මහා ඖෂධ වංචාවේ සාක්ෂි විභාගයෙන් ‘ඒඩ්ස්’ ආසාදිත රෝගීන් ඇතුළු සංවේදී තොරතුරු රැසක් හෙළිවෙයි...

ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයට රුපියල් කෝටි 14කට අධික පාඩුවක් සිදුකිරීම සහ රෝගී ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ඉකුත් 14 වැනිදා මහාධිකරණයේදී විභාගයට ගැණුනු අවස්ථාවේදී අතිශය සංවේදී සහ තීරණාත්මක කරුණු රැසක් අනාවරණය විය. එදින සාක්ෂි විමසීමේදී වංචනික ලේඛන සකස් කිරීම්, ප්‍රශ්නගත සමාගම්වලට කළ රහසිගත මිලියන ගණනක ගෙවීම්, චූදිතයන් සමඟ පැවැත්වූ අයුතු දුරකථන සබඳතා මෙන්ම මීට පෙර මෙරට සිදුවූ දරුණු ඖෂධ ව්‍යසනයක් පිළිබඳව ද නීතිඥවරුන් විසින් කරුණු මතු කරනු ලැබීය.

Jul 16, 2026 - 13:37
 26
මහා ඖෂධ වංචාවේ සාක්ෂි විභාගයෙන්   ‘ඒඩ්ස්’ ආසාදිත රෝගීන් ඇතුළු   සංවේදී තොරතුරු රැසක් හෙළිවෙයි...

2026 ජූලි මස 14 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය.

 

මහා ඖෂධ වංචාවේ සාක්ෂි විභාගයෙන් 

‘ඒඩ්ස්’ ආසාදිත රෝගීන් ඇතුළු 

සංවේදී තොරතුරු රැසක් හෙළිවෙයි...

මහා ඖෂධ වංචාවේ සාක්ෂි විභාගයෙන් 

‘ඒඩ්ස්’ ආසාදිත රෝගීන් ඇතුළු 

සංවේදී තොරතුරු රැසක් හෙළිවෙයි...


අධිකරණ වාර්තාකරු...

ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයට රුපියල් කෝටි 14කට අධික පාඩුවක් සිදුකිරීම සහ රෝගී ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ඉකුත් 14 වැනිදා මහාධිකරණයේදී විභාගයට ගැණුනු අවස්ථාවේදී අතිශය සංවේදී සහ තීරණාත්මක කරුණු රැසක් අනාවරණය විය. එදින සාක්ෂි විමසීමේදී වංචනික ලේඛන සකස් කිරීම්, ප්‍රශ්නගත සමාගම්වලට කළ රහසිගත මිලියන ගණනක ගෙවීම්, චූදිතයන් සමඟ පැවැත්වූ අයුතු දුරකථන සබඳතා මෙන්ම මීට පෙර මෙරට සිදුවූ දරුණු ඖෂධ ව්‍යසනයක් පිළිබඳව ද නීතිඥවරුන් විසින් කරුණු මතු කරනු ලැබීය.


නඩු විභාගය ආරම්භ කරමින් පළමු වන උත්තරකාර සුදත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතා, පැමිණිල්ලේ 155 වන සාක්ෂිකරු වන වෛද්‍ය සැපයීම් ඒකකයේ සෞඛ්‍ය කළමනාකාර සහකාර කෝරාධිපති නිහාල් රංජිත් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. එහිදී ප්‍රශ්නගත ‘හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්’ (Human Immunoglobulin) සහ ‘රිටක්සිමැබ්’ (Rituximab) යන ඖෂධ මිලදී ගැනීම්වලට අදාළ ලිපි ලේඛන හා වවුචර් පරීක්ෂාවට ලක් කෙරුණි.


නම වෙනස් වුණත් මුදල් ගෙවනවා 

මෙහිදී ආරක්ෂක පාර්ශ්වයේ නීතිඥවරයා විසින් පෙන්වා දෙනු ලැබුවේ අදාළ ඖෂධ සැපයූ ‘අයිසොලෙස් බයෝටෙක් ෆාමා’ (Isolez Biotech Pharma) ආයතනයේ නම, ඇතැම් ලේඛනවල ‘අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒ.ජී.’ ලෙසත්, තවත් තැනක ‘අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒ.ජී. ලිමිටඩ්’ ලෙසත් වෙනස් ආකාරයෙන් සටහන්ව ඇති බවයි. ඖෂධ මිල තහවුරු කිරීමේ (Price Conform) මුද්‍රාව තැබීමේදී මෙම නාමයන් පිළිබඳ සැලකිලිමත් නොවූයේ මන්දැයි නීතිඥවරයා ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ තමන්ට වැදගත් වන්නේ පරිගණක පද්ධතියට ඇතුළත් කරන ඇණවුම් අංකය (PO Number) පමණක් බවයි. මෙම අවස්ථාවේදී මැදිහත් වූ සභාපති විනිසුරුවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ලේඛනවල කවර නමකින් සඳහන්ව තිබුණ ද මුදල් ගෙවනු ලබන්නේ වවුචර් අංකයට බැවින් නමේ සිදුවන වෙනස්කම් ගෙවීම් සඳහා බලපා නොමැති බවයි.


ලංකාව හෙල්ලූ ‘ABC ෆාමා’ ඒඩ්ස් (AIDS) චෝදනාව

නඩු විභාගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත්තේ ‘ABC Pharma’ නැමැති සමාගම ගැන කරුණු මතු වීමත් සමඟය. අයිසොලෙස් ආයතනයට ලබා දී තිබූ ඇණවුම නතර කර එය ‘ABC Pharma’ වෙත ලබා දුන් බවත්, පසුව නැවතත් එය අයිසොලෙස් ආයතනයටම පැවරූ බවත් නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


එහිදී ආරක්ෂක පාර්ශ්වයේ නීතිඥවරයා සාක්ෂිකරු වෙත අතිශය බරපතළ සහ සංවේදී යෝජනාවක් ඉදිරිපත් කළේය. "මීට පෙර ABC ෆාමා සමාගම මඟින් ලබා දුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය නිසා මෙරට රෝගීන් 64 දෙනෙකුට ඒඩ්ස් (AIDS) රෝගය වැළඳුනා. ඔබ ඒ බව දන්නේ නැහැ කියන්නේ අසත්‍යයක්..." යැයි නීතිඥවරයා විවෘත උසාවියේදී කියා සිටියේය. එමඟින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කලකට පෙර සිදුවූ බිහිසුණු ඖෂධ ව්‍යසනයක තොරතුරු යළි කරළියට පැමිණි අතර සාක්ෂිකරු කියා සිටියේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවයි.


හොර අත්සන්, රහසිගත ගෙවීම් සහ මුදල් අවභාවිතය

නඩුවේ 175 වන සාක්ෂිකරු ලෙස කැඳවනු ලැබූ වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධාන ගණකාධිකාරී සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වැඩබලන සාමාන්‍යාධිකාරී සවින්ද කුරේ මහතාගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විසින් සාක්ෂි මෙහෙයවනු ලැබීය.


එහිදී රජයේ මුදල් රහසිගතව සහ නීති විරෝධී ලෙස සැපයුම්කරුවන් වෙත මුදා හැර ඇති ආකාරය ලේඛන සහිතව හෙළි විය. 2023 ජූනි 14 වැනි දිනැති ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරමින්, ඉන්වොයිස් 4ක් වෙනුවෙන් ‘අයිසොලෙස් බයෝටෙක් ෆාමා’ සමාගමට රුපියල් මිලියන 50ක (කෝටි 5ක) මුදලක් ගෙවන ලෙස සෞඛ්‍ය ලේඛකයා විසින් සුවසිරිපාය ගණකාධිකාරීවරයා හරහා නියෝග කර තිබූ බව අනාවරණය විය. එමෙන්ම කැබිනට් මණ්ඩලය විසින් ඉන්දීය ණය රේඛාව (ICL) යටතේ හදිසි මිලදී ගැනීම් සඳහා පමණක් අවසර දී තිබියදී, ඊට පටහැනිව දේශීයව ප්‍රතිපාදන වෙන් කරමින් ක්‍රියා කර ඇති ආකාරය ද හෙළි විය. ඇතැම් වවුචර් පත්‍රවල පරීක්ෂා කළ බවට තැබිය යුතු නිල මුද්‍රා නොමැතිව සහ විෂය ලිපිකරුගේ නිසි අනුමැතියකින් තොරව හොර අත්සන් සහ අපැහැදිලි අත්සන් ඡායාවන් යොදා ගනිමින් මිලියන 35කට ආසන්න මුදල් ගෙවීම් වංචනික ලෙස සකස් කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.


චූදිතයන් සමඟ පැවැත්වූ අයුතු දුරකථන සබඳතා

පැමිණිල්ලේ හරස් ප්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂිකරු දුන් ඇතැම් පිළිතුරු මඟින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පුටු සහ මෙම ජාවාරමේ මහ මොළකරුවන් අතර පැවති සමීප සබඳතා සනාථ විය. පළමු වන චූදිතයා සමඟ පැවැත්වූ දුරකථන සබඳතා පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී, තමන් ඉහළ කළමනාකාරීත්වය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කළ නිලධාරියා බැවින් චූදිතයන් සමඟ නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබා ගත් බව සාක්ෂිකරු පිළිගත්තේය.


එමෙන්ම ඖෂධ මිලදී ගැනීමේදී මහා පරිමාණ ‘ආක්‍රමිකතාවයක්’ (අක්‍රමිකතාවයක්) සිදුව ඇති බව තමන් දැන සිටි බව ද සාක්ෂිකරු මෙහිදී ප්‍රකාශ කළේය. ලිපි ලේඛන වෙනස් කිරීමේ වරදකට මීට පෙර තමන්ට වැටුප් අත්හිටුවීමේ දඬුවමක් ලැබී තිබූ බව ද සාක්ෂිකරු අධිකරණය හමුවේ පිළිගත්තේය.


මෙමඟින් පැහැදිලි වන්නේ මෙරට සෞඛ්‍ය ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම ඖෂධ ජාවාරම පිටුපස හොර අත්සන්, ව්‍යාජ ලේඛන, අයුතු දුරකථන ඇමතුම් සහ රෝගීන් මරණයට ඇද දමන ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම් මාලාවක් ක්‍රමානුකූලව සිදුව ඇති බවයි. වැඩිදුර නඩු විභාගය ඉදිරි දිනට කල් තැබුණි.


එදින නඩු වාර්තාව මෙසේය...

ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදී රජයට කොටි 14කට වාඩි පාඩුවක් සිදුකර වංචා සිදු කළැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව 14 වැනිදා විභාගයට ගැනුණු අවස්ථාවේ පළමු වන උත්තරකාර සුදත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර භාණගල පැමිණිල්ලේ 155 වන සාක්ෂිකරු වන වෛද්‍ය සැපයීම් ඒකකයේ සෞඛ්‍ය කළමනාකාර සහකාර කෝරාධිපති නිහාල් රංජිත්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

නීතිඥ ; ඔබ රාජකාරි කරන සැපයුම් අංශයෙන් සැපයුම්කරුවන් අසාදු ලේඛනගත කරනවද?

සාක්ෂිකරු ;  නැහැ මෙය අප අංශය භාරයේ තිබූ ලියුමක්...

නීතිඥ ; අයිතම දෙකට අදාළ ගොනුවක තමයි තිබුනේ එය පැහැදිලි කරන්න.

සාක්ෂිකරු ; මේ පිටපත් ගොනු අප සකස් කර ගත්තේ මුල් පිටපත්වල ඡායා පිටපත් හැටියටයි. මුල් පිටපත් සී අයි ඩී එකෙන් අරන් ගියා. අප සකස් කරගත් පිටපත් ගොනුව වෛද්‍ය සැපයීම ඒකකයේ තියෙනවා.

නීතිඥ ; ඔබ සාක්ෂි දෙද්දි අයිතම දෙකක් ගැන කිව්වා ඒ මොනවද?

සාක්ෂිකරු ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටක්සිමැබ් 

නීතිඥ ; සාක්ෂි දීපු විදියට ප්‍රශ්න මතුවුණාම තමයි අසාදු ලේඛන ලිපි දෙක ගත්තේ. දින වකවාණු දන්නවද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි.

නීතිඥ ; කොයි කාලෙද ?

සාක්ෂිකරු ; 2022 කාලයේ ආපු ලේඛනයක්.

නීතිඥ ; ඔබ දැක්කද?

සාක්ෂිකරු ; ස්ථීරව කියන්න බැහැ. ලියුම දකින්න ඕන.

නීතිඥ ; පැ 341, පැ 338 වව්චර් දෙකක් ලකුණු කර තිබෙනවා. ඒ ලේඛන දෙකේම ඉන්වොයිස් මත මුද්‍රා තබලද?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී.

නීතිඥ ; 338 ලේඛනය මත ඔබ විසින් price conform මුද්‍රාව තබා තිබෙනවා. එය තබද්දි සැලකිලිමත් වන කාරණ ගැන අවබෝධයෙන්ද මුද්‍රාව තැබුවේ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.

නීතිඥ ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා ලිපි ශීර්ෂය කුමක්ද?

සාක්ෂිකරු ; එහි අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒ ජී කියලා තියෙනවා

නීතිඥ ; price conform මුද්‍රාවට දකුණු පසින් වක්‍ර මුද්‍රාව මත කුමක්ද තියෙන්නේ?

සාක්ෂිකරු ; එහි තියෙන්නෙත් අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒජී කියලයි. 

නීතිඥ ; 335 ලේඛනය බලන්න. එහි ශීර්ෂය කුමක්ද?

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒ ජී තමයි 

නීතිඥ ; 341 ලේඛනයෙත් එහි කුමක්ද තියෙන්නේ?

සාක්ෂිකරු ; ඒකේ මැකිලා පේන්නේ නැහැ ෆොටෝ කොපියක් නිසා. 

(93 ගොනුවෙන් මුල් පිටපත පෙන්වයි) 

සාක්ෂිකරු ; එහි තියෙන්නේත් “අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒ ජී” කියලයි. 

නීතිඥ ; එහි ඔබේ මුද්‍රාවක් තිබෙනවා

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී.

නීතිඥ ; එහි වක්‍ර මුද්‍රාවේ තිබෙන්නේ කුමක්ද?

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා, ඒ ජී කියලා.

නීතිඥ ; 320 පිටුව පෙරලන්න. 344 A ලේඛනය බලන්න. එහි අග ඇති මුද්‍රාවේ කුමක්ද තියෙන්නේ?

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒජී ලිමිටඩ් කියලයි . 

නීතිඥ ; ඔබ බැලුවද ඒජී හා ඒජී ලිමිටඩ් වශයෙන් තියෙන බව?

සාක්‍ෂිකරු ; මට වැදගත් ඒකකවල හා ගැනුම් මැනුම්වල තොරතුරුයි. මම PO අංකය පරිගණකයට ඇතුල් කළාම එහි සැපයුම් කරුගේ විස්තර ලැබෙනවා. මා අදාල කරුණු ඇතුළත් කරනවා. මට වැදගත් ඒ ටිකයි. 

සභාපති විනිසුරු ; කවර නමකින් තිබුණත් මුදල් ගෙවනු ලබන්නේ වව්චර් අංකයට වන බැවින් නමේ වෙනස්කම් බලපානු නොලබයි. 

නීතිඥ ; ඔබ කියන්නේ නම ඔබට අදාල කාරණයක් නොවන බවද?

සාක්ෂිකරු ; මම සලකා බැලිය යුතු PO අංකයයි

නීතිඥ ; price conform ගැන සලකා බැලිය යුතු නැද්ද?

සාක්ෂිකරු ; ලිපි ශීර්ෂයේ නම තියෙනවා. මම PO අංකය ඇතුල් කළාට පෙන්වන කරුණු අනුව මගේ දත්ත ඇතුල් කරනවා

නීතිඥ ; නම කියන කොටස?

සාක්ෂිකරු ; ඒ කොටස පද්ධතියට ඇතුල් කරලා තියෙන්නේ තොග පාලන අංශයේ ඕඩර් ලිස්ට් එකෙන් හා ඇනවුම නිකුත් කරද්දී

නීතිඥ ; මේ ඔබ කියන්නේ price conform  මුද්‍රාව තබද්දී රාජකාරියට අදාළ කරුණු ඇත්නම් සෑහීමට පත්වන බවද? GRN ලේඛන බලන්නෙ නැද්ද?

සාක්ෂිකරු ; GRN ලේඛනයේ මිල සඳහන් වෙන්නේ නැහැ. මගේ රාජකාරිය අවසන් වන තුරු GRN දෙන්න බැහැ

නීතිඥ ; GRN එකෙන් පසුවද ඉන්වොයිස් නිකුත් කරන්නේ? 

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ;  GRN පිළියෙල කළ පසුවද වව්චර් සකස් කෙරෙන්නේ? ඒ අනුව වව්චර් පත දක්වා නිලධාරීන් තුන් දෙනෙක්...?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී. වව්චර පත අපෙන්, GRN ගබඩාවෙන් ප්‍රයිස්, price conform අපෙන් 

නීතිඥ ; මේ නිලධාරීන් තිදෙනා සෑහීමකට පත් වූ පසුවයි. මේ ලේඛන නිකුත් කරන්නේ. රාජකාරි පරිචය ගැන සෑහීමකට පත්වෙලා ද කටයුතු කරන්නේ?

සාක්ෂිකරු ; මම මගේ රාජකාරී පරිචය ගැන සෑහීමකට පත්වෙලා කටයුතු කරනවා

නීතිඥ ; මේ පියවර තුනෙන් කුමන හෝ ස්ථානයක ගැටලුවක් තිබුණොත් ගෙවීම් කරනවද?

සාක්ෂිකරු ; අපි කරන්නේ අනුමැතියට ඉදිරිපත් කරන එක

නීතිඥ ; සෑහීමකට පත්නොවී ආපසු එවපු ඒවා තියෙනවද? 

සාක්ෂිකරු ; NMRA  සහතිකය කල් ඉකුත් වීම නිසා හරවලා යවපුවා තියෙනවා.

නීතිඥ ; ඔබේ සේවා කාලයේ මෙම හිඟ විතරද හරවලා යැව්වේ?

සාක්ෂිකරු ; check by මුද්‍රා නොමැතිව ආදී අවස්ථාවලත් හරවා යවලා තියෙනවා.

නීතිඥ ; ප්‍රමාද ගාස්තු අයවීමකදී ඒ මුදල අඩු කරලද දෙන්නේ?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනි.

නීතිඥ ; ඒ ගාස්තු ඔවුන්ගේ ඉල්ලීම මත නැවත දෙන අවස්ථා තියෙනවද?

සාක්ෂිකරු ; සමහර අවස්ථාවල ප්‍රමාද ගාස්තු අය කරන්න අවශ්‍ය නැහැ කියලා දැනුම් දෙන අවස්ථා තියෙනවා. එතකොට අය කරන්නේ නැහැ. 

නීතිඥ ; 388 ලේඛනය බලන්න. ඒ අනුව ඖෂධවලට ගෙවිය යුතු කොපමණද?

සාක්ෂිකරු ; 63 468 697.28යි 

නීතිඥ ; ප්‍රමාද ගාස්තු කොපමණද?

සාක්ෂිකරු ; 3 540 288යි

නීතිඥ ; මෙහි දහ අට පිටුව බලන්න. මේ වෛද්‍ය සැපයීම ඒකකයට ඉදිරිපත් කළ ලේඛනයක් බව හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනි 

නීතිඥ ; එහි ABC Phama කියලා තියෙනවද ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඔබ ඒ අය ගැන දන්නවද?

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; ඔවුන් සැපයුම් කටයුතු කරලා තියෙනවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.

නීතිඥ ; මේ මත “පැනල්ටි චාජස්” කියා සඳහන් වෙනවා නේද? මොකක්ද මේ වවුචරය?

සාක්ෂිකරු ; පොදු 35, මැනුවල් එක යන එකක්

නීතිඥ ; මේවා සකස් කරන්නේ මොකටද?

සාක්ෂිකරු ; සැපයුම්කරුවන්ට දීමේදී භාවිතා කරනවා. මේ නසීර් මහතා අත්සන් කළ එකක්. 

නීතිඥ ; මේවා සකසන බව දන්නවද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනී.

(පනස් හතර ගොනුවේ 19 වවුචර් පත්‍රය 1B 32 ලකුණු කෙරේ)

නීතිඥ ; 1B 32 මත වැය විස්තර ලෙස කීයක් සඳහන්ද?

සාක්ෂිකරු ; 35 400 289ක්

නීතිඥ ; ගෙවීමට අදාළ විස්තරය කියන්න පුළුවන්ද? 

සාක්ෂිකරු ; බැහැ ස්වාමීනි, කුමන කාරණයකටද යන්න පැහැදිලි නැහැ

නීතිඥ ; මම යෝජනා කරනවා 1B 32 මත සඳහන් මුදල ඔබ හඳුනාගත් 388 ලේඛනයේ සඳහන් ප්‍රමාද ගාස්තුව නැවත ගෙවීමක් සඳහා සකස් කරන ලද ලේඛනයක් කියා. 

සාක්ෂිකරු ; මෙහි ඡායා පිටපත බලලා එය කියන්න පුළුවන් ස්වාමීනී. වව්චර් අංකය සඳහන් නම් කිව හැකියි. 

නීතිඥ ; දැන් ඔය පැ 388 කියන වවුචරය මත වෛද්‍ය සැපයීම් අංශයට සපයා ඇති භාණ්ඩ මොනවද කියලා කියන්න පුළුවන්ද? එය පසු පිටේ තියෙනව නේද?

සාක්ෂිකරු ; ඔව් තියනවා. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 

නීතිඥ ; ඔබ කලින් කීවා ABC Phama ගැන දන්නවා කියලා.?

සාක්ෂිකරු ; ඔව් දන්නවා ස්වාමීනී.

නීතිඥ ; මීට පෙර abc ෆාමා මගින් ඖෂධ සැපයුම් කියලා දන්නවද? 

සාක්ෂිකරු ; මගේ රාජකාරී කාලයේ නෙවෙයි.

නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ABC Phama මගින් ලබා දුන් අවස්ථාවේ. එයින් රෝගීන්ට ඒඩ්ස් වැළඳුනා. ඒවායින් රෝගීන් 64 දෙනෙකුට ඒඩ්ස් වැළඳුන බව දන්නේ නැහැ කියන්නේ අසත්‍යයක් කියල මම යෝජනා කරනවා. 

සාක්ෂිකරු : මම දන්නෙ නැහැ. 

නීතිඥ ; බලන්න පොදු 35. එහි මිනිට් සටහන පසුපස තියෙනවා. කවුද එය ඉදිරිපත් කරන්නේ?

සාක්ෂිකරු ; එහි නසීර්ගේ අත්සන හඳුනාගත හැකියි. ඡායා පිටපතේ අත්සනක ඡායාවක් පේනවා. විෂය ලිපිකරු අනුමැතිය ඉල්ලලා තිබුනත් මුද්‍රාව නැති නිසා ලැබිලද කියන්න බැහැ

නීතිඥ ; ABC Phama සඳහා ඔබ රාජකාරි කරන කාලයේ ලැබුණේ  නැත කියා ඔබ කීවා. මේ ප්‍රශ්නගත යයි කියන එකෙන් වෛද්‍ය සැපයීම් අංශයට දුන්නේ කුමන එකදැයි ඔබ දන්නවද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනී.

නීතිඥ ; ඒකට අදාල ටෙන්ඩරය ලබා දුන්නේ කවුද?

සාක්ෂිකරු ; දන්නේ නැහැ ස්වාමීනී.

නීතිඥ ; අයිසොලෙස් ආයතනයට ලබා දුන් ඇනවුම නැවැත්තුවාම තමයි ABC ආයතනයට එය ලබා දුන්නේ කියලත්, ABC ඇණවුම අයින් කර යළි අයිසොලස් ආයතනයට දුන් බවත් ඔබ දන්නවද?

සාක්ෂිකරු ; දන්නේ නැහැ. 

නීතිඥ ; ඔබ විසින් ඖෂධ සම්බන්ධව ලිපි ලේඛන සැකසීම්  කර තිබෙනවාද?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී.

නීතිඥ ; සංකූලතා ඇතිවූ බව දන්නවාද?

සාක්ෂිකරු ; නැහැ.

නීතිඥ ; ඒ ගැන ප්‍රකාශ ලබා දී තිබේද? අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගනිද්දි කිව්වද?

සාක්ෂිකරු ; වෛද්‍ය සැපයීම් අංශයෙන් සිදුව ඇතැයි කීවා.

නීතිඥ ; මිලදී ගත් ඖෂධයක ප්‍රමිතිය ගැන කියලා ඔබට කිව්වද?

සාක්ෂිකරු ; දැනුවත් කිරීමක් කළා දැන් මතක නැහැ. 

නීතිඥ ; ඖෂධ ගැටලුවකදී සී අයි ඩී යට විමර්ශන කළ නොහැකි බව ඔබ දන්නවද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි.

නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රශ්නකාරී කියා ඔබ දන්නවද?

සාක්ෂිකරු ; මගේ රාජකාරී වටපිටාවට අදාළ නැති නිසා බැලුවේ නැහැ. 

නීතිඥ ; ඔබට යන්තම් හෝ දැනුමක් ඒ පිළිබඳව තිබුණෙ නෑ කියලද ඔබ කියන්නේ? 

සාක්ෂිකරු ; ඖෂධයක් මිලදී ගැනීමේදී ආක්‍රමිකතාවයක් සිදුව ඇති බව දැන ගත්තා.

දෙවන චූදිත වෛද්‍ය කපිල වික්‍රමනායක වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරළ සමග පෙනී සිටින ලක්ෂණ බණ්ඩාර සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. 

නීතිඥ ; මෙි පැ 324 ලේඛනයේ කාගේ හෝ අත්සනක් තිබෙනවද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි. 

නීතිඥ ; දිනයක් සටහන් කලාද?

සාක්ෂිකරු ; නැහැ.

නීතිඥ;  ඔබ විසින් NMRA යොමු කළාද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි.

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරයි. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; පොදු 35 කියන IV 32 ලේඛනයේ අගය මිලියන 35කට ආසන්නයි නේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබගෙන් ඇහුවා නඩුවට අදාලව සකස් කළ වව්චර පත්‍රය ගැන. ICL (ඉන්දියන් ක්‍රෙඩිට් ලයින්) ව්‍යාපෘතියට අදාළව ඔබත් ගොනු පවත්වාගෙන ගිය බව කීවා. දේශීය සැපයුම්කරුවන් විෂයෙහි සලකා බලන විට ලේඛන කීයක් තියෙනවද?

සාක්ෂිකරු ; කමිටු මිල, ඉන්වොයිසිය, වව්චර්, මිල කමිටුව ආදිය

නීතිඥ ; පවත්වාගෙන ගිය ගොනු අතරින් 93 හා 97 හඳුනා ගත්තා. එය ඉන්වොයිසීය සමග BRN ඇතුළත තිබුණා. 

සාක්ෂිකරු ; එසේයි ස්වාමීනී.

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; ඔබෙන් ප්‍රශ්න කළා 97 ගොනුවේ සහ 106 ගොනුවේ ඇති වව්චර පත්‍රය ගැන. වව්චර් පත්‍රවලට අදාළ නිර්දේශය හා අවසරය ලබා ගැනීමේදී ගොනුව සමග ඉදිරිපත් කරන අවස්ථාවේ ඒවා හදන නිලධාරීන්ට අණ කරන්න වෙනවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබට ලේඛන වෙනස් කිරීමේ සිද්ධියකට දඬුවම් ලැබුණද?

සාක්ෂිකරු ; ඔව් වැටුප් අත්හිටුවීමක් ලැබුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ හැර වෙනත් ආකාරයක නඩු පැවරීමක් වුණාද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබෙන් ඇහුවා වව්චර්ස් අංශය ගැන සහ සහතික කිරීම ගැන. ඔබ දන්නේ නැහැ කිව්වේ ඇයි?

සාක්ෂිකරු ; මම එම රාජකාරි ගැන දන්නේ නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ දිවුරුම් දී අසත්‍ය ප්‍රකාශ කරනවද? 

සාක්ෂිකරු ; නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ පළමු චූදිත සමග පැවැත්වූ දුරකථන සබඳතා ගැන විමසුවා. 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. මම තමයි ඉහළ කළමනාකරුවන් සමග පවා සම්බන්ධීකරණය කළේ. ඒ නිසයි ඇමතුම් ගත්තේ. 

මෙම නඩුවේ 175 වන සාක්ෂිකරු වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධාන ඝණකාධිකාරී සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වැඩ බලන සාමාන්‍යාධිකාරීන් සවින්ද කුරේ සාක්ෂි සඳහා කැඳවනු ලැබීය. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරු සාක්ෂි දෙමින් මෙසේ කීය. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; වෛද්‍ය සැපයීම් අංශයේ, ඖෂධ මිලදී ගැනීමට වැය ශීර්ෂ තිබේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ප්‍රතිපාදන සීමාවන්ට අනුකූලව කටයුතු කරද්දී ප්‍රතිපාදන තුළ කටයුතු කළ යුතුද?

සාක්ෂිකරු ; ඔව්.

(93 ගොනුවට අවධානය යොමු කරවයි.)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; මේ ගොනුව ඔබලා පවත්වාගෙන යන එකක්ද?

සාක්ෂිකරු ; මේ වව්චර් එකතුවක්.

නියෝජ්‍ය සොළිසිටර් ජනාල්වරිය ; 93 හි 12 පිටුව බලන්න. එම ලේඛන ඔබේ අංශයද හදන්නේ.? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී. මේ වවුචර් ගැන උපලේඛනයක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ වැය විෂය කියන්නේ කුමක්ද? මේ ලේඛන මත ඇති අංකය කුමක්ද?

සාක්ෂිකරු ; ලැබෙන ප්‍රතිපාදන වැය කරන වැය ශීර්ෂය 1204. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය 111. එය මුදල් අමාත්‍යාංශය හඳුන්වා දී ඇති එකක්. 2 කියන්නේ වැඩ සටහන් අංශය. 25 යන්න ව්‍යාපෘතියක් හඟවනවා. 003 උප ව්‍යාපෘතිය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; වරහන් ඇතුලේ II යොදා තිබුනේ ඇයි?

සාක්ෂිකරු ; මුදල් වර්ගය. දේශීය මුදල්. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; වෛද්‍ය සැපයීම් අංශය විදේශීය මුදලිනුත් ගෙවීම් කරනවද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එසේ නම් ABC , WB වැනි ආයතන සමග ගනුදෙනු කරද්දී කෙසේද කරන්නේ?

සාක්ෂිකරු ; ඒවා අපට එන්නේ නැහැ. ආවත් අපට වැය දරන්න වෙන්නේ නැහැ

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; පැ 313 ලේඛනය බලන්න. CAMSD කියන්නේ කවුද?

සාක්ෂිකරු ; ප්‍රධාන ඝණකාධිකාරී වෛද්‍ය සැපයීම්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි රෝම ඉලක්කම් III කියන සටහන කාගේ එකක්ද?

සාක්ෂිකරු ; මගේ එකක්. සෞඛ්‍ය ලේකම්ගේ. අනුමැතිය ඉල්ලු එකක්. මෙය සැපයීම් අංශයෙන් මාවත ආවේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අමාත්‍ය මණ්ඩලයෙන් කුමක් සඳහාද අනුමැතිය ලබාදී තිබුණේ?

සාක්ෂිකරු ; හදිසි මිලදී ගැනීම් සඳහා ICL එකෙන්. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ICL භාවිතා කරන්න කියලා කියන්නේ කොතනද?

සාක්ෂිකරු ; දෙවැනි ඡේදයේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 313 මිනිට් සටහන ඔබේ අනුමැතිය සඳහා ඉදිරිපත් වුනාද?

සාක්ෂිකරු ; ඔව් එවකට ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා. 2022 නොවැම්බර් වෙන විට මා වසරක් පමණ ඔහු සමග වැඩ කර තිබෙනවා තිබෙනවා ගොනු සටහන් මගින්ද දන්නවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ අනුමැතිය ඉල්ලූ කාරණය කුමක්ද?

සාක්ෂිකරු ; මාස තුනක ඖෂධ අතිරික්තයක් තැබීමට EOI ප්‍රසංපාදනයෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; දෙවන ඡේදයේ කුමක්ද සඳහන්?

සාක්ෂිකරු ; එහි රැස්වීමක් ගැන. එය 2022/10/11 දින පැවැත්වුණා. 

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; ආනයනික තොග මිලදී ගැනීමේදී buy back ක්‍රමය යටතේ මිලදී ගැනීමට අවසර තිබේද. 

සාක්ෂිකරු ; නැත ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අවසර දීලා තියෙන්නේ කොහොම ගන්නද?

සාක්ෂිකරු ; ආනයනය කරන්න

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන තීරණ ගැන එතැන සඳහන් වෙනවද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;  93 ගොනුවට අවධානය යොමු කරන්න. මෙය ඔබ අංශයේ පවත්වාගෙන ගිය ගොනුවක්ද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. මේ  මාසිකව සියලු වව්චර එක්කර හදන ගොනුවක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ එය විමර්ශන කටයුත්තට ලබා දුන්නා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි අංක එක යටතේ ඇති ලේඛනය කුමක්ද? ඔබද එහි සටහන යෙදුවේ?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙහි මුල් ලේඛනය කොහෙද තියෙන්නේ?

සාක්ෂිකරු ; මෙහිම තිබිය යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ඔබට ලැබුන ලිපියක්ද? 

සාක්ෂිකරු ; ඔව්. නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සැපයුම්ගෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නිල මුද්‍රාවක් සහිත ද?

සාක්ෂිකරු ; ඔව් එහි වෛද්‍ය හේරත්ගේ අත්සන තිබෙනවා. 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; එය මත ඇති දිනය කවදද?

සාක්ෂිකරු ; 2023 ජූනි 14 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; යටින්ම ඇති සටහන් දෙකෙන් දකුණු පස ඇති අත්සන කාගෙද?

සාක්ෂිකරු ; සෞඛ්‍ය ලේකම්ගේ.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් වරිය ; එම සටහනේ කියලා තියෙන්නේ කුමක්ද.?

සාක්ෂිකරු ; මිලියන 50ක් ගෙවන්න කියලා තියෙනවා.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; කවදද කාටද?

සාක්ෂිකරු ; ජූනි 14 වැනිදා, අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමට. 

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; කවුරු හරහා කියලද කිව්වේ?

සාක්ෂිකරු ; ඝණකාධිකාරී, සුවසිරි පාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කුමක් සඳහාද? 

සාක්ෂිකරු ; ඉන්වොයිස් 4 ක් සඳහා.

නඩු විභාගය 15 වනදා නැවත කැදවීමට නියමිත විය.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0