අයතුල්ලා අලි කමේනිගෙන් ඉක්බිති මැදපෙරදිග දේශපාලනයේ ගමන් මග..!
ඉරාන ඉතිහාසයේ සහ මැදපෙරදිග දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක පළමු දිනයේදීම අයතුල්ලා අලි කමේනි ඝාතනයට ලක් වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලනය මෙහෙයවූ නායකයන් අතරින් ඉදිරියෙන්ම සිටි, පසුගිය දශක තුනකට අධික කාලයක් ඉරානයේ උත්තරීතර බලය හෙබවූ 86 හැවිරිදි අලි කමේනිගේ අභාවය පසුව ඉරාන රාජ්‍ය රූපවාහිනිය විසින් ද තහවුරු කරන ලදී. ඔහුගේ මරණයත් සමඟ ඉරානය පමණක් නොව මුළු මහත් කලාපයම අවිනිශ්චිත දේශපාලන අනාගතයකට මුහුණ දී සිටී.
අයතුල්ලා අලි කමේනිගෙන් ඉක්බිති
මැදපෙරදිග දේශපාලනයේ ගමන්මග..!
ඉරාන ඉතිහාසයේ සහ මැදපෙරදිග දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක පළමු දිනයේදීම අයතුල්ලා අලි කමේනි ඝාතනයට ලක් වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලනය මෙහෙයවූ නායකයන් අතරින් ඉදිරියෙන්ම සිටි, පසුගිය දශක තුනකට අධික කාලයක් ඉරානයේ උත්තරීතර බලය හෙබවූ 86 හැවිරිදි අලි කමේනිගේ අභාවය පසුව ඉරාන රාජ්‍ය රූපවාහිනිය විසින් ද තහවුරු කරන ලදී. ඔහුගේ මරණයත් සමඟ ඉරානය පමණක් නොව මුළු මහත් කලාපයම අවිනිශ්චිත දේශපාලන අනාගතයකට මුහුණ දී සිටී.
දුෂ්කර ළමා කාලය සහ ආගමික පසුබිම
අලි කමේනි 1939 වසරේදී ඉරානයේ දෙවන විශාලතම නගරය වන මාෂාඩ්හිදී උපත ලැබීය. ඔහුගේ පවුල් පසුබිම දැඩි ආගමික නැඹුරුවක් සහිත වූ අතර පියා ෂියා නිකායට අයත් පූජකවරයෙකු විය. කමේනි සිය ළමා කාලය පිළිබඳව පසුකාලීනව ආවර්ජනය කළේ "දුප්පත් නමුත් භක්තිමත්" කාලසීමාවක් ලෙසයි. තමන් දිනපතාම පාහේ ආහාරයට ගත්තේ "පාන් සහ වියළි මිදි" පමණක් බව ඔහු පවසා තිබුණේ ඉතාමත් චාම් සහ දුෂ්කර පසුබිමකින් තමන් පැමිණි බව ලෝකයට පෙන්වා දෙමිනි.
ඔහුගේ මූලික අධ්‍යාපනය මාෂාඩ් නගරයෙන් ආරම්භ වූ අතර, වැඩිදුර ආගමික දැනුම ලබාගැනීම සඳහා ඔහු ඉරාකයේ නජාෆ් වෙත සහ පසුව ඉරානයේ ප්‍රධාන ආගමික කේන්ද්‍රස්ථානය වන "කොම්" සෙමනේරිය වෙත යොමු විය. එහිදී ඔහුට පසුව ඉස්ලාමීය ජනරජය පිහිටුවීමේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කළ රුහොල්ලා කොමේනි වැනි ප්‍රබල පූජකවරුන්ගේ ඇසුර සහ ඉගැන්වීම් ලැබීමට අවස්ථාව හිමි විය. මෙය ඔහුගේ අනාගත දේශපාලන දැක්ම හැඩගැස්වීමට මූලික අඩිතාලම දැමීය.
විප්ලවයේ ගමන් මග සහ සිරගත වීම
1979 ඉස්ලාමීය විප්ලවයට පෙර පැවති ෂා රජුගේ පාලනය දැඩි ලෙස විවේචනය කළ පිරිස අතර අලි කමේනි ප්‍රමුඛයෙකු විය. මේ හේතුවෙන් ඔහුට වසර ගණනාවක් පුරාවට භූගතව හෝ සිරගතව ජීවත් වීමට සිදු විය. ෂා රජුගේ රහස් පොලිසිය (SAVAK) ඔහුව අවස්ථා හයකදී අත්අඩංගුවට ගත් අතර, ඒ සෑම අවස්ථාවකදීම ඔහු දැඩි වධහිංසාවලට ලක් වූ බව වාර්තා වේ.
විප්ලවය සිදුවන කාලසීමාවේදී ඔහු අයතුල්ලා කොමේනිගේ සමීපතම කවයේ ප්‍රධාන චරිතයක් ලෙස නොපෙනුණත්, ෂා රජුගේ පාලනය බිඳවැටීමෙන් පසු ඔහු වේගයෙන් බලයට සමීප විය. ඔහු මුලින්ම විප්ලවවාදී කවුන්සිලයට සම්බන්ධ වූ අතර, ඉස්ලාමීය ජනරජයේ පළමු තනතුර ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය. ඉන් අනතුරුව ටෙහෙරානයේ සිකුරාදා යාච්ඤා මෙහෙයවන්නා ලෙස පත්වීම ඔහුගේ දේශපාලන පෞරුෂය රට පුරා ව්‍යාප්ත කිරීමට මග පෑදීය. ඔහුගේ ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් විකාශනය වූ දේශපාලනික දේශන හරහා ඔහු ඉරාන සමාජය තුළ ප්‍රබල බලපෑමක් ඇති කිරීමට සමත් විය.
ජනාධිපති ධුරය සහ බලය තහවුරු කරගැනීම
1981 වසරේදී ඔහු ඉරානයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. එම වසරේදී ඉස්ලාමීය රිපබ්ලිකන් පක්ෂ මූලස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහු බරපතල තුවාල ලැබූ අතර, ඔහුගේ පෙනහළු සුව වීමට මාස ගණනාවක් ගත විය. එම ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු අත ස්ථිරවම අක්‍රිය වූ බව සඳහන් වේ. කෙසේ වෙතත්, එම වසරේම පැවති මැතිවරණයෙන් 97%ක අතිවිශාල ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඔහු ජනාධිපති ධුරයට පත් විය.
ඔහුගේ සමාරම්භක දේශනයේදීම ඔහු පවසා සිටියේ ලිබරල්වාදය සහ ඇමෙරිකානු බලපෑමට ලක් වූ වාමාංශික අදහස් තමන් දැඩි ලෙස හෙළා දකින බවයි. මෙය ඔහුගේ ඉදිරි පාලන කාලය පිළිබඳ පැහැදිලි සලකුණක් විය. ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ අසල්වැසි ඉරාකය සමඟ ඇති වූ වසර අටක දීර්ඝ යුද්ධයට මුහුණ දීමට ඔහුට සිදු විය. සදාම් හුසේන්ගේ ආක්‍රමණය හමුවේ කමේනි මාස ගණනාවක් යුද පෙරමුණේ ගත කරමින් හමුදාව දිරිමත් කළේය. මෙම යුද්ධයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාකයට දක්වන සහයෝගය දුටු කමේනි තුළ බටහිර කෙරෙහි වූ අවිශ්වාසය තවදුරටත් දැඩි විය.
උත්තරීතර නායකත්වය සහ ආධිපත්‍යය
1989 වසරේදී අයතුල්ලා කොමේනිගේ අභාවයෙන් පසු විශේෂඥයින්ගේ සභාව විසින් අලි කමේනිව ඉරානයේ දෙවන උත්තරීතර නායකයා ලෙස තෝරා පත් කර ගන්නා ලදී. එම තනතුරට පත්වන විට ඔහුගේ ආගමික ශාස්ත්‍රීය පසුබිම දුර්වල බවට විවේචන එල්ල වුවද, ඔහු ඉතා සූක්ෂම ලෙස රටේ සියලුම බලකේන්ද්‍ර තමා සතු කර ගැනීමට සමත් විය.
අධිකරණය, පොලිසිය, ජනමාධ්‍ය, පූජක ප්‍රභූ පැලැන්තිය, පාර්ලිමේන්තුව මෙන්ම විශේෂිත විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) තුළ ද තමාට පක්ෂපාතී පුද්ගලයින් පත් කරමින් ඔහු අසීමිත බලයක් ගොඩනගා ගත්තේය. ඔහු සරල ජීවන රටාවක් ගත කරන බව රාජ්‍ය මාධ්‍ය මගින් පෙන්වීමට උත්සාහ කළත්, ඔහුගේ පාලනය යටතේ ඉරානය තුළ මතභේදාත්මක තීරණ රාශියක් ක්‍රියාත්මක විය.
විරෝධතා මර්දනය සහ මානව හිමිකම් ගැටලු
කමේනිගේ පාලන කාලය පුරාම විපක්ෂ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන දැඩි මර්දනයකට ලක් විය. 1999 ශිෂ්‍ය විරෝධතා, 2009 මැතිවරණ විරෝධතා සහ 2019 වසරේ ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව ඇති වූ මහජන නැගිටීම් සියල්ලම හමුදා බලය යොදා මර්දනය කෙරිණි. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැනි ආයතන දිගින් දිගටම චෝදනා කළේ ඉරාන ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කරන බවයි.
විශේෂයෙන්ම 2022 වසරේදී හිජාබ් පැළඳීමට අපොහොසත් වීම නිසා අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මාෂා අමිනිගේ මරණයත් සමඟ ඉරානය පුරා පෙර නොවූ විරූ විරෝධතා රැල්ලක් හටගත්තේය. මෙහිදී කාන්තාවන්ට එරෙහිව එල්ල වූ වධහිංසා සහ සිරගත කිරීම් පිළිබඳව ලෝකයම කම්පනයට පත් විය. 2025-26 කාලසීමාවේ ඇති වූ ආර්ථික අසාර්ථකත්වය හමුවේ පවා කමේනි ප්‍රකාශ කළේ මෙම විරෝධතා පිටුපස සතුරන් (ඇමෙරිකාව සහ ඊශ්‍රායලය) සිටින බවයි. එම විරෝධතාවලදී මියගිය 7,000කට අධික පිරිස පිළිබඳව ඔහු පැවසුවේ එය සතුරන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි.
න්‍යෂ්ටික අර්බුදය සහ අවසාන ගැටුම
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කමේනිගේ පාලන සමයේ වඩාත්ම මතභේදාත්මක මාතෘකාව විය. ඔහු න්‍යෂ්ටික අවි ඉස්ලාම් විරෝධී බව පවසමින් ෆත්වා නියෝගයක් නිකුත් කළද, බටහිර රටවල් සැක කළේ ඉරානය රහසිගතව අවි නිෂ්පාදනය කරන බවයි. 2015 වසරේ ඇති වූ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ ඉවත් වීමත් සමඟ සම්බාධක තවදුරටත් දැඩි විය.
2025 වසරේදී ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ තත්ත්වය යුදමය මාවතකට අවතීර්ණ විය. ඉරානය ද ප්‍රතිප්‍රහාර එල්ල කළ නමුත් ඇමෙරිකානු සහාය ඇතිව එල්ල වූ ප්‍රහාර හමුවේ ඉරාන ආරක්ෂක වළල්ල දුර්වල විය. අවසානයේදී, 2026 පෙබරවාරි 28 වන දින ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් අයතුල්ලා අලි කමේනිගේ මරණය සිදුවිය.
ඉරානයේ සෑම අංශයක්ම තම අණසකට නතු කරගෙන සිටි මේ දැඩි මතධාරී නායකයාගේ නික්ම යාම, ඉරානය තුළ නව දේශපාලන පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරනු ඇත. ඔහුගේ නීති රීතිවලට යටත්ව ජීවත් වූ ඉරාන ජනතාවට සහ සමස්ත මැදපෙරදිගට මෙය කිනම් ආකාරයේ බලපෑමක් ඇති කරනු ඇත්දැයි ලෝකයම විමසිල්ලෙන් බලා සිටී.
බීබීසී ලෝක සේවයේ ගෝලීය ජනමාධ්‍ය කණ්ඩායමේ
ඇන්ඩෲ වෙබ් විසින් සපයන ලද ලිපියකට අනුව සැකසූ වාර්තාවකි.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

