රිමාන්ඩ් වෙනවාට වඩා මරණය සැපයක්ද..! කපිල චන්ද්‍රසේන අත්හදා බැලුවාද..?

“ස්වාමීනී මට අරවින්ද ද සිල්වා කතා කරා. එහිදී කපිල චන්ද්‍රෙස්න “21 ද 31 ද කියන section” එකක් ගැන කියනවා. එයා රිමානඩ් කරයි කියලා බයයි. මට ඒවා තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් ඇවිත් කතා කරන්න” යැයි අරවින්ද සිල්වා දුරකතනයෙන් දැනුම් දුන් බවත්, ඒ අනුව ඔහු අධිකරණයට රැගෙන යාමට තමන් එදින (2026 මැයි 08 වනදා) පෙරවරු 715ට පමණ කොල්ලුපිටිය පේද්‍රික් මාවතේ නිවසට ගිය බවත් නිතිඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය.

May 15, 2026 - 12:47
May 15, 2026 - 13:09
 81
රිමාන්ඩ් වෙනවාට වඩා  මරණය සැපයක්ද..!  කපිල චන්ද්‍රසේන අත්හදා බැලුවාද..?

රිමාන්ඩ් වෙනවාට වඩා

මරණය සැපයක්ද..!


කපිල චන්ද්‍රසේන අත්හදා බැලුවාද..?

“ස්වාමීනී මට අරවින්ද ද සිල්වා  කතා කරා. එහිදී කපිල චන්ද්‍රෙස්න “21 ද 31 ද කියන section” එකක් ගැන කියනවා. එයා රිමානඩ් කරයි කියලා බයයි. මට ඒවා තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් ඇවිත් කතා කරන්න” යැයි අරවින්ද සිල්වා දුරකතනයෙන් දැනුම් දුන් බවත්, ඒ අනුව ඔහු අධිකරණයට රැගෙන යාමට තමන් එදින (2026 මැයි 08 වනදා) පෙරවරු 715ට පමණ කොල්ලුපිටිය පේද්‍රික් මාවතේ නිවසට ගිය බවත් නිතිඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය.


කපිල චන්ද්‍රෙස්න නැමැති අය සිටියේ නැවත රිමාන්ඩ් කරයි කියන බයෙන්. එම නිසා එහි ගොස් ඒ බව තේරුම් කර දී අධිකරණයට බාර වීමට ඔහු රැගෙන එන ලෙස ජනාධිපති නිතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ලබා දුන් උපදෙස් අනුව ඔහු සිටි අදාළ නිවසට ගිය බව කපිල චන්ද්‍රසේන නැමැති අයගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් නිතිඥ සමරසිංහගේ උපාලි ප්‍රියන්ත අමරසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ පැවැසීය.


ඔහු බාර කිරිමට “මෝෂන් එකක්” ගොනු කර ඇති බවත් ඒ සම්බ්නධයෙන් අරවින්ද සිල්වා කෝල් එකක් දෙයි. ඔහු සමග සම්බන්ධ වී අවශ්‍ය වැඩ කරන ලෙස ජනාධිපති නිතිඥවරයා උපදෙස් දුන් බවත් නිතීඥවරයා කියා සිටියේය. 


මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය පළමු වරට පසුගිය 12 වනදා කැඳවූ අතර එහිදී මරණය සිදු වූ නිවසේ හිමිකරු වන මරණ කරුගේ බිරිඳගේ සොයුරියගේ සැමියා වන  ක්‍රිකට්  ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ සාක්ෂි ලබා දෙනු ලැබීය.


ඒ අනුව දෙවන දිනටත් සාක්ෂි විභාගය ඊයේ  (14) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.


නිවසේ සේවිකාව විසින් යතුරු තුනක් පාර්සලයක් ලෙස ඔතා තිබියදී විවෘත කර මරණකරුගේ නිවස සෝදිසි කළ බවද කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය.


“ස්වාමීනී, මරණ කරුට අයත් නිවසේ සොදිසි වරෙන්තුවක් අනුව සෝදිසි කිරිමක් සිදු කරා. එම නිවසේ ඡායාරූප වීඩියෝ දර්ශන ලබා ගත්තා. ඒවා ඩී වී ඩි තැටියකට දමා අධිකරණයට ඉදිරිපත් කරනවා. එහි තිබී ලැප්ටොප් පරිඝණකයක් සහ ලිපි ගොනු රැසක් බාරයට ගත්තා. ඒවා විමර්ශන කර වැඩිදුර ප්‍රගතිය වාර්තා කිරිමට අවසර ඉල්ලා සිටිනවා. 


බාරයට ගත් ඖෂධ වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත්‍රාත්වරයාට කරුණු දක්වමින් ඉල්ලා සිටියේය. 


එහිදී වැඩිදුර කරුණු විමසූ මහේස්ත්‍රාත්වරයා : එම ඖෂධ රස පරීක්ෂක ලෙස යවන ලෙසට ස්ථානීය පරීක්ෂණයේදි උපදෙස් දුන්නා. එම ඖෂධ වර්ගද රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කරන්නේ.


පොලීසිය : එසේය ස්වාමීනී, වෙන් නොකළ  ඖෂධ පෙරදින එකට අධිකරණයට ඉදිරිපත් කර තිබුනා . ඒවා නැවත රැගෙන වෙන් කර නම් සදහන් නොවන කඩදාසි කැබලි වල ඔතා මරණකරුගේ කාමරයේ තිබූ ඖෂධ ඇතුළු ඖෂධ රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කරන ලෙස නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.


මහේස්ත්‍රාත්වරයා : මරණකරු සිටි නිවස සීසීටීවී දර්ශන බාරයට ගෙන තිබේද..?


පොලීසිය : ස්වාමීනී එම සීසීටීවී ක්‍රියාකාරී තත්ත්වයේ තිබුණත් දත්ත ගබඩා වී නැහැ. එම අවස්ථාවේ දත්ත පමණයි පටිගත වන්නේ ගබඩා වී නැහැ. එහෙත් ආසන්න නිවෙස් දෙකක සීසීටීවී මරණකරු නිවසට පැමිණි වෙලාවේ සිට පොලිස් බාරයට දේහය ගන්නා අවස්ථාවේ තෙක් ලබා ගත්තා.


මහේස්ත්‍රාත්වරයා : එම නිවසට සීසීටීවී ප්‍රවේශය පෙනෙන්නට තිබෙනවා ද..?


පොලීසිය : එසේය ස්වාමීනී,


මහේස්ත්‍රාත් වරයා : ප්‍රවේශ වන ස්ථාන කීයක් තිබෙනවාද පැහැදිලිව ඒවා පෙනෙවාද..?


පොලීසිය : එසේය ස්වාමීනි ප්‍රෙව්ශය තිබෙන්නේ එක් ස්ථානයක් පමණයි...


මරණකරු සිටි අරවින්ද ද සිල්වා මහතා ට අයත් නිවසේ සීසීටීවී පද්ධතිය ක්‍රියාත්මක වුවද දර්ශන පටිගත වීමක් සිදු වන්නේ නැහැ. එම සීසීටීවී පද්ධතියට ප්‍රවේශය තිබෙන්නේ නිවෙස් හිමිකරුගේ ජංගම දුරකතනයට පමණයි. අපි සීසීටීවී යන්ත්‍රය අපේ බාරයට ගත්තා වැඩිදුර විමර්ශන සඳහා. නිවෙස් හිමියාගේ ජංගම දුරකතනයට එම අවස්ථාවේ දර්ශන බැලීමට හැකියි. යැයි කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ දැනුම් දුන්නේය.


එසේම මරණකරු සිටි නිවස ඔහුගේ බිරිඳගේ නමින් ඇති බව සිදු කළ විමර්ශන අනාවරණය කළ බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
 

කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් කොස්තාපල් (83080) ඒ. ඩි. එස් සම්පත් නිලධාරියා විසින් සාක්ෂි මෙහෙයවනු ලැබීය.


 මියගිය කපිල චන්ද්‍රෙස්න මහතාගේ මරණයට අදාළ වැඩිදුර සාක්ෂි විමසීම ආරම්භ කරමින් කපිල චන්ද්‍රෙස්න මහතාගේ නිවසේ සේවය කළ සෝමදාස වනතුංග මුදියන්සේලාගේ සෝමදාස (57) සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවැසීය.


“මම කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසට පැමිණියේ ඔහුගේ පියාගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු බලා ගැනීමට දැනටමත් සේවයට ඇවිත් අවුරුදු අට හමාරක් නමයක් වෙනවා. ඇප දීපු දවසේ රාත්‍රී 8.30ට සර් ආවා. ඇවිත් කතා කරා. බල්ලො දෙන්නා ගැන ඇහුවා. කෑම තියෙනවද, බෙහෙත් තියෙනවද, පැල කරපු පැල කොහොමද කියලා ඇහුවා. මගෙන් කොහොමද කියලත් ඇහුවා. ඒ වෙනකොට  වෙලාව අටයි තිහට විතර ඇති. කෑම කාලා ම ඇඟට අමාරුයි කියලා නිදාගන්න ගියා. නමයට වගේ සර් ගියා.


 පසුදින  උදෑසන මම ක්ලීන් වැඩ  කරලා ඔෆිස් ගියා.  හතයි තිහට වගේ ගියේ. මම වැඩ කරන්නේ බොරැල්ලෙ මොබිටෙල් කාර්යාලයේ. මම යනකොට සර් අවදිවෙලා හිටියේ නැහැ. සර් අවදි වෙන්නේ දවල් වෙලා. මම  පහට ඕෆ් වෙන්නේ. විශේෂ වැඩක් තිබුණත් හය විතර වෙනවා. මම එනකොට කපිල සර් හිටියේ නෑ. එළියට ගියා කියලා දැනගත්තා. වැඩ කරන සේවිකාව තමයි එහෙම කිව්වේ. සර්ගේ මරණය සම්බන්ධයෙන් ආරංචිය දැනගත්තේ සමාජ මාධ්‍යය මගින්. office එකට කියලා මම ආපහු ගෙදර ආවා. ඒ වෙනුවට පොලිසියෙන් ගෙදරට ඇවිත් හිටියා. නිවසට පිටස්තර කවුරුත් ආවේ නැහැ. 


සර් ක්‍රීඩා කටයුතු කරනවා අවසර ජිම් යනවා. පැය දෙකක් විතර එක්සයිස් කරනවා. උදේ හයට විතර බයිසිකලෙන් යනවා. අටට විතර එන්නේ. ඇවිල්ලත් එක්සයිස් කරනවා. සමහර වෙලාවට කකුල් කකියනවා කිව්වම ඒවට පාවිච්චි කරන ක්‍රීම් ගාලා මම මසාජ් කරනවා. එක්සයිස් කරන බෙල්ට් තියෙනවා. යකඩ තියෙනවා වගේ බෙල්ට් තියනවා. ඒවා දාගෙන එක්සයිස් කරනවා. සර්ට කරදරයක් කියලා දැනගත්තම වැඩ කරන “මිස්ට” රිපෝට් කරලා ගෙදර ආවා . රෝහලට ගියේ සර්ව හඳුනාගන්න ජාතික රෝහලට ගියේ”


මහේස්ත්‍රාත්වරයා  : ඇඳුම් ගෙනියන්න කියලා කවුරුත් ආවාද


සාක්ෂිකරු : රෙදි දෙන්න කියලා කිව්වා කියලා වැඩ කරන කෙනා කිව්වා. බෑග් එක ගෙනියනවා දැක්කේ නැහැ.


නීතිඥ සමරසිංහගේ උපාලි ප්‍රියන්ත අමරසිංහ (58) මහතා සාක්ෂි සදහා කැදවනු ලැබීය. එහිදී සාක්ෂි දෙමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.


“මම එහි ගියේ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ උපදෙස් මත. කපිල චන්ද්‍රසේන හෙට අධිකරණයට බාර වෙනවා. ඔයා ඉන්නේ මොන අධිකරණයේද කියා ජනාධිපති නිතිඥවරයා රාත්‍රි 9.30 ට පමණ මගෙන් විමසා සිටියා. එහිදී මම ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිටින බව දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ මගේ “චේම්බර් එකෙන්” කපිල චන්දසේන බාරවෙන එකට මෝෂන් ඒක හදලා එවනවා. ඔයාට අරවින්ද ද සිලාව කතා කරයි. එයා එක්ක කතා කරගෙන මෝෂන් ඒක කතා කරනකොට මම එන බව කියලා keep down කරන්න. කියලා රියෙන්සි සර් කිව්වා. 


රියෙන්සි සර් එදා මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු දෙකක් තිබෙන බවත් මට දැනුම් දුන්නා. සර් එනකම් මෝෂන් එක keep down කරන්න කියලා සර් මට උපදෙස් දුන්නා. කපිල නැවත රිමාන්ඩ් කරනවට බයෙන් ඉන්නේ කියලා අරවින්ද ද සිල්වා කතා කරාම කපිල චන්ද්‍රසේන හමු වි එයාට කරුණු පැහැදිලි කරන්න කියලත් සර් මට කිව්වා. යැයිද නිතිඥවරයා කීවේය.


“ඒ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් මමත් මාධ්‍ය  මගින් දැක තිබුණා. අල්ලස් කොමිසම කපිල් අත්අඩංගුවට ගන්න කියලා ඉල්ලීමක් කරලා තියෙන බවටත් මම මාධ්‍ය මගින් දැක්කා.  කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් නිකුත් කළ බව. අරවින්ද මට රාත්‍රී 12ට පමණ කතා කරා. මෝසම් සම්බන්ධයෙන් මම දැනුවත් බව ඔහුට කිව්වා. අරවින්ද කිව්වා කපිල 21ද 31 ද කියන section එකට බයෙන් ඉන්නේ කියලා අරවින්ද මට කිව්වා. අධිකරණයට ඉදිරිපත් වෙන්න ඔහු  බය අරවින්ද මට කිව්වා. ඒ පනත් ගැන මම දන්නේ නැහැ. ඒ නිසා උදේ එන්න පුළුවන් ද කියා ඔහු ඇහුවා. මම එතකොට ඇහුවා කපිල කොහේද ඉන්නේ කියලා. අරවින්ද කිව්වා මගේ ගෙදර මා සමග ඉන්නේ කියලා කිව්වා. අරවින්ද ගේ නිවස දන්න නිසා මම එන්නම් කියලා මම කිව්වා.  


කීයට දෙන්න පුළුවන් කියලා අරවින්ද ඇහුවා.  මම කිව්වා හයයි හතළිස් පහට මගේ පුතා “සෙන්ට් ජෝසප්” විදුහලට දාලා 7.15  වෙද්දි මම නිවසට එන්නම් කියලා. එතකොට අරවින්ද කිව්වා “ප්ලීස්” ඒ වෙලාවට එන්න කියලා. එතකොට වෙලාව එකොළහයට විතර ඇති. ගිහින් අරවින්දට කෝල් එකක් ගත්තා. අරවින්ද කිව්වා මම දැන් තමයි නැගිට්ටේ ඇතුලට එන්න කියලා. මම එහෙ ගියේ තනියම රිය පදවගෙන. මම නිවසට ඇතුළු වුණාම කොට කලිසමක් ඇඳගත් පිරිමි කෙනෙක් තේකක් දුන්නා. තේක බොන අතරේ අරවින්ද උඩ සිට පහළට පැමිණෙන ගමන් කිව්වා ප්‍රියන්ත මම කපිලට කෝල් කරා. අන්සර් කරන්නේ නෑ කියලා. 


එතකොට මම කිව්වා දොරට තට්ටු කරමු කියලා. ඇහුනා දොරට තට්ටු කරනවා. ආපහු අරවින්ද බිරිඳ සමග ඇවිත් කිව්වා දොර අරින්නේ නෑනේ කියලා. එතකොට මම කිව්වා උදේම ගිහින්ද කියලා සිකුරුටිගෙන් චෙක් කරන්න කියලා. ඒ එක්කම අරවින්දයි බිරිඳයි මමයි උඩට ගියා ඒ අතරේ අරවින්ද වොෂ්රූම් එකට ගියා. මම බිරිඳගෙන් ඇහුවා අමතර යතුරක් නැද්ද, මාස්ටර් කී එකක් නැද්ද කියල. බිරිඳ මාස්ටර් කී එක ගෙනත් දොර ඇරියා. ඒ වන විට වෙලාව හතයි තිස්පහට විතර ඇති. දොර ඇරපු ගමන් මම ඇඳ ඇතිරිල්ල ඇකිල්ලා ගුලි වී බිම තිබෙනවා දුටුවා. ඇඳුමක කොටසක් ඇඳ මත තිබෙනු දුටුවා. ඒ කාමරේ වම්පස දොරක් තිබුණා. ඒ දොර උඩින් තද කොල පාට ටයිපැටියක් වගේ පටියක් තිබුණා. 


ඒ එක්කම බලන විට නිල්පාට පුටුවක් වගේ තිබුණා. ඒ පුටුව  උඩ කොන්ඩේ නැති තට්ට ඔළුවක් තිබුණා. ඒ වගේ සිදුවීමක් මගෙත් පළමු අත්දැකීම. මමත් ටිකක් බියට පත්වුණා. ඒ මොහොතේ අරවින්ද සිල්වාගේ නෝනා දොර ළඟ සිටියා මම අතින් ආපස්සට යන්න සංඥාවක් දීල මමත් එළියට ආවා. ඒ අවස්ථාවේ මම දුටුවේ ඔලුවේ තට්ට කොටස පමණයි. ඒවගේම බෙල්ලේ උඩ තිබුන පටියක්කුත් මම දැක්කා. මම අරවින්දට කිව්වා මැරිලා වගේ කියලා. ඒත් එක්කම මම කිව්වා ලඟ ඉන්න ඩොක්ටර් කෙනෙකුට කතා කරන්න කියා.  ඒ වෙනකොට අරවින්දත් බියට පත් වී සිටිනු මම දුටුවා කෝල් ගත්තෙත් කලබලයන් කියා මට නිරීක්ෂණය වුණා. ඔහු වෛද්‍යවරයෙකුට කෝල් ගන්න කොට මට මතක් උනා ළඟම ඩර්ඩ්න්ස් රෝහල තිබෙන බව. මම කිව්වා ඩර්ඩනස් රෝහලට කතා කරන්න කියලා. ඒ අවස්ථාවේ මට හිතුනේ පණපිටින් ඉන්නවානම් බේරගන්න ක්‍රමයක් තියෙයි කියලා. මුලින්ම ආවේ ඇම්බියුලන්ස් එකක්. ඒකෙ වෛද්‍යවරියක් ඇතුළු කාර්යමණ්ඩලයක් සිටියා. තුන් දෙනෙක් පමණ සිටි බව මතකයි. 


මුලින්ම වෛද්‍ය වරිය කපිල පරීක්ෂා කරා. අතේ නාඩි බැලුවා වගේ මට මතකයි. දැන් ඩෙත් කියලා කිව්වා. මුලින්ම සිටි විදියටමයි හිටියේ. කපිල මා සමඟ කතා කර නැහැ. අරවින්ද කතා කරන විට ඔහු ඉන්න බව කිව්වා. එතකොට අරවින්ද පොලීසියට කතා කරා. පොලීසිය පැමිණියා. මට කීමට ඇත්තේ එපමණයි ස්වාමීනී.


ඩර්ඩන්ස් රෝහලෙ වෛද්‍ය රම්‍ය පතිරණගේ ලක්ෂානි යශෝධා ලියනගේ මහත්මිය


“7.15 පමණ ගිලන් රථයක් සමග වෛද්‍ය සේවාව ඉල්ලා ඇමතුමක් ආවා. ඒ අවස්ථාවේ හදිසි ප්‍රතිකාර අංශයේ සේවය කරමින් සිටියේ. 7.45 පමණ රියදුරු සහ ඇම්බේලන්ස් සහායක කෝසල සමග එහි ගියා. යන විට කළු සුදු ඇඳගත් නීතිඥවරයෙක් බව පැවසූ හමුවුණා. පළමු මහලට ගියා කාමරයේ කළුවරට තිබුණා. ලොව එහි ලයිට් දාලා ඇඳ හිස්ව තිබුණේ වම් පැත්තේ කොනේ දොරක් තිබුණා. පුටුවක් දොර පැත්තට හරවා තිබුණා. එයට මනුස්සයෙක් වැටී සිටියා පරීක්ෂා කරා ඒවිට විට පුද්ගලයා මරණයට පත්ව සිටියා. අපි පරීක්ෂා හතරක් කරනවා. දකුණු පැත්තේ පල්ස් තිබුණෙ නෑ. මට පෙනුනේ දකුණු පැත්ත විතරයි යටවෙලා. හුස්ම ගැනීම් නතර වී තිබුණා. දකුණු අත වැටී තිබුණා. ඒ අත උස්සලා බලන විට සම්පූර්ණයෙන්ම ගල් වී තිබුණේ නැහැ. දකුණු ඇහැ කළුඉන්ගිරියාව විශාල වී ෆික්ස් වී තිබුණා. මූණ උස්සලා බැලුවේ නැහැ. රෙදි පටයකින් ගෙල සිරවී තිබෙනවා දුටුවා. මරණය සිදුව තිබුණේ පරීක්ෂා කිරීමට පැය දෙකකට පමණ පෙර බව නිරීක්ෂණය වුණා.


කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසේ සේවය කළ සූබ්‍රහම් ප්‍රමිලා (48) නැමැති සේවිකාව.


කපිල චන්සේන මහතාගේ නිවසේ සේවිකාවක් ලෙස වසර දෙක හමාරක පමණ කාලයක සිට මම සේවය කරනවා. ගේ තිබෙන්නේ බාන්ස් ප්ලේස් වල. මම සේවයට එන විට සර් පමණයි සිටියේ. නිවස පිරිසිදු කිරීම සර්ගේ රෙදි සේදීම, මැදීම, කෑම පිළියෙල කිරීම වැනි කටයුතු මම සිදු කරනවා. සර්ගේ කාමරය පිරිසිදු කරන්නේත් මමයි. නිවසේ අපි තුන් දෙනෙක් සේවය කරනවා. මගේ සැමියයි සෝමදාස අංකලුත් ඉන්නවා. මහත්තයා රැකියාවක් කළ බව මම දන්නේ නැහැ. බිරිඳ දරුවන් රට ඉන්න බව දැන සිටියා. කපිල මහත්තයා බන්ධනාගාර ගත සිටි බව දන්නවා. මාස එකහමාරක් පමණ එහි සිටියා මහත්තයා බලන්න මම ගිහින් නෑ, ඇප ලැබුනු බව මං දන්නෙත් නැහැ. මේ මාසේ හයවෙනිදා කපිල මහත්තයා නිවසට ආවා. සවස පහට වගේ ආවේ වාහනයකින්. ඇවිත් බැහැලා ආවා. මම ගේට්ටුව ඇරියා. මට මුකුත්ම කිව්වේ නැහැ. වොෂ් එකක් දාගන්න මහන්සියි කියලා ගියා. පහලට ආවේ රාත්‍රී 8.30ට විතර. කෑම ලෑස්ති කරලා තිබුණා. කාලා අපිට කතා කරලා ඔයාලට කෑම ඇතිවෙන්න තිබුණාද. සනීපෙන් හිටියද. කෑම තියෙනවද. කියලා අහලා මට අමාරුයි හෙට කතා කරන්නම් කියලා උඩට ගියා. ඒ වෙනවිට නමයත් නමයයි පහළවත් විතර වෙන්න ඇති. කාමර පැත්තට ගියේ නෑ. නැවත කපිල මහත්තයා පහළට ආවෙත් නෑ. අපි නිදා ගත්තා. 


පහුවදා උදේ කෝපි එකක් මේසයවුඩ තියලා කෑම ලෑස්ති කරන්න සර් ආවේ නැහැ. clean කරන්න ගියාම සර් කෝපිය කරගෙන කාමරේ දොර වහගත්තා. ඒ වෙනුවට වෙලාව උදේ නමයට විතර ඇති. දුරකථන ඇමතුම් ලැබුණු බවට ඇහුනෙ නෑ. කපිල මහත්තය හම්බෙන්න කවුරුවත් ආවෙත් නැහැ. ඇප ලබා ආ පසු කිසිවෙක්ම ආවේ නෑ. සර් හත්වෙනිදා 12.30 විතර එලියට ගියා. සර් විතරයි ගියේ. නැවත සර් ගෙදර ආවේ නැහැ. කාර් එක රියදුරෙක් ගෙදරට ගෙනත් යතුර මට දීලා ගියා. වෙලාව මට හරියට මතක නෑ. අරවින්ද සර්ගේ රියදුරෙක් ආවේ. 


සර් මට රෑබ11.30 විතර කිව්වා රෑට අදින ඇදුමක් දාන්න කියලා. දෙවන පාරට කෝල් කරලා කිව්වා රෑට අදින ඇදුමයි කණ්නාඩි දෙකයි බෙහෙත් ටිකකුයි නිල්පාට බෙල්ට් එකක් තියෙනවා, ඒකයි දාන්න කියලා කිව්වා. ඒ බෙල්ට් එක මගේ සරම යට තියෙනවා කියලා සර් මට කිව්වා. ඒ බෙල්ට් එක සර් ව්‍යායාම කරන බෙල්ට් එකක්. ඒ බඩු දාලා සහ බෑග් එක ලෑස්ති කරා. සුදු කළු රූප තිබෙන බෑග් එකකට සේරම දැමීම. වාහනයක් එවනවා දෙන්න කියලා කිව්වා. ඒ වාහනය ආපු වෙලාවේ මට හරියට මතක නෑ. වාහනය ආවම ඇදුම් බෑග් එක එළියට ගෙනිහින් කාර් එකේ ජනේලය ඇරලා දුන්නා. බෑග් එක හමුවුණාද කියලා මම හොයලා බැලුවේ නෑ. කපිල මහත්තයා මට කිව්වෙත් නෑ. කපිල මහත්තයා ගියාට පසු නැවත නිවසට ආවෙත් නෑ. 


මම දුරකථන ඇමතුමක් පහුවදා 6.4 ට විතර සර්ට දුන්නා කපිල මහත්තය ඇමතුම ගත්තේ නෑ රිං වුනා ආස උනේ නැහැ කිව්වා උද උදේ උසාවියට යන්න ඕන කියල කලින් දවසක කිව්වා. මම බලාගෙන හිටියා සර් ඒවි කියල ආවේ නැහැ. හතයි විසිපහට විතර cid එකෙන් කියලා කට්ටියක් ආවා. ගෙනියන්න කියලා කිව්වි පස් දෙනෙක් ආවා. එතකොට සර් හිටියේ නෑ. ඒ අය කොළයක් පෙන්නුවා. සර් ඉන්නව නේද කිව්වෙ නැත්නම් ඔයාව ගෙනියනවා කියලා මට කිව්වා. 


ඒ පාර මම නිවස ඇරලා දොරවල් ඇරලා පෙන්නුවා හැම කාමරයක්ම බැලුවා මගේ කාමරයත් බැලුවා. 7. 25ට වගේ මේ සිද්ධිය ක් උනේ. ඒ අය මගේ තොරතුරු ලියාගෙන 8 15 විතර වෙනකන් නිවසේ හිටියා. ඒ අය ගියාට පස්සේ මම එළිය බලාගෙන ඉන්නකොට සෝමදාස අන්කල් කෝල් කරලා කිව්වා ෆෝන් එකේ සර්ට මොකක්ද උනා කියලා විස්තරයක් යනවා. ෆෝන් එක බලන්න කියලා. බැලුවා මට හොයන්න බැරි වුණා. 


දැක්කේ නැහැ. නැවතත් මම පාර බලාගෙන ඉන්නකොට සෝමදාසංකල් ගෙදරට ආවා. ඇවිත් අපේ සර් මොනවද කරගෙන කියලා කිව්වා. ඊට පස්සේ මට රෝහලට එන්න කිව්වා. එතනදි පටිය ගැන ඇහුවා සර්ගෙද කියලා ඇහුවා. කිව්වා මම තමයි දුන්නෙ කියලා මම යවපු පටිය කියල මම හඳුනා ගත්තා එපමණයි මට කියන්න තියෙන්නේ.


මහේස්ත්‍රාත්වරයා : සර් කතා කරේ මොන ෆෝන් එකටද..?


සාක්ෂිකාරිය :  මගේ ෆෝන් එකට කතා කරේ...


මහේස්ත්‍රාත්වරයා : ඊළඟ දවසේ උසාවි යන්න තියෙනවා කියලා කිව්වද..?


සාක්ෂිකාරිය : ඔව් ස්වාමීනී,  සුදු පාට ඇඳුමක් ද කළු පාට කලිසමක් ලෑස්ති කරන්න කියලා කිව්වා. මම ඒවා ලෑස්ති කරලා තිබ්බා.


මහේත්‍රාත්වරයා : බෑග් එක ගෙනියන්න ආපු අය මොනවද ගෙනිච්චේ


සාක්ෂිකාරිය : ටී ෂර්ට් දෙකක් කලිසම් දෙකක් සුදු පාට ටවල් එකක්. යට ඇඳුම් දෙකක්. බෙහෙත් පැකට් 21 එකක් කන්නාඩි කුට්ටම් දෙකක් දැම්මා.


මහේස්ත්‍රාත්වරයා : බෙහෙත් කොහෙද තිබුණේ..?


සාක්ෂිකාරිය : පර්ස් එකේ තිබුණ බෙහෙත් දැම්මේ...


පෙරවරුවේ පැවැති සාක්ෂි කැඳවීම දහවල් 12ට පමණ අවසන් විය. නැවත පස්වරු 1.30 තෙක් කල් තැබිණි. නැවත සාක්ෂි විමසීම පස්වරු 1.40 ආරම්භ විය.


අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ රියදුරු සමරකොන් රාපක්ෂ වාසල මුදියන්සේලාගේ පුබුදු ප්‍රියන්ත අමරකෝන් ((59)


“වසර හතක් පමණ නිවසේ සේවය කරනවා. මරණකරු නිතර නිවසට එන්නේ නෑ. මම දැක්කේ 7 රාත්‍රී. 7 වනදා 10.45 ට පමණ කපිල මහතාගේ නිවසට යන ලෙස දැනුම් දුන්නා. අනෙක් රියදුරු සමග ගියේ. ඔහු තමයි වාහනය එලවන්නේ. රෑ 10.50 ට පමණ එහි ගියා. ඇතුළට ගියා. ගේට්ටුව ඇරුනා. සේවය කරන කාන්තාවක් බෑග් එකක් දුන්නා. ඒක ගෙනත් කපිල මහත්තයාට දුන්නා. රෙදි කඩවල සුදු පාට බෑග් එකක්. රෙදි තිබෙන බව දැනුනා. උකුලේ තියන් ආවේ. බෑග් එක අරං එනකොට 11 විතර ඇති. තැන් කියු කියලා ගත්තා. ඒ වෙලාවේ අරවින්ද මහත්තයා හිටියා. බෙහෙත් වර්ගයක් ගන්නත් එක්ක ගියේ. අරවින්ද මහත්තයාගේ පුතාට බෙහෙත් වර්ගයක් ඩර්ඩන්ස් රෝහලෙන් ගත්තා. 


අනෙක් රියදුරු ඒ බෙහෙත් උඩට ගෙනිහින් දුන්නා. බෑග් එක දීලා මම කාමරයට ගියා. කිසිම දේකට කපිල මහත්තයාගේ නිවසට ගිහිං නෑ. මට කීමට ඇත්තේ ඒ පමණයි.


මහේස්ත්‍රාත්වරයා : කපිල මහත්තයා අරවින්ද මහත්තයාගේ නිවසට ඇවිත් තියෙනවා දැක්කා ද..?


සාක්ෂිකරු :  නැහැ ස්වාමීනි.


මහේස්ත්‍රාත්වරයා : කොහෙද නැවතිලා ඉන්නේ..?


සාක්ෂිකරු :  උඩ තට්ටුවේ රියදුරු කාමරයක් තියෙනවා. ඒකේ.


අරවින්ද සිල්වා මහතාගේ රියදුරු හේරත් මුදියන්සේලාගේ දිලුක් සෙනරත් බණ්ඩාර (32)


“මම රියදුරු රැකියාව කරන්නේ අරවින්ද ද සිල්වා සර්ලාගේ ගෙදර. සේවයට ඇවිත් වසර දෙක හමාරක් වෙනවා. කපිල මහත්තයා දැකලා තියෙන්න හතර පාරක් විතර. එදා 7 වෙනිදා දැක්කා. මම සවස 3 00 ත් 3.30 අතර වගේ දැක්කේ. 6 ඇවිත් ගිහින් තියෙනවා. කපිල මහත්තයා බන්ධනාගාර ඉන්න විට කෑම ගෙනියන්න එහේ ගිහින් තියෙනවා. පස් හය වතාවක් විතර. කපිල මහත්තයා ආවට පස්සේ මම තමයි 7 වෙනිදා වාහනය ගිහින් දැම්මේ. වෙලාව 3.45 විතර. ගෙනියන්න කිව්වේ අරවින්ද සර්ගේ මැඩම්. අනෙක් රියදුරු පුබුදු සමග ගියේ. ඒ නිවසට යනකොට සවස  4 විතර ඇති. කපිල මහත්තයාගේ ගෙදර සේවය කරන කාන්තාවක් එහි හිටියා . ඒයාට යතුර දීලා ආවා. 


නැවත එනකොට 4.15 විතර ඇති. ඒ ගිහින් ආවට පසු නැවත රෑ ගියා 12.45 විතර ඇදුම් බෑග් එකක් ගන්න. අරවින්ද සර් යන්න කිව්වෙ. ඔහේට යනකොට 12ට ලගයි. බෑග් එක ගෙදර ඉන්න කෙනා හෝන් කරාම ගෙනත් දුන් පුබුදු අයියාගේ අතට. සුදුපාට ටියුලිප් බෑග් එකක්. බෑග් එක ගෙනිච්චේ පුබුදු අයියා. මම කාරය පාර්ක් කරා. පුබුදු අයියා බෑග් එක ගෙනිච්චා.


මහේස්ත්‍රාත්වරයා : බෑග් එක ගේන්න ගිය අවස්ථාවේ වෙන මොනවා හරි ගන්න ගියාද..?


සාක්ෂිකරු :  නැහැ ස්වාමීනි.


මරණකරු සිටි කාමරයේ තිබී හමු වූ මහේස්ත්‍රාත් නිරීක්ෂණය කරන අවස්ථාවේ කළ නියෝග අනුව කඩදාසි කොළ වල ඔතන ලද නම් සදහන් නොවූ ඹෞෂධ වර්ග දෙක ඇතුළු ඖෂධ රජයේ රස පරීක්ෂක වරයා වෙත යවන ලෙසට අධිකරණයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කළ ඉල්ලිම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා  එම ඖෂධ පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස රජයේ රස පරීක්ෂක වරයා වෙත  නියෝග කළේය. තවත් සාක්සි තිබේනම් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලදාරින්ට නියෝග කළේය.


වැඩිදුර සාක්ෂි විමසීම ලබන 19 තෙක් කල් තැබිණි

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 1
Wow Wow 0