අසල්වාසී අමුතු ප්‍රේමය...

ශ්‍රී ලංකාවේ තරුණ මාධ්‍යවේදියෙකුගේ අත්දැකීමක් ඇසුරින් ගොඩනැගුණු සාමාජීය කෙටි කතාවක්

Sep 30, 2025 - 06:46
Oct 4, 2025 - 09:39
 28
අසල්වාසී අමුතු ප්‍රේමය...

ශ්‍යාමලී රත්නායක

අනෝමා අක්කා දැන් අපේම පවුලේ අයකු තරමට අපට සමීප වී ඇතැයි මට සිතෙයි.
ඒ ඇගේ පවුලේ අයත් අපේ පවුලේ අයත් අතර ඇති සමීප ඇසුරක්, හිතවත්කමක්, කතාබහක් හෝ වෙන යම් දෙයක් නිසා නොව, ඒ නිවසේ කෙරෙන කටයුතු, කතා කරන දෙබස් කණේ තිබ්බාක් මෙන් කිසිදු බාදාවක් නොමැතිව අපේ නිවසේ පහත මාලයට ඇසෙන නිසාය...
උදේ පාන්දර පිබිදුණු වේලාවේ පටන් දවසේ සුමේ හමාර කර දරුවන් නිදිගන්වා රාත්‍රියේ නිදි පැදුරේ අනෝමා අක්කා සැමියා සමඟ කරන අවසාන ගනුදෙනුව දක්වා වූ සියලු දෙබස් සියලු කතා බස් අඩුවක් නැතිව අසා ඉන්නට හොඳම තැන අපේ නිවසේ කුස්සිය යැයි මට සිතෙයි...
කුලී නිවවැසියන් බැවින් වසර දෙකකට වතාවක් නිසැකවම නවාතැන මාරු කරන මටත් සැමියාටත් දරු දෙදෙනාටත් මෙවර පදිංචි වන්නට ලැබුණේ නුගේගොඩ උඩහමුල්ල ඉස්ටේෂම පෙනෙන තෙක්මායිමේ රේල් පාර අද්දර කුඩා ඉඩමක පිහිටි පුංචි දෙමහල් නිවසකි. එම නිවසත් රේල් පාරත් වෙන් කළ තාප්පය අල්ලා ලෑලි ගසා ටකරන් සෙවිලි කර තනන ලද පුංචි අනවසර නිවසක අනෝමා අක්කලා ජීවත් වූහ.
දරුවන් දෙදෙනා පාසල් යවන්නට ඇති බැවින් සතියේ සෑම දවසකම පාන්දර 5.00 වන විට නින්දෙන් පිබිදීම අප දෙදෙනාගේ සාමාන්‍ය සිරිතයි. අප ඇහැරෙන විටත් අනෝමා අක්කා පිබිදී දවසේ සුමේ පටන්ගෙන බව හැඟෙන්නේ ඈ උදේ කරන ගෝරනාඩුව ශ්‍රවණය වීමෙනි.
උදේම ඈ නැගිට දර පලන හඬ, පොල්කටු බිඳින හඬ, ලිපට පිඹින හඬ ඇහෙන්නේ අප නැගිටින්නටත් මදක් කලින් සිට බව මම හගිමි. ඇගේ කටහඬ අවදි වන්නේ ඇගේ දඩි බිඩි දනිපනි ශබ්ද බද්ද සියල්ලට අනතුරුවය... ඕ මුලින්ම කෑගසන්නේ ඇගේ සැමියා වන මාතුපාල අවදි කරවීමටය.
“අත් දෙක කකුල් දෙක අස්සේ ගහගෙන ඔය නිදාගත්තා මදිද වාහේ... මාත් ඔය වගේ නිදා ගත්තා නම් මේ ගෙදර උන් කාල තියෙයි... නැගිටිනවා ඕයි... නැගිටලා මේ පොඩි උන්ට මූණ කට හෝදගන්න වතුර ටිකක් පුරවලා දෙනවලා...”
මාතුපාල නින්දෙන් අවදි වන්නේ අනෝමා අක්කා දර පොල්ලකින් ටකරමකට තඩිබාන්නාක් මෙන් කරන සුපුරුදු ගෝරනාඩුව දෙතුන් වතාවක් වත් කළාට පසුවය.
රේල් පාරට එපිටින් ඇති ඕවිටේ ළිදෙන් වතුර ඇද ගේ අයිනේ ප්ලාස්ටික් බැරල්වලට පුරවන මාතුපාලගේ ඊළඟ රාජකාරිය වන්නේ අනෝමා අක්කා සාදා පිළියෙළ කර දෙන ඉඳිආප්ප පෙට්ටිය හන්දියේ කඩේට ගිහින් දීම බව අපි දන්නේ අනෝමාගේ එකක් පසුපස එකක් වූ නොනවතින අණදීම් වරුසාව නිසා ය.
“ඔන්න ඕයි... ඉඳිආප්ප පෙට්ටිය හරි... වට්ටගන්නේ නැතුව ඕක ගෙනිහින් කඩේට දෙනවා. උදේ පාන්දර සල්ලි ඉල්ලලා උනුත් එක්ක සණ්ඩුකරගන්නවා එහෙම නොවෙයි... සල්ලි හවස මම ගන්නම්... තමුසේ එනවා පරක්කු නොවී පොඩි උන් ටික ඉස්කෝලෙට ගෙනිහින් දාන්න...”

මාතුපාල බයිසිකලයේ බෙල් එක ගසා රෝද කරකවා බලා පාරට එන විට වටින් ගොඩින් එළිය වැටීගෙන පැමිණෙයි. හෝමාගම දෙසින් කැලණි වැලි පාරේ පළමු දුම්රිය කොළඹ යන්නට උඩහමුල්ල ඉස්ටේෂමට එන්නේ ඕන් ඔය වෙලාවටය. මාතුපාල ඉඳිආප්ප පෙට්ටියත් රැගෙන හන්දියට යන හඬද කෝච්චි සද්දය සමග ඇසෙයි.

ඊළඟට අනෝමා අක්කා කටහඬ අවදි කරවන්නේ දරු තිදෙනා නින්දෙන් අවදි කරවන්නටය. වයස අවුරුදු 8, 7, 5 පමණ වූ එක ළඟ ලැබුණු දරු තිදෙනෙක් ඇයට සිටියි.
ඇගේ භාෂාව පුංචි එවුන්ට මහ එවුන්ට කියා වෙනසක් නැත. එක වාගේ සැර පරුෂය. වේගවත්ය.
“කෝ මේ තුෂාර... තොට මම කියල තියනවා නේද යකෝ වේලාසන නැගිටලා ඉක්මනට කක්කුසියට ගිහින් එන්න කියලා. තෝ ඕක උඩ තටම තටමා වාඩිවෙලා හිටියාම කොහොමද බොල නංගිලා දෙන්නා කක්කුසි යන්නේ... උදේම නැගිටලා ඕක කරගන්න බැරිනම් තෝත් පුරුදු වෙයං මහ එකා වගේ එහා පැත්තේ කාණුවට යන්න...”
අනෝමාගේ කිසිදු ලජ්ජාවක් හිරිකිතයක් විලිසංගයක් නැති මේ කතාබහ උඩහමුල්ල නිවසට පැමිණි මුල් දිනවල උදම්ටත් මටත් මහත් හිසරදයක්ම විය. අපි බිය වූයේ ලොකු දුව ඕලුත්, ඇහෙන ඕනම දෙයක් කට පාඩමින් කියන බිනරත් අනෝමාගේ දෙබස් කඩ පාඩම් කරගෙන කියවාවි යැයි කියාය.
එහෙත් උදෙන්ම සූදානම් කර පාසල් වෑන්වල නග්ගවා උදේ 6.00 වන්නටත් පෙර ළමෝ නිවසින් පිට කරන නිසා ළමුන්ගේ ප්‍රශ්නයක් පැන නොනැගිනි.
ඉඳිආප්ප ඩිලිවරියෙන් පසුව ගෙදර එන මාතුපාලගේ ඊළඟ රාජකාරිය දරු තිදෙනා පාසලට ගොස් දැමීමයි. දරු තිදෙනාත් රැගෙන බයිසිකලයෙන් පිටව යන මාතුපාල ගේ සිවුරුහන් හඬ ඊළඟට ඇසෙයි. ඊට පිටුපසින් අනෝමාගේ සුපුරුදු ගෝරනාඩුව ද නොඇසෙන්නේ එහමත් එක් දවසකය...
“ඕයි... හොඳට මතක ඇතුව අද මම ගේන්න කියපු බඩු ටික එහෙම අමතක කරලා ගෙදර එනවා නෙමෙයි. මොන මලදානයක් හරි බොන දෙයක් ගෙදර ගෙනත් බොන්න පුරුදු වෙනවා. පාරේ තැන තැන බීල එක එකත් එක්ක පාර පුරා පැටලෙන්න යන්නේ නැතිව...”
අනෝමාගේ සියලු අණ දීම් කෑගැසීම් ගොරනාඩු තුළ ගැබ්බරව තිබුණේ සිය කුටුම්බය කෙරෙහි වූ අනියත බිය හා ආදරය යැයි මට විටෙක හිතෙයි. ඕ තරම් ජීවත් වෙන්නට දවසේ කාලය සමඟ පොරබදන වෙනත් ගැහැනියක මා මෙතුවක් කල් දැක නැත...
දවසේ පැය 24 න් පැය 17 කටත් වඩා නොනිදා වැඩ කරන, මී මැස්සියක මෙන් කඩිසර කම්මැලි නැති මේ දිරිය ගැහැණියගේ කටහඬ මිස රූපකාය මා දැක තිබුණේ නැත... කටහඬින් මුළු පවුලේම තොරතුරු හා වං හුං සියල්ල අප දැන සිටියත් ඒ ගෙදර උදවිය ලෙහෙසියෙන් දකින්නට නොලැබුණේ අපේ ගේ තාප්පවලින් වටවී රේල් පාරට විරුද්ධ මහ පාර පැත්තට පමණක් විවෘතව තිබූ නිසාය. එහෙත් අනෝමා අක්කලාගේ මුළු නිවස පැත්තත් රේල් පාරත් උඩහමුල්ල ඉස්ටේෂමත් හොඳින් පෙනෙන එක් තැනක් අප නිවසේ තිබිණි. ඒ වූ කලී උඩු මහලේ නිවස පිටුපස උදම්ගේ කන්තෝරු කාමරයයි.
අපි මේ නිවස බලන්නට පැමිණි මුල් දොහේම උඩු මහලට ගිය උදම් රේල් පාරට මුහුණලා දොර ජනෙල් හා සඳළු තලයක්ද පිහිටි කුඩා කාමරය සිය කන්තෝරු කාමරය ලෙස තෝරා ගත්තේය. ඒ ඔහුගේ ලේඛණ කටයුතුවලට හොඳ දර්ශනයක් හා වාතාශ්‍රයක් එහි තිබූ නිසාය. ඒ හැරුණු විට ඉස්ටේෂම රේල් පාර හා අවට ගහකොළ වලින් පිරි කොළ පාට පරිසරය හොඳින් පෙනෙන සඳළු තලය ඉදහිට ඔහුට තනියෙන් මධුවිතක රස බලන්නටද කදිම තැනක් වූ නිසා බවද මට වැටහිනි.
අපගේ පිටුපස තාප්පයේ සිට රේල් පාර පැත්තට බාඑලා දිගටිව තනා තිබූ අනෝමලාගේ කුඩා නිවසත්, ඇය මහත් අරපරිස්සමින් භූමිය පරිහරණය කොට රේල් පාර අයිනේ එළවළු භෝග වවා තිබූ ගෙවත්තත් ඊටත් එපිටින් වූ ඉටි රෙදිවලින් ආවරණය කළ කක්කුස්සිය, ලෙස ඇය හඳුන්වන වැසිකිලියත් රේල් පාරට එහා පැත්තෙන් වූ ළිඳත් තව එවැනිම ගෙවල් කිහිපයකුත් උදම්ගේ සඳළු තලයට හොඳින් පෙනෙයි. 
උඩහමුල්ල නිවසේ පදිංචිව සිටි දෙවැනි සතියේ මා උදම්ගේ කාමරය අස්පස් කරමින් සිටියදී එක්තරා උදෑසනක මට මුල් වරට අනෝමා අක්කා දැක ගන්නට ලැබුණේ අහම්බෙනි. 
කටහඩේ හැටියට මා සිතා සිටියේ අනෝමා අක්කා තාප්පමෝලක් මෙන් මහත දෙහෙත ඇති කළු කොට කැත සැරපරුෂ කාන්තාවක් කියාය. ඒ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වෙනස්ව ගියේ එදින සායක් වැනි යමක් උස්කර ලැම වැසෙන සේ ඇඳ, ළිඳ ළඟ කඩිසරකමින් රෙදි සෝදමින් සිටි කාන්තාව කවුදැයි සැකහැර දැනගත් විටය...
ඕ අනෝමා අක්කා බව මා මුලින් නිකමටවත් සිතුවේ නැත. මා සිතුවේ යාබඳ නිවසක වෙනත් තරුණ කාන්තාවක් කියාය. ඕ සෝදන ලද රෙදි දෑතින් අල්ලා ගසා දමා වැළක වනන ගමන් මා දෙස බලා මුව පුරා සිනාසුනාය. 
මම ද යාන්තමින් ඒ දෙස බලා සිනාසී උදම්ගේ නවකතා පොතක් ගෙන සඳළු තලයේ පුටුවක වැඩි වී එය කියවන්නට පටන් ගත්තෙමි...

මා සමඟ සිනාසුන තරුණ කත රෙදි සෝදා ගසන විට විසිරෙන පිනි බිදු සුළඟේ පාවී රටාවකට විසිර යයි. ඒ මත ඉරු එළිය වැටෙන විට ඈතට පෙනෙන්නේ දේදුණු පායන්නාක් මෙනි. සුළඟට පාව ගිය පිණි බිදු ඇගේ කෙහෙරැළි මතද දැවටෙයි. ඒ පිනි බිඳු අව් රැසින් මිණි කැට මෙන් දිදුලයි...
රෙදි ගස ගසා ඉස්සී වැළවල්වල දමන විට ඇයගේ උල් තනපුඩු මැනවින් පෙනෙයි. ළැම ළඟින් ඇද සිටි සායේ යට කෙළවර ඉස්සී හොඳින් වැඩුණු වටකුරු දෙකකුල්වල උඩ කොටස හොඳින් පෙනෙන ලෙස නිරාවරණය වෙයි. දෑත් පහත හෙලන විට යළි ඒ රූමත් දෙකකුල් වැසෙයි...

ලිඳෙන් වතුර ඇද බේසමකට වත්කර ඒ වතුරින් රෙදි සෝදන ඈ ඇද සිටි සාය තෙතබරියන් වී ඇඟටම ඇලෙයි. එවිට ඕ ඇඳුමක් ඇන්දාද නැද්ද කියා සිතා ගන්නට බැරි තරමට ඇයගේ රූපශ්‍රීය බාහිරට දිස්වෙයි... උදෑසන ඉරු එළියෙන් ඒ රූමත් රූපකාය බබලයි...
ෂිහ්... ඇත්තට මේ ගෑනුන්ට හරියට දිය රෙද්දක් ඇදගෙන වතුර ටික නාන්න එන්න බැරි හැටි... යැයි මම මටම කියා ගනිමින් පුටුවෙන් නැගිටිද්දී ඈ මා දෙස බලා කටහඬ අවදි කළාය...
“නෝනලා ඔය ගෙදරට අලුතින් නේද ආවේ...? මම නෝනව ටිකක් හමුවෙලා කතා කරන්නත් එක්කයි හිටියේ...” ඕ තුවායක් කරට දාගෙන බුරුසුවකින් දත් මඳිනා ගමන් එසේ කියමින් රේල් පාරද පැන තාප්පය අද්දරට පැමිණියාය.
“ඔව්... අපි ළඟදි තමයි ආවේ... කොහේද ඔයා ඉන්නේ...?”
 “මගේ නම අනෝමා. මේ පැත්තේ කවුරුත් මට අනෝමා අක්කා කියලයි කියන්නේ. මේ රේල් පාර අයිනේ තියන ගෙදර තමයි අපි ජීවත් වෙන්නේ...” ඕ සිනාසෙමින් කීවාය...
ආ... මෙයයි එහෙනම් අනෝමා... මෙයාගෙයි එහෙනම් මේ අපි හැමදාම උදේ ඉඳළ රෑ වනතුරු අහන හැකර කට... පුදුමයි.. විලි ලජ්ජාවක් නැති හැකර කටකුයි ලස්සන රූපෙකුයි දෙකම එක්කෙනෙකුට දීපු හැටි... මම මටම කියාගත්තෙමි.
“ඇයි ඔයා හමුවෙන්න ඕන කියල කිව්වේ...?”
“මම උදේට ඉඳිආප්පන් හදනවා. හවසට ආප්ප පිට්ටු වගේ කෑම ජාති හදනවා. හදන ඒවා ඔක්කොම කඩේට ගිහින් දෙනවා. නෝනලටත් ඕන නම් කියන්න. කල් ඇතුව. කිව්වොත් පිරිසිදුවෙන් හදන අලුත් ආප්ප, ඉඳිආප්ප, පිට්ටු ටිකක් ලාබෙට දෙන්න පුළුවන්...”
ඈ ලද ඒ අවසරයෙන් ඇය ගැනම ලොකු වෙළෙඳ දැන්වීමක් කියාගෙන කියාගෙන ගියාය...
“නෝනලට ඕන නම් අලුත් පලා කොළ ජාතිත් මම වවනවා. තම්පලා, සාරණ, කංකුං, කතුරුමුරුංගා වගේ කොළ ජාතිත් තියනවා. බෙහෙත් නොගහා වතුර දදා අපිම වවන අලුත් පලා ජාතිනේ නෝනා. ඕන නම් ඉල්ලන්න. මම ඉතින් මේව කරල තමයි මගේ දරුවෝ තුන්දෙනා බලාගන්නේ. මිනිස්සු හිටියට උන්ගෙන් යැපෙන්න බලාගෙන හිටියොත් ඉතින් අපි කාලා ඉවරයි...”
ඇය එසේ පවසා අහිංසක ලෙස සිනාසෙන අයුරු මා සිත් ගත්තාය. හොඳට ඇද පැළද ගෙන පිරිසිදුවට සිටියේනම් ඕ අපට වඩා කොච්චර ලස්සන දැයි මට පළමු වතාවට සිතිනි...
“හොඳයි... මම ඕන වුණොත් මෙතනින් කෑගහලා කියන්නම් කෝ...” කී මම කාමරයට යන්නට හැරුණෙමි. මා නැවත ඒ දෙස ආපසු හැරී බැලුවේ ඇය තවමත් හිටි තැනමද කියාය. එහෙත් ඈ මට පිටුපා ගොස් රේල් පාර පැන ළිඳ ළඟට ගියාය. ළිඳෙන් වතුර බාල්දියක් ගෙන කට සෝදා දත් බුරුසුවත් සෝදා පැත්තකට කළ ඕ කඩිනමින් දිය ඇද හිස මතට හෙළා ගන්නට පටන් ගත්තාය...
ස්ත්‍රි දේහයේ නියම රූප සෝභාව පෙනෙන්නේ කාන්තාවන් ළිඳෙන් දිය ඇද නාන විටය. කියන කතාවේ ඇත්ත නැත්ත මම එදා අනෝමා අක්කාගෙන් වටහා ගත්තෙමි...

එදින රාත්‍රියේ උදම් ආවේ තරමක් ප්‍රමාද වීලාය. වේලාසනින් රෑ කෑම කවා දරුවන් දෙදෙනා නින්දට යොමු කර මා සාලයට වී රියැලිටි සංදර්ශනයක් බල බලා සිටියේ උදම්ගේ මෝටර් රථය ගේට්ටුව ළඟ හෝන් කරනා විට ගේට්ටුව අරින්නට පහසු නිසාය.
මේ සින්දු කියන උන්ව ජජ් කරන්න එන ගායක ගායිකාවෝ කියන පණ්ඩිත කතා අහනකොට උන්ගේ සින්දු අහන්නත් එපා වෙනවා කියා උදම් කියන කතාව ඇත්ත... මම මටම කියාගත්තේ තුන් හතර වතාවක් විවාහ ජීවිතය කඩා බිඳ ඉහිරවා ගත් තරුණ ගායිකාවක් අඹු සැමි ආදරයේ වටිනාකම ගැන රූපවාහිනියේ පංපෝරියක් කියවන විටය... එවෙලේ ආධුනික ගායිකාව ගයන ලද්දේ “රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක් කළ” ගීතයයි...
උදම්ගේ කාරයේ නලා හඬ ඇසුනෙන් මම ගේට්ටුවේ ස්විචය ක්‍රියාත්මක කර ගේට්ටුව ඇරියෙමි. උදම් කාරය ඇතුළට ගෙන ගේට්ටුව වසා දමා අඩුමකුඩුම ටික අතින් කටින් එල්ලාගෙන ගෙතුළට එනතුරු මම දොරට හේත්තුවී බලා සිටියෙමි.
“හරිම බඩගිනියි... හවස තේ එකක්වත් නෑ. ඔයා කෑම බෙදන්න. මම ටක් ගාල වොෂ් එකක් දාගෙන කන්න එන්නම්...” කී උදම් උඩු මහලට ගියේය. 
උදම් උඩු මහලේ බාත් රූමයට වී ෂවරය ඇර ඇඟ සෝදන හඬ පහත මාලයේ කුස්සියේ වූ මට හොඳින් ඇසෙයි. ඊටත් වඩා පැහැදිලිව ඇසෙන්නේ කුස්සියේ එක් බිත්තියක් යාකර ඇති තාප්පයට එපිටින් ලෝකයේ අනෝමා අක්කා රෑ නිදා ගන්නට පෙර කරන ගෝරනාඩුවය.
“අර මිරිස්කුඩු මෝල ළඟ වංගුවේ ගෙදර කලිසන් අදින බතල ගෑනි ඉඳිආප්ප තුන්සීයක් අරන් දැන් සති දෙකක් වෙනවා. තාමත් සල්ලි දුන්නේ නෑ. මම ඉල්ලන්න දෙතුන් පාරක් ගියා. මම යනකොට ඒ වේසි හැංගෙනවා. හෙට නම් මම ගිහින් අල්ලගන්නම්කෝ ඕකිව...”
“රණ්ඩුවට යන්න එපා බං හාන්නහේ. ඒකිගේ මිනිහා හරි හොඳ බුවා. මං ඌව හොඳට දන්නවා.”
“ඒ කොහොමෙයි තමුසෙ දන්නේ..?”
“මහරගම පිචැර් හෝල් එකේ වැඩ කරන්නේ. දොහක් මං පිචැර් එක බලලා ඉන්ටැවල් එකේ බාර් එක පැත්තෙ ගියාම මට ඌ ෂොට් එකකුත් අරන් දුන්නා. ඔය සල්ලි තියන දවසක දේවි..”. 
“එහෙම කියල කොහොමද වාහේ. ඉඳිආප්ප හදන්න පිටි, දර අරන් දෙන්නේ උන්ගේ අම්මද අප්පද යකෝ. තමුසෙටත් ඉතින් කැහි කූරක් කසිප්පු කට්ටක් අරන් දුන්නම ඊට වඩා දෙයක් නෑ...” අනෝමා අක්කා ගුගුරයි.
උදම් මුහුණ සෝදාගෙන කුස්සියට ආවේ ඒ දෙබස යන අතරතුරය. මම ඔහුට බත් පත බෙදා දී උණු උණුවේ බිත්තරයක් බුල්ස්අයි දමා ඔහුගේ පිඟානට හැලුවෙමි.
“ඔයා කෑවද...?”
“මම පුතාට කවපු ගමන් ටිකක් බෙදාගෙන කෑවා. බඩගිනි නෑ.” මම කීවෙමි...
“කටවල් දෙක තුනක් කවන්නම්..?”
මම කුස්සියේ සින්ක් එක පිහිදා උදම්ගේ ළඟින් ගොස් වාඩි වූයේ කන්නට ඇති උවමනාවට වඩා ඔහුගේ ඉල්ලීමට අවනත නොවී බැරි නිසාය.
“ඔතනට වෙලා කැහැ කැහැ ඉන්නේ නැතුව ඔය කැහිකූර විසිකරල දාල කට හෝදගෙන ලාම්පුවත් නිවල මෙහාට එනවකෝ ඕයි... මටත් නිදිමතයි.”ඒ ඇසුනේ අනෝමා අක්කාගේ සුපුරුදු ආමන්ත්‍රණයයි.
“නිදිමතනම් තමුසේ නිදාගන්නවා...” මාතුපාල ඇයව ගණන් නොගෙන මෙන් පවසනු ඇසෙයි.
“ඇහුනද... එහා පැත්තේ හොඳ සීන් එකක් යන්න වගෙයි හදන්නේ...” උදම් කියයි.
“හරි... මම නිදාගන්නම්. තමුසේ මට නින්ද ගියාට පස්සේ එහෙම ඇවිත් අරහෙන් මෙහෙන් අල්ලනවකෝ බලන්න... කඩනවා අත...”
“ඇහුනද... ඇහුනද කියපු දේ...” උදම් මහත් උනන්දුවෙන් කණ ඒ දෙසට දික්කරගෙන පවසයි...
“ඔයා පාඩුවේ කන්න. මේ වගේ වෙලාවට ඔයවගේ දේවල් ඔය ගෙදර හැමදාම ඇහෙනවා....” මම කීවෙමි...
“ඔයා අහගෙන ඉන්නවාද...?”
“මට ඇහෙනවා....” මම නොසතුටෙන් කීවෙමි.
මාතුපාල බරාස් ගා ඇද දොර වහන සද්දයෙන්ම අනෝමා අක්කාගේ අණට කීකරු වූ බව හැගෙයි...
“නිවනවා ඔය ලාම්පුව.. හෙට උදේටත් පත්තු කරන්න ලාම්පු තෙල් ටික ඉතිරි කරගන්න ඕන.”
“ඒ මොකක්ද වාහේ ඒ කරේ. ඉරුව නේද ජංගිය. යකෝ පමුනුවෙන් ගිය සතියේ ගෙනාවෙ. හිටපංකෝ මිනිහෝ තදියම නැතුව මේක නිදහසේ ගලවල දෙනකන්. හා ආ ආ දැන් බලනවා...”
අනේමාගේ ඒ වචන මිනිස්සුන්ගේ ආත්ම ගෞරවය අමු අමුවේම කෙළෙසන නිසා මට පවා අහගෙන සිටිය නොහැකි විය.
“මම යනවා... ඔයා පිඟාන සින්ක් එකට දාල එන්න..”
“මමත් එනවා... කාල ඉවරයි...” කී උදම් පිඟාන වට්ටිය යටට තල්ලු කර අත සෝදාගෙන මා පසුපස පැමිණියේය.
“අර ගෑනි මොන වගේද දන්නේ නෑ, නේද... ?”උදේ පාන්දර නැගිට තේ බොන ගමන් උදම් අමුතු ප්‍රශ්නයක් මගෙන් ඇසීය.
“මොන ගෑනිද?”
“එහා ගෙදර අනෝමා...”
“ඔයා ඒක හිත හිතාද ඊයේ රෑ නිදා ගත්තේ... කළු මහත තඩි තාප්ප මෝලක් වගේ ඇති... මුඩුක්කු ගෑනුනේ. මම කීවෙමි.”
“ඔව්... පේන්නේ නැද්ද කට.. ”ඒ වගේ ඇති.
උදම් කිව් වදන්වලට මට හිනා ගියේ තාම මේ මනුස්සයා ඒ ගෑනිව දැක්කේ නෑනේ... කියා මට සිතුන නිසාය.
ඊටත් දින දෙක තුනකට පසු පැමිණි සති අන්තයක උදම් විවේකීව ගෙදර සිටියේය. ඔහු සිටියේ උඩ කාමරයේ කුමක්දෝ ලිපියක් ලියමිනි. උදේ කාපු බීපු පිඟන් කෝප්ප අස්කරමින් සිටි මම උදම්ට තේ එකක් හදාගෙන උඩට ගෙන ගියේ උදේ 9.30 පමණ වන විට ඔහුට තේ කෝප්පයක අවශ්‍යතාව ගෙදර සිටින දිනවලදී ඇතිවන බව දන්නා නිසාය.
උදම් කාමරයේ නැත. ලියමින් සිටි කොළ මිටිය මත පෑණ තබා ඇත. ලියමින් සිටි අවසන් වාක්‍ය අවසන් කරලාද නැති බව දිටිමි. මම පා සද්දයවත් නෑසෙන ලෙස අඩියට දෙකට සඳළු තලය දෙසට ගියෙමි. උදම් පොතක් අතැතිව එහි හාන්සි පුටුව මත හාන්සි වී සිටියි. පොත කියවන සේ අල්ලා ගෙන සිටියත් ඔහුගේ දෑස පොත මත නැත. දෑස පොත මතින් ඈත්ව ඉඟිල ගොස් රේල් පාරටත් එහා ළිඳ ළඟ නතර වී ඇති බව මම දුටුවෙමි. එතන අනෝමා අක්කා සුපුරුදු නිල ඇඳුමෙන් යුතුව රෙදි සෝදමින් සිටියි.
“ආ... මේ තේ එක බොන්න... ” කියමින් මා ඔහු දෙසට තේ කෝප්පය දිගු කළෙමි. ඔහු තිගැස්සී මා දෙස බලා තේ කෝප්පය අතට ගෙන නැගී සිටියේය..
“මම මේ තේ එකක් බොන්න පල්ලෙහාට යන්න හැදුවා විතරයි...” උදම් මා පිටුපසින් කාමරයට පැමිණ පොත පැත්තක තබා මේසයේ වාඩි වූයේය..
ඊටත් පසුදා උදෙන්ම උදම් වැඩට ගියේය.
මම ඊට තරමක් ප්‍රමාද වී වැඩට ගියේ අපූරු වැඩක් කරන්නට හිතේ තබාගෙනය. ඒ කටයුත්ත නිසා මම වේලාසන ගෙදර පැමිණියේය. මහරගම ලීබඩු සාප්පුවෙන් මගේ ඇනවුම පරිදි එවා තිබූ බාසුන්නැහේලා දෙන්නා ඉහළ මාලයේ උදම්ගේ කාමරයේ සඳළු තලයේ වහලයේ සිට පහළට එල්ලෙන සේ අපූරු බට පැළලි දෙකක් එල්ලා ගියේය. අවශ්‍ය විටෙක ඒ දෙක අකුලා තැබිය හැකිය. අවශ්‍ය විට පහළට දැමිය හැකිය.
එදා උදම් වේලාසන ගෙදර පැමිණියේය. මම ඔහු සමඟ උඩු මහළට ගියේ බට පැලලි දෙක ගැන කිසිවක් නොකියාය..
ඔහු එය දුටු ගමන්.. මා දෙස බැලීය. 
“කවුද මේක ගෙනාවේ...”
“මම... අපි බඩුගන්න ලීබඩු සාප්පුවේ අයියට කිව්වා මම මෙතනට දවල් කාලයේ වැටෙන අව්ව ගැන. ඒ මනුස්සයා මිනිස්සු දෙන්නෙක් එවලා හයිකරලම ගියා. රුපියල් 3000 යි ගත්තේ...”
“වැඩක් නැති වැඩ...”
“මොකද වැඩක් නැත්තේ. ඔයා දන්නේ නෑනේ හවස් වරුවේ මෙතනට වදින අව්ව. ඒ අව්වට මේ පුටු මේස ඔක්කොම පැලිලා විනාශවෙලා නොගියොතිනුයි පුදුමේ... ”
උදම් බට පැළලි දෙක මෑත් කොට එළිය බලා යළි අතහැර කාමරයට ගියේය. 
මම බට පැළලි දෙක මෑත්කර ඒ අතරින් එපිට බැලුවෙමි. ළිඳෙන් වතුර අදිමින් අනෝමා අක්කා පලා පාත්තිවලට මල් බාල්දියකින් වතුර දමමින් සිටින අයුරු මට පෙනෙයි...

නිමි

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0