ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත වැඩකළත්... අප අතිනුත් අතපසුවීම් වෙනවා...

සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු ඉටු කිරීම්වලදී ඉහළ නිලධාරීන්ගේ උපදෙස් අනුව අත්‍යාවශ්‍ය නිල ලේඛන සකසන පහළ නිලධාරිනියක් වුවත්, යම් හෙයකින් තමන් අතින්ද අතපසුවීම් සිදුව ඇතැයි ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ 150 වැනි සාක්ෂිකාරිය පිළිගත්තාය...

May 8, 2026 - 01:09
 39
ඉහළ නිලධාරීන්ගේ  උපදෙස් මත වැඩකළත්...  අප අතිනුත් අතපසුවීම් වෙනවා...

2026 මැයිමස 06 වනදා 
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩු විභාගය.

ඉහළ නිලධාරීන්ගේ

උපදෙස් මත වැඩකළත්...

අප අතිනුත් අතපසුවීම් වෙනවා...

සාක්‍ෂිකාරියගේ පාපොච්චාරණය

නඩුකරය උඩු යටිකුරු කරයි..?


අධිකරණ වාර්තාකරු
සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු ඉටු කිරීම්වලදී ඉහළ නිලධාරීන්ගේ උපදෙස් අනුව අත්‍යාවශ්‍ය නිල ලේඛන සකසන පහළ නිලධාරිනියක් වුවත්, යම් හෙයකින් තමන් අතින්ද අතපසුවීම් සිදුව ඇතැයි ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ  150 වැනි සාක්ෂිකාරිය පිළිගත්තාය...


සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව උක්ත කාලයේදී  අවශ්‍ය අභිලාෂ කැඳවීමේ ලිපි ලේඛන සැකසුම් කටයුතුවලදී "අයිසොලෙස් බයෝ ටෙක් පාමා" ආයතනයට සම්බන්ධ ඉතා වැදගත් ලියකියවිලි වලදී තමන් අතින් මෙසේ අත් වැරදීම් සිදුව ඇති බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ මහාධිකරණය ඉදිරියේ පිළිගනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ මහත්මියයි...


මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව පසුගිය 06 විභාගයට ගනු ලැබීය...


කල්පනා තරින්දි දාබරේ මහත්මිය පැමිණිල්ලේ කරුණු සනාථ කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර සිටිමුත්, මෙම නඩුවේ 11 වන විත්තිකාර, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂකවරයකු වන අරඹේගෙදර තුසිත සුදර්ශන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න යොමු කළ හරස් ප්‍රශ්න කීපයකට පිළිතුරු දීමේදී ඇයට මෙම වරද පිළිගන්නට සිදුවිය.


මෙම නඩුවේ එකොළොස් වැනි විත්තිකරු වූ වෛද්‍ය සූදර්ශන මූලික සාක්ෂි ලබාදීමේදී  සාක්ෂිකාරිය විසින් හදුනා ගැනීම සම්බන්ධයෙන් නීතිඥවරයා එහිදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ වෛද්‍ය සුදර්ශන මෙම  ප්‍රසම්පාදනයට අදාල evaluation කමිටුවේ සාමාජිකයෙකු ලෙස සිටි අතර ඊට සහභාගි වීම සඳහා පැමිණි අවස්ථාව ලදී ඔහු දැක තිබෙන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.


කෙසේ වුවද තමන් ඔහු මුණගැසී හෝ දුරකථනයෙන් හෝ කතා කරන්න නොමැති බව ද ඔහු සහභාගි වූ ටෙන්ඩර් කමිටුවලට තමන් සහභාගී නොවූ නමුත් අදාල  evaluation කමිටුවේ කටයුතු සඳහා ඔහු පැමිණ ඇති අවස්ථාවලදී  දැක තිබෙන බවද ඒ අනුව අධිකරණයේදී හඳුනා ගත් බව ද සාක්ෂිකාරිය  කියා සිටියාය .


එම ලේඛන අනුව රිටොක්සිමැප් ඖෂධය  ලබාදීම සඳහා සැපයුම්කරුවන් තිදෙනෙක් ඉදිරිපත් වී ඇති අතර  ඔවුන් විසින් ලබා දුන් තොරතුරු සංශිප්ත ලේඛනයකට ඇතුළත් කිරීම තමන් විසින් සිදුකළ බව සාක්ෂිකාරිය එහිදී  පිළිගත්තාය. එම ඖෂධය ලබාදීම සඳහා හීතෘ බයෝ පාමා ලිමිටඩ් ආයතනයේ නම පළමු ලන්සුකරු ලෙස සඳහන් වන බව සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.


නීතිඥවරයා:  අදාළ සංක්ෂිප්ත ලේඛණය සකස් කළේ ඔබ එහි කුමක් හෝ වරදක් තිබෙනවා බව පේනවා ද ?
 
සාක්ෂිකාරිය:  එසේය ස්වාමීනි 
 
නීතිඥවරයා :කෑල්ලක් අඩුයි නේද ?
 
සාක්ෂිකාරිය:  අයි සොලෙස් බයෝටෙක් පාමා යනුවෙන් පමණයි එහි සඳහන් වන්නේ" ඒ ජී "යන්න සඳහන් වන්නේ නෑ.
 
නීතිඥවරයා:  එය අත් වැරදීමක්ද ?
 
සාක්ෂිකාරිය:  අත් වැරදීමක් .
 
නීතිඥ වරයා:  එවැනි අත්වැරදීම් සිදුවිය හැකිද ?
 
සාක්ෂිකාරිය:  මෙවැනි ලේඛන සැකසීමේදී එවැනි අත්වැරදීම් විය හැකියි.


රිටොප්සිමැප් ඖෂධය සම්බන්ධයෙන් සකස් කළ සංශිප්ත සටහනේ සැපයුම්කරු ලෙස "අයිසොලේස් බයෝ ටෙක් පාමා "යන නම සඳහන් කර ඇති අතර  එය වැරදීමකින් සටහන් කර ඇති බව සාක්ෂිකාරිය පිළිගත්තාය. එය තමන්ට වූ වරදක් බවට පිළිගත් සාක්ෂිකාරිය එවැනි වැරදි සිදුවිය හැකි බවද හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය. 
 

මෙම නඩුවට අදාළව 253 ලෙස ලකුණු කර ඇති ලේඛනයේ වගුව තමන් විසින් සකස් කළ බව ප්‍රකාශ කල  සාක්ෂිකාරිය  එම වගුවට යටින් කමිටු සාමාජිකයන්ගේ නම් සඳහන් කළ බවද හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියාය.


කමිටු සාමාජිකයන්ගේ නම්  ලෙස දෙනාවත්ත, සුදර්ශන , ජයනාත් බුත්පිටිය, ප්‍රේමතුංග සහ සොලමන්ස් යන නම් සඳහන් වන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. එම නිල ලේඛනය අත්සන සහ මුද්‍රාවට ඉහළින් ඇති සටහනක eoi  අයිතම ඉතා හදිසි අයිතම බවට සඳහන් කර ඇති බවද සාක්ෂිකාරිය ලේඛන පරීක්ෂා කර බලමින් කියා සිටියාය.
 

"EOI කමිටුව සඳහා ඇගයීමට ලක් කළ ඖෂධ තොග අඩු බවට තමන්ට දැනීමක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමන්ට  දැනීමක් නොමැති බවය. 
 

එහිදී නීතිඥවරයා නැවත වරක් ප්‍රශ්න කර සිටියේ "මෙම ඇගයීම් කටයුතු කරන විට හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය  මාසෙකටත් අඩු  කාලයකට අවශ්‍ය තොග පමණක් ම තිබූ බවට සාක්ෂිකාරිය දැනුවත් ද?"  යන්න පිළිබඳවය. 
 

තමන්ට ඒ පිළිබඳව දැනුමක් නොමැති බවද වෛද්‍ය සැපයුම් අංශයේ ඇති තොග සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට නොහැකි බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 


"ඔබ ප්‍රසම්පාදන  කටයුතු කර තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා ඉදිරි ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ" එම අංශයේ සේවය කරන අතර යම් යම් දේ සාකච්ඡා කර  ලැබෙන උපදෙස් අනුව ලිපි සෑදීම තමන් කටයුතු කළ බව" ය.
දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ ගේ හරස් ප්‍රශ්න විමසීමේදී, අදාළ කමිටුවල සංයුතිය, ඔවුන්ගේ සාමූහික වගකීම සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිබඳව දැඩි අවධානයක් යොමු කෙරිණි. ප්‍රධාන අභ්‍යන්තර විගණක සී.එච්.ආර්.එම් ප්‍රේමතුංග  ඇගයීම් කමිටුවේ සිටියදීත් මෙම ක්‍රියාවලියේ ඇති දෝෂ පෙන්වා නොදීම මෙහිදී ප්‍රශ්නගත විය.


නීතිඥවරයා: අභ්‍යන්තර විගණකවරිය කිසියම් කටයුත්තක් කිරීමේදී ඒ සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි නේද?


සාක්ෂිකාරිය: (ඇය දැනටමත් ප්‍රධාන අභ්‍යන්තර විගණක ලෙස කටයුතු කරන බව පිළිගනී)


නීතිඥවරයා: 6x6 ලෙස ලකුණු කර ඇති ලේඛනයේ 'වෛද්‍ය සැපයුම් අංශයේ එක' කියලා කරන්න කිව්වේ කවුද?


සාක්ෂිකාරිය: ටයිප් කළේ බුත්පිටිය මහතාගේ උපදෙස් මත. නීතිඥවරයා: එය වැරදියි නේද? සාක්ෂිකාරිය: එය හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ. මට දුන්න උපදෙස් අනුව මම ටයිප් කලා.


මෙහිදී අතිශය වැදගත් නීතිමය තර්කයක් මතු වූයේ, ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකය හෙවත් WOR (Waiver of Registration) සම්බන්ධයෙනි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැති වුවද අවම මිල ලබාදෙන සැපයුම්කරුවන්ට අවස්ථාව ලබා දීම මාර්ගෝපදේශයක්දැයි නීතිඥවරයා විමසූ විට, සාක්ෂිකාරිය ඊට සෘජු පිළිතුරක් දීම මගහරිමින් ප්‍රකාශ කළේ තමා "WOR යනු Waiver of Rgistration යන්න පමණක් දන්නා බවත්, ඒ ගැන අදහස් දැක්වීමට තමන්ට නොහැකි බවත්ය."


නම වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක විසින් සාක්ෂිකාරියගේ නිල තනතුර සහ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අවස්ථා හතරකදී ලබා දුන් ප්‍රකාශවල පරස්පරතා පිළිබඳව ප්‍රශ්න කරන ලදී.


නීතිඥවරයා: ඔබ සංවර්ධන නිලධාරිනියක් නේද?


සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී.


නීතිඥවරයා: ඔබ ප්‍රසම්පාදන නිලධාරිනියක්ද?


සාක්ෂිකාරිය: මා ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා.


නීතිඥවරයා: ඔබට ප්‍රසම්පාදන නිලධාරිනියක් ලෙස පත්වීමක් තිබෙනවාද?


සාක්ෂිකාරිය: එවැනි පත්වීමක් නෑ. නමුත් මම ප්‍රසම්පාදන කටයුතු වලට අදාල කටයුතු කළා. එවැනි අවස්ථාවලදී ප්‍රසම්පාදන නිලධාරිනියක් ලෙස හැඳින්විය හැකියි.


 ප්‍රසම්පාදන කටයුතු සඳහා තමාට නිල පත්වීමක් නොතිබූ නමුත් ඉහළ නිලධාරීන්ගේ සෘජු උපදෙස් මත තමා එම කටයුතු කළ බව ඇය ප්‍රකාශ කළාය. රාජ්‍ය සේවයේ ධුරාවලියට යටත්ව, ඉහළ නිලධාරීන්ගේ උපදෙස් අනුව නියෝග ක්‍රියාත්මක කිරීම වරදක් ලෙස තමන් නොදකින බව ද ඇය සඳහන් කළාය.


පහළ මට්ටමේ ලිපිකාරී නිලධාරීන් (සංවර්ධන නිලධාරීන් වැනි) හුදෙක් යන්ත්‍රානුසාරයෙන් වාචික හෝ ලිඛිත නියෝග ක්‍රියාත්මක කර ඇති බවත්, ඔවුන්ට ඖෂධවල තොග මට්ටම් හෝ NMRA නියාමන රෙගුලාසි පිළිබඳ තාක්ෂණික අවබෝධයක් නොතිබූ බවත් මෙම සාක්ෂි මගින් තහවුරු කිරීමට විත්තිය උත්සාහය සාර්ථකය සහ නිවැරදිය. අනෙක් අතට, කමිටුවල සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අභ්‍යන්තර විගණන යාන්ත්‍රණයන් පවා අදාළ අඩුපාඩු (උදා: සමාගම් නාමවල දෝෂ සහ WOR ක්‍රියාපටිපාටියේ ගැටලු) එකල හඳුනාගෙන නිවැරදි කර නොමැති නම්, එක් පාර්ශ්වයක් මත පමණක් සාපරාධී චේතනාවක් (Mens rea) පැටවීම නීතිමය වශයෙන් අභියෝගයට ලක් කෙරෙමින් පවතී.


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 

අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0