“කාර්යබහුලත්වය හා නොසැලකිල්ල” මෙන්ම “අන්ධ විශ්වාසය” අක්‍රමිකතාවලට පාර කැපුවාද...

ශ්‍රී ලංකාවේ මෑතකාලීන සෞඛ්‍ය ක්ෂේත්‍ර ඉතිහාසය තුළ ඉමහත් ආන්දෝලනයක් ඇතිකළ “හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් හා රිටොක්සි මැබ්” ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ නඩු විභාගයේ තවත් එක් විශේෂ දවසක් ලෙස පසුගිය 19 වන සදුදාව කැපී පෙනුනේ නඩුකරයේ තවත් සුවිශේෂී පැමිණිල්ලේ සාක්ෂිකරුවකුගේ සාක්ෂි විභාගයක ආරම්භයක් සනිටුහන් කරමිනි. ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැති මෙම නඩු විභාගයේදී එදින ප්‍රධාන සාක්ෂිකරු ලෙස මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ටී. ඒ්. සුසන්ත අතුල කුමාර මහතා සහභාගි විය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විසින් සිදු කරන ලද සාක්ෂි මෙහෙයවීම තුළින් එදින අධිකරණය හමුවේ අනාවරණය වූ කරුණු, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පැවති බරපතළ කඩා වැටීම, නොසැලකිල්ල හා අකාර්‍යක්ෂමතාව පිළිබිඹු කරන්නට සමත්විය.

May 20, 2026 - 20:23
May 20, 2026 - 20:37
 37
“කාර්යබහුලත්වය හා නොසැලකිල්ල” මෙන්ම  “අන්ධ විශ්වාසය” අක්‍රමිකතාවලට පාර කැපුවාද...


2026 මැයි මස 19 වැනිදා 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය

ප්‍රසම්පාදන හිල්වලින් 

සාක්කි දොට්ට පනියි...


“කාර්යබහුලත්වය හා නොසැලකිල්ල” මෙන්ම 


“අන්ධ විශ්වාසය” අක්‍රමිකතාවලට පාර කැපුවාද...


අධිකරණ වාර්තාකරු.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන සෞඛ්‍ය ක්ෂේත්‍ර ඉතිහාසය තුළ ඉමහත් ආන්දෝලනයක් ඇතිකළ “හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් හා රිටොක්සි මැබ්” ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ නඩු විභාගයේ තවත් එක් විශේෂ දවසක් ලෙස පසුගිය 19 වන සදුදාව කැපී පෙනුනේ නඩුකරයේ තවත් සුවිශේෂී පැමිණිල්ලේ සාක්ෂිකරුවකුගේ සාක්ෂි විභාගයක ආරම්භයක් සනිටුහන් කරමිනි.


ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැති මෙම නඩු විභාගයේදී එදින ප්‍රධාන සාක්ෂිකරු ලෙස මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ටී. ඒ්. සුසන්ත අතුල කුමාර මහතා සහභාගි විය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විසින් සිදු කරන ලද සාක්ෂි මෙහෙයවීම තුළින් එදින අධිකරණය හමුවේ අනාවරණය වූ කරුණු, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පැවති බරපතළ කඩා වැටීම, නොසැලකිල්ල හා අකාර්‍යක්ෂමතාව පිළිබිඹු කරන්නට සමත්විය. 


කමිටු ව්‍යුහය සහ වගකීම් විමසීම


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ මුල්ම ප්‍රශ්න කිරීම් යොමු වූයේ සාක්ෂිකරුගේ වෘත්තීය පසුබිම සහ හදිසි ප්‍රසම්පාදන කමිටුවට (HSEPC) ඔහු පත් වූ ආකාරය කෙරෙහිය. වසර 17 ක සේවා කාලයක් සහිත සාක්ෂිකරු ප්‍රකාශ කරන්නේ තමන් මීට පෙර අවස්ථා ගණනාවකදීම රාජ්‍ය ප්‍රසම්පාදන කමිටුවල සේවය කර ඇති බවයි. කෙසේ වුවද, මෙම විශේෂිත ඖෂධ මිලදී ගැනීමේ කමිටුවේ සභාපතිත්වය සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත (6 වන විත්තිකරු) දැරූ අතර, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් රත්නායක සහ සරත් ලියනගේ යන මහත්වරු අනෙක් සාමාජිකයෝ වූහ. 


මෙහිදී නඩුකරයට වැදගත් වන කරුණක් වන්නේ, සාක්ෂිකරු ඇතුළු කමිටු සාමාජිකයින්ට ඖෂධ පිළිබඳ කිසිදු “තාක්ෂණික හෝ විෂය පථය පිළිබඳ දැනුමක්” නොතිබීමයි. ඔවුන් සම්පූර්ණයෙන්ම තාක්ෂණික අගැයීම් කමිටුවේ සහ කමිටුව සම්බන්ධීකරණය කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන නිලධාරියාගේ කරුණු දැක්වීම් මත පමණක් යැපී ඇති බව විභාගයේදී පැහැදිලි විය.


පූර්ව අවසරයකින් තොරව සහ අක්‍රමවත් ලෙස ලංසු කැඳවීම


ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී අනුගමනය කළ යුතු මූලික නීති රීති මෙම ගනුදෙනුවේදී සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වී ඇති බව සාක්ෂි විභාගයේදී අනාවරණය විය. සාමාන්‍ය ක්‍රමවේදය අනුව, ලංසු (Bids) කැඳවීමට පෙර ප්‍රසම්පාදන කමිටුවේ පූර්ව එකඟතාව හෝ අවසරය ලබාගත යුතුය. එහෙත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පිළිගන්නේ මෙම අවස්ථාවේදී එවැනි කිසිදු කමිටු අවසරයක් ලබාගෙන නොතිබූ බවයි. තවද, විද්‍යුත් මාධ්‍ය මගින් ලංසු දැන්වීම් පළ කළ බව වෛද්‍ය නිලධාරීන් පැවසුවද, කමිටු සාමාජිකයෙකු ලෙස තමන් කිසිදු දිනක එම ලංසු දැන්වීම් ඇසින් දැක නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.


ලේඛන සසඳා නොබැලීම සහ “අන්ධ විශ්වාසය”


 නඩු විභාගයේදී වඩාත්ම කැපී පෙනෙන අනාවරණය වූයේ කමිටු සාමාජිකයින් ලේඛන පරීක්ෂා කිරීමේදී දැක්වූ බරපතළ නොසැලකිලිමත්කමයි. වෛද්‍ය ජයනාත් විසින් රැස්වීමට ඉදිරිපත් කර ඇත්තේ “අතින් ලියන ලද, අපිළිවෙල, කියවීමට අපහසු” ගොනුවකි. ඖෂධ සිය ගණනක විස්තර ඇතුළත් මෙම ලේඛන එකින් එක කියවීමට හෝ, පසුව සකස් කළ මුද්‍රිත ලේඛන සමග සසඳා බැලීමට කමිටුව කටයුතු කර නැත. ඊට හේතුව ලෙස සාක්ෂිකරු දක්වන්නේ “කාර්යබහුලත්වය” සහ කලින් එකට වැඩ කර තිබීම නිසා ඇති වූ “විශ්වාසයයි”. රාජ්‍ය මූල්‍ය පරිහරණය කිරීමේදී නිලධාරීන් පුද්ගලික විශ්වාසය මත පමණක් පදනම්ව කෝටි ප්‍රකෝටි ගණනක තීන්දු ගෙන ඇති බව මෙයින් ගම්‍ය වේ.


විගණන නිරීක්ෂණ මගහැරීම සහ ඇමුණුම් රහිතව අත්සන් කිරීම


සාමාන්‍යයෙන් මෙවැනි කමිටුවලට සහභාගි කරගන්නා “අභ්‍යන්තර විගණකවරයා” මෙම රැස්වීම්වලට කැඳවා නොමැති අතර, ඊට හේතුවක් ඉදිරිපත් කිරීමටද සාක්ෂිකරු අපොහොසත් විය. එමෙන්ම, කමිටු මිනිත්තු සටහන් (Minutes) අත්සන් කිරීමට ගෙන එන අවස්ථාවලදී ඊට අදාළ වැදගත් ඇමුණුම් (Annexures) කිසිවක් එහි අඩංගු වී නොමැත. නිලධාරීන් හිස් ලේඛනවලට හෝ අසම්පූර්ණ සටහන්වලට අත්සන් තබා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන් පිටු අංක සසඳන ප්‍රශ්න කිරීම් තුළින් මනාව තහවුරු විය.


ඖෂධ ප්‍රමාණ වෙනස් කිරීම සහ දේශපාලන අධිකාරියේ මැදිහත්වීම


නඩුකරයේ වඩාත්ම තීරණාත්මක සාක්ෂිය වූයේ "හියුමන් ඉමියුනොග්ලොබියුලින්" ඖෂධය පිළිබඳවයි. මුල් කමිටු තීරණයේදී ඩොලර් 130 බැගින් ඖෂධ 22,500 ක් මිලදී ගැනීමට එකඟ වුවද, පසුව එය 7,500 ක් දක්වා වෙනස් කර තිබේ. මෙම වෙනස් කිරීම පිළිබඳව කමිටු සාමාජිකයෙකු වූ තමන් පවා දැනගෙන ඇත්තේ පසුව තමන්ට එරෙහිව ආ විනය පරීක්ෂණයකදී බව සාක්ෂිකරු කියා සිටියේය.


එමෙන්ම, එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමග පැවැති සාකච්ඡාවකදී, ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ (Indian Credit Line) මුදල් ප්‍රමාද නිසා, රටේ පවතින ඖෂධ හිඟයට පිළියමක් ලෙස “සෘජු මිලදී ගැනීම්” (Direct Purchasing) හරහා සැපයුම්කරුවන්ගෙන් ඉක්මනින් ඖෂධ ලබාගත යුතු බව සෙසු නිලධාරීන් තමන්ට පැවසූ බව සාක්ෂිකරු පිළිගත්තේය.


එදින නඩු විභාගය දෙස බැලීමේදී පැහැදිලි වන්නේ, පැමිණිල්ල (නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය) විසින් ඉතා සූක්ෂ්ම ලෙස ප්‍රශ්න මෙහෙයවමින්, රටේ පැවති හදිසි තත්ත්වය සහ ඖෂධ හිඟය මුවාවෙන් නිසි ප්‍රසම්පාදන නීති, විගණන ක්‍රියාවලීන් සහ මාර්ගෝපදේශ පසෙකලා බරපතළ මූල්‍ය අවභාවිතයකට ඉඩ සැලසී ඇති ආකාරය සාක්ෂි සහිතව මතු කරගන්නට ඇය දැරූ උත්සාහයයි. 


බාල ඖෂධ මිලදී ගෙන රුපියල් කෝටි 14 ක් වංචා කළේ යැයි කියන චෝදනාව ඇතුළු චෝදනා 13 කට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව 2026 මැයි මස 19 වන දිනයේත් මෙසේ විභාග විය. කොළඹ ස්තිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ මහතා (සභාපති), විරාජ් වීරසූරිය මහතා සහ තිලකරත්න බණ්ඩාර මහතා යන මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල ඉදිරියේ එදින එම නඩුකරය විභාග වූයේ මෙසේය.


මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ටී. ඒ්. සුසන්ත අතුල කුමාර මහතා අද දින සාක්ෂි දීමට කැඳවා තිබිණි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විසින් සාක්ෂි මෙහෙයවන ලදී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබගේ සේවා කාලය... වසර කීයක් සේවය කළාද?

සාක්ෂිකරු : දළ වශයෙන් අවුරුදු 17 ක් විතර.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එම කාලය පුරාම සේවය කළේ එකම ස්ථානයකද?

සාක්ෂිකරු : ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබේ කාර්යභාරය වුණේ කුමක්ද කියා මා ඇහුවොත්?

සාක්ෂිකරු : රාජ්‍ය ව්‍යාපාර කියන්නේ සංස්ථා, මණ්ඩල සහ රාජ්‍ය සමාගම්. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මගින් ඒ ආයතන අධීක්ෂණය කරනවා. එවැනි 

ආයතන 52 ක් විතර තිබුණා. ඒ අතර වරාය අධිකාරිය වැනි ආයතනත් තිබෙනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මේ කාලය තුළ ඔබ වෙනත් ප්‍රසම්පාදන කටයුතුවලට දායක වී තිබෙනවාද?

සාක්ෂිකරු : තිහකට විතර දායක වෙලා තියෙනවා ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඒ මොන වගේ කටයුතුවලටද?

සාක්ෂිකරු : ප්‍රසම්පාදන කටයුතුවලට.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබව ප්‍රසම්පාදන කමිටුවට පත් කරන්නේ කවුද?

සාක්ෂිකරු : මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව මගින්.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබ මුල්ම වතාවට ප්‍රසම්පාදන කමිටුවකට සහභාගි වුණේ කොයි කාලයේදීද?

සාක්ෂිකරු : 2018 / 2019 කාලයේදී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඒ කොතැනදීද?

සාක්ෂිකරු : මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කැලණි පාලමක් හදන අවස්ථාවකදී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඒවා මොන වගේ කමිටුද?

සාක්ෂිකරු : ස්ථාවර කමිටු.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් කමිටුවකට පත් කර යවන විට ඔබේ වගකීම් මොනවාද?

සාක්ෂිකරු : විශේෂ වගකීමක් නැහැ. නමුත් සාමූහික වගකීමට යටත් වෙනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබ එම කමිටුවක සාමාජිකයෙකු ලෙස තීරණ ගන්නා විට තාක්ෂණික අගැයීම් කමිටු තිබුණාද?

සාක්ෂිකරු : ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඒවා බලපාන්නේ කොහොමද?

සාක්ෂිකරු : තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත තමයි තීරණ ගන්නේ. ප්‍රධාන වශයෙන්ම අපට විෂය පිළිබඳ දැනුමක් නැති නිසා තාක්ෂණික කමිටුවේ නිර්දේශ පිළිගන්නවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබේ සේවා කාලය තුළ කැබිනට් ප්‍රසම්පාදන කමිටුවලට පත් කර තිබෙනවාද?

සාක්ෂිකරු : ඔව්. සෞඛ්‍ය අමාත්‍යංශයේ කමිටුවකට පත් කළා. 2018 ට කලින් සෞඛ්‍ය අමාත්‍යංශයේ කමිටුවකට පත් කර තිබුණා. කොවිඩ් හදිසි මිලදී ගැනීම් කමිටුවෙත් මම ඉඳලා තියෙනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කොවිඩ් හදිසි මිලදී ගැනීම් කමිටුවට ඔබව පත් කළේ කවුද?

සාක්ෂිකරු : මුදල් අමාත්‍යංශය මගින්.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එහි සිටි අනෙක් සාමාජිකයින් කවුද?

සාක්ෂිකරු : සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් රත්නායක මහතා සහ එස්.පී.සී. (SPC) සභාපතිවරයා.

(මෙහිදී සාක්ෂිකරු විසින් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාව විත්තිකරුවන් අතරින් හඳුනාගන්නා ලදී.)


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මේ කමිටුවෙන් මොනවාද ප්‍රසම්පාදනය කළේ?

සාක්ෂිකරු : කොවිඩ් වසංගතයට අවශ්‍ය වන උපකරණ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඒ ප්‍රසම්පාදන ක්‍රමවේදය ගැන ඔබට අවබෝධයක් තිබෙනවාද?

සාක්ෂිකරු : ඔව්, තරමක් දුරට තිබෙනවා ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඒ සඳහා වන මාර්ගෝපදේශ හඳුනාගන්න පුළුවන්ද?

සාක්ෂිකරු : ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබ එහි අවස්ථා කීයක විතර අසුන් ගෙන කටයුතු කර තිබෙනවාද?

සාක්ෂිකරු : 30 ක් හෝ 40 ක් විතර ස්වාමීනී .


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එම කමිටුවට සහය වෙන වෙනත් කමිටු තිබෙනවාද?

සාක්ෂිකරු : ඔව්, තාක්ෂණික කමිටුව තිබෙනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කවුද එහි සිටින්නේ?

සාක්ෂිකරු : පරිපාලන නිලධාරියෙක් සහ වෛද්‍යවරුන් එහි සිටිනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : 10 වන චූදිතයාගෙන් අමාත්‍යංශ ප්‍රසම්පාදනය සිදු කරද්දී කවුරු හරි රාජකාරි කළාද?

සාක්ෂිකරු : මුල් කාලයෙන් පස්සේ වෛද්‍ය ජයනාත් සම්බන්ධ වුණා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔහු මොනවාද කළේ?

සාක්ෂිකරු : රැස්වීම්වලට එන්න කියන්නේ ඔහුයි. ප්‍රසම්පාදන කටයුතු විස්තර කරන්නේ ඔහුයි. ඒ වගේම කමිටු රැස්වීම් සම්බන්ධීකරණය කරන්නේත් ඔහුයි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කැඳවීම් ලිපි එව්වාද?

සාක්ෂිකරු : ඊමේල් (Email) එවන අවස්ථා තිබුණා. හැබැයි බොහෝ වෙලාවට කළේ ෆෝන් එකෙන් කෝල් කරලා කැඳවන එකයි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කොවිඩ්වලට අදාළ වෛද්‍ය උපකරණ, ඇඳුම් වැනි දේවල් මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය පටන් ගන්නේ කොහොමද? දැන්වීම් පළ 
කිරීම ගැන අවබෝධයක් තිබෙනවාද?

සාක්ෂිකරු : ඔව්, වෛද්‍ය ජයනාත් සහ වෛද්‍ය රත්නායක මේ ගැන කතා කරනවා. විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කමිටු සාමාජිකයින්ගේ වගකීම කුමක්ද?

සාක්ෂිකරු : අපි විස්තර හොයලා බලනවා. ඊටපස්සේ සාමූහිකව සාකච්ඡා කරලා පොදු තීරණයක් ගන්නවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මොනවා පදනම් කරගෙනද තීරණ ගන්නේ?

සාක්ෂිකරු : තියෙන විස්තර අනුවයි තීරණ ගන්නේ. පුද්ගලිකව පරීක්ෂා කරන්නේ නැහැ. ලැබී තිබෙන තොරතුරු අනුව ලේඛනයක් හදාගන්නවා. ඒ අනුව තමයි තාක්ෂණික අගැයීම් කමිටුව කටයුතු කරන්නේ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කොවිඩ් ප්‍රසම්පාදන කමිටුවට අමතරව ඔබ ඖෂධ මිලදී ගැනීමේ කමිටුවලට සහභාගි වී තිබෙනවාද?

සාක්ෂිකරු : ඔව්. 2015/ 2016 කාලයේදී ඖෂධ මිලදී ගැනීමේ කමිටුවල හිටියා. කොවිඩ්වලින් පස්සේ ඒ සම්බන්ධ කමිටුව තවදුරටත් දීර්ඝ කළා. මම ඒකෙත් හිටියා. ඒකත් හදිසි මිලදී ගැනීමේ කමිටුවක්. කොවිඩ් මාර්ගෝපදේශ අනුවමයි ඒකත් ක්‍රියාත්මක වුණේ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : සෞඛ්‍ය අමාත්‍යංශයේ HSEPC කමිටුවේ ඔබ සාමාජිකත්වය දැරුවාද?

සාක්ෂිකරු : ඔව්. මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යෝජනා කරලා, සෞඛ්‍ය ලේකම්වරයා විසින් මාව ඊට පත් කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එහි අනෙක් සාමාජිකයන් කවුද?

සාක්ෂිකරු : චන්ද්‍රගුප්ත මහතා සහ සරත් ලියනගේ මහතා.

(මෙහිදී සාක්ෂිකරු විසින් හයවන විත්තිකරු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාව හඳුනාගන්නා ලදී.)


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මේ කමිටුවේ මුලින්ම කටයුතු කළේ කවුද?

සාක්ෂිකරු : සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ නවාවි මහතා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඒ අවස්ථාවේදී මිලදී ගත්තේ මොන වගේ දේවල්ද?

සාක්ෂිකරු : බෙහෙත් වර්ග ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබ ඊට සහභාගි වුණාද?

සාක්ෂිකරු : ඔව්. නවාවි මහතා කතා කරලා අපිට සහභාගි වෙන්න කිව්වා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඒ රැස්වීම් පැවැත්වුණේ කොහේද?

සාක්ෂිකරු : මරදානේ ගොඩනැගිල්ලක සහ සෞඛ්‍ය අමාත්‍යංශයේදී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මිලදී ගන්නා ඖෂධ සම්බන්ධයෙන් ඔබට දැනීමක් තිබෙනවාද?

සාක්ෂිකරු : දුරකතනයෙන් විමසලා අවබෝධයක් ගත්තා. මේක හදිසි එකක්ද කියලා බලනවා. අපිට ඖෂධ හිඟද කියලා බලනවා. ඒ අනුව කටයුතු කරනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කමිටුව රැස්වුණාම වැඩ කරන්නේ කොහොමද?

සාක්ෂිකරු : තාක්ෂණික කමිටු වාර්තා, කැඳවන ලද ලංසු ඇතුළු ලේඛන අපිට දෙනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ප්‍රධාන කමිටුවේ නිලධාරින් හැරුණාම තවත් අය ඉන්නවාද?

සාක්ෂිකරු : ඔව් ඉන්නවා. වෛද්‍ය සැපයුම් අංශය, ඖෂධ සංස්ථාව වගේ ආයතනවල නිලධාරින් ඉන්නවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : තාක්ෂණික කමිටුවෙනුත් අය එනවාද?

සාක්ෂිකරු : ඔව්, එක්කෙනෙක් හරි ඒ කමිටුවෙනුත් එනවා.

(මෙහිදී ලේඛනයක් පෙන්වන අතර, සාක්ෂිකරු එහි ඇති තම අත්සන හඳුනාගනියි.)


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මේ ඔබ අත්සන් කර ඇති ස්ථානයට ඉහළින් සහ පහළින් අත්සන් කර තිබෙන්නේ කවුද?

සාක්ෂිකරු : අමාත්‍යංශ ලේකම් චන්ද්‍රගුප්ත මහතා සහ සරත් ලියනගේ මහතා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මෙය නවාවි මහතා කටයුතු කළ හදිසි ප්‍රසම්පාදන කමිටුවක්ද?

සාක්ෂිකරු : ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මේ කොටුවේ උඩින්ම තියෙන "invite bid" ලේඛනය කුමක්ද?

සාක්ෂිකරු : එය කමිටුවෙන් කලින් දවසක සම්මත කරපු එකක්. මිලදී ගැනීම් කරද්දී කමිටු එකඟතාව මත ලංසු කැඳවීමේ අනුමැතිය ලබාගන්නවා. ඒ ලේඛනය ගැනයි මෙතන සඳහන් වෙන්නේ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : නිරීක්ෂකයන් විදිහට සහභාගි වුණු අය ගැන සාක්ෂියක් දෙන්න පුළුවන්ද?

සාක්ෂිකරු : අභ්‍යන්තර විගණකවරයාව සහභාගි කරගත්තා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කමිටුවට තාක්ෂණික අගැයීම් කමිටු වාර්තාවත් ලැබෙනවාද?

සාක්ෂිකරු : ඔව්, අපිට නිර්දේශ කරලා එවන වාර්තාව ලැබෙනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එම වාර්තාවේ නිරීක්ෂණ පිළිබඳ සාරාංශයක් සඳහන් වෙලා තිබෙනවාද?

සාක්ෂිකරු : ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ලංසු පරීක්ෂා කරලා බලන්න පුළුවන්ද?

සාක්ෂිකරු : ඔව් පුළුවන්. අවශ්‍ය නම් බලන්න හැකියාව තියෙනවා. හැබැයි කාර්යබහුලත්වය නිසා බලන්නේ නැහැ. බලන්න පුළුවන්කම තියෙනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටු තීරණවලට බලපාන්නේ මොන වගේ කරුණුද?

සාක්ෂිකරු : ඖෂධවල ගුණාත්මකභාවය, ලබාදෙන්න ගතවන කාලය වගේ කරුණු බලපානවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : තත්ත්ව සහතිකය ලබාගන්නේ කොහොමද?

සාක්ෂිකරු : ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලබාගන්නවා. ඒ කියන්නේ ඖෂධ නියාමන අධිකාරියෙන්.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : තත්ත්ව පරීක්ෂාවකට අවශ්‍ය තාක්ෂණික දැනුම ඔබේ කමිටුවට තිබෙනවාද?

සාක්ෂිකරු : අපේ කමිටුවට නැහැ. හැබැයි තාක්ෂණික කමිටුවට තියෙනවා. ඒ අනුව ඒ කමිටුවේ වාර්තා අපි ලබාගන්නවා. අපි ඖෂධයේ ගුණාත්මක තත්ත්වය ගැන පිළිගන්නේ තාක්ෂණික කමිටුවේ වාර්තාවයි. ඒ වගේම පෙර ලියාපදිංචිය සහ කලින් කරපු සැපයීම් ගැන අවධානය යොමු කරනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : හැම අවස්ථාවකදීම සැපයුම්කරුවන්ව ගෙන්වා ගන්නවාද?

සාක්ෂිකරු : නැහැ. සමහර අවස්ථාවලදී දුරකතනයෙන් සම්බන්ධ කරගන්නවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කමිටුවේ අවසන් තීරණය දුන්නට පස්සේ වෙනත් රාජකාරි ඒ කමිටුවට තියෙනවාද?

සාක්ෂිකරු : නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ක්‍රියාවලියකදී භාවිතා කරපු ලංසු දැන්වීම්, ලංසු ලේඛන පරීක්ෂා කරන්න පුළුවන්ද?

සාක්ෂිකරු : ඔව් පුළුවන්. හැබැයි ලංසු දැන්වීම් දැම්මා කියලා කිව්වට දැන්වීම් දකින්න ලැබුණේ නැහැ. ලංසු ලේඛන නම් තිබුණා.

(සාක්ෂිකරු එම ලංසු ලේඛන හඳුනාගනියි.)


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : නවාවි මහතා පවත්වාගෙන ගිය ප්‍රසම්පාදන කටයුතුවලින් පස්සේ, ඔබ නැවතත් කමිටුවලට සහභාගි වෙලා තිබෙනවාද?

සාක්ෂිකරු : ඔව්. නවාවි මහතා සිටියත් ඒ කටයුතු කළේ ජයනාත් බුත්පිටිය මහතායි. බුත්පිටිය මහතා එක්ක ඉතා හොඳ සම්බන්ධතාවක් තිබුණා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : නවාවි මහතාගේ අංශයෙන් කරපු හදිසි ප්‍රසම්පාදන කටයුතුවලින් පස්සේ, අමාත්‍යංශයේ යළිත් කමිටු සාමාජිකත්වය දැරුවා මතකද?

සාක්ෂිකරු : ඔව්. එම කමිටුවට එන්න කියලා ෆෝන් එකෙන් කිව්වේ ජයනාත් මහතායි. අපි දිනයක් දාගෙන සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස්වුණා. සභාපති චන්ද්‍
රගුප්ත මහතා, වෛද්‍ය රත්නායක මහතා, වෛද්‍ය නවාවි මහතා ඇතුළු පිරිසක් හිටියා. එතැනට ගියාම තමයි හැඳින්වීම කළේ. සමහර ඖෂධ තොග අවසන් වෙලා තිබුණා. අනුමැතිය ලබාගැනීම ගැන එතැනදී පැහැදිලි කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : යම් කිසි අවස්ථාවක EOI (Expression of Interest) කියන ක්‍රමවේදයෙන් ප්‍රසම්පාදනයක් කළා. එය පැහැදිලි කරන්න පුළුවන්ද?

සාක්ෂිකරු : එම ක්‍රමවේදයේදීත් මිල, සපයන ප්‍රමාණය සහ කාලය කියන්න ඕනේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එම ක්‍රමවේදය ඔස්සේ ප්‍රසම්පාදනයට අවස්ථාව ලබාදී තිබුණාද?

සාක්ෂිකරු : ඔව්, එහි ලොකු වෙනසක් දකින්න ලැබුණේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබට EOI දැන්වීම දකින්න ලැබුණාද?

සාක්ෂිකරු : නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කමිටු රැස්වෙද්දී කමිටු අවසරය මත විතරයි ලංසු කැඳවිය හැක්කේ කියා ඔබ කිව්වා. එහෙනම් එහෙම අවසරයක් ගත්තාද?

සාක්ෂිකරු : නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කොයි වෙලාවෙද කමිටු රැස්වීම පැවැත්වුණේ?

සාක්ෂිකරු : හවස් කාලයක.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : වෙනදා වගේමද රැස්වීම තිබුණේ?

සාක්ෂිකරු : ඔව්. වෙනදා හිටපු අයම හිටියා. හැබැයි එහි තිබුණේ අතින් ලියපු තොරතුරු. ඒවා තේරුණේ නැති නිසා ලේඛනයක් විදිහට හදලා ගන්න කිව්වා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එහෙම කළේ ඇයි?

සාක්ෂිකරු : වෙනදා වගේ විධිමත් ලියවිල්ලක් නොතිබුණු නිසා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : අතින් ලියපු කොළ තිබුණේ කොහොමද?

සාක්ෂිකරු : ගොනුවක් (File) විදිහට. එය ඒ වෙලාවේ බලන්නත් බැහැ, බොහොම අපිළිවෙලයි. එය මුද්‍රිත පිටපතක් නෙවෙයි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එම ලේඛනයේ කරුණු පැහැදිලි කළේ කවුද? මොනවාද පැහැදිලි කළේ?

සාක්ෂිකරු : අඩුම මිල, කාලය සහ ගුණාත්මකභාවය ගැන පැහැදිලි කළා. වෛද්‍ය ජයනාත් විසින් තමයි ඒ ලේඛනය අතට අරන් පැහැදිලි කළේ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කමිටුව තීරණයක් ගත්තේ නැද්ද?

සාක්ෂිකරු : ඔව්, අපි තවදුරටත් ප්‍රශ්න කළා. එතකොට කිව්වා කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙන්නේ, තොග අවසන් වී ඇති ඖෂධ ඉක්මනින්ම ගත යුතුයි කියලා. ඉන්දියන් ණය ආධාර ක්‍රමයේ මුදල් ඉතිරි වෙලා තියෙන නිසා ඒකෙන් ගන්න පුළුවන් කියලා කිව්වා. මම ඒ ලේඛනය අතට අරන් කියෙව්වේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබට පෙන්නුවොත් ඒ ලේඛනය හඳුනාගන්න පුළුවන්ද?

සාක්ෂිකරු : ඔව් පුළුවන්.

(සාක්ෂිකරුට ලේඛනයක් පෙන්වන අතර ඔහු එය හඳුනාගනියි.)


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : යළිත් කමිටුව රැස්වුණාද? කවුද එන්න කිව්වේ? කොහේද රැස්වුණේ?

සාක්ෂිකරු : රැස්වුණා. එන්න කිව්වේ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා. ඇස් වාට්ටුව ආසන්නයේ තියෙන ගොඩනැගිල්ලක තමයි රැස්වුණේ. දින තුනක් විතර මම එම රැස්වීම්වලට ආවා. පැමිණීමේ ලේඛනත් පවත්වාගෙන ගියා. කමිටු සාමාජිකයන් හැරුණාම වෛද්‍ය නවාවි, වෛද්‍ය ජයනාත් වැනි අය සිටියා මතකයි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එහි සිටි පිරිසෙන් සක්‍රියවම දායක වුණේ කවුද?

සාක්ෂිකරු : වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මේ කමිටුව රැස්වෙලා කරන්න ඕනේ කුමක්ද කියලා ඔබ දැනගෙන සිටියාද?

සාක්ෂිකරු : ඔව්, සාකච්ඡා කළා. කමිටු වාර්තාවේ තියෙන දේවල් ගැනත් කිව්වා. ඒ ගැන සාකච්ඡා කරන්න සූදානම් කරලා තිබුණා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබලා අසුන් ගත්තේ කොයි ආකාරයටද?

සාක්ෂිකරු : සභාපති විදිහට චන්ද්‍රගුප්ත මහතා හිටියා. වම්පසින් මම හිටියා, රත්නායක මහතා හිටියේ දකුණු පසින්. තවත් අඩි දහයක් දොළහක් විතර ඈතින් ජයනාත් මහතා හිටියා. කමිටුවට ලේඛනයක් සකස් කරලා ඉදිරිපත් කර තිබුණා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කමිටුව විසින් තෝරාගත යුතු අයිතම තෝරාගැනීමක් වුණාද?

සාක්ෂිකරු : ඔව්, සිය ගණනක් තිබුණා. වෛද්‍ය ජයනාත් යම් යම් තොරතුරු කිව්වා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කොයි වෙලාවක හරි අතින් ලියපු ලේඛන සහ පසුව හොඳින් සකස් කරපු ලේඛන පෙරළලා බැලුවාද?

සාක්ෂිකරු : කියවලා බැලුවේ නැහැ. වෛද්‍ය ජයනාත් විසින් සංක්ෂිප්ත කරපු (කෙටියෙන් සකස් කරපු) එක තමයි අපිට පෙන්වලා විස්තර කළේ.

(සාක්ෂිකරු එම ලේඛනයද හඳුනාගනියි.)


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : වෛද්‍ය ජයනාත් කලින් කියපු කරුණු මෙම ලේඛනයට ඇතුළත් කරලා තිබුණාද? ඔබ හෝ කමිටුවේ ඉතිරි දෙදෙනා මෙම ලේඛන දෙක සසඳා බැලුවාද?

සාක්ෂිකරු : නැහැ. එම අත්අකුරු කියවන්න අපහසුයි. ඒ වගේම කාලයක් තිස්සේ එකට වැඩ කරපු නිසා අවිශ්වාස කරන්න හේතුවක් තිබුණේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : අදාළ අයිතමයට ලංසු තබපු ලංසුකරුවන් සියලු දෙනා ගැනම සලකා බැලුවාද?

සාක්ෂිකරු : වෛද්‍ය ජයනාත් බුත්පිටිය කියන කරුණු අනුවයි කටයුතු කළේ. මිල සහ කාලය කියන කරුණු දෙක ප්‍රධාන වශයෙන්ම සලකා බැලුවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබලා පුද්ගලිකවම මෙම ලේඛන පරීක්ෂා කර බැලුවාද?

සාක්ෂිකරු : නැහැ. අපි තුන්දෙනාටම ඉදිරිපත් කරලා තිබුණේ එක ලේඛනයක් විතරයි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කමිටුව විසින් අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළාද?

සාක්ෂිකරු : නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කමිටුව විසින් සැපයුම්කරුවන්ව කැඳවලා තිබුණාද?

සාක්ෂිකරු : ඔව්, වෛද්‍ය ජයනාත් විසින් සැපයුම්කරුවන්ට ෆෝන් එකෙන් කතා කරලා ඔවුන්ව කැඳවලා තිබුණා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මිල සාකච්ඡා කළේ කොහොමද?

සාක්ෂිකරු : ඖෂධවල ගුණාත්මකභාවය සහ මිල ඇතුළු කරුණු ගැන සාකච්ඡා කළා. අපි සැපයුම්කරුවන් සමග සාකච්ඡා කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කමිටුවක් විදිහට EOI කරපු සැපයුම්වලටත් මුහුණ දුන්නාද?

සාක්ෂිකරු : සැපයුම්කරුවන් මාසයකින් දෙන්න දාලා තිබුණු ඒවා, පවතින බෙහෙත් හිඟය නිසා මාස තුනක් දක්වා දීර්ඝ කරන්න කියලා අපි ඉල්ලා සිටියා. එම දින කිහිපය තුළ ලොකු වෙනසක් වෙන්න පුළුවන් නිසා එහෙම ඉල්ලුවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඖෂධවල ජීව කාලය (Expiry Date/Shelf Life) ගැන කමිටුවේදී සාකච්ඡා වුණාද?

සාක්ෂිකරු : නැහැ. කමිටුවට සමහර සැපයුම්කරුවන් පැමිණ සිටියේ නැහැ. ඒ අයට වෛද්‍ය ජයනාත් සහ වෛද්‍ය රත්නායක කතා කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබ හෝ අනෙක් සාමාජිකයින් එම ලේඛන හොඳින් පරීක්ෂා නොකළේ ඇයි කියා කියන්න පුළුවන්ද?

සාක්ෂිකරු : එය ඖෂධ සිය ගණනක ලේඛනයක්. ඒක පරීක්ෂා කරන්න වෙලාවක් තිබුණේ නැහැ. අනෙක් අතට වෛද්‍ය ජයනාත් සාරාංශයක් ඉදිරිපත් කරපු නිසා ඒක අවශ්‍ය වුණෙත් නැහැ. කමිටුවේ නිර්දේශ එකින් එක බැලුවෙත් නැහැ. ජයනාත් මහතා මේ බෙහෙත් ගෙන්වන විදිහ සහ පවතින ඖෂධ හිඟය වැනි කරුණු ගැන විස්තර කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කමිටුව රැස්වීම් ඉවර වෙලා විසිර යද්දී කමිටු සාමාජිකයන්ට තීරණ ලිඛිතව දෙනවාද?

සාක්ෂිකරු : නැහැ. අපිට ඒවා මිනිත්තු සටහන් (Minutes) විදිහට කාර්යාලයට ගෙනත් දෙනවා. ඒවා ගේන්නේ වෛද්‍ය ජයනාත් හෝ පියන් කෙනෙක් (කාර්යාල සහායකයෙක්) විසින්. ගැටලුසහගත තැනක් තිබුණොත් ඔහුට කතා කරලා අහනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : දෙවැනි මීටිමෙන් පස්සේ මේ රාජකාරිය අවසන් වුණාද?

සාක්ෂිකරු : නැහැ. අමාත්‍යංශයේදී යළිත් මුණගැසුණා. වෛද්‍ය ජයනාත් කතා කරලා එන්න කිව්වා. පැමිණීමේ ලේඛන අත්සන් කළා. කමිටු සාමාජිකයන් තුන්දෙනාම සිටියා. වෛද්‍ය රත්නායක සහ වෛද්‍ය ජයනාත් හිටියා. එදිනත් අසුන් ගත්තේ කලින් විදිහටමයි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එදා වැඩිපුර ලේඛන ඉදිරිපත් කළාද? දෙවැනි දවසේ අගැයීමට වඩා ඒක වෙනස්ද?

සාක්ෂිකරු : නැහැ, කලින් විදිහටමයි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එදිනවත් සන්සන්දනයක් කරලා බැලුවාද?

සාක්ෂිකරු : නැහැ, වෛද්‍ය ජයනාත් කරපු පැහැදිලි කිරීම ගැන අපි සෑහීමකට පත් වුණා. ඔහු පරීක්ෂා කරපු දේවල් ලියලා ඇති කියලා අපිට හිතුණා. අනෙක් සාමාජිකයින් ඒවා බැලුවාද කියා මට මතක නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : දෙවැනි දවසේ කමිටුවේ මිනිත්තු සටහන් (Minutes) ඔබට ලැබුණාද?

සාක්ෂිකරු : වෛද්‍ය ජයනාත් තමයි ඒවා ගෙනත් අත්සන් කරගත්තේ. දින දෙකේම මිනිත්තු සටහන් අත්සන් කළේ එකම දවසක කියලා මතකයි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබ එහෙම සෑහීමකට පත්වුණේ කොහොමද?

සාක්ෂිකරු : අපි 2021 ඉඳන් එකට වැඩ කළා. අවිශ්වාස කරන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ නිසා අත්සන් කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : සෞඛ්‍ය අමාත්‍යංශයේදී සහ ඇස් වාට්ටුවේ ගොඩනැගිල්ලේදී හැර වෙනත් තැනක සාකච්ඡා පැවැත්වුණාද?

සාක්ෂිකරු : නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : සම්පූර්ණ මිනිත්තු සටහන (Minutes) සකස් කිරීමට ඔබේ දායකත්වයක් තිබුණාද?

සාක්ෂිකරු : නැහැ. ඔක්කොම කියවන්න වෙලාවක් තිබුණේ නැහැ. EOI කැඳවීම් මත අපව පත් කරලා තිබුණේ ඖෂධ හිඟය මගහරින්නයි, ජනතාව වෙනුවෙන් තීරණ ගන්නයි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබට පුද්ගලිකව හෝ රාජකාරි මට්ටමින් මේ පසුබිම ගැන අවබෝධයක් තිබුණාද?

සාක්ෂිකරු : නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබ අත්සන් කරපු ඒ මිනිත්තු සටහන් හඳුනාගන්න පුළුවන්ද?

(සාක්ෂිකරුට ලේඛනයක් පෙන්වන අතර ඔහු එය හඳුනාගනියි.)


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මේ ලේඛනය සකස් කිරීමේ ආකෘති පත්‍රය (Format) ඔබ දුන්නාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එය සකස් කරපු ආකාරය ගැන අවබෝධයක් තිබෙනවාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : 2022 ඔක්තෝබර් 18 වැනිදා සිද්ධ වුණු සාකච්ඡා (Negotiations) ගැන කියන්න.

සාක්ෂිකරු : ඒ සාකච්ඡාවලදී යම් ප්‍රතිශතයක් (ගණනක්) අඩු කළා. ඒ අනුව තමයි මේ වෙනස්කම සිද්ධ වුණේ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කමිටුව ගත් තීරණ සහිත පිටු ඔබට හඳුනාගන්න පුළුවන්ද?

සාක්ෂිකරු : ඔව් ස්වාමීනී. (සාක්ෂිකරු ලේඛන හඳුනාගනියි)


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඒවා හඳුනාගන්නේ කුමක් විදිහටද?

සාක්ෂිකරු : ලංසු ප්‍රදානය කිරීමට පදනම් වුණු තොරතුරු හැටියට.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඖෂධ නාම විශාල ප්‍රමාණයක් මේ ලේඛනයේ සඳහන් වෙනවා. මේ ඖෂධ සම්බන්ධයෙන් තීරණ ලබාදුන්නා කියලා ඔබට දළ අවබෝධයක් තිබෙනවාද?

සාක්ෂිකරු : තියෙන්න ඇති ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔක්තෝබර් 13 සහ 18 දෙදින තුළ අයිතම 188 කට ප්‍රදානයන් ලබාදුන් බව මතකද?

සාක්ෂිකරු : ඔව්, 188 ක් වගේ මතකයි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : අගැයීම් කමිටුව තෝරාගන්නේ මොන වගේ අවස්ථාවලදීද කියා සාකච්ඡා කර තිබුණාද?

සාක්ෂිකරු : ඒ කාලයේ ඉඳන් දිගටම ප්‍රසම්පාදන කමිටුව එක්කයි ඒවා කළේ. ප්‍රසම්පාදන කමිටු සභාපති තමයි ඒක කළේ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඉන්දීය ණය යෝජනා ක්‍රමයෙන් මේ ඖෂධ ගන්න ගත්තු තීරණයට ඔබ පුද්ගලිකව දායක වුණාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : අත්සන් කිරීම සඳහා ලේඛන ගෙනෙන විට සියලුම ඇමුණුම් (Annexures) සහිතවද ගෙනාවේ?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ උපයෝජනයක් (භාවිතයක්) තිබුණාද?

සාක්ෂිකරු : ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබට ඒ උපයෝජනය ගැන අවබෝධයක් තිබුණාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : 6 වන සහ 10 වන චූදිතයන් කරුණු පැහැදිලි කරන්න කලින් ඔබට යම් අවබෝධයක් තිබුණාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මේ හා සම්බන්ධ කැබිනට් පත්‍රිකාව (Cabinet Paper) ගැන අවබෝධයක් තිබුණාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කැබිනට් මණ්ඩල තීරණ තිබෙන බව කමිටුවට සඳහන් වුණේ ඇයි?

සාක්ෂිකරු : EOI කැඳවන විට ඒ විදිහට කරන්න ඇති.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කැබිනට් මණ්ඩල තීරණ පරීක්ෂා කරලා බලන්න ලැබුණාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඇයි ඒ?

සාක්ෂිකරු : කැබිනට් මණ්ඩල තීරණය මත පත් කරපු කමිටුවක් නිසා, මම හිතුවේ නැහැ තවදුරටත් කැබිනට් අනුමැතිය අවශ්‍යයි කියලා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : EOI යටතේ අභිලාෂයන් කැඳෙව්වේ කොහොමද කියා අවබෝධයක් තිබුණාද?

සාක්ෂිකරු : ඒකට සහභාගි වෙන්න හෝ එහි අයිතම මොනවාද කියලා මම පුද්ගලිකව දන්නේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මේ ලේඛනය අත්සන් කරද්දී මෙහි සඳහන් වන ඇමුණුම් දකින්න ලැබුණාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඇමුණුම් එකතු කරලා තිබුණා කියලා දැනුමක් තිබුණාද?

සාක්ෂිකරු : ඔව් ස්වාමීනී. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : 18 වැනිදා සාකච්ඡා කරපු දෙයක් 22 වැනිදා දක්වා දීර්ඝ වුණේ කොහොමද යන්න ගැන අවබෝධයක් තිබුණාද?

සාක්ෂිකරු : එම දින කිහිපය තුළ සාකච්ඡා කිරීම තමයි සිදුවුණේ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබ මෙම ලේඛන ජයනාත් මහතාගෙන් පරීක්ෂා කර බැලුවාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මේ මිනිත්තු සටහන හදද්දී ඔබ හෝ සභාපතිවරයා ලියුමක් ලිව්වාද?

සාක්ෂිකරු : නැහැ. අපි තුන්දෙනාම ලිව්වේ නැහැ. ජයනාත් මහතා ලියන්න ඇති. කමිටුවට ඉදිරිපත් කළෙත් වෛද්‍ය ජයනාත් විසින්.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : සංස්ථා සභාපති සරත් ලියනගේ, අමාත්‍යංශ ලේකම් චන්ද්‍රගුප්ත ඇතුළු පිරිසක් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ගන්න පුළුවන් බව කිව්වා. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස එවකට සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා. ඔහු සමග පැවැති සාකච්ඡාවකදී මේ බව කියපු බවයි ඔවුන් කිව්වේ. සාකච්ඡාව තිබුණේ කොහේද හෝ කවදාද කියලා කිව්වේ නැහැ. ඔවුන් කිව්වේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මුදල් ලැබීම ප්‍රමාද නිසා ඉක්මනින් ඖෂධ ගෙන්විය යුතු බවයි. මේ නිසා සෘජුවම සැපයුම්කරුවන්ගෙන් ගත යුතු බව කිව්වා. මා හිතුවේ සෘජු මිලදී ගැනීම් කියන්නේ සැපයුම්කරුවන් ළඟ දැනට තිබෙන ඒවයින් මිලදී ගන්නා එක කියලායි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔක්තෝබර් 25 වැනිදා කමිටු රැස්වීමක් පවත්වා ඇති බව ඔබ කිව්වා. මේ කමිටු සටහන හඳුනාගන්න පුළුවන්ද බලන්න.

(සාක්ෂිකරු එම ලේඛනය හඳුනාගනියි.)


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : අයිතම අංක සහ ප්‍රමාණ සඳහන් ඇමුණුමක් ඔබට ලැබුණාද?

සාක්ෂිකරු : ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඇමුණුම් කීයක් ලැබුණාද?

සාක්ෂිකරු : එකයි ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එදින රැස්වීමට කී දෙනෙක් පැමිණ සිටියාද?

සාක්ෂිකරු : පස් හය දෙනෙක් පැමිණ සිටියා. එහි සිටි අයව හඳුන්වා දීමක් කළේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඇමුණුමෙහි සඳහන් වෙන්නේ කුමක්ද?

සාක්ෂිකරු : ඔක්තෝබර් 13 සහ 18 ගත්තු තීරණ. ඒවාට 25 වැනිදා අත්සන් කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඇමුණුම 2 ලෙස සඳහන් කර ඇති ලේඛනය මේ අත්සන් කරන අවස්ථාවේදී හමුවුණාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔක්තෝබර් 25 වැනිදා සැපයුම්කරුවන් සමග සාකච්ඡා කළා නම්, ඒ සම්බන්ධ සටහන් මේ මිනිත්තු සටහන්වලට ඇතුළත් කර තිබෙනවාද කියා බැලුවාද?

සාක්ෂිකරු : නැහැ. සාකච්ඡා කරපු දේවල් ඇමුණුමක් විදිහට නෙවෙයි, මිනිත්තු සටහන්වල අවසානයට එකතු කරලා තිබුණේ. ඒකට අත්සන් කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : පිටු අංක 259 දුටු ආකාරයටම පිටු අංක 261 ටත් ඇතුළත් වී තිබෙනවාද?

සාක්ෂිකරු : ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : පිටු අංක 259 හි අංක පහ යටතේත්, පිටු අංක 261 හි අංක හතර යටතේත් තියෙන්නේ එකම කරුණු නේද? පිටු අංක 261 හි තීරණ තිබෙනවාද? ඒවා ගත්තේ මොන පදනමකින්ද?

සාක්ෂිකරු : ඒ අවස්ථාවේ රටේ පැවැති තත්ත්වය, අවශ්‍යතාවය සහ අනුමත ඖෂධ අවසන් වී තිබීම යන කරුණු මතයි මේ තීරණ ගත්තේ. අපි මුල් කමිටුවේදී ඒ ගැන දැනුවත් වුණා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : පිටු අංක 259 හි තිබෙනවා සෘජු මිලදී ගැනීම් හෝ ඉන්දීය ණය යෝජනා ක්‍රමය මත ගන්න කියලා. පිටු අංක 261 අවසන් ඡේදයේදී කමිටුව තීරණය කර තිබෙන්නේ කුමක්ද?

සාක්ෂිකරු : ඉන්දීය ණය හෝ වෙනත් මුලාශ්‍රවලින් ගන්න කියලා තියෙනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එසේ සඳහන් කරන්න හේතුව කුමක්ද?
සාක්ෂිකරු : එදා අපි ඒ ගැන කතා කළා. ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ මුදල් නැත්නම් වෙනත් එකකින් හරි ගන්න කිව්වා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔබ ඇමතිවරයාගේ සාකච්ඡාවට ගියාද?

සාක්ෂිකරු : නැහැ. මම ඒ මීටිමට ගියේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ මුදල් අවසන් වුණත් මේ මිලදී ගැනීම් කරනවා කිව්වා. එය වෙනස් වීම ගැන අවබෝධයක් තියෙනවාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : පිටු අංක 259 හි ඔබේ අත්සන හැර අන් අත්සන් දෙක ඔබ හඳුනනවාද?

සාක්ෂිකරු : ඔව්. තුන්වැනි ස්ථානයේ තියෙන්නේ මගේ අත්සනයි. චන්ද්‍රගුප්ත මහතාගේ සහ සරත් ලියනගේ මහතාගේ අත්සන් තමයි අනෙක් ඒවා. කමිටුවේ සිටි නිසා මම ඒ අත්සන් හඳුනනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : පිටු අංක 261 හි 83 වන තොගයේ 63 වන පිටුවේ ඔබේ අත්සන හැර අනෙක් කෙටි අත්සන් හඳුනාගන්න පුළුවන්ද?

සාක්ෂිකරු : ඔව්, ඒවා චන්ද්‍රගුප්ත මහතාගේ සහ සරත් ලියනගේ මහතාගේ. මැද තියෙන්නේ සරත් ලියනගේ මහතාගේ කෙටි අත්සනයි. පළමු ස්ථානයේ තියෙන්නේ චන්ද්‍රගුප්ත මහතාගේ කෙටි අත්සනයි. මේවා කමිටු අවස්ථාවල දැක ඇති නිසා හඳුනනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මේ 259 ලේඛනයේ පිටු 145 සිට 153 දක්වා තියෙන කෙටි අත්සන්, ඔබ කලින් හඳුනාගත් ඔබේ සහ අනෙක් දෙදෙනාගේ ඒවාද?

සාක්ෂිකරු : ඔව් ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : 83 වන තොගයේම 30 සිට 35 දක්වා ලේඛන ඔබට හඳුනාගන්න පුළුවන්ද?

සාක්ෂිකරු : ඔව්, කමිටුවේ තීරණ එහි තිබෙනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : 53 සිට 65 දක්වා වගු අවසානයේ තබා ඇති අත්සන් තුන කාගේද?

සාක්ෂිකරු : අපි තුන්දෙනාගේ. අපිට තාක්ෂණික දැනුමක් නැහැ. තාක්ෂණික කමිටුවේ තීන්දු තමයි වෛද්‍ය ජයනාත් ඉදිරිපත් කළේ. ඔහු එය පවසන නිසා අපි එය විශ්වාස කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : 106 යටතේ සඳහන් ඖෂධය ගැන ගෙන ඇති තීරණය ඔබ දැක්කාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : හියුමන් ඉමියුනොග්ලොබියුලින් (Human Immunoglobulin) ඖෂධය ඉදිරිපත් කර ඇති සංඛ්‍යාත්මක අගය කීයද?

සාක්ෂිකරු : 22,500 යි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මිල කොපමණද?

සාක්ෂිකරු : ඩොලර් 130 යි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : එහි ඇති කමිටු තීරණය පිළිගන්නවාද?

සාක්ෂිකරු : කමිටු තීරණ කියවද්දී අපි අවබෝධයෙන් කටයුතු කළා. එදා 22,500 ක් කිව්වත් පසුව එය 7,500 ක් දක්වා වෙනස් කර ඇති බව දැනගත්තා. එය දැනගත්තේ මට විනය පරීක්ෂණයක් ආපු අවස්ථාවකදීයි. එම අවස්ථාවේ ලේඛන පරීක්ෂා කරද්දී එය දුටුවා. ඒ ගැන ආයතනයෙන් මාව දැනුවත් කළේ නැහැ. විනය පරීක්ෂණයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හරහා මාව නිදොස් කොට නිදහස් කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : පිටු අංක 261 ලේඛනයේ එදා අගැයීම් කමිටුව ගත් තීරණය කුමක්ද කියා සඳහන් වෙනවාද? ඔබේ කමිටුව ඒ තීරණය වෙනස් කළාද?

සාක්ෂිකරු : මට මතක නැහැ. නමුත් හරියි කියා සිතනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : පිටු අංක 259 ලේඛනයේ 63 පිටුවේ P/40/2022 අංකය ඇති ඖෂධයක් තිබෙනවාද? ඊළඟට තියෙන්නේ 41 සහ 42 ද?

සාක්ෂිකරු : ඔව්. හැබැයි 41 සහ 42 නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : 259 ඒ (A) හි 59 සහ 60 හමුවෙනවාද?

සාක්ෂිකරු : 59 සහ 60 නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : P 1 හි 68 තිබෙනවාද?

සාක්ෂිකරු : මෙම ලේඛනවල සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව විසින් තීරණ ලබා දී නැහැ. අගැයීම් කමිටුව තිබුණාද යන්න ගැනත් දැනුවත්භාවයක් නැහැ. කමිටුවේ අනෙක් සාමාජිකයන්ටත් කමිටුවේදී එවැනි අවස්ථාවක් ලැබුණේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : පිටු අංක 261 ලේඛනයේ P කේතය (Code) ළඟ තියෙන්නේ P 1 ද P 2 ද?

සාක්ෂිකරු : P 2 ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : මෙසේ P 1 සහ P 2 ලෙස ඇතුළත් කර ඇති හේතු දක්වන්න.

සාක්ෂිකරු : එය විස්තර කරලා නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : P 2 යටතේ අයිතම කීයක් සම්බන්ධයෙන් සඳහන් වෙනවාද?

සාක්ෂිකරු : අයිතම 15 ක් සම්බන්ධයෙන් තීරණ ලබාදී තිබෙනවා.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : අගැයීම් කමිටුව ලබාදුන් තීරණ තිබෙනවා නම් මේ අයිතම විස්තර වුණාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔක්තෝබර් මාසයේ ඉවර කරලා නොතිබුණු ඒවා 25 වැනිදා ඉවර කළ බව කිව්වා. 25 වැනිදා වෙද්දී කොපමණ ප්‍රමාණයක් ඉවර කළ යුතුද කියා දැන සිටියාද?

සාක්ෂිකරු : එවැන්නක් දැන සිටියේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : 84, 89, 93, 117, 126, 147 යන අංක පිටු අංක 259 ඒ (A) හෝ 261 හි ඇතුළත්ද කියා බලන්න.

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : P 1, 2, 7, 8, 10, 14, 17, 20, 21, 23 සහ 26 සිට 41 දක්වා තීරණ තිබෙනවාද? හදිසි ප්‍රසම්පාදනය යටතේ තීරණ ලබාදී 
තිබෙන්නේ මේ 15 ට විතරද? අගැයීම් කමිටුව මගින් මේ ගැන ඔබට දැනුම් දුන්නාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : ඔක්තෝබර් 25 න් පස්සේ EOI රාජකාරිය අවසන් වුණාද?

සාක්ෂිකරු : අවසන් කළා. ඉන්පස්සේ අගැයීම් කළේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : නවාවි මහතා යටතේ කළ ආකාරයෙන්මද තවදුරටත් අගැයීම් සිදුවුණේ?

සාක්ෂිකරු : ඔව්, නවාවි මහතා යටතේ සිදුවුණු ආකාරයෙන්මයි.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : පිටු අංක 259 සහ 261 හි අභ්‍යන්තර විගණක වැනි යම් නිරීක්ෂකයෙකුගේ නිරීක්ෂණ සටහන් වී තිබෙනවාද?

සාක්ෂිකරු : නැත ස්වාමීනී.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : අභ්‍යන්තර විගණකවරයාව කැඳවන්නේ කවුරුන් විසින්ද?

සාක්ෂිකරු : අප නියෝජනය කළ කමිටුව විසින්.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් : කමිටුව අභ්‍යන්තර විගණන නිලධාරියෙකුට කතා නොකළේ ඇයි කියා ඔබට අදහසක් තිබෙනවාද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනී.


තවදුරටත් මෙම සාක්ෂිකරුගෙන් සාක්ෂි ලබා ගැනීම මස 20 වන දිනට කල් තබනු ලැබීය.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0