බාල එන්නත් නඩුවේ සාක්ෂි අර්බුදයක්...
සාමාන්‍යයෙන් නඩුකරයක සාක්ෂි විභාගය කල්තැබීමේදී පසුවදාට, නැතිනම් ඊළඟ නඩු දිනයට සාක්‍ෂි ලබා දීම සඳහා කැඳවන්නේ කවුරුන්දැයි පැමිණිල්ල මෙහෙයවන නීතිඥයින් විසින් උසාවිය දැනුවත් කිරීම සාමාන්‍ය සිරිතයි. සාමාන්‍ය ක්‍රමවේදයයි. නඩු විභාගයේදී ඊළඟට එන සාක්‍ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම සඳහා විත්තියේ නීතිඥයන්ට එය මහත් පහසුවට කරුණකි. එසේම එය මහත් අස්වැසිල්ලක් සේ දැනෙන්නේ පැමිණිල්ල නියෝජනය කරමින් පැමිණෙන සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම සඳහා විත්තියේ නීතිඥයින්ට එමගින් වඩාත් හොඳ ඉඩකඩක් ලැබෙන නිසාය. කල් තියා පෙර සූදානම් වීමට එය මහත් රුකුලක් ද වන නිසාය.
2026 මාර්තු 31 වනදා
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩු විභාගය.
බාල එන්නත් නඩුවේ
සාක්ෂි අර්බුදයක්...
විත්තියේ විරෝධතා මැද්දේ
සාක්ෂියක් කල් දමයි...
විත්තියේ නීතිඥයෙකුටත්
නිනිසුරුගෙන් දැඩි අවවාදයක්...
අධිකරණ වාර්තාකරු
සාමාන්‍යයෙන් නඩුකරයක සාක්ෂි විභාගය කල්තැබීමේදී පසුවදාට, නැතිනම් ඊළඟ නඩු දිනයට සාක්‍ෂි ලබා දීම සඳහා කැඳවන්නේ කවුරුන්දැයි පැමිණිල්ල මෙහෙයවන නීතිඥයින් විසින් උසාවිය දැනුවත් කිරීම සාමාන්‍ය සිරිතයි. සාමාන්‍ය ක්‍රමවේදයයි.
නඩු විභාගයේදී ඊළඟට එන සාක්‍ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම සඳහා විත්තියේ නීතිඥයන්ට එය මහත් පහසුවට කරුණකි. එසේම එය මහත් අස්වැසිල්ලක් සේ දැනෙන්නේ පැමිණිල්ල නියෝජනය කරමින් පැමිණෙන සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම සඳහා විත්තියේ නීතිඥයින්ට එමගින් වඩාත් හොඳ ඉඩකඩක් ලැබෙන නිසාය. කල් තියා පෙර සූදානම් වීමට එය මහත් රුකුලක් ද වන නිසාය.
එහෙත් විත්තියට දැනගන්නට ඉඩ නොතබා පැමිණිල්ල විසින් සාක්ෂිකරුවන් හදිසියේ කැඳවීම් ද සිදුවන බව රහසක් නොවේ. දිගුකාලීනව ඊළඟ නඩු දිනය කල් තබමින් සති හෝ මාස ගණනාවකට පසුව ඇසෙන නඩුකරවලට එය මහත් ගැටලුවක් නොවූවත්, දිනපතාම උසාවියේ ඇසෙන නඩු විභාගයකදී ඊළඟට ගෙන්වන සාක්‍ෂි කරුවන් පිළිබඳ පැමිණිල්ල විසින් හෙළිදරව් නොකිරීම විත්තියට කරන බලවත් අසාධාරණයක් බව නීතිවේදීන්ගේ මතයයි.
මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කෙරෙන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුකරයේ පසුගිය 31 වන දා සාක්ෂි විභාගය සඳහා ගෙන්වනු ලබන සාක්ෂිකරුවන් කවුරුන්දැයි 30 වනදා පැමිණිලි පාර්ශවය නියෝජනය කරන නීතිපති දෙපාර්තමේන්තුව විසින් උසාවිය දැනුවත් කළේ නැත. ඒ පිළිබඳ විත්තියේ නීතිඥවරුන් විමසා සිටියත් ඔවුන්ට ඒ සඳහා සාධාරණ උත්තරයක් ලදා ලබා නොදීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේය..
එබැවින් විත්තියේ නීතිඥවරුන් පසුගිය 31 වන අඟහරුවාදා මෙම නඩු විභාගයට සහභාගි වූයේම කවුරුන් හෝ විශේෂිත අයකු පැමිණිල්ල විසින් සාක්ෂි විභාගය සඳහා ගෙන්වනු ඇතැයි පූර්වාපේක්ෂාව පෙරදැරිවය...
කෙසේ වෙතත් පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරන නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය එදින මෙම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුකරයේ සාක්ෂි ලබාදීම සඳහා සාක්ෂිකරුවන් තුන් දෙනෙකුම ඉදිරිපත් කර සිටියේය. එබැවින් එදින නඩුකරයේ සාක්‍ෂි විභාගය ඉතා දිගු එකක් වූවා සේම ඉතා ම උණුසුම් වාද විවාදයන් වලින් පිරුණු එකක් ද වූයේය...
පැමිණිල්ලේ 127 වන සාක්ෂිකාරිය ලෙස කැඳවා තිබූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී (මූල්‍ය) ඩයනා නිශාන්ති දේවසුරේන්ද්‍ර මහත්මියගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂි මෙහෙයවීම ආරම්භ කළාය.
සාක්ෂිකාරිය 2022 සහ 2023 වර්ෂවලදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කිරීම, ලැබීම් සහ ගෙවීම් ඇතුළු ගිණුම් විස්තර පිළිබඳ ලේඛන ඉදිරිපත් කිරීමට කැඳවා තිබිණි. නමුත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම ලේඛන පරිගණක මගින් උත්පාදනය කර ඇති බවත්, ඒවා සාක්ෂිකාරිය විසින් අධිකරණය හමුවේ සලකුණු කිරීමකින් තොරව ඉදිරිපත් කළ බවත් විත්තියේ නීතිඥවරුන් (ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන, නුවන් ජයවර්ධන, නයන්ත විජයසුන්දර යන මහත්වරුන් ඇතුළුව) දිගින් දිගටම විරෝධතා දැක්වූහ.
“පරිගණක සාක්ෂි ආඥා පනත” සහ “1995 අංක 14 දරන සාක්ෂි විශේෂ විධිවිධාන පනතේ” 5(4) සහ 7 වගන්ති අනුව, පරිගණක මගින් උත්පාදනය වූ ලේඛන විත්තියට දින 45කට පෙර සිතාසි බාර දීමකින් තොරව ඉදිරිපත් කළ නොහැකි බව. සාක්ෂිකාරියගේම ප්‍රකාශය අනුව ලේඛන ලෙජර් ගිණුම්වලින් සාරාංශ ගෙන පරිගණකයෙන් (SL Sheet එකකට) ලබාගත් බව පැහැදිලි වීම. එම පද්ධතියට (එස් 400 ඇතුළුව) විත්තියට ප්‍රවේශයක් නොතිබීම සහ ලේඛන සලකුණු නොකිරීම හේතුවෙන් විත්තියේ නීතිඥවරුන්ගේ විරෝධතා මතුවිය.
විනිසුරු මඩුල්ල (සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා, විරාජ් වීරසූරිය මහතා ඇතුළුව) දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතර, සාක්ෂිකාරියගෙන් පැමිණිල්ල මේ දක්වා හරස් ප්‍රශ්න නැගීමක් සිදු නොවීම නිසා එම සාක්ෂිය තාවකාලිකව නවතා දැමීමට නියෝග කළහ. සාක්ෂිකාරිය නැවත කැඳවීමට අවසර ලබා දුන් අතර, අධිකරණයෙන් පිටතට යැවීමෙන් පසු කරුණු දැක්වීම් සඳහා අවස්ථා කිහිපයක් ලබා දුන්නේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අවසානයේදී පැමිණිල්ලේ යෝජනාව වූයේ, විත්තියට පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට කාලය ලබා දීම සහ එම සාක්ෂිකාරිය පසුව නැවත කැඳවීමයි. විත්තිය එයට අර්ධ වශයෙන් එකඟ වූ අතර, සාක්ෂිකාරිය නැවත කැඳවීමට විරුද්ධත්වය දැක්වීය.
ඉන් පසු පැමිණිල්ලේ "22 වන සාක්ෂිකාරු" ලෙස කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දුමින්ද මුනිදාස මහතා සහ "23 වන සාක්ෂිකාරු" ලෙස ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය නන්දදේව චන්ද්‍රසේකර මහතාගෙන් සාක්ෂි ලබා ගැනීම ආරම්භ විය.
දුමින්ද මුනිදාස මහතාගෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ MEC කමිටුව සම්බන්ධයෙන් ලිපි යැවීමේ හේතු, “පේවරිට් ෆාමසුටිකල්” සමාගමෙන් ඖෂධ ගෙන්වීමේ සූදානම සහ ජනාධිපතිවරයාට ලිපියක් යැවීම ගැන ප්‍රශ්න ඇසිණි. විත්තියේ නීතිඥවරුන් (රහුල් ජයතිලක, අමිත ආරියරත්න යන මහත්වරුන්) හරස් ප්‍රශ්න යොදා විශේෂඥ දැනුමේ ඌනතාවන් සහ ඇතැම් කරුණු ඔවුන්ගේ පුද්ගලික මත බවට යෝජනා කළහ.
නන්දදේව චන්ද්‍රසේකර මහතාගෙන්: MEC කමිටුවට නියෝජිතයෙකු පත් නොකිරීම සහ ජනාධිපතිවරයාට යැවූ ලිපි (පැ 224) ගැන ප්‍රශ්න ඇසිණි. විත්තියේ නීතිඥ නයන්ත විජයසුන්දර මහතා ලිපිවල මුල් පිටපත් නොමැතිව අන්තර්ගතයට යාමට විරෝධතා දැක්වීය. සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා විද්‍යාතනයේ සභාපතිවරුන් ජනාධිපතිට ලිපියක් යැවීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා නොකිරීම ගැන ප්‍රශ්න කළේය.
විත්තියේ නීතිඥවරුන් සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමේදී ලිපිවල මුල් පිටපත් නොමැතිකම සහ නීතිමය ක්‍රමවේදයන් ගැන විරෝධතා ඉදිරිපත් කළහ. එක් අවස්ථාවකදී විත්තියේ නීතිඥවරයෙකුගේ ක්‍රියා කලාපය ගරු විනිසුරුතුමන්ලාගේ දෝෂ දර්ශනයට ලක්විය. විනිසුරු මඩුල්ල ඔහුට තරයේ අවවාද කර සිටියහ.
එදින මෙම නඩුකරය විමසනු ලැබූ ආකාරය මෙසේ අපගේ වාර්තාකරුවන්ගේ සටහන් මත වාර්තා වී තිබිණි....
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ පැමිණිල්ලේ 127 වන සාක්ෂිකාරිය ලෙස කැඳවා තිබු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණි (මූල්‍ය) ඩයනා නිශාන්ති දේවසුරේන්ද්‍ර මහත්මිය විවෘත අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සිටියදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂි ආඥා පනතට පටහැනිව ඇයගේ සාක්ෂි මෙහෙයවන බවට විත්තියේ නීතිඥවරුන් දිගින් දිගටම විරෝධතා දැක්වීම නිසා එම සාක්ෂිකාරියගේ සාක්ෂිය තාවකාලිකව නවතා දැමීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (31) නියෝග කළේය.
2022 සහ 2023 වර්ෂ සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කිරීම හා ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ආයතන වෙත සපයන ලද ඖෂධ වලට අදාල ලැබීම් හා අනෙකුත් ගෙවීම් ඇතුළු ගිණුම් විස්තර පිළිබඳව ලේඛන ඉදිරිපත් කොට සාක්ෂි ලබා දීමට එම සාක්ෂිකාරිය කැඳවා තිබිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම සාක්ෂිකාරිය වෙත අදාල ගිණුම් විස්තර වාර්තා ඉදිරිපත් කොට සාක්ෂි මෙහෙයවනු ලැබුවේ ඒවා සාක්ෂිකාරිය මගින් අධිකරණය හමුවේ සලකුණු කිරීමකින් තොරව බවත් පරිගණක මගින් උත්පාදනය කරනු ලැබූ එකී ලේඛන නිරීක්ෂණයට පරිගණක සාක්ෂි ආඥා පනත ප්‍රකාරව විත්තියට දින 45 කට පෙර අවස්ථාව ලබා දීමකින් තොරව ලබාදීම සම්බන්ධයෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන, නුවන් ජයවර්ධන, නයන්ත විජයසුන්දර යන මහත්වරුන් ඇතුළු විත්තියේ නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විරෝධතා ඉදිරිපත් කළහ.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය පරිගණක මගින් උත්පාදනය කර ඇති එකී ගිණුම් වාර්තා ඇසුරෙන් සාක්ෂි වන බවට විත්තියේ නීතිඥවරුන් දැක්වූ විරෝධතා නිසා සාක්ෂිකාරියව විවෘත අධිකරණයෙන් පිටතට අවස්ථා තුනකදීම යවා විත්තියට හා පැමිණිල්ලට කරුණු දැක්වීමට විනිසුරු මඩුල්ල අවස්ථාව ලබා දුන්නේය.
දෙපාර්ශවයේ එකී කරුණු දැක්වීම්වලට සවන් දුන් විනිසුරු මඩුල්ල එම සාක්ෂිකාරියගෙන් පැමිණිල්ල මේ දක්වා හරස් ප්‍රශ්න නැගීමක් සිදුකර නොමැති බැවින් නිසි ක්‍රමවේදය අනුගමනය කර ඇගේ සාක්ෂිය වෙනත් දිනයක කැඳවීමට පියවර ගන්නා ලෙසට පැමිණිල්ලට නියෝග කළේය.
පැමිණිල්ලේ 127වන සාක්ෂිකාරිය ලෙස නම් කොට තිබූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි ඩයනා නිශාන්ති දේවසුරේන්ද්‍ර මහත්මියගෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය සාක්ෂි මෙහෙයවීම ආරම්භ කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ සංස්ථාව දරන පිරිවැය අඩුයි කීවනේ
සාක්ෂිකාරිය ; එහෙමයි 2022.12.31 වන දින වන විට වෛද්‍ය සැපයුම් අංශයෙන් අපේ සංස්ථාවට ලැබිය යුතු මුදල් ඇතුළු හිඟ ශේෂය ඇතුලත් කරලා තිබෙනවා ඔය වාර්තාවට.
නීතිඥ නුවන් ජයවර්ධන මහතා හා නීතිඥ නයන්ත විජය සුන්දර මහතා ; ඔබතුමිය සාක්ෂි මෙහෙය වූවාට ඔය ලේඛනය ලකුණු කලේ නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඔය වාර්ෂික ගිණුම් හදන්නේ කොහොමද ? ඒ සඳහා පාදක කරගන්නේ මොන ලේඛනද?
සාක්ෂිකාරිය ; වාර්ෂික ගිණුම්වල වාර්තා හා ලෙජර් ගිණුම් හරහා සාරාංශ ගත කර තමයි ඒක හදන්නේ.
දස වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; මේ ලේඛනවල ඔබ අත්සන් තබා තිබෙනවාද?
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; කොහොමද මේ ලේඛන අදාල වන්නේ?
සාක්ෂිකාරිය ; අදාල දත්ත අපේ ගිණුම් සිස්ටම් එකේ තියෙනවා.
සභාපති විනිසුරු ; ඒ ගිණුම් හදන ක්‍රමය කොහේද තියෙන්නේ?
සාක්ෂිකාරිය ; ලෙජර් ගිණුම් වල තිබෙනවා.
සභාපති විනිසුරු ; මේ පිටපත් ගන්නේ කොහොමද?
සාක්ෂිකාරිය ; පරිගණකය මගින් එස් එල් සීට් එකකට ඒවා ගන්නවා.
අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ; දැන් සාක්ෂිකාරියම කීවා ඒ ලේඛන පරිගණක පද්ධතිය හරහා ලබාගන්නවා කියලා. එහෙම ලේඛනයක් නිසි ක්‍රමවේදය අනුගමනය කර විත්තියට සිතාසි බාර දීමකින් තොරව සාක්ෂි මෙහෙයවන්න පැමිණිල්ලට බැහැ.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; මේක පරිගණක පද්ධතිය මගින් ලබාගත් ලේඛනයක් නේද ? සභාපති විනිසුරුවරයා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගෙන් විමසයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ස්වාමීනී, මේක සම්පූර්ණයෙන්ම පරිගණක පද්ධතිය හරහාම හදපු ලේඛනයක් නෙමෙයි.
නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ; ස්වාමීනි, සාක්ෂිකාරියගේම ප්‍රකාශය අනුවම ඒක පරිගණක පද්ධතිය මගින් හදපු ලේඛනයක්. විත්තියට එම පරිගණක පද්ධතියට ප්‍රවේශ වීමට අවසර තිබිය යුතුයි.
නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; ඒ එස් 400 කියන පරිගණක පද්ධතිය මගින් උත්පාදනය කළ බව සාක්ෂිකාරිය කීවා. ඒ අනුව මෙම ලේඛනය ගැන සාක්ෂි මෙහෙයවන්න පැමිණිල්ලට බැහැ.
නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; පැමිණිල්ල ඒ සිස්ටම් එක ඔබතුමාගේ අධිකරණයට ඉදිරිපත් කළා නම් සාක්ෂිකාරියට එම ලේඛන පරීක්ෂා කර බලා සාක්ෂි දෙන්න පුළුවන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඒක ලකුණු නොකර එම ලේඛනයේ ඇති කරුණු ගැන ඇගෙන් අහනවා.
(සාක්ෂිකාරියව විවෘත අධිකරණය හමුවට කැඳවයි)
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මම වැදගත් ප්‍රශ්නයක් අහන්නේ පැහැදිලි පිළිතුරක් දෙන්න. මෙම ලේඛනය හදන්නේ යම්කිසි මෘදුකාංගයක් ඇතුළත් කරලද?
සාක්ෂිකාරිය ; ඒකේ අපි ඇතුළත් කරලා තියෙන දත්ත තියෙනවා. ඒවා බලලා තමයි මේක හදන්නේ. අපි ළඟ ලෙජර් වල තිබෙන තොරතුරු හා අර දත්ත එකතු කරලා තමයි මේ සටහන හදන්නේ.
(මෙම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා පරිගණක සාක්ෂි ආඥා පනත පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට අවසර ඉල්ලයි. සාක්ෂිකාරියව යලි අධිකරණ ශාලාවෙන් පිටතට යැව් විනිසුරු මඩුල්ල ඒ සඳහා අවසර ලබාදෙයි.)
සභාපති විනිසුරු ; සාක්ෂිය කැඳවන්න
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම ලෙජර් සටහන් පරිගණකයට ඇතුළත් කලාට ඒවායේ කිසිදු වෙනසක් කරලා නෑ. ඒවා පරිගණක උත්පාදන බවට සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු නැති නිසා තමයි පැමිණිල්ල ඒක සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට පියවර ගත්තේ. නමුත් විත්තියේ විරෝධතාවය අනුව විත්තියට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට ඇති අයිතිය ලබා දෙමින් එම පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්තියට ඉඩ දෙනවා. අද දින සිට ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදීමට පැමිණිල්ල එකඟයි. පැමිණිල්ල වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නම්. මේ සාක්ෂිකාරිය ඊට පසුව කැඳවන්නම්.
සභාපති විනිසුරු ; විත්තිය එම යෝජනාවලට එකඟද?
විත්තියේ නීතිඥවරුන් ; පැමිණිල්ල කළ අවසන් යෝජනාවට පමණක් අපි එකඟයි.
ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; එම ලේඛනය පරිගණකයට දත්ත ඇතුළත් කර සකස් කළ බව මේ සාක්ෂිකාරියගේ සාක්ෂි මඟින්ම අනාවරණය වුණා. 1995 අංක 14 දරන සාක්ෂි විශේෂ විධිවිධාන පනතේ 5(4) පී වගන්තිය ප්‍රකාරව යම් ලේඛණයක් පරිගණකයක් මගින් සෘජුවම උත්පාදනය කරන ලද හෝ යම් මනුෂ්‍ය මැදිහත්වීමක් ඇතිව හෝ නැතිව උත්පාදනය කරන ලද්දේ නම් ඒක පරිගණක උත්පාදන ලෙස සලකනවා. මේ සාක්ෂිකාරියගේ සාක්ෂි මතු දිනයක කැඳවීමට අපේක්ෂා කරන බවට පැමිණිල්ල කළ දැනුම් දීමට අපි විරුද්ධයි. සාක්ෂි විශේෂ විධිවිධාන පනතේ 7 අනුව නඩු විභාගය ආරම්භ වීමටට දින 45 කට පෙර ඒ සම්බන්ධයෙන් විත්තියට සිතාසි ලබාදිය යුතුයි.
(මෙම අවස්ථාවේ සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද දසවන විත්තිකරුගේ නීතිඥවරයා දැක්වූ කරුණුවලට එකඟ බවත් එම සාක්ෂිකාරිය නැවත කැඳවීම සම්බන්ධයෙන් විරුද්ධත්වය දක්වන බවත් අධිකරණයට පැවසූහ)
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ස්වාමීනි මෙවැනි අවස්ථාවන් සම්බන්ධයෙන් ඉහල අධිකරණ ලබා දුන් තීන්දු තුනක් තිබෙනවා. මම කණගාටු වෙනවා. එම තීන්දු මෙම අවස්ථාවේදී ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වීම ගැන.
සභාපති විනිසුරු ; ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බලා එම සාක්ෂිකාරියගේ සාක්ෂිය අවශ්‍ය විටෙක යළි කැඳවීමට පැමිණිල්ලට අවසර ලබා දෙනවා.
(නැවත සිතාසි ලද විටෙක අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එම සාක්ෂිකාරියට අධිකරණය අවවාද කරයි )
පැමිණිල්ලේ විසි දෙවන සාක්ෂිකාරිය ලෙස නම්කොට තිබූ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කායික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දුමින්ද මුනිදාස මහතාගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂි මෙහෙයවීම ආරම්භ කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඔබතුමා 2023.01.23 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය එස්.ඩී ජයරත්න මහතාට ලියන ලද ලිපිය හඳුනාගන්න පුළුවන්ද?
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඔබතුමා එවැනි ලිපියක් ලියන්න හේතු පාදක වුනේ මොනවාද?
සාක්ෂිකරු ; ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෛද්‍ය ඇගයීම් කමිටුවේ (MEC) සාමාජිකයකුු ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාර සිංහ ද සිල්වා මහතා ලබාදුන් තොරතුරු පිළිබඳව අපේ විද්‍යාතනයේ සියලු දෙනා සාකච්ඡා කර තමයි එම ලිපිය යොමු කළේ. ලියාපදිංචිය මගහැරීමේ ක්‍රමවේදය යටතේ “පේවරිට් ෆාමසුටිකල්” කියන සමාගමෙන් ඖෂධ 22-23 විතර ගෙන්වීමට ක්‍රියාදාමයක් සකස් කර ඇති බව වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ මහතා කීවා. අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමේ මුවාවෙන් අත්‍යවශ්‍ය නොවන ඖෂධ ගෙන්වීමේ සූදානමක් පවතින බවට ලැබුණ තොරතුරු අනුවයි මගේ අත්සනින් යුතුව එම ලිපිය යැව්වේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඔබ ඊට පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් ඒ සම්බන්ධයෙන් ලිපියක් යොමු කළා නේද?
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී එම ක්‍රමවේදය යටතේම ඖෂධ 300කට ආසන්න ප්‍රමාණයක් ගෙන්වීමට සූදානම් බවට ලැබුණ තොරතුරු පිළිබඳව එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කළා. කැබිනට් මණ්ඩල සංදේශයක් මගින් තමයි ඒ සඳහා පියවර ගනිමින් තිබුණේ.
පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසන් වීමෙන් පසුව නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
නීතිඥ රහුල් ජයතිලක මහතා ; නියමිත ක්‍රියා පටිපාටියට පරිබාහිරව විශේෂිත අවස්ථාවලදී අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් ආනයනය කර ඇති බව ඔබතුමා කීවනේ. ඔබතුමා එහෙම මූලික සාක්ෂියේදී කීවේ කොහොමද?
සාක්ෂිකරු ; විශේෂ රෝගීන්ගේ අවශ්‍යතා අනුව එලෙස ඖෂධ ගෙන්වා ඇති බවට මට ඇති දැනුම මතයි එහෙම කීවේ.
11 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි. ජේෂ්ඨ නීතිඥ අමිත ආරියරත්නත්න මහතා; ඩබ්ලිව් ඕ ආර් ක්‍රමවේදය යටතේ " නේම් පේෂන් " ක්‍රමය යටතේ විශේෂිත අවස්ථාවලදී ඖෂධ ගෙන්වන්න පුළුවන්ද?
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනි. එහෙම කරලා තියෙනවා.
විත්තියේ නීතිඥ ; ඔබතුමා එහෙම කිව්වේ කොහොමද?
සාක්ෂිකරු ; මගේ විෂය දැනුම අනුවයි එහෙම කීවේ.
විත්තියේ නීතිඥ ; 20015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන පනතේ 109 ගැන ඔබතුමා දන්නවාද?
සාක්ෂිකරු ; විශේෂිත දැනුමක් නෑ.
විත්තියේ නීතිඥ ; ඒ ගැන දැනුමක් නොමැතිව ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන වලට නොගැලපෙන පරිදි ඔබතුමා එලෙස කීවේ ඔබතුමාගේ පුද්ගලික මතයක් ලෙස බවට මා යෝජනා කරනවා.
සාක්ෂිකරු ; එම යෝජනාව මම ප්‍රතික්ෂේප කරනවා.
විත්තියේ නීතිඥ; ජාතික ඖෂධ නියාමන පනතේ 109 වගන්තිය අනුව ඔබ කිව් ඔය කරුණු නිවැරදි නොවන බවට මා යෝජනා කරනවා.
සාක්ෂිකරු ;මට ඒ ගැන විශේෂ දැනුමක් නෑ.
විත්තියේ නීතිඥ ; ඩබ්ලිව් ඕ ආර් ක්‍රමවේදය යටතේ "නේම් පේෂන්ට් " සඳහා ඖෂධ ගෙන්වීමට පුළුවන් බවට ඔබතුමා කී කරුණු නිවැරදි නොවන බවට මා යෝජනා කරනවා.
සාක්ෂිකරු ; එම යෝජනාව මා ප්‍රතික්ෂේප කරනවා.
විත්තියේ නීතිඥ ; ඔබතුමා කරුණු නොදැන සාක්ෂි දෙන බවට මම යෝජනා කරනවා.
සාක්ෂිකරු ; මම එම යෝජනාව ප්‍රතික්ෂ කරනවා.
දොලොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂාන්ද අල්විස් මහතා ; ස්වාමීනි මෙම සාක්ෂිකරු අද දින සාක්ෂි දීමට පැමිණෙන බවට අපි දැනුවත්ව සිටියේ නෑ. ඒ නිසා ඔහුගෙන් හරස් ප්‍රශ්න අසනවාද නැතිද කියන කරුණු දැනුම් දීමට පැය භාගයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. නැති නම් පසු දිනෙක හරස් ප්‍රශ්න ඇසීමට කැඳවන ලෙස ඉල්ලා සිටිනවා.
සභාපති විනිසුරු ; එහෙම දින දෙන්න බෑ. පැය භාගයක් දෙන්නම් හරස් ප්‍රශ්න අසනවා නම්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මම විත්තියේ එම ඉල්ලීමට විරුද්ධයි.
විත්තියේ නීතිඥවරයාගේ. එකී ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක්කළ සභාපති විනිසුරුවරයා එය ඉතා නොසැලකිලිමත් ලෙස හා වෘත්තිය ආචාර ධර්ම වලට පටහැනිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අවවාද කළේය.
මෙම අවස්ථාවේදී එම නීතිඥවරයා පැමිණිල්ලේ 22 වන සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න කීපයක් ඇසීම සිදු කළේය.
විත්තියේ නීතිඥවරයා ; ඔබතුමා පෙර සඳහන් කළ ලිපි සකස් කලේ ඔබතුමාගේ පුද්ගලික දැනුම මත නොව තවත් කෙනෙකු පැවසූ කරුණක් මුල් කරගෙන නේද?
සාක්ෂිකරු ; අපේ විශේෂ වෛද්‍යවරයෙක් එම කමිටුවට සහභාගි වුණා. එතුමා ලබා දුන් තොරතුරු පිළිබඳව සමස්ත සමාජිකයන්ගේ එකඟතාවය ඇතිවයි එම ලිපිය යොමු කළේ.
අනතුරුව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න කීපයක් විමසූ අතර පැමිණිල්ලේ 23වන සාක්ෂිකරු ලෙස කැඳවා තිබූ ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය නන්දදේව චන්ද්‍රසේකර මහතාගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂි ලබා ගැනීම ආරම්භ කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබතුමා කීවා 2023 ජනවාරි මාසේ ඔබ විද්‍යාතනයේ නියෝජනය කිරීම සඳහා “මෙක්” (Mec) කමිටුවට යෝජනා කළ විශේෂඥ වෛද්‍යවරයාව පත් කර නොතිබූ බවත් ඒ සම්බන්ධයෙන් ඔබලාගේ විද්‍යාතන හතරේ සභාපතිවරුන්ගේ අත්සනින් යුතුව ලිපි ජනාධිපතිට ඉදිරිපත් කළ බවත් කවුද ඒ සමයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේ?
සාක්ෂිකරු ; එම පත්වීම සිදුකරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එම ලිපියේ මුල් පිටපත ඔබතුමා ළඟ තිබෙනවාද?
සාක්ෂිකරු ; කාර්යාල පිටපත තිබෙනවා.
විත්තියේ නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ; ලිපිය නැතුව ප්‍රශ්න නගන්න බෑ.
සභාපති විනිසුරු ; ලිපියේ අඩංගු කරුණු අහන්න බෑ.
නීතිඥ නයන්ත විජයසුන්දර මහතා ;මේ සාක්ෂිකරු විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ සී අයි ඩීයට දුන්න අයෙක් නෙමෙයි. ඔහුගේ සාක්ෂිය පැමිණිල්ලෙන් කැඳවන්නේ අර ලිපිය ගැන සාක්ෂි දෙන්න විතරයි. මට තේරෙන්නේ නැහැ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ලේඛන වලට පරිබාහිරව ලියුමක තියෙන වචනයක් අරගෙන අනවශ්‍ය කරුණු විමසනවා. මට හිතාගන්න බෑ පැමිණිල්ල මේ විදියට කටයුතු කරන්නේ ඇයි කියලා. ඔහුගේ නියෝජිතයා (MEC) කමිටුවට පත් නොකිරීම ගැන ඇය කොහොමද මේ සාක්ෂිකරුගෙන් ප්‍රශ්න විමසන්නේ ?
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; මුල් ලේඛනවත් නැහැ. සාක්ෂිකරු කැඳවා ඇත්තේ ලිපිය ගැන අහන්න විතරයි. ඊට අදාළ සාක්ෂි විතරක් අසන්න අවවාද කරනවා. අන්තර්ගතයට යනවා නම් මුල් පිටපත ඉදිරිපත් කළ යුතුයි.
සාක්ෂිකරු ; අපිට කෙලින්ම ගිහින් ජනාධිපතිට කතා කරන්න බැරි නිසයි. එහෙම ලිපියක් යොමු කළේ.
නීතිඥ නයන්ත විජයසුන්දර මහතා ; ස්වාමීනි, මගේ සේවා දායකයා වෙනුවෙන් උපරිම සාධාරණය ඉටුකිරීම මගේ වගකීමයි. එනිසයි පත්කිරීමට අදාළ කරුණට මම විරුද්ධත්වය දැක්වූයේ.
නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා ; ඔබට පැමිණිල්ල විසින් පැ 224 ලිපිය පෙන්නුවා. ඔබලා ඒක යැව්වෙ කොහොමද? ඒක ලැබුණද කියලා සනාථ කරන්න පුළුවන්ද?
සාක්ෂිකරු ; විද්‍යාතනය හරහා යැව්වේ.
එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා ; ඔබට කියන්න පුළුවන් පැ 224 ලිපිය ජනාධිපතිවරයාට යැව්වා කිව්වාට ඔබට කියන්න පුළුවන්ද ඒක ලැබුනාමයි කියලා? ඔබට කියන්න පුළුවන් කියවා බලා තේරුම් අරගෙන අත්සන් කළා කියන එක විතරයි නේ. පේවරිට් පාමසුටිකල් සමාගමෙන් ඔබ සඳහන් කල ඖෂධ ගෙනාවද නැතිද කියලා ඔබ දන්නවාද ?
සාක්ෂිකරු ; ඒ ගැන මට අවබෝධයක් නෑ. ඒක දන්නේ එස්. එස්. ඩී එක තමයි. ශල්‍ය විශේෂඥ වරුන්ගේ විද්‍යාතනය දරදඬුුුුුුයි නරක වැඩ වලට අපි දරදඬුුුුුුුුුයි. හොඳ ළමයින්ට විතරයි අපි ඉඩ දෙන්නේ.
සාමාජික විනිසුරු විරාජ වීරසූරිය මහතා ; ඔබ කිව්වා විද්‍යාතන හතරේ සභාපතිවරුන් ජනාධිපතිවරයාට යැව් ලිපියේ ඩබ්ලිව් ඕ ආර් ගැන සඳහන් වෙනවා කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ගැන තමයි එහි සඳහන් වෙන්නේ. එහි පිටපතක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට යැව් බවට සඳහන් වෙලා නෑ. ජනාධිපතිවරයාට ලිපිය යවන්න පෙර එම ඖෂධ ගෙන්වීමට අදාල ක්‍රමය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කළාද ?
සාක්ෂිකරු ; නෑ ස්වාමීනී
වැඩිදුර සාක්ෂි විභාගය ලබන අප්‍රෙල් 22 වැනිදා දක්වා කල් තැබිණි
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

