ඉමියුනොග්ලෝබියුලින් නඩුවේ පැමිණිල්ලේ සාක්ෂියේ වෘත්තීය ගරුත්වය...
සාමාන්‍යයෙන් නඩුකරයක පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සිටින්නේ, පැමිණිලි පාර්ශ්වය විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා සියල්ලම ඔප්පු කර සනාථ කරවන ආකාරයට උසාවියේ සාක්ෂි සාධක ලබාදීමටයි... එබැවින් සාක්ෂිකරුවන් මෙහෙයවීමේ වගකීම ඇත්තේ පැමිණිල්ලේ නීතිඥවරුන්ට බව අප දනිමු. එම නිසා බොහෝවිට පැමිණිල්ලේ නීතිඥයින් සාක්ෂිකරුවන් උසාවියට ගෙන ඒමේදී හා උසාවියට ඉදිරිපත් කිරීමේදී ලබා දෙන “මාර්ගෝපදේශ” තිබේ. එහිදී සාක්ෂිකරුවන් උසාවිය හමුවේ කිව යුතු දේ හා නොකිව යුතු දේ ගැන හරි අවබෝධයක් ලබාදීම පැමිණිල්ලේ නීතිඥවරුන්ගේ සිරිතයි...
2026 මාර්තු 17 වනදා
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩු විභාගය.
ඉමියුනොග්ලෝබියුලින් නඩුවේ
පැමිණිල්ලේ සාක්ෂියේ
වෘත්තීය ගරුත්වය...
සාමාන්‍යයෙන් නඩුකරයක පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සිටින්නේ, පැමිණිලි පාර්ශ්වය විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා සියල්ලම ඔප්පු කර සනාථ කරවන ආකාරයට උසාවියේ සාක්ෂි සාධක ලබාදීමටයි...
එබැවින් සාක්ෂිකරුවන් මෙහෙයවීමේ වගකීම ඇත්තේ පැමිණිල්ලේ නීතිඥවරුන්ට බව අප දනිමු. එම නිසා බොහෝවිට පැමිණිල්ලේ නීතිඥයින් සාක්ෂිකරුවන් උසාවියට ගෙන ඒමේදී හා උසාවියට ඉදිරිපත් කිරීමේදී ලබා දෙන “මාර්ගෝපදේශ” තිබේ. එහිදී සාක්ෂිකරුවන් උසාවිය හමුවේ කිව යුතු දේ හා නොකිව යුතු දේ ගැන හරි අවබෝධයක් ලබාදීම පැමිණිල්ලේ නීතිඥවරුන්ගේ සිරිතයි...
එවන් සාක්ෂිකරුපියකු හා පැමිණිල්ලේ නීතිඥයෙක් උසාවියක් හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීමේදී දී ඇතැම් විට මැවී පෙනෙන්නේ කල් තියා හොඳින් පුහුණුවීම් කරන ලද නාට්‍යයක ජවනිකාවක් රඟ දැක්වෙනවා හා සමාන සිදුවීමකි
එහෙත් සුවිශේෂී නඩුකරවල, ඇතැම් විට සාක්ෂි විභාගය සඳහා පැමිණෙන සාක්ෂිකරුවන් ඔවුන්ගේ උගත්කම, අධීනත්වය, වෘත්තිය නිපුණත්වය හා සත්‍යගරුක භාවය මත පැමිණිල්ලේ නීතිඥයින් කල් තියා ලියන ලද පිටපත්වලට අවනත නොවී “හෘදය සාක්ෂියට එකඟව” සත්‍යවාදීව හා ස්වාධීනව සාක්ෂි දෙන අවස්ථාද දක්නට ලැබේ...
මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන හියුමන් ඉමියුනොග්ලෝබියුලින් හා රිටොක්සිමැබ් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ එන්නත් නඩුවේ පැමිණිල්ල නියෝජනය කරමින් පසුගිය 16 වනදා සහ 17 වනදා සාක්ෂි ලබාදීමට පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශිරාණී චම්පිකා වික්‍රමසිංහ මහත්මිය අධිකරණය හමුවේ පෙන්නුම් කළේ උගත්කමෙන් ප්‍රතිපත්තිගරුක බවින් ස්වාධීනත්වයෙන් උරුම කරගත් සත්‍යවාදී බවේ පෙර කී අදීනත්වයයි...
1981 වසරේදී වෛද්‍යවරියක ලෙස සුදුසුකම් ලබා වෘත්තියට පිවිසි ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය වෛද්‍ය සේවයේ දශක දෙකකට වැඩි අත්දැකීම් සම්භාරයක් තුළ 2002 වසරේදී වෛද්‍ය පරිපාලන සේවයට එක් වී තිබේ. ඊටත් වසර 19 කට පසුව ඕ 2021 වසරේදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරියක ලෙස රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයට එක් වූ බව කියති...
මෙම නඩුකරය සඳහා ඉවහල් වන “ප්‍රශ්නකාරී ඖෂධ” දෙකද පැමිණ ඇත්තේ ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබෙන ප්‍රතිපාදන යටතේ මෙරටට ගෙන්වන දහසකුත් එකක් සෞඛ්‍ය පහසුකම් යටතේය. ඉන්දියානු ණය ආධාර මගින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1000 ක ණය ආධාරයක් ප්‍රදානය වී ඇති අතර එයින් මිලියන 200ක මුදලක් වෙන් වී ඇත්තේ රටට අත්‍යාවශ්‍ය ඖෂධ හා සෞඛ්‍ය පහසුකම් සපයා ගැනීමටය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම මුදල් වැය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ මාර්ගෝපදේශ තිබූ අතර මුදල් අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යංශයත් අතර ප්‍රධාන සම්බන්ධීකරණ කමිටුවක්ද මේ සඳහා පත් කර තිබී ඇත. එය යටතේ අනුකමිටු තුනක් ද විය. ඒ අනුකමිටි තුනෙන් එකක් වූ ඖෂධ අනුකමිටුවේ සභාපතිනිය වූයේ වෛද්‍ය ශිරාණි චම්පිකා වික්‍රමසිංහ හෙවත් මෙම සාක්ෂි කාරිනියයි.
ඇය සාක්ෂි ලබාදීම සඳහා ඉදිරිපත් කරමින් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව කරුණු කීපයක් උසාවිය හමුවේ ඉස්මතු කරන්නට උත්සාහ ගත්තේය.
පළමු කාරණාව වූයේ ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ ලැබී ඇති මුදල් ප්‍රතිපාදන යෙදවීමේදී මුදල් අමාත්‍යාංශයේ හෝ වෙළඳ අමාත්‍යංශයේ හෝ මහා භාණ්ඩාගාරයේ මාර්ගෝපදේශවලට පිටින් ගොස් ක්‍රියා කරන්නට විත්තිකරුවන් දොළොස් දෙනා අතර සිටි ඇතැම් විත්තිකරුවන් උත්සාහ ගත්තේ යැයි මතු කරගැනීමයි... එහෙත් වෛද්‍ය තුමියගෙන් ඊට ලැබුණු ප්‍රතිචාරය නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වූ ප්‍රතිචාරය නොවීය.
දෙවනුව නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ කළේ සාක්ෂිකාරිය මගින්, ඖෂධ සමාලෝචන රැස්වීම්වලට විටින් විට සහභාගී වූ දේශපාලන අධිකාරිය හෙවත් අමාත්‍යවරයා විසින් දේශපාලන අතපෙවීම් කළේද බලපෑම් කලේ ද යන කාරණා මතුකර ගැනීමටයි. කරුණු සාක්ෂි සහිතව වෛද්‍යතුමිය පෙන්වා දුන්නේ අදාළ අනුකමිටුව මාර්ගෝපදේශවලට හා තම තමන්ගේ වෘත්තීය භාවයන් වලට අනුව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළා හැර වෙනත් බලපෑම් වලට ප්‍රතිචාර දැක්වූයේ නැති බවයි. බලපෑම් ද සිදුවූයේ නැති බවයි.
අවසානයේ නීතිපති සාක්ෂිකාරියගේ කටටම උත්තර ලබාදෙමින් මෙසේද විමසා සිටියේය...
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය : 10 වැනි විත්තිකරුවා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්ගේ උපදෙස් වලට පටහැනිව කටයුතු කර තිබෙනවා නේද...?
සාක්ෂිකාරිය : (අදාළ ලිපි ගොනුව කියවමින්) මේ මිනිට් එකේ එහෙම සඳහන් වෙලා නෑ. මට හොඳට මතකයි අපේ ඉල්ලීමට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්තුමාගෙන් අවසර ගත් බව. 2022. 12. 01 වැනිදා සෞඛ්‍ය ඇමතිතුමා ලබාගත් කැබිනට් තීරණයක් මගින් පෙර සඳහන් කළ ඇමෙරිකානු ඩොලර් 35ක මුදල් පෞද්ගලික අංශයට පමණක් නොව, අනෙකුත් අංශ අතරත් බෙදී යා යුතු බව තීරණය කර තිබුණා. ඖෂධ අනුකමිටුව ඉල්ලූ කාලය දීර්ඝ කළත් එය ප්‍රමාණවත් වුණේ නෑ එම ඖෂධ සපයා ගැනීමට. ඒ නිසා අපේ අනුකමිටුව ඉල්ලීමක් කළා ඖෂධ නොවන අනුකමිටුවකට හෝ එම මුදල් දීලා ප්‍රයෝජනයක් ගන්න කියලා. ඒක මම අනුකමිටුවේ සභාපති හැටියට පුද්ගලිකව ගත්ත තීන්දුවක් නොවේ. අනුකමිටුවේ ගත්ත සාමූහික තීරණයක්..."
අදාළ සාක්ෂිකාරියගෙන් තමන්ට අවශ්‍ය මට්ටමේ උත්තර නොලැබුණු නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරිය බියට පත් කරන්නට ගත් උත්සාහයන් ද පැහැදිලිවම මාධ්‍යවේදීන්ට නිරීක්‍ෂණය විය...
“පුද්ගලික අංශවලට ඖෂධ ගැනීම සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන රාජ්‍ය අංශ වලටත් අදාල ලෙස යොදවන්නට දන්වා තිබුනේ අමාත්‍යාංශයේ නියෝගයක්ද...”
සාක්ෂිකාරිය : නැහැ එය නියෝගයක් නෙවෙයි..යෝජනාවක්. ඒ යෝජනාව ඉතා සාධාරණ බව දැනුණු නිසා මගේ අත්සනින් කමිටුවත් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්ට ඒ ගැන දන්වා ලිපියක් යැව්වා. එම ලිපිය පවා මේ ලිපිගොනුවේ නෑ...
තවත් අවස්ථාවකදී සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරිය වෙත කරුණු දක්වමින්...
"ඔබතුමිය ගරුතර අධිකරණය ඉදිරිපිට දිවුරුම් දී තමයි සාක්ෂි ලබාදෙමින් ඉන්නේ... ඒ නිසා හරියට කල්පනා කරලා හිතල මතල හරි උත්තර ලබා දෙන්න..."
එවන් පීඩනාත්මක පරිසරයක් තුළ විත්තියේ නීතිඥවරුන්ද නිහඬව සියල්ල නිරීක්ෂණය කරමින් සිටියදී සාක්ෂිකාරියගෙ ක්‍රියා කලාපය කැපී පෙනෙන කාරණාවක් විය...
එම දිනයේ පෙන්නුම් කළ සම්පූර්ණ විස්තර
ඇතුළත් නඩු වාර්තාවද මෙසේය...
ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කළ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් උපදෙස් ලබා දී තිබූ බව තමා දන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය ඊයේ (17) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළාය.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කර තිබූ ටෙන්ඩර් පත්‍රවලට පවා ඇතුළත් ඖෂධ වර්ග පවා ඉන්දියාවෙන් ආනයනය නොකිරීම නිසා රජය ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවා සිතනු ඇති බවත්, එමඟින් දෙරට අතර පවතින අන්‍යයෝන්‍ය සුහදතාවය යම් ආකාරයකින් පළුදු වීමක් සිදුවිය හැකි බවද ප්‍රධාන කමිටුවේ සභාපතිවරයා වෙත එමඟින් වැඩිදුරටත් දැනුම් දී තිබූ බවද සාක්‍ෂිකාරිය පැවසුවාය.
අදාල ටෙන්ඩර් ලබාගෙන ඖෂධ සැපයීමක් එතෙක් සිදු නොකර ප්‍රමාද කරන සැපයුම්කරුවන්ට යම්කිසි දඩ මුදලක් අය කර ගැනීමට පියවර ගන්නා ලෙසටත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ සාකච්ඡා කොට කඩිනමින් ඒ සඳහා පියවර ගන්නා ලෙසට එමඟින් දැනුම් දී තිබූ බවද පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඊට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කොට සාක්ෂිකාරිය මගින් අධිකරණය හමුවේ පැමිණිල්ලේ සාක්‍ෂි ලේඛන ලෙස නම් කරමින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය පැවසුවාය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් එනම් “හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හා රිටක්සිමැබ්” ඖෂධ කුප්පි 6195 සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් ලක්ෂ 1449 ක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුව ප්‍රියන්ත ලියනගේ , විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ. මෙහෙයවීම යටතේ දෙවන දිනටත් සාක්‍ෂි ලබා දීම ආරම්භ කළ සාක්ෂිකාරිය මෙලෙසද සාක්ෂි දෙමින් පැවසුවාය.
ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති කරගත් ගිවිසුම ප්‍රකාරව ලැබුණ ඇමරිකානු ඩොලර් මිලියන 1000 න් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වෙන්කර තිබුණේ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහායි. 2022.08.29 වැනිදා පැවැති අනුකමිටු රැස්වීමට මම සහභාගි වුණා. ඒ වනවිට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් දැනුම් දී තිබුණා එකී මුදලින් රාජ්‍ය අංශයට වෙන් කළ ඇමරිකානු ඩොලර් මිලියන 114.9 ක මුදලින් රාජ්‍ය අංශය භාවිතා කර තිබුණේ මිලියන 27.4 ක මුදලක් පමණක් වන බැවින් පෞද්ගලික අංශය ඇතුළු වෙනත් අංශ වෙත එකී මුදල් වෙන්කර හෝ අවශ්‍ය ඖෂධ කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය ඇමතිතුමාගේ මූලිකත්වයෙන් පැවැති ඖෂධ සමාලෝචන රැස්වීමකදී පවා ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඖෂධ ආනයනය සඳහා වෙන්කළ මුදල් නිසි ලෙස උපයෝජනය නොවීම සම්බන්ධයෙන් සාකච්ඡා වුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඔබ ඔය කියන අමාත්‍යතුමා මේ අධිකරණයේ සිටිනවාද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. එවකට සෞඛ්‍ය ඇමතිතුමා ලෙස කටයුතු කළේ කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයා අධිකරණයේ සිටිනවා.
(සාක්ෂිකාරිය විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා නඩුවේ අටවන විත්තිකරු ලෙස හඳුනා ගනී.) එම රැස්වීමට අධිකරණයේ සිටින ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ද සහභාගි වුණා.(සාක්ෂිකාරිය හයවන චූදිත හඳුනාගනියි)
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ මේ නඩුවේ 10 වන විත්තිකරුවා අඳුරනවාද?
සාක්‍ෂිකාරිය ; ඔව් ඩොක්ට හේරත් මගේ “බැච්මේට්”. ඔහුව අවුරුදු 40ක් තිස්සේ අඳුරනවා. (සාක්ෂිකාරිය අධිකරණයේ විත්තිකරුවන් අතර සිටි හත්වන විත්තිකාර ධර්මසිරි රත්න කුමාර හේරත් මහතාව ද හඳුනා ගනී)
දිවා ආහාර විවේකයෙන් පසුව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය එම සාක්ෂිකාරියගෙන් දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඉදිරිපත් කළ ලිපියක් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයක් පිළිබඳව දසවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා විරුද්ධත්වය දැක්වීය. නීතිඥ රහුල් ජයතිලක මහතා ද එම විරුද්ධත්වයට එක්විය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මොකක්ද මම අහපු ප්‍රශ්නයේ වැරැද්ද? විත්තියේ නීතිඥවරුන්ට ඕන ප්‍රශ්න මම අහන්නේ නෑ.
ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ලබා දුන් උපදේශයට පටහැනිව කටයුතු කරන්න දසවන විත්තිකරු උපදෙස් ලබාදුන්නාද? එහෙම උපදෙස් දුන්නේ කවුද කියලා උත්තර ලැබෙන විදියටයි පැමිණිල්ලේ නීතිඥවරිය ප්‍රශ්න ඇහැව්වේ.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; ඒ ප්‍රශ්නය ඉවත් කරන්න හරියට ප්‍රශ්නය අහන්න.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඖෂධ ආනයනයට පෙර වෙන්කළ මුදලට අමතරව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 35 ක් දීම සම්බන්ධයෙන් 2022.12.01 ඉදිරිපත් වූ පැ 69 ලේඛන ගැනයි නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ලබා දුන් උපදෙස් ගැනයි. මම ඇහැව්වේ.
සාක්ෂිකාරිය ; 2022.10.01 වැනිදා කැබිනට් මණ්ඩල සංදේශයක් මගින් තීරණය කර තිබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; පැ 44 හා පැ 45 කියන්නේ එම කැබිනට් තීරණය නේද? පැ 200ට සාකච්ඡාවේදී සාකච්ඡා වුණාද ? එම ඇමරිකානු ඩොලර් 35 ක මුදල පෞද්ගලික අංශයට පමණක් නොවෙන සියළුම අංශවලට බෙදී යන ලෙස ලබාදිය යුතුයි කියලා. ඒ කොටසට ගැනෙන සප්ලයර්ස්ලා කවුද?
සාක්ෂිකාරිය; මට ඒ ගැන දැනීමක් නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කැබිනට් පත්‍රිකාව අනුව එම ඖෂධ 38 ට අදාළ සැපයුම්කරුවන් එම ලේඛනයට ඇතුළත් කළාද ?
සාක්ෂිකාරිය ; මට ඒ ගැන මතක නැහැ. ඒකට ඒ සැපයුම් කරුවන් ඇතුළත් කළාද කියලා මතක නෑ.
සාක්ෂිකාරිය ; 2022.08.09 වැනිදා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ට ලිපියක් ලියන්න අනුකමිටුව තීරණය කළා. සමාවෙන්න දිනය වෙනස් වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ තුමිය දිව්රුම් පිට අධිකරණයක් හමුවේ සාක්ෂි දෙන්නේ හරියට බලලා කියන්න.
සාක්ෂිකාරිය ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීමට අදාළ කටයුතු 2022.08.30 වන විට සියලු ලේඛන අවසන් කොට සම්බන්ධීකරණ කමිටුවට 2023.01.31 ට පෙර සියලු ඖෂධ ලබාදිය යුතු බව ඉන් දැනුම් දී තිබුණා. (නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියගෙන් යම් ප්‍රශ්නයක් අසයි)
සාක්ෂිකාරිය ; නැවත වරක් ප්‍රශ්නය අසන්න ප්‍රශ්නය පැහැදිලි නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඊළඟ අනුකමිටු රැස්වීමට පෙර අවශ්‍ය දේවල් දැනුම්දෙන්න කියලා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඔබගේ අනුකමිටුවට තදබල උපදේශයක් දීලා තිබුණා නේද? 2022.09.30 වැනිදා වන විට රාජ්‍ය අංශයේ ඖෂධ සැපයීම ප්‍රගතිය බලලා රාජ්‍ය අංශයට වෙන්කර තිබෙන මුදලින් කොටසක් පෞද්ගලික අංශයට දීමට පියවර ගන්න කියලා එමගින් දැනුම් දී තිබුණා නේද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 191 ලිපියේ බී කොටසේ සඳහන් 2022.09.22 රැස්වීම මොකක්ද?
සාක්ෂිකාරිය ; 2022.09.12 වැනිදා ගරු ඇමතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමක් රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කර තිබූ මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් පෞද්ගලික අංශයට දෙන එකට විරුද්ධ නැහැ කියලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලිඛිතව දැනුම් දී තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; හයවන චූදිතගේ අවධානයට යොමු කළ ඒ ලිපිය ඔබට ලැබුණේ කොහොමද ?
සාක්ෂිකාරිය ; හයවන චූදිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා. ලේකම්තුමාට ලිඛිතව යම් නිල නිවේදනයක් ලැබුණ විට අනුකමිටුවට යොමු කරනවා. ඒ අනුව තමයි එම ලිපිය අපිට ලැබුණේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2022.09.14 වැනිදා තිබුණ රැස්වීම මොකක්ද? පැ 191 ලේඛනයට ඇතුළත් වුණාද පුද්ගලික අංශයට වෙන් කළ ඩොලර් මිලියන 50 න් ලබාගත යුතු ඖෂධ මොනවාද කියලා කීවාද ?
සාක්ෂිකාරිය ; නෑ හදිසි සහ අත්‍යවශ්‍ය ඖෂධ පමණක් එම ඩොලර් මිලියන 50 න් ආනයනය කළ යුතු බව එම අනුකමිටුවේදී යෝජනා කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2022.09.16 වැනිදා පැවති රැස්වීම මොකක්ද?
සාක්ෂිකාරිය ; ගරු ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් එදින ඖෂධ සමාලෝචන රැස්වීම.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබතුමිය දැන් අවස්ථා කීපයකදීම කියපු ගරු ඇමතිතුමා කවුද?
සාක්ෂිකාරිය ; කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට වෙන් කළ මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 35 ක් පුද්ගලික අංශයට දුන්නොත් හදිසි අවස්ථාවකදී එස්. පී. සී (SPC) එකට බෙහෙත් ගන්න බැරිවෙයි කියලා වෛද්‍ය
ධර්මසිරි රත්න කුමාර හේරත් මහත්තයා ඒ ගැන විරුද්ධත්වය දක්වලා තිබුණා. නමුත් 2022.09.22 වැනිදා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් පවසා තිබුණා හැකි ඉක්මනින්ම එම මුදල පෞද්ගලික අංශය මගින් හෝ අවශ්‍ය ඖෂධ ගෙන්වීමට පියවර ගන්නා ලෙසට. කෙසේ නමුත් කෙලෙස හෝ අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම වැදගත් නිසා අපිත් ඒක හොඳයි කියන මතයේ හිටියේ. අනිකුත් අංශ ඔවුන්ට වෙන්කළ මුදල් නිසි කටයුත්ත වෙනුවෙන් හරියාකාරව වැය කර තිබුණේ නෑ.
මෙම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල විනාඩි කීපයක්ම යම්කිසි කරුණක් පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගෙන් විමසන අයුරු දක්නට ලැබිණි)
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022.09.20 වැනිදා පැවැති රැස්වීම මොකක්ද ?
සාක්ෂිකාරිය ; එදින සෞඛ්‍ය ඇමතිතුමා, අමාත්‍යාංශයේ ලේකම්තුමා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමේදී නිසි තීරණයක් ගන්නාතුරු මා පෙර සඳහන් කළ ඇමරිකානු ඩොලර් 50ක මුදලින් ඩොලර් මිලියන 20 ක් පමණක් පුද්ගලික අංශයට වැඩිපුර ලබාදීමට තීරණය කොට තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එම රැස්වීමට සහභාගි වූ අනෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කවුද කියලා ඔබට කියන්න පුළුවන්ද?
සාක්ෂිකාරිය ; නමින් කියන්න දැන් මතක නෑ. අපේ රැස්වීමේදී වැඩිදුරටත් තීරණය කළා එලෙස ලබා දෙන අමතර ඩොලර් මිලියන 20ක මුදලින් ප්‍රමුඛතා
ලැයිස්තුවේ තිබෙන බෙහෙත් පමණක් එම මුදලින් ගෙන්විය යුතු බවටත් එකී ලැයිස්තුවට අයත් නැති කිසිදු ඖෂධයක් එම මුදලින් නොගෙන්වීමටත්. ඒ වගේම ඒකෙ තිබෙන ප්‍රමුඛතා ලැයිස්තුවේ තිබෙන ඖෂධීය නාමය පමණක් ගෙන්වීමටත් වෙළඳ නාමය යටතේ තිබෙන ඖෂධ ආනයනය නොකිරීමටත් තීරණය කළා.
එවකට ඖෂධ වෙළඳ නම් 10-15 කින් තියෙන බව අපි දන්නවා. ඒ වගේම ලංකාවේ නිෂ්පාදනය කරන බෙහෙත් ආනයනය කිරීමට අවසර නොදීමටත් බෙහෙත්වල මාත්‍රාව නොතකා ආනයනය කිරීමටත් අපි අනුමැතිය දුන්නා. එකී ණය ආධාර මුදල උපයෝජනය කිරීම ඒ වන විටත් ප්‍රමාද වී තිබූ නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) මගින් හෝ ඖෂධ නිෂ්පාදන සංස්ථාව (MSD) මගින් ඇනවුම් කරන ඖෂධ නැවත අනුමැතිය සඳහා එම්. එස්. ඩී ආනයනය වෙත නොයැවිය යුතු බවට ඉල්ලීම් ආවත් අපි එයට අවසර දුන්නේ නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ප්‍රමුඛතා ලැයිස්තුවට අයත් ඖෂධ පමණක් ආනයනය කිරීමට තීරණය කිරීමෙන් ඖෂධ ආනයනයට යම් බලපෑමක් වුනාද?
සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. පුද්ගලික අංශයෙන් ඉල්ලුම් නොලැබුණ නිසා පසුව අපි ප්‍රමුඛතා ලැයිස්තුවෙන් ගෙන්විය යුතුයි කියන කොන්දේසිය ඉවත් කළා. ඖෂධ ඇනවූම් කිරීම සඳහා පුද්ගලික අංශය ඉදිරිපත් නොවීම මත අපේ අනුකමිටුව තීරණය කළා අයදුම් ඉදිරිපත් කළ හැකි දිනය දීර්ඝ කරදෙන ලෙස. එම ඉල්ලීමට විරුද්ධ නොවන බව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා අපිට දන්වා තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 10 වන චූදිත නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්ගේ උපදෙස් වලට පටහැනිව කටයුතු කර තිබෙනවාද ?
සාක්ෂිකාරිය ; මට අවස්ථාවක් දෙන්න මේ ලිපිය කියවන්න. මේ මිනිට් එකේ එහෙම සඳහන් වෙලා නෑ. මට හොඳට මතකයි අපේ ඉල්ලීමට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්ගෙන් අවසර ගත් බව. 2022.12.01 වැනිදා සෞඛ්‍ය ඇමතිතුමා ලබාගත් කැබිනට් තීරණයක් මගින් පෙර සඳහන් කළ ඇමරිකානු ඩොලර් මිලියන 35 ක මුදල් පෞද්ගලික අංශයට පමණක් නොව අනෙක් අංශ අතරත් බෙදී යා යුතු බව තීරණය කර තිබුණා. ඖෂධ අනුකමිටුව ඉල්ලූ කාලය දීර්ඝ කළත් එය ප්‍රමාණවත් වුනේ නෑ එම ඖෂධ සපයා ගැනීමට. ඒ නිසා අපේ අනුකමිටුව ඉල්ලීමක් කලා. ඖෂධ නොවන අනුකමිටුවකට හෝ එම මුදල් දීලා ප්‍රයෝජනයක් ගන්න කියලා. ඒක මම පුද්ගලිකව ගත්තු තීරණයක් නෙමෙයි. අනුකමිටුව ගත්තු සාමූහික තීරණයක්.
වැඩිදුර විභාගය 03/ 19 වැනිදාට කල්තැබිණි.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

