තාක්ෂණ දැනුමක් නැති ඇගයුම් කමිටුවේ සභාපති... උපකල්පන මත අත්සන් කරලා...

ප්‍රශ්නගත ඖෂධ මේ ආකාරයට 2022 වසරේ අග භාගයේදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලදීගෙන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඔස්සේ මහජනතාවගේ ප්‍රයෝජනය පිණිස රෝහල් පද්ධතිය තුළින් ජනගත කර ඇත්තේ දේශපාලන අධිකාරියේ අනිසි අතපෙවීම හා මැදිහත්වීම නිසාද, නැතහොත් සමස්ත රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ඔස්සේ ක්‍රියාවට නැංවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ පවතින කුමක් හෝ අක්‍රමිකතාවක්, අඩුපාඩුවක් නිසාද. නොඑසේ නම් මේ දෙපාර්ශවයේම සංකලනයෙන් යුතු යාන්ත්‍රණය මගින් සිදු වූ ක්‍රියාන්විතයක ප්‍රතිඵලයක් නිසාද...

May 14, 2026 - 14:21
 28
තාක්ෂණ දැනුමක් නැති ඇගයුම් කමිටුවේ සභාපති... උපකල්පන මත අත්සන් කරලා...

2026 මැයි මස 11 වැනිදා 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය...

තාක්ෂණ දැනුමක් නැති

ඇගයුම් කමිටුවේ සභාපති...


උපකල්පන මත අත්සන් කරලා...

මේ දිනවල කොළඹ මහාධිකරණය තුළ විභාගයට ගැනෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ අතිශයින් තීරණාත්මක නඩු විභාගයන් අතර “හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් සහ රිටොක්සි මැබ්” ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය අපේ රටේ ඉතා විශේෂ මහජන අවධානයක් දිනාගන්නා නඩුකරයක් වී ඇත...


ප්‍රශ්නගත ඖෂධ මේ ආකාරයට 2022 වසරේ අග භාගයේදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලදීගෙන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඔස්සේ මහජනතාවගේ ප්‍රයෝජනය පිණිස රෝහල් පද්ධතිය තුළින් ජනගත කර ඇත්තේ දේශපාලන අධිකාරියේ අනිසි අතපෙවීම හා මැදිහත්වීම නිසාද, නැතහොත් සමස්ත රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ඔස්සේ ක්‍රියාවට නැංවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ පවතින කුමක් හෝ අක්‍රමිකතාවක්, අඩුපාඩුවක් නිසාද. නොඑසේ නම් මේ දෙපාර්ශවයේම සංකලනයෙන් යුතු යාන්ත්‍රණය මගින් සිදු වූ ක්‍රියාන්විතයක ප්‍රතිඵලයක් නිසාද...


පසුගිය කාලය මුළුල්ලේම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, සාමාජික විනිසුරු තිලකරත්න බණ්ඩාර, සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය යන විනිසුරුතුමන්ලා ඉදිරියේ විභාගයට ගැනුණු මේ නඩුකරයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ මෙම අපරාධය සිදුවූයේ කාගේ වරදින් කවදා කෙසේ කවර ආකාරයකටදැයි සැකයකින් තොරව විමසා බලා ඔප්පු කිරීමටය...


එහෙත් මේ පහුගිය දිනවල නීතිපතිවරයාගේ මෙහෙයවීමෙන් ගරු අධිකරණය හමුවේ පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කරන ලද බොහෝ සාධකවලින් අධිකරණයට හෙළිදරව් වූයේ  දේශපාලන අධිකාරියේ මැදිහත්වීම්වලටත් වඩා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළ මුල් බැසගෙන ක්‍රියාත්මක වන ආයතනික දුර්වලතා හා නිලධාරීන්ගේ වගකීම් පැහැර හැරීම් මෙන්ම නොසලකා හැරීම් අතිවිශාල ප්‍රමාණයක අවසන් ප්‍රතිඵල මත මෙවන් බරපතල ඛේදවාචකවලට සමාජයට මුහුණ පාන්නට සිදුවන බවයි...


පසුගිය මැයි මස 11 වනදා නඩු විභාගයේදී සාක්ෂි දෙමින් මෙම නඩුකරයේ පැමිණිල්ලේ 184 වන සාක්ෂි කාරිනිය ලෙස පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) ශම්මි කුමාරි දෙනාවත්ත මහත්මිය හෙළිදරව් කරනු ලැබුවේද එවන් අක්‍රමිකතා හා නොසලකා හැරීම් ගණනාවක් තම තමන්ගේ රාජකාරිමය දායකත්වය තුළද, මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළද අඩුපාඩු හා අත් වැරදීම් ලෙස සිදුවන්නට හේතු වූ බව නොවේද... ඒ වගත් මෙසේය..


නඩුවේ නාට්‍යමය මෙන්ම අතිශය ඛේදනීය අවස්ථාව උදා වූයේ ද ශම්මි කුමාරි දෙනාවත්ත සාක්ෂි කූඩුවට පැමිණි අවස්ථාවේදීය. 2022 වසරේ අගභාගයේදී, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමේ තීරණාත්මක තාක්ෂණික ඇගයීම් කමිටුවේ (TEC) සභාපතිනිය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත් කරනු ලැබුවේ ඇයවය.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සහ සාක්ෂිකාරිය අතර ඇතිවූ පහත සංවාදය හුදෙක් නඩු වාර්තාවක් පමණක් නොව, ශ්‍රී ලාංකීය පරිපාලන යන්ත්‍රණයේ හිස් බව මොනවට කියාපාන්නකි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: “එවැනි තාක්ෂණික ඇගයීමක් කිරීමට ඔබට දැනුමක් තිබුණාද?”


සාක්ෂිකාරිය: “කිසිසේත්ම නැති ස්වාමිනි.”


වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් කිසිදු තාක්ෂණික දැනුමක් නොමැති, WOR (Waiver of Registration - ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකය) යනු කුමක්දැයි මින් පෙර දැකවත් නොතිබූ නිලධාරිනියක් කෝටි ගණනක ප්‍රසම්පාදන තීරණ ගන්නා කමිටුවක මුල් පුටුවට පත්වීමම පරිපාලනමය විහිළුවකි.


 ඇය එම ලේඛනවලට අත්සන් තැබුවේ කෙසේදැයි විමසූ විට ලැබුණු පිළිතුර ඊටත් වඩා බරපතළය. ඇය ප්‍රකාශ කළේ තමන් අදාළ ලේඛන පරීක්ෂා කළේ කමිටුවේ සිටි වෛද්‍ය ජයනාත් බුත්පිටිය, වෛද්‍ය සුදර්ශන සහ සහකාර අධ්‍යක්ෂිකා සොලමන්ස් යන අය ලබා දුන් තොරතුරු සහ ඔවුන් කෙරෙහි තැබූ “උපකල්පනය” මත බවයි.


“මෙම ඇගයීම් කමිටුවේ හිටියේ පළපුරුදු නිලධාරීන්. ඔවුන් අවංකව රාජකාරී කරන බවට උපකල්පනය කරා. එක් එක් නිලධාරියාට පැවරී තිබූ රාජකාරිය නිවැරදිව සිදුකිරීම යන්න පිළිබඳව කිසිදු සැකයක් තිබුණේ නැහැ.” යැයි ඇය අධිකරණය හමුවේ පැවසුවාය.


නෛතික හා පරිපාලන දෘෂ්ටිකෝණයකින් මෙය විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නේ, දූෂණය සිදුවීමට අවශ්‍ය “ඉඩහසර” නිර්මාණය කර දෙන්නේ මේ කියන “අන්ධ විශ්වාසය” විසින් බවයි.


සභාපතිවරයෙකු පත් කරන්නේ හුදෙක් රබර් මුද්‍රාවක් ලෙස ක්‍රියා කිරීමට නොව, විමර්ශනාත්මක ඇසකින් යුතුව පද්ධතිය නියාමනය කිරීමටය. පරිගණක පද්ධතියට තොරතුරු ඇතුළත් කළේ කෙසේදැයි තමන් නොදන්නා බවත්, ලන්සු පත්‍රිකාවේ අවම මිල තීරණය කළේ අන් අයගේ උපදෙස් මත බවත් ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරිනියක් අධිකරණයේදී ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ, රාජ්‍ය යාන්ත්‍රණය තුළ “වගවීම” (Accountability) යන්න හුදෙක් ලේඛනයකට සීමා වූ මික්‍යාවක් මිරිඟුවක් පමණක් බව නොවේද.?


එපමණක්ද නොව, 2022 අප්‍රේල් මාසයේදී ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි වී තිබියදීත්, හුදෙක් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ලිපියක් මත පදනම්ව එහි කටයුතු අමාත්‍යාංශයේ අංශයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කිරීම ද පරිපාලන ව්‍යුහයේ පවතින නෛතික හිඩැස් (Legal Loopholes) මැනවින් ප්‍රදර්ශනය කරයි.


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට එරෙහිව එල්ල වී ඇති සාපරාධී සාවද්‍ය පරිහරණය සහ කුමන්ත්‍රණය කිරීම යන අධිචෝදනා 13 ඔප්පු කිරීමේ භාරදූර වගකීම ඇත්තේ පැමිණිල්ල වෙතය. නීතියේදී “අපරාධ චේතනාව” (Mens rea) සහ “අපරාධ ක්‍රියාව” (Actus reus) ඔප්පු කළ යුතුය. පරිපාලන නිලධාරීන්ගේ මෙම අතිශය නොසැලකිලිමත්භාවය සහ වගකීම් විරහිතභාවය “සාපරාධී කුමන්ත්‍රණයක” (Criminal Conspiracy) කොටසක් ද, නැතහොත් එය හුදෙක් පරිපාලනමය අකාර්යක්ෂමතාවයක් ද යන්න තීරණය කිරීමේ අතිශය සංකීර්ණ නෛතික අභියෝගය දැන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවතී.


එහිදී 184 වැනි  සාක්ෂිකාරිය වන ශම්මි කුමාරි දෙනාවත්ත ගෙන් සාක්ෂි විමසන අතරතුර ඇයට අධිකරණය නැවත දැනුම් දීමක් කළ පසු අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඊට පෙර සාක්ෂි ලබාදෙමින් සිටි 150 වැනි සාක්ෂිකාරිය කල්පනා තරින්දි දාබරේ මහත්මිය නැවත අධිකරණය වෙත වැඩිදුර සාක්ෂි විමසීම සදහා කැදවනු ලැබීය.


එහිදී මෙම සාක්ෂිකාරියගෙන් සාක්ෂි විමසීමේදී ලකුණු කරන ලද 10v18 ලේඛණය සහ පැ.229 යන ලේඛන සම්බන්ධයෙන් සංසන්දනය කරමින් ප්‍රශ්න විමසීම සිදුකරන ලදි.


එහිදී  10v18 ලේඛනයේ ඇත්තේ ඇතැම් කරුණු 229 ලෙස ලකුණු කර ඇති ලේඛනයේ නොමැති බවට සාක්ෂිකාරිය  සාක්ෂි ලබා දුන්නා ය.


"2022 සැප්තැම්බර් 27වෙනි පසුව සිදුකළ හදිසි ප්‍රසම්පාදන කටයුතු සිදු කළේ කුමන අංශයකින්ද?" යන්න පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී ප්‍රශ්නයක් මතු කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ “එම ප්‍රසම්පාදන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ප්‍රසම්පාදන අංශයේ නවාවි මහතාගේ අංශයෙන්   සිදුකළා.”යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරු ලබා දුන්නාය


 එම ප්‍රසම්පාදන කටයුතුවලට අදාල ලේඛන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන  අංශයෙන්  ලැබුණු අතර" එහි නිරීක්ෂණ කටයුතු සඳහා අභ්‍යන්තර විගණක පත් කළ යුතුය "යන කරුණක් එහි සඳහන් වන බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය. 


අදාළ පස්දෙනා ගෙන් යුත් කමිටුවට අභ්‍යන්තර  විගණකවරිය සහභාගි වුවද ඇය නිරීක්ෂකයකු ලෙස සහභාගී වී ඇති බවක් ලේඛනවල සඳහන් නොවන බව සාක්ෂිකාරිය එහිදී හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් සඳහන් කළාය. එසේම ඒ බවක් අදාල “ටෙන්ඩර් මිනිට් වල” සඳහන් නොවන බවද ඇය කියා සිටියාය. 


එහිදී දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවන මහතා පෙන්වා දුන්නේ  සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර විගණකවරිය ගේ නම අදාළ ලේඛනවල  පස්වන අංක යටතේ සඳහන් කර ඇති බවය.


කෙසේ වුවද "මෙම  නිලධාරිනිය කවර තනතුරක් මත එම කමිටුවට සාමාජිකයන්ට පත් කර තිබේද යන්න පිළිබඳව මෙම සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කළ නොහැකි බව"ට ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය .ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය යොමු කළ ප්‍රශ්නය සම්බන්ධයෙන් විරුද්ධ වන බව ඔහු සඳහන් කළේය. 


එසේම මූලික සාක්ෂි විභාගයේදී ඇසිය යුතු කරුණු හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව, නැවත ප්‍රශ්න කිරීම් වලදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් ඇසීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා විරෝධය පළ කළේය


එහිදී නමවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා ද ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේය. 


එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සඳහන් කළේ මූලික සාක්ෂිවලදී මෙම කරුණ මතුවූ බව ය. අභ්‍යන්තර විගණකවරිය එම කමිටුවට සහ සහභාගි වූ බවට ලේඛනවල සඳහන් වන බවද ඇය සඳහන් කළාය. එම කරුණු පැහැදිලි කරගැනීම සඳහා මෙම ප්‍රශ්න කිරීම සිදුකළ බව ඇය සඳහන් කළාය.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ට එම ප්‍රශ්න ඉදිරිපත් කිරීමට  අවසර ලබා දුන්නේය. කෙසේ වුවද එහිදී අලුත් ප්‍රශ්න විමසීමක් සිදු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසීමට විත්ති පාර්ශවයට හැකි බවද සභාපති විනිසුරුවරයා සඳහන් කළේය. 


අනතුරුව සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න කිරීම ආරම්භ කෙරිණ. 


එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය  විමසා සිටියේ “අභ්‍යන්තර  ප්‍රධාන විගණක  හෝ විගණකවරයෙකු නිරීක්ෂකයකු ලෙස අදාළ කමිටුවට සහභාගි වී තිබේ ද?" යන්න පිළිබඳව ලේඛනය සඳහන් වී තිබෙනවාද "?යනුවෙනි.
 

සාක්ෂිකාරිය ඊට "නැත" යනුවෙන් පිළිතුරු ලබාදුන්නාය.


"එහි අභ්‍යන්තර විගණක ලෙස සඳහනක් තිබෙනවාද ?"යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ "එවැනි සටහනක් ඇති බව"ය. අදාළ කමිටුවට සහභාගී වූවන්ගේ නම් එම සටහනේ ඇති බව සාක්ෂිකාරිය කියා සිටි අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය "ඒ කවුරුන්ද?"   යනුවෙන් විමසීමක් කළාය .


එම අවස්ථාවේදී 9 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊට විරෝධය පළ කරමින් සඳහන් කළේ "කමිටු සාමාජිකයන් කවර තරාතිරම මත ඊට ඇතුළත් කර තිබේද?" යන්න පිළිබඳව ප්‍රකාශ කිරීමට මෙම සාක්ෂිකාරියට නොහැකි බවය. ඇය තමන්ට ලැබෙන දේ යතුරු ලියනය කළා පමණක් මිස අදාළ ප්‍රශ්නයට පිළිතුරක් දීමට තරම් ඇය සුදුසු සාක්ෂිකාරියක් නොවන බවට නීතිඥ වරයා පෙන්වා දුන්නේය.


එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල  නඩු සටහන්වලින් එම  ප්‍රශ්නය ඉවත් කරන ලෙස නියම කළේය. ඒ සමගම එම සාක්ෂිකාරියගේ සාක්ෂි විමසීම අවසන් කරන ලදී.


අනතුරුව නැවතත් කැදවනු ලැබුවේ 184 වැනි සාක්ෂිකාරිය ශම්මි කුමාරි දෙනාවත්ත ගේ මූලික සාක්ෂිය සහ දෙබස් මත පදනම්ව හරස් ප්‍රශ්න අසනු ලැබීය...


එහිදී ඇය සඳහන් කළේ පේරාදෙනිය විශ්වවද්‍යාලයෙන් මූලික උපාධිය ලැබූ තමන් පරිපාලන සේවයේ විභාගය සමත්ව සුදුසුකම් සපිරීමෙන් පසු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියේ නිලධාරිනියක ලෙස මෝටර් රථ  ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවයට එක්වී වී, අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආධුනික අධ්‍යක්ෂ පරිපාලන (හෙද) ලෙස කටයුතු කළ බවය. 


අනතුරුව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක ලෙස 2017 දක්වා කටයුතු කළ අතර 2021 වසරේ හය වන මාසයේදී පමණ  ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයට පත් වූ බවද ඒ වන විට  රාජ්‍ය ඇමතිවරයා ලෙස චන්න ජයසුමන මහතා කටයුතු කළ අතර එම අමාත්‍යංශ ලේකම්වරයා ලෙස සමන් රත්නායක මහතා කටයුතු කළ බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 


සමන් රත්නායක මහතා රාජකාරී මය ලෙස මුණ ගැසී ඇති අතර පරිපාලනයට කටයුතුවලදී ඔහු සමග කටයුතු කර ඇති බැවින්  ඔහු හඳුනාගත හැකි බවද සඳහන් කළ සාක්ෂිකාරිය  මෙම අධිකරණයේ  අධිකරණයේ සිටි දහවන විත්තිකරු සමන් රත්නායක ලෙස හඳුනා ගත්තාය. 


තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලන අංශයේ රාජකාරි  කළ අතර පාලන පරිපාලන හා විනය  සම්බන්ධයෙන් කටයුතු කිරීම පැවරී තිබූ බවද   ප්‍රකාශ කළ සාක්ෂිකාරිය වෛද්‍ය සැපයීම් අංශය රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන අංශය යටතේ පාලනය වූ බව සඳහන් කළාය. 


එහිදී එම අංශය වල  දෛනික කටයුතු, ප්‍රවාහන කටයුතු, පත්කිරීම් ,විනය කටයුතු ආදිය තමන් ට පැවරී තිබූ බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් මූලික ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය. 


රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදනය අංශයක්  තිබූ අතර තමන් පාලන අංශය භාරව කටයුතු කළ බවද සඳහන් කළ සාක්ෂිකාරිය එම අමාත්‍යංශයට පත්වීමට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සිටියදී ප්‍රසම්පාදන කටයුතුවලට වල නිරත වූ බව කියා සිටියාය. 


සාක්ෂිකාරිය :"පළාත් සහ පළාත් පාලන අමාත්‍ය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ තාක්ෂණික   ඇගයීම් කමිටු සාමාජිකාවක ලෙස කටයුතු කළා. එහිදී වාහන සහ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන තීරණ වලට අදාළ ඇගයීම් සිදුකළා."
 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එවැනි තාක්ෂණික ඇගයීමක් කිරීමට ඔබට දැනුමක් තිබුණාද ?


සාක්ෂිකාරිය: කිසිසේත්ම නැති ස්වාමිනි .


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය : "ප්‍රසම්පාදන කටයුතුවලදී තාක්ෂණික ඇගයීමක් කිරීමට ඔබට දැනුමක් තිබුණාද?" සාක්ෂිකාරිය: "කිසිසේත්ම නැහැ ස්වාමිනි. පරිපාලන නිලධාරියෙකුට ඇති වගකීම වන්නේ තාක්ෂණික නිලධාරීන් පාරදෘශ්‍ය භාවයෙන් නිවැරදි තීරණ ගන්නවාද යන්න නිරීක්ෂණය කිරීම පමණයි."


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය : “ඖෂධ සම්බන්ධ ඇගයීම් ගැන ඔබට දැනුමක් තිබුණාද?" සාක්ෂිකාරිය: "කිසිදු දැනුමක් තිබුණේ නැහැ. ඒ සඳහා විශේෂඥ භාවයෙන් යුත් නිලධාරීන් එම කමිටුවේ සිටියා."


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය :  "ලියාපදිංචි සහතික පරීක්ෂා කිරීමේදී ඔබ අනුගමනය කළේ කුමන ක්‍රමවේදයක්ද?"


සාක්ෂිකාරිය: “තාක්ෂණික දැනුම ඇති බුත්පිටිය, සුදර්ශන සහ සොලමන් යන නිලධාරීන් ඒවා පරීක්ෂා කර මා වෙත දැනුම් දුන්නා. ඔවුන් පළපුරුදු නිලධාරීන්, ඔවුන් අවංකව රාජකාරී කරන බවට උපකල්පනය කරමිනුයි මම වැඩ කළේ. ඔවුන් ගැන සැක කරන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ."


සාක්ෂිකාරිය: “ලියාපදිංචිය ලබාගැනීම (WOR) වෙනම ක්‍රියාවක් බව සමන් රත්නායක මහතා මට කිව්වා. ඒ වගේම අවම මිල සහ අවම කාලය ගැන සලකා බලා තීරණ ගන්නා ලෙස ඔහු මට උපදෙස් දුන්නා.”


“පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමේදී ඔබ සභාපතිනිය ලෙස කුමක්ද කළේ?"


සාක්ෂිකාරිය: “ඒ සම්බන්ධයෙන් මට දැනුමක් නැහැ. පරිගණක පද්ධතියට ඇතුළු වීමේ හැකියාව තිබුණේ සොලමන්ස් මහත්මියට පමණයි. ඇය කියන දේ බුත්පිටිය මහතා ලියනවා මම දැක්කා. ඔවුන් දෙන තොරතුරු අනුවයි මම කටයුතු කළේ.”


“පොලිසියට ප්‍රකාශ ලබාදෙන විට මේ කරුණු ඔබ ප්‍රකාශ කළේ නැත්තේ ඇයි?”


සාක්ෂිකාරිය: “එම ගොනු පොලිසියට (CID) ඉදිරිපත් කළේ සමන් රත්නායක මහතායි. ඔහු ඒවා ලබාදුන්නා නම් මට ඒ ගැන පොලිසියට කියන්න බැහැ ස්වාමිනි.”


විත්තිය විසින් සිදුකළ හරස් ප්‍රශ්න විමසීම (184 වැනි සාක්ෂිකාරියගෙන්)


නීතිඥ රවිහංස විජේසිංහ (10 වන විත්තිකරු වෙනුවෙන්): තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකාවක ලෙස ප්‍රේමතුංග මහත්මියගේ නම සඳහන්ව තිබෙනවාද?"


සාක්ෂිකාරිය: “ඔව්.”


නීතිඥ විජේසිංහ: “ඇයගේ නමට ඉදිරියෙන් ඇති තනතුරු නාමය කුමක්ද?”


සාක්ෂිකාරිය: “අභ්‍යන්තර විගණක ලෙස සඳහන් වෙනවා.”


වාර්තාවේ සාරාංශය: මෙම සාක්ෂි විභාගයේදී වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළද තමන්ට ඒ සම්බන්ධ තාක්ෂණික දැනුමක් නොතිබූ බවත්, අනෙකුත් නිලධාරීන්ගේ සහ 10 වන විත්තිකරුගේ (සමන් රත්නායක) උපදෙස් සහ තොරතුරු මත පමණක් තමන් කටයුතු කළ බවත් සාක්ෂිකාරිය පිළිගැනීමයි.


හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 

අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය, (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0