ගිය හකුරත් තියෙන හකුරත් දෙකම නැතිවන ලංකාවේ බලශක්ති පටලැවිල්ල....

රජයේ විදුලි ප්‍රතිපත්තිවල මෑත කාලීන වෙනස්වීම හේතුවෙන් ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ සිටින සූර්ය බලාගාරවලට හා කුඩා ජලවිදුලි බලාගාරවලට බරපතල අර්බුදයකට මුහුණපාන්නට සිදුව ඇතැයි විදුලිබල ‍ක්ෂේත්‍රයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකර සිටියි. මේ නිසා එම කර්මාන්ත ව්‍යාපාර කොටගත් ආයෝජකයින් බරපතළ පීඩනයකට පත්ව ඇතැයි කියවේ.

Feb 6, 2026 - 00:04
 22
ගිය හකුරත් තියෙන හකුරත් දෙකම නැතිවන   ලංකාවේ බලශක්ති පටලැවිල්ල....
විදුලිබල ආයෝජකයෝ ණය ගෙවන්නේ නැතිව බැංකු පද්ධතියත් බිද වැටෙයිද සැකයක්...

ගිය හකුරත් තියෙන හකුරත්

දෙකම නැතිවන 

ලංකාවේ බලශක්ති පටලැවිල්ල...

විදුලිබල ආයෝජකයෝ ණය ගෙවන්නේ නැතිව 

බැංකු පද්ධතියත් බිද වැටෙයිද සැකයක්...


රජයේ විදුලි ප්‍රතිපත්තිවල මෑත කාලීන වෙනස්වීම හේතුවෙන් ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ සිටින සූර්ය බලාගාරවලට හා කුඩා ජලවිදුලි බලාගාරවලට බරපතල අර්බුදයකට මුහුණපාන්නට සිදුව ඇතැයි විදුලිබල ‍ක්ෂේත්‍රයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකර සිටියි. මේ නිසා එම කර්මාන්ත ව්‍යාපාර කොටගත් ආයෝජකයින් බරපතළ පීඩනයකට පත්ව ඇතැයි කියවේ.


ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති සහ කුඩා ජල විදුලි නිෂ්පාදකයින් මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර, බැංකු ණය ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මෙරට බැංකු පද්ධතියම බරපතල අවදානමකට ලක්වීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. විදුලි බල මණ්ඩලය විසින් සති අන්තයන්හිදී සහ රජයේ නිවාඩු දිනවලදී විදුලිය මිලදී නොගැනීමත්, විදුලි ඒකකයක් ලබාගන්නා මිල අඩු කිරීමත් මෙම අර්බුදයට මූලික හේතු බව වාර්තා වී ඇත.


මෙම තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයින්ගේ තැන්පතු ද අවදානමට ලක්ව ඇති බව බැංකු ආරංචි මාර්ග පවසයි. සූර්ය බලාගාර සහ කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම සඳහා බැංකු මගින් ලබාදුන් ණය මුදල්වලින් 70%කට ආසන්න ප්‍රමාණයක් ආයෝජකයින්ට ලැබී ඇති අතර, මෙම ණය ගෙවීමට නොහැකි වීමෙන් බැංකුවල අනාගත ස්ථාවරත්වයට බලපෑම් එල්ල විය හැකි බව විශේෂඥයෝ අනතුරු අඟවති.


විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ පත්වීමෙන් පසුව මෙම ක්ෂේත්‍රයේ සැලකිය යුතු වෙනස්කම් සිදුවී ඇති බව සඳහන් වේ. ඒ අනුව, සූර්ය බලයෙන් ලබාගන්නා විදුලි ඒකකයක මිල රුපියල් 37 සිට රුපියල් 27 දක්වා අඩු කිරීමත්, ඉන් පසුව රුපියල් 17 දක්වා තවදුරටත් කප්පාදු කිරීමත් සිදුවී ඇත. මීට අමතරව, සති අන්තයන්හි (සෙනසුරාදා සහ ඉරිදා) සහ රජයේ නිවාඩු දිනවලදී විදුලිය මිලදී ගැනීම අත්හිටුවීම මෙම නිෂ්පාදකයින්ගේ ආදායම් මාර්ගයන්ට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.


"මෙම ප්‍රතිපත්ති වෙනස්කම් නිසා අපගේ ආදායම් අඩු වී ඇති අතර, බැංකු ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. මේක රටේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයටත් බලපෑමක්," යනුවෙන් සූර්ය බලශක්ති ආයෝජකයකු නිර්නාමිකව පැවසීය. මෙම අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති ආයෝජකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු බව වාර්තා වන අතර, වහල මත සවිකරන ලද සූර්ය පැනල් ඉදිකිරීම ඇතුළුව සූර්ය බලශක්ති නිෂ්පාදනය සඳහා එක්ලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසකට බැංකු මගින් ණය ලබාදී ඇති බවද සඳහන් වේ. එසේම, සූර්ය බලාගාර පවත්වාගෙන යන 360කට ආසන්න ආයෝජකයින් මේ වන විට ණය ගෙවීමට නොහැකි තත්ත්වයක පසුවෙමින් සිටිති.


මෙම බලාගාර ඉදිකිරීමේ වියදම් සැලකීමේදී, සාමාන්‍යයෙන් කුඩා ජල විදුලි බලාගාරයකින් මෙගාවොට් එකක් නිෂ්පාදනය සඳහා රුපියල් මිලියන 500කට ආසන්න මුදලක් වැය වන බවත්, සූර්ය බලශක්තියෙන් මෙගාවොට් එකක් නිෂ්පාදනය සඳහා රුපියල් මිලියන 350කට ආසන්න මුදලක් අවශ්‍ය වන බවත් ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති. මෙවැනි විශාල ආයෝජනයන් සඳහා බැංකු ණය යොදාගත් ආයෝජකයින්ගේ ආදායම් අඩුවීම මෙම අර්බුදය වඩාත් තීව්‍ර කර ඇත.


මේ අතර, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2025-2030 කාලය සඳහා පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය සඳහා සැලැසුමක් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කරගෙන ඇතත්, වත්මන් තත්ත්වය හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීම දුෂ්කර වනු ඇති බව ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසයි. ජාතික පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්තියට අනුකූලව, 2030 වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරාගැනීම සහ කාබන් උදාසීනතාවය ඇති කිරීමේ ඉලක්කයන් සැලසුම් කර ඇතත්, මෙම ප්‍රතිපත්ති වෙනස්කම් නිසා ආයෝජකයින් මැලිකමක් දක්වන බවද වාර්තා වේ.


මෙම අර්බුදයට විසඳුම් සෙවීම සඳහා රජය සහ විදුලි බල මණ්ඩලය කඩිනමින් පියවර ගත යුතු බව ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවෝ අවධාරණය කරති. එසේ නොවුණහොත්, නොඅඩුව බැංකු පද්ධතියේ ස්ථාවරත්වයට බලපෑම් එල්ල වීමත්, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේ පසුබෑමක් සිදුවීමත් අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බව ඔවුහු පෙන්වා දෙති. මෙම තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු ලැබෙන තුරු, ආයෝජකයින්ගේ අනාගතය අඳුරු බව පැහැදිලි වී ඇත.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0