මේ ආණ්ඩුව කාලේ "කුඩු ගේන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්, කුඩු අල්ලන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්"...

ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් පුනරුද ආණ්ඩුව මේ රට ''මත්ද්‍රව්‍ය උවදුරුවලින් තොර ලස්සන රටක්'' බවට පරිවර්තනය කරන බවට මැතිවරණ වේදිකාවේ පොරොන්දු දුන්නත් අද වන විට මේ රටේ අයිස් ප්‍රමුඛ මත්ද්‍රව්‍ය ගෙන්වන්නේත් ඒවා අල්ලන්නේත් දෙකම ''රාජ්‍ය අනුග්‍රහයෙන්'' බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශ කළේය.

Oct 2, 2025 - 16:36
 15
මේ ආණ්ඩුව කාලේ "කුඩු ගේන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්, කුඩු අල්ලන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්"...

විමල් වීරවංශ අද (02) බත්තරමුල්ලේ දී පවසයි 
වීරවංශ මහතා එම අදහස ප්‍රකාශ කළේ අද (2025 ඔක්තොම්බර් 02 වනදා) පෙරවරුවේ බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයේ පැවැති පුවත්පත් සාකච්ඡාවේදී උණුසුම් කරුණු රැසක් හෙළිදරව් කරමිනි. දක්ෂිණ ලංකාවේ කුඩු පාතාලය මේ වන විට හිස ඔසවා ඇත්තේ මේ ආණ්ඩුව බලයට පත්වූ පසුව බව පෙන්වා දෙමින් දකුණේ කුඩුපාතාලයේ තොරතුරු රැසක් මෙසේ හෙළිදරව් කළේය.

''විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අයිස් පැතිරීම ගැන මේ ආණ්ඩුව විශාල ඝෝරනාඩුවක් පහුගිය කාලයේ කරනු ලැබුවා. අපි දිගින් දිගටම කියා සිටියා මේ අල්ලන ඔක්කොම අයිස්, මේ රජයේ පාලන කාලයේ එළියට ආපු අයිස් සහ මත්ද්‍රව්‍ය කියලා. කන්ටේනර් 323ක් පරීක්ෂා කර බැලීමකින් තොරව එළියට යවපු, රතු ලයිස්තුවට ලේබල් ගත කරපු කන්ටේනර් 200 ගණනක් පරීක්ෂා කර බැලීමකින් තොරව එළියට යවපු ආණ්ඩුව, ඒ කන්ටේනර් වලින්ම රට ඇතුළට ආපු අයිස් මත්ද්‍රව්‍ය තැන් තැන්වල අල්ලමින් පුරාජේරු කතා කියන්න පටන් ගත්තා. 
නමුත් අද වන විට මොනවද හෙළිදරව් වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයා පහුගිය පළාත් පාලන මැතිවරණයේදී අවසන් රැස්වීම අමතලා කෑම කන්න ගිය ගෙදර, ජනතා විමුක්ති පෙරමුණේ ඉතාම හිතවත්, මුදල් අතින් වියදම් කරන, හැම අතින්ම සහයෝගය දක්වන පුද්ගලයෙක් ඉන්නවා සනත් වීරසිංහ කියලා. සනත් වීරසිංහ හෙවත් 'පුවක්දණ්ඩාවේ සනා' කියන මේ පුද්ගලයාව දැන් පොලීසියට අත්අඩංගුවට ගන්න සිද්ධ වෙලා තියෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තු ඒ සියලු මත්ද්‍රව්‍ය ''ඔහුගේ බෝට්ටු මගින්'' මේ රටට ගෙනවිත් තිබෙන්නේ. මේ පුද්ගලයාව අන්තිමට සමාජ මාධ්‍යවලින් විශාල පීඩනයක් එල්ල වුණාට පස්සේ අත්අඩංගුවට ගන්න පොලීසියට සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ 'පුවක්දණ්ඩාවේ සනා' පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙක්, හිතවතෙක්. මේ අයිස් මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනාපු බෝට්ටුවේ හිමිකරුවා ඔහු වෙනවා. එතකොට පැහැදිලියි, දැන් ආණ්ඩුව මොනතරම් පම්පෝරි ගැහුවත් මේ මත්ද්‍රව්‍ය තොගපිටින් ආවේ ඔවුන්ගේම ගෝලයෝ, ඔවුන්ගේම පාක්ෂිකයෝ, ඔවුන්ගේම ප්‍රබල හිතවතුන් හරහා කියලා.

මොහුගේ ගිණුම්වල විශාල මුදලක් එකතු වෙලා තියෙනවා. ඔහු ඒ නිසා අතපය දිග ඇරලා ජනතා විමුක්ති පෙරමුණට පහුගිය කාලය පුරා උදව් කළා. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණේ උදවිය පළවෙනි අවස්ථාවේ මෙයාව අත්අඩංගුවට ගත්තාම, පොලීසියට බලපෑම් කරලා නිදහස් කරගත්තේ. දැන් නොගෙන බැරි තත්ත්වයකට පත් වුණාම තමයි නැවත අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලියි, මීට කලිනුත් අපි අවධාරණය කළා වගේ, ‘‘කුඩු ගේන්නෙත් රාජ්‍යානුග්‍රහයෙන්, කුඩු අල්ලන්නෙත් රාජ්‍යානුග්‍රහයෙන්‘‘.

පහුගිය කාලවල නාවික හමුදාව ධීවර බෝට්ටු පරීක්ෂා කළ නිසා තොග වශයෙන් මුහුදේදීම මේවා අත්අඩංගුවට ගත්තා. මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ නාවික හමුදාව යොදවමින් මුහුදේ පරීක්ෂා කිරීම බොහෝ දුරට අඩාල කරලා තියෙනවා. ඒවයේ ප්‍රතිඵලයක් හැටියට තමයි 'පුවක්දණ්ඩාවේ සනා'ලා තමන්ගේ බෝට්ටුවලින් මේ තරම් මත්ද්‍රව්‍ය තොග පිටින් රටට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. 
ඒ නිසා අපි කියන්නේ, මේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට එක එක දේශපාලන හංවඩු ගහන්න යන්නේ නැතුව, තමන්ගේ පාලන කාලය ඇතුළේ රටට ගෙනාපු මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා අවංකව පියවර ගන්න. දේශපාලන ප්‍රයෝජන ගැනීම සඳහා පොලීසිය භාර ඇමතිවරයා පොලිස් මාධ්‍ය ප්‍රකාශකයාගේ භූමිකාව ඉටු කරන තත්ත්වයකට වැටෙන්නේ නැතුව මේවා පිළිබඳ බොහොම බරපතල ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි අපි විශේෂයෙන් අවධාරණය කරන්නේ.''
 

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0