ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ පැමිණිලිකාරියගේ සාක්ෂි පරස්පරයි...

ප්‍රමිතියෙන් තොර “හියුමන් ඉමියුනොග්ලොබියුලීන්” සහ “රිටොප්සිමැප්” ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව රජයට රුපියල් කෝටි 14 ක මුදලක් ව්‍යපහරණය කිරීමට එරෙහිව නීතිපති ගොනුකළ නඩුවේ සාක්ෂි විභාගය අඛණ්ඩව පසුලිය 07 වැනිදාත් පැවැත්වුන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේගේ සාක්ෂියේ එකිනෙකට පරස්පර ප්‍රකාශයන් පිළිබඳව විත්ති පාර්ශ්වයන්ගේ නීතිඥවරුන් අධිකරණයේ අවධානය යොමු කර තිබේ.

May 9, 2026 - 14:20
 59
ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ පැමිණිලිකාරියගේ සාක්ෂි පරස්පරයි...

2026 මැයිමස 07 වනදා 
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩු විභාගය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ


පැමිණිල්ලේ සාක්ෂි පරස්පරයක්...

සෞඛ්‍ය අමාත්‍යාංශ සංවර්ධන නිලධාරිනියගේ සාක්ෂි ගත් 

ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ තවත් දිනයක්....


ප්‍රමිතියෙන් තොර “හියුමන් ඉමියුනොග්ලොබියුලීන්” සහ “රිටොප්සිමැප්” ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව රජයට රුපියල් කෝටි 14 ක මුදලක් ව්‍යපහරණය කිරීමට එරෙහිව නීතිපති ගොනුකළ නඩුවේ සාක්ෂි විභාගය අඛණ්ඩව පසුලිය 07 වැනිදාත් පැවැත්වුන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේගේ සාක්ෂියේ එකිනෙකට පරස්පර ප්‍රකාශයන් පිළිබඳව විත්ති පාර්ශ්වයන්ගේ නීතිඥවරුන් අධිකරණයේ අවධානය යොමු කර තිබේ. 


2026 මැයි හත්වැනිදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවති විභාගයේදී, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ 150 වැනි සාක්ෂිකාරිය ලෙස නම් කර ඇති කල්පනා තරින්දි දාබරේ මහත්මියගෙන් රාහුල් ජයතිලක මහතා සහ ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ඇතුළු නීතිඥවරුන් විසින් හරස් ප්‍රශ්න විමසීම සිදු කළහ. මෙහිදී ලේඛන සකස් කිරීම, අත්සන් කිරීම්, කමිටු රැස්වීම් සහ ඖෂධ ලැයිස්තු සම්බන්ධයෙන් පරස්පර කරුණු රැසක් අනාවරණය විය. 


සාක්ෂිකාරිණියගේ ප්‍රකාශවල පරස්පරතා.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් පෙන්වා දුන් ප්‍රධාන කරුණු අතර, සාක්ෂිකාරිණිය මුලින් කමිටු නිලධාරීන් අත්සන් තැබූ බව දැක නැති බව ප්‍රකාශ කළද, පසුව ඔවුන් ලේඛන පරීක්ෂා කර අත්සන් තැබූ බව කීම එකිනෙකට පරස්පර බවත්, ලේඛන සකස් කිරීමේදී බුත්පිටිය මහතාගේ උපදෙස් මත කටයුතු කළ බවත්, ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශයේ සඳහන් නොකළ බවත් ඇතුළත් විය.
ඖෂධවල "ජෙනටික්" නාමය ගැන ප්‍රශ්න කිරීමේදී සාක්ෂිකාරිණිය මුලින් ඖෂධ නාමය ලෙසත්, පසුව විද්‍යාත්මක නාමය ලෙසත් ප්‍රකාශ කිරීම, ප්‍රමුඛතා ලැයිස්තු සකස් කිරීමේ භූමිකාව සහ ලේඛන ලැබුණු ආකාරය ගැන නොදැනීම ආදිය ද විත්ති පාර්ශ්වයන්ගේ අවධානයට ලක් විය.


සාක්ෂිකාරිණිය ප්‍රකාශ කළේ තමන් ලේඛන සකස් කළේ බුත්පිටිය මහතාගේ උපදෙස් මත බවත්, ටෙන්ඩර් කැඳවීම සහ අවසන් කිරීම ඔහු විසින් තීරණය කළ බවත්, තමන් ලැබුණු උපදෙස් අනුව කටයුතු කළ බවත්ය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ආනයනය කිරීම සඳහා ලියාපදිංචිය මුදා හැරීමේ සහතිකයට යටත්ව සැපයුම්කරුවන්ට ප්‍රදානයන් සිදු කළ බව ද ඇය සඳහන් කළාය.


ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා විසින් සිදු කළ හරස් ප්‍රශ්නවලදී සාක්ෂිකාරිණිය තහවුරු කළේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ගුණාත්මකභාවය, ජීව කාලය සහ ලියාපදිංචිය සම්බන්ධ කොන්දේසි ඇතුළත් බවත්, ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන්ට නියමිත ලේඛන සමග ඖෂධ ලබාදිය යුතු බවත්ය. "අයිසොලේස් බයෝ ටෙක් පාමා" සමාගමට රිටොප්සිමැප් ඖෂධ සඳහා දෙවන අවම මිලකට ප්‍රදානය කර ඇති බව ද ඇය පිළිගත්තාය.


මෙම සාක්ෂි කාරිය ගෙන් මූලික සාක්ෂි විමසීම පසුගිය සතියේ අවසන් කළ අතර 1,4,6,11,2, විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම ද අවසන් කරන ලදි.


එහිදී මෙම නඩුවේ නමවෙනි විත්තිකරු වන දැනට විදේශගත වී සිටින වෛද්‍ය ජයනාත් බුත්පිටිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රාහුල් ජයතිලක මහතා  සාක්ෂිකාරියගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය .
 

සාක්ෂිකාරිය මගින් ලකුණු කරන ලද පැ.229 දරණ ලේඛණය අනුව සාක්ෂි විමසීම සිදුකළ නීතිඥවරයා ඖෂධයක “ජෙනටික්” නාමය නම් යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය. 
 

එලෙස හඳුන්වන්නේ “ඖෂධය නාමය” බවට සාක්ෂිකාරිය ප්‍රකාශ කළ අවස්ථාවේදී “එය විද්‍යාත්මක නාමය කිව්වොත් හරිද?” යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අතර සාක්ෂිකාරිය ඊට පස්සේ එකඟතාවය පළ කළාය. 
 

අදාල ලේඛනයේ ලංසු කැඳවන ඖෂධය කුමක්ද යන්න පිළිබඳව  ඇතුලත් කර ඇති බවත් එම ඖෂධ ප්‍රමුඛතා ලැයිස්තු අංක 01 ට ඇතුලත් ඖෂධ බවත් සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
නීතිඥවරයා:  එම ප්‍රමුඛතා ලැයිස්තුව සැකසුවේ කවුරුන් විසින්ද?
 

සාක්ෂිකාරිය:  ජයනාත් බුත්පිටිය මහතා විසින් ඒ ලේඛනය සකස් කලා .
 
නීතිඥවරයා:  එම ලේඛනය ලැබුණේ කොහොමද දන්නවද?
 
සාක්ෂිකාරිය : ඒ සම්බන්ධයෙන් මට තේරුමක් නෑ. 
 
නීතිඥවරයා:  එම ලේඛනය දහවන විත්තිකරු විසින් එව්ව වට්ස්අප් පණිවිඩයක් මගින් ලැබුණු බවට ඔබ දන්නවාද ?
 
සාක්ෂිකාරිය :  ඒ ගැන දන්නේ නෑ.
 
නීතිඥවරයා :  එම ලේඛනය ධනේෂ් නන්දන බණ්ඩාර යන අය විසින් රත්නායක මහතාට ලබා දුන්  බවට මා යෝජනා කරනවා.
 
සාක්ෂිකාරිය:  ස්වාමීනි රත්නායක මහතාට එය ලැබුණු ආකාරය ගැන මම දන්නේ නෑ .
 
නීතිඥවරයා:  ධනේෂ් නන්දන බණ්ඩාර විසින් එවන ලද ලේඛනයේ  "ස්ක්‍රීන් ෂොට් එකක්" මෙම  නඩුවේ සාක්ෂි ලැයිස්තුවේ ඇති බව මම යෝජනා කරනවා 
 
සාක්ෂිකාරිය:  ඒ පිළිබඳව මා දන්නේ නෑ.
 

"මූලික සාක්ෂි විභාගයේදී සාක්ෂිකාරිය මගින් ලකුණු කිරීමට යෙදුණු පැ. 260 දරණ ලේඛනයේ මෙම ප්‍රශ්න ගත ඖෂධ දෙක ඇතුළත් ද" යන්න පිළිබඳව නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී අදාළ ලේඛනය පරීක්ෂා කළ සාක්ෂිකාරිය එම ලේඛනය 07 පිටුවේ 91 තීරයේ “හියුමන්ඉමියුනෝග්ලොබියුලීන්”  ඖෂධය සහ හයවන පිටුවේ 156 තීරයේ “රිටොප්සිමැප්” ඖෂධය සම්බන්ධයෙන් කරුණු සඳහන් වන බව සදහන් කළාය.


අදාළ ලේඛනය කුමන ස්ථානයකින් එවා තිබේදැයි නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර එය වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ඒවා ඇති ලේඛනයක් බවට ඇය සඳහන් කර සිටියාය.
 

 එහි පිටපත් "සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, ඩිරෙක්ටර් පාමසුටිකල් ඇන්ඩ් සප්ලයිස්" වෙත යොමු කර ඇති බවට සාක්ෂිකාරිය කියා සිටියාය. 
 

මෙම ලේඛන සාක්ෂිකාරිය විසින් සැකසූ බවට මූලික සාක්ෂිවලදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සටහන් කර සිටියේ "බුත්පිටිය මහතාගේ උපදෙස් මත එම ලේඛනය මම සැකසුවා" යනුවෙනි. 
 

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන අවස්ථාවේදී එය කිව්වාද?". යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ ඒ බව තමන් ප්‍රකාශ කළ බවය.
 

"සාක්ෂි විභාගයේදී ලකුණු කරන ලද එම ඖෂධ ලැයිස්තුව ලේඛනය පසුව ලැබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිව්වාද? ඒ ගැන ප්‍රකාශයක් කළාද මට මතක නැහැ. විමර්ශන නිලධාරීන් ඇසූ ප්‍රශ්නවලට මම පිළිතුරු දුන්නා" යනුවෙන් සාක්ෂිකාරිය ප්‍රකාශ කළ අවස්ථාවේදී නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ "එසේ ප්‍රකාශයක් කිරීමට බාධාවක් තිබුණාද?" යනුවෙනි. ඊට සාක්ෂිකාරිය"නැත" යනුවෙන් පිළිතුරු ලබා දුන්නාය.


"මෙම ලේඛන භාර දුන්නේ සමන් රත්නායක මහතා විසින්. මේ ගොනුව සම්බන්ධයෙන් මගෙන් ප්‍රශ්න කළේ නෑ. මගෙන් ගත්තේ බයිහෑන්ඩ් පොත් දෙකක් පමණයි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ගත්තා. මෙම ගොනු පිළිබඳව මා දන්නේ නෑ" යනුවෙන් සාක්ෂිකාරිය ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළාය .
 

"අදාල ගොනු සකස් කලේ ඔබ විසින් නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය  ඒ බව පිළිගත්තාය. 
 

එහිදී නීතිඥවරයා ප්‍රමුඛතා ලේඛන 01 ලෙස දැක්වෙන අදාළ ඖෂධ ලැයිස්තුව වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා විසින් ලබාදුන් බවට සාක්‍ෂිකාරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ නොකර අධිකරණයේදී දැන් ප්‍රකාශ කිරීම ඌනතාවයක් ලෙස අධිකරණයේ අවධානයට යොමු කරන බවනීතිඥවරයා එහිදී සඳහන් කර සිටියේය .
 

නීතිඥවරයා:  හරස් ප්‍රශ්න විමසීමේදී 6v6 ලෙස ලකුණු කරන ලද ලේඛනය  ඔබ විසින් නේද සැකසුවේ?
 
සාක්ෂිකාරිය:  එසේය ස්වාමීනී
 
නීතිඥවරයා:  එම ලේඛනයේ නවය පිටුවේ අත්සන් තුනක් තිබෙනවා නේද? ඒවා හඳුනාගන්න පුළුවන්ද? 
 
සාක්ෂිකාරිය:  පුළුවන් ස්වාමීනී 
 
නීතිඥවරයා:  ඔබ ඉදිරිපිටදී මේ එම අත්සන් තැබුවේ ?
 
සාක්ෂිකාරිය: නැත ස්වාමීනී 
 
නීතිඥවරයා: ඔබ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදෙන විට සත්‍ය ද ප්‍රකාශ කළේ?
 
 සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී
 
නීතිඥවරයා: ඔබ දන්න දේවල් ගැනද ප්‍රකාශ කළේ? 
 
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි, 
 
නීතිඥවරයා:  ඔබට ඇහුන දේවල් ගැනද ප්‍රකාශ කළේ? .
 
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී
 
නීතිඥවරයා: ඔබ කිසිදු බොරුවක් කිව්වේ නෑ.
 
සාක්ෂිකාරිය: එසේය ස්වාමිනි
 
නීතිඥවරයා: ඔබ කිව්වා මෙම අත්සන් හඳුනාගන්න පුළුවන් කියලා. ඒ නිලධාරීන් අත්සන් කරනවා දැක්කා ද ?
 
සාක්ෂිකාරිය: නැත ස්වාමීනි.
 
නීතිඥවරයා : ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්  කට උත්තරයේ සඳහන් කර තිබෙනවා"ඔක්තෝම්බර් මස 13 වැනිදා පැවැති කමිටු රැස්වීමේ ලේඛන සකස් කිරීමෙන් පසු  පරීක්ෂා කර බලා ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන් විසින් අත්සන් තැබූ බව". ඔබ එසේ කිව්වාද ?
 
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී.


විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා, විරාජ් වීරසූරිය මහතා සහ තිලකරත්න බණ්ඩාර මහතා ඇතුළත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග වේ. මෙම නඩුවේ සාක්ෂිකරුවන් 350කට අධික සංඛ්‍යාවක් සහ ලේඛන 300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇත. 
අධිකරණයේදී ලකුණු කරන ලද පැය 253 දරණ ලේඛනයේ ඇගයීම් කමිටු සාමාජිකයන් අත්සන් යොදා ඇති අතර එම ලේඛනවල  නිර්දේශ කිරීම් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවට ඔවුන් කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නැති බවද හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය. අදාළ කමිටුව පැවති අවස්ථාවේදී සාකච්ඡාවට ගත් කරුණු බුත්පිටිය මහතා විසින් සටහන් කොට යතුරු ලියනය කිරීම සඳහා තමන්ට ලබා දුන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ප්‍රකාශ දෙන අවස්ථාවේදී ඒ බව සඳහන් නොකළ බවද සාක්ෂිකාරිය  නීතිඥවරයාගේ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පිළිගත්තාය. ඇය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමේදී ඔවුන් විසින් ප්‍රශ්න කළ දේවල් සම්බන්ධයෙන් පමණක් පිළිතුරු ලබාදුන් අතර ඒ සම්බන්ධයෙන් ප්‍රථම වරට මෙම අධිකරණයේදී ප්‍රකාශ කරන බවය. 


එහිදී නීතිඥවරයා සාක්ෂිකාරියට කියා සිටියේ අදාළ කටුසටහන් සාක්ෂිකාරිය විසින් සටහන් කළ බවට යෝජනා කරන බවය. එම කටුසටහන් බුත්පිටිය මහතා විසින් සටහන් කර යතුරු ලියනය කිරීම සඳහා තමන්ට ලබා දුන් අතර  එම යතුරු ලියනය කළ  සටහන්  කටු සටහන්ද සමග ඔහුට නැවත ලබා දුන් බව සාක්ෂිකාරිය එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළාය. 
 

අදාළ ලේඛන තමන් විසින් මෙම නඩුවේ පළවෙනි  විත්තිකරු වන සැපයුම්කරුට ලබා දුන් අතර අදාළ ප්‍රසම්පාදන කමිටුව විසින් ප්‍රදානයන් කිරීමට තෝරාගෙන තිබූ සැපයුම්කරුවන්ට ඒ පිළිබඳ ලිපි රැගෙන යන ලෙස දුරකතන මගින් දැනුම් දුන් බවද ඒ අනුව පළවෙනි පළවෙනි විත්තිකරුට  අදාළ ලේඛන ලබාදුන් බවද සාක්ෂිකාරිය  කියා සිටියාය.


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 

 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 

අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0