මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 07 ක්

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතිනුයේ දශක ගණනාවක සිට පැවත එන නොබිඳුණු සහෝදරත්වයක සබඳතාවකි. ඉන්දියන් සාගරයේ සමීපතම අසල්වැසියන් වන මෙම දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා මෙරට නිල රාජ්‍ය සංචාරයක නිරත විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව සිදු වූ මෙම සංචාරය දෙරටේ අනාගත සහයෝගීතාවයේ නව මාවත් විවර කළ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකිය.

May 4, 2026 - 19:18
 12
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර   අවබෝධතා ගිවිසුම්  07 ක්

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර 

අවබෝධතා ගිවිසුම්  07 ක් 


ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතිනුයේ දශක ගණනාවක සිට පැවත එන නොබිඳුණු සහෝදරත්වයක සබඳතාවකි. ඉන්දියන් සාගරයේ සමීපතම අසල්වැසියන් වන මෙම දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා මෙරට නිල රාජ්‍ය සංචාරයක නිරත විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව සිදු වූ මෙම සංචාරය දෙරටේ අනාගත සහයෝගීතාවයේ නව මාවත් විවර කළ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකිය.


අද පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැති මෙම හමුවේ දී දෙරටේ නායකයන් ඉදිරියේ ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම සිදු විය. මෙය හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් කිහිපයකට එහා ගිය, කලාපීය ස්ථාවරත්වය සහ පොදු අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා වූ වැදගත් පියවරකි. විශේෂයෙන්ම සංචාරක, අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආරක්ෂක වැනි දෙරටටම තීරණාත්මක බලපෑමක් එල්ල කරන ක්ෂේත්‍ර කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු වී තිබීම සුවිශේෂී කරුණකි.


සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට මෙන්ම මාලදිවයිනට ද ආර්ථිකයේ කොඳු නාරටිය බඳුය. එම ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා ඇති වූ එකඟතාව හරහා දෙරටේ සංචාරක ව්‍යාපාරය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමටත්, දැනුම හුවමාරු කර ගැනීමටත් අවස්ථාව උදා වේ. එමෙන්ම තරුණ හා ක්‍රීඩා සංවර්ධනය සම්බන්ධයෙන් ඇති වූ එකඟතා තුළින් දෙරටේ අනාගත පරපුරේ කුසලතා ඔප්නැංවීමට ශක්තිමත් පදනමක් වැටී ඇත.


අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දී ගුරුවරුන් සහ පාසල් නායකයින් පුහුණු කිරීම සම්බන්ධ ගිවිසුම, මාලදිවයිනේ අධ්‍යාපන පද්ධතියට ශ්‍රී ලාංකීය විද්වතුන් ලබා දෙන දායකත්වය තවදුරටත් පුළුල් කරන්නකි. එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලය සහ මාලදිවයිනේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇති වූ ශාස්ත්‍රීය සහයෝගීතාව වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ පුහුණු කටයුතු සඳහා නව මාවත් විවර කර දෙයි.


කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද මෙහිදී දැඩි අවධානයක් යොමු වූ අතර, විශේෂයෙන්ම ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය හා මාලදිවයිනේ ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානය අතර ඇති වූ එකඟතාව ඉන්දියන් සාගර කලාපයේ සාමය ආරක්ෂා කිරීමට මහඟු පිටුවහලක් වනු ඇත. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සමඟ ඇති වූ අධ්‍යාපන සහයෝගීතාවය ද ආරක්ෂක අංශවල වෘත්තීය මට්ටම ඉහළ නැංවීමට රුකුලක් වනු නොඅනුමානය. දෙරටේ ඓතිහාසික උරුමයන් රැකගැනීම සඳහා ජාතික ලේඛනාගාරයන් අතර ඇති වූ සහයෝගීතාව ද සංස්කෘතික වශයෙන් අතිශය වැදගත් වේ.


මෙම නිල සංචාරය සහ ගිවිසුම්ගත වීම් හරහා මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා නව මානයකට ගෙන ගොස් ඇති අතර, එය බහුවිධ හවුල්කාරිත්වය ශක්තිමත් කරමින් අනාගතයේ දී කලාපීය සහයෝගීතාවයේ ආදර්ශවත් මිත්‍රත්වයක් ලොවට විදහා දක්වනු ඇත.


අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07 මෙසේය.


1. “සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව:” ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා වූ ගිවිසුම.

2. “ලේඛනාගාර සහයෝගීතාව:” ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ලේඛනාගාරය අතර ඇති වූ ගිවිසුම.

3. “ගුරු පුහුණුව සහ වෘත්තීය සංවර්ධනය:” දෙරටේ අධ්‍යාපන අමාත්‍යාංශ අතර ගුරුවරුන් සහ පාසල් නායකයින් පුහුණු කිරීම සම්බන්ධ ගිවිසුම.

4. “ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය:” තරුණ ප්‍රජාවගේ සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් වූ සහයෝගීතා ගිවිසුම.

5. “ආරක්ෂක සහ ත්‍රස්ත මර්දන සහයෝගීතාව:” ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය සහ මාලදිවයින් ජාතික ත්‍රස්තවාදී මර්දන මධ්‍යස්ථානය අතර ඇති වූ ගිවිසුම.

6. “ආරක්ෂක අධ්‍යාපන සහයෝගීතාව:” ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් ආරක්ෂක හා ජාතික සේවා අමාත්‍යාංශය අතර ඇති වූ ගිවිසුම.

7. “ශාස්ත්‍රීය සහ සෞඛ්‍ය සහයෝගීතාව:” කොළඹ විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් සෞඛ්‍ය, පවුල් සහ සුබසාධන අමාත්‍යාංශය අතර ඇති වූ ගිවිසුම.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0