මේක ගජමිතුරන්ගේ සුඛෝපභෝගී ජීවිත වෙනුවෙන් ජනතාව මත බර පටවන නරුම ආණ්ඩුවක්...

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට යටත්ව ජනතාව මත බර පිට බර පටවන අතර, ආණ්ඩුවට සමීප ව්‍යාපාරික ගජමිතුරන්ගේ සුඛෝපභෝගී අවශ්‍යතා හා මනදොල සපුරාලීම සඳහා රටේ මහජන මුදල් වියදම් වන්නට ඉඩදී නාස්ති කරන බවට චෝදනා කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (03) මෙරවරුවේ දැඩි විවේචනයක් එල්ල කළේය.

Jun 3, 2026 - 23:13
Jun 4, 2026 - 07:43
 20
මේක ගජමිතුරන්ගේ සුඛෝපභෝගී ජීවිත වෙනුවෙන්  ජනතාව මත බර පටවන නරුම ආණ්ඩුවක්...

මේක ගජමිතුරන්ගේ සුඛෝපභෝගී

ජීවිත වෙනුවෙන්

 
ජනතාව මත බර පටවන

නරුම ආණ්ඩුවක්...

මේ ආණ්ඩුවේ හොරකම, බැරිකම, ගොන්කම

තුළින් අනුර මේ රටම අමාරුවේ දමලා...

මේක මළ ගෙවල් අස්සේත් “රජ මගුල් කන”

නරුම ආණ්ඩුවක් වෙලා...

මේ ආණ්ඩුව කරන්නේ හිගන්නන්ටත්

පවුඩර් දානවා වගේ වැඩ...


ත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට යටත්ව ජනතාව මත බර පිට බර පටවන අතර, ආණ්ඩුවට සමීප ව්‍යාපාරික ගජමිතුරන්ගේ සුඛෝපභෝගී අවශ්‍යතා හා මනදොල සපුරාලීම සඳහා රටේ මහජන මුදල් වියදම් වන්නට ඉඩදී නාස්ති කරන බවට චෝදනා කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (03) පෙරවරුවේ දැඩි විවේචනයක් එල්ල කළේය.

විමල් වීරවංශ මහතා මහතා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට පමණක් නොව තමන්ගේ පක්ෂයද අන්ත අමාරුවක දමා ඇති බවට චෝදනා නගමින් වීරවංශ මහතා රජයට දැඩි දෝෂදර්ශනයක් එල්ල කළේය.

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් අනතුරුව විදුලි හා ජල ගාස්තු ද ඉහළ නැංවීමට සූදානම් වන බව පෙන්වා දුන් ඔහු, ජනතාවගේ ජීවන වියදම පිළිබඳ කිසිදු සංවේදීතාවයකින් තොරව ආණ්ඩුව කටයුතු කරන බව පැවසීය.

රට මුහුණ දී සිටින්නේ විදේශ විනිමය හිඟයකට බව සඳහන් කළ වීරවංශ මහතා, එයට විසඳුම ලෙස අපනයන, කර්මාන්ත, තාක්ෂණ හා නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවට ආණ්ඩුව ණය ලබා ගැනීම පමණක් ප්‍රතිපත්තිය කරගෙන ඇති බවට චෝදනා කළේය.

“බලය ගන්න කලින් ඇහුවේ “ලෝක වෙළඳ පොළේ මිලට මේවා විකුණන්න ආණ්ඩුවක් ඕනද? පාලකයෙක් ඕනද?’ කියලා. දැන් ඒ සියලු පාලකයන්ගේ වාර්තා අභිභවා ඉතාම නරුම විදිහට මේ රටේ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය ගැන මෙලෝ සැලකිල්ලක්, තැකීමක් නැතුව, අර රජ මාලිගාවට වෙලා සැපෙන් ඉන්න ගමන් මූල්‍ය අරමුදලේ පදයට නටමින් බර පිට බර පටවමින් තිබෙනවා. දැනුත් කියනවා අපි තාම තෙල් දෙන්නේ පාඩුවක් තියාගෙන කියලා. ඒ කියන්නේ තව වටයකින් දෙකකින් ඉතා ඉහළ මිලකට ඩීසල් සහ පෙට්‍රල් ඇතුළු සියලු ඉන්ධන මිල ඉහළ දාන්න තමයි ඔය කුරුමානම් අල්ලන්නේ, නහයෙන් අඬාගෙන එන්නේ.”

IMF වෙතින් ලැබෙන ණය මුදල් සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඔහු, එම ණය සහනදායී ණය නොවන බවත්, සැඟවුණු ගාස්තු සහ පොලී අනුපාත එකතු කළ විට එහි සැබෑ පිරිවැය ඉහළ මට්ටමක පවතින බවත් කියා සිටියේය.

කෙසේ වෙතත්, සිය දේශනයේ වැඩිම අවධානය යොමු කළේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හා ව්‍යාපාරික ප්‍රභූන් අතර ඇති බව ඔහු චෝදනා කරන සම්බන්ධතාවය පිළිබඳවය.

රටේ නිෂ්පාදන ආර්ථිකය හෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නංවාලීමට හා එමගින් රටට අ කිසිදු උපායමාර්ගික පියවරක් නොගන්නා වත්මන් පාලනය, රටේ ඉන්නා මහා පරිමාණ ධන කුවේරයන් සන්තර්පණය කිරීම සඳහා අහිංසක විදේශ ශ්‍රමිකයන්ගේ ලේ, කඳුළු විකුණමින් සිටින බව කියමින් වීරවංශ මහතා එල්ලකළ විවේචනය සුළුප‍ටු නොවීය.

“බොහෝම අමාරුවෙන්, “අත් රෝස පාට වෙනකන්” පිඟන් හෝදලා, නොවිඳිනා දුක් විඳලා මැදපෙරදිග සේවය කරන අපේ අම්මලා, තරුණ දරුවන් එවන ඩොලර් සොච්චම ඩඩ්ලි සිරිසේනලාට ‘රෝල්ස් රොයිස්’ ගේන්න, තව අනිත් හාල් මුදලාලිට ‘චොපර්’ (හෙලිකොප්ටර්) ගේන්න පුච්චන්න ඉඩහදලා දුන්නා. මේ තියෙන ඩොලර් ටිකවත් අත්‍යාවශ්‍ය උවමනාවන් වෙනුවෙන් පරිස්සමෙන් පාවිච්චි කරනවා වෙනුවට මේ රටේ ඉන්න ප්‍රකෝටිපතියන්ට ඕන විදියට ඒ ඩොලර් ටික මිලියන ගණනින් බිලියන ගණනින් පුච්චන්න ඉඩකඩ හදලා දුන්නා. මේක පාපයක්!

රටට විදේශ විනිමය උපයා දෙන විදේශගත ශ්‍රමිකයන් දැඩි දුෂ්කරතා මැද උපයන ඩොලර්, සුඛෝපභෝගී වාහන හා අධි වටිනාකම් සහිත භාණ්ඩ ආනයනය සඳහා වැය කිරීමට ඉඩ ලබාදී ඇති බවට චෝදනා කළ ඔහු, එමඟින් ඩොලර් සංචිත මත අමතර පීඩනයක් එල්ල වී ඇති බව ද පැවසීය.

ඔහුගේ චෝදනාව වූයේ රටේ පවතින සීමිත විදේශ විනිමය අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා භාවිතා කරනවා වෙනුවට, ආණ්ඩුවට සමීප ධනවත් පිරිස් සඳහා සුඛෝපභෝගී පරිභෝජනයට අවස්ථාව සලසා දී ඇති බවයි.

“විදේශගත ශ්‍රමිකයන්ගේ කැපවීමෙන් ලැබෙන ඩොලර් ටික රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට යෙදවිය යුතුයි. ඒ වෙනුවට ගජමිතුරන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ඉඩ සලසනවා නම්, අවසානයේ එහි බර පැටවෙන්නේ සාමාන්‍ය ජනතාවගේ කර මතයි,” යනුවෙන් වීරවංශ මහතා සඳහන් කළේය.

එමෙන්ම රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන හා බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ පිරිවැය සහ ආනයන මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ජනතාවට තවදුරටත් බදු හා ගාස්තු බර දරාගැනීමට සිදුවන බව ද ඔහු අවධාරණය කළේය.

ආණ්ඩුවේ වත්මන් ආර්ථික ගමන් මඟ ජනතා අපේක්ෂාවන්ට පටහැනි බව පෙන්වා දුන් වීරවංශ මහතා, දේශීය නිෂ්පාදනය දිරිමත් කිරීම, ආනයන මත යැපීම අඩු කිරීම සහ විදේශ විනිමය ඉපැයීමේ නව මාර්ග සොයා ගැනීම රට ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය බව ද සඳහන් කළේය.

විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදීන්

ඇසූ ප්‍රශ්න හා 

ඔහු ඒව‍ාට ලබාදුන් පිළිතුරු.

ප්‍රශ්නය: අර මිලියන 695 ක ණය මුදල සහ ඒකේ 5.5 පොලිය ගැන මොකද හිතන්නේ?

පිළිතුර: ඕක හම්බවුණේ 5.5 පොලියට කිව්වට ඕකේ හංගපු පොලියකුත් අගයකුත් තියෙනවා, හංගපු නැති අගයකුත් තියෙනවා. මම ඒ අතරම කිව්වනේ ඕක තෙල් නැවතුණ එකේ සල්ලි කියලා. ඕකෙන් මේ තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්ද? ආණ්ඩුවට වෙන ප්‍රවෘත්තියක් නැහැනේ. මම දැක්කා අර අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහගෙන, තූර්යවාදක කණ්ඩායමකුයි ජාතික කොඩියයි ඔක්කොම උස්සගෙන ඉස්කෝලෙක වැසිකිළියකට මුල් ගල තියන්න යනවා. අවුරුදු 70 ක ඉතිහාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉස්කෝලෙක වැසිකිළියකට මුල් ගල තියන්න ගිහින් නැහැ. කරුමේ කියන්නේ අර දරුවෝ... බුලත් දීලා පිළිගන්නවා, තූර්ය වාදනය ගහනවා, ජාතික කොඩිය ඔසවනවා ටොයිලට් එකට මුල් ගල තියන්න. අන්න ඒ වගේ "පුංචි ලෝකෙක" ඉන්න කට්ටියට ඔය ඩොලර් මිලියන හයයි දශම ගාණ හම්බවුණාම මාර භාග්‍යයක් තමයි. ඒ... පුංචි මොළවලට ඒවා එහෙම වුණාට අපිට නම් ඕක තෙල් නැවතුණ සල්ලි විතරයි.

ප්‍රශ්නය: රුපියල් ට්‍රිලියන 30 කට වඩා ණය බරක් තියෙන රටකට

මේක සහනයක් නෙවෙයිද?

පිළිතුර: රුපියල් ට්‍රිලියන 30 කට වඩා ණය බරක් තියෙන රටක්, තව අලුතින් ණය එකතු කරගෙන "චූන්" වෙනවා නම් ඒ වගේ මෝඩයෝ තවත් නැහැ. කවුරු හරි සහනයක් කියලා කියනවා නම් ඒ වගේ මොළේ අමාරුවක් තියෙන කෙනෙක්ව වහාම පරීක්ෂා කරන්න ඕනේ. ඕක ආවම සාමාන්‍යයෙන් මූල්‍ය වෙළඳපොළට පුංචි මනෝවිද්‍යාත්මක බලපෑමක් තියෙන්න පුළුවන්, ඒක මම නැහැ කියන්නේ නැහැ. හැබැයි ඒක හැරෙන්න වෙන කිසිම බලපෑමක් නැහැ. මොකද අපි ඉන්න ඩොලර් අර්බුදයත් එක්ක හිතුවම... ඕක "ලුණු බිකක්" විතරයි.

ප්‍රශ්නය: එතකොට මේ යන විදිහට ආර්ථිකය

ගොඩ ඒමක් ඇති වෙයිද?

පිළිතුර: කොහේද ගොඩ යන්නේ? ඕනෑම නායකයෙක්ට මම ආරාධනා කරනවා ඕනෑම වාදයකට එන්න කියලා, හැබැයි ඒගොල්ලෝ එන්නේ නැහැ. අපිට තියෙන්නේ විදේශ විනිමය අර්බුදයක්. සංචාරක ව්‍යාපාරය අඩු වෙච්ච ගමන් අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. ලෝකේ කොහේ හරි සමුද්‍ර සන්ධියක මොකක් හරි කචල්ලක් වෙච්ච ගමන් අපිට මෙහේ ඇහෙනවා. ඒ කියන්නේ අපි වෙන තැන් මත "ඩිපෙන්ඩ්" වෙන රටක්. ඒකෙන් එළියට එන්න ඕනේ. විදේශීය නිෂ්පාදන පරිභෝජනය නවත්තලා දේශීයව නිපදවන්න ඕනේ. දේශීයව නිපදවන ඒවා පරිභෝජනය කරන්න සමාජය හැඩගස්වන්න ඕනේ. ඒවට... අවශ්‍ය අඩු මිල බලශක්තිය දෙන්න ඕනේ. එහෙම ක්‍රමවේදයක් කොහේද තියෙන්නේ? තව ණයක් අරගෙන ණය බර තව වැඩි කරගත්තම ගොඩ ඒමක්ද? ඒ කරන්නේ අනාගත පරපුරට මීට වඩා බරක් ඉතුරු කරන එකයි. මේ යන්නේ ගොඩ එන මගක නෙවෙයි "වැළලෙන මගක". ලබන අවුරුද්දේ මාර්තු වෙද්දී IMF ගිවිසුම ඉවර වෙලා, හොම්බ බිම ඇනිලා, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඊළඟ භයානක IMF ගිවිසුමට යටත් කරගන්නයි මේ හදන්නේ. මේක නොතේරී අන්ධයෝ ගොළුවෝ වගේ යනවා නම් ප්‍රපාතයට වැටිලා වැළලෙනකම් ඒ අයට තේරෙන්නේ නැහැ.

ප්‍රශ්නය: ඉතින් වෙන යන්න පාරක් නැහැ නේද?

පිළිතුර: කවුද කියන්නේ IMF විතරයි කියලා? රනිල් වික්‍රමසිංහ බලන්නේ IMF ප්‍රින්සිපල්ගෙන් ලකුණු ගන්න පන්ති කාමරේ ඉන්න ළමයෙක් වගේ. එයා ඉන්නේ ඒ "මොන්ටිසෝරි මානසිකත්වයේ". අනුර කුමාර දිසානායකත් දැන් ඒ පාරේම යනවා, එයා ඒකට වැඩිය හොඳයිලු. රනිල්ට පුළුවන් නම් මෙයාලටත් පුළුවන් කියනවා. මෙයාට 100 න් 100 ඕනේ නැහැ 70 ක් ගත්තත් ඇතිලු. ඒකේ ලොකු හරයාත්මක වෙනසක් නැහැ, සරල වෙනසක් විතරයි. මෙයා වෙන පාරක් කපයි කියලා හිතුවට එහෙම කරන්නේ නැහැ, අරයටත් වඩා නගුට වනවන ගමන් ඔය පාරේමයි යන්නේ. ඉතින් කොහොමද ගොඩ එන්නේ?

ප්‍රශ්නය: ඒ කියන්නේ පිරිවැය තවත් වැඩි වෙනවා කියන එකද?

පිළිතුර: නිසැක වශයෙන්ම. ආණ්ඩුව ඇඟෙන් කඩන්නේ ඒකනේ. ජනාධිපතිවරයායි මහ බැංකු අධිපතියි IMF එකට යවපු ලියුමේ තියෙනවා පිරිවැය අනුව විදුලිය සහ ඉන්ධන දෙන්න එකඟයි කියලා. ඉතින් වැඩි වෙන පිරිවැය අපේ කරපිට පටවනවා. කැමති නම් අර "සැපයි සැපයි" කියන ජෙපි කට්ටිය වගේ උඩ පටවන තරමට ජොලි කියලා ඉන්න තමයි වෙන්නේ.

ප්‍රශ්නය: ඔබතුමාලා යෝජනා කරන ආර්ථික ක්‍රමවේදය මොකක්ද?

පිළිතුර: පළමුවෙන්ම ඔබ විශ්වාස කරන එකක් නැහැ, අන්තර්ජාලයට ගිහින් බලන්න "එල් සැල්වදෝරය" කරපු දේ. ඒගොල්ලෝ ණය බරින් පීඩිත වෙච්ච වෙලාවේ IMF ගියේ නැහැ. චීනය එක්ක සාකච්ඡා කරලා උපායමාර්ගික එකඟතාවයකට ඇවිත් තමන්ගේ ණය චීනයට වික්කා. ඒ කියන්නේ චීනය ඒ ණය හිමියන්ට නියමිත වෙලාවට ගෙවනවා. එල් සැල්වදෝරය චීනයට දීර්ඝකාලීනව තමන්ට දැරිය හැකි ප්‍රමාණයක් අවුරුද්දට ගෙවනවා. ඒකයි නියම ණය ප්‍රතිව්‍යුහගතකරණය. එතකොට වාර්ෂිකව ගෙවන්න ඕන ඩොලර්... ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි බංකලොත් වුණේ නැහැ. මේවා හොයලා බලන්න පුළුවන් ක්‍රම.

ප්‍රශ්නය: වෙනත් විකල්ප මොනවද තියෙන්නේ?

පිළිතුර: අපි රුසියාවෙන් තෙල්, බලශක්තිය, පොහොර ගන්නේ නැහැ. මොකද IMF එක්ක ඉන්නකොට ඇමෙරිකාව කොන් කරලා තියෙන රටවල් එක්ක යන්න බැහැ. ඉන්දියාව රුසියාවෙන් අඩුවට තෙල් අරන් අපිට වැඩි මිලට විකුණනවා. අපිට තිබුණා "G2G ගිවිසුම්" ගහලා රුසියාවෙන් අඩුවට තෙල්, පොහොර, ගෑස් ගන්න. ඒගොල්ලෝ සහන කාලෙකුත් දෙන්න ලෑස්තියි. බලශක්ති අර්බුදයට සෝලා පද්ධති සහ බැටරි පද්ධතිවලට වහාම යන්න ඕනේ. ඒකට බිලියනයක් වියදම් කරත් ඒක ඉතිරි කිරීමක්. දේශීය කර්මාන්ත වඩවලා ආනයනය අඩු කරලා ආදායම වැඩි කරගන්න... ඕනේ. එහෙම නැතුව දවසේ සතුට පතා ණය අරන් ඒවා රෝල්ස් රොයිස් වලටයි චොපර් වලටයි පුච්චනවා නම් කිසිම සුගතියක් නැහැ.

ප්‍රශ්නය: අර සංගීත් මහත්තයා ගැන මොකක්ද කිව්වේ?

පිළිතුර: සංගීත් මහත්තයා බොරු කියනකොට කොණ්ඩේ නැති වුණත් ඔලුව කහනවා. ඒක බොරු කියනකොට එන "බොඩි ඇක්ෂන්" එකක්, අංග ලක්ෂණයක්.

ප්‍රශ්නය: ඔබතුමන්ලත් "ජනතාවාදී විපක්ෂය" එක්ක ඉදිරියේදී එකතු වෙනවද?

පිළිතුර: මේ වැරදි පාරේම යන අය එක්ක නම් අපි එකතු වෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ මාර්තු වෙද්දී මේ ගමනේ ශේෂ පත්‍රය ඉස්සරටත් වඩා හපන් වෙනවා. හැබැයි මේ වැරදි මාර්ගයට එරෙහිව තියෙන පොදු සටන්වලට අපි සහභාගී වෙනවා. දේශපාලන ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච සංවිධානයක් හැදෙනවා නම් ඒක වෙන්න ඕනේ විකල්ප ආර්ථික උපාය මාර්ගයක් ජයග්‍රහණය කරවන්නයි. දැන් "සුපර් මෑන්ලාගේ" කාලේ ඉවරයි. අවශ්‍ය වෙන්නේ විකල්ප ප්‍රතිපත්තියක් මත වැඩ කරන ටීම් එකක්. ඒකට අවංකව එන අය එක්ක සාකච්ඡා කරලා දේශපාලන එකඟතාවයන් ඇති කරගන්න අපි සූදානම්.

ප්‍රශ්නය: ප්‍රධාන විපක්ෂය (සජබ) ගැන මොකද හිතන්නේ?

පිළිතුර: මේ ආණ්ඩුවට තියෙන ලොකුම "රක්ෂණය" ඔය කියන විපක්ෂයයි. ඒගොල්ලෝ පාද තබන්නේ ජනාධිපතිට නින්දෙන්වත් ඇහැරෙන්නේ නැති වෙන්න, පොඩි ශබ්දයක්වත් නොවෙන්නයි. එහෙම විපක්ෂයක් ඉන්න නිසයි ජනාධිපතිට මෙවැනි "නරුම තීරණ" පටවන්න පුළුවන් වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය: 2029 දී ඔබතුමාත් නායකත්වයට ඉදිරිපත් වෙනවද? ඒ සුදුසුකම් තියෙනවද?

පිළිතුර: සුදුසුකම් තීරණය කරන්නේ මහජනයා, මම ගැන මම කියන්න ඕනේ නැහැ. හැබැයි ඒ විශ්වාසය මට ඕනෑවටත් වඩා තියෙනවා. මහජනයා තමයි ඒක හරියටම තීරණය කරන්න ඕනේ.

ප්‍රශ්නය: ඔබ තේරුණොත් යන්නෙත් මේ පාරෙමද?

පිළිතුර: නිසැකවම මේ පාරේ නෙවෙයි. මූල්‍ය අරමුදල මත තීරණය වන ගමන නවත්තලා, බ්‍රික්ස් (BRICS) හවුල සමඟ හිටගෙන චීනය, රුසියාව, ඉන්දියාවේ සහයෝගයෙන් ණය බර කළමනාකරණය කරගෙන රට නව උපායමාර්ගික මගකට හරවනවා. ඒක කරන්නයි නායකයෙක් ඕනේ. නැත්නම් රනිල් ආවා, අනුර ආවා, සජිත් ආවා, නාමල් ආවා කියලා වැඩක් නැහැ, ඔක්කොම යන්නේ රනිල් සියා ගිය පාරේම නම්.

ප්‍රශ්නය: මහ බැංකුව මූල්‍ය වංචා ගැන දැනුවත් කිරීම් කරන එක ගැන මොකද හිතන්නේ?

පිළිතුර: මහ බැංකුව තියෙන්නේ අපිව දැනුවත් කරන්න විතරක් නෙවෙයි; වැරදි කරන මූල්‍ය ආයතනවලට නීතිය පාවිච්චි කරලා ඒවා නතර කරන්නයි. අපිට අහුවෙන්න එපා කියනවා, අරහේ මිනිහා ෂෝක් එකට වැඩේ කරගෙන යනවා. NDB බැංකුවෙන් රුපියල් බිලියන 13 කට වඩා රටෙන් එළියට යද්දී මහ බැංකුවේ පද්ධතියේ "රෙඩ් ෆ්ලග්" (Red flags) වැටෙන්න ඕනේ. ඒක ඒගොල්ලෝ... නොදැන ඉන්න බැහැ. එක්කෝ ඒගොල්ලෝ මේ වංචාවට සම්බන්ධයි, නැත්නම් පද්ධතිය ගැන කිසිම සැලකිල්ලක් නැහැ. දෙකම මාරන්තික වැරදියි.

ප්‍රශ්නය: මහ බැංකු අධිපති පලා යන්නේ නැහැ කියන කතාව ගැන?

පිළිතුර: පලා යන එක කලින් කියලා පලා යනවාද? ඒ ප්‍රශ්නය අහන එකත් මෝඩකමක්. පලා යන මිනිහා කවදාවත් ඔව් මම පලා යනවා කියන්නේ නැහැ. පලා යනවා කියන්නේ "පැදුරටත් නොකියා යන" එකටයි.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0