ආපදා කළමනාකරණයේ බරපතල අඩුපාඩුකම් තිබෙනවා. රජය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතුයි...

රජයේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණයේ බරපතල අඩුපාඩුකම් සහ විෂමතා පවතින බවත්, විපතට පත් ජනතාවට සහන ලබාදීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ පවා තවමත් නිකුත් කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) පැවසීය. සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ ගම්පොළ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම උදෙසා “හුස්ම” ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Dec 15, 2025 - 15:16
Dec 15, 2025 - 15:17
 51
ආපදා කළමනාකරණයේ බරපතල අඩුපාඩුකම් තිබෙනවා. රජය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතුයි...

ආපදා කළමනාකරණයේ බරපතල අඩුපාඩුකම් තිබෙනවා.

රජය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතුයි...  

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රජයේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණයේ බරපතල අඩුපාඩුකම් සහ විෂමතා පවතින බවත්, විපතට පත් ජනතාවට සහන ලබාදීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ පවා තවමත් නිකුත් කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) පැවසීය. සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ ගම්පොළ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම උදෙසා “හුස්ම” ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී රෝගීන්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා Patient Monitor යන්ත්‍ර 5ක් සහ Syringe Pump යන්ත්‍ර 2ක් පරිත්‍යාග කෙරුණු අතර, විපක්ෂ නායකවරයා රජයේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය දැඩි විවේචනයට ලක් කළේය. "ආපදාව නිර්මාණය වීමට පෙර, ආපදාව සිදුවන කාලයේ සහ ආපදාවෙන් පසුව යන අවස්ථා තුනෙහිම බරපතල අඩුපාඩුකම් තිබෙනවා. මාධ්‍ය සංදර්ශන දැම්මට, සහන ලබාදීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ පවා නිකුත් කර නැහැ. ආපදා කළමනාකරණ නිලධාරීන් පවා මේ ගැන කනස්සල්ලෙන් ඉන්නවා," යි ඔහු පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මාධ්‍ය ඉදිරියට යාමට තහංචි දමා ඇති බවත්, නොවැම්බර් 11 සිට 26 දක්වා දින 15ක කාලය තුළ මේ අවදානම පිළිබඳව පුනපුනා තොරතුරු හෙළිදරව් කළත් රජය ඒවාට අවධානය යොමු නොකළ බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය. "හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශ කරන්න කියලා විපක්ෂය යෝජනා කළත් ඒකත් ප්‍රතික්ෂේප කළා. දැන් කඳවුරුවල ජනතාව නැවත නිවෙස්වලට යවන්න කියනවා, නමුත් ආරක්ෂාව තහවුරු නොකර ඒක කරන්න බැහැ. NBRO ආයතනයට පවා ප්‍රමාණවත් නිලධාරීන් නැහැ," යි ඔහු වැඩිදුරටත් පැවසීය.

විපතට පත් ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන මෙම යල්පැනගිය වැඩපිළිවෙළ වෙනස් කර නවීකරණයක් සිදුකළ යුතු බවත්, එසේ නොවුණහොත් ඉදිරි ආපදාවලදී ජනතාවගේ ජීවිත අනතුරුදායක වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. "මේ ආකාරයට ආපදා කළමනාකරණය සිදුවුණොත්, රටටත් ජනතාවටත් දෙවියන්ගේ පිහිටයි. රජය ජනතාව ජීවත් කරවීමේ වැඩපිළිවෙළින් බැහැර වෙලා ඉන්නවා," යි ඔහු චෝදනා කළේය.

සහන සේවාවල නිරත වූ සියලුදෙනාට තම ගෞරවය පුදකරන බවත්, ග්‍රාම නිලධාරීන්ගේ සේවාව තවදුරටත් ප්‍රශස්ත කිරීම සඳහා බඳවාගැනීම් කඩිනමින් සිදුකළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය. "ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රෝහල් සහ ස්වේච්ඡා සංවිධානවලට මගේ ගෞරවය. පරාර්ථකාමීව ආහාර ලබාගෙන විපතට පත් ජනතාවට බෙදූ සියලුදෙනාට ස්තූතියි," යි ඔහු පැවසීය.

විපක්ෂයක් ලෙස තමන් දැනටත් ජනතාවට උදව් කරන බවත්, ලක්ෂ 220ක ජනතාවගේ යහපැවැත්ම සඳහා ජාති, ආගම්, පක්ෂ භේද පසෙකලා එකමුතු විය යුතු බවත් ඔහු අවධාරණය කළේය. "සමගි ජන බලවේගය මේ සඳහා සූදානම්. අවතැන් වූ ජනතාව සුවපත් කරන්න කටයුතු කළ යුතුයි," යි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මෙම ආපදාවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල ජනතාවගේ අනාගත ආරක්ෂාව සහ ජීවනෝපායන් සඳහා රජය කඩිනම් පියවර ගත යුතු බවත්, විපක්ෂය ඒ සඳහා සහයෝගය දක්වන බවත් ඔහු අවසානයේදී සඳහන් කළේය.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0