ශානි අබේසේකරට “යුක්තිය” ඉටු වෙයි...
වසර ගණනාවක් පුරා එල්ල වූ දැඩි අසාධාරණයන් සහ වෘත්තීය බාධක රැසක් මධ්‍යයේ සිය නිවැරදිභාවය නීතිය ඉදිරියේ තහවුරු කරගත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ශානි අබේසේකර මහතාට හිමි විය යුතු නියෝජ්‍ය පොලිස්පති ධූරය ලබා දෙන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකරණය අද (13) නියෝග කළේය.
ශානි අබේසේකරට “යුක්තිය” ඉටු වෙයි...
2020 සිට බලපැවැත්වෙන පරිදි
නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීමට නියෝග...
වසර ගණනාවක් පුරා එල්ල වූ දැඩි අසාධාරණයන් සහ වෘත්තීය බාධක රැසක් මධ්‍යයේ සිය නිවැරදිභාවය නීතිය ඉදිරියේ තහවුරු කරගත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ශානි අබේසේකර මහතාට හිමි විය යුතු නියෝජ්‍ය පොලිස්පති ධූරය ලබා දෙන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකරණය අද (13) නියෝග කළේය. ඒ අනුව, 2020 අගෝස්තු මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගත යුතුය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රකට විමර්ශන රැසක් මෙහෙයවූ අබේසේකර මහතා, මෙම තීන්දුවත් සමඟ තමන්ට අහිමි වූ වෘත්තීය ගෞරවය සහ අයිතිවාසිකම් යළි දිනා ගැනීමට සමත්ව ඇත.
ශානි අබේසේකර මහතාගේ මෙම වෘත්තීය පසුබෑම ආරම්භ වූයේ 2019 වසරේ සිදුවූ දේශපාලන බල පෙරළියත් සමඟය. 2017 වසරේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස යම් විවාදාත්මක සේවයක නිරත වූ ඔහු, 2019 දී නව රජය බලයට පත්වීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ “සහකාර” ලෙස මාරු කර යවන ලදී. එම මාරුවීම හුදෙක් සේවා අවශ්‍යතාව මත සිදු වූවක් නොව, ඔහු විසින් සිදු කරන ලද සංවේදී විමර්ශන හේතුවෙන් එල්ල වූ පැහැදිලි “දේශපාලන පලිගැනීමක්” බව එකල පොලිස් ක්ෂේත්‍රය තුළ මෙන්ම සිවිල් සමාජය තුළ ද දැඩි කතාබහට ලක් විය.
ඔහු වෙන්වෙන් ක්‍රියාත්මක වූ විමර්ශන ක්‍රියාවලිය එතැනින් නතර නොවූ අතර, රන්ජන් රාමනායක මහතා සමඟ පැවැත්වූවා යැයි කියන “හඬපටයක්” පදනම් කර ගනිමින් 2020 ජනවාරි මාසයේදී ඔහුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් කටයුතු කළේය. ඉන් අනතුරුව, 2020 අගෝස්තු මාසයේදී ඔහු අත්අඩංගුවට ගත් අතර මාස දහයකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තැබීමට ද පියවර ගැණුනි.
කෙසේ වෙතත්, අභියාචනාධිකරණය මගින් ඔහුට ඇප නියම කළ අතර, වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් රැසක් යළි ඔහුගේ භාරයට පත්කරනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අංශ කිහිපයක් මගින් සිදු කළ විමර්ශනවලින් පසුව ඔහුට එරෙහිව එල්ල වූ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් විය.
තමන්ට හිමි විය යුතු උසස්වීම් නිසි කලට ලබා නොදීම සම්බන්ධයෙන් අබේසේකර මහතා ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ පරිපාලන අභියාචනා විනිශ්චයාධිකරණය, ඔහුට සිදු වූ අසාධාරණය වත්මන් සමාජ දේශපාලන සන්දර්භය මත මනාව අධ්‍යයනය කරගෙන තිබේ.
මෙම ඓතිහාසික තීන්දුව මගින් ඔහුගේ හිඟ වැටුප් ලබා දීමට මෙන්ම, 2020 සිට බලපැවැත්වෙන පරිදි උසස්වීම ලබා දීමට නියෝග කිරීම හරහා පීඩාවට පත් රාජ්‍ය නිලධාරියෙකුට නීතියෙන් ලැබිය හැකි උපරිම සාධාරණය ඉටු වී ඇතැයි ඇතැම් පාර්ශව පවසයි. මෙය දේශපාලන ඇඟිලි ගැසීම් හමුවේ නොසැලී සිටින රාජ්‍ය නිලධාරීන් ලැබූ “සදාචාරාත්මක ජයග්‍රහණයක්” ලෙස ද ඔවුන් විසින් හදුන්වා දෙනු ලැබූහ.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

