ශ්‍රී ලාංකේය දේශපාලන කරළියේ හය වරක් අගමැති වූ හය වරක් විපක්ෂ නායක වූ එක්වරක් ජනාධිපති වූ කවුද මේ රනිල් වික්‍රමසිංහ....
ජනාධිපති අනුර දිසානායක පසුගිය දිනක ජපානයේ කරන ලද සංචාරයක දී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් හමුවන්නට ගියේය. එහිදී අදහස් දැක්වූ එක්තරා පුද්ගලයෙක් රනිල් වික්‍රමසිංහ නැමැති දේශපාලනඥයා ගැන මහා අමුතු කතාවක් කීවේය. ''කවදාවත් බස් එකක ගිහින් නැති මිනිහෙක් ඔබතුමා ඇවිත් විමර්ශන අරඹලා බස් එකක යැව්වා. ඒ සතුටට මම වයින් බෝතලයක්ම බිව්වා'' දියුණු රටක සැපසේ ජීවත් වුවත් ඔහුගේ එම ප්‍රකාශයෙන් පෙන්නුම් කලේ තමන් තවම ගල් යුගයේ ජීවත් වන වනචාරී මිනිස්සුන්ටත් වඩා අන්ත සිතිවිලි ඇත්තෙකු බව නොවේද. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මා එතරම් ඇලුම් කළ දේශපාලඥයෙක් නොවූවත් එක්තරා තීරණාත්මක අවස්ථාවකදී ඔහු මේ රට වෙනුවෙන් කළ මෙහෙවර අගය කරන්නට මට ද සිදුවිය. එවන් එක්තරා අවස්ථාවක මේ ලිපිය මා අතින් ලියවී තිබිණි. මෙහි අඩංගු ඇතැම් කරුණු මේ වන විට කාලයත් සමඟ අවලංගු වී තිබුණත් මා මේ ලිපිය පළ කරන්නේ රනිල් වික්‍රමසිංහ ඒතරම් පටු ලෙස සැලකිය යුතු නැති සංකීර්ණ මිනිසෙකු බව මට දැනුනු නිසාය.
බුලිත ප්‍රදීප් කුමාර
ශ්‍රී ලංකේය දේශපාලනයේ කරලියේ වර්තමානයේත් සක්‍රීයව දේශපාලනයේ පසුවන එක්සත් ජාතික පක්ෂයේ සුවිශේෂීම පරිණතම දේශපාලනඥයා කවුදැයි කෙනෙකු ඇසුවහොත් දීමට තිබෙන එකම උත්තරය රනිල් වික්‍රමසිංහයි.
මේ වන විට මහජන මුදල් ආයථා ලෙස පරිහරණය කළේ යැයි කියන වරදකට සැකකරුවකු ලෙසින් රිමාන්ඩ් බන්දනාගාරගතව සිටින ලංකාවේ අටවෙනි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබඳ බොහෝ දෙනා තොරතුරු සොය යි. එසේනම් සැබැවින්ම කවුද මේ රනිල් වික්‍රමසිංහ....
මේ රටේ බිහි වූ සුප්‍රකට පුවත්පත් කලාවේදියෙකු වන සිළුමිණ ආදී කතෘවර එස්මන් වික්‍රමසිංහටත් ඔහු සේවය කළ වුවත් පත අයත් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ හිමිකරු වන ඩී. ආර්. විජේවර්ධනයන්ගේ ජ්‍යෙෂ්ඨ දියණිය නාලනී වික්‍රමසිංහ මහත්මියටත් දාව 1949 මාර්තු 24 රනිල් වික්‍රමසිංහ කොළඹදී ජන්ම ලාභය ලැබීය. ඔහුට ශාන් වික්‍රමසිංහ නමින් වැඩිමල් සහෝදරයකුත් ක්ෂනිකා වික්‍රමසිංහ නමින් බාල සොයුරියකත් චන්න හා විරාජ් නමින් බාල සහෝදරයන් දෙදෙනෙකුත් සිටියි.
කොළඹ කොල්ලුපිටිය පස්වැනි පටුමගේ තම උපන් නිවසට යාබද කොළඹ රාජකීය විද්‍යාලය තම අධ්‍යාපන කටයුතු ඉටු කර දෙන මූලික තක්සලාව කරගත්තේය. පාඨශාලීය අධ්‍යාපනයෙන් අනතුරුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා ද යාබද කොළඹ විශ්ව විද්‍යාලය තෝරාගන්නට සිදුවිය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් නීති උපාධියක් ලබා ගත්තේය. අනතුරුව කොළඹ නීති විද්‍යාලයට බැඳුණු තරුණ රනිල් 1972 වසරේදී එයින් එළියට ආවේ නීතිඥයකු ලෙස දිව්රුම් දීමෙන් ලද පන්නරයත් සමඟයි...
ලේ නෑකමින් දේශපාලනයට පිවිසෙයි...
තුරුණු වියේදීම මවුපිය උරුමයෙන් හා ලේ ඥාතිත්වයෙන් දේශපාලනයට පිවිසි තරුණ රනිල් එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන ජේ ආර් ජයවර්ධන විසින් තෝරා ගත්තේ කැලණිය ආසනයේ ආසන සංවිධායකවරයා ලෙසයි. දේශපාලනයට මැනවින් ගෞරව කළ, ආදරය කළ තරුණ නීතිඥයාට මෙය කදිම අත්දැකීමක් බවට පත් විය. එවකට පැවැතියේ ලොව ප්‍රථම අගමැතිනිය ලෙස විරුදාවලි ලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සභාග ආණ්ඩුවයි. එයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය දියත් කළ දේශපාලන මෙහෙයුමේ පුරෝගාමී තරුණ නායකකු ලෙස කැපී පෙනුණු නීතීඥ රනිල් ජේ. ආර්. ජයවර්ධනට ද නැතුවම බැරි ශක්තියක් බවට පත්ව සිටියේය.
1977 ඓතිහාසික මහ මැතිවරණයේදී කැලණියේ බියගම ආසනය නියෝජනය කරමින් ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ ඉතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන ජේ ආර් ජයවර්ධනගේ ධර්මිෂ්ඨ ආණ්ඩුවේ ප්‍රබල කොටස්කාරයකු බවට පත්විය. රනිල් ඒ වන විට යාන්තමින් 28 වන විය සම්පූර්ණ කළා පමණි. එවකට ආකර්ශනීය චරිතයක් වූ මේ තරුණ මන්ත්‍රීවරයාට නියෝජ්‍ය ඇමතිකමක් භාර දෙන්නට ද අගමැති ජයවර්ධනට (එවකට විධායක ජනාධිපති නොවේ) අවශ්‍ය විය.
ඔහුට මුලින්ම ලැබුණේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයයි. රාජ්‍ය පාලනයේදී ජේ.ආර්.ජයවර්ධනට අවශ්‍ය වූයේ පවත්නා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායකයේ ආණ්ඩුවක් වෙනුවට විධායක ජනාධිපතිවරයෙකු සහිත කැබිනට් මණ්ඩලයක් විසින් මෙහෙයවුණු ලබන ආණ්ඩුවක නායකයා වන්නටය. ඔවුන් ඒ සද හා පුළුල් ව්‍යවස්ථා සංශෝධනයක් ද සූදානම් කළේ ඔය අතරය.
ඒ අතරතුර රනිල් වික්‍රමසිංහ නියෝජ්‍ය ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු කරගන්නට ජයවර්ධන ජනාධිපතිවරයාට අවශ්‍ය විය. ඔහුට 1980 වසරේදී තරුණ කටයුතු හා රැකීරක්ෂා කැබිනට් අමාත්‍ය ධූරය පිරිනමනු ලැබුවේ ඒ අනුවය. තරුණ කටයුතු සංවර්ධන ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කරමින් රනිල් ජාතික තරුණ සේවා සභාව පිහිටුවා යෞවන සමාජ සම්මේලනය ඇති කොට රට පුරාම විසිර පැතිර සිටින තරුණ සම්පත සංවිධානය කරමින් තරුණු සේවා සභාව යටතේ ගොනු කරගන්නට රනිල් සමත් විය.
ඒ හැරුණු විට ජනාධිපති ජේ ආර් ජයවර්ධන ජපන් රජය සමඟ ඇති කරගෙන තිබූ මිත්‍රත්වයේ ආනුභාවයෙන් තරුණ කටයුතු සංවර්ධන ක්ෂේත්‍රය වෙත ඉතා වටිනා ආධාර, අනුග්‍රහ, අනුබල රාශියක් ළඟා කර ගන්නට රනිල් සමත් විය. එක් ප්‍රබල උදාහරණයක් වූයේ ජාතික තරුණ සේවා සභාව සඳහා මහරගම පිහිටි තරුණ මධ්‍යස්ථානය ජපන් රජයේ ආධාරයක් ලෙස අත්පත් කරගැනීමයි. තරුණ සංවර්ධනය වෙනුවෙන් යොවුන් පුරය, යොවුන් ක්‍රීඩා උත්සවය, යොවුන් නාට්‍ය උළෙල හා යෞවන සම්මාන උළෙල ආදී වැඩසටහන් අදටත් පවතින ලෙස රනිල් ආරම්භ කළ පුරෝගාමී ව්‍යාපෘති ලෙස නම් කළ හැකිය. යොවුන් පාර්ලිමේන්තුවද ඔහුගේ සංකල්පයක් හැටියට ආරම්භ වී අදටත් පාර්ලිමේන්තුවට පවා තරුණ දේශපාලන නායකයින් පුරුදු පුහුණු කොට එවන පුහුණු ක්‍රියාන්විතයක් ලෙස සැලකේ
මේ අතරතුර ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ අනන්‍යතාවය සනිටුහන් කරන අනිකුත් පුරෝගාමී අධ්‍යාපන වැඩසටහන වූ අධ්‍යාපන ''ධවල පත්‍රිකාවද'' රනිල්ගේ සංකල්පයක් ලෙස ක්‍රියාවට නැංවූවකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් රජයක් රටට යෝජනා කළ ඉතාමත්ම සූක්ෂම වූත් ඵලදායී වූත්, මේ රටට ගැලපෙන හොඳම අධ්‍යාපන වැඩ පිළිවෙළ අධ්‍යාපන ධවල පත්‍රිකාව බව බොහෝ අධ්‍යාපනඥයින්ගේ මතයයි. එහෙත් එය එක්තරා දේශපාලන බලවේගයක තරුණ උසිගැන්වීම් හා තරුණ ක්‍රියාකාරකම් හමුවේ මේ රටේ ක්‍රියාත්මක කිරීම අසාර්ථක වී ගියේය. එදා එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීම අධ්‍යාපනඥයින් විසින් අදටත් සලකනු ලබන්නේ මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු වූ යළිත් හරිගස්සන්නට නොහැකි ඓතිහාසික වරදක් බවය.
1993 වසරේදී එවකට රටේ ජනාධිපතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වීමෙන් අනතුරුව එවකට සිටි අගමැති ඩී බී විජේතුංග මහතා ජනාධිපති ධූරයේ අනුප්‍රාප්තිකයා ලෙස වැඩ භාරගත්තේය. එවිට හිස් වූ අග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ තෝරා ගනු ලබන්නේ ඩී. බී විජේතුංග මහතා ප්‍රමුඛ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හා දේශපාලන මණ්ඩලය විසිනි.
එහෙත් එම ජනාධිපති ධුරයේ දිගින් දිගටම කටයුතු කරන්නට ඩී බී විජේතුංග මහතා බලාපොරොත්තු වූයේ නැත. ඒ වන විට 17 වසරක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය රට පාලනය කිරීමෙන් පසුව රට තුළ යම් යම් සමාජ දේශපාලන හා ආර්ථික මෙන්ම සංස්කෘතික අවුල් වියවුල් රාශියක් පැන නැගී තිබිණි. උතුරු නැගෙනහිර කොටි සංවිධානයේ ක්‍රියාකාරකම්ද බලවත්ව තිබුණු අතර රාජ්‍ය නායකයන් ඝාතනය කිරීමට පවා ඔවුන් ඒ වන විට සැලසුම් සහගතව අගනුවර දේශපාලනය වෙතද පැමිණ සිටියහ. මෙම තත්ත්වය තුළ මහජන කැමැත්ත ස්වභාවිකව පිලිබිඹු කිරීම සඳහා යුක්තිගරුක සර්ව සාධාරණ මැතිවරණ පැවැත්විය යුතු යැයි දැඩි අධිෂ්ඨානයක ජනාධිපති විජයතුංග මහතා පසුවිය. 1994 වසරේ දී මහ මැතිවරණයක් පවත්වන්නට විජයතුංග මහතා පසුබිම සකස් කළේ ඒ අනුවය.
17 අවුරුදු එ ජා ප පාලනයෙන් ඔබ්බට...
මහ මැතිවරණයෙන් ජයගත්තේ 17 අවුරුදු එක්සත් ජාතික පක්ෂ පාලන සමය අවසන් කළ නායිකාව ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි. ඒත් සමගම පැමිණි ජනාධිපතිවරණය ඉතා උණුසුම් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ. එයට අගමැතිනි ඡන්ද්‍රිකා ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි අතර එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ඡන්දය ඉල්ලීමට රනිල් වික්‍රමසිංහ සූදානම් වුවත් ඒ වන විට පක්ෂය ඇතුලාන්ත යේ බල තුලනය වෙනස් වී තිබූ බැවින් ඔහුට එම අවස්ථාව අහිමි විය. ප්‍රේමදාස සමයේ පක්ෂයෙන් ඈත් වී පක්ෂයට දෝශාභියෝගයක් පවා ගෙන ආ ගාමිණී දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි ඒ වන විට පක්ෂය ඇතුලාන්තයට යළි පැමිණ සිටියහ. ම රෙනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂකයා ලෙස පක්ෂය වැඩි ඡන්දයෙන් තෝරා ගනු ලබන්නේ ගාමිණී දිසානායකය. රනිල්ට එම අවස්ථාව පෙනිපෙනී අහිමි වී ගියේය. චන්ද්‍රිකා ඉතා විශිෂ්ට ජයක් අත්පත් කර ගනිමින් ජනාධිපති වූවාය.
යළිත් ජනාධිපතිවරණයක් පැමිණියේ 1999 වසරේදීය. එමවිටදී පක්ෂය ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන්නට ඒකමතිකව තීන්දු කළත් ජනාධිපතිවරණයේදී රනිල් චන්ද්‍රිකාට පරාජය විය. ඒවර ඔහුට ලබාගත හැකි වූයේ 42.7%ක අතිශතයක ඡන්ද ප්‍රමාණයක් පමණි.
ඊළඟට එළැඹි 2005 ජනාධිපතිවරණය මේ රටේ දේශපාලන කරළියේ තීරණාත්මක අවස්ථාවක් කළේය. එවරත් රනිල් එජාපය නියෝජනය කළේය. ආණ්ඩු පක්ෂය තරග බිමට පැමිණියේ වමේ පක්ෂ සියල්ලටම ඒකරාශී කරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නම්වූ වමේ බලවේගයක් හැටියටය. එනමුත් රටේ වතුකරයද ඇතුළු දෙමළ මුස්ලිම් ජනතාව නියෝජනය කරන සුළුජාතික පක්ෂ රනිල් සමඟ අත්වැල් බැඳගෙන සිටියේය. ජනපති මැතිවරණ සටන ඉතා උණුසුම් එකක් විය. රනිල් ගේ ප්‍රතිවාදියා වූයේ ප්‍රබල මහින්ද රාජපක්ෂ නැමති දකුණේ සියලු සිංහල බෞද්ධ බලවේග නියෝජනය කළ නායකයාය.
එනමුත් මහින්ද රාජපක්ෂ එම ජනාධිපතිවරණයෙන් ජය ලැබුවේ ඡන්ද 180 786 ක් තරම් ආසන්න ඡන්ද සංඛ්‍යාවකිනි. එහිදී රනිල්ගේ පරාජයට හේතුව ලෙස බොහෝ දෙස් විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ වූ පෙන්වා දුන්නේ උතුරු පළාතේ ජනතාව කොටි සංවිධානයේ අනසකට යටත්ව එම ඡන්දය වර්ජනය කිරීමට ගන්නා ලද ඓතිහාසික තීන්දුව නිසාය. සාමාන්‍යයෙන් යාපනය දිස්ත්‍රික්කයේ පමණක්ම වලංගු ඡන්ද 701 938ක් ලියාපදිංචිතව සිටියහ. එහෙත් එයින් එම ඡන්දයට වැටී තිබුණේ 1.2%පමණ වූ ඉතා පහළ ප්‍රතිශතයක ඡන්ද ප්‍රමාණයක් පමණි. එම ඡන්දවලින් සැලකියයුතු ප්‍රමාණයක් ඡන්දපලට පැමිණ තිබුණේ නම් බොහෝවිට ප්‍රතිඵලය මීට වඩා වෙනස් එකක් වන්නට ඉඩ තිබූ බව විශ්ලේශකයන්ගේ මතයයි. එසේ නම් කොටි එදා මහින්දට උදව් කළේ ද..?
එතනින් පසුව බලයට පත් වූ මහින්ද රාජපක්ෂගේ ප්‍රබල ආණ්ඩුව රනිල් වික්‍රමසිංහට එරෙහිව ප්‍රබල අදහසක් ජනගත කළේය. ''රනිල්ට බෑ'' ආදී වශයෙන් අර්ථ ගන්වා ජනගත කළ එම ප්‍රබල අදහස ක් 2023 වසරේදී ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තකයා බවට පත්වන තුරුම රනිල්ගේ අවාසියට සමාජගතව තිබූ බව අපිට මතකය. එමගින් රනිල් කොතරම් පසුබා සිටියේ ද යත් එළඹි හැම ජනාධිපතිවරණයකදීම ඔහු තරග කිරීමෙන් වැළකී සිටියේය.
මහින්දට එරෙහිව රනිල්ගේ තුරුම්පුව...
2010 ජනාධිපතිවරණය පැවැතියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුරේ යුද්ධය නිමකර ඉමහත් ජනප්‍රසාදයක් රට වටෙන්ම දිනාගෙන සිටින්න පසුබිමකය. යුද ජයග්‍රහණයේ ජනතා ප්‍රීති ප්‍රමෝදය මහින්දගේ වාසියට පිහිටා සිටියේය. එක්සත් ජාතික පක්ෂය එම වාසිය ලබාගන්නට හෝ කෑලිවලට බෙදන්නට තවත් උපක්‍රමයක් සොයමින් සිටියේය. ඊට හොඳම තුරුම්පුව ලෙස ඔවුන් තේරුම් ගත්තේ මහින්දගේ යුධ ජයග්‍රහණයේ තවත් උරුමක්කරුවකු වන ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයක් පැත්තෙන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමයි.
එම උපක්‍රමය අසාර්ථක වූවා පමණක් නොව. එක්සත් ජාතික පක්ෂයේ පසුබෑමට තවත් එක් හේතුවක් විය. තිස් වසරක් මේ රට අවාසනාවන්ත ලෙස විපතට ඇද දැමූ බිහිසුණු යුද්ධය නිමකරමින් විජයග්‍රහණය හා නිදහස රටට ලබා දුන් අසහාය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ ලබාගෙන තිබූ කීර්තියට අලගු තබන්නටවත් ඔහුගේ සෙන්පතියා වූ සරත් ෆොන්සේකාට කවුරු කොතරම් ආධාර උපකාර කළත් හැකිව තිබුණේ නැත.
එනමුත් 2010 වසරෙන් පසුව එළඹි මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය පාලන සමය රටට එතරම් හිතකර ආකාරයේ එකක් ලෙස සමාජ දේශපාලන විචාරකයෝ පිළිගත්තේ නැත. රට පුරාම සංවර්ධන කටයුතු වේගවත් කර පෙනෙන්නට යම් සංවර්ධනයක් හතු පිපෙන්නාක් මෙන් ඇතිවූ බව නම් සැබෑය. උතුරු නැගෙනහිර පළාතේ ද සංවර්ධනය මහත්ය. එහෙත් ඒ සංවර්ධනයේ හා රාජ්‍යතන්ත්‍රයේ පිටුපස රටේ ජනතාවට හිමිවිය යුතු ප්‍රතිඵල හා වරප්‍රසාද අතරමගදී කොල්ලකාගෙන තම සාක්කුවට බෙදා ගන්නා පිරිසක් සිටියහ. මෙවන් ජාවාරම්කරුවන් කොමිස්කරුවන් හා කූට ව්‍යාපාරිකයන් අතිවිශාල ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂලාගේ දේශපාලන කීර්ති කදම්බයේ අනුහස ලබමින් වර්ධනය වූහ. රාජපක්ෂලා හොරු යැයි යම් යම් පිරිස් අර්ථ දක්වන්නට පටන් ගන්නේ මේ වරප්‍රසාදිත කූඨ ව්‍යාපාරික හා අතරමැදි පැලැන්තියේ ක්‍රියාකාරකම් නිසා බව නොදන්නා කෙනකු නැති තරම්ය. එහෙත් රාජපක්ෂලා මේ පිළිබඳ තේරුම් ගත්තේ බොහෝ ප්‍රමාද වී ය. මෙම තත්ත්වය විපක්ෂයේ දේශපාලන නැගිටීමකට හා දේශපාලන පෙරළියකට උත්තේජන සපයමින් සිටියහ.
මහින්ද පැරදවූ රනිල්ගේ දෙවන තුරුම්පුව...
එහිදී එජාප නායකයා එවකට විපක්ෂය වටා ගොනුවූ දේශපාලන පක්ෂ හා සමාජ බලවේගවල පුළුල් පෙරමුණක් සංවිධානය කරමින් පුලූල් සමාජ පරිවර්තනයකට පසුබිම සකස් කරමින් සිටියේය. මෙම පුළුල් සමාජ බලවේගවලට දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන හා මහා බලවතුන්ගේ ද උදව් උපකාර ලැබුණු බවට සාක්ෂි අද මේ වන විටදී රටට හෙළිදරව් වී අවසන්ය. එවකට රාජපක්ෂ පාලනයට එරෙහිව නොයෙකුත් බලවේග මේ රටේ නොයෙකුත් අරමුණු ඇතුව ක්‍රියාත්මක වෙමින් සිටි අතර 2015 පෙරළියට මේ බලවේග කොන්දේසි විරහිතව රනිල්ගේ ක්‍රියාන්විතයට උදව් උපකාර කළ බව මේ වන විට රහසක් නොවේ .
රනිල්ගේ මෙම ක්‍රියාන්විතයට අනුව 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්දට එරෙහිව තරඟ වදින්නට පෙරමුණට එන්නේ තමන්ගේම පක්ෂයේ මහ ලේකම් වූ මෛත්‍රීපාල සිරිසේන බව අවසානය වන තුරුම මහින්ද දන්නේ නැත. සටන ක්‍රියාත්මක වන්නේ ගලඋඩ සටහනක් ලෙසිනිි. අවසානයේ රනිල් ජය ගත්තේය. මහා බලසම්පන්න මහින්දගේ ආණ්ඩුව බිඳ දමන්නට එවර රනිල් සමත් වූයේ මහින්ද ළඟම සිටි සියලුම සමාජ දේශපාලන සංස්කෘතික බලවේග මැතිවරණයේදී මහින්දට එරෙහිව පාවිච්චි කරමිනි. ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ වහාම රනිල් නැවත වතාවක් මේ රටේ අගමැතිවරයා ලෙස පත් කරනු ලැබීය.
රනිල් පළමු වරට මේ රටේ අගමැති වන්නේ 1993 මැයි 7 වැනි දින, රණසිංහ ප්‍රේමදාස ඝාතනය කිරීමෙන් පසු ඩී බී විජේතුංග අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් ඇති වූ අගමැති පුටුවේ පුරප්පාඩුව පුරවන්නටය. 1994 දී චන්ද්‍රිකා පැමිණ පසු රනිල් යළි විපක්ෂයට ගියේය. අනතුරුව එක්සත් ජාතික පක්ෂය යළිත් 2001 දී පිහිටවන ආණ්ඩුවේ අගමැති වන්නේ ද රනිල්ය. ඒ දෙවැනි වතාවයි. ජනාධිපති හා ආණ්ඩුව පක්ෂ දෙකක සිට රට පාලනය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. රනිල් බොහෝ වෙහෙසකර සමාජ දේශපාලන පීඩාවන්ට ඒ සංක්‍රාන්ති සමය තුළ මුහුණ දුන්නේය. රනිල්ගේ එම රජය ඉතා කෙටි කාලීන ආණ්ඩුවක් විය.
2015 දී සිරිසේන ජනාධිපති වීමත් සමඟම ඔහු රනිල් අගමැති කළේය. ඒ තුන්වැනි වතාවයි. අනතුරුව පවත්වනු ලැබූ මහ මැතිවරණය ජය ගැනීමෙන් පසුවද රනිල් සිවුවැනි වතාවටත් රටේ අගමැති විය. රනිල් වික්‍රමසිංහ නම් කෘතහස්ත දේශපාලඥයා පුද්ගලික ජීවිතයේදී බොහෝ දේ කැප කළ අයෙකු ලෙස ප්‍රකටය. ඔහු දේශපාලනය පිණිස සිය භද්‍ර යෞවනය කැප කළේය. මේ නායකයා විවාහ ජීවිතයකට ඇතුළත් වන්නට කල්පනා කළේ ජීවිතය මැදි වයසට ආසන්න වෙමින් තිබෙන කාල වකවානුවකය.
ඔහුගේ පුද්ගලික ජීවිතයේ ලොකුම පරිවර්තනය වූයේ 1994 වසරේදී විවාහපත්වීමත් සමඟය. කැලණිය විශ්ව විද්‍යාලයේ භාෂා සන්නිවේදන අංශයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ උත්තුංග රාජ්‍යතාන්ත්‍රකයාගේ ජීවිතයේ දුක සැප සතුට සම සමව බෙදාගත් සහකාරිය වූවාය.
මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ මෛත්‍රිපාල සිරිසේන විසින් 2018 දී මහින්ද රාජපක්ෂ ආගමැතිකර යහපාලන ආණ්ඩුව බිඳවැට්ටවූ වේලාවේ රනිල් උපේක්ෂා සහගතව ගොස් විපක්ෂයේ වාඩි වූයේය. එහෙත් එම ''දින 100'' ආණ්ඩුව නීතිය ඉදිරියේ සාර්ථක නොවීය. රනිල් පස්වන වතාවටත් අගමැති තනතුර ලබාගන්නට සමත් විය.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ විපරීත ඉරණම මහ බලවත්ය. ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීමෙන් පසුව රනිල්ට යළිත් අගමැති තනතුර අහිමි වූවත් අරගලය විසින් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් කරවීමත් සමගම හයවෙනි වතාවටත් රනිල් වික්‍රමසිංහට අගමැති තනතුර හිමි විය. ඔහුගේ ඉරණම මොනතරම් බලවත් ද යත් දැවැන්ත එක්සත් ජාතික පක්ෂයෙන් ඒ වනවිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුව සිටියේ ඔහු පමණි. අගමැති තනතුර හිමිවූයේ තනි මන්ත්‍රීවරයාටය. අනතුරුව ගෝඨාභය රට අතහැර යාමෙන් පසු වැඩ බලන ජනාධිපතිවරයා ලෙසත් ඉල්ලා අස්වීමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිතිවරයා ලෙසත් මේ රට සුරැකිව බාරගත්තේය. ඉරණම ලබා දුන් ආශිර්වාදය කොතෙක් ද...
ජනාධිපති කළේ ජනබලය විසින් නොව අරගලයේ ඉරණම විසින් යැයි මට සිතේ. ඒ වන විට රට හමුවේ බරපතල ප්‍රශ්න රාශියක් පැන නැගී තිබිණි. තෙල් පෝලිං ගෑස් පෝලිං ඉන්ධන පෝලිං ආදී මහජන හිරිහැරකාරී පෝලිං යුගයක් නිර්මාණය වී තිබිණි. අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් පැවතිණි. රට කරවන සියලූ ආයතන වල දැතිරෝධ ඇණ මුරිච්චි අක්‍රියව පැවතුණි. රනිල් පැමිණ ඉතා කෙටි කලකින් ඒ ප්‍රශ්න එකින් එක ගෙන විසඳන්නට සමත් වූයේය. රට වැටෙමින් ගිලෙමින් තිබුණු ආගාධයෙන් ටික දිනෙකින් ආපසු හරවා ගොඩගන්නා අතට ගෙන එන්නට සමත් විය. බිඳ වැටෙමින් තිබූ ඔත්පල වී තිබූ බුන්නත් වෙමින් පැවතෙමින් තිබූ ආර්ථිකය යළි නිසි මාවතට ගෙන හරි පාර ඔස්සේ රනිල් අරගෙන යන්නට උත්සාහ කළේ සුවපහසු මගක් ඔස්සේ නම් නොවේ. ඒ මගේ දිගින් දිගටම බොරු වලවල් හා බාධක කොතෙකුත්ද. අන්තිමේ අරගලය විසින් බිඳ වට්ටවා විනාශ මුඛයට පත් කර තිබූ මේ රට රනිල් පැමිණ ගොඩ ගත්තේ ආශ්චර්යයක් සිදුකළ ආකාරයෙනි.
එපමණක් නොව, රනිල් නිසිකලට මැතිවරණ පවත්වා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරන්නටද කටයුතු කළේය. කවුරුන් කෙසේ විග්‍රහ කළත් රනිල්ට එරෙහිවත් තවත් මහා බලවේගයත් සමාජයේ සංවිධානාත්මකව ඒකරාශී වී තිබුණු බව පෙනී ගියේ පසුගිය ඡන්දයේ ප්‍රතිඵල ලැබීමත් සමඟය. රට තුළ ජනමතය රනිල්ටත් නොව සජිත්ට වාසිදායක ලෙස පිළිබිඹුවේ යැයි බොහෝ දෙනා සිතා සිටියදී කිසිවෙකුත් නොසිතූ පරිදිම ඒ සියල්ලටම වඩා වෙනස් දෙයක් සිදුවිය. සජිත් රනිල් දෙදෙනාම පරාජයට පත් කරමින් එතරම් ප්‍රබලතාවක් ඡන්ද සටනේ නොපෙන්වූ ජාතික ජන බලවේගය මහා බලයක්ව ඉදිරියට ඇඳිය ආවේය. අවසානයේ රනිල් වික්‍රමසිංහට අන් කවරදාටත් ඉතුරුව තිබූ පාර්ලිමේන්තු අසුන පවා අහිමි වන මට්ටමට ජනබලය ප්‍රකාශ වී තිබිණි.
සියල්ල අවසානයේ 2025 අගෝස්තු 22 වැනි සිකුරාදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට සිදුවිය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටි සමයේ 2023 සැප්තැම්බර් 22,23 දිනවල මහා බ්‍රිතාන්‍යයේ සිදු කළේ යැයි කියන සංචාරයකට රුපියල් ලක්ෂ 166ක මුදලක් සාපරාදී ලෙස සාවද්‍ය පරිහරණයකට ගෙන ඇතැයි චෝදනාවකට යටත්ව සාක්ෂි විමසූ අතර අවසානයේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් ඉදිරියට පමණුවනු ලැබීමෙන් පැය කිහිපයක කාලයක් මිඩංගු කරමින් නඩුකරය සාකච්ඡාවට ගැනෙමින් තිබිණි. පැමිණිල්ලේ සාක්ෂි හා විත්තියේ ඉදිරිපත්ව තිබූ කරුණු කාරණා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය රජයේ මුදල් සාපරාදී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ වරදට නඩුකරය ඉදිරියටත් පවත්වාගෙන යන්නට තීරණය කළාය.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
2
Funny
0
Angry
0
Sad
0
Wow
0

