සාක්ෂිකාරියගේ කට උත්තරයක් අතුරුදහන්...

ඒ අතර අදාළ ගැටලුව මතුවූයේ සාක්ෂිය මීට පෙර විමර්ශනය අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කට උත්තර සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම උසාවියට ඉදිරිපත් කර තිබේද නැද්ද කියා විමසා බලන විටය... සැබැවින්ම වෛද්‍යවරිය අවස්ථා තුනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සාක්ෂි ලබා දුන් බව තහවුරු විය. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවේ අනුදැනුමක් ඇතුව හෝ නැතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවියට ඉදිරිපත් කර ඇත්තේ අදාළ වෛද්‍යවරයගේ සාක්ෂියේ පළමු දින ඉදිරිපත් කළ කට උත්තරයේ වාර්තාව පමණි...

Mar 24, 2026 - 16:08
Mar 27, 2026 - 11:31
 87
සාක්ෂිකාරියගේ  කට උත්තරයක් අතුරුදහන්...

2026 මාර්තු 23 වනදා 
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩු විභාගය.


සාක්ෂිකාරියගේ 


කට උත්තරයක් අතුරුදහන්...

උසාවියට ඉදිරිපත් කිරීම


සිතා මතා මඟහැරියාද අතපසු වූවාද...


ඉදිරිපත් නොකළ ලේඛන පැය 2ක් ඇතුළත වහා 


උසාවියට ඉදිරිපත් කරන්නැ සී අයි ඩියට නියෝග.

අධිකරණ වාර්තාකරු.

ජනතාව නම ඇසූවත් භය බිරාන්ත වී යන රාජ්‍ය ආයතන කීපයක් අපේ රටේ තිබේ. ශ්‍රී ලංකා පොලිසිය වූ කලී ඒ අතර ඉහළින්ම නම ලියැවෙන ආයතනයක් බව රහසක් නොවේ...

පොලිසිය රාජකාරියේ නියැලෙන්නේ මේ රටේ ජීවත්වන සකලවිධ මහ ජනතාවගේ ආරක්ෂාව සලසනු පිණිසය. එහෙත් පොලිසිය මැදිහත් වී ක්‍රියා කරන සමහර තැන්වලදී පසුපස නොබලාම පලා යන්නේද මහජන ආරක්ෂාවයි. 

මහජන සේවය පිණිස වන, මහජනයාගේ ආරක්ෂාව සලසන මහජනයා විසින්ම නඩත්තු කරන ශ්‍රී ලංකා පොලිසිය බඳු මේ රටේ ප්‍රෞඪ ඉතිහාසයකට උරුම කම් කියන රාජ්‍ය ආයතනයක් මෑතක පටන් මෙවන් ඉරණමකට ඇද වැටී ඇත්තේ ඇයි...

එම ප්‍රශ්නයට උත්තර බොහෝ තිබිය හැකිය. අප මේ සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ පොලිසිය මාතෘකා කර ගනිමින් එවන් කරුණක් ගැන විවරණයක හෝ සංවාදයක යෙදෙන්නට නම් නොවේ. පොලිසිය වෙතින් මේ රටේ සුප්‍රසිද්ධ නඩුකරයකදී සිද්ධ වන්නට ගිය තවත් බරපතල වරදක් ගැන ජනතාව දැනුවත් කරන්නටය...

අපේ රටේ අධිකරණ ක්ෂේත්‍රය හමුවට පැමිණෙන විවිධ නඩුකරවලට අවශ්‍ය චෝදනා හා කරුණු ගොනුකර තබන්නේ ශ්‍රී ලංකා පොලිසිය බව රහසක් නොවේ. ඇතැම් විට එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරියක් වන අතර ඊට නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමද නොඅඩුව ලැබෙන නිසා උසාවියකදී පැමිණිල්ල මෙහෙයවෙන්නේ මේ දෙගොල්ලන්ගේම සම අනුග්‍රහය ඇතිවයි...

මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගයට ගැනෙන “ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ” පැමිණිලිකරුවෝද ඔවුන්ය. එම නඩුකරයේ සාක්ෂි විභාගය පසුගිය දිනවල මහත් උණුසුමින් පැවැත්වෙන අතර පසුගිය 23 වනදා පස්වන දිනයටත් සාක්ෂි දීම සඳහා ඉදිරිපත්ව සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මියයි...

ප්‍රශ්න ගත සිද්ධිය සිදුවන කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ගෙන්වන අනුකමිටුවේ සභාපතිනිය වශයෙන් කටයුතු කළ ඇය රජය වෙනුවෙන් මෙම නඩුකරය සදහා ඉදිරිපත් කෙරෙන ප්‍රබල සාක්ෂි කාරිනියක ද විය. 

එහෙත් ප්‍රවීණ වෛද්‍යවරියක මෙන්ම දිගු කලක් වෛද්‍ය පරිපාලන සේවයේ සේවය කර පලපුරුදු රාජ්‍ය නිලධාරිනියක වන ඇයගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන් අපේක්ෂා කරන මට්ටමේ සාක්ෂියක් විත්තියට එරෙහිව ගත හැකිවූයේද යන සැකය මතුවිය...

මන්ද ඇය “ස්වාධීනව තම සාක්ෂි දීම” පසුගිය දවස් හතර පුරාම පවත්වාගෙන යන්නට උත්සාහ කළ නිසාය. ඇයගේ මුවින් සත්‍යම මිස, ඇයගේ මැදිහත් වීමෙන් අදීනත්වයම මිස කවුරුන් හෝ අපේක්ෂා කළ වෙනත් පක්ෂපාතිත්වයක් උදෙසා සේවයක් ලබාගත නොහැකි විය...

ඒ අතර අදාළ ගැටලුව මතුවූයේ සාක්ෂිය මීට පෙර විමර්ශනය අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කට උත්තර සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම උසාවියට ඉදිරිපත් කර තිබේද නැද්ද කියා විමසා බලන විටය...

සැබැවින්ම වෛද්‍යවරිය අවස්ථා තුනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සාක්ෂි ලබා දුන් බව තහවුරු විය. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවේ අනුදැනුමක් ඇතුව හෝ නැතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවියට ඉදිරිපත් කර ඇත්තේ අදාළ වෛද්‍යවරයගේ සාක්ෂියේ පළමු දින ඉදිරිපත් කළ කට උත්තරයේ වාර්තාව පමණි...

එසේ නම් ඉතිරි දින දෙකෙහි කට උත්තරවලට අදාළ වාර්තාවට වූයේ කුමක්ද. සිතා මතා කවුරුන් හෝ එය උසාවියට ඉදිරිපත් නොකර සිටියේද. නැතිනම් අත පසුවීමකින් මගහැරී ගියාද... එම ප්‍රහේලිකාව විසඳුණු ආකාරයෙන් විමසා බලන්න...

පැමිණිල්ලේ 203 වන සාක්ෂිකාරිය ලෙස කැඳවා තිබූ එම මහත්මිය 23 වනදා පස්වන දිනටත් විවෘත අධිකරණය හමුවේදී සාක්‍ෂි ලබාදීම ආරම්භ කළාය. එම නඩුවේ, දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය කුසුම්සිරි රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවි හංස විජේසිංහ මහතා සාක්ෂිකාරියගෙන් වැඩිදුරටත් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

නීතිඥ රවිහංස විජේසිංහ මහතා ;  
10 වී 43 ලෙස නම් කර තිබෙන වෛද්‍ය සැපයුම් අංශ ලේඛනයේ 218 ලෙස නම්කර තිබෙන “හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්”  කියන ඖෂධ ඇත්තේ මාසයකට අඩු කාලයකට ප්‍රමාණවත් වන අයුරින් පමණයි කියලා සඳහන් වෙනවා නේද? 

සාක්ෂිකාරිය ; 
එහෙමයි ස්වාමීනී. මට ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කිරීමට අවසර දෙන්න. මම පසුගිය සිකුරාදාත් උසාවිය හමුවේ සාක්ෂි දීල ගෙදර ගිහින් කල්පනා කළා. මම දෙන සාක්ෂි වැරදි ලෙස අර්ථකථනය වෙන්න පුළුවන් කියන එක. ඒ නිසයි ඒ ගැන පැහැදිලි කිරීමට ඔබතුමන්ලාගෙන් අවසර ඉල්ලා සිටින්නේ.  (සාක්ෂිකාරිය කළ ඉල්ලීමට විනිසුරු මඩුල්ල අවසර ලබාදීමෙන් පසු යටින් දැක්වෙන කරුණු දැක්වීම සිදු කළාය). 

“ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මාස තුනක කාලයකට ප්‍රමාණවත් ආකාරයෙන් හෝ තොග පවත්වාගෙන යාම සෞඛ්‍ය බලධාරීන්ගේ එකම අභිලාෂය වුවත් එය යථාර්ථයක් බවට පත්  කර ගත නොහැකි සිහිනයක් පමණක් වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය ඊයේ (23) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවාය.” 

පෙර සදහන් කළ 10 වි 43 දරන ලේඛනය විත්තියේ සාක්ෂියක් ලෙස අධිකරණය හමුවේ සලකුණු කිරීමෙන් අනතුරුව නීතිඥ රවි හංස විජේසිංහ මහතා හරස් ප්‍රශ්න ඇසීම අවසන් කළ අතර අනතුරුව හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. 

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; 
වෛද්‍ය තුමියනි ඔබතුමිය මෙම නඩුවට පාදක වූ විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කීයක් දුන්නාද? 

සාක්ෂිකාරිය ; 
ප්‍රකාශ කීයක් දුන්නාද කියලා නම් මතක නැහැ. 

විත්තියේ නීතිඥවරයා ; 
ප්‍රකාශ ලබා ගැනීම සිදු කළේ ඔබතුමියගේ කාර්යාලයේදීද නැතිනම් සී.අයි.ඩී ය තුලදීද ? ඔබතුමිය ඒවා කියවා බලා අත්සන් කලානේ?

සාක්ෂිකාරිය ; 
එහෙමයි ස්වාමීනි. මම අත්සන් කළා. ප්‍රකාශ ලබා ගත්තේ මගේ කාර්යාලය තුළදී.

විත්තියේ නීතිඥවරයා ; 
ස්වාමීනි පැමිණිල්ල විසින් විත්තියට පිටපත් ලබා දී තිබෙන්නේ ඇයගෙන් 2024.11.18 වැනිදා ලබාගත් ප්‍රකාශයේ පිටපත් විතරයි. නමුත් ඊට පසුවත් මෙම සාක්ෂිකාරියගෙන් ප්‍රකාශ සටහන් කර තිබෙනවා. ඒකෙ පිටපත් විත්තියට දීලා නැහැ. 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; 
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නිලධාරියා කැඳවන්න පැමිණිල්ලට ලැබිලා තිබෙන්නෙත් එක ප්‍රකාශයක පිටපත් විතරයි.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; 
(අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නිලධාරියා අධිකරණ ශාලාව තුළට කැඳවා ප්‍රශ්න කරයි) මෙම සාක්ෂිකාරිය ප්‍රකාශ කීයක් ලබාදීලා තිබෙනවාද? 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා ; 
දෙකයි ස්වාමීනී 2024.01.18 වැනිදා හා 2024.01.29 වැනිදා ප්‍රකාශ ලබා දී තිබෙනවා. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 
මම ආස නෑ මේ වැඩේට.

සභාපති විනිසුරු ; 
ඒ ප්‍රකාශ දෙකෙන් එක ප්‍රකාශයක් විතරනේ විත්තියට ලබා දීලා තියෙන්නේ. එම දෙවන ප්‍රකාශයේ පිටපත් ද වහාම විත්තියට ලබාදිය යුතුයි. පැමිණිල්ල වගේම විත්තියටත් අධිකරණය සාධාරණය ඉටුකළ යුතුයි. 

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; 
ස්වාමීනි මෙම නඩුවේ 203 වන මෙම සාක්ෂිකාරිය 2026.03.13 සිට මේ දක්වා ඔබතුමන්ලාගේ අධිකරණය හමුවේ හමුවේ සාක්ෂි දීලාතිබෙනවා. පැමිණිල්ල විසින් අධි චෝදනා පත්‍රය සමඟ විත්තියට අවශ්‍ය ලේඛන සැපයීමේ අරමුණ සාක්ෂි ආඥා පනතේ 52 වගන්තියට ප්‍රකාරව අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව විත්තියට විත්ති වාචක ගොඩනැගීමට අවශ්‍ය පහසුකම ලබාදීමයි මෙම මූලධර්මයට අවනත නොවී පැමිණිල්ල ඉතාමත් පුදුම සහගත ලෙස මෙම සාක්ෂිකාරියට සිතාසි නිකුත් කර තිබෙනවා. සී අයි ඩීය සාක්ෂිකාරියට සිතාසි නිකුත් කර තිබෙනවා. එය පුදුම සහගතයි. සී අයි ඩී දන්නවා මෙම සාක්ෂිකාරියගෙන් ප්‍රකාශ කීයක් ලබාගෙන තිබෙනවාද කියන එක. ලේඛන ලැබෙන ලැබෙන විදියට විත්තිවාචක ගොඩනැගීමට සිදුවීම මගින් විත්තියට දැඩි අපහසුතාවයකට මුහුණදීමට සිදුවෙනවා. මෙම සාක්‍ෂිකාරියගේ දෙවන සාක්ෂිය නඩුවේ හරයටම බලපාන්න පුළුවන් කරුණක් විය හැකියි. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 
ගරු අධිකරණය ප්‍රශ්න කරනතුරු පැමිණිල්ල දන්නේ නෑ මෙම සාක්ෂිකාරිය දෙවරක් ප්‍රකාශ ලබාදී ඇති බව. පැමිණිල්ලට කිසිම දැනුම් දීමක් නැතුව විත්තිය විසිනුත් අධිකරණයට විවිධ ලේඛන ඉදිරිපත් කරනවා. පැමිණිල්ල ඒවාට විරුද්ධ උණේ නෑ. 

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; 
ස්වාමීනී මට උගත් මිතුරියගේ කරුණු දැක්වීමට පිළිතුරු දීමට අවශ්‍යයි. 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; 
නෑ නෑ ඒක අවශ්‍ය නෑ... රිප්ලයි දෙන්න ගියොත් ආයෙත් ඒකටත් රිප්ලයි එන්න පුළුවන්. එතකොට දිගටම රිප්ලයි ම තමයි. 

මෙම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබෙන එකී පැමිණිල්ලේ සාක්ෂිකාරියගෙන් ලබා ලබා ගත් ප්‍රකාශ වලට අදාළ මුල් ගොනු නිල මැදිරියට කැඳවා ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට තීරණය කළ විනිසුරු මඩුල්ල, නඩු විභාගය පස්වරු 1.00 දක්වා එනම් පැය දෙකක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේය. 

සභාපති විනිසුරුවරයා ; 
සාක්ෂිකාරිය අමතමින් ඔබ සී අයි ඩී යට ප්‍රකාශ කීයක් දුන්නාද? ප්‍රකාශ ලබා දුන්න දින මතකද? 

සාක්ෂිකාරිය ; 
මතක නෑ ස්වාමීනී 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ;  
සී අයි ඩී ය සඳහන් කරන දින දෙකට අමතරව ඔබ තවත් ප්‍රකාශ ලබා දුන්නාද? 

සාක්ෂිකාරිය ; 
මතක නෑ ස්වාමීනී 

සභාපති විනිසුරු ; 
ඔබගෙන් ලබාගත් සියලු ප්‍රකාශ සී අයි ඩී සටහන් කළාද ? 

සාක්ෂිකාරිය ; 
එහෙමයි ස්වාමීනී

අටවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා. ; 
ස්වාමීනි, එම ප්‍රකාශයේ පිටපත්, අධ්‍යයනය කිරීමෙන් පසුව හරස් ප්‍රශ්න ඇසීම සඳහා වෙනත් දිනයක නඩුව කැඳවන ලෙස ඉල්ලා සිටිනවා. 

පස්වරු 1.00 ට නැවත නඩුව කැඳවීමෙන් අනතුරුව ඒවන විට හරස් ප්‍රශ්න ඇසීම සිදු කරමින් සිටි හයවන විත්තිකරුගේ නීතිඥවරයා පෙරවරු 11.30 වන විට අදාළ දෙවන ප්‍රකාශයේ පිටපත් ලැබී තිබීම හේතුවෙන් ඔහුගේ හරස් ප්‍රශ්න ඇසීම ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල ඒ වන විට එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න අසා නොතිබූ නීතිඥවරුන්ට 24 වැනි දිනයේ, හරස් ප්‍රශ්න ඇසීමටත් ඒ වන විට හරස් ප්‍රශ්න අසා තිබූ සෙසු විත්තිකරුවන්ට අවශ්‍ය නම් නැවතත් හරස් ප්‍රශ්න ඇසීමටත් අවසර ලබා දුන්නේය. 

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; 
අද දින විත්තියට ලබා දුන් ඔබගේ දෙවන ප්‍රකාශයේ සඳහන් වෙනවා 2024.01.29 වැනිදා සී අයිඩීය ඔබගෙන් 12.45 ට ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කළ බව. නමුත් ඔබ එම ප්‍රකාශය කියවා බලා සත්‍ය බවට අත්සන් කරන විට අත්සන් කළ වෙලාව ලෙස සටහන් කර ඇත්තේ 12.30 ලෙසටයි. ඔබ ඔබගේ අත්සන් පිළිගන්නවාද? මම එලෙස යෝජනා කරනවා. 

සාක්ෂිකාරිය ; 
මට ප්‍රකාශය බලන්න ඕනා. (එම ලේඛනය පරීක්ෂා කළ සාක්ෂිකාරිය එහි ඇත්තේ තමාගේ අත්සන බවට හඳුනා ගනී) 

ඒ සම්බන්ධයෙන් එකිනෙකා සමග විනාඩි කීපයක් සාකච්ඡා කළ විනිසුරු මඩුල්ල එම ප්‍රකාශය සටහන් කළ පොලිස් නිලධාරියා පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස නම්කර ඇතිදැයි පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියගෙන් විමසා සිටි අතර ඔහු පැමිණිල්ලේ සාක්ෂිකරුවකු බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රකාශ කළාය. 

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; 
ස්වාමීනි, මෙම සාක්ෂිකාරියගෙන් ලබාගත් දෙවන ප්‍රකාශයට අදාළ සටහන් එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතින් ලියන ලද ප්‍රකාශයේ සටහන් ආරම්භ කළ වෙලාව ලෙස 12.45ත් අත්සන් කළ වෙලාව ලෙස 12.30 ත් ඇතුළත්. නමුත් එකී ප්‍රකාශය යතුරු ලියනය කර ලබාදීමේදී එහි අවසානයේ අත්සන් කළ වෙලාව සටහන් කර නෑ. 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; 
එම ප්‍රකාශය සටහන් කළ නිලධාරියා පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස නම්කර තිබෙන බැවින් ඔහු සාක්ෂි දීමට පැමිණි දිනකදී ඒ පිළිබඳව විත්තියට හරස් ප්‍රශ්න ඇසිය හැකියි. 

විත්තියේ නීතිඥ ; 
2024.01.31 වැනිදා අනුකමිටු සටහන්වල තිබෙනවා ඔබගෙන් දෙවන වරට ලබාගත් ප්‍රකාශය පිළිබඳව වැඩිදුර කරුණු තහවුරු කිරීමට 2024.01.30 වැනිදාත් නැවත ප්‍රකාශ ලබා ගත් බව ඔබ එය පිළිගන්නවාද? 

සාක්ෂිකාරිය ; 
එහෙමයි ස්වාමීනී 

විත්තියේ නීතිඥ ; 
ඔබතුමිය කීවා ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඖෂධ ලබා ගැනීම සඳහා වෙන්කළ මුදල් වෙනත් කටයුතු සඳහා වෙන් කිරීමට තීරණය කළ බව. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අත්සන් කළ ගිවිසුමේ එහෙම සඳහන් වෙනවාද? 

සාක්ෂිකාරිය ; 
මම එම ගිවිසුම දැකලා නෑ.

විත්තියේ නීතිඥ ; 
ඔබතුමිය විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත එම අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රශ්නාවලිය පිළිබඳ වාර්තාව දැක්කොත් හඳුනාගන්න පුළුවන්ද? 

සාක්ෂිකාරිය ; 
එහෙමයි ස්වාමීනී 

විත්තිය නීතිඥ ; 
2022.02.28 වැනිදා වෙළඳ අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක් ගැන එහි සඳහන් වෙනවා. ඒ වන විට වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කවුද?

විත්තියේ නීතිඥ ; 
ඔබතුමිය සඳහන් කළා 2022.02.28 වැනිදා වෙළඳ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වූවා කියලා. කවුද එවකට වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ? 

සාක්ෂිකාරිය ; 
කවුද වෙළඳ අමාත්‍යවරයා කියලා මට හරියටම මතක නෑ. මම හිතන්නේ බන්දුල ගුණවර්ධන මහත්තයා කියලයි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 
මම එම ප්‍රශ්නය නැගූ ආකාරයට විරුද්ධයි. 

සභාපති විනිසුරුවරයා ; 
ප්‍රශ්නය නිසි ලෙස අහන්න. 

විත්තියේ නීතිඥ ; 
22.02.28 වැනිදා පැවැති රැස්වීමට වෙළඳ අමාත්‍යවරයා සහභාගි වුණාද? 

සාක්ෂිකාරිය ; 
එහෙමයි ස්වාමීනී 

විත්තියේ නීතිඥ ; 
එම රැස්වීම පැවැත්වීමට හේතුපාදක වුණේ මොකක්ද? 

සාක්ෂිකාරිය ; 
ඒවන විට රටේ පැවැති ඩොලර් හිඟය නිසා අප රටේ අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර හා කර්මාන්ත උපකරණ රාජ්‍ය අංශය හා පුද්ගලික අංශය මගින් ආනයනය කිරීම එහිදී සාකච්ඡා වුණා. 

විත්තියේ නීතිඥ ; 
2022.06.31 දිනැති 6 වී 8 ලෙස ලකුණු කර තිබෙන පැ 190 යටතේ ඇති මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වෙත ඉදිරිපත් කළ සටහන් ඇතුළත් කිරීමට හේතුව මොකක්ද? 

සාක්ෂිකාරිය ; 
බෙහෙත් සැපයීමේ අවශ්‍යතාවය සලකා බලා එම ලිපිය ඉදිරිපත් කළා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 
විත්තියේ නීතිඥ මහතා නැගූ ප්‍රශ්නයට සාක්ෂිකාරිය ලබා දුන් පිළිතුර ගැන මම විරුද්ධයි. වැරදි ලේඛනයක් ගැනයි විත්තිය අහන්නේ. 

විත්තියේ නීතිඥවරුන් දෙසට හැරුණ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය හිනාවෙන්න දෙයක් නෑ මේක නොමග යැවීමක්. 

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; 
මගේ උගත් මිතුරිය සාක්ෂිකාරිය පිළිතුරු දෙන්න පෙර පනිනවා. 2022.11.01 වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශය ගැන සාකච්ඡා කර තිබෙනවාද? පැ 157 ලෙස නම්කර තිබෙන ලිපියේ අංක හතර අයිතමය අමාත්‍ය මණ්ඩල තීරණය ගැන දැනුමක් තිබෙනවාද? 

සාක්ෂිකාරිය ; 
මම මේ කැබිනට් සංදේශය ගැන මුකුත්ම දන්නේ නෑ. 

විත්තියේ නීතිඥ ; 
ඒ කැබිනට් මණ්ඩල සංදේශය ගැන අනුකමිටු රැස්වීමේදී කතා කරන්න පුළුවන්ද? 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 
මම එම ප්‍රශ්නයට විරුද්ධයි. ඒ ගැන සාක්ෂිකාරියට මතයක් කියන්න බෑ. 

විත්තියේ නීතිඥවරයා ; 
මේක හරිම අසාධාරණ විරුද්ධවීමක් පැ 197 (1) ලෙස සලකුණු කර ඇති නිරීක්ෂණ අනුකමිටු වාර්තාවට ඇතුළත් කර තිබෙනවාද? 2022.11.11 වැනිදා අනුකමිටු රැස්වීමට ඔබතුමිය සහභාගි වූ බව පිළිගන්නවාද? 

සාක්‍ෂිකාරිය ; 
එහෙමයි ස්වාමීනී. 

විත්තියේ නීතිඥ ; 
එම සාකච්ඡාවේදී, සාකච්ඡා වූ කරුණුවලට එකඟයි කියලා සියලු සාමාජිකයන්  අත්සන් කර නෑ නේද? 

සාක්ෂිකාරිය ; 
ඒකට දැන් උත්තර දෙන්න නම් මට දැනුමක් නෑ. 

විත්තියේ නීතිඥ ; 
2023.01.19 දිනැති ලිපියට පෙර 2023.01.16 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් එවන ලද ලිපිය අනුකමිටුවේදී සලකා බැලුවාද? 

සාක්ෂිකාරිය ; 
එහෙමයි ස්වාමීනී. 

විත්තියේ නීතිඥ ; 
එක් මහේස්ත්‍රාත් අධිකරණය විසින් කරන ලද නියෝගය ප්‍රකාරව යවන ලද උත්තර ප්‍රකාශයේ පිටපතක් නේද? 

සාක්ෂිකාරිය ; 
එහෙමයි ස්වාමීනී. නමුත් එහි අත්සනයේ වෙනසක් තිබෙනවා. මම දන්නේ නෑ ඒක කොහොම වුනාද කියලා. 

නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා ; 
ස්වාමීනි, පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින විට ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සටහන් පොත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. 2026.01.20 වන දින අදාළ කාර්යය සටහන් විතරයි මේ දක්වා මට ලැබී තිබෙන්නේ. කාර්ය සටහන් ලැබීම ප්‍රමාද වන නිසා මුළු දවස පුරාම අධිකරණය තුළ රැඳී සිටීමට අපට සිදුවෙනවා. ඒක දුෂ්කර කාර්යයක්. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 
අහගෙන ඉන්න අමාරුයි වගේම දරාගෙන ඉන්නත් අමාරුයි නේද? 

වැඩිදුර සාක්ෂි විමසීම හෙට (24) දක්වා කල් තැබිණි

ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මාස තුනක කාලයකට ප්‍රමාණවත් ආකාරයෙන් හෝ තොග පවත්වාගෙන යාම සෞඛ්‍ය බලධාරීන්ගේ එකම අභිලාෂය වුවත් එය යථාර්ථයක් බවට පත්  කර ගත නොහැකි සිහිනයක් පමණක් වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය ඊයේ (23) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවාය. 

ඖෂධ රටට ආනයනය කරනුයේ සුරක්ෂිතව ඒවා ගබඩා කිරීමට ඇති ගබඩා පහසුකම් අනුව බවත් එහිදී ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීර සූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේදී එම මහත්මිය ප්‍රකාශ කළාය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ (23) කැඳවිණි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0