ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනට ඇප...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 5) නියෝග කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

May 5, 2026 - 21:52
 3
ශ්‍රී ලංකන් හිටපු CEO   කපිල චන්ද්‍රසේනට ඇප...

ශ්‍රී ලංකන් හිටපු CEO

 

කපිල චන්ද්‍රසේනට ඇප...


ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 5) නියෝග කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.


සැකකරුගේ ඇප ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දැඩි කොන්දේසි මත ඔහු මුදා හැරීමට පියවර ගත්තේය. මෙම අවස්ථාවේදී  ඇප කොන්දේසි සහ අධිකරණ නියෝග ලෙස පහත කොන්දේසි ඉදිරිපත් කර තිබිණි. මෙහිදී රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇපයකුත් රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇපකරුවන් තිදෙනෙකුත් මෙම නිදහස් කිරීමට ඉදිරිපත් කර තිබූ අතර සැකකරුට විදේශ ගමන් තහනමක් පනවමින්, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගැනීමට නියෝග කෙරුණි.
 

පසුගිය 28 වැනිදා ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න මහතා මගින් ඉදිරිපත් කළ මෙම ඇප ඉල්ලීමට “අල්ලස් කොමිසම” එදින දැඩි විරෝධය පළ කර තිබුණද, දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අධිකරණය අද පෙරවරුවේ මෙම තීරණය ලබා දුන්නේය.


මේ අතර දේශපාලන ප්‍රබලයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් කොමිසම  සූදානමක් ඇතැයි පසුගියදා පැතිරගිය කතාව සනාථ කරමින් මෙම නඩු විභාගයේදී අල්ලස් කොමිසම විසින් තවත් වැදගත් අනාවරණයක් සිදු කරන ලදී. එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන පුළුල් විමර්ශනවලට අදාළව කරුණු විමසීම සඳහා මෙරට ප්‍රමුඛ දේශපාලන චරිත කිහිපයක් අල්ලස් කොමිසම හමුවට කැඳවීමට නියමිතය.


ඒ අනුව ඉදිරි දිනවලදී පහත පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව විමර්ෂණ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ. එහිදී විමර්ශන ප්‍රගතිය දැනුම් දෙමින් අල්ලස් කොමිසම මෙසේ දැනුම් දුන්නේය.


ස්වාමීනී
සැකකරුගේ මවගේ සහ පියාගේ ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමට පියවර ගත්තා. එම කාලයට අදාළව 1999 සිට 2015 දක්වා ගිණුම් වාර්තා බැංකුව සුරක්ෂිත කර නැති බව දැනුම් දුන්නා. එම කාලයට අදාළ වාර්තා සක්‍රිය නැති බවයි දැනුම් දුන්නේ. වාර්තා පවත්වාගෙන යා යුතු කාලය අවසන් බවට බැංකුව දැනුම් දුන්නා.


අල්ලස් මුදල සැකකරු ලබා දී ඇත්තේ ඔවුන්ගේ ගිණුම් වලින් බවට ප්‍රකාශ ලබා දී තිබුණා. ඒ අනුවයි විමර්ශන සිදු කෙරේ. අල්ලස් මුදල ලබා දුන් “SL Agro” ආයතනයේ සිංගප්පූරු ශාඛාවෙන් මුදල් බැර වී තිබෙන බව විමර්ශන අනාවරණය කර තිබෙනවා. එම මුදල් “”සදිසි මීඩියා” ආයතනයට බැර වී තිබෙනවා. එහි හවුල්කරුවෙකු වන සමන් සම්පත්  යන අයගෙන්ම ප්‍රකාශ ලබා ගත්තා. ඔහුගේ ප්‍රකාශයට අනුව 2015 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ  ව්‍යාපාර කටයුතු කර තිබෙන්නේ සදිසි මීඩියා ආයතන බවට ප්‍රකාශ ලබා දී තිබෙනවා. 


එහි සම්බන්ධීකරණ කටයුතු කර තිබෙන්නේ ෂමින්ද්‍ර රාජපක්ෂ යන අය බවටත් මුදල් ගෙවීම් කටයුතු කර තිබෙන්නේ ඔහු බවටත් ඔහු ප්‍රකාශ ලබා දී තිබෙනවා. මුදල් ලැබීම්වලට අදාළව සාරංග යන අයෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.  SL Agro ආයතනයෙන් සදිසි මීඩියා ආයතනයට මුදල් ගෙවා තිබෙන්නේ සාරංග යන අයයි. ඊට අදාළ විමර්ශන සිදු කරනවා.


ස්වාමීනී ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ඇමති ප්‍රියංකර ජයරත්න සහ  විලී ගමගේ යන මහත්වරුන්ට ප්‍රකාශ ලබාදෙන   ලෙස  මේ වන විටත් දැනුම් දී තිබෙනවා. එසේම දැනට විදේශ ගතව සිටින ශමින්ද්‍ර රාජපක්ෂ යන අයට එරෙහිව  රතු නිවේදනයක් ලබා ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා
මහේස්ත්‍රාත්වරයා - ඊට සාක්ෂි විමසීමක් සිදු කළ යුතුය. එසේ නොමැති නම් දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - එසේය ස්වාමීනී ඉදිරි දින සාක්ෂි විමසීම අදාල පියවර ගන්නවා.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව වැඩිදුර වාර්තා සදහා ලබන ජූලි මස 14 තෙක් කල් තබන ලෙස නියෝග කළේය.


මෙම අල්ලස් සිද්ධිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මූල්‍ය වංචාවක් ලෙස සැලකෙන අතර, ඒ පිළිබඳ විමර්ශන තවදුරටත්   ක්‍රියාත්මකය.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0