උඩ සිට යටටම අපරික්ෂාව හා නොසැලකිල්ල

සාමාන්‍යයෙන් නඩුකරයක රසවත් තොරතුරු හෙළිදරව් වන්නේ පැමිණිල්ලේ සාක්ෂියක් පැමිණිල්ලේ නීතිඥවරු විසින් මෙහෙයවමින් අදාළ කරුණු කාරණා උසාවිය හමුවේ ඉදිරිපත් කරන මූලික අවස්ථාවකදී නොවේ. පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ගෙන් විත්තියේ නීතිඥයින් හරස් ප්‍රශ්න විමසමින් ඒවාට පැමිණිල්ලේ නීතිඥවරු විරුද්ධ වෙමින් විවාදයට ලක් කරන අවස්ථාවලදීය. මේ තවත් එක් පැමිණිල්ලේ සාක්ෂිකරුවෙක් පැමිණිල්ලේ නීතිඥයින් විසින්ම මෙහෙයුණු ලැබූ අවස්ථාවකි. ඒක පාර්ශවීය කරුණු දැක්වීමකදී කෙසේ නම් නඩු විභාගයකින් උණුසුම් විවාදයක් බලාපොරොත්තු වන්නද. ඒ වගත් මෙසේය.

Jul 10, 2026 - 19:15
 54
උඩ සිට යටටම අපරික්ෂාව හා නොසැලකිල්ල

2026 ජූලි මස 08 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය.

උඩ සිට යටටම


අපරික්ෂාව හා නොසැලකිල්ල

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන බිඳවැටීම සහ

නිලධාරියාගේ “අදූරදර්ශී” භූමිකාව හෙළිවෙයි...


අධිකරණ වාර්තාකරු

සාමාන්‍යයෙන් නඩුකරයක  රසවත් තොරතුරු හෙළිදරව් වන්නේ පැමිණිල්ලේ සාක්ෂියක් පැමිණිල්ලේ නීතිඥවරු විසින් මෙහෙයවමින් අදාළ කරුණු කාරණා උසාවිය හමුවේ ඉදිරිපත් කරන මූලික අවස්ථාවකදී නොවේ. පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ගෙන් විත්තියේ නීතිඥයින් හරස් ප්‍රශ්න විමසමින් ඒවාට පැමිණිල්ලේ නීතිඥවරු විරුද්ධ වෙමින් විවාදයට ලක් කරන අවස්ථාවලදීය. මේ තවත් එක් පැමිණිල්ලේ සාක්ෂිකරුවෙක් පැමිණිල්ලේ නීතිඥයින් විසින්ම මෙහෙයුණු ලැබූ අවස්ථාවකි. ඒක පාර්ශවීය කරුණු දැක්වීමකදී කෙසේ නම් නඩු විභාගයකින් උණුසුම් විවාදයක් බලාපොරොත්තු වන්නද. ඒ වගත් මෙසේය.

මුළු රටම කැළඹූ බාල ඖෂධ ගෙන්වීමේ මහා පරිමාණ වංචාව පිළිබඳ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාග වන නඩුවේදී, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පැවති බරපතළ පරිපාලන බිඳවැටීම, වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරිමය දුර්වලතා සහ පෞද්ගලික ඖෂධ සැපයුම්කරුවන් සමඟ පැවති සමීප සබඳතා රැසක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය කෙහෙලිය නඩුවේ ඊයේ (09) කළ සාක්ෂි මෙහෙයවීම් හමුවේ අනාවරණය.

නඩුවේ 155 වන සාක්ෂිකරු ලෙස පෙනී සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිහාල් රංජිත් නමැති නිලධාරියාගෙන් දෙවන දිනටත් සිදුකළ සාක්ෂි විමසීමේදී, ඔහු තමන් අතින් සිදුවූ බරපතළ අතපසුවීම් සහ ලිපිගොනු හැසිරවීමේදී දැක්වූ දුර්වලතා හා අදූරදර්ශී ක්‍රියාකලාපය අධිකරණය හමුවේ අනාවරණය කළේය.

භාෂා ඥානයක් නැතිව ජාත්‍යන්තර

ගනුදෙනු ලේඛන හැදීම සහ නිලධාරියාගේ දුර්වලතා

නඩුවේ සාක්ෂි විමසීමේදී වඩාත්ම කැපී පෙනුණේ රාජ්‍ය අරමුදල් මිලියන ගණනින් සංසරණය වන, මෙරට ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන බාල ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී මෙම සාක්ෂිකාර නිලධාරියා කටයුතු කර ඇති වගකීම් විරහිත ස්වභාවයයි. ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කර තිබූ වැදගත් ලිපියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු ප්‍රකාශ කළේ, “අපි ළඟ එවැනි සකස් කළ ලිපි තියෙනවා. ඒ අනුව සකස් කළ පසු ඔවුන් නිවැරදි කරනවා” යනුවෙනි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිසි දැනුමක් නොමැතිව, රටකට බලපාන ඖෂධ ඇණවුම් වැනි සංවේදී ලේඛන හුදෙක් “කොපි පේස්ට්” න්‍යායෙන් (Templates) සකස් කිරීම තුළින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය නිපුනත්වයේ ඇති බරපතළ හිඩැස් පැහැදිලි වේ.

එමෙන්ම, අධිකරණය ඉදිරිපත් කළ ඇතැම් වැදගත් ලේඛන සහ සටහන් පිළිබඳව ප්‍රශ්න කිරීමේදී සාක්ෂිකරු වරෙක, “මේ සම්බන්ධව නම් මට දැනුමක් නැහැ” යනුවෙන්ද, තවත් ලිපියක් පෙන්වා එය කොහෙන් ලැබුණු එකක්දැයි ඇසූ විට, “මට එය පැහැදිලි නැහැ” යනුවෙන්ද පවසමින් තමන් සතු ලිපිගොනු පිළිබඳව තමන්ටම අවබෝධයක් නොමැති බව සනාථ කළේය.

තොරතුරු සන්නිවේදනයක් නැති මහා පරිපාලන බිඳවැටීම

අමාත්‍යාංශයේ අභ්‍යන්තර අංශ අතර කිසිදු සම්බන්ධීකරණයක් නොමැතිව, අන්ධයන් මෙන් නිලධාරීන් කටයුතු කර ඇති ආකාරය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් මෙහිදී මනාව ඉස්මතු කරන ලදී. 2023/07/24 වන විටත් “MSD V” ඇණවුම් ලබාදී අවසන්ව තිබියදී, සාක්ෂිකරු සහ ඔහුගේ අංශය නැවත වරක් එම ඇණවුම් ලබාගැනීම සඳහා ලිපිගොනු උඩ පහළ යවා තිබේ. ඒ පිළිබඳව කිසිවෙකු තමන්ව දැනුවත් නොකළ බව සාක්ෂිකරු පැවසීය.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සහ නීතිමය රාමුව පිළිබඳවද සාක්ෂිකරු සතු අවම දැනුම මෙහිදී හෙළි විය. “යාඩෙන් ඉන්ටර්නෙෂනල්” (Yaden International) ආයතනය විසින් කුමන පදනමකින් ඉල්ලීමක් කළේද යන්න හෝ අතිරේක ලේකම්වරයා වෙත සපයන ලද නිර්දේශය කුමක්ද යන්න පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව සාක්ෂිකරු අධිකරණය හමුවේ පැවසීය. තමන් භාරයේ ඇති ලිපිගොනුවල අන්තර්ගතය සහ තීන්දු තීරණ ගැන විෂය භාර සහකාරවරයා මෙලෙස නොදැනුවත්කම ප්‍රකාශ කිරීම සමස්ත පරිපාලන ව්‍යුහයේම බිඳවැටීමකි.

 සැපයුම්කරුවන් සමඟ ඇති සැකකටයුතු “සමීප” සබඳතා

නඩු විභාගයේදී අනාවරණය වූ තවත් බරපතළම කරුණක් වූයේ මෙම රාජ්‍ය නිලධාරියා සහ වංචාවට සම්බන්ධ පෞද්ගලික ඖෂධ සැපයුම්කරුවන් අතර පැවති අසම්මත සබඳතාවයි. චූදිත ආයතනයක් වන “අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා” (Isolez Biotech Pharma) හිමිකරු පැමිණි අවස්ථාවේදී, ලිපිගොනුවේ තිබූ මුල් පිටපතම ඔහු අතට පත් කිරීමට සාක්ෂිකරු කටයුතු කර ඇත. නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් ලිපියක් ප්‍රතික්ෂේප කර ඉරා දමා තිබියදීත්, සාක්ෂිකරු විසින් කාර්යාල ගොනුවට පිටපත් දමා මුල් ලිපිය සැපයුම්කරු අතට දී තිබේ.

ඔහු අදාළ සැපයුම්කරුවාව පෞද්ගලිකවම හඳුනන බව පිළිගනිමින් සාක්ෂි දෙමින් කියා සිටියේ, “ඔව් ස්වාමීනී, වෛද්‍ය සැපයුම් ඒකකයේ දේශීය නිෂ්පාදන වැඩසටහන යටතේ සමහර කෙමිකල් සැපයීමේ ගිවිසුමක් තියෙනවා... වාර්ෂික බෙදා දීම් සාකච්ඡාවලට එනවා. ඒ නිසා ඔහු දන්නවා” යනුවෙනි. එපමණක් නොව, අනෙකුත් සැපයුම්කරුවන් සමඟද තමන් මෙලෙස සම්බන්ධ වන බවත්, එම සාකච්ඡා සංවිධානය කරන්නේද තමන් විසින්ම බවත් සාක්ෂිකරු පිළිගත්තේය. 

උඩින් එන නියෝග අන්ධ ලෙස ක්‍රියාත්මක කිරීම

මෙම සාක්ෂිකරු තමන්ගේ ස්වාධීන වගකීම පැහැර හරිමින්, ඉහළ නිලධාරීන් (චූදිතයන්) දෙන නියෝග කිසිදු සොයා බැලීමකින් තොරව අන්ධ ලෙස ඉටු කර ඇති බව පැහැදිළි විය. නිලධාරීන්ගේ අත්සන් තැබීම්, 'ප්ලීස් ඩිස්කස්' (Please Discuss) සහ 'රෙකමන්ඩඩ්' (Recommended) සටහන් යෙදීම් යාන්ත්‍රිකව සිදුවී ඇති අතර, අවසානයේ ලිපියක් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අතට හැර වෙනත් අයෙකු අතට යා නොහැකි බව පවසන සාක්ෂිකරු, ලිපිගොනුවල ඇතැම් මිනිට් සටහන් කපා දමා ඇත්තේ කවුදැයි තමන් නොදන්නා බවද පවසයි.

මෙම සාක්ෂි විභාගය තුළින් ගම්‍ය වන්නේ බාල ඖෂධ වංචාව යනු හුදෙක් එක් පුද්ගලයෙකුගේ වංචාවක් නොව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපිකරුවාගේ සිට ඉහළම බලධාරියා දක්වා වූ පරිපාලන පද්ධතියේ පවතින අකාර්යක්ෂමතාව, වගකීම් විරහිතභාවය සහ දූෂිත සැපයුම්කරුවන් සමඟ ඇති අශුද්ධ සන්ධානයේ බිහිසුණු ප්‍රතිඵල බවද.

මෙම දීර්ඝ සාක්ෂි විභාගයෙන් අනතුරුව, නඩුවේ වැඩිදුර විභාගය 10 දිනට කල් තැබූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, සාක්ෂි දීම සඳහා එම දිනයේද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස 155 වන සාක්ෂිකරුට නියෝග කළේය.

2026 ජූලි මස 09 වැනිදා නඩු වාර්තාව මෙසේය.

බාල ඖෂධ ගෙන්වීම පිළිබඳ නඩු විභාගය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ ඊයේ (09) යළි විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂි සඳහා දෙවන දිනටත් කැඳවා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර  නිහාල් රංජිත් නමැති මෙම නඩුවේ 155 වන සාක්ෂිකරුය.

ඔහු ඊයේ (09) දිනයේද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන්නේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්; පැ 315 ලේඛනයේ ගණකාධිකාරී (සැපයුම්) දමා ඇති සටහනට යටින් III යටතේ ඇති දෙවන මිනිත්තුවට යටින් සටහන දමා ඇත්තේ කවුද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබේ අත්සනක් තිබෙනවාද? එය දැමූ දින කවදාද ?

සාක්ෂිකරු; මගේ අත්සන තිබෙනවා. 2022 / 12/ 23 .... එම සටහන යෙදුවේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇණවුම් දමා ඇති සැපයුම්කරුවන් වෙත යවන ලිපියක් සඳහා එන සටහනක් ඒ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඊට උපදෙස් දුන්නේ කවුද?

සාක්ෂිකරු; අධ්‍යක්ෂතුමාගේ උපදෙස් මත

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එම ලිපිය ගොනුවේ තිබෙනවාද?

සාක්ෂිකරු; එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එම ලිපිය ගණකාධිකාරී වෙත යොමු කළාද?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ගණකාධිකාරී කවුද?

සාක්ෂිකරු; නිරාන් ධනංජය මහතා - ඖෂධ නිෂ්පාදන (සැපයීම්)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; කවුද එහි ප්‍රධානියා?

සාක්ෂිකරු; වෛද්‍ය සමන් රත්නායක මහතා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ ඊයේ දහවන චූදිත ලෙස හඳුනා ගත්තා.

සාක්ෂිකරු; එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ නිරාන් ධනංජය ගණකාධිකාරීවරයා සමඟ කොපමණ කල් සේවය කර ඇත්ද?

සාක්ෂිකරු; වසර එකහමාරක් පමණ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඒ කාලය තුළ ඔහුගේ අත්සන හා අත්අකුරු දැක තිබේද?

සාක්ෂිකරු; එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඒ කෙසේද?

සාක්ෂිකරු; අපි ලියන සටහන් ඔහුට ඉදිරිපත් කළ පසු ඔහු තබන සටහන් මතින්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔහු මෙහි සිටිනවාද?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔහු මේ ලේඛනයට අත්සන් කළ පසුවද ඔබ අත්සන් කරන්නේ?

සාක්ෂිකරු; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ මේ ගොනුවේ හැටහත් පිටුව අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළාද?

සාක්ෂිකරු; එසේය ස්වාමීනී

අදාළ සටහන පැ 316 ලෙසත් ගණකාධිකාරී - සැපයීම්ගේ අත්සන 316 I ලෙසත් ලකුණු කරන ලදී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පැ 316 අනුව ඔබ 4 වන චූදිතට ඉදිරිපත් කළ ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන්නේ. ඔබ ඊයේ කිව්වා ඉංග්‍රීසි භාෂාව ගැන ලොකු දැනුමක් නැති බව. මේ ලිපිය ලිව්වේ කොහොමද?

සාක්ෂිකරු; අපි ළඟ එවැනි සකස් කළ ලිපි තියෙනවා. ඒ අනුව සකස් කළ පසු ඔවුන් නිවැරදි කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; මෙම ලිපියේ කුමන පිටපතද ගොනු කර තිබෙන්නේ?

සාක්ෂිකරු; කාර්යාල පිටපත

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; මිනිට් සටහනට යටින් අත්සන කාගෙද?

සාක්ෂිකරු; අධ්‍යක්ෂතුමාගේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; IV ලෙස ඇති සටහන බලන්න. කවුද ඒ මිනිට් සටහන තබා තිබෙන්නේ?

සාක්ෂිකරු; මෙම ගොනුව භාර නිලධාරිනිය වන උදේශිකා මහත්මිය. ඇය සැපයුම් අංශයේ සංවර්ධන සහකාරිකාවක්. සැපයුම් ගණකාධිකාරී යටතේ සේවය කරන.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඇය කොපමණ කල් සේවය කළාද?

සාක්ෂිකරු; වසර තුනක් පමණ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ ඇයගේ අත්අකුරු දන්නවාද?

සාක්ෂිකරු; ඔව් මගේ ගොනුවල ඇය සටහන් තබනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඇය IV සටහන තබා ඇත්තේ කා වෙතද?

සාක්ෂිකරු; නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඒ සටහන අදාළ ලේඛනයේ ඇතුළේ තිබේද?

සාක්ෂිකරු; ඔව් පිටු අංක 70 සිට 77 දක්වා සටහන් කර තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ගණකාධිකාරී සැපයීම් මෙහි සටහන් යොදා තිබේද?

සාක්ෂිකරු; ඔව් සටහන් යොදා, දිනය හා අත්සන තබා තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඒ කටයුතුවලින් පසු ඔබ කරන්නේ කුමක්ද?

සාක්ෂිකරු; අධ්‍යක්ෂ වෙත ගොනුව යොමු කිරීම

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; කවුද අධ්‍යක්ෂ?

සාක්ෂිකරු; වෛද්‍ය කපිල වික්‍රමනායක

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔහු අත්සන යෙදූ පසු ඔබ කුමක් කරනවාද?

සාක්ෂිකරු; ඊළඟ නිලධාරියාට යොමු කරනවා ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එහි ඇණවුමට ඇතුළත් කුමක්ද?

සාක්ෂිකරු; EOI යටතේ අනුමැතිය ලද ලියුම

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; අයිතම 158 යටතේ ගැනුම් ඇණවුම් ඇතුළත් කළ එකක්.

සාක්ෂිකරු; එහෙමයි ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; කාටද එහි ආමන්ත්‍රණය කර ඇත්තේ?

සාක්ෂිකරු; වෛද්‍ය සමන් රත්නායක මහතාට

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එහි අත්සන කාගේද?

සාක්ෂිකරු; නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. ආර්. ඩී. හේරත් මහතාගේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; මේ එහි කුමන පිටපතද?

සාක්ෂිකරු; කාර්යාල පිටපත

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබේ 79 පිටුවේ ලිපියෙහි ඇණවුම් හඳුනා ගත්තා නේද?

සාක්ෂිකරු; එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පැ 317 - IV ලියන අවස්ථාව වන විට EOI යටතේ අයිතම කීයක් ලැබී තිබුණාද?

සාක්ෂිකරු; 9 ක් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; සම්පූර්ණයෙන්ම කීයද? සම්පූර්ණ නොවන කීයද?

සාක්ෂිකරු; සම්පූර්ණ 5 යි. අසම්පූර්ණ 4 යි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පැ 317 හි මුද්‍රාවක් හා අත්සනක් තිබෙනවා. ඒ කාගෙද?

සාක්ෂිකරු; එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අත්සන් කර තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ ඒ අත්සන හඳුනනවාද?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; 68 පිටුවේ මිනිට් සටහන් දුටුවාද?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනි, මේ සම්බන්ධව නම් මට දැනුමක් නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; කවුද ඒ මිනිට් ඇතුළත් කරන්නේ? විෂය භාර නිලධාරියාට පුළුවන්ද?

සාක්ෂිකරු; බැහැ ස්වාමීනි, ඉහළින් සිටින මාණ්ඩලික නිලධාරියෙක් විය යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; මෙතනදී කවුද?

සාක්ෂිකරු; ගණකාධිකාරී සැපයුම්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; 66 ලිපිය කවදා ලියූ එකක්ද? අත්අකුරු කාගෙද?

සාක්ෂිකරු; 2022/10/18 දින ලියූ එකක්. වෛද්‍ය හේරත් මහතාගේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; මේ ගොනුවට ඇතුළත් කර ඇත්තේ එම ලිපියේ මුල් පිටපතද ඡායා පිටපතක්ද?

සාක්ෂිකරු; ඡායා පිටපතක්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පැ 320 ලිපිය කවුරු විසින් එවන ලද්දක්ද?

සාක්ෂිකරු; අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; කුමක් සඳහා එවන ලද්දක්ද?

සාක්ෂිකරු; WA එකක් ලබා ගැනීම සඳහා මෙහි දෙවන ඡේදයේ ඒ බව සඳහන් වෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පැ 320 II හි දිනයක් සඳහන් වෙනවා.

සාක්ෂිකරු; ඔව්, 2023 ජනවාරි 16 ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එය කාට යැවූ එකක්ද?

සාක්ෂිකරු; ගණකාධිකාරී සැපයුම්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පැ 320, 7 වන චූදිත අමතා ලියූ එකක් බව ඔබ හඳුනා ගත්තා.

සාක්ෂිකරු; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පැ 319 හි 5A සිට 320 දක්වා අවධානය යොමු කරමින් IV මිනිට් සටහන වෙත අවධානය යොමු කරන්න. කවුද මේ මිනිට් සටහන තබා තිබෙන්නේ?

සාක්ෂිකරු; උදේශිකා නැමැති සංවර්ධන සහකාරිවරිය

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඇය මේ සටහන තබා ඇත්තේ කා හරහා කවුරු වෙතද?

සාක්ෂිකරු; අධ්‍යක්ෂ වෙත. අයිසොලෙස් ෆාමා විසින් එවා ඇති ලිපිය සම්බන්ධව අත්සනට බව සඳහන්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඊට අදාළ ලිපිය කොහෙද තියෙන්නේ?

සාක්ෂිකරු; 84 පිටුව ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; කුමක්ද එහි කර තිබෙන්නේ ?

සාක්ෂිකරු; අත්සන තබා දිනය දාලා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඉන්පසු ඔබ කුමක්ද කළේ?

සාක්ෂිකරු; එය අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එම ලිපියේ නිල් පෑනකින් වැරදි නිවැරදි කර තිබෙනවා. කවුද එය කර තිබෙන්නේ?

සාක්ෂිකරු; වෛද්‍ය කපිල වික්‍රමනායක අධ්‍යක්ෂතුමා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එම වැරදි නිවැරදි කළ ලිපිය තියෙනවද?

සාක්ෂිකරු; 85 පිටුව

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එම ලිපිය ඔබට හඳුනාගත හැකිද? එම ගොනුව දෙවන චූදිත වෙත ඉදිරිපත් වූ බවට සාක්ෂි තිබෙනවාද?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනි 2023/02/20 ලෙස දිනය සටහන්ව තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එහි දින මුද්‍රාවක් පෙනෙනවද? එය කුමන කාර්යාලයකද?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනි. අධ්‍යක්ෂ කාර්යාලයෙන්. 2023 පෙබරවාරි 20 ලෙස සටහන්ව තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; අධ්‍යක්ෂතුමා විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙත මිනිට් සටහනක් තැබූ පසු එය කාටද ඉදිරිපත් විය යුත්තේ?

සාක්ෂිකරු; නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; 85 පිටුවේ ඇති ලිපිය බලන්න. එහි නිල් පෑනකින් තබා තිබෙනවා. 2 චූදිත විසින් 7 චූදිත වෙත යැවූ ලියුමක් වෙනත් අයෙක් අතට යා හැකිද?

සාක්ෂිකරු; නොහැකියි ස්වාමීනි. සාමාන්‍යයෙන් අපි ගොනුව ඉදිරිපත් කරනවා නියෝජ්‍ය අධ්‍යක්ෂතුමාට. ඒ හැර වෙන කෙනෙක් අතට යා නොහැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පැ 321 හි දෙවන චූදිතගේ මිනිට් සටහනින් පසු අත්සන් හෝ සටහන් තිබේද?

සාක්ෂිකරු; නැත ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එහෙම නොතිබෙන්න හේතුව කුමක්ද ?

සාක්ෂිකරු; අදාළ නිලධාරියා එය අත්සන් කර නැති බවයි පෙනෙන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ සැකසූ ලියුම 316 II අනුව දෙවන චූදිත අත්සන් තැබුවාද?

සාක්ෂිකරු; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එම ලිපියේ පෑනකින් සඳහන් කර ඇත්ද?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; 86 පිටුවේ ලියුම කවුරු විසින් කවදා කාට එවන ලද එකක්ද?

සාක්ෂිකරු; පෙබරවාරි 28 වැනිදා, අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා මගින් ගණකාධිකාරීවරයා වෙත එවන ලද්දක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; සැපයීම් අංශයේදී, දින මුද්‍රාවට යටින් තබා ඇති සටහන කුමක්ද?

සාක්ෂිකරු; මා විසින් ගණකාධිකාරී සැපයුම් වෙත 2023/03/02 දින යවන ලද්දක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එහි ඇති අත්සන කාගෙද?

සාක්ෂිකරු; නිරාන් ධනංජය මහතාගේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔහු විසින් ඔබේ සටහනට අත්සන යෙදූ පසු කුමක්ද කළේ?

සාක්ෂිකරු; අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එහි සටහන කුමක්ද?

සාක්ෂිකරු; කපිල වික්‍රමනායක මහතා විසින් ප්ලීස් ඩිස්කස් ලෙස සටහන් කර තිබුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; 87 පිටුවේ ඇති ලියුම කොහොම ආ එකක්ද?

සාක්ෂිකරු; 2023 මාර්තු 1 දා සැපයීම් ශාඛාවෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එය ලැබුණු පසු ගත් පියවර කුමක්ද ?

සාක්ෂිකරු; මම එය අධ්‍යක්ෂතුමා වෙත යොමු කිරීමට සටහන් යෙදුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ එය යැව්වේ කාටද?

සාක්ෂිකරු; අධ්‍යක්ෂතුමාට

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එහි යැවූ දිනය කුමක්ද?

සාක්ෂිකරු; 2023 මාර්තු 2. එහි අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතාත් අත්සන් කර තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; අධ්‍යක්ෂ කාර්යාලය වෙත යැවූ ලිපිය ඊළඟට කුමක්ද වුණේ?

සාක්ෂිකරු; අපේ කාර්යාලයට පෙබරවාරි 28 ආවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පැ 322, පැ 323 ලිපිය ප්‍රකාරව ප්ලීස් ඩිස්කස් ලෙස දැන්වූ පසු කුමක්ද කළේ?

සාක්ෂිකරු; ඒ අනුව අධ්‍යක්ෂ සමග සාකච්ඡා කොට අතිරේක ලේකම් වෙත ලියුමක් සකසන්න කියා නිරාන් ධනංජය මහතා මට උපදෙස් දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; කුමක් සඳහාද?

සාක්ෂිකරු; අයිසොලෙස් බයෝටෙක් ෆාමා වෙත යැවීම සඳහා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ ලියුම සැකසුවාද?

සාක්ෂිකරු; ඔව් පිටපත් තුනක් සකසා මුල් පිටපත අමාත්‍යාංශ ලේකම්ට, දෙවැන්න අධ්‍යක්ෂතුමාට සහ තෙවැන්න කාර්යාල ගොනුවට තැබුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; කාර්යාල පිටපත දැන් කොහෙද?

සාක්ෂිකරු; 88 වශයෙන් අමුණා තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ හැදූ එම පිටපත බලන්න එය කාගේ අවශ්‍යතාවක් සඳහාද?

සාක්ෂිකරු; වෛද්‍ය හේරත් මහතාගේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ ඇමතුවේ කවුද?

සාක්ෂිකරු; අතිරේක ලේකම් ඖෂධ සැපයුම්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; කාරණය ඇතුළත් වී තිබේද?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනි, පළමු පරිච්ඡේදය යටතේ එය ඇතුළත්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එයින් ඉල්ලා ඇත්තේ කුමක්ද?

සාක්ෂිකරු; WA ලබා ගැනීම සඳහා කරන ඉල්ලීම අත්සනට ඉදිරිපත් කරන බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; නිරාන් ධනංජයගේ අත්සනට යැවූ දිනය කවදාද?

සාක්ෂිකරු; 2023 /03/23

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ඒක බලලා කුමක්ද කිව්වේ?

සාක්ෂිකරු; මට එවන්න අවශ්‍ය නැහැ කිව්වා. ඉරලා දැම්මා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ කුමක්ද කළේ?

සාක්ෂිකරු; නිරාන් ධනංජය මහතාට දැනුම් දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; සැපයුම්කරු ලියුම ගන්න ආවාද?

සාක්ෂිකරු; ආවා, එවිට කාර්යාල ගොනුවට පිටපත් දෙකක් දමා ඔහුට ලියුම දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පැ 325 යොදන අවස්ථාවේ 86, 87 හි තිබුණේ මුල් පිටපත්ද?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; අයිසොලෙස් බයෝටෙක් ෆාමා හිමිකරු ආවාම මුල් පිටපත දුන්නාද?

සාක්ෂිකරු; ඔව් ගොනුවේ තිබූ පිටපත දුන්නා ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ ඔහු හඳුනනවද?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනී, වෛද්‍ය සැපයුම් ඒකකයේ දේශීය නිෂ්පාදන වැඩසටහන යටතේ සමහර කෙමිකල් සැපයීමේ ගිවිසුමක් තියෙනවා. ඔහු ෆේස් මාස්ක් වැනි දේ සපයනවා. ඒ නිසා ඔහු දන්නවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; මොනවද ඔහු දෙන කෙමිකල්?

සාක්ෂිකරු; පිරිසිදු කාරක තිස් දෙකක් තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; දේශීය සැපයුම්කරුවකු ලෙස කොහෙටද සම්බන්ධ වෙන්නේ?

සාක්ෂිකරු; වාර්ෂික බෙදාදීම් සාකච්ඡාවලට එනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ ඔහු වගේම අනෙක් අය සමගත් සම්බන්ධ වෙනවද?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනි. ඒවා සංවිධානය කරන්නේ මමයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පැ 324 ලේඛනයේ අවසන් අංක 1 හා 2 ලෙස අත්අකුරින් සටහනක් තියෙනවා. ඒ කාගෙද?

සාක්ෂිකරු; මගේ ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා හැර වෙන කිසිවෙක් 1 සිට 88 දක්වා ලේඛනවල නැහැ නේද?

සාක්ෂිකරු; නැහැ ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පැ 325 ලේඛනයේ මිනිට් සටහනට යටින් සටහන කාගෙද?

සාක්ෂිකරු; එය මගේ සටහනක්. 2023/04/10 දින ගණකාධිකාරී මගින් අධ්‍යක්ෂ වෙත යැවීම සඳහා දැමූ සටහනක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පිටු අංක 89 හා 90 කුමක්ද?

සාක්ෂිකරු; සැපයීම් ලැබී තිබූ අයිතම ලබා ගැනීම සම්බන්ධව.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පිටු අංක 90 කින් 90 වන පිටුව ලෙස සටහන් කළ ස්ථානයද?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; MSD PO අංකය ලබාගන්නේ කෙසේද?

සාක්ෂිකරු; අයිතමවලට අදාළව ඒවා පවත්වාගෙන යන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; තොග සැපයුම්කරුවන් කී දෙනෙක් පමණ ලැයිස්තුගතව සිටිනවාද?

සාක්ෂිකරු; 22 ක් පමණ ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පිටු අංක 89 හා 90 දක්වා තවත් අයිතම තිස්හතක් සඳහන්. ඒ මොනවාද?

සාක්ෂිකරු; ඖෂධ වර්ග 37 ක් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ විසින් මිනිට් සටහන් දැමූ පසු ඊළඟට ගත් ක්‍රියාමාර්ගය මොනවාද?

සාක්ෂිකරු; එම ගොනුව අධ්‍යක්ෂ වෙත යොමු කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔහු දැමූ සටහන කොතැනද?

සාක්ෂිකරු; මැද පෑනකින් තනි ඉරකින් කපා ගොනු ඇති සටහන. ඒ 2023/10/07 වැනිදා. ඊට පිළිතුරු ලෙස අත්සන් කර ඇති තැනැත්තා මට හඳුනාගත නොහැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; තොග පාලන නිලධාරී දැමූ සටහන් ඇතිදැයි ඔබට කිව හැකිද?

සාක්ෂිකරු; ෆ්ලුසිමයිඩ් injection, receive UNOP Project 606070 Vials monthly request is 250000 ඉතිරිය මට පැහැදිලි නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පිටු අංක 191 ට යන්න. කීවෙනි අයිතමය යටතේද එය තියෙන්නේ?

සාක්ෂිකරු; 2 වන අයිතමය ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; දෙවන චූදිත විසින් කපන ලද මිනිට් එකට එහායින් ඇත්තේ කාගේ අත්සනද?

සාක්ෂිකරු; කපිල වික්‍රමනායක මහතාගේ. එය මා හරහා නොව අතිරේක අධ්‍යක්ෂ හරහා ගිය එකක් විය යුතුයි. මන්ද එය Supplies වෙත දැමූ සටහනක්. එය 2023/07/24 දින දමා තිබෙන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබට ගැනුම් ඇණවුම් නිකුත් කරන්න උපදෙස් ලැබී තිබෙනවානේ. ඔබ මොනවාද කළේ?

සාක්ෂිකරු; එහි ඕඩර් ලිස්ට් අංකය spc එකක්. ඒකෙන් අපට ගැනුම් ඇණවුම් ගන්න බැරි බැවින් MSD V Order එකක් දමන්න කියා ගණකාධිකාරී සැපයුම් වෙත මිනිට් එකක් දැම්මා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; අයිතම 121 ක් තොග ලැබීම නිසා ගොනුව යැවූ බවත් 2023/07/24 දින නැවත ගොනුව ආ බවත් ඔබ කීවා. ඔබලා යැවූ ගොනුවේ පර්චස් ඕඩර් එක ලැබිලා තිබුණා. ඒ කුමන ඇණවුමක්ද කියලා බැලුවද?

සාක්ෂිකරු; නැහැ ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; 2023/07/24 වන විටත් MSD V ඕඩර් දමා තිබූ බව කවුරුන් හෝ ඔබට කීවාද ?

සාක්ෂිකරු; නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔබ උපදෙස් ඉල්ලුවේ කාගෙන්ද?

සාක්ෂිකරු; ගණකාධිකාරී සැපයුම්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඔහු නිර්දේශ කර තිබුණා. එය අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක වෙත ගොස් තිබූ අතර recommended කියා 2023/07/24 දින අනුමත කරනවා. හේරත් මහතාත් 07/24 දින අනුමත කර අවසර දී තිබෙනවා. නමුත් ඒ වන විටත් MSD V orders ලබා දී අවසන් බව කවුරුවත් ඔබට දැනුවත් කළේ නැද්ද?

සාක්ෂිකරු; නැහැ ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පැ 331 ලේඛනයේ යාඩෙන් international වෙත යවා ඇති ලියුම කියවා තේරුම් ගත හැකිද?

සාක්ෂිකරු; නොහැකියි ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ගැනුම් ඇණවුම් නිකුත් කළ 158 න් NMRA මගින් WA ලබා ගැනීම සඳහා සැපයුම්කරුවන් කී දෙනෙක් ඉල්ලුම් කළාද?

සාක්ෂිකරු; දෙදෙනයි. අයිසොලෙස් බයෝටෙක් ෆාමා සහ යාඩෙන් international පමණයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; යාඩෙන් international ඉල්ලීමක් කළ පදනම කුමක්ද?

සාක්ෂිකරු; මා දන්නේ නැහැ ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; යාඩෙන් ඉන්ටර්නැෂනල් කළ ඉල්ලීම 230 පිටුවේ ඇතැයි ඔබ හඳුනාගත්තා. ඒ ඉල්ලීම හා ඊට අදාළ මිනිට් සටහන්ද හඳුනා ගත්තා. එහි පළමු පේළියේ ICL යටතේ ලබා දී ඇති අයිතම දෙකක WA ලබා ගැනීම සඳහා අතිරේක ලේකම්වරයා වෙත සපයන ලද නිර්දේශය කුමක්ද?

සාක්ෂිකරු; මා දන්නේ නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; අයිසොලෙස් බයෝ ටෙක් හි WA ලබා ගැනීමට සකස් කර ඇති ලියුම 324 ලෙස ඔබ හඳුනා ගත්තා. එහිදී ඔබ සකස් කළ ලියුමෙන් සෘජුව WA නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණද?

සාක්ෂිකරු; ඉල්ලා තිබුණා. සුදුසු කටයුතු සඳහා NMRA එකට ඉදිරිපත් කරන ලෙස මා ඉල්ලුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; 97 ගොනුවට අවධානය යොමු කරන්න. මෙය කා භාරයේද තිබුණේ?

සාක්ෂිකරු; මා භාරයේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; නැවත ඇගයීම් කර එවූ ප්‍රසම්පාදන 17 ක් තමයි ඔබට මුලින්ම ලැබෙන්නේ. ඔබ කිව්වා සැපයීම් අංශය පරීක්ෂා කර බලන ලේඛන පිළිබඳව. පිටු අංක 4 හි ඇති ලේඛනය හඳුනාගත හැකිද?

සාක්ෂිකරු; ඔව් එය ගැනුම් ඇණවුමක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පිටු අංක 2 සිට 4 දක්වා එම ඇණවුම තිබෙනවා. පිටු අංක 1 හි තිබෙන්නේ කුමක්ද ?

සාක්ෂිකරු; මට එය පැහැදිලි නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; කොහෙන්ද ඒක ලැබිලා තියෙන්නේ?

සාක්ෂිකරු; ඖෂධ නියාමන අංශයෙන්.

නඩුව අද (10) දිනට කල් තැබිණි. මෙම සාක්ෂිකරු අද දිනයේද සාක්ෂි සඳහා කැඳවීමට නියෝග ලැබිණි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0