රටින් පැන්න ඉෂාරා නේපාලෙන් අල්ලලා...

ගනේ මුල්ල සංජීව නමැති පාතාල අපරාධ සැකකරුවා කොළඹ මහාධිකරණ සංකීර්ණයේ අංක පහ උසාවිය තුළදී ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමට අවශ්‍ය ගිනි අවිය රැගෙන ආවා යයි කියන, මෙතෙක් දිනක් ආ ගිය අතක් සොයා ගැනීමට නොහැකිව සිටි ඉෂාරා සෙව්වන්දී නැමැති කාන්තාව නේපාලයේ කඳුකර ප්‍රදේශයක සැඟව සිටියදී ජාත්‍යන්තර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

Oct 14, 2025 - 13:42
 68
රටින් පැන්න ඉෂාරා  නේපාලෙන් අල්ලලා...
  • රටින් පන්නන්න බායිට ලක්ෂ 65ක් දීලා...
  • බෝට්ටුවෙන් ඉන්දියාවට පැනලා එතනින් කෝච්චියේ ගිහින්...
  • පද්මෙ ‘අයියලා’ ඉෂාරා ‘නංගිව’ කොටු කර දෙයි...

ගනේ මුල්ල සංජීව නමැති පාතාල අපරාධ සැකකරුවා කොළඹ මහාධිකරණ සංකීර්ණයේ අංක පහ උසාවිය තුළදී ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමට අවශ්‍ය ගිනි අවිය රැගෙන ආවා යයි කියන, මෙතෙක් දිනක් ආ ගිය අතක් සොයා ගැනීමට නොහැකිව සිටි ඉෂාරා සෙව්වන්දී නැමැති කාන්තාව නේපාලයේ කඳුකර ප්‍රදේශයක සැඟව සිටියදී ජාත්‍යන්තර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනවල ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දල පත්මේ, කොමන්ඩෝ සලින්ත, බැකෝ සමන් ඇතුළු කණ්ඩායමෙන් ලද තොරතුරු මත පරීක්ෂණ මෙහෙයවන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් තොරතුරු රැසක් හෙළි කරගෙන ඇත.

මුලදී ඔවුන්ගෙන් තොරතුරු ලැබී තිබුණේ ඉෂාරා සෙව්වන්දී තම කණ්ඩායමේ සාමාජිකාවක් බවත්, ගනේමුල්ල සංජීව ඝාතනයට ඇය යොදාගත් බවත් ඒ වන විට ඇය රටෙන් පිට කර ඩුබායි දක්වා යවා ඇති බවත්ය.
එම මූලික තොරතුරු ඔස්සේ පරීක්ෂණ කරන ලද පොලිසියට වාර්තා වී ඇත්තේ ඝාතනයෙන් පසු ඇය මුලින්ම මිද්දෙනිය පළාතේ තැනකට පලා ගොස් තංගල්ල ප්‍රදේශයෙන් බෝට්ටුවක නැගී ඉන්දියාව දක්වා පැනගිය බවයි.
ඇයව ඉන්දියාවට රැගෙන යන කොන්තරාත්තුව වෙනුවෙන් ජේ. කේ. බායි නැමති පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 65ක මුදලක් ගෙවා ඇති බවත් හෙළිදරව් වී තිබේ.

ඉන්දියාවට ගිය ඉෂාරා තැන් තැන්වල සති කිහිපයක් ගතකොට තම මග පෙන්වන්නන් මාර්ගයෙන් අවසානයේ නේපාලය දක්වාම දුම්රියෙන් ගමන් කර ඇති බව වාර්තා විය.

නේපාලයේ කඳුකර ප්‍රදේශයක තට්ටු නිවාසයක උඩුමහලට වී සැඟව සිටියත් කෙහෙල්බද්දල පද්මෙලාගේ සැලසුම් අනුව මගපෙන්වන්නන් උත්සාහ කර ඇත්තේ වෙනත් අයෙකුගේ නමින් සැදූ ගමන් බලපත් හා වීසා උපයෝගි කරගෙන ඇයව ඩුබායි රාජ්‍යය බලා පිටත් කරවන්නට බව හෙළිදරව් වී ඇත.

කෙසේ වෙතත් මීට පෙර ඇයගේ මව ශ්‍රී ලංකාවේ මියගිය අවස්ථාවේ ඇය පෙරළා ලංකාවට පැමිණෙන්නට බලවත් උත්සාහයක් දරා ඇති මුත්, කෙහෙල්බද්දල පද්මෙ ඇතුළු කණ්ඩායමේ දැඩි බලපෑම මත "ඇයගේ සිතැඟි එම ගමන" වලකා ඇත. 
ඇයගේ මව ලංකාවේ මියගොස් තිබුනේ ඇය වෙනුවෙන් බන්ධනාගාර ගතව සිටියදී වෙනත් රෝගාබාධයක් උත්සන්න වීම නිසාය. එය ඇයට දරාගත නොහැකි වූ කම්පනයක් බව පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ. එම කම්පනය නිසා බැරිවෙලාවත් ඇය ලංකාවට පැමිණියේ නම් කෙහෙල් බද්දල පද්මේ ඇතුළු කණ්ඩායම මීට පෙර නීතියේ ග්‍රහණයට අසුවන්නට ඉඩ තිබූ බව ආරක්ෂක අංශ තහවුරු කරයි.

එවන් කැප කිරීමක් කරමින් ඉෂාරා ‘කෙහෙල්බද්දල පත්මේ අයියලා’ බේරා ගත්තත් පද්මෙ  අයියලා අසුවූ සැණින් ‘නංගිලාව’ පාවා දී තිබීම අපරාධ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ සාමාන්‍ය සිරිතයි.
ශ්‍රී ලංකාවේ පොලිසියෙන් ලැබුණු තොරතුරු හා ඉල්ලීම මත ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයය ඇතිව ජාත්‍යන්තර පොලිසිය මෙම වැටලීම මෙහෙයවා ඇති අතර ඉතා සාර්ථකව දෙරටේ පොලිස් කණ්ඩායම් නේපාලයේ තට්ටු නිවාසයක සැඟව සිටි මෙම විශේෂ වූ කාන්තාව අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් පැවසුවේය.
මේ වන විට විදේශගතව සැඟව සිටින අපරාධකරුවන් 40 දෙනෙකුට එරෙහිව රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් පැවසුවේය.

ඉෂාරා සෙව්වන් දී ලංකාවෙන් පන්නා විදේශ ගත විදේශගත කර සැඟවීමේ මෙහෙයුම වෙනුවෙන් කෙහෙල් බද්දල පද්මය ඇතුළු කණ්ඩායම මුලදී බායි වෙත ලබා දුන් ලක්ෂ 65ට අමතරව තවත් කෝටි එකහමාරක පමණ මුදලක් වියදම් කර ඇතැයි වාර්තා වේ

"මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදන 40ක් පමණ නිකුත් කරලා තියෙනවා. මේ වසරේදී දැනට රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් සහ සැකකාරියන් 18 දෙනෙකුව ශ්‍රී ලංකාවට රැගෙන එන්න පොලිසියට හැකිවෙලා තියෙනවා."

"පොලිස්පතිවරයාගේ අධීක්ෂණය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් නේපාලයට ගිහින් අපට අත්‍යවශ්‍යව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගන්න හැකි වුණා."

''ඉෂාරා සෙව්වන්දි නමැති මෙම සැකකාරියට රතු නිවේදන නිකුත් කර තිබුණා. ඇය අත්අඩංගුවට ගන්න නේපාලය රජයේ සහ පොලිසියේ සහය ලැබුණා. මෙතැනදී අපි ගෞරවනීය ස්තුතියක් පුදකරන්න ඕන නේපාල රජයට වගේම එරට පොලිසියට.''

''මෙම සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සමග තවත් ද්‍රවිඩ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තියෙනවා. ඔහු තමයි ඇයට රැකවරණය ලබාදීලා තියෙන්නේ. මෙතැනදී තවත් සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගන්න හැකියාව ලැබිලා තියෙනවා.''
උදර්පණ නීතිය යටතේ ඔවුන් සියලු දෙනා ඉක්මනින්ම නැවත ලංකාවට රැගෙන එන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0