ලක්ෂ 61ක් සාවද්‍ය පරිහරණය කළැයි අනුර යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු හයදෙනකුට අධි චෝදනා බාරදෙයි...

2014 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී, එවක තිබූ මැතිවරණයකට බලපෑම් වන පරිදි අනීතික ලෙස ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් අනීතික ලෙස සාවද්‍ය පරිහරණයකට ලක්කර ඇතැයි චෝදනා කරමින් එවකට හිටපු ඛණිජ තෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට අද (2025 10 01) එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ සංශෝධිත අධි චෝදනා භාරදී තිබේ. එම මැතිවරණ සමයේ අමාත්‍යවරයාගේ දේශපාලන බලප්‍රදේශය වන කටුගම්පල ආසනයට "ගංවතුර තත්ත්වයක් නොමැති" අවස්ථාවක ''ගංවතුර ආධාර'' බෙදීම සඳහා එම මුදල සාවද්‍ය ලෙස පරිහරණය කර ඇතැයි හිටපු අමාත්‍යවරයා ඇතුළු 6 දෙනාට චෝදනා ඉදිරිපත් කර ඇත.

Oct 2, 2025 - 18:15
 18
ලක්ෂ 61ක් සාවද්‍ය පරිහරණය කළැයි  අනුර යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු  හයදෙනකුට අධි චෝදනා බාරදෙයි...

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියට කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා විසින් එම සංශෝධිත අධි චෝදනා පත්‍ර විත්තිකරුවන් වෙත භාර දී ඇත.

සංශෝධිත අධි චෝදනා පත්‍රය යටතේ මෙම නඩුවේ තවත් විත්තිකරුවකු ලෙස එවකට හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ බව කියන අනුර සෙනවිරත්න නැමැත්තෙකු නම් කර ඇතැයි පැමිණිල්ල විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් මෙම පුවත පිළිබඳ විමසීමකදී අනුර යාපා හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ 2014 වසරේ තමන් විෂය භාර ඇමතිවරයාව සිටියදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සතොස ආයතනයට මුදලක් ගෙවා ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් වියලි ආහාර සලාකයක් බෙදා දීමට කටයුතු කර ඇති බවයි. එම කාලයේ ගංවතුරක් බලපෑවේ නැතැයි කියා කීවත්  එම දිනවකවානුවලට අනුව කාලගුණ වාර්තා විමසා බැලීමකදී සත්‍ය තොරතුරු හෙළි කර ගත හැකි වනු ඇති බවය. 

ශ්‍රී ලංකාවටම බලපානා පරිදි මහා වර්ෂාවත් සමගම දරුණු ගංවතුරක් ඇති වූ බව පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා එම ගංවතුර හේතුවෙන් ජනාධිපතිවරණය පවා දින කීපයක් පස්සට ගන්නට සිදුවූ බව ඉතිහාසය සාක්ෂි ලබාදෙනු ඇතැයි වැඩිදුරටත් කීවේය.

එම ගංවතුර කුරුණෑගල කටුගම්පොළ ආසනයට බලපෑවේ කෙසේදැයි මාධ්‍යවේදියා විමසද්දී හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එම කාලවකවානුවේදී මා ඔය සහ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඒ ගංගා දෙකකට මැදිවූ පහත් බිම් ප්‍රදේශය ඉතා දැඩි ලෙස ගංවතුර උවදුරින් විපතට පත් වූ බවයි. එවන් කරුණක් මුල් කරගෙන ජනතාවට සහන සැලසීම නිමිති කොටගෙන අද මෙවන් චෝදනාවකට තමන් ලක්ව ඇති බව වැඩිදුරටත් හිටපු ඇමතිවරයා පෙන්වා දුන්නේය.     

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 1
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0