උසාවියේ “හබ” වන ඉමියුනොග්ලොබියුලින් නඩුවේ තවත් රසබර උණුසුම් සංවාද...

“ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ මිලදී ගැනීමට අදාල සියලුම ලේඛන අඩංගු ගොනු සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොළඹ ස්ථිර ත්‍රී  පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (02) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට නියෝග කළේය.” 

Feb 3, 2026 - 12:19
 44
උසාවියේ “හබ” වන  ඉමියුනොග්ලොබියුලින් නඩුවේ  තවත් රසබර උණුසුම් සංවාද...

කෙහෙලියගේ (ඉමියුනොග්ලොබියුලින්) නඩුවේ 

අලුත්ම තත්ත්වය හැමදාම කියවන්න

උසාවියේ “හබ” වන

ඉමියුනොග්ලොබියුලින් නඩුවේ

තවත් රසබර උණුසුම් සංවාද...

නි/සො/ජෙ ලක්මිණි ගිරිහාගම මෙ‍ෙනවිය ; මට විත්තියේ නීතිඥවරුන්ගේ උපදෙස් ඕන නැහැ. මම නැවත ප්‍රශ්න අහන්නේ ලේඛන උපයෝගී කරගෙනයි. ඕන කෙනෙකුට පුළුවන් ඒවා පරීක්ෂා කරන්න ඒවා අධිකරණයේ තියෙනවා. 

නීතිඥ අමිත ආරියරත්න මහතා ; මම අහපු ප්‍රශ්න අග, මුල, මැද එකතු කරලයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්තුමිය ප්‍රශ්න අහන්නේ. ඇය අදහස් කරන ප්‍රශ්නය මම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්නයක් ලෙස අහලා නෑ. එතුමිය කෑලි මූට්ටු කරලයි නැවත ප්‍රශ්න අහන්නේ.

මේ දිනවල “නඩුහබ” ගැන සමාජයේ කතා බස් බොහෝය. නඩු හබ යන වචන දෙක එක ළඟ එක වචනයක් සේ ගොනු වූවාට “නඩු” සහ “හබ” යනු වචන දෙකක් බව පැහැදිලිය.


නඩුවක් යනු එකකි. හබ කිරීමක් යනු තවත් එකකි. නඩුවක් “හඹ කිරීම” යනුවෙන් නීතිඥයන්ගේ පාරිභාෂික වචන කෝෂයේ ව්‍යවහාරයට ලක්වන්නේ නඩුකරයක් උසාවිය ඇතුළේ තර්ක විතර්ක සහ ප්‍රතිතර්ක නැගෙමින් “විවාදයට ලක් කිරීමේ” අවස්ථාවයි.


මේ දිනවල උසාවියේ ඇසෙන ඇතැම් නඩු, “හබ කෙරෙන්නේ” උසාවියටත් වඩා සමාජ මාධ්‍යයේ ය. හොඳම උදාහරණය පසුගිය දිනවල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඇසුණු රනිල් වික්‍රමසිංහගේ “එංගලන්ත විදේශ සංචාරය” පිළිබඳ නඩුවයි. මේ නඩුව සම්බන්ධයෙන් උසාවියේ හබයටත් වඩා හබයක් ඇති වූයේ සමාජ මාධ්‍ය තුළයි...


පූර්විකාවක් ලෙස ඒ ගැන කීවත් අද අපි කතා කරන්නේ උසාවිය ඇතුලේ මේ දිනවල දිනපතා හබ කෙරෙමින් ඇසෙන ඉතා රසවත් ඉතා උණුසුම් සුප්‍රකට නඩු විභාගයක් ගැනය. ඒ වූ කලී කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණයේ විමසෙන “කෙහෙළියගේ බාල බෙහෙත්” නඩුව හෙවත් “ඉමියුනොග්ලොබියුලින්” නඩු විමසමයි.


මහජන මුදල් රුපියල් කෝටි දාහතරක් අවභාවිත කරමින් මේ රටට ප්‍රමිතියෙන් තොර බාල එන්නත් ගෙන්වූ බවට චෝදනා එල්ල කරමින් කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු දොළොස් දෙනකුට එරෙහිව දිනපතා ඇසෙන නඩුකරයේ තවත් එක් “රසවත් හබ කිරීමක්” අපි දැක ගත්තේ පසුගිය (02) දෙවැනිදා කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණයේදීය...


සැබවින්ම මෙය නීතිය පිළිබඳ හදාරණ බොහෝ විද්‍යාර්ථීන්ට පවා ඉතා වැදගත් නඩු හබ කිරීමක් වනුයේ අදාළ නඩුකරයට අදාල විත්තිකරුවන් 12 දෙනා වෙනුවෙන් ලංකාවේ නමගිය නීති විශාරදයින් ගණනාවක්ම මේ “හබකිරීම” වෙනුවෙන් දායක වී සිටීම නිසාය. රජය වෙනුවෙන් විත්තිය මෙහෙයවමින්  නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණ සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියගේ මැදිහත්වීමද මෙම හබය උණුසුම් කිරීමට හා රසවත් කිරීමට තවත් එක් හේතුවක් නොවූවා යැයි කාට නම් කිව හැකිද.


ඊයේ (02) දිනයේ කැපී පෙනෙන්නට තිබූ විශේෂත්වය වූයේ නඩුකරය ඔස්සේ දිගහැරෙන සාක්කි විභාගයේ මතුවන කරුණු කාරණාවලට වඩා මෙවන් නඩුකරයකදී උසාවියේ නීතිවේදීන්ගේ, විනිසුරුවන්ගේ, විත්තිකරුවන් මෙන්ම සාක්ෂිකරුවන් අනුගමනය කළ යුතු වෘත්තීය ආචාර ධර්ම හා මානව ගුණධර්ම ගැන අලුත් අලුත් පාඩම් හා අලුත් අලුත් සංකල්ප නඩුකරය ඇතුළේ සාකච්ඡාවට හා විවාදයට ගැනුණු නිසා ය...


මෙහිදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් උගත් නීතිඥවරු පිරිසකුත් පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් නඩු කටයුත්ත මෙහෙයවමින් කටයුතු කළ නීතිපති දෙපාර්තමේන්තුවේ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ඇතුළු නීතිවේදීනුත් අතර ඇති වූ අභියෝගාත්මක සංවාද බොහෝ විට උණුසුම් සේම රසවත්ද වූහ.


ඖෂධ වර්ග හැට හයක් ඇතුළත් වූ අදාල ඖෂධ තොගය ලංකාවට ගෙන ඒම සම්බන්ධ ක්‍රියාවලිය වන විට අපේ රටේ මූල්‍ය අර්බුදයක් තිබූ බැවින්  බොහෝ විට රජයට අවශ්‍ය මිලදී ගැනීම් සිදු කරනු ලැබුවේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ බව රහසක් නොවේ. ඉන්දියානු ඖෂධ හා වෙනත් බඩු භාණ්ඩ වුවත් අපට ගත හැකිවූයේ ඉන්දියානු නයයෝජනා ක්‍රමය යටතේ ඇති කොන්දේසි ප්‍රකාරව ඉන්දියානු ආයතනවලින් හා ඉන්දියාවෙ නිෂ්පාදනවලින්ය. මෙම කොන්දේසි නිසා අපට බරපතල ගැටලුවලට මුහුණ පාන්නට සිදුවූ අවස්ථා බොහොමයක් වෙති. මෙම ඖෂධ සිද්ධිය ද ගැට ගැසී ඇත්තේ ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ වූ බැවින්, උසාවිය මේ හබයේදී ඒ ගැනද අවධානය යොමු කළේය. 


මේ ගැන සාකච්ඡා කරමින් පවතිද්දී ගරු අධිකරණයේ විනිසුරුතුමන්ලා මෙසේ එම කාරණාව ගැන අවධානය යොමු කළහ...


“ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ මිලදී ගැනීමට අදාල සියලුම ලේඛන අඩංගු ගොනු සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොළඹ ස්ථිර ත්‍රී  පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (02) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට නියෝග කළේය.” 


තම අධිකරණය නැවත නියෝගයක් කලහොත් එකී ඖෂධ ප්‍රසම්පාදනයට අදාළ ලේඛන අඩංගු ලිපිගොනු තම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසටද ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේය. 


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14 කට අධික මුදලක් වංක ලෙස ව්‍යාසහරණය කිරීම ඇතුළු චෝදනා දහතුනක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (2) දිනයේත් පැවති අතර, පැමිණිල්ලේ 213 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් ප්‍රසම්පාදන ලෙස එවකට රාජකාරි කල වර්තමාන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් යුනූස් ලෙබ්බේ මොහොම්මදු නවවි මහතා දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා වැඩිදුරටත් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. 


දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා පැමිණිල්ලේ එම සාක්ෂිකරුගෙන් සිව්වන දිනටත් හරස් ප්‍රශ්න අසමින් එම සාක්ෂිකරු විසින් 2022 වසරේදී හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සඳහා සාක්‍ෂිකරු විසින් සිදුකළ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විමසා සිටියේය. 


එකී ණය ක්‍රමය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ මිලදී ගැනීමට අදාළව සිදුකළ මිල කැඳවීම්, එලෙස මිලදී ගැනීමට අපේක්‍ෂා කළ ඖෂධ හා වෛද්‍ය උපකරණ පිළිබඳ විමසූ ජනාධිපති නීතීඥවරයා එකී ලේඛන සාක්ෂිකරු මගින් විත්තියේ ලේඛන ලෙස අධිකරණය හමුවේ සලකුණු කිරීමටද පියවර ගත්තේය. 


ඖෂධ මිලදී ගැනීමට අදාලව නිකුත් කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2008 දෙවන සංශෝධන අත්පොත සාක්ෂිකරුට ඉදිරිපත් කොට ඒ පිළිබඳව දැනුවත් දැයි සාක්ෂිකරුගෙන් විමසා සිටි ජනාධිපති නීතිඥවරයා එකී අත් පොත විත්තියේ සාක්ෂියක් ලෙස සාක්ෂිකරු ලකුණු කිරීමටද පියවර ගත්තේය.  එමෙන්ම පෙර කී ආසියානු සංවර්ධන බැංකු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට පත්කළ ඇගයීම් කමිටු සාමාජිකයන් පිළිබඳව ද ජනාධිපති නීතිඥවරයා සාක්‍ෂිකරුගෙන් විමසා සිටි අතර මේ මොහොත වන විට එම කමිටු සාමාජිකයින්ගේ නම් තමාට පැහැදිලි මතකයක් නොමැති බව සාක්ෂිකරු පැවසීය. 


ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; මෙම සාක්ෂිකරුගෙන් තවදුරටත් හරස් ප්‍රශ්න ඇසීමට මට අවශ්‍යයි. නමුත් මොහුට පෙර පැමිණිල්ලේ දොළොස්වන සාක්ෂිකාරිය ලෙස මෙම අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂ්කා විමලජීව මහත්මියගේ සාක්ෂිවල පිටපත් අපිට තවමත් ලැබී නැති නිසා එම හරස් ප්‍රශ්න ඇසීම මා අවසන් කරනවා. මගේ ඉල්ලීම පරිදි ඔබතුමාලාගේ ගරු අධිකරණය කැඳවූ මෙකී ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදනවලට අදාල ලේඛන සුරක්ෂිතව තබන ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා සිටිනවා. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය ; ස්වාමීනී මේ නඩුවේ සාක්ෂි විභාගය පැවැත්වීමට පෙර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වූවා. එතනදී පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතු සියලු ලේඛන ලබාදීලා තියෙන්නේ. එකී ලේඛන විත්තිය භාරයේ තිබූ නිසා ඔවුන්ට දැනුවත්භාවයක් තිබිය යුතුයි මෙම සාක්ෂිකරු ලබාදෙන්නේ කුමන කරුණු ගැනද කියලා. 


එහෙම වුණත් විත්තිය මෙම සාක්ෂිකරු ලබාදෙන සාක්ෂිවලට අදාළ ලේඛන කිසිවක් ඉල්ලා සිටියේ නැහැ. දහවන විත්තිකරු වෙනුවෙන් ප්‍රශ්නගත ඖෂධ 66ට අදාල ලේඛන සහිත ගොනු ඉල්ලා සිටියේ මේ සාක්ෂිකරුගේ සාක්කිය මේ අධිකරණය හමුවේ ආරම්භ කළාටත් පසුවයි. ගරු අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව පැය පහක කාලයක් ඇතුළත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නඩු ගොනු කීපයක් අධිකරණයට ගෙනත් දුන්නා. 


දොළොස් වන සාක්ෂිකාරියගේ සාක්‍ෂි සටහන් නෑ කියලා මෙම සාක්ෂිකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න අහන්න අමාරුයි කියලා විත්තියේ උගත් නීතිඥ මහත්තයා කියනවා. විත්තියට එහෙම විශේෂත්වයක් දක්වන්න ඕන නෑ. විත්තියටත් පැමිණිල්ලටත් දෙපැත්තටම සාධාරණ විය යුතුයි. සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා මෙවැනි සංකීර්ණ නඩුවක සාක්ෂි සටහන් එදිනෙදා දීමට නොහැකි බව. කුමන පාර්ශ්වයක් නියෝජනය කළත් නීතිඥවරයෙකුගේ උතුම් කාර්යය විය යුත්තේ අධිකරණයට සහය වීමයි. ප්‍රථම කොට අධිකරණයට සහාය දක්වලා තමයි තම සේවාදායකයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිය යුත්තේ. 


අධිකරණය ; දසවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාට මෙම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට පුරා දින හතරක්ම ලබාදී තිබෙනවා. දොළොස්වන පැමිණිල්ලේ සාක්ෂිකාරියගේ සාක්ෂි සටහන් ලබා ගැනීමට නොහැකි වීම නිසා මෙම සාක්ෂිකරුගෙන් තවදුරටත් හරස් ප්‍රශ්න ඇසීමට නොහැකි බවට කරන ප්‍රකාශය මගින් පෙන්වා දෙන පරිදි විත්තියට “අගතියක් සිදුවී නැති බව” අධිකරණයට පෙනී යනවා. විත්තිය එකී ඉල්ලීම කර ඇත්තේ ආරක්ෂිත පියවරක් ලෙසින් බවයි අධිකරණයේ නිගමනය. 


එබැවින් එය පිළිගත නොහැකි ඉල්ලීමක් ලෙස සලකා එය ප්‍රතික්ෂේප කරනවා. මෙම සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් සකස් කොට ඇති බවත් ඒවා විත්තියේ නීතිඥවරුන් ලබා ගැනීමට ඉල්ලීමක් කර නැති බවත් අධිකරණ රෙජිස්ටාර්වරිය කියනවා. විත්තියේ හරස් ප්‍රශ්න අහලා අවසන් වූ පසු පැමිණිල්ලේ නැවත ප්‍රශ්න අහන්නත් සැලකිය යුතු කාලයක් යනවා. අපරාධ නඩු විභාග සංග්‍රහයේ පනත යටතේ දිනපතා විභාග කරන නඩුවක සාක්ෂි සටහන් එදාම නිකුත් කරන්න බැහැ. 


දොළොස්වන විත්තිකාර ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් රාජසිංහ ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතාගේ  කනිෂ්ඨ නීතිඥවරයා එම විත්තිකරු වෙනුවෙන් අදාළ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න නොඇසන බව අධිකරණයට දැනුම් දුන්නේය.  


ඒ අනුව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය 213 වන පැමිණිල්ලේ සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබතුමා ලබා තිබෙන අධ්‍යාපන සුදුසුකම්, ඉගෙනගත් විද්‍යාලය, කරපු රැකියා, ප්‍රසම්පාදනය පිළිබඳව ඉන්දියාවෙන් ලබපු පුහුණුව හා ප්‍රසම්පාදනයට අදාළ විශේෂඥභාවය යනාදී සියලු තොරතුරු විත්තියේ නීතිඥවරුන් ඔබෙන් ඇසුවා නේද මහත්මයා. 


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී.


නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; පැ 54 හා පැ 55  දරන ලේඛන ඉදිරිපත් කරමින් ඔබෙන් ප්‍රශ්න ඇසුවා. දස වන චූදිතට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරයක් ලබාදීමට කැබිනට් සන්දේශය හා ඊට අනුමැතිය ලබාදීමේ ලිපියක් ඉදිරිපත් කරමින් දසවන චූදිතට අතිරේක ලේකම් ධූරයක් ලබාදීමට අදාලව හයවන චූදිත වෙත ලැබුණ ලිපිත් ඉදිරිපත් කරමින් ඔබෙන් ප්‍රශ්න ඇසුවා. 


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි කිරීමෙන් පසුව දසවන විත්තිකරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරකට පුද්ගලිකව පත්කිරීමට අදාලවත් ඔබෙන් ඇසුවා. 


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී. යම් අමාත්‍යාංශයක ස්ථිර තනතුරක් දැරූ එම විත්තිකරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පුද්ගලිකව පත්කිරීම සිදුකරන්න පුළුවන්. අපේ අමාත්‍යාංශයේ තනතුරක් ඇති කරලා එයා විශ්‍රාම යනතුරු එම තනතුරට පුද්ගලිකව පත් කරන්න කියලයි එමගින් අනුමැතිය දාලා තිබුණේ. 


ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ලබා ගැනීම සඳහා තමා ප්‍රසම්පාදන කටයුතු සිදුකළත් ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය කාර්යාලය විසින් එකී ක්‍රියාවලිය අනුමත නොකිරීම නිසා එකී ඖෂධ මිලදී ගැනීමක් සිදු නොවූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දීර්ඝ ලෙස නැගූ නැවත ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම සාක්ෂිකරු පැවසීය. 


නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය එම සාක්ෂිකරු වෙත විවිධ ලේඛන ඉදිරිපත් කරමින් නැවත ප්‍රශ්න නගන අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය සාක්‍ෂිකරු වෙත උත්තර සමග ඉදිරිපත් කරමින් හා විත්තිය නැගූ හරස් ප්‍රශ්න විකෘති කරමින් සාක්‍ෂිකරුගෙන් නැවත හරස් ප්‍රශ්න අසන බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල, අමිත ආරියරත්න, රහුල් රුවිහාර ජයතිලක, ඉසුරු ජයවර්ධන හා අසේල සේරසිංහ යන නීතිඥවරුන් අදහස් දැක්වූහ. 


නි/සො/ජෙ ලක්මිණි ගිරිහාගම මෙ‍ෙනවිය ; මට විත්තියේ නීතිඥවරුන්ගේ උපදෙස් ඕන නැහැ. මම නැවත ප්‍රශ්න අහන්නේ ලේඛන උපයෝගී කරගෙනයි. ඕන කෙනෙකුට පුළුවන් ඒවා පරීක්ෂා කරන්න ඒවා අධිකරණයේ තියෙනවා. 


නීතිඥ අමිත ආරියරත්න මහතා ; මම අහපු ප්‍රශ්න අග, මුල, මැද එකතු කරලයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්තුමිය ප්‍රශ්න අහන්නේ. ඇය අදහස් කරන ප්‍රශ්නය මම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්නයක් ලෙස අහලා නෑ. එතුමිය කෑලි මූට්ටු කරලයි නැවත ප්‍රශ්න අහන්නේ. 


අධිකරණය ; හරස් ප්‍රශ්න නැවත අහන එක නෙමෙයි නැවත ප්‍රශ්න අහනවා කියන්නේ.


නීතිඥ අමිත ආරියරත්න මහතා ; මම අහපු හරස් ප්‍රශ්න එයාට ඕන විදිහට එකතු කරලා නැවත ප්‍රශ්න ලෙස අහන්න බෑ. මගේ විරෝධතාවය සටහන් කර තබන්න. 


අධිකරණය ;  විත්තිකරුවන් වෙනුවෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවල සාමාජිකයන් ගැන හරස් ප්‍රශ්න අසා තිබෙනවා. 11 වන විත්තිකරු වෙනුවෙන් එවැනි ප්‍රශ්න අසා නැති වූවද එම නැවත ප්‍රශ්න කිරීම්වලට ඉඩ දෙනවා. ඔය ඔක්කොම ප්‍රශ්න එක ප්‍රශ්නයකින් අහන්න බෑ නේ. 


නීතිඥ චමින්ද අතුකෝරළ මහතා ; සාක්ෂි ආඥා පනත අනුවයි නැවත ප්‍රශ්න නගන්න පුළුවන්. සාක්ෂි ආඥා පනත අනුවයි නැවත ප්‍රශ්න අහන්න ඕනා. එහෙම නැත්නම් සාක්ෂි ආඥා පනත ඉවත් කරලා නැවත ප්‍රශ්න අහන්න ඕනා. 


නීතිඥ අසේල සේරසිංහ මහතා ; නැවත ප්‍රශ්න අසන සීමාවෙන් පැනලයි ඔබතුමිය ප්‍රශ්න අහන්නේ. ඔබතුමිය දන්නේ නැතුවට මම ඒ ගැන හොඳට දන්නවා. 


නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; මම කැබලි අමුණලා නෑ. මට අහන්න ඕන දේයි මම අහන්නේ. ඔබතුමාලාට ඕන ප්‍රශ්න මම අහන්නේ නෑ. මොන පනත යටතේද විරුද්ධත්වය දක්වන්නේ ? 


නීතිඥ රුවිහාර ජයතිලක ; පනතේ නැති නිසා තමයි මේ අහන්නේ. 


නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය හා විත්තියේ නීතිඥයින් අතර ඇතිවූ උණුසුම් සංවාදයකින් පසුව අවසන් වූ "සාක්ෂි විභාගය" තවදුරටත් පසු දිනට කල් තබන්නට ගරු අධිකරණය තීන්දු කළේය. ඒ අනුව පෙබරවාරි (02) දෙවෙනිදා කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණයේ විමැසි නඩු කටයුත්ත පසුවදාට (03) කල් තැබෙමින් එසේ අවසන් විය. 

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0