපයුම් ආයතනවලින්.
විත්තියේ නීතිඥ : ඔබ අධ්‍යක්ෂක ධූරය දැරූ සාම්පල් එක්ක ලැබුණද කියන්න.
සාක්ෂිකාරිය: නිර්දේශ වුණොත් ලබා දෙනවා.
විත්තියේ නීතිඥ : කවුද නිර්දේශ කරන්නේ
සාක්ෂිකාරිය: රෝහල් මගින්.NMRA කමිටුවත් වාර්තා වෙනවා. එහෙම වුණාම රසායනාගාරයට යොමු කරනවා.
විත්තියේ නීතිඥ : එම කොමිටුවේ ඔබ කොපමණ කලක් වැඩකළාද?
සාක්ෂිකාරිය: 2023 ජනවාරි සිට 2024 සැප්තැම්බර් දක්වා රාජකාරී කළා.
විත්තියේ නීතිඥ : රසායනාගාරයේ පරීක්ෂා කළා මතකද ඇයි වාර්තා කෙබඳුද?
සාක්ෂිකාරිය: එම ඖෂධයන් ජීවාහනුහරිත විය යුතුයි. නමුත් ජීවානුහරිත නොවී තිබු බවත් බැක්ටීරියා පැවැති බවත් අපි සොයාගත්තා.
විත්තියේ නීතිඥ : ඒ ගැන CID එකට ප්‍රකාශ දුන්නාද?
සාක්ෂිකාරිය: මතක හැටියට ඔව්.
විත්තියේ නීතිඥ : නඩු කටයුත්තේ සාක්ෂි දුන්නද?
සාක්ෂිකාරිය: නැහැ.
විත්තියේ නීතිඥ : කවුරු හෝ අත්අඩංගුවට පත්වුණාද?
සාක්ෂිකාරිය: දන්නෑ ස්වාමීනී.
විත්තියේ නීතිඥ : ඖෂධයේ නම මතකද?
සාක්ෂිකාරිය: පේඩ්‍රිසිලෝන් අයිඩ්‍රොප්.
විත්තියේ නීතිඥ : කවුද ගෙනාවේ
සාක්ෂිකාරිය: මතකයක් නැහැ.
විත්තියේ නීතිඥ : රාජකාරි කරද්දී මහාචාර්ය එස්. ඩී ජයරත්න සමග වැඩ කළාද?
සාක්ෂිකාරිය: ඔව්.
විත්තියේ නීතිඥ : කොපමණ කාලයක් ඔහු සමග වැඩ කළාද?
සාක්ෂිකාරිය: මම ඔහුගේ නිල කාලය තුළම ඔහු හා වැඩ කළා.
විත්තියේ නීතිඥ : ඔබට පුළුවන්ද ඔහුගේ නිල මුද්‍රාව හඳුනාගන්න.(මාධ්‍ය නිවේදනයක් පෙන්වයි) මෙම ආවරණ ලිපියට ඔහු අත්සන් කොට තිබෙනවා එය හඳුනාගත හැකිද?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.
විත්තියේ නීතිඥ : මෙම පිටු පහකින් පමණ යුත් මාධ්‍ය නිවේදනය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න. ඒ තුන්වන පේළියේ සඳහන් වෙනවා NMRA 3 වන වගන්තිය යටතේ එකත් ඖෂධයක් කියා. එම ඖෂධය පරීක්ෂාකළාද?
සාක්ෂිකාරිය: ඔව්.
විත්තියේ නීතිඥ : ඔබ කට උත්තර දුන්නද?
සාක්ෂිකාරිය : මට හරියටම මතක නෑ හැබැයි ඒ දවස්වල දිගටම අල්ලස් කොමිසමටයි සී අයිඩී එකටයි ප්‍රකාශ දුන්නා.
විත්තියේ නීතිඥ : මෙහි බිපිවාකේන් හයිඩ්‍රොක්ලෝරික් කියා ඖෂධයක් තියෙනවා ඔබට පේනවාද?
සාක්ෂිකාරිය: ඔව්
විත්තියේ නීතිඥ : එය 2018 ලියාපදිංචි කළ එකක්.
සාක්ෂිකාරිය: මෙම ඖෂධ හේතුවෙන් මාතෘ මරණයක් වාර්තා වුණා කියලා කියනවා.
විත්තියේ නීතිඥ : ඒ ගැන රසායනාගාර පරීක්ෂණයක් කලාද CID ගියාද?
සාක්ෂිකාරිය: ඒ දිනවල CID එකටත් අල්ලස් දූෂණ කොමිසමටත් දිගටම ගියා. මේ ඖෂධයටමද කියල මතක නෑ.
විත්තියේ නීතිඥ : ඒ ලියාපදිංචි කළ ඖෂධයක් බලන්න. 4 වන ඖෂධය මොකක්ද මේ?
සාක්ෂිකාරිය : කො ඇමොක්සික්ලොව් එන්නත
විත්තියේ නීතිඥ : ඇනෆිලැක්සින් තත්ත්වයක් ඇතිකර තිබෙනවා.
සාක්ෂිකාරිය : එය උග්‍ර අසාත්මිකතා ඇති කරන්නක් වූ බව මෙහි සඳහන්.
විත්තියේ නීතිඥ : එහි සඳහන් වෙනවා රෝහල් පහක මරණ තුනක් වාර්තා වී ඇති බව කොහොම එහෙම වුණාද දන්නේ නැහැ. ඊළඟ ඡේදයේ ඔය ගැන පරීක්ෂණයක් කරන්න කියලා WHO කියලා, ඔබලා ඒ කළා කියලා තියෙනවා.
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි අපි මේ ඖෂධය ඕස්ට්‍රේලියානු පරීක්ෂණ ආයතනයකට යවා පරීක්ෂණ වාර්තාවක් ගෙන්වා ගත්තා. ඒකෙ සඳහන් වුණේ අංශු තිබෙන බවයි. එන්නතක් වූ එය දියකළ පසු අංශු තිබිය නොහැකියි.
විත්තියේ නීතිඥ : එහි නඩු කටයුත්තක් වුණා කියලා මතකද?
සාක්ෂිකාරිය : නැහැ ස්වාමීනි.
විත්තියේ නීතිඥ : මෙය ලියාපදිංචි කරපු ඖෂධයක්. එය විශ්ලේෂණය කළාද?
සාක්ෂිකාරිය : ඔව්
විත්තියේ නීතිඥ : මේ අවධානය යොමු කළ ඖෂධ ගැන ඔබේ රසායනාගාරයේ විශ්ලේෂණය කළා.
සාක්ෂිකාරිය: ඔව්
විත්තියේ නීතිඥ : එය WHO නිර්දේශයක්ද?
සාක්ෂිකාරිය: නැහැ
විත්තියේ නීතිඥ : රසායනිකව පවත්වාගෙන යමින් පරීක්ෂා කළ හැකි බව කියන්නේ කෙසේද?
විත්තියේ නීතිඥ : හැම රසායනිකයකටම WHO අනුමැතිය ගත යුතුයි කියලා නැහැ. නමුත් අපි නිවැරදිව පවතින තත්ත්වය යටතේ රසායනාගාර පරීක්ෂණ කරනවා.
විත්තියේ නීතිඥ : රසායනාගාර නියාමනය කරනවද?
සාක්ෂිකාරිය: NMRA වගේ ඒවා නම් නැහැ. එහෙම නියාමනය කරන්න නීතියක් නැහැ. නමුත් අධිකරණ නියෝගවලට රසායනාගාරවලට යනවා. ඒවා පරීක්‍ෂණවලට සුදුසුද කියලා පරීක්ෂාකොට වාර්තා ඉදිරිපත් කර ගනිමින් නිර්දේශ කරනවා.
විත්තියේ නීතිඥ : මම අහන්නේ මේ රටේ වෛද්‍ය රසායනාගාර පරීක්ෂා කරන්නේ නිගමනය කරන්නේ හෝ අවසර ගන්නේ කොහෙන්ද?
සාක්ෂිකාරිය: මට ඒ ගැන දැනීමක් නැහැ.
විත්තියේ නීතිඥ : සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති ඖෂධ පරීක්ෂාවට ඇති එකම ආයතනය හා බලලත් ආයතන ඔබේ ආයතනය නමුත් එයට සහතිකයක් තියේද?
සාක්ෂිකාරිය: නැහැ.
විත්තියේ නීතිඥ : WHO මඟින් සුදුසුකම් කුමක්දැයි නම් කර තිබේද?
සාක්ෂිකාරිය: නැහැ ස්වාමීනී
විත්තියේ නීතිඥ : ඔබට දැනීමක් තියෙනවාද ජාතික ඖෂධ තත්ත්ව රසායනාගාරයේ නිරලත් ආයතනය ලෙස NMRA නම් කර තියෙනවද කියන එක..?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.
විත්තියේ නීතිඥ : ඔබ පරීක්ෂා කරන්නේ අදාල ක්‍රමවේද යටතේ.?
සාක්ෂිකාරිය: මේ ඖෂධ පරීක්ෂා කරන්න වෙනත් ආයතනයක් නෑ වෙන ආයතන වලට අවශ්‍ය නම් පැමිණ පරීක්ෂා කළ හැකියි. උදාහරණයක් විදිහට WHO එකට අවශ්‍ය නම් පැමිණ පරීක්ෂා කළ හැකියි.
විත්තියේ නීතිඥ : ඔබ සලකා බලමින් ඉන්න ලේඛනය අංක 5 ඖෂධය කුමක්ද?
සාක්ෂිකාරිය : සෙෆරික්සෝන් එන්නත
විත්තියේ නීතිඥ : ඒකෙනුත් උග්‍ර අසාත්මිකතා වුණා කියනවා. මෙම ලේඛනය අනුව 2013 සිට ලියාපදිංචි ඖෂධ බලන්න. මෙම ලේඛනය අනුව ඖෂධ පහක් ඉවත් කළ බව NMRA මාධ්‍ය නිවේදනයන් නිකුත් කරමින් කියනවා. ඔබ මේවා පරීක්ෂා කළාද?
සාක්ෂිකාරිය : ඔව්
විත්තියේ නීතිඥ : ඔබෙන් පිරිවිතර ගැන ඇහුවා එවිට ඔබ ෆාමකෝබියා කිහිපයක් ගැන කිව්වා.
සාක්ෂිකාරිය : ඔව්
විත්තියේ නීතිඥ : මූලික සාක්ෂියේදී කිව්වා මුලින්ම සාම්පල් ලැබුණේ 2023 අගෝස්තු 22 දා කියලා.ඒ සාම්පල් ඔබේ ඖෂධාගාරයට එවලා තිබේද?
සාක්ෂිකාරිය : 2023/8/22 අපි බාරගත්තා එවලා තිබුණේ අගෝස්තු 21 දා.
විත්තියේ නීතිඥ : එහි අදාළ පිරිවිතර තියෙනවද
සාක්ෂිකාරිය: ඔව්
විත්තියේ නීතිඥ : මොකක්ද එහි අංකය
සාක්ෂිකාරිය: 00060202
විත්තියේ නීතිඥ : ඊළඟ පිටුව බලන්න ඔබේ රාජකාරී ආයතනය තියෙන්නේ ජාතික රෝහල ආසන්නයේ නමුත් 21දා එවු සාම්පල භාරගත් දිනය අගෝස්තු 22
සාක්ෂිකාරිය: ඔව්
විත්තියේ නීතිඥ : අරගෙන එන්නේ කවදාද?
සාක්ෂිකාරිය: ඒක දන්නෙ බාරගත් ඖෂධ වේදියා
විත්තියේ නීතිඥ : ජාතික රෝහලින් මේක එන්නේ පැ.405 ක් එක්ක. එහි දිනය බලන්න නමුත් ලැබී එකට යන දිනය 8/22
සාක්ෂිකාරිය : ඔව් ස්වාමීනි
විත්තියේ නීතිඥ : 405 /2 කියන ලියුමේ quality of submitted කියන වාක්‍යක් තියෙනවා.
සාක්ෂිකාරිය : ඔව්
විත්තියේ නීතිඥ : මෙම ලේඛනය බාරගත් නිලධාරියා ඖෂධ වහාම ශීතකරණයේ තැන්පත් කළාද නැත්නම් ලේඛන ඔබට ඉදිරිපත් කළු පසුවද තැන්පත් කළේ
සාක්ෂිකාරිය : ඔහු ඒ ශීතකරණයේ දමා ලිය කියවිලි මට භාර දුන්නා. මම සාම්පල් නිරීක්ෂණය කළා.
විත්තියේ නීතිඥ : ශීතකරණයේ තියෙද්දී ඔබ බැලුවේ..?
සාක්ෂිකාරිය : කොල්ඩි පැක් එක සමඟයි තැන්පත් කලේ.
විත්තියේ නීතිඥ : ඔබ සාම්පලයේ දැක්කාද?
සාක්ෂිකාරිය : නැහැ
විත්තියේ නීතිඥ : අරන් ඔය තැනැත්තා ගැන සටහනක් තැබුවාද?
සාක්ෂිකාරිය : නැහැ.
විත්තියේ නීතිඥ : ගෙනාවේ කුමන වෙලාවකද කියලා සටහනක් කළාද?
සාක්ෂිකාරිය : නැහැ
විත්තියේ නීතිඥ : ඔබ ආයතනයේ කවර හෝ සටහනක් තබනවාද සාම්පලය ගෙන ආ තැනැත්තා ගැන?
සාක්ෂිකාරිය : නැහැ අපි සාම්පල් ලැබුණ ගමන් ලියාපදිංචි කරන්නේ නැහැ. ඒවා එන්නේ ශීත ද්‍රාමයේ අපට නිලධාරීන් හිඟයි. අනෙක් රාජකාරී සමඟ කටයුතු කළ යුතු නිසා ලියාපදිංචිය පසුව කරනවා.
විත්තියේ නීතිඥ : ඖෂධ ලැබුණු ගමන් ලියාපදිංචි නොකරන්නේ සේවක හිගය නිසාද?
සාක්ෂිකාරිය : ඔව්.
විත්තියේ නීතිඥ : මේ 2023/8/22 දිනා ඖෂධ ගත් භාරගත් ලේඛනය.8/23 භාරගත් ඖෂධ සාම්පල ලියාපදිංචි කරලා තියෙන්නේ 9/1 දින එනම් දවස් නවයකට පසු ඒ කියන්නේ දින නවයක් තිස්සේ කිසිදු රාජකාරියක් කරේ නැහැ.
සාක්ෂිකාරිය : මා දැනුවත් කළා.
විත්තියේ නීතිඥ : නමුත් ලියාපදිංචියෙන් පසු කිසිවක් කර නැහැ. එතෙක් සාම්පල තිබුණේ කොහේද?
සාක්ෂිකාරිය : ශීතකරණය තුළ
විත්තියේ නීතිඥ : හඳුනා ගැනීමේ කේතයක් හෝ සලකුණක් තිබේද?
සාක්ෂිකාරිය : නැත ස්වාමීනි.
විත්තියේ නීතිඥ : ශීතකරණයයි තිබෙන්නේ සාම්පල ලබාගන්න නිලධාරී මෙම ඖෂධ සාම්පල ගෙනත් තිබෙන්නේ ශීතකරණයේ.
සාක්ෂිකාරිය: ශීතකරණ තුනක් තිබෙනවා.
විත්තියේ නීතිඥ : ශීතකරණය ගැන ලේඛනයේ තිබෙනවාද?
සාක්ෂිකාරිය: ඔව් දින කිහිපයකට වරක් උෂ්ණත්වය රෙකෝඩ් කරනවා.
විත්තියේ නීතිඥ : ඔය රසායනාගාර ශීත කරන හා ඊට අදාලව ලබාගත් ලේඛනය ඔබ සන්තකයේ තිබෙනවාද?
සාක්ෂිකාරිය: නැහැ.
විත්තියේ නීතිඥ : කට උත්තර දෙද්දි ඒ පැත්තක් බාර දුන්නද?
සාක්ෂිකාරිය : නැහැ.
විත්තියේ නීතිඥ : ඔබ පමණයි ශීතකරණය ගැන දන්නේ.
සාක්ෂිකාරිය : නැහැ මගේ ඖෂධ වේදිනුත් දන්නවා. ඒ දිනවල එම සාම්පලය ශීතකරණයමයි තිබුණේ.
විත්තියේ නීතිඥ : කවදද ඒ ජෛව විද්‍යා අංශයට හා රසායනික අංශයට යවලා තියෙන්නේ.
සාක්ෂිකාරිය : සැප්තැම්බර් 6 වැනිදා
විත්තියේ නීතිඥ : දෙවැනි වතාවට සාම්පලයක් යවලා තියෙන්නේ කවදාද?
සාක්ෂිකාරිය : ඔක්තෝබර් 10 වැනිදා
විත්තියේ නීතිඥ : කවුද ඒවා බාරගෙන තිබෙන්නේ.
සාක්ෂිකාරිය : ඉෂානි විසින්
විත්තියේ නීතිඥ : ඔබේ ලේඛනයේ පමණයි තිබෙන්නේ එම නිලධාරීන් සාම්පල් භාරගත් බව.
සාක්ෂිකාරිය : ඔව්
විත්තියේ නීතිඥ : ඒ සාම්පල් නිරීක්ෂණය පැ. 408
සාක්ෂිකාරිය : ඔව්
විත්තියේ නීතිඥ : මේ ලේඛන ඉදිරිපත් කළ බවට යම් සලකුණක් තබා තිබේද?
සාක්ෂිකාරිය : ඔව් ලේඛන පරීක්‍ෂා කළ අත්සන් කරනවා.
විත්තියේ නීතිඥ : ඒ සාම්පල නිරික්ෂණය කළේ කවදා කොහෙදීද?
සාක්ෂිකාරිය : ශීතකරණය වෙත ගොස් ඒ අවස්ථාවේදීම නිරීක්ෂණය කරනවා.
විත්තියේ නීතිඥ : දෙවන වතාවේ සාම්පල කොපමණද?
සාක්ෂිකාරිය : බැච් 3කින්. එකකින් 30 ගණනේ.
විත්තියේ නීතිඥ : ඇයි ශීතකරණයේ තබන්නේ.
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී , නමුත් මට පැක් එක තිබුණ විදිය මතක නැහැ.
විත්තියේ නීතිඥ : ගෙනා විදියට තිබ්බ කියන්න කෙනා විදිය දැක්කද?
සාක්ෂිකාරිය : නැහැ.
විත්තියේ නීතිඥ : එහෙනම් ගෙනා විදිහට තිබ්බ කියන්නේ කොහොමද?
සාක්ෂිකාරිය : අපේ නිලධාරීන් කියනවා ඔවුන් ඒ සම්බන්ධව වගකීමෙන් වැඩ කරනවා කරනවා වග කියනවා සාම්පල ගෙනාවම ආරක්ෂා කරනවා.
විත්තියේ නීතිඥ : අයිස් වල උෂ්ණත්වය කීයද?
සාක්ෂිකාරිය : සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවයි
විත්තියේ නීතිඥ : තියාගන්න ඕනේ කීයටද?
සාක්ෂිකාරිය : 2-8 සෙන්ටිග්‍රේඩ් අංශක ප්‍රමාණයේ.
විත්තියේ නීතිඥ : එම සෙන්ටිග්‍රේඩ් අංශක කළමනාකරණය කරගන්න ඩේටා ලොගර් එකක් තිබුණාද?
සාක්ෂිකාරිය : නැත ස්වාමීනි.
විත්තියේ නීතිඥ : ඔබ තාප සන්නායනයේ දන්නවාද? ඇතුලේ අනෙක් පැක් සමඟ ස්පර්ශ වූ පසු වෙන්නේ මොනවාද?
සාක්ෂිකාරිය : වාතාශ්‍රය සමඟ සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවේ තියෙනවා ඇත්තටම සෙන්ටිග්‍රේඩ් අංශක බිංදුව එන්නේ නැහැ. අයිස් පැක් එක සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවේ තිබුණත් එය බිංදුවට යන්නේ නැහැ නැහැ. සාම්පල්වල ඒ අවට උෂ්ණත්වය රැදෙනවා.
විත්තියේ නීතිඥ : ඒක සෙන්ට්‍රේට් අංශක දෙකට උඩින් තියෙනවා කියන්නේ මොකක්ද තියෙන සාක්ෂිය..?
සාක්ෂිකාරිය : සාක්ෂියක් නැහැ.
විත්තියේ නීතිඥ : ඔබ කරන විද්‍යාත්මක පැහැදිලි කිරීම අනුව අයිස් වලින් වට කරන ලද තත්ත්වයක් වුවත් වාතාශ්‍රයේ බැක්ටීරියා තිබිය හැකියි. ඔබ දැකලා තිබෙනවාද අයිස් පැක් තුළ තිබෙන ඖෂධ..?
සාක්ෂිකාරිය : ඔව්
විත්තියේ නීතිඥ : කවද්ද මාතරින් සාම්පල් ආවේ.
සාක්ෂිකාරිය : ඔක්තෝබර් 10 වැනිදා,11 භාරගත්තේ
විත්තියේ නීතිඥ : ඒ නිරීක්ෂණය කළේ කොහෙදීද?
සාක්ෂිකාරිය : ශීතකරණයේදී.
විත්තියේ නීතිඥ : ලේඛන සමග බැලුවේ නැද්ද?
සාක්ෂිකාරිය : නැහැ.
විත්තියේ නීතිඥ : මේ භාරගත්තේ ශානිකා මහත්මියයි.?
සාක්ෂිකාරිය : ඔව්
විත්තියේ නීතිඥ : එම සාම්පල ඔබේ රෙජිස්ටරයට ඇතුල් කළේ කවදාද ?
සාක්ෂිකාරිය : ඔක්තෝබර් 27 වැනිදා
විත්තියේ නීතිඥ : 10 වන මාසේ 10 වැනිදා ලැබුණු සාම්පල 90 ලියාපදිංචි කළේ 27 වැනිදා.?
සාක්ෂිකාරිය : ඔව්
විත්තියේ නීතිඥ : පැමිණිලි සාම්පල මේ කාලයේ දිගටම ලැබුණාද?
සාක්ෂිකාරිය : ඔව් ස්වාමීනී
විත්තියේ නීතිඥ : මෙම සාම්පල විශ්ලේෂණ ඇරඹුණේ කවදාද?
සාක්ෂිකාරිය : 11/9 වැනිදා
විත්තියේ නීතිඥ : කවුද එතකොට CEO
සාක්ෂිකාරිය : මමයි මම වැඩ ආරම්භ කළේ.
විත්තියේ නීතිඥ : ඖෂධ තත්ත්වාරක්ෂණ කමිටුවේ ලේකම් කවුද?
සාක්ෂිකාරිය : මහාචාර්ය රෝහණී ප්‍රනාන්දුු පුල්ලේ
විත්තියේ නීතිඥ : ඇය ආයතනයේද?
සාක්ෂිකාරිය : නැහැ කමිටු ලේකම් ලෙස කටයුතු කරනවා.
නිතිපති : විත්තියේ නීතිඥ : කොපමණ කලක් කටයුතු කළාද?
සාක්ෂිකාරිය : මම අවුරුදු පහළොවක් පමණ දන්නවා.
විත්තියේ නීතිඥ : ඇය අවුරුදු තිහක් පමණ එහි සේවය කර ඇති බව දන්නවාද? ඇය අවුරුදු 87ක් වයසට ජේෂ්ඨ මහාචාර්යවරියක් කියලායලා දන්නවද?
සාක්ෂිකාරිය : ඔව් ස්වාමීනි.
නඩු විභාගය නැවක 6 වැනිදා පැවැත්වීමට නියමිත වූවත් අත්‍යාවශ්‍යම විත්තිකරුවකුගේ නොවැලැක්විය හැකි හේතුවකුත් උසාවි නිවාඩු දින තිහිපයකුත් එකට යෙදීම මත නඩු විභාගය කල් ගියේය. යළි අගෝස්තු 17 වනදාට පසු නඩුව කැදවීමට නියමිත විය.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

