බැඳුම්කර නඩුව පවත්වාගෙන යා හැකියි...

2016 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවකදී රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කර තිබුණි.

Jun 2, 2026 - 10:44
 3
බැඳුම්කර නඩුව පවත්වාගෙන යා හැකියි...

බැඳුම්කර නඩුව

පවත්වාගෙන යා හැකියි...


අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු මඩුල්ල කියති!


2016 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවකදී රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කර තිබුණි. 


කෙසේ වුවද, 2021 වසරේදී මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් මූලික විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ නඩුවේ විත්තිකරුවකු ලෙස සමාගමක් නම් කර ඇති බැවින්, පොදු දේපළ පනත යටතේ සමාගමකට එරෙහිව මෙවැනි චෝදනා පවත්වාගෙන යා නොහැකි බවයි. එම කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණය 2021 දෙසැම්බර් මස 06 වනදා විත්තියේ මූලික විරෝධතාව පිළිගනිමින් නියෝගයක් නිකුත් කළ අතර, නීතිපතිවරයා ඊට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ඇපෑල ද ප්‍රතික්ෂේප විය.


පහළ උසාවිවල එම තීරණ අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනය විභාග කළ අගවිනිසුරු ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් අද (01) විශේෂ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලදී. එම තීන්දුව මගින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පැරණි නියෝගය ඉවත දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය, පොදු දේපළ පනත යටතේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පවත්වාගෙන යාමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව අවධාරණය කළේය.


ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් පෙන්වා දී ඇත්තේ අර්ථ නිරූපණ ආඥා පනතට අනුව සමාගමක් ද නීතිමය වශයෙන් "පුද්ගලයෙකු" ලෙස අර්ථ නිරූපණය කළ යුතු බවයි. එමෙන්ම ස්වභාවික පුද්ගලයන්ගෙන් පමණක් නොව, විවිධ ආයතනික ව්‍යුහයන් හා සමාගම් හරහා සිදුකරනු ලබන රහසිගත මෙන්ම සංකීර්ණ මූල්‍ය වංචා හේතුවෙන් මහජන දේපළවලට සහ රජයේ අරමුදල්වලට විශාල වශයෙන් පාඩු සිදුවන බව ද එහි සඳහන් කර ඇත. 


ඒ අනුව, දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනතේ ප්‍රතිපාදනයන්ට යටත්ව මෙම නඩුව ඉදිරියට කරගෙන යාමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මෙම බැඳුම්කර නඩු විභාගය හැකිතාක් ඉක්මනින් සහ නොපමාව පවත්වා අවසන් කළ යුතු බවට ද වැඩිදුරටත් නියෝග කළේය.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0