විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ ඖෂධ සංස්ථා ලොකු පුටුවක ‘මතකය’ ගිලිහෙයි!
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව විභාග වන මතභේදාත්මක බාල ඖෂධ මිලදී ගැනීමේ නඩුව ඊයේ (01) කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් යුත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ නැවත කැඳවනු ලැබීය. එහිදී තුන්වැනි දිනටත් සාක්ෂි ලබා දුන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPMC) ගණකාධිකාරී සහ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩයනා නිශාන්ති දේවසුරේන්ද්‍ර මහත්මිය, විත්තිපාර්ශවයේ නීතිඥවරුන් නැඟූ තියුණු හරස් ප්‍රශ්න හමුවේ දැඩි අපහසුතාවකට පත්වන අයුරු දක්නට ලැබිණි. ඇයගේ සාක්ෂි දීමේ විලාසය තුළින් ආයතනයේ මූල්‍ය කළමනාකරණයේ පවතින බරපතල ලිහිල්භාවය, නිල ලේඛනවල පරස්පරතා සහ ඉහළ නිලධාරිනියක ලෙස වගකීම් විරහිතභාවය මැනවින් නිරූපණය විය.
2026 ජුනි මස 02 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය
විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ
ඖෂධ සංස්ථා ලොකු පුටුවක
‘මතකය’ ගිලිහෙයි!
බොරු සාක්කි දෙන බවට විත්තියෙන් චෝදනා...
ගිණුම් වාර්තාවල පරස්පරතා:
බාල බෙහෙත් නඩුවේ
මූල්‍ය පරිපාලනයේ රෙදි උසාවියේදී ගැලවෙයි!
අධිකරණ වාර්තාකරු
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව විභාග වන මතභේදාත්මක බාල ඖෂධ මිලදී ගැනීමේ නඩුව ඊයේ (01) කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් යුත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ නැවත කැඳවනු ලැබීය. එහිදී තුන්වැනි දිනටත් සාක්ෂි ලබා දුන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPMC) ගණකාධිකාරී සහ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩයනා නිශාන්ති දේවසුරේන්ද්‍ර මහත්මිය, විත්තිපාර්ශවයේ නීතිඥවරුන් නැඟූ තියුණු හරස් ප්‍රශ්න හමුවේ දැඩි අපහසුතාවකට පත්වන අයුරු දක්නට ලැබිණි. ඇයගේ සාක්ෂි දීමේ විලාසය තුළින් ආයතනයේ මූල්‍ය කළමනාකරණයේ පවතින බරපතල ලිහිල්භාවය, නිල ලේඛනවල පරස්පරතා සහ ඉහළ නිලධාරිනියක ලෙස වගකීම් විරහිතභාවය මැනවින් නිරූපණය විය.
නිල මූල්‍ය වාර්තා සහ කළමනාකරණ ලේඛන අතර පරස්පරතා
6 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා විසින් මෙහෙයවන ලද හරස් ප්‍රශ්න කිරීම් හමුවේ, සාක්ෂිකාරිය අධිකරණයට ඉදිරිපත් කර තිබූ ‘පැ 295’ දරන මූල්‍ය ලේඛනයේ අන්තර්ගත දත්ත සහ සංස්ථාවේ නිල වාර්ෂික මූල්‍ය වාර්තා අතර පවතින බරපතල පරස්පරතා රැසක් අනාවරණය විය.
2022 වර්ෂයට අදාළ ආරම්භක ශේෂයන් සහ වෛද්‍ය සැපයුම් අංශයෙන් (MSD) ලැබිය යුතු මුදල් පිළිබඳව විමසීමේදී, ඇය විසින් සකස් කරන ලදැයි කියන වාර්තාවල නිශ්චිත දත්ත ඇතුළත් කර නොතිබීම මෙහිදී කැපී පෙනුණි. විශේෂයෙන්ම, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු රුපියල් බිලියන 41 කට අධික මුදලක් වාර්ෂික මුදල් වාර්තාවේ වෙනම සඳහන් කර නොමැති බවත්, එය ‘ලෙජර් සහ එකම එන්ට්‍රියක්’ (Single Entry) ලෙස පමණක් අන්තර්ගත කර ඇති බවත් සාක්ෂිකාරිය පිළිගත්තාය.
ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් සැපයුම්කරුවන්ට සෘජුවම සිදුකළ ගෙවීම් පෙන්වීමේදී ද ‘පැ 295’ ලේඛනයේ සහ වාර්ෂික වාර්තාවේ අගයන් (මිලියන 95 සහ මිලියන 89.179) එකිනෙකට පරස්පර විය. විත්තිපාර්ශවයේ නීතිඥවරයා මෙහිදී දැඩිව කියා සිටියේ මෙම ‘පැ 295’ ලේඛනය ආයතනික අවශ්‍යතාවක් මත නොව, වත්මන් නඩුවේ පැමිණිල්ලට පක්ෂග්‍රාහීව සාක්ෂි ගොඩනැඟීම සඳහාම පමණක් සකස් කරන ලද අවිධිමත් ලේඛනයක් බවයි. සාක්ෂිකාරිය එය ප්‍රතික්ෂේප කළද, එම ලේඛනය විධිමත්ව පරීක්ෂා කර, සකස් කර හෝ අනුමත කර ඇත්තේ කවුද යන්න පිළිබඳව සටහනක් නොමැතිව, හුදෙක් ‘අත්සනක්’ පමණක් යොදා තිබීම තුළින් ඇයගේ සාක්ෂියේ විශ්වසනීයත්වය බිඳ වැටෙන බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ද්‍රවශීලතා අර්බුදය සහ ‘මතක නැත’ යනුවෙන් වගකීමෙන් මිදීම
ආයතනයක මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව තීරණාත්මක සාධකය වන ‘ද්‍රවශීලතාව’ (Liquidity) සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී සාක්ෂිකාරිය අනුගමනය කළ පිළිවෙත දුර්වල එකක් විය. 2022 වසර අග වන විට බැංකු අයිරා පොලිය ලෙස රුපියල් බිලියන 3.052ක් ගෙවීමට තිබූ පසුබිමක සහ ජංගම වගකීම් රුපියල් බිලියන 37.189ක්ව පවතිද්දී මුදල් හා මුදල් සමාන දෑ තිබුණේ බිලියන 15.937ක් වැනි අඩු අගයක බැවින්, සංස්ථාව සතුව ද්‍රවශීලතාවක් නොතිබූ බව නීතිඥවරයා තර්කානුකූලව පෙන්වා දුන්නේය. එහෙත් සාක්ෂිකාරිය ආයතනය පවත්වාගෙන යාමට මුදල් තිබූ බව මුලින් ප්‍රකාශ කළද, අවසානයේ බැංකු අයිරා නිසා ද්‍රවශීලතාව සෘණ අගයක් ගෙන තිබූ බව පිළිගැනීමට ඇයට සිදුවිය.
ඇයගේ සාක්ෂිදීමේ විලාසයෙහි පැවති විශාලතම දුර්වලතාවක් වූයේ තමන් වගකියන ක්ෂේත්‍රයට පරිබාහිර හෝ තමන්ට අවාසිදායක වන ඕනෑම ප්‍රශ්නයකදී “මතක නැත” හෝ “දන්නේ නැත” යනුවෙන් පවසමින් වගකීමෙන් මිදීමට උත්සාහ කිරීමයි. නීතිඥ අමිත ආරියරත්න මහතා හරස් ප්‍රශ්න අසමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දුන් ප්‍රකාශය කියවා තේරුම් ගෙන නිවැරදි බවට 2025 අප්‍රේල් 12 වැනිදා අත්සන් තැබුවේදැයි විමසූ අවස්ථාවේදී, ආයතනයේ සිව්වන උසස්ම නිලධාරිනිය වන ඇය තමන් CID එකට ප්‍රකාශයක් දුන් බව මතක වුවද ඊට අත්සන් කළාද යන්න “මතක නැත” යනුවෙන් පැවසීම අධිකරණය හමුවේ ඇය දැක්වූ ලිහිල් පිළිවෙතක් ලෙස කැපී පෙනුණි.
ඖෂධවල ගුණාත්මකභාවය සහ මරණ පිළිබඳ අසංවේදීතාව
නීතිඥ හරේන්ද්‍ර බාණගල මහතා හරස් ප්‍රශ්න අසමින්, “සෙලජන් ලයිෆ් සයන්ස්” සහ “ඉෂෝ බයෝටෙක් ෆාමා” යන සමාගම්වලින් මිලදී ගත් ඖෂධ භාවිතය නිසා මෙරට රෝගීන් 5 දෙනෙකු මියගොස් තිබියදීත්, එම සමාගම්වලට සම්පූර්ණ මුදල් ගෙවා අවසන් කර ඇත්තේ මන්දැයි ප්‍රශ්න කළේය.
එහිදී සාක්ෂිකාරිය ලබා දුන් පිළිතුර වූයේ, තමන් ඒ පිළිබඳව ආයතනික වශයෙන් දැනුවත් නොවූ බවත්, මාධ්‍ය මඟින් පමණක් එය දැනගත් බවත්ය. ආයතනයේ ප්‍රසම්පාදන හා මිලදී ගැනීම්වලට සෘජුවම සම්බන්ධ, මූල්‍ය අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ඇය, මිනිස් ජීවිත අහිමි කළ බාල ඖෂධ ජාවාරමක් සම්බන්ධයෙන් මෙවැනි නොදැනුවත්කමක් සහ “වාර්තා නොබලා කිව නොහැක”, “වෙන්න ඇති” වැනි අස්ථාවර පිළිතුරු ලබා දීම තුළින් රාජ්‍ය නිලධාරීන්ගේ පවතින අත්තනෝමතික සහ වගකීම් විරහිත ස්වභාවය විදහා දැක්වුණි.
තවද, මෙම නඩුවට පාදක වන “හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්” ඖෂධයෙන් කිසිදු මරණයක් හෝ බරපතල හානියක් සිදු නොවූ බවත්, සිදුවූයේ අත කැසීම, බඩ කැසීම වැනි සුළු අතුරු ආබාධ පමණක් බවත් විත්තිපාර්ශවයේ නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේදී ද ඇය පැවසුවේ තමන් ඒ පිළිබඳව “දන්නේ නැති” බවයි.
ඩිජිටල් දත්ත විශ්ලේෂණය සහ නඩු විභාගය කල් තැබීම
නඩුවේ දෙවන කොටස ලෙස, රජයේ සැකකටයුතු ලේඛන පිළිබඳ දෙපාර්තමේන්තුවේ පරීක්ෂක නිලධාරී දිනේෂ් තීක්ෂණ ඒකනායක මහතා කැඳවනු ලැබූ අතර, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය විසින් ඔහුගේ සාක්ෂි මෙහෙයවන ලදී. 2026 වසර වන විට ඩිජිටල් උපාංග දස දහසක් පමණ පරීක්ෂා කර වාර්තා 2000ක් පමණ සකස් කර ඇති බව පැවසූ ඒකනායක මහතා, පරිගණක සර්වර්, ඔරැකල් (Oracle) මෘදුකාංගවල දත්ත ගබඩා කිරීමේ ක්‍රමවේද සහ පරිශීලකයන්ගේ දත්ත ප්‍රවේශ සීමාවන් (User privileges) සහ ලොග් ෆයිල් (Log files) මඟින් දත්ත වෙනස් කිරීම් නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳව තාක්ෂණික විස්තර අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන්, නඩුවේ තවත් තීරණාත්මක සාක්ෂිකරුවන් දෙදෙනෙකු වන ක්‍රිස්ටින් ජෝසප් සැන්ඩවුඩ් සහ ගෝපාල් සිං යන මහත්වරුන්ට සමකාලීන සාක්ෂිකරුවන් ලෙස සාක්ෂි දීමට අවසර ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, මෙම නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 02 වැනි දින දක්වා කල් තැබීමට නියෝග කළේය.
නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය වන ඩයනා නිශාන්ති මහත්මියගේ සාක්ෂි විභාගය දෙස බැලීමේදී, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ මූල්‍ය පාලනය සහ වාර්තාකරණය ඉතා අවිධිමත් මට්ටමක පවතින බවත්, බාල ඖෂධ සහ මූල්‍ය අර්ධතාවන් සම්බන්ධයෙන් උසස් නිලධාරීන් වගකීමෙන් බැහැරව කටයුතු කර ඇති බවත්, විත්තිපාර්ශවයේ හරස් ප්‍රශ්න හමුවේ ඇය දැක්වූ අස්ථාවර පිළිතුරු සහ “මතක නැත” යන ස්ථාවරය තුළින් පැහැදිලිවම ගම්‍ය වේ.
එහිදී සිදුවූ සම්පූර්ණ නඩුවිභාගයේ වාර්තාව මෙසේය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව විභාග වන බාල බෙහෙත් නඩුව ඊයේ (01) විභාගයට ගත් අවස්ථාවේ තෙවැනි දිනටත් සාක්ෂි දුන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගනකාධිකාරී සහ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩයනා නිශාන්ති දේවසුරේන්ද්‍ර මහත්මිය 6 වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් ජයවර්ධන මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ කීවේය.
නීතිඥ ; 295 ලේඛනයේ 2022ට අදාළව ආරම්භක ශේෂය බිලියන 42.72 කිව්වොත් හරිද?
සාක්ෂිකාරිය ; වැරදී ස්වාමීනී. ඒ ආරම්භක ශේෂය නොවෙයි.
නීතිඥ ; බිලියන 6.3 කියන්නේ ආරම්භක ශේෂය නෙවෙයි.
සාක්ෂිකාරිය; ඔව්.
නීතිඥ ; ඖෂධ සංස්ථාවට වෛද්‍ය සැපයුම් අංශයෙන් වාර්ෂිකව මුදල් ලැබී තිබේ නම් එය වාර්ෂික වාර්තාවේ සඳහන් විය යුතුයි නේද?
සාක්ෂිකාරිය ; නැත ස්වාමීනි. එය ලෙජර්වල පමණයි සඳහන් වෙන්නේ.
නීතිඥ ; ඔබ සැකසූ වාර්තාව අනුව ලැබීම් 2023 වාර්තාවේ සඳහන් වෙන්න බැරිද?
සාක්ෂිකාරිය ; මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ඇතුල් විය හැකියි.
නීතිඥ ; පැ 295 වාර්තාවේ කොතැනද එය සඳහන් වන්නේ?
සාක්ෂිකාරිය ; එහි සඳහන්ව නැහැ.
නීතිඥ ; 2023 වාර්ෂික මුදල් වාර්තාවේ කොතැනද සඳහන් වෙන්නේ?
(වාර්ෂික මුදල් වාර්තාව පෙන්වයි)
මේ වාර්තාව අනුව ලැබීම් මුදල් කොහෙද සඳහන් වන්නේ?
සාක්ෂිකාරිය ; වෙළඳ ණය ගැතියන්ගේ අඩු වැඩි බව බිලියන 41ක් ලැබීමක් ලෙස සඳහන් කර තිබෙනවා.
නීතිඥ ; 2023 හි ඒ බව සටහන්ද?
සාක්ෂිකාරිය ; ඒක එක එන්ට්‍රි එකක්. වෙනම සඳහන් කර නැහැ.
නීතිඥ ; 2023 ලැබිය යුතු මුදල් සටහන් කර ඇතත් සාක්ෂිකාරිය සඳහන් කරන බිලියන 41 එහි නැහැ.
සාක්ෂිකාරිය ; ණය ගැතියන්ගේ නම් සඳහන් වන්නේ වාර්ෂික ගිණුම්වල.
නීතිඥ ; සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු ගණන සඳහන් වෙනවද?
සාක්ෂිකාරිය ; නැහැ මූල්‍ය වාර්තාවේ සඳහන් වෙන්නේ අවසාන ශේෂයයි.
නීතිඥ ; සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු බිලියන 41.739 අගයත් වෙනස්.
සාක්ෂිකාරිය ; ඒ අගය ඇවිත් තියෙන්නේ 41.886 අඩු කිරීමෙන් අනතුරුවයි.
නීතිඥ ; මම යෝජනා කරනවා පැ 295 හි ඇතුලත් දත්ත ඔබ අනුමත කළ 2023 වාර්තාවේ දත්ත සමග බරපතල වෙනස්කම් පවතින බව. පැ 295 හැදුවේ මේ නඩුවේ සාක්ෂි ලබා දෙන්නයි.
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනි.
නීතිඥ ; ලෝක බැංකු අරමුදල් සැපයුම්කරුවන්ට සෘජුව ගෙවූ මුදල් බව සඳහන්. එය අවසාන ශේෂයේ අඩුකර ශුද්ධ අගය ලෙස බිලියන 6.307 ක් පෙන්වනවා. එවැනි ගෙවීමක් වාර්ෂික වාර්තාවේ සඳහන් ද ?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනි.
නීතිඥ ; එය ඖෂධ සංස්ථාවෙන් භාණ්ඩ මිලදී ගැනීමක් වෙනුවෙන් කළ ගෙවීමක්.
සාක්‍ෂිකාරිය ; ඔව්. ඒ මුදල අප හරහා නෙවෙයි ගෙව්වේ. ලෝක බැංකුව සැපයුම් කරුවන්ට ගෙව්වා.
නීතිඥ ; ඔබ මේ සම්බන්ධයෙන් දෙන්නේ අසත්‍ය තොරතුරු...
සාක්ෂිකාරිය ; මා එය පිළිගන්නේ නැහැ ස්වාමීනි.
නීතිඥ ; 2023 වාර්ෂික වාර්තාවේ සටහනකුත් ඇතුළත් කර තිබෙනවා ඒ සම්බන්ධයෙන්..?
සාක්ෂිකාරිය ; 36 සටහන මගින් කරන්නේ හෙළිදරව්වක්. මූල්‍ය වාර්තා ගිණුම්කරණ ප්‍රමිතීන් අනුව කළ යුතුයි. මෙහි අප කරන්නේ අනාවරණයක්. මේ සඳහන් වන අගය ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ගෙවීම් කළ නිසා අප අඩුවෙන් සටහන් කරන්නේ. එය අපට ලැබුණු සෘජු ලැබීමක් නෙවෙයි.
නීතිඥ ; පැ 295 ලේඛනය අනුව ආසියානු සංවර්ධන බැංකුව ගෙවා ඇති මුළු මුදල් කොපමණද?
සාක්ෂිකාරිය ; මිලියන 95 යි.
නීතිඥ ; වාර්ෂික වාර්තාව අනුව ගෙවා ඇති මුළු මුදල කොපමණද?
සාක්ෂිකාරිය ; මිලියන 89.179ක්. රිසීව්බල් DHS යටතේ එය සඳහන් වෙනවා. සම්පූර්ණයෙන් ගෙවූ මුදල මෙහි ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ලෙස සටහන් කර ඇත.
නීතිඥ ; ඔබ දෙන්නේ සම්පූර්ණ වැරදි අර්ථකථනයක්. පැමිණිල්ලට පක්ෂව හැදු වාර්තාවක් මේ.
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනි එය කළමනාකරණ වාර්තාවක්.
නීතිඥ ; පැ 295 හි බිලියන 38 ක් ලෙස සඳහන් වෙනවා.
සාක්ෂිකාරිය ; මේ ලැබිය යුතු මුදල සම්බන්ධ සැපයුම්කරුවන්ට සෘජුව ගෙවලා තියෙනවා. DHS එකෙන් ලැබිය යුතු බිලියන 3.80ක් ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සෘජුව කළ ගෙවීම් අඩුවිය යුතුයි. 2022 අවුරුද්දේ කළමනාකරණ ශේෂයේ මිලියන 6385 ක් අඩුකර තිබෙනවා.
නීතිඥ ; මේ වාර්තාව අනුව තොග අඩුකිරීම් නැහැ.
සාක්ෂිකාරිය ; ඔව්.
නීතිඥ ; DHS මගින් අයවිය යුතුයි. ඉතිරි මුදල ලෙස ලැබෙන මුදල වාර්ෂික වාර්තාවේ සඳහන් විය යුතුද?
සාක්ෂිකාරිය ; වාර්ෂික වාර්තාවේ මේ වාර්තාවේ මෙන්ම අනෙක් අඩුකිරීම්ද ඇතුළත් කළ යුතුයි.
නීතිඥ ; පැ 295 හි මූල්‍ය දත්ත හා අනෙක් අදාල කරුණු සඳහන් කළේ නැද්ද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි. ගිණුමට අවශ්‍ය දේ ඇරෙන්න වෙනස් කරන්නේ නැහැ. ඊළඟ වාර්තාවට අවශ්‍ය දේ එක් කරනවා.
නීතිඥ ; ඔබ කියන්නේ ආයතනය තුළ පවතින මූල්‍ය තත්ත්වය පිළිබඳ නිවැරදි තොරතුරු කළමනාකරණ වාර්තාවකින් ගන්න බැහැ කියලද?
සාක්ෂිකාරිය ; වෙනසක් වුණා නම් එහි එන්ට්‍රි ගන්නවා. එහෙම අරන් තියෙනවා.
නීතිඥ ; ඇයි එහෙනම් ඉන්පසු හැදූ වාර්තාවල නැත්තේ?
සාක්ෂිකාරිය ; 2022 ට අදාල ඒවා ගෙනාවා. අනික් ඒවා ගෙනාවේ නැහැ.
නීතිඥ ; ආයතනයක මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශ මොනවාද? ස්කන්ධ දර්ශකය විස්තීරණ ආදායම් මුදල් ප්‍රකාශන කිව්වොත් හරිද ? ඒවාට වගකිවයුතු නිලධාරීන් අත්සන් කරනවද?
සාක්ෂිකාරිය ; මූල්‍ය තත්ත්වයට වග කියන නිලධාරීන් අත්සන් කරනවා.
නීතිඥ ; සාමාන්‍ය ඒවාට අත්සන් කරන්නේ කවුද?
සාක්ෂිකාරිය ; සභාපති, කළමනාකරන අධ්‍යක්ෂ, සාමාන්‍යාධිකාරී, ගණකාධිකාරී...
නීතිඥ ; ලේඛනයක් අත්සන් කරන්නේ වගකීමක් සහිතව නේද?
සාක්ෂිකාරිය ; ඔව් අධ්‍යක්ෂ මණ්ඩලය අත්සන් කරනවා.
නීතිඥ ; මේ 295 ලේඛනය අත්සන් කරලා පමණයි. අනුමත කිරීමක්, සකස් කිරීම හෝ පරීක්ෂා කර බැලුවේ කවුද කියලා නැහැ.
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
නීතිඥ ; ආයතනයක ද්‍රවශීලතාව කියන්නේ කුමක්ද?
සාක්ෂිකරු ; ආයතනයක් පවත්වාගෙන යන්න ද්‍රවශීලතාවක් තිබිය යුතුයි. එය වත්කම් ප්‍රමාණයක්.
(2022 වාර්ෂික වාර්තාවේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ සාක්ෂිකාරියට පෙන්වයි.)
නීතිඥ ; 2022 වර්ෂයේ වාර්ෂික වාර්තාවේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ වෙළඳ හා වෙනත් ණයගැති භාවය වෙනස්වීම හා අඩුවීම යටතේ සෘණ අගයක් සඳහන් වෙනවා. ඒ කුමක්ද?
සාක්ෂිකාරිය ; ඒ පෙලන ණය ගැතිභාවය වෙනස්වීමයි. වෙළඳ ණයගැති භාවය වැඩිවෙලා. එය සෘණ අගයක් ලෙස සඳහන් වෙනවා.
නීතිඥ ; එය ලැබෙන්න තියෙන මුදල වැඩිවීමක්ද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
නීතිඥ ; 2023.06.23 ලේඛනය බලල කියන්න 2022 වසරට අදාලව ණයගැති භාවය අඩුවීම හා වැඩිවීම මිලියන 154 කට වෙනස් වී තිබෙනවා යැයි කිව්වොත් සාක්ෂිකාරිය ඒක පිළිගන්නවද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි.
නීතිඥ ; එම වෙනසට හේතුව කුමක්ද?
සාක්ෂිකාරිය ; ඔව් 2022 ලැබිය යුතු ගණන මිලියන 51 දක්වා අඩුවෙලා.
නීතිඥ ; මම යෝජනා කරනවා 2022 වසර වෙද්දි ද්‍රවශීලතාවය තිබුනේ නැහැ කියලා.
සාක්ෂිකාරිය ; එහෙම කියන්න බැහැ. අපි ජංගම වගකීම් හා ජංගම වත්කම් කියන ඒවා බැලිය යුතුයි. ජංගම වත්කම් බිලියන 64ට හතරක් දක්වාද, ජංගම වගකීම් බිලියන 40 දක්වා ද තිබුණා.
නීතිඥ ; ඖෂධ සංස්ථාවේ ජංගම වගකීම් බිලියන 37.189 ලෙස සඳහන් වෙනවා. 2022 මුදල් ප්‍රවාහ ප්‍රකාශය අනුව මුදල් හා මුදල් සමාන ද ඇත්තේ බිලියන 15.937 පමණයි. නමුත් එහි ජංගම වගකීම් රුපියල් බිලියන 37.189 ක් ලෙස සඳහන්. අවම වශයෙන් මුදල් අයිරා පියවන්නවත් මුදල් තිබිලා නැද්ද ආයතනයේ ?
සාක්ෂිකාරිය ; ආයතනය ගෙනයන්න මුදල් තිබුණා
නීතිඥ ; නමුත් 2022 අග වන විට සංස්ථාවට ද්‍රවශීලතාවයක් තිබුණේ නැහැ.
සාක්ෂිකාරිය ; ද්‍රවශීලතාව තිබුනේ නැහැ කියන්න බැහැ. අන්තිම සටහනක් දුන්නේ මුදල් හා අයිරාව අනුවයි. ඒ අනුවයි සෘණ අගයක් වෙලා තියෙන්නේ.
නීතිඥ ; 2022 වසරට අනුව බැංකු අයිරාවේ පොලිය බිලියන 3.052 ගෙවන්න තිබුණ බව පිළිගන්නවද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; එවැනි ගෙවීමක් සිදුකළ පසුත් රුපියල් බිලියන 15.937 ක් තවදුරටත් ගෙවිය යුතුව තිබෙනවා.
සාක්ෂිකාරිය ; මේ බැංකු අයිරාව.
නීතිඥ ; මම යෝජනා කරනවා 2022 දෙසැම්බර් 31 වන විට ද්‍රවශීලතාව නොමැති ආයතනයක් බව.
සාක්ෂිකාරිය ; එය පිළිගන්නේ නැහැ ස්වාමීනි.
නීතිඥ ; ඔබ අද ගෙනා ලේඛන පරීක්ෂා කරලා බලලා කියන්න LC ඕපන් කිරීම සඳහා ගෙවිය යුතු මුදල කොපමණද කියා?
සාක්ෂිකාරිය ; 2022 ට අදාලව ඔක්තෝම්බර් 4 වැනිදා යවපු ලිපියක් තිබෙනවා ස්වාමීනි.
නීතිඥ ; එහි ණයවර ලිපි ගැන සඳහන්ව තිබෙනවද?
සාක්ෂිකාරිය ; ඩොලර් බිලියන 32.6 ක ණයවර ලිපි අපට විවෘත කරන්න තිබෙන බව එහි සඳහන්.
නීතිඥ ; රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස එම ලිපිය පිළිගන්නවද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි.
නීතිඥ ; වසර දෙකකට වඩා වැඩි කාලයක් ගෙවීමට නොහැකිව සිටි ණයවර ලිපි සඳහා මුදල් ගෙවීමට නොහැකිව සිටියා.
සාක්ෂිකාරිය ; එය කොතැන සඳහන් වන්නේද දන්නේ නැතිව කිසිවක් කිව නොහැකියි.
නීතිඥ ; ප්‍රසංපාදන වලට තිබුණු අක්‍රමිකතා දන්නවද?
සාක්ෂිකාරිය ; මට අදාල නැහැ ස්වාමීනි, මම මූල්‍ය අංශයට වග කියන්නේ.
නීතිඥ ; මොන රෙගුලාසි මතද සැපයුම් කරුවන්ට මුදල් ගෙවන්නේ ? මොනවද එහිදී සලකා බලන ලේඛන?
සාක්ෂිකාරිය ; ඉන්වෙන්ට්‍රිය, ඉන්වොයිසිය ඇතුළු ලේඛන පරීක්ෂා කරනවා ස්වාමීනි.
නීතිඥ ; ගරු අධිකරණයට සාක්ෂි දුන් පැ 295 ලේඛනය විධිමත් ලේඛනයක් නොවෙයි.
සාක්ෂිකාරිය ; එහෙම කියන්න බැහැ.
නීතිඥ ; දත්ත නිවැරදි නෑ.
සාක්ෂිකාරිය ; දත්ත අපි නිවැරදිව සකස් කළා.
නීතිඥ ; පැ 295 අවිධිමත් ලේඛනයක්.
සාක්ෂිකාරිය ; පිළිගන්නේ නෑ.
නීතිඥ ; දත්ත නිවැරදි නෑ.
සාක්ෂිකාරිය ; පිළිගන්නේ නෑ.
නීතිඥ ; මම යෝජනා කරනවා 295 සහ 295 ඒ පැමිණිල්ලට පක්‍ෂග්‍රාහීව හැදූ ලේඛන කියලා.
සාක්ෂිකාරිය ; පිළිගන්නේ නෑ.
නීතිඥ අමිත ආරියරත්න මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.
නීතිඥ ; ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දුන්නාද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී.
නීතිඥ ; කීයක්ද?
සාක්ෂිකාරිය ; එකක් බව මතකයි. දිනය මතක නෑ. 2024 වෙන්න පුළුවන්.
නීතිඥ ; එය ලබා ගනිද්දි, හේතු කිව්වද?
සාක්ෂිකාරිය ; මතක නැහැ ස්වාමීනි.
නීතිඥ ; ප්‍රකාශය ලබා ගනිද්දී මේ ප්‍රකාශය ලබා ගන්නේ “හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්” ගැන බව කිව්ව නේද ?
සාක්ෂිකාරිය ; නැහැ.
නීතිඥ ; ව්‍යාජ ලේඛන මත ඖෂධ ගෙන්වූවා කියලා කිව්වද?
සාක්ෂිකාරිය ; මතකයක් නැහැ.
නීතිඥ ; ප්‍රකාශය දුන්නම තේරුම් අරන් අත්සන් කරන්න කිව්වා.
සාක්ෂිකාරිය ; අත්සන් කරන්න ඇති.
නීතිඥ ; කියවා තේරුම් කරදී නිවැරදි බවට අත්සන් ලබා ගත්තා.
සාක්ෂිකාරිය ; ප්‍රකාශයක් දුන්නට අත්සන් කළාද මතක නෑ.
නීතිඥ ; 2025 අප්‍රේල් 12 දින අත්සන් කර තිබෙනවා. මම කියනවා. එහි කියවා තේරුම්ගෙන නිවැරදි බවට අත්සන් කළා කියලා.
සාක්ෂිකාරිය ; මතක නැහැ ස්වාමීනි.
(නීතිඥ හරේන්ද්‍ර බාණගල හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි)
නීතිඥ ; සංස්ථාවේ සැපයුම්කාර ලේඛනයක් පවත්වාගෙන යනවද?
සාක්ෂිකාරිය ; ඔව් අප ගෙවිය යුතු සැපයුම්කරුවන්ගේ ලේඛනයක් පවත්වාගෙන යනවා. එම ලේඛනය යාවත්කාලීන කරමින් පවත්වාගෙන යනවා.
නීතිඥ ; එම සැපයුම්කාර ලැයිස්තුව මත යම් දෝෂයක් ඇත්නම් එහි සැපයුම්කරු තවදුරටත් සැපයුම්කරුවකු නොවේනම්, ඒ බව ඔබට දැනුම් දෙනවද?
සාක්ෂිකාරිය ; ඔව් අසාදු, ලේඛනගත කළ බව දන්වනවා.
නීතිඥ ; ඒ වෙනුවෙන් යම් පද්ධතියක් පරීක්ෂා කරනවද?
සාක්ෂිකාරිය ; අපට ලේඛන මගින් දැනුම් දෙනවා.
නීතිඥ ; “අයිසොලෙස් බයෝටෙක් ෆාමා” නම් සමාගමක් ගැන මතකයක් තියෙනවද?
සාක්ෂිකාරිය ; පොඩි මතකයක් තිබෙනවා.
නීතිඥ ; ඔබ ආයතනයට කළ සැපයුමක් වෙනුවෙන් ගෙවීමක් කළා කියා මතකද?
සාක්ෂිකාරිය ; නැහැ.
නීතිඥ ; අසාධූ ලේඛන ගත කලා කියා මතකයක් තිබේද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී.
නීතිඥ ; ඔබේ ආයතනයෙන් ලබා ගත් ඖෂධවලින් අතුරු ආබාධ වුණාම ගෙවීම් අංශය දැනුවත් කරනවද?
සාක්ෂිකාරිය ; ඒවාට ගෙවන්න එපා කියා අදාල අංශවලින් දැනුම් දෙනවා. ගෙවීම් සඳහා වව්චර් එකවත් එවන්නේ නැහැ.
නීතිඥ ; ඔබට මතකද “සෙලජන් ලයිෆ් සයන්ස්” සහ “ඉෂෝ බයෝටෙක් ෆාමා” යන සමාගම් මගින් ඖෂධ මිලදී ගත්තා.
සාක්ෂිකාරිය ; නම අහල තියෙනවා.
නීතිඥ ; සෙලජන් ලයිෆ් සයන්ස් සමාගම ගෙන්වූ ඖෂධ වලින් මරණ දෙකක් වුන බව දන්නවාද?
සාක්ෂිකාරිය ; මාධ්‍ය මගින් අහලා තියෙනවා...
නීතිඥ ; “ඉෂෝ බයෝටෙක් මගින් සැපයූ “හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්” නිසා මරණ තුනක් ගැන කියලා අහලා තියෙනවද?
සාක්ෂිකාරිය ; නැහැ ආයතනය කිව්වේ නැහැ. මාධ්‍ය මගින් දැනගත්තා
නීතිඥ ; ඔබ වැඩ බලන සමාන්‍යාධිකාරී ධූරාවලියේ දෙවන තැන.
සාක්ෂිකාරිය ; සිව්වන තැන.
නීතිඥ ; ආයතනයේ ප්‍රසම්පාදන කරද්දී ඖෂධ ගැන ඔබට වගකීමක් තිබේද ?
සාක්ෂිකාරිය ; හැම තීන්දු තීරණයකටම වගකීම මට දරන්න බැහැ.
නීතිඥ ; ඔබට ඉහලින් ඉන්නේ කවුද?
සාක්ෂිකාරිය ; සභාපති , කළමනාකාර අධ්‍යක්ෂ, සාමාන්‍යාධිකාරී
නීතිඥ ; ඔබට මිලදී ගැනීම්වලට සම්බන්ධ වගකීමක් තිබෙනවා.
සාක්ෂිකාරිය ; ඔව් .
නීතිඥ ; ආයතනයෙන් සැපයූ. ඖෂධයකින් යම් මරණයක් වුනොත් ඒවාට මුදල් ගෙවූ ඔබට යම් වගකීමක් තිබෙනවා.
සාක්ෂිකාරිය ; තත්ත්වයෙන් බාල ඒවා ගන්න එපා කියා තිබෙනවා.
නීතිඥ ; කලින් කී සමාගම් දෙකට ඔබ සම්පූර්ණ මුදල ගෙවා තිබෙනවා.
සාක්ෂිකාරිය ; කියන්න බැහැ..
නීතිඥ ; එම සමාගම් දෙක ගෙන්වූ ඖෂධ වලින් මරණ පහක් සිදුවී තිබියදීත් මුළු මුදලම ගෙවා තිබෙනවා.
සාක්ෂිකාරිය ; වෙන්න ඇති.
නීතිඥ ; ඒවාට මුදල් ගෙවලද?
සාක්ෂිකාරිය ; වාර්තා නොබලා කියන්න බැහැ.
නීතිඥ ; මේ නඩු කටයුත්ත කුමන උවමනාවකින් ගෙනා එකක් දැයි දන්නවද?
සාක්ෂිකාරිය ; සාමාන්‍ය අවබෝධයක් තියෙනවා.
නීතිඥ ; සාක්ෂි දෙන්න කිව්වේ ඇයි ?
සාක්ෂිකාරිය ; ඖෂධ සංස්ථාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රශ්න කළේ.
නීතිඥ ; ඔබ දන්නවද මේ නඩු කටයුත්තට අදාල “ඉමියුනෝග්ලොබියුලීන්” වලින් කිසි වරදක් සිදුවෙලා නැහැ කියලා.
සාක්ෂිකාරිය ; දන්නේ නැහැ
නීතිඥ ; මෙම ඖෂධයෙන් වාර්තා වුනේ අත කැසීම බඩ කැසීම වගේ දේවල්.
සාක්ෂිකාරිය ; මම දන්නේ නැහැ.
විනිසුරු විරාජ් වීරසූරිය මහතා ; 2022 ඔක්තෝම්බර් වෙද්දි ඔබ එහි සේවය කරනවද? ඒ කාලය වන විට මහා භාණ්ඩාගාරය මුදල් මුදා හැරියද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි කොවිඩ්වලින් පසු මූල්‍ය දුෂ්කරතා තිබුණා. සැපයුම් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයට කතාකර මුදල් ඉල්ලා ගත්තා. ඉල්ලීම් කරන ලිපි ලේඛන යැව්වම මුදල් ලබා දුන්නා. අපි “over draft” එකක් පවත්වාගෙන යන්න ඉල්ලා සිටියා. එම වසරේ නොවැම්බරයේ සැලකිය යුතු මුදලක් භාණ්ඩාගාරයෙන් ලැබුණා.
විනිසුරු ; 2022 ඔක්තෝම්බර් 04 වෙද්දි “ෆන්ඩ්” නැහැ කියන එක හරිද?
සාක්ෂිකාරිය ; නැහැ අපි fund ඉල්ලලා නිකම් ඉන්නේ නැහැ. නිරන්තර ඒ ගැන කටයුතු කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය: 8 වන චූදිත වෙනුවෙන් ප්‍රශ්න අසද්දී 8V 2023 මාර්තු 16 දරන ලේඛනයේ පළමු ඡේදයේ තිබෙනවා දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 51.3 Term loan පැ 295 ලේඛනයෙහිදී MSD එකෙන් ලැබිය යුතු ලෙස ඇතුළත් කර ඇත්ද?
සාක්ෂිකාරිය ; ඔව්.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; ඔබ සැපයූ පැ 295 ලේඛනයේ එය සඳහන්ද?
සාක්ෂිකාරිය ; ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 8V7 ලේඛනයේ 2023 හි ඖෂධ සංස්ථාවේ පැවැති මොන දුෂ්කරතාවයද ලිව්වේ?
සාක්ෂිකාරිය ; ණයවර ලිපි විවෘත කරන්න තියෙන ප්‍රමාදය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් අංශය එවන ඇනවුම් යම්තාක් දුරකට සූදානම් කර ණයවර ලිපි විවෘත කිරීමට එහි සඳහන් කර තිබෙන්නේද?
සාක්ෂිකාරිය ; ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ණයවර ලිපි විවෘත කිරීමේ දුෂ්කරතාවය අනුව අනුගමනය කළ යුතු විකල්ප එහි සඳහන්ද?
සාක්ෂිකාරිය ; ඔව් සම්පූර්ණ පසුබිම ගැන කියා තිබෙනවා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ අවස්ථාවේ පැවති තත්ත්වය ගැන කුමක් කියලද ඉල්ලලා තියෙන්නේ?
සාක්ෂිකාරිය ; භාණ්ඩ සැපයීම වෙනුවෙන් බැංකු අයිරාව ණයක් ලෙස පරිවර්තනය කර මහා භාණ්ඩාගාරය ගෙවිය යුතුයි කියලා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2023 කළ යෝජනාවට අනුව ටර්ම් ලෝන් ලෙස පරිවර්තනය කරන ලෙස ඉල්ලුවද?
සාක්ෂිකාරිය ; නැහැ මේක කැබිනට් මණ්ඩලය දක්වා ගිය කරුණක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ වන විට සංස්ථාවට පැවැති දුෂ්කරතා නිසා ඉල්ලුවා
සාක්ෂිකාරිය ; 2023 ට ලැබුණේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ කියන දුෂ්කරතා මැද කොහොමද කටයුතු කළේ කියා කිව හැකිද?
2023 මාර්තු මාසයෙන් පසු රජයෙන් වෙන් කරන මුදලට අමතරව “additional Allocation” ලෙස සඳහන්ද බලන්න.
සාක්ෂිකාරිය ; මිලියන 8000, මිලියන 3000 ආදී වශයෙන් ලැබී තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ආයතනයේ පැවැති දුෂ්කරතා ගැන මහා භාණ්ඩාගාරය පිළිතුරු දී තිබේද?
සාක්ෂිකාරිය ; ඔව් , additional allocation ලබා දී තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; බැංකු අයිරා පොලිය සහ 2023 වසරේ වටිනාකම් ආදිය සැලකිල්ලට ගෙන ද්‍රවශීලීතා වත්කම් නැහැ කියා පිළිගත හැකිද?
සාක්ෂිකාරිය ; මුළු වෙළඳ ණය ගැතිකම බිලියන 38 ක් ලෙස වෛද්‍ය සැපයුම් අංශය ඇතුළු ආයතන වලින් වෙළඳ ණය යටතේ තබාගෙන සැපයුම්කරුවන්ට ගෙවීම් කල හැකියි. අපට බිලියන 57ක් ලැබෙන්න තියෙද්දි ගෙවන්න තිබුනෙ බිලියන 37යි
නඩුව පස්වරුවේ ආරම්භ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේ මෙම නඩුවේ 47වන සාක්ෂිකරු ක්‍රිස්ටින් ජෝසප් සැන්ඩවුඩ් සහ 239 වන සාක්ෂිකරු වන ගෝපාල් සිං යන සාක්ෂිකරුවන් සමකාලීන සාක්ෂිකරුවන් ලෙස සාක්ෂි දීමට අවසර ඉල්ලා සිටින බවයි.
සාක්ෂි දීම සඳහා ආණ්ඩුවේ සැකකටයුතු ලේඛන පිළිබඳ දෙපාර්තමේන්තුවේ පරීක්ෂක නිලධාරී ඒකනායක මුදියන්සේලාගේ දිනේශ් තීක්ෂණ ඒකනායක කුඩංගමුව කැඳවන ලදී. නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය සාක්ෂිකරුගේ සාක්ෂිය මෙහෙයවන ලදී. සාක්‍ෂිකරුගේ අධ්‍යාපන සුදුසුකම් හා පලපුරුද්ද විමසීමෙන් පසු සාක්‍ෂි ලබා ගැනීම සිදුවිය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඩිජිටල් අන්දමින් දැක්වෙන ඒවා කියන්නේ මොනවාද?
සාක්ෂිකරු ; ජංගම දුරකථන , DVR සේවර් ආදියේ දත්ත “ඩිජිටල්” ආකාරයෙන් තැන්පත් වෙනවා. මේවා අතරින් අපරාධයකට සම්බන්ධ දත්ත සෙවීමයි කරන්නේ. ඩිජිටල් අන්දමින් දැක්වෙන ඒවා කියන්නේ “PDF , Data base, අන්තර්ජාලය” ආදියයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ විශ්ලේෂණ කීයක් පමණ කර තිබෙනවාද?
සාක්ෂිකරු ; 2026 වසර වන විට වාර්තා 2000 ක් පමණ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ඒ සඳහා කොපමණ උපාංග විශ්ලේෂණය කළාද?
සාක්ෂිකරු ; දස දහසක් පමණ උපාංග විශ්ලේෂණය කළා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඩිජිටල් උපාංගවල “ඩේටා බේස්” පරීක්ෂා කරනවා කියන්නේ කුමක්ද?
සාක්ෂිකරු ; ස්ථාපනය කරන මෘදුකාංගයේ දත්ත ලබා ගන්නා ප්‍රධාන මෙවලමට.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය; දත්ත ගබඩා වෙන්නේ කොහේද?
සාක්ෂිකරු ; ඩේටා බේස් එක හරහා පරිශීලකයන් දත්ත ගබඩා කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ජංගම දුරකථනවල ඩේටා බේස් ලැබෙන ආකාරයට තැන්පත් වෙනවා. දත්ත මූලිකවම ඇතුළත් කරන්නේ පරිශීලකයන් විසින්.
පරිශීලකයන් කියන්නේ කවුද?
සාක්ෂිකරු ; මෘදුකාංග නිරීක්ෂණය කරන්නන්. ඒ අනුව විවිධ පරිශීලකයන් සිස්ටම් වල ඉන්නවා. දත්ත බලන අය, කළමනාකරණය කරන අය ඉන්නවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පරිගණක හා සර්වර් පරිගණක යනු කුමක්ද?
සාක්ෂිකරු ; සාමාන්‍ය පරිගණකයක අපි එදිනෙදා කටයුතු කරගෙන යනවා. අවශ්‍ය විට ක්‍රියා විරහිත කරනවා. සර්වර් පරිගණක අවුරුද්ද පුරාම පැය 24 ම වැඩ. ඒවායේ තමයි ව්‍යාපාරික අරමුණු සඳහා වන මෘදුකාංග ධාවනය වෙන්නේ. ඒවා කල් පැවැත්ම වැඩි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; data base යනු කුමක්ද?
සාක්ෂිකරු ; සර්වර් පරිගණකය ක්‍රියාත්මක වන දත්ත ගබඩා කරන ක්‍රමවේදය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පරිශීලකයන් හරහා දත්ත ගබඩා කරද්දි සුරක්ෂිතභාවයේ මිනුම් දඬු මොනවාද?
සාක්ෂිකරු ; පද්ධතියට ප්‍රවිශ්ට වන්නේ කවුද යන්න පාලනය වන තරමට සුරක්ෂිතයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; දත්තවලට ප්‍රවේශ වීම සීමා කිරීම යනු කුමක්ද?
සාක්ෂිකරු ; පරිශීලකයන් වර්ග රාශියක් සිටිනවා. ඇතුල් කරන්නන්, පිටතට ගන්න අය, කළමනාකරුවන් ආදිය. මේ අයට අනවශ්‍ය බලතල ලබාදෙන්නේ නැහැ. දත්ත ඇතුල් කරන්නෙකුට ඉවත් කරන්න දෙන්නේ නැහැ. ඊට වඩා බලතල ඇති අයෙකුටයි එම කටයුත්ත දෙන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ කියන වරප්‍රසාද ලත් කෙනා කළ දේත් බැලිය හැකිද?
සාක්ෂිකරු ; ඒවා ලොග් ෆයිල් එකක් ලෙස සටහන් වෙනවා. ඒවා පරීක්ෂා කර ඕනෑම කෙනෙක් කළ ක්‍රියාකාරකමක් බලාගත හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔරැකල් මෘදුකාංගයේ දත්ත සුරක්ෂිතද?
සාක්ෂිකරු ; ඔව් එය ඉහළ මිලක්. දත්ත ආරක්ෂණ තිබෙනවා. අනවසර ප්‍රවිෂ්ටය එයින් වළක්වනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; අනවසර ප්‍රවේශය යනු කුමක්ද?
සාක්ෂිකරු ; ඔරැකල් ගිණුම දත්ත පද්ධතියට ඇතුල්වෙන එක වළක්වනවා. ඒ සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග unable කර තිබෙනවා. ඒ අනුව අපි white list හදලා තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඇතැම් අවස්ථාවල වැරදි දත්ත ඇතුළු කරන පරිශීලකයන් සිටිය හැකිද?
සාක්ෂිකරු ; මොඩිෆයි කර ගිණුම වෙනස්කම් කළ යුතු වගුවලට පමණයි ප්‍රවිශ්ටය දෙන්නේ. ඒ සීමිත බලතල සහිතවයි.
(මෙම නඩුකරයේ වැඩිදුර විභාගය මැයිමස 02 වැනි දිනයට කල් තබනු ලැබීය.)
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

